කල්‍යාණී ශාසනවංශය - පොල්වත්තේ බුද්ධදත්ත හිමි 1935.pdf

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1935
මුද්‍රිත වර්ෂය :
1935
පිටු ගණන :
250
බාගත කිරීම් ගණන :
688
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-08-04
ගොනුවේ ප්‍රමාණය :
43 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 2
පිටුව 126

කල්‍යාණීශාසනවංසය යනු අම්බලම්ගොඩ පොල්වත්තේ අග්ගාරාමවාසීව වැඩවිසූ අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ඓතිහාසික ග්‍රන්ථයකි. බුද්ධ කාලයේ පටන් දඹදිව හා ලක්දිව ශාසන ඉතිහාසය ද, විශේෂයෙන් කතළුවේ ශ්‍රී ගුණරතනතිස්ස මහාස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් බුරුම දේශයේ රාමඤ්ඤරට කල්‍යාණී සීමාවෙන් උපසම්පදාව ගෙනැවිත් ලක්දිව පිහිටුවන ලද කල්‍යාණීවංශ නිකායේ ආරම්භය හා ව්‍යාප්තිය ද මෙහි අතිශය විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.

කල්‍යාණීවංශ නිකායට අයත් පරම්පරා විස්තර (පරම්පරාසඤ්ජීවනිය), විවිධ පාලන කාලයන්, කාවිරපට්ටනෙන් ගල්පිළිමයක් වැඩමවීම, සංකාරවාදය ආදී ශාසනික සිදුවීම් මෙන්ම උපග්‍රන්ථයක් මගින් බුරුමරට, රාමඤ්ඤරට, අමරපුරය, හංසාවතී නගරය, කල්‍යාණී සීමාව, ඓතිහාසික සන්දේශ ආදී වැදගත් තොරතුරු රැසක් මෙහි අන්තර්ගතය. නිකාය පාලක සභාවේ ඉල්ලීම පරිදි දෙඩන්දූවේ ශෛලබිම්බාරාමයේ පැරණි ලිපි ලේඛන හා ශාසන ඉතිහාස ග්‍රන්ථ ඇසුරින් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

මෙම කෘතිය 1935 දී කතළුවේ වෙද්‍යාවාසී ජී. පී. එච්. ප්‍රේමචන්ද්‍ර මහතාගේ ප්‍රකාශනයෙන් සහ කොළඹ ග්‍රන්ථප්‍රකාශනත්‍යාලයේ ජේ. ඩී. ප්‍රනාන්දු මහතාගේ මුද්‍රණයෙන් එළිදක්වා තිබේ.

විඥාපනය.

1918 වෙනි වර්ෂයේදී අප විසින් “කල්‍යාණීවංශනිකාය” නමැති කුඩාපොතක් සම්පාදනය කරන ලදින් අලත්කඩුවේ ජෝන් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රචාරයට පමුණුවන ලද්දේය. ඒ පොතෙන් කල්‍යාණීවංශය පිළිබඳ ප්‍රවෘත්ති ස්වල්පමාත්‍රයක් දක්වා මේ නිකායිකයන් සම්බන්ධයෙන් “රාමඤ්ඤනිකාය දීපනී” යෙහි දක්වා තිබුණු අසත්‍යප්‍රකාශයක් ද හෙළිකරන ලදී. ඒ පොත සම්පාදනයට මූලාධාරවූයේ දෙඩන්දූවේ ශෛලබිම්බාරාමපුස්තකාලයෙහි තිබුණු “කල්‍යාණීවංශගුණරතන තිස්සසාසනවංස” නම්වූ පාලිග්‍රන්ථය හා නිකාය සම්බන්ධ පැරණි ලිපි කීපයකි.

එහි තිබෙන පැරණි ලිපියක ප්‍රනෙතෘගේ අභිනවත්වක් වූ ඥානසභවරඤාණසාමි මහාස්වාමින්වහන්සේ ඇතුළු පිරිසක් බුරුමයේ නායකමාහිමියන්වහන්සේ උපාධ්‍යායකොට ගෙන දෙඩන්දූවේදී අලුත්නිකායක් ලබාතිබෙනබව අපේ ඒ පොතෙන් ප්‍රකාශ කළබැවින් ඊට විරුද්ධව රාමඤ්ඤනිකායික “ශාස්ත්‍රවංශ” නමැති භික්ෂුනමක් විසින් “සත්‍යසංදර්ශන” නම් පොතක් ලියා ඒ වර්ෂයේදීම පළකරවනලදී. ඒ පොතට උත්තර වශයෙන් අපවිසින් ‘කල්‍යාණීවංශනිකාය (ද්විතීය භාගය)” සම්පාදිත විය. බේරුවල සී. ඇල්. ප්‍රනාන්දු අභය සුන්දරවික්‍රමසූරිය මහතුන් විසින් ප්‍රකාශයට පැමිණවූ ඒ පොතට ද පිළිතුරු පොතක් “සත්‍යසංදර්ශන (ද්විතියභාගය)” යී ශාස්ත්‍රවංශයන් විසින්ම සම්පාදිත විය. 1919 යේදී පළවූ ඒ පොතට පිළිතුරු වශයෙන් අපවිසින් “කල්‍යාණීවංශනිකාය” (තෘතීයභාගය) සම්පාදිත මුඛයෙන් බේරුවල ජිනේන්ද්‍ර විද්‍යාලයේ චාර්ලිස් ප්‍රනාන්දු මහතුන් විසින් ඒ වර්ෂයේදීම පළකරනලදී. ඒ පොතට ඉන්පස්සෙහි පිළිතුරු නොලියන ලද බැවින් විවාදය එයින් අවසන්විය.

මේ විවාදය නිසා අපට ශෛලබිම්බාරාමයෙහි තිබුණු පැරණි ලිපි සියල්ලම වාගේ බලන්ට සිදුවිය. නිකාය සම්බන්ධ විස්තෘතේතිහාසයක් සම්පාදනය කළහොත් මැනවැයි නිකායපාලක සභාවෙහිද නොයෙක්විට කථාවල් ඇතිවුන. සංඝනෙතෲන්වහන්සේලාගෙන් ඒ කාර්යය සිදුවේ යයි බොහෝකලක් බලාපොරොත්තුවූ නමුත් සිද්ධ නොවූ බැවින් බොහෝදෙනෙකුන්ගේ කැමැත්තෙන් ඒ කාර්යය අප වෙත පවරණලදී.

මේ “කල්‍යාණී ශාසනවංස” යෙහි කල්‍යාණීවංශනිකායේ ඉතිහාසය විස්තරයෙන් ද ඉන් පෙර ශාසනේතිහාසය සංක්ෂෙපයෙන් ද දක්වනලදී. මේ සඳහා මහාවංශය, ශාසනාවතාරය, බුරුම ශාසනවංශය, කල්‍යාණීවංශගුණරතන තිස්සසාසනවංසය, කල්‍යාණීප්‍රකරණය හෙවත් කල්‍යාණී ශිලාලිපිය ආදි පොත් ද කතළුවේ මහාස්වාමින්වහන්සේ ගෙන ආ උපසම්පදාපරිදීපකසංඥාය ආදී ශෛලබිම්බාරාමයෙහි තැන්පත්වූ බොහෝ ලිපි ද ආශ්‍රය කරනලදහ. මෙහි දැක්වුණු “කල්‍යාණීවංශගුණරතනතිස්සසාසනවංස”ය වනාහි අප නිකායේ ප්‍රවෘත්ති දැක්වීම සඳහා මින් අවුරුදු 70 කට පමණ පෙරදී පාලිභාෂාවෙන් සම්පාදිත වූවකි. ඒ පොත ලියූ කාලයෙහි කතළුවේ මහාස්වාමින්වහන්සේ ගෙන ආ මුල් සංඥාය කොතැනක තිබේදැයි සොයාගත නොහැකි වූ බැවින් එය නැතිවීයයි සලකා එකල රත්නපුර වැඩසිටි කෙසෙල්වතු මහාතෙරුන්වහන්සේ වෙත කිසිවිටක් සංඥා යවා අවසානයෙහිදී උපසම්පදාව ලැබීම පිණිස බු: ව: 2405 යේදී රාමඤ්ඤරටට වැඩමකළ පුවක්දණ්ඩාවේ ප්‍රඥාජ්‍යොති ස්ථවිරතුමන් ලවා අනිකුදු සංඥායක් ගෙන්වා ගන්නාලදී. ගුණරතනතිස්සසාසනවංසයෙහි ඇතුළත්කොට තිබෙන්නේ ඒ දෙවෙනි වර ගෙන්වාගත් සංඥායයි.

මින් බොහෝ කලකට පසු කහව පුලිනතලාරාමයෙහි විසූ සුමනතිස්ස නම් ස්ථවිරනමක් බුරුමපොත්වල වැඩිපුර දමා තිබෙන කොළ එක්කොට සාදාගත් පොතක ඇතුළත්ව තිබුණු (බුරුම අකුරෙන් ලියූ) ඒ මුල් සංඥාය අවුරුදු කීපයකට උඩදී නිරායාසයෙන්ම දෙඩන්දූවේ ශෛලබිම්බාරාමයට ලැබුණු සැටි මේ පොතේ 43 වෙනි පිටේ අඩෝලිපියක දැක්වේ. මේ මුල් සංඥාය නොදැන යථෝක්ත පාලිශාසනවංශය ලියනලද බැවින් එහි ඇතැම්තැන් මුල් සංඥාය හා නොගැලපෙති. අප විසින් වනාහි මුල් සංඥාය ගුරුස්ථානයෙහි තබා ඊට ගැලපෙනසේ මේ පොතෙහි කරුණු දක්වන ලදහ.

මේ පොතෙහි ඇතුළත් පරම්පරාසඤ්ජීවනය සම්පාදනය කරනලද්දේ මහත් ආයාසයකිනි. දෙඩන්දූවේ ප්‍රියරතන තිස්ස නායකමාහිමියන්වහන්සේ විසින් ඒ ඒ ස්ථවිරවරයන්ගේ ශිෂ්‍යානුශිෂ්‍යයන්ගේ නම් ද නිත්‍යවාසස්ථානස්ථානයන්ගේ නම් ද ඇතුළත්කොට ලියා තිබුණු කුඩා අත්පොත මේ සඳහා අපට බොහෝසේ උපකාර විය. ඇතැම් කරුණු නිකායේ උපසම්පදාලේඛනවලින් ද තවත් කරුණු නොයෙක්දෙනාට ලියා යැවීමෙන් ද ලබාගතිමු. වෘද්ධතර මහාස්ථවිරවරයන්ගෙන් විචාරීමෙන් ද ඇතැම්කරුණු දැනගතිමු. මේ පරම්පරාලේඛනය බොහෝදෙනාට ප්‍රයෝජනවත් වන්නකි. එහි කිසියම් ඌනත්වයක් හෝ වරදක් තිබේ නම් කරුණාපෙරදැරි කොට අපවෙත දන්වනමෙන් අයදිමු.

මෙහි උපග්‍රන්ථය සම්පාදනය පිණිස ඉංග්‍රීසි පොත්වලින් ද කරුණු උපුටා ගන්නාලදී. (ඒ පොත්වල නම් ඒ ඒ තැන සඳහන්ව ඇත) බුරුමරට - රාමඤ්ඤරට - අමරපුරය - හංසාවතී නගරය - කල්‍යාණී සීමාව ආදිය පිළිබඳ දතයුතු කරුණු ද සද්ධම්මසංඝරාජ - මේධංකරපරමසංඝරාජ - ධම්මචෙතිය මහරජ ආදී පොතෙහි ප්‍රමුඛව පෙනෙන උතුමන් ගැන සොයාගතහැකි වූ කරුණු ද පාලිසන්දේශකීපයක් ද එහි ඇතුළත් කරනලදහ. ඇතුළත් කළයුතු තවත් සංදේශරාශියක් තිබෙනතත් පොත විශාලවෙන බැවින් හැරදැමීමු. කෙසෙල්වතු තෙරුන්වහන්සේගේ සංදේශය ද සම්පූර්ණයෙන් නොයොදන ලද්දේ දිග වැඩි බැවිනි. ඒ වැදගත් සංදේශ සියල්ල එක්කොට මුද්‍රණය කළහොත් එය පමණක් මේ සම්පූර්ණ පොත තරම් විශාල වන්නේය.

පොතේ ඇතුළත් කරුණු පහසුවෙන් සොයාගැනීමට උපකාරවනසේ පුද්ගලනාම-ස්ථානනාමාදිය එක්කොට පිටුවල අංකසහිත කොට යෙදූ අකාරාදියක් ද මෙහි ඇත්තේය.

රාමඤ්ඤරටත් බුරුමරටත් පිහිටි ආකාරය පැහැදිලි ලෙස දැක්වීම සඳහා ඒ දෙරටේ භූමිසිතියම ද පොතේ මුල යොදන ලදී. ලංකාලංකාරප්‍රවෘත්තිස්ථාපක කතළුවේ මහාස්වාමින්වහන්සේගේ හා උන්වහන්සේගෙන් පසු පිළිවෙළින් නිකායපාලනය කළ සංඝනේතෲන්වහන්සේලාගේ ඡායාරූප ද උපසම්පදාව ගෙන ඒම සඳහා රාමඤ්ඤරටට වැඩමවූ පිරිසට අයත් මහාස්වාමිවරයන්ගේ ලබාගතහැකිවූ ඡායාරූප ද නොයෙක් පරම්පරාවලට අයත් තවත් මහාස්වාමිවරයන් කීපනමකගේ ඡායාරූපද මෙහි යොදනලදහ. මෙයින් මුලින් කියවුණු නායකමාහිමිවරුන්ගේ රූප වනාහි ශෛලබිම්බාරාමයෙහි තැන්පත්කොට තිබෙන විශාල ඡායාරූපවලින් සකස් කරවන ලදහ. අනෙක් ඡායාරූප ඒ ඒ මහාස්වාමිවරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍යයන් විසින් සපයා දෙනලදහ.

මෙසේ මේ කටයුත්ත සමෘද්ධිකරගැනීමට උපකාරවූ සියලුදෙනාවහන්සේට අපගේ ස්තුතිය පිරිනමනු ලැබේ. විශේෂයෙන් ඕනෑ ලිපි සියල්ල දීමෙන් ද ප්‍රස්තාවනාවක් ලියාදීමෙන් ද ඇතැම් කරුණු පැහැදිලිකොට දීමෙන් ද අපට උපස්තම්භක වූ දෙඩන්දූවේ ශෛලබිම්බාරාමාධිපතිවූ ද නිකායේ ලේඛකාධිකාරීවූ ද කරන්දෙණියේ ශ්‍රී සුමඞ්ගල මහාස්ථවිරපාදයන් වහන්සේට ද මෙය මුද්‍රණයෙන් ප්‍රචාරයට පැමිණවීම සඳහා ඉදිරිපත්වූ කතළුවේ වෛද්‍යාවාසී ජී. පී. එච්. ප්‍රේමචන්ද්‍ර මහතාණන්ට ද අපගේ ස්තුතිය පිරිනමමිහ.

මීට,
පොල්වත්තේ බුද්ධදත්තස්ථවිර.
අම්බලම්ගොඩ අග්ගාරාමයේ දීය.
25-8-35.

ප්‍රස්තාවනා.

කල්‍යාණීශාසනවංශය නමැති මේ පොතෙහි බුද්ධකාලයේ පටන් දඹදිව හා ලක්දිව ශාසනවංශය සංක්ෂෙපයෙන් ද කතළුවේ ගුණරතනතිස්ස මහාස්වාමින්වහන්සේ ප්‍රමුඛ සංඝයාවහන්සේගෙන් ප්‍රභව වූ කල්‍යාණීවංශ නිකාය පිළිබඳ ඉතිහාසය විස්තරයෙන් ද දක්වා තිබේ. සිංහලෙන් ලියූ සම්පූර්ණ ශාසනවංශයක් නැතිකමේ පාඩුව මෙයින් තරමක් දුර පිරිමැහෙන අතර එවැනි සම්පූර්ණ සිංහල ශාසනවංශයක් ලිවීමට මේ පොත උපකාර වෙතැයි බලාපොරොත්තුවෙමු.

කතළුවේ මහාස්වාමිපාදයන්වහන්සේ මුල්කොට ඇතිවූ භික්ෂු සංඝාතය වනාහි කලින් කල වෙන් වෙන් කොට්ඨාසවලට බෙදී නොගියා නම් මෙකලැහි දහසකට අධිකවූ පැවිදි පිරිසකින් යුක්තවෙතැයි සිතිය හැක. දැන් කොට්ඨාස කීපයකට බෙදීතිබෙන සද්ධම්මයුත්තික (මාතර) නිකායේ සියලු කොට්ඨාස ද, පසුකලක අමරපුරසද්ධම්මවංසනිකායට ඇතුළුවූ වැවුරුකන්නල මහා විහාරානුගත පරම්පරාව හා රන්දොඹේ මහා විහාරය මුල්කොට ඇති පරම්පරාව ද, පළමුවෙන් වැලිතොටදෝ මහාස්වාමිපාදයන්වහන්සේගේ ශිෂ්‍යභාවොපගතව සිට පසුව මිරිපැන්නේ නිකායට ඇතුළත්වූ ස්වාමිවරුන්ගේ පරම්පරා ද කතළුවේ මහාස්වාමිපාදයන්වහන්සේගේ සම්බන්ධය ඇත්තෝය.

අම්බලම්ගොඩ සුනන්දාරාමාධිපතිව වැඩවිසූ වීලෙගොඩ පුඤ්ඤසාර නායකමහාස්වාමිපාදයන්වහන්සේ වනාහි කතළුවේ මහාස්වාමිපාදයන්වහන්සේට සමකාලීකවූ ද උන්වහන්සේ මෙන්ම සියම්නිකායේ උපසම්පදාව ලබාසිටියාවූ ද උතුමෙකි. මේ දෙදෙනාවහන්සේගෙන් වැඩිමහල් උතුමා කවරෙක්දැයි අප නොදන්නා නමුත් වීලෙගොඩ නායක මහාස්වාමිපාදයන්වහන්සේගේ ශිෂ්‍යවරයෙක්වූ පෑලියගොඩ ජිනරතන මහාස්ථවිරයන්වහන්සේගේ ලිපියක දැක්වෙන