මගේ බන පොත - පොල්වත්තේ බුද්ධදත්ත හිමි 1957.pdf

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1957
පිටු ගණන :
326
බාගත කිරීම් ගණන :
1,335
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-06-24
ගොනුවේ ප්‍රමාණය :
120 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 164

මගේ බණපොත යනු අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිරයන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල රචනා කරන ලද කුඩා ධර්ම පුස්තක හා ලිපි විස්සක් එක්තැන් කොට සම්පාදනය කරන ලද ධර්ම සංග්‍රහයකි. බුද්ධ ජයන්ති සමය නිමිත්තෙන් සම්පාදිත මෙම ග්‍රන්ථයෙහි මුල් අවදියේ (1912 සිට) ලියැවුණු ලිහිල් පොත්පිංචවල සිට ගැඹුරු අභිධර්ම හා භාවනා විෂයයන් අඩංගු ග්‍රන්ථ දක්වා පෙළගස්වා ඇත.

මෙහි සාමාන්‍ය පාඨකයාට මෙන්ම භාවනායෝගීන්ට ද ප්‍රයෝජනවත් වන සේ සසර දුක, අප්‍රමාදය, මත්පැන් දුරුකිරීම, කර්මය හා වීර්යය, මෛත්‍රී සහ ආනාපානසති ආදී භාවනා ක්‍රම, සප්තවිශුද්ධිය, නිර්වාණය සහ ආත්මදෘෂ්ටි ඛණ්ඩනය ආදී ගැඹුරු දහම් කරුණු විවරණය කර තිබේ.

හැඳින්වීම

මා විසින් 1912 හේ සිට නොයෙක් දෙනාගේ ඉල්ලීම ලෙස කුඩා ධර්‍මපුස්තක ලියා දෙන ලදී. ඒවා සියල්ලම වාගේ නොමිලයේ බෙදා දෙන ලද බැවින් ඇතැම් පොත්වල පිටපතක් සොයාගැනීම පවා දැන් අපහසුය. මෙහි ඇතුළත්ව තිබෙන සච්චතත්‍වදීපනය නමැති පොතේ පිටපතක් මා ළඟ නැති වූයෙන් තිබුණ තැනකින් ඉල්වාගෙන පිටපත් කර ගන්ට සිදු විය.

බෞද්ධාගමේ පුනර්ජීවනයක් ඇතිවේගෙන යන මේ 2500 යේ බුද්ධජයන්ති වර්‍ෂයේදී මේ පොත් සියල්ල එක්කොට එක් පොතක් වශයෙන් මුද්‍රණය කළහොත් බෞද්ධලෝකයාට මහත් යහපතක් සිදුවිය හැකියයි සිතූ බැවින් මේ පොත සංග්‍රහ කෙළෙමි. මෙයින් ඇතැම් ලිපි සඟරාවල පළවූ ඒවාය. මෙහි ඒ පොත් හෝ ලිපි ඇතුළත් කරන ලද්දේ පළවූ වර්‍ෂ සංඛ්‍යා අනුව නොව ලිහිල් ලිහිල් වූ පොත් මුලට යොදා ගැඹුරු ගැඹුරු පොත් පසුකොට යෙදීමෙනි. මෙහි සාමාන්‍ය ගැමියෙකුට ප්‍රයෝජනවත් කොටස් ඇතිවා සේම ගැඹුරු නාමරූපධර්‍මයන් පිළිබඳ කොටස් ද ඇත්තාහ. භාවනා කරනු කැමැත්තන්ට උපකාර වෙන භාවනා පිළිවෙළවල්ද විදර්ශනාක්‍රමද ඇත්තාහ.

මෙයින් 1912 හේදී පළවූ “පමාවීම යුතුද?” යන පොතෙහි සසර දුකේ බැරෑරුම් තත්වයත් මනුෂ්‍යාත්මයක් හා බුද්ධෝත්පාදයක් ලැබීම අතිදුෂ්කර බවත් දක්වන ලදී. ශරීරය දිය බුබුලක් සේ බිඳී යන දුර්වල එකක් වූවත් එය යහපත් මග යෙදෙව්වොත් දිව්‍ය බ්‍රහ්ම සම්පත් පමණක් නොව නිවන් සම්පත පවා ලැබිය හැකි බවද දක්වන ලදී. 1915 දී පළවූ කර්‍මවීර්‍ය්‍ය දීපනයෙහි පූර්‍වකර්‍මයෙන් පමණක් සියල්ල සිදු නොවෙන බවත් පුරුෂයාගේ වීර්‍ය්‍යය හා එක්වීමෙන් අභිවෘද්ධිය ඇතිවෙන බවත් දක්වන ලදී. 1917 දී පළවූ දුශ්චරිතාදීනවයෙහි විශේෂයෙන් දැක්වෙන්නේ මත්පැන් බීමෙන් සිදුවෙන විපත් ගැනය. කුම්භජාතක - ඉලිසජාතකාදිය ආශ්‍රයෙන් ලියූ ඒ පොත මත් පැන් තහනමක් ගැන කථා කරන මේ කාලයේදී ඉතා ප්‍රයෝජනවත් වේ. 1921 දී පළවූ අප්‍රමාදධර්‍මය නමැති පොතේ මනුෂ්‍යාත්මය හා බුද්ධෝත්පාදය ලැබුවන් විසින් පින් කිරීමට හා සසරින් මිදීමට උත්සාහ ගැනීමට මොහොතක්වත් ප්‍රමාද නොවිය යුතු බව කියවේ. 1924 දී පළවු මෛත්‍රීභාවනාවෙහි මෙත් වැඩීමේ අනුසස් හා එය වැඩිය යුතු ආකාරය දක්වන ලදී. 1914 දී පළවූ ධර්‍මාවවාදමඤ්ජරිය වනාහි බාලයන්ට ඉතා ප්‍රයෝජනවත් වූ සමගියේ බලය, ඉවසීමේ අනුසස්, පාපමිත්‍ර සේවනයේ විපත්, කළගුණ සැලකීම, අනුන්ගේ දොස් සෙවීමේ වරද හා අනුන්ට කළදේ තමන්ට පලදෙන සැටි දක්වන පොතකි.

1921 දී පළවූ මැවීම නමැති ලිපියෙන් මැවීමක් විශ්වාස නොකළ හැකි බව දැක්වේ. ඒ වර්‍ෂයේ ම පළවූ “ක්‍ෂුද්‍ර සත්වයෝ” නමැති ලිපියෙන් ඇසට නොපෙනෙන කෝටි ගණන් කුඩා සතුන් පිළිබඳ තොරතුරු දත හැක. ඒ වර්‍ෂයේ දීම පළවු නිර්‍වාණය නමැති ලිපියෙන් නිවණ පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබා ගත හැක. 1920 දී පළවු සමාධිය නමැති ලිපියෙන් මිනිසුන් දිනපතා කරන වැඩවලදී පවා සිතේ එකඟකමක් ඇති කර ගැනීම වැදගත් බව පෙන්වා තිබේ. 1916 දී පළවු විසුද්ධිදීපනියෙන් ආණාපාණය වඩන සැටි දැන ගත හැක. අන්‍ය භාවනා සඳහාද මුලදී පිළිපැදිය යුතු ආකාරය එහි දැක්වේ. එයට අනතුරුව තිබෙන සප්තවිශුද්ධිවිභාගය වනාහි කිසි විටක පළනොවූ නමුත් 1920 පමණේදී ලියන ලද්දකි. 1912 හේ දී පළවු ආත්මදෘෂ්ටිඡේදනය වනාහි දැන් ලෝකප්‍රකට ආචාර්‍ය්‍යවරයෙක්ව සිටින කෘෂ්ණමූර්ති මහතා තුදුස් හැවිරිදි කල්හි සෝවාන් මගට පැමිණියේයයි කියමින් ඒ මහතා ලියූ පොතකට උත්තර වශයෙන් ලියු පොතකි.

පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිර