සිංහල බෝධි වංශය - විල්ගම්මුල සංඝරාජ හිමි.pdf

කතෘ :
විල්ගම්මුල සංඝරාජ හිමි
පිටු ගණන :
300
බාගත කිරීම් ගණන :
3,321
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-06-21
ගොනුවේ ප්‍රමාණය :
48 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 151

කුරුණෑගල් යුගයේ (ක්‍රි.ව. 1293 - 1347) වැඩවිසූ ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටක වාගීශ්වර ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල මහා සංඝරාජ හිමියන් විසින් රචිත සිංහල බෝධි වංශය සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයකි. හතරවන පරාක්‍රමබාහු (ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු) රජතුමාගේ ආරාධනයෙන් උන්වහන්සේ විසින් පාලි බෝධිවංශය ඇසුරින් මෙම ග්‍රන්ථය සිංහලට නඟන ලදී.

බුදුරජාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උත්පත්තිය, ආනන්ද බෝධි කථාව, පරිනිර්වාණය, ධර්ම සංගායනා සහ ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීම ආදී ඓතිහාසික හා ශාසනික තොරතුරු පරිච්ඡේද 13ක් යටතේ මෙහි අන්තර්ගත වේ.

  • අභිසම්බෝධි කථා
  • ආනන්ද බෝධි කථා
  • දශබල පරිනිර්වාණ කථා
  • සංගීති කථා (ප්‍රථම, ද්විතීය, තෘතීය)
  • ලංකාවතරණ හා නගර ප්‍රවේශ කථා
  • මහා විහාර හා චේත්‍යගිරි විහාර ප්‍රතිග්‍රහණ කථා
  • ධාතුචාගමන හා දුමින්දාගමන කථා

ප්‍රස්තාවනාව

නමෝ බුද්ධාය ප්‍රස්තාවනාව

සිංහල භාෂාව ශ්‍රැති රමණීය කරමින් අනාදිමත් කාලයක සිට පරිභාවිත ජාතක කථා එක ම සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙසින් ප්‍රකාශයට පත් වුනාවූ ද, බණකථා ප්‍රකරණ සාහිත්‍ය කලාව කූටප්‍රාප්තියට පත් කළ උම්මග්ග ජාතකය බිහිවුණා වූ ද, සිංහල ආඛ්‍යාන කලාවේ නව පෙළ ගැස්මක් ඇති කරමින්, වෘත්ත භාග ඇති, වෘත්ත ගන්ධි ශෛලිය අත්හදා බලමින්, එවකට දකුණු ඉන්දියාවේ ප්‍රචලිත තිබූ යාදිනී සම්ප්‍රදායෙහි ප්‍රභාව, උත්තේජනය වූ ද, තදනන්තර ව දළදා පූජාවලිය බිහිවුණා වූ ද, ඇතැම් සාහිත්‍යඥයන් පිළිගන්නා පරිදි ථූපවංශය බිහිවුණාවූ ද, ෂඩ් භාෂා පරමේශ්වර ගලතුරු මුල මා හිමි, මේධංකර මහා ස්ථවිර, වීරසිංහ ප්‍රතිරාජ, දෙව්රදදම් පසඟිනා, ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු (iv පැරකුම්) ආදි කොට ඇති පඬිවරුන්ගෙන් උපශෝභිත ක්‍රි.ව. 1293 - 1347 අතර කුරුණෑගල් පුර සමයෙහි, ෂඩ් භාෂා පරමේශ්වර, ත්‍රිපිටක වාගීශ්වර, රාජගුරු ගලතුරු මුල මහා ස්ථවිරපාදයන්ගේ ශිෂ්‍ය ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල මා හිමි අනාගත වංශ පාලි, සමන්ත භද්දිකා යන ග්‍රන්ථ උපාශ්‍රයෙන්, මෙත් බුදු සිරිත වස්තු සන්දර්ශනය කරගෙන ‘අනාගත වංශය ද’, බොහෝ දුරට පාලි බෝධි වංශයට අනුගත’ව පදානුගත භාව දිමි සංඛ්‍යාත ව, සිංහල බෝධි වංශය ද ප්‍රණීත ය’යි සැලකෙන අතර, සමහර සාහිත්‍යඥයන් චන්දකින්නර ජාතකය තේමා කරගත් සඳකිඳුරු දා කව ද උන්වහන්සේ ම ප්‍රණීත යයි සැලකේ.

කුරුණෑගල යුගය ශ්‍රී ලංකා ඉතිහාසයෙහි අඩසිය වසකට සසීම වූ ද, අනුරාධපුර, පොළොන්නරු ප්‍රෞඪ යුගයන්ට සාපේක්ෂ ව ගත් කල්හි රාජ බලය මෙන් ම අර්ථබල යන උභය ක්ෂේත්‍රයන් ගෙන් ම පරිහානි යුගයක් වේ. මේ යුගයට අයත් සේ සැලකෙන නාරම්බැද්ද ශිලා ලිපිය ද, රාජාවලිය, චූලවංශය, නිකාය සංග්‍රහය යන පසුකාලීන වංශ කථා සම්ප්‍රදාය ද හෙළි කරන පරිදි මේ යුගයේ කුරුණෑගල පුර සිංහල නරපතියන්ගේ දේශපාලන බලය බොහෝ දුරට ම රුහුණු-මායා දෙරටට සීමා වී තිබුණා සේ ය. පූර්වෝක්ත නාරම්බැද්ද ශිලා ලිපියෙහි එවකට යාපනයේ ස්වාධීන ද්‍රවිඩ රාජධානියක් පිහිටුවාගෙන සිටි ආර්යයචක්‍රවර්තිවරු කුරුණෑගල රාජධානිය ආක්‍රමණය කළ බව සඳහන් වේ. මායාරට නසන්ට පැමිණි ද්‍රවිඩයන් පලවා හැර බුද්ධ ශාසනයත්, ලෝකයත්, සිව්වන පැරකුම්බාවන් විසින් ආරක්ෂා කරගත් බව සඳහන් වේ. පරසතුරු උවදුරු පැවති භීතිය, සන්ත්‍රාසය, විමතිය, කුතුහලය වැනි ඕලාරික මනෝභාවයන් සමුදය කරවන පරිසරයක සිව්වන පැරකුම්බාවන් (ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු) සිංහල බෝධි වංශයේ කතු නිදෙසෙහි දක්වා ඇති පරිදි සිංහල බෝධි වංශය රචනා කිරීමට සඤ්චෝදිත හේතු මෙසේ යැ.

‘ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු මහා රාජෝත්තම තෙම, භවිෂ්‍යත් කාලයේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම දේශකයන් බහුල නොවන හෙයින්, ධර්ම ශ්‍රවණයෙහි තත්පර වූ, ශ්‍රෝතෘ ජනයා මඳ සේ දැකැ, ශ්‍රවණ රමණීය වූ බෝධි වංශ කථාව මාගධික භාෂායෙන් තුබුවා, ස්වභාෂායෙන් ලියැවූයෙම් වීම් නම් “සාධු ජනයෝ සැප සේ අසා, ස්වර්ග මෝක්ෂ සම්පත්ති සාධනය කෙරෙති” යන මහා කරුණායෙන්,

සිංහල බෝධි වංශය රචනා වූ, යුගයේ දේශපාලන සමාජ හා ශ්‍රෝතෘ ජනයාගේ භාවමය පරිසරය සිහියට නඟා ගත්විට සමුදය වූ සිතිවිලි මෙබඳු ය:

“සිංහල රජවරු රුහුණ ද මායා දෙරටෙහි පමණක් සිටි අන්දම් සතුරන් සිටියෙන් බිය සැක විමතිය ජන හදවත්වල වූ අන්දම් පැරකුම් සිව්වන ඇරයුම තමහට කරුණා පෙරදැරි වූ අන්දම් “බෝධියෙ වංශය” සිංහල කරනට විල්ගම්මුල හිමි සිතු අන්දම්

ස්වභාෂාවට නැඟීමට ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල මා හිමියන් තෝරාගන්නට යෙදුණු ‘පාලි බෝධි වංශය’ පොළොන්නරු යුගයේ මෙන් ම ඊට ඉහත අනුරාධපුර යුගයේ දී ද ඉතා ජනප්‍රිය ව තිබුණ වංශ කථාවක් ය’යි පැවසීමට සාක්ෂ්‍ය තිබේ. සිංහල බෝධි වංශයට මූලාශ්‍රය වූ පාලි බෝධි වංශය ද, ඊට පෙර පැවති, දැනට නාමාවශේෂ ව පවතින, විනෂ්ට ව ඇති, සිංහල බෝධි වංශයක පරිවර්තනයක් සේ සැලකේ. පොළොන්නරු යුගයේ, එනම් 12 වන සියවසේදී සිංහල බණකථා සාහිත්‍යයට ප්‍රශංසනීය උත්කෘෂ්ඨ සේවයක් කළ ගුරුළුගෝමී පඬිතුමා, පාලි බෝධි වංශයේ පද උදුරා ගෙන, එයට අර්ථ කථන දෙමින්, ධර්ම ප්‍රදීපිකාව නමින් ව්‍යාඛ්‍යානයක් ද සැපයීමෙන් ගම්‍යමාන වනුයේ බෝධිවංශය ශ්‍රෝතෘ ජනයා අතර ඉතා ජනප්‍රිය ව පැවැතුණු විලාශය යි. කුරුණෑගල යුගයේ දී බෝධි වංශයේ සිංහල පෙළක වූ පාඩුව සමනය කරනු සඳහා, කරුණා පෙරදැරි ව විල්ගම්මුල මාහිමියන්ට සිංහල බෝධි වංශයක් කිරීමට පාලි පොත පරිවර්තනයට පොළඹවා දීමෙන් ද්විතීය පණ්ඩිත පැරකුම්බාවන් දැක්වූ අනුග්‍රහය ද ප්‍රශංසනීය වේ.