ෆාහියන්ගේ දේශාටන වාර්තාව - විමල් බලගල්ලේ 1957.pdf

කතෘ :
විමල් ජී. බලගල්ලේ
ප්‍රකාශිත වර්ෂය :
2016
මුද්‍රිත වර්ෂය :
2016
පිටු ගණන :
139
බාගත කිරීම් ගණන :
3,024
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-06-25
ගොනුවේ ප්‍රමාණය :
23 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 70

ක්‍රි.ව. 5 වන සියවසේදී (ක්‍රි.ව. 399-414) බුදුදහම සහ විනය ග්‍රන්ථ සොයා ඉන්දියාව, මධ්‍යම ආසියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු බෞද්ධ රාජධානිවල සංචාරය කළ ෆාහියන් (Fa-Hsien) භික්ෂුවගේ දේශාටන වාර්තාවේ සිංහල පරිවර්තනය මෙම කෘතියයි. මහාචාර්ය විමල් ජී. බලගල්ලේ විසින් සම්පාදිත මෙම පරිවර්තනය පළමුවරට 1957 දී ප්‍රකාශයට පත් වූ අතර 1958 දී යුනෙස්කෝ සාහිත්‍ය ත්‍යාගය දිනාගෙන ඇත.

මෙහි ෆාහියන් තෙරුන්ගේ ජීවන චරිතය, පැරණි චීන-ලංකා සබඳතා සහ ඓතිහාසික පසුබිම විස්තර කෙරෙන දීර්ඝ ප්‍රවේශයක් අන්තර්ගත වන අතර, ෆාහියන් තෙරුන් සංචාරය කළ මධ්‍යම ආසියාතික රාජධානි, ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන, අනුරාධපුර අභයගිරි විහාරය ඇතුළු ලංකාවේ විස්තර මෙන්ම ආපසු චීනය බලා ගිය මුහුදු ගමන පිළිබඳ තොරතුරු ද පරිච්ඡේද 40 කට වැඩි ප්‍රමාණයකින් විස්තර වේ.

ඇතුළත් ප්‍රධාන මාතෘකා අතර:

  • පාහියන් තෙරුන්ගේ ජීවන චරිතය හා චීනයේ බුද්ධාගම
  • ගන්ධාරය, තක්ෂිලාව සහ පුරුෂපුරය
  • මධ්‍යම දේශය, සංකස්ස, කෝසල, කපිලවස්තු සහ කුසිනාරාව
  • පාටලීපුත්‍රය, රජගහනුවර, ගයාව සහ වාරාණසී
  • තාම්රලිප්තිය සහ සිංහල ද්වීපය (ලංකාව)

හැඳින්වීම

මේ 1957 වර්ෂයෙහි මවිසින් සම්පාදනය කරනු ලැබ, 1958දී මුද්‍රණයෙන් ප්‍රකාශිත වූද, එම වර්ෂයේ ‘යුනෙස්කෝ සාහිත්‍ය ත්‍යාගය’ දිනා ගත්තා වූද, ‘බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු නම් වූ පාහියන්ගේ දේශාටන වාර්තාව (සිංහලානුවාදය)’ නම් ග්‍රන්ථයේ පස්වන මුද්‍රණය මෙන්ම එහි චතුර්ථ සංස්කරණය ද වෙයි.

ඉහත ද්විතීය තෘතීය සංස්කරණවලදී මෙන්ම මෙම චතුර්ථ සංස්කරණයේදීත් සංස්කරණයට භාජන කොට ඇත්තේ ග්‍රන්ථ නාමයෙන් දැක්වෙන එහි ප්‍රධාන නිබන්ධය වූ දේශාටන වාර්තා සිංහලානු වාදය නොව, එයට මුලින් යා කොට ඇති, ‘ප්‍රවේශය’ නමින් අනුවාද කතුවරයා විසින් රචිත නිබන්ධයයි. එහි අරමුණ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය යන විෂය ක්ෂේත්‍ර පිළිබඳ සිය දැනුම පුළුල් කර ගැනීමට කැමති ප්‍රබුද්ධ පාඨකයන්ට උපකාරී වීමයි. ඒ හැර ග්‍රන්ථයේ සෙසු කොටස්වල වූ මුද්‍රණ දෝෂ ස්වල්පයක්ද සංශෝධනය කොට ඇත.

පාහියන්ගේ දේශාටන වාර්තාවේ විවිධ සංස්කරණ හා භාෂාන්තර පරිවර්තන පිළිබඳ ප්‍රයෝජනවත් තොරතුරු අන්තර්ගත වන බැවින් පොතේ ප්‍රථම මුද්‍රණයේ පෙරවදනද මෙම සංස්කරණයට ඇතුළත් කොට ඇත.

කවරය සරසන චිත්‍රයේ ඡායාරූප පිටපත් සපයාදීම ගැන මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාත්, ප්‍රකාශන කර්තව්‍ය සම්බන්ධීකරණය කළ චමින්ද ප්‍රියදර්ශන මහතාත් මාගේ සාදර ස්තූතියට පාත්‍ර වෙති.

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ
2016.06.01
545/6, හයිලෙවල් පාර
ගංගොඩවිල
නුගේගොඩ

ප්‍රථම මුද්‍රණයේ පෙරවදන

පුරාතන ලංකාවේත් ඉන්දියාවේත් පැවැති බෞද්ධ සංස්කෘතිය පිළිබඳ පොත්පත් කියවද්දී මට පෙනී ගිය කරුණක් නම් ඒ පිළිබඳව ලියූ විචාරකයන් හැම දෙනෙකුම පාහේ චීන ජාතික භික්ෂූන් වූ පාහියන්ගේත් හියුංත්සාංගේත් දේශාටන වාර්තා ගැන සඳහන් කළ බවයි. ඒ නිසා මම ඔවුන්ගේ දේශාටන වාර්තාවල ඉංගිරිසි අනුවාදයන් සොයා ගෙන කියවූයෙමි. මේ දෙපොතෙහිම ලක්දිව පිළිබඳ තත්කාලීන තොරතුරු ඇතුළත් වෙයි. පෙරදිග සංස්කෘතිය අගය කොට සලකන සිංහල පමණක් උගතුන්ටත් මේ පොත් කියැවීමට ලැබේතොත් ඉතා මැනවැයි ඉන් පසු මට කල්පනා විය.

ජාතියක නැගී සිටීම සඳහා ජාතික වීරයන්, ගවේෂකයන්, නව නිර්මාපකයන් හා විද්වතුන්ද අවශ්‍ය බව අපි දනිමු. එබඳු පුද්ගලයන් පහළ කිරීමෙහි ලා වීර චරිතවලින් හා දේශාටන වාර්තාවලින්ද වන්නේ මහත්ම පිටුබලයකි. මේ සාහිත්‍යාංගය ලෝකයේ දියුණු ජාතීන් අතර සුලබ වෙයි. එහෙත් අපේ සිංහල සාහිත්‍යය මේ අතින් පවතින්නේ සංවේග දායක තත්ත්වයකය. ඈත අතීතයේදී සිංහලයන්ට කියවීම සඳහා වීර චරිත දුලබ නොවූ බව සිතිය හැකිය. එහෙත් දැනට ඇති සිංහලයෙන් ලියැවුණු පැරණිම වීර චරිතය හැටියට සැලකිය හැක්කේ දුටුගැමුණු චරිතය විස්තර වන ථූප වංශයයි. අත්තනගලු වංශය එබඳු තවත් පොතකි. මහාවංශය අපට තවත් වීර චරිත කීපයක් සපයයි. එහෙත් මෑතක් වනතුරුම දේශාටන වාර්තාවන් කියවීමේ භාග්‍යයක් සිංහල පමණක් උගතාට නො ලැබිණ.

මේ අතර යට සඳහන් කළ චීන දේශාටන වාර්තා දෙක අතුරෙන් වඩා විශාල වූ හියුංත්සාං දේශාටන වාර්තාව ගරු පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන් විසින් සිංහලයට නගනු ලැබ, අවුරුදු කීපයකට පෙර ප්‍රකාශයට පැමිණියේය. පාහියන් ස්ථවිර තුමා ලංකාවේද අවුරුදු කීපයක් ගත කළ කෙනෙකි. එබැවින් ඔහුගේ දේශාටන වාර්තාවෙහි, මෙහිදී ඔහු ප්‍රත්‍යක්ෂයෙන් දැනගත් තොරතුරු රාශියක් ඇතුළත් වෙයි. ලංකාව පිළිබඳ ප්‍රත්‍යක්ෂයෙන්ම තොරතුරු කියන පුරාණතම දේශාටන වාර්තාවද මේ යැයි සිතමි.

එක් බසකින් ලියැවුණු ගමන් විස්තරයක් අන් බසකට නැගීම එතරම් අමාරු කාරියක් නොවිය යුතුය. එහෙත් මේ පොත පරිවර්තනයේ දී අපට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා කීපයකි. පාහියන්ගේ දේශාටන වාර්තාව ලියැවුණේ ක්‍රි.ව. 414 දීය. එතැන් සිට මෙතෙක් ගත වූ දීර්ඝ කාලය තුළ කිසියම් පොතක් සුළු වූ හෝ වෙනස් වීමකින් තොරව පැවතිණැයි සිතිය නොහැකිය.

සුයි රාජවංශයේ (589-618) රාජකීය පුස්තකාලයේ පුස්තක නාමාවලියේ සිවු පළක පාහියන්ගේ නම සඳහන් වෙයි. එකී නාමාවලියේ අවසාන කාණ්ඩයේ පාහියන්ගේ දේශාටනයන් ගැන සඳහන් කළ අනතුරුව බුද්ධභද්‍ර තෙරුන් සමග කිංලිංහිදී කළ ධර්ම ග්‍රන්ථ පරිවර්තනයන් ගැන විස්තර වේ. එහිම ද්විතීය කාණ්ඩයේ පාහියන් විසින් ලියැවුණු බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තාවක් ගැන සඳහන් වෙයි. නැවත තවත් තැනක කාණ්ඩ දෙකකින් යුත් පාහියන්ගේ කථාන්තරයක් ගැන කියැවෙයි. තවත් තැනක එකම කාණ්ඩයකින් යුත් පාහියන්ගේ කථාන්තරයක් ගැන එයි.

මෙයින් පෙනෙන්නේ හත්වැනි සියවස වන විටත් පාහියන්ගේ ගමන් විස්තරයේ සංස්කරණ කීපයක් තිබුණු බවයි. ඇතැම් විචාරකයෝ පාහියන් විසින්ම ගමන් විස්තර දෙකක් ලියන්නට ඇතැයි සිතති. අපේ අනුවාදයේ අවසාන ඡේදයේ එන අන්‍ය භික්ෂු නමකගේ වාර්තාවද මෙසේ සිතීමට තුඩු දෙයි. කෙසේ හෝ පාහියන්ගේ ගමන් පිළිබඳ මීට වඩා දීර්ඝ වාර්තාවක් තිබුණා නම් එය අභාවයට ගොස් දැන් බොහෝ කලකි.

සුයි රාජ යුගයේ සිට මෙතෙක් ගත වූ ශතවර්ෂ 14ක් පමණ වූ කාලය තුළ, දැනට ඇති සංක්ෂේප වාර්තාවෙහිද සංස්කරණ විසි ගණනක් පහළ වී ඇත. මෙයින් ඇතැම් සංස්කරණවල පොතේ නම එන්නේ ‘බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තාවක්’ කියායි. කොරියානු සංස්කරණයේ (1246) ප්‍රථම භාගය ‘පාහියන් තෙරුන්ගේ කථාන්තරය’ යන නමිනුත්, ද්විතීය භාගය ‘නැගෙනහිර ත්සිං වංශයේ වූ පාහියන් භික්ෂුනම විසින් තමන්ගේ ඉන්දියානු චාරිකා පිළිබඳව ලියූ තොරතුරු’ යන නමිනුත් හැඳින්වෙයි.

මෙහි සංස්කරණයෙහි මහත් වූ වෙනස්කම් දක්නට නැතත්, ඉඳහිට ඇතැම් තැනක පාහියන් කියූ දේ කුමක්දැයි නිශ්චයට බැසීම දුෂ්කර කරවීමට තරම් වූ විසංවාදතා ඇති බව පරීක්ෂකයෝ පවසති. පාහියන් දේශාටන වාර්තාවේ අනුවාදයන්ද එම විසංවාදතාවන්ගෙන් නොතොර බව ඒවා සසඳා බලන්නෙකුට පැහැදිලි වේ. 1836දී රිම්‍යුසට් විසින් මේ ග්‍රන්ථය ප්‍රංශ බසට නගන ලදී. එම පොතේ ඉංගිරිසි පරිවර්තන කීපයක්ම දැනට පළ වී ඇත. සැමුවෙල් බීල් විසින් 1869දී පළ කරන ලද්ද එයින් පළමු වැන්නයි. එම අනුවාදයේ තවත් සංස්කරණයක් ‘Buddhist Records of the Western World’ නම් පොතේ පූර්විකාවක් හැටියට 1884දී පළ විය. හර්බට් ඒ. ගයිල්ස්ගේ අනුවාදයක් 1877දී ප්‍රකාශිත විය. එම අනුවාදය නැවත සකස් කොට 1923දී පළ කරන ලදී.

ජේම්ස් ලෙගේ විසින් ඉංගිරිසියට නගන ලදුව, ‘Fa-Hsien’s Record of Buddhistic Kingdoms’ නමින් 1880දී පළ වූ ග්‍රන්ථය විවේචනාත්මක පරිකථාවෙන් යුක්ත විය. කිරෝතු අදාවි විසින්ද මෙය ඉංග්‍රීසියට නගා විවේචනාත්මක විස්තරද සහිතව 1936 පළ කරන ලදී. ලියුංසි විසින් කළ ඉංගිරිසි අනුවාදයක් ‘A Record of the Buddhist Countries’ නමින්, 2500 බුද්ධජයන්තිය නිමිති කොට 1957දී චීන බෞද්ධ සම්මේලනය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

මගේ මේ සිංහලානුවාදය සඳහා වහල්කොට ගත්තේ යට කී ඉංග්‍රීසි අනුවාද කීපය හා ලෙගේ විසින් 1886දී කරවූ චීන පිටපතේ කොරියානු සංස්කරණයයි. මුල් පිටපතින් ම මගේ අනුවාදය සැපයීමට තරම් චීන බස පිළිබඳ දැනුමක් නැති හෙයින් ඉංගිරිසි පරිවර්තන කෙරෙහි විශ්වාසය තැබීමට සිදු විය. විශේෂයෙන් බීල් (1884), ලෙගේ (1886), ලියුංසි (1957) යන තිදෙනාගේ පරිවර්තන මුල පටන් අග දක්වාම සසඳා බලා විසංවාදතා ඇති තන්හිදී ප්‍රකරණ සම්බන්ධය අනුව පාහියන්ගේ අදහස නියෝජනය කරතැයි සිතූ පාඨය තෝරා ගතිමි. ලියුංසිගේ පරිවර්තනය මෙන්ම ඡේද බෙදීමද වැඩියක් මා සිත් ගත් බව කිය හැකිය.

පාහියන්ගේ ගමන් මාර්ගය දැක්වෙන සිතියම පිළියෙල කිරීමේදී අපට ලියුංසිගේ හා ලෙගේගේ සිතියම්ද කනිංහැම්ගේ ‘ඉන්දියාවේ පෞරාණික භූමි ශාස්ත්‍රය’ (Sir A. Cunningham, The Ancient Geography of India; Ed. S. Majumdar Calcutta, 1924) නම් ග්‍රන්ථයද වහල් විය.

ලුහුඬු සටහන් ලිවීමේදී වහල් කොට ගන්නා ලද ලේඛකයන්ගේ හා පොත්පත්වලත් නම් ඒ ඒ තන්හිම දක්වා ඇත.

විමල් ජී. බලගල්ලේ
1957.10.28 දින
කොළඹ, මාලිගාකන්දේ,
විද්‍යෝදය පිරිවෙන්හිදී.