මුනිවත ඩෙන්මාර්ක් ඤාණදීප හිමි චරිතය - අලව්වේ අනෝමදස්සි හිමි 2021.pdf
- කතෘ :
- අලව්වේ අනෝමදස්සි හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2021
- මුද්රිත වර්ෂය :
- 2021
- පිටු ගණන :
- 104
- බාගත කිරීම් ගණන :
- 875
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2022-06-17
- ගොනුවේ ප්රමාණය :
- 6.6 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මුනි වත යනු ඩෙන්මාර්කයේ උපත ලබා ශ්රී ලංකාවේ වසර 51ක කාලයක් වනගතව ධුතාංගධාරීව වැඩසිටි පූජ්ය ඩෙන්මාර්ක් ඤාණදීප මහා තෙරුන් වහන්සේගේ (1944–2020) ශ්රාවක චරිතාපදානය හා උන්වහන්සේගේ මුනි ගුණාංග විස්තර කෙරෙන ග්රන්ථයකි.
පූජ්ය අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත මෙම කෘතිය, සති අග අරුණ පුවත්පතේ පළවූ ලිපි මාලාවක් ඇසුරෙන් සකස් කර ඇත. ඤාණදීප හිමියන් වසර 13ක් තිස්සේ සමීපව ඇසුරු කරමින් උන්වහන්සේගේ පැවිදි ජීවිතය, ආරණ්යවාසී ප්රතිපදාව, විනයගරුක බව සහ ධර්ම ඥානය සියැසින් දුටු කරුණු හා තොරතුරු මෙහි ගැබ්ව පවතී.
2021 වසරේ පෙබරවාරි මස ප්රථම වරට රැකෙටුවගල ආරණ්ය සේනාසන භාරය මඟින් ධර්ම දානය පිණිස මුද්රණය කර ප්රකාශයට පත් කරන ලදී.
හැඳින්වීම
අවිද්යා අන්ධකාරයෙන් යුතුව ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමනක් උරුම කරගත් ශුරත්වයෙන් හා සතිමත් බවින් යුතු විමුක්තිකාමී මිනිසුන් සිටි ඉන්දියාවේ මධ්ය දේශය තුළ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් පහළ වූ සේක. ඒ උත්තම මනුෂ්ය රත්නය උතුම් බුද්ධත්වයට පත්වී, එදා සිටි නුවණැති මිනිසුන්ට නිවීමේ මග විවර කරවූ සේක. ඒ තථාගත දහමට අනුව ම චින්තනය හැසිර වූ උතුම් ශ්රාවකයන් පරියප්තියෙන් ප්රතිපත්ති ගරුකව මගඵල ප්රතිවේද කොට නිවී සැනසුණහ. ඒ උතුම් මුනි චරිතය තුළ ප්රකට වූ වැඩපිළිවෙලින් ශ්රද්ධාවත් ප්රඥාවත් මනාව විදහාපාමින් සුන්දර දිවි පෙවෙතක් ගෙවුහ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ඒ උත්තම බුදු වදන් සියල්ලම මතකයේ තබාගෙන සිටි ආනන්ද මහ රහතන් වහන්සේ පළමු ධර්ම සංගායනාවට එය ඉදිරිපත් කළ සේක. මෙසේ ඉදිරිපත් වූ මූලික බුදු වදන මිහිඳු මහරහතන් වහන්සේ ශ්රී ලංකාවේ සිටි නුවණැති මිනිසුන්ට දේශනා කළ සේක. ඒ තුළින්ද මනාව ශ්රාවක චරිතය පිළිබිඹු වූ උත්තමයන් බිහි වූ සේක.
කාලය ගතවත්ම ප්රඥාවන්තයින් අඩුවීගෙන යන විට ගැඹුරු තථාගත දහමට අනුව චින්තනය හැසිරවීමේ හැකියාව ඇති අය අඩු විය. එබැවින් විවිධ අර්ථකථනයන් තුළින් සද්ධර්ම ප්රතිරූපකයන් මතුවෙමින් එය ශාස්තෘ ශාසනය යැයි හැඳින්වෙන්නට විය. කලින් කළට අසාමාන්ය මනුස්සු ලොව පහළ වී මූලික තථාගත බුදු වදන ඉස්මතු කරමින් ශ්රද්ධාවත් ප්රඥාවත් තුළින් මනාව ශ්රාවක චරිතය පිළිබිඹු කරන්නට වූහ.
1944 වසරේ ඩෙන්මාර්ක් රටෙහි උපන් ජූන් නම් තරුණයාගේ සිතෙහි අසාමාන්ය චින්තන ස්වභාවයක් ප්රකට විය. එහි ප්රතිඵලයක් ලෙස ශ්රී ලංකාවේ පොල්ගස්දූව ආරණ්යයේදී හෙතෙම ඩෙන්මාර්කයේ ඤාණදීප නමින් පැවිදි වූහ. වසර 51 ක පැවිදි දිවියක් ගත කළ ඤාණදීප ස්වාමීන් වහන්සේ 2020.09.12 වන දින අපවත් වූ සේක. වසර 51 ක පැවිදි දිවිය තුළින් තථාගත ශ්රාවක ස්වභාවය වන මුනිවරුන්ගේ වත පිළිවෙත මනාව ප්රකට කළහ. එම පැවිදි දිවිය තුළ තමන්ගේ කියා කිසිදු සේනාසනයක් හෝ දායකයෙක් හෝ නොවූ අතර කිසිදු ශිෂ්ය භික්ෂුවක්ද නොවීය.
ඉතාම සමීපව වසර 13 ක පමණ කාලයක් ඩෙන්මාර්කයේ ඤාණදීප යතිවරයාණන් වහන්සේ ඇසුරු කිරීමේ භාග්යය මා හට උදා විය. එමෙන්ම ධර්මය ඉගෙන ගැනීමට ද හැකි වූ අතර මාගේ ගුරු උතුමන්ට මෙන් උපස්ථාන කිරීමේ භාග්යය ද උදාවිය. ඒ උතුමන්ගේ ශිෂ්යයකු නොවූවද, මා හට ශිෂ්යයකු ලෙසින්ම කටයුතු කිරීමේ භාග්යය ලැබුණි. එම වසර 13 ක කාලය පුරා ම මාගේ ගුරු උතුමෙකු ලෙස වැඩ සිටි ඤාණදීප ස්වාමීන් වහන්සේගේ ශ්රාවක චරිතය තුළ පිළිබිඹු වූ ශ්රද්ධාව, ප්රඥාව, මුනිගුණය, සද්ධර්ම ප්රීතිභාවය, කරුණාව, උපකාරශීලී බව, ධර්මයේ විශාරද බව මට දැනුණ අයුරු මෙම ග්රන්ථය තුළින් ඉදිරිපත් කරන්නට යෙදුනෙමි. එමෙන්ම පැවිදි වූ මුල් සමයේ සිට මා හට මුණගැසෙන තෙක් පුවත් තතු නවසීලන්තයේ ගුත්තසීල ස්වාමීන් වහන්සේගෙන්, කහත්තේවෙල සුගතවංශ ස්වාමීන් වහන්සේගෙන් හා ඤාණසුමන ස්වාමීන් වහන්සේගෙන්ද ලබාගත් අතර ඤාණදීප ස්වාමීන් වහන්සේ මවෙත වදාළ තොරතුරු මෙහි සඳහන්ය. එම තොරතුරු ලබා දුන් ස්වාමීන් වහන්සේලාට මාගේ ගෞරවය පිරිනමා සිටිමි. මෙම තොරතුරු වල ඉතාම අල්ප වශයෙන් අඩුපාඩු තිබෙන්නට පිළිවන. ඒ සඳහා සමාව ඉල්ලා සිටිමි. සමහර ගැමියන් ඤාණදීප ස්වාමීන් වහන්සේව දුටු ආකාරය ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, ඒවා කිසිසේත් මාගේ අදහස් නොව ගැමියන්ගේ අදහස් බව තේරුම් ගැනීම කටයුතුය. එමෙන්ම බුද්ධ වචනය අනුව ඤාණදීප ස්වාමීන් වහන්සේගේ ශ්රාවක චරිතය පිළිබඳව මා අත්දුටු කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම උතුම් ග්රන්ථය තුළින් මෙකල ගෞතම සසුනට ජීවයක් ලබා දුන් ශ්රාවක චරිතයක් ඉදිරිපත් කිරීම මෙන්ම ඤාණදීප ස්වාමීන් වහන්සේ පිළිබඳව නොදන්නා බොහෝ අයට තොරතුරු ලබා දීමට ද බලාපොරොත්තු වෙමි. ඤාණදීප ස්වාමීන් වහන්සේගේ ශිෂ්යයකු නොවුවත් ශිෂ්යයකු ලෙසින් ගුරු උතුමකුගේ ගුණවත් භාවය මේ තුළින් ඉස්මතු කොට පෙන්වා දීමට උත්සහ ගතිමි. මෙම ග්රන්ථය තුළින් ඉස්මතු වන මූලික බුදුවදනෙහි හමුවන සැබෑම ශ්රාවක චරිතය තුළ වූ “මුනි වත” ප්රකට කරගෙන සද්ධර්මානුස්සති ප්රීතිය තුළින් දහම දැකීමට උපනිශ්රය කරගනිත්වා..!
මෙම ධර්ම ග්රන්ථය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නන් අයුරින් උපකාර කළ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට, මෙහෙණින් වහන්සේලාට සහ ගිහි පින්වතුන් හට මෙම ධර්ම දානමය පුණ්ය කර්මය චතුරාර්ය සත්යය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා..!
තෙරුවන් සරණයි..!
අලව්වේ අනෝමදස්සි හිමි
රැකෙටුවගල ආරණ්ය සේනාසනය, වදේමඩ, ඕවිලිකන්ද, මාතලේ.
(ශ්රී බු.ව. 2564 ක් වූ නවම් මස) (2021 ක් වූ පෙබරවාරි මස)