සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමග 3 - කුඩාවේ පේමාලෝක හිමි 2013.pdf

කතෘ :
මහින්ද අමුගොඩ, රංජනී දෙද්දුවකුමාර
ප්‍රකාශිත වර්ෂය :
2018
මුද්‍රිත වර්ෂය :
2018
පිටු ගණන :
189
බාගත කිරීම් ගණන :
4,134
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-09-01
ගොනුවේ ප්‍රමාණය :
40 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 95

සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමඟ 3 යනු සිරිපා අඩවියේ වැඩවසන ආරණ්‍යවාසී යෝගී භික්ෂූන් වහන්සේ නමක විසින් දේශනා කරන ලද ගැඹුරු සූත්‍ර ධර්ම හා ප්‍රායෝගික භාවනානුයෝගී අත්දැකීම් ඇසුරෙන් සැකසුණු ග්‍රන්ථ මාලාවේ තෙවන හෙවත් අවසාන කොටසයි. මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ මහින්ද අමුගොඩ සහ රංජනී දෙද්දුවකුමාර යන මහත්ම මහත්මීන් විසිනි.

මෙහිදී ආසිවිසෝපම සූත්‍රය, ආහාර සූත්‍රය, මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, ආදිත්ත පරියාය සූත්‍රය වැනි ප්‍රමුඛ දේශනාවන් පදනම් කරගනිමින් කයෙහි අනිත්‍යතාව, සතර මහා ධාතුන්ගේ ස්වභාවය, ආයතන හයෙහි දැවීම සහ දුකට හේතුවන තෘෂ්ණාව ප්‍රහාණය කරන ආකාරය සාකච්ඡා කෙරේ. එසේම සෑම ධර්ම සාකච්ඡාවක් අවසානයේදීම බැතිමතුන් නැගූ ගැටලුවලට සරලව පිළිතුරු සපයා ඇත.

පටුනෙහි අඩංගු ප්‍රධාන මාතෘකා:

  • වනස්පතිය තුළ තව්තිසාව
  • වෙසක් පොහෝ දින
  • දිවියාට ගොදුරු වූ ඊරි පැටව්
  • පැවැත්මට ආහාර
  • දහම් සාකච්ඡාව
  • සසරින් මිදීම
  • දෙවියන්ගේ පුණ්‍ය ක්‍ෂේත්‍රය
  • ප්‍රිය පුතා මළ ශෝකය
  • දුකට හේතුව
  • අවසන් සමුගැනීම

නොමිලේ ධර්ම දානය පිණිස මුද්‍රණය කර බෙදාහරින ලද මෙම කෘතියේ පස්වන මුද්‍රණය 2018 වසරේදී තරංගී ප්‍රින්ටර්ස් මඟින් මුද්‍රණය කර ඇත.

හඳුන්වාදීම

සිරිපාද අඩවියේ වසර 27ක පමණ කාලයක් තිස්සේ හුදෙකලාවේ ගල් ලෙනක වැඩ වසන යෝගී ස්වාමීන් වහන්සේ පිළිබඳ තොරතුරු සමඟින් ඔබ වෙත ගෙන ආ “සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමඟ-1 සහ 2” සදහම් ග්‍රන්ථයන් කියවපු බොහෝ දෙනා තුන්වන පොතක් පිළිබඳව නිතරම විමසන්නට විය. නැවත ග්‍රන්ථයක් සම්පාදනය කිරීමේ බලාපොරොත්තුවක් නොතිබුණ ද බොහෝ දෙනාගේ දහම් පිපාසයට පිළිතුරක් ලෙසින් පොහොය දිනයන් කිහිපයකදී ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා කිහිපයකින් මෙම ග්‍රන්ථය සම්පාදනය වේ.

ආසිවිසෝපම සූත්‍රය, ආහාර සූත්‍රය, මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, ආදිත්ත පරියාය සූත්‍රය යන සූත්‍ර දේශනාවන් මූලික කර ගනිමින් පවත්වන ලද ධර්ම විග්‍රහයන්ගෙන්ද දුකට හේතුව පිළිබඳව විස්තරාත්මක දේශනාවකින්ද සෑම දේශනාවක් අවසානයේද ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ගේ ගැටළු සඳහා දෙන ලද පිළිතුරු වලින්ද මෙම දහම් පුස්තකය සමන්විත වේ.

ප්‍රථම ග්‍රන්ථයෙන් ශ්‍රද්ධාවත්, දෙවන ග්‍රන්ථයෙන් ප්‍රඥාවත් ගෙන දෙනවා යැයි එක්තරා මහත්මයකු පැවසූ වදන් අසා පූජනීය ස්වාමීන් වහන්සේ පැවසුවේ තුන් වෙනි ග්‍රන්ථයෙන් නිවනටම මග පෙන්වා දෙමින් මෙම ග්‍රන්ථ මාලාව මෙතෙකින් නිමා කරන ලෙසයි. ඉමහත් කරුණාවෙන් යුතුව අපට සදහම් ආලෝකය ලබා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට මෙම ධර්ම දානමය කුසලයෙන් ජනිත සියළුම කුසල් මේ ජීවිතයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා.

සියළුම සැදැහැතියන්ට කුසල් රැස් කර ගැනීමට තම විහාරස්ථානය පුණ්‍ය පාරාදීසයක් බවට පත් කර දුන් විහාරාධිපති පූජ්‍ය කලල්ඇල්ලේ සුනන්ද ස්වාමීන් වහන්සේටත් ගම්වාසී සියළුම දෙනාටත් මේ කුසල් අත්වේවා. තව තවත් සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීමේ වීර්යය ඇති වේවා.

සදහම් මාවතේ ගමන් කිරීමට අපට මග පෙන්වන අපගේ ගුරුදේවෝත්තම පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් නිර්වාන අවබෝධය පිණිස මේ සියළු කුසල් උපනිශ්‍රය සම්පත්තියක්ම වේවා. අපගේ දෙමව්පියන්ටද මේ සියළු කුසල් අත් වේවා. ගෞතම බුද්ධ ශාසනය තුළදීම සසර දුකින් අත් මිදීමට හැකියාව ලැබේවා. දහම් පොත් කියවා අපටද පින් අනුමෝදන් කරමින් අපව ධෛර්යමත් කරන සියළුම පින්වතුන්ට මේ තුළින් තව තවත් සද්ධර්මාලෝකය ලැබේවා.

අගනා පෙර වදනක් ලබා දෙමින් මෙම ධර්ම ග්‍රන්ථයට වටිනාකමක් එක් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කළ්‍යාණ මිත්‍ර ආචාර්ය ප්‍රසංසා කලුකෝටිටගේ මහත්මියට මේ සියළු කුසල් අත්වේවා. මේ ජීවිතයේදීම ලොව්තුරු දහමින් සැනසිලි සුවය ලැබී සසර දුකින් අත් මිදේවා. මේ ග්‍රන්ථ රත්නය සකස් කිරීමේදී මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සෝදුපත් බැලීමෙන් උපකාරී වූ කල්‍යාණ මිත්‍ර නීතිඥ ගීතානි පතිරාජ මෙනවියට මේ ජීවිතයේදීම ධර්මාවබෝධය පිණිස මේ සියළු කුසල් හේතු වාසනා වේවා.!

වටිනා ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කළද මුද්‍රණ වියදම් දායකත්වයක් නොලැබේ නම් එහි ඵල ලැබීමට නොහැකි වන්නේමය. ධර්ම දානමය උතුම් චේතනාවෙන් යුතුව තම ධන පරිත්‍යාගයන් කළ සියළුම පින්වතුන්ට මෙයින් ජනිත සියළුම කුසල් අත් වේවා. සියළු බාධක දුරු වී මේ සම්බුද්ධ සාසනය තුළදීම උතුම් නිර්වාන අවබෝධය ලැබේවා.

පරිගණක අක්‍ෂර සංයෝග කළ පින්වතුන්ටත්, තරංගී ප්‍රින්ටර්ස් ආයතනයේ අධිපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයටත් මේ සියළුම කුසල් අත් වේවා. උතුම් ධර්ම අවබෝධයම වේවා.

මෙම උතුම් සදහම් ග්‍රන්ථය ඔබ සැමට කළණ මිතුරෙක් වේවා!

තෙරුවන් සරණයි!

මහින්ද අමුගොඩ
රංජනී දෙද්දුවකුමාර
දුරකථන: 011-3074398
072-3321628
2013.05.15

පෙරවදන

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයෙනුත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලබා දැනට එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සේවය කරන මට, ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයකදී බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතුන් වෙත මහා කරුණාවෙන් දේශනාකොට වදාළ ධර්මයෙන් බිඳක්, ඈත සිරිපා අඩවියේදී අසන්නට ලැබීම මා කළ මහා කුසලයක විපාකයකැයි සිතේ.

ධර්මය පිළිබඳව උනන්දුවකින් මා කියවූ පොත් අතරින්, නුගේගොඩ පාගොඩ පාරේ පදිංචි ධර්මසේන මහතා සහ එම මහත්මියගෙන් ධර්ම දානයක් ලෙස ලැබුණු තායිලන්තයේ ධුතාංගධාරී භික්‍ෂූන් වහන්සේලාගේ චරිතාපදාන ග්‍රන්ථ මගේ සිත් ගත්තා. එක්තරා දිනක ධර්මසේන මහතා විසින් වන මැද භාවනානුයෝගීව දිවි ගෙවන භික්‍ෂූන් වහන්සේලා තායිලන්තයේ පමණක් නොව ශ්‍රී ලංකාවේද වැඩ වසන බව කියමින් මා අතට පත් කළේ “සිරිපා වනයේ යෝගී භික්‍ෂුවක් සමඟ 2” නම් වූ කුඩා පොතක්. එදා සරලව එසේම ප්‍රායෝගිකව ලියැවුණු බුදුන් වහන්සේගේ උගැන්වීමේ හරය වූ චතුරාර්ය සත්‍යය පිළිබඳව කියවන්නට ලැබීම, මගේ ජීවිතයේ මෙතෙක් නොදුටු පැත්තක් විවර කිරීමක් වුණා. මෙතෙක් ගෙවූ ජීවිතය දෙසත්, හෙට දින සිට ගෙවීමට ඇති අනාගතය දෙසත් වඩාත් නිවැරදි ඇසකින් දැකීමේ වාසනාව මට එදා සිට ලැබුණා. පසුව කියවන්නට ලැබුණු එම ග්‍රන්ථ මාලාවේ පළමුවන කොටසින් තුනුරුවන් පිළිබඳව මගේ ශ්‍රද්ධාව අවදි වුණා.

ඔබ අද කියවන්නේ එහි තුන්වන හෙවත් අවසාන ග්‍රන්ථයයි. මෙහි ඇතුළත් වන්නේ සිරිපා වනයේ ජීවත්වන එම ස්වාමීන් වහන්සේ විසින් පෝදා සිල් ඇත්තන් වෙනුවෙන් දේශනා කළ වටිනා සූත්‍ර දේශනා කීපයක අඩංගු වූ දහම් කරුණුය. ස්වාමීන් වහන්සේ ගැන අසන්නට ලැබුණු දා පටන් එළැඹුණු සෑම පොහෝ දිනකම ධර්මසේන යුවළත්, රංජනී - මහින්ද යුවළත් සමඟ උන් වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දීමට, ධර්මය සාකච්ඡා කිරීමට ලැබීම මගේ ජීවිතයේ මෙතෙක් මා ලැබූ විශාලම භාග්‍යයයි.

ගණිතය, සංඛ්‍යානය ඉගෙන ගත් සහ උගන්වන කාලය තුළ 4,5,6,7,8,9 ආදී ඉලක්කම් වලින් මා කළේ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම ආදී දේ පමණයි. මේ ඉලක්කම්වලට හාත් පසින්ම වෙනස් වටිනා අර්ථයක් ධර්මයේදී ලබාදී තිබීම, ධර්මය ඇසීමේදීත් කියවීමේදීත් මා තුළ ඉමහත් චමත්කාරයක් ජනිත කළා. චතුරාර්ය සත්‍යය, පංච උපාදාන ස්කන්ධය, ෂඩායතන, සප්ත බොජ්ඣංග ධර්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, නව අරහාදී බුදුගුණ..... අකුරු-ඉලක්කම් උගෙනීම ඇරඹූ දා පටන් මේවායින් අප කළ කී දැයට වඩා මොන තරම් ආශ්චර්යයක් ඒවා තුළ ගැබ්වී තිබේදැයි නැවත නැවත සිතන්නට මට අවස්ථාව ලැබුණා.

මේ සංකීර්ණ සමාජය තුළ නොනවතින තරඟයකට වැටී, මුදල්-හදල්, යාන-වාහන, ගෙවල්-දොරවල්, ඉඩ-කඩම්, තාන්න-මාන්න ආදී මෙකී නොකී සැපයැයි සිතන එහෙත් සැබැවින්ම දුකම ගෙන දෙන දේ පමණක් සොයා යමින් සිටි මගේ ජීවිතය මා නොසිතු අතකට යොමු වීම මා ලද දුර්ලභ වූ අවස්ථාවක්. මගේ ජීවිතය ධර්ම මාර්ගයට යොමු කළ මේ ග්‍රන්ථ මාලාවේ අවසාන ග්‍රන්ථයට පෙරවදනක් ලිවීමට මට ලැබුණු අවස්ථාව මා ලද විශාල භාග්‍යයක්. ඒ සඳහා ආරාධනා කළ කල්‍යාණ මිත්‍ර රංජනී දෙද්දුව කුමාර මහත්මියට මගේ ප්‍රණාමය හිමි වෙනවා. මේ කුඩා ග්‍රන්ථය, මහා ධර්මස්කන්ධයක් නිර්ව්‍යාජව පැහැදිලි කරන, ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගත හැකි වන අයුරින් බුදුන් වහන්සේ විසින් වදාළ ධර්ම කරුණු සරලව විග්‍රහ කරන මිල කළ නොහැකි පුස්තකයක්.

දීර්ඝ කාලයක් සිරිපා හිමේ හුදෙකලාවම වැඩ වසමින් ලැබූ මහඟු අත්දැකීම් පාදක කොට ගෙන පින්වත් ස්වාමීන් වහන්සේ විසින් පැහැදිලි කරනු ලබන මෙහි අඩංගු සූත්‍ර දේශනා, අප විසින් නිතිපතා සැපැයි සැපැයි සිතා පරිහරණය කරන ආයතන හය අපට ඇත්තටම දුක ඇති කරන බව, අපගේ දක්‍ෂතාවලට අනුව මේ ආයතන හරහා වෙනස් ප්‍රමාණවලින් දුක නිර්මාණය කර ගන්නා ආකාරය මනාව පැහැදිලි කරනවා.

* නිරතුරුව ජරාවම වැගිරෙන කුණු කයක් වුවත් අලංකාරව පවත්වා ගැනීමට විශාල උත්සාහයක් දරමින් පෝෂණය කරන මේ ශරීරය සර්පයින් හතර දෙනෙකුගේ (සතර මහා භූත) විකාරයක්ම පමණක් බව ආසිවිසෝපම සූත්‍රය ඇසුරෙන් උන් වහන්සේ කියා දෙන විට, සේසතම වියදම් කරමින් මේ කරන්නේ මොනතරම් අරුත් සුන් දෙයක්දැයි සිතෙනවා.

* වනයේ වැඩ වසමින් කොළ හතු වළඳමින් අපට ආහාර සූත්‍රය විස්තර කරදෙන ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම් කෙතරම් ස්වාභාවිකද? මේ දිව පිනවීමට උදේ හවා වෙහෙසෙන අපට, ආහාරය පිළිබඳ පිරිසිඳ දැකිය හැකි නම් අනාගාමී ඵලයට පත්වන බව උන් වහන්සේ කියා දෙනවා.

* කාමයන්ගේ, රූපයන්ගේ, වේදනාවන්ගේ ආස්වාදයම පමණක් සිතන අපට එහි ආදීනවත්, නිස්සරණයත් මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය ඇසුරෙන් මහත් වූ උපේක්ෂාවකින් පැහැදිලි කරදෙන උන් වහන්සේ තුළින් දිස්වන්නේ පිවිතුරු කරුණාවක්මයි.

* නිරතුරුවම ගිනිගෙන දැවෙන මේ ආයතන හය අප විසින්ම නිවාගත යුතු බව ආදිත්ත පරියාය සූත්‍ර දේශනයේදී පැහැදිලි කරන විට හිතට දැනෙන්නේ හදිසියේම යමක් මතක් වුණා වැනි හැඟීමක්. අඳුරේ සිටින අපට පහනක් දැල්වූවා සේමයි.

* ජීවිතය පුරා රැස් කරන, අල්ලා තබා ගැනීමට වෙහෙසෙන, අප ප්‍රිය කරන දේ සියල්ල අපට දුකම ඇති කරන බව, නිතිපතා අප පෙළන මේ දුකට හේතුව නොසිඳෙන තෘෂ්ණාවම බව අවබෝධ කර ගත හැකි නම්, අපේ ජීවිතය බේරා ගැනීමට උත්සාහයක් හිතට ඇති වෙනවා නොවේද? වර්තමාන ලෝකයේ දියුණුව මිනිසාගේ තෘෂ්ණාවේ ආශ්චර්යයම වන බව දුකට හේතුව විස්තර කර දෙන විට උන් වහන්සේ නිතර පැවසූ දෙයක්.

භාවනා නොකර, ධර්මශ්‍රවණය කිරීමෙන් සහ දහම් පොත පත කියවීමෙන් පමණක් ධර්ම මාර්ගයේ යාමක් සිදු නොවන බව මා නිතර අසා තිබුණත්, ගිහි ජීවිත ගත කරන අපට සියලු වැඩ නවතා පළඟ බැඳ හිඳගෙන භාවනා කරන්නට පෙර කළ යුතු විශාල වැඩ කොටසක් ඇති බව ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනා තුළින් අපට පැහැදිලි කර දෙනවා. ධර්මය මට බොහෝ ඈත යැයි සිතා, භාවනා කරන්නට හිඳ ගැනීමට විවේකයක් කවදා ලබන්නදැයි පසු තැවුණු සිතින් සිටි මට ස්වාමීන් වහන්සේගේ දේශනා තුළින් ලැබුනේ විශාල සැනසීමක්. කායසී බහුල ජීවිතය අල්ප කෘත්‍ය බවට වෙනස් කර ගන්නට උන් වහන්සේගෙන් ලැබුණු මග පෙන්වීම මා ලද මහඟු වාසනාවක්.

තමන් විසින්ම තනා ගන්නා සියලු දුක් නිවාගෙන, වටිනා මිනිස් ආත්මයක් ලැබූ මේ භවයේදීම උතුම් නිර්වාණ සැපම අරමුණු කරගෙන වෙර වීර්ය දරන්නට මේ කුඩා ග්‍රන්ථය කියවන පින්වත් ඔබ සැමට ධෛර්යය ඇති වේවා.

ධර්මය ගැන සිතීමට, කතා කිරීමට මට අවස්ථාව සලසන කල්‍යාණ මිත්‍ර හැම මේ අත්භවයේම, දුක් කෙළවර කොට ධර්මාවබෝධයට පැමිණෙත්වා.

කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා උතුම් ධර්ම දානමය චේතනාවෙන් යුතුවම, ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍ර දේශනා අප සැමට මෙසේ කියවීමට අවස්ථාව සලසනු වස්, මෙම ධර්ම ග්‍රන්ථය නිර්මාණය කළ අප සැමගේ කල්‍යාණ මිත්‍ර රංජනී දෙද්දුවකුමාර මහත්මිය සහ මහින්ද අමුගොඩ මහතාට මේ භවයේදීම උතුම් නිවන් අවබෝධයම වේවා.

මහත් වූ කරුණාවෙන් අපට නිවනටම මග පෙන්වන සත්පුරුෂ පින්වත් ස්වාමීන් වහන්සේට තවත් දිගු කලක් අප සැමගේ දෙසවනට මිහිරි වූ ධර්මය දේශනා කරන්නට නිදුක් නිරෝගීව වැඩ වසන්නට හැකිවේවා. අද අදම උතුම් වූ නිවනින් සැනසීම වේවා.

තෙරුවන් සරණයි!

ප්‍රසංසා කලුකෝටිටගේ
34/3, පළමුවන පටුමග,
එගොඩවත්ත පාර, බොරලැස්ගමුව.
2013.05.15