ඉසිවරුන් දුටු මගේ භව ගමන - බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි 2017.pdf

කතෘ :
මෛත්‍රී රත්නායක
ප්‍රකාශිත වර්ෂය :
2017
මුද්‍රිත වර්ෂය :
2018
පිටු ගණන :
137
බාගත කිරීම් ගණන :
7,623
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-11-05
ගොනුවේ ප්‍රමාණය :
34 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 69

ඉසිවරුන් දුටු මගේ බව ගමන (1) බදුල්ලේ මෛත්‍රී රත්නායක මහතා විසින් සංස්කරණය කළ කෘතියකි. අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමඟ කර්තෘ පැවැත්වූ රූපවාහිනී සාකච්ඡා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ඇසුරෙන් මෙය සැකසී ඇත.

කර්තෘගේ ‘මගෙන් වදනක්’ සටහනට අනුව, මහ නාහිමියන් රසවාහිනී සඟරාවේ ලියූ ‘’අරුම පුදුම නාඩි වාක්‍ය’’ ලිපිය කියවීමෙන් පසු ඔහු නාඩි වාක්‍ය (කාණ්ඩම් කියවීම) පිළිබඳ සොයා බැලීම ඇරඹීය. 1988 පමණ සිට වසර දෙකකට වැඩි කාලයක් කොල්ලුපිටියේ නාඩි වාක්‍ය කියවන්නන් ඇසුරු කරමින් විවිධ පුද්ගලයින්ගේ අත්දැකීම් රැස් කළ ආකාරය ද, ඒ ඇසුරෙන් නිපදවූ ‘ඉසිවරුන් දුටු බව ගමන’ වීඩියෝ වාර්තා චිත්‍රපටය ද එහි සඳහන් වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාගේ අත් අකුරින් ලියූ පෙරවදනක්, මහ නාහිමියන්ගේ ජීවන තොරතුරු (1896 උපත - 1998 අපවත්වීම) හා ගෞරව සම්මාන උපාධි ලැයිස්තුවක්, චිත්‍රපටයට දායක වූ අපවත් වූ / දිවංගත වූ පුද්ගලයින් සිහිකරන සටහනක් ද, කාලාම සූත්‍ර උද්ධෘතයක් ද පෙරවදන් කොටසේ ඇතුළත්ය. ග්‍රන්ථය අවසානයේ මහ නාහිමියන්ගේ ඡායාරූප කිහිපයක් ද ඇත.

මෛත්‍රී රත්නායක පදනම (ගෝනවල, කැලණිය) විසින් කර්තෘ ප්‍රකාශනයක් ලෙස පළ කළ මෙහි පළමු මුද්‍රණය 2017 අගෝස්තු මාසයේ නිකුත් විය. මෙම පිටපත 2018 මැයි සිවුවන මුද්‍රණයයි. ISBN 978-955-42360-0-4.

නිවන් සුව අත්වේවා....!

ඉසිවරුන් දුටු බව ගමන නම් වූ වීඩියෝ වාර්තා චිත්‍රපටය නිපදවීමේදී සම්මුඛ සාකච්ජා ලබා දීමෙන් සහ නන් අයුරින් උදව් උපකාර කළ බොහෝ දෙනෙකු මේ වනවිට මෙම භවයෙන් සමුගෙන ඇත. ඒ හැම ගෞරවයෙන් සිහිපත් කරමින් මෙම සටහන ගෞරව නමස්කාර පූර්වකව පූජා කරමි.

අපවත් වී වදාල අභිධජ මහා රට්ඨගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් වහන්සේට

ලෝක පූජිත තාරකා විද්‍යාඥ ආතර් සී. ක්ලාක් ශ්‍රීමතාණන්ට.

ලංකා රක්ෂණ ආයතනයේ සභාපතිව සිටි මහාචාර්ය ලීනස් ද සිල්වා ශ්‍රීමතාණන්ට.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිව සිටි මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ශ්‍රීමතාණන්ට.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නන්දසේන රත්නපාල ශ්‍රීමතාණන්ට.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එච්.එම්. සිරිසෝම ශ්‍රීමතාණන්ට.

හිටපු මහ දිසාපති ඩී. එච්. අර්සකුලසූරිය ශ්‍රීමතාණන්ට.

මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජනමාධ්‍යවේදී ප්‍රභාත් මානවසිංහ ශ්‍රීමතාණන්ට

උපාලි පුවත්පත් සමූහයේ ‘’දිවයින’’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ දයාරත්න රණසිංහ ශ්‍රීමතාණන්ට.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සහකාර අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජන මාධ්‍යවේදී එච්.එම්.ගුණසේකර ශ්‍රීමතාණන්ට.

වියත් ලේඛක පුවතිසි අලගියවන්න ශ්‍රීමතාණන්ට.

වියත් ජනමාධ්‍යවේදී අරූල් රාජා ශ්‍රීමතාණන්ට.

මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ වීඩියෝකරණ ශිල්පි සමන් රංගනාත් ද සිල්වා මහත්මාට.

ශ්‍රී කෞෂික අගස්තියර් නාඩි ජ්‍යෝතිෂ්‍යය ආයතනයේ නාඩි වාක්‍ය කියවීමෙන් සහය දුන් ශ්‍රී චන්ද්‍රසේකරන් මහත්මාට.

මගෙන් වදනක්,

කුඩා කල සිටම විවිධ විෂයයන් අලලා ලියැවුණ පත පොත කියවීමට මම මහත් අභිරුචියක් දැක්වීමි. දහවන පන්තිය පමණ වනවිට එවකට මා ඉගෙනීම කළ බදුල්ල මහා විද්‍යාලයේ පුස්තකාලයේ ඇති පොත් රැසක්ම කියවා තිබිණි. එක් අවස්ථාවක සිදු වූ සිදුවීමක් මගේ මතකයේ තවමත් රැඳී පවතී. පුස්තකාලයේ එක් අල්මාරියක ලස්සනට පෙළ ගස්වා තිබූ කවුරුත් අත නොගැසූ පොත් පෙළක් මා නෙත ගැටුනි.

ඒ ත්‍රිපිටක පොත් පෙලයි. එම පොත් සියල්ලම කියවා අවසන් කළ යුතු යැයි මට සිතක් පහළ විය. පොතක් ගතිමි. එය ත්‍රිපිටකයට අයත් විනය පිටකයේ පාරාජිකා පාලියට අයත් පොතක් විය. විවේක ඇති විටෙක පන්තියේ අන්තිම පෙළට වී පොත කියවමින් සිටියෙමි. අලුත පාසලට පත් වූ ගුරු ස්වාමීන් වහන්සේ මා කරා පැමිණ මගේ අතින් පොත උදුරා ගෙන පොත දෙස බලා ‘’තමුන් මොකටද මේ පොත් කියවන්නේ’’ කියා කන හරහා පහරක් ගසා පොත රැගෙන ගිය සේක. එදා පටන් මට ත්‍රිපිටකය කියවීම එපා විය. ඒ පාසල් සමයේදීය.

පොත් කියවීම හැරුණු විට මගේ සිත් ගත් තවත් විෂයයන් කිහිපයක් විය. භූත විද්‍යාව, මනෝ විද්‍යාව, ජ්‍යෝතිෂ්‍යය, හස්ත රේඛා විද්‍යාව, මලවුන් කැඳවීම,වැනි පත පොත කියවීමට ද ඒ පිළිබඳ කෙරෙන කටයුතු නිරීක්ෂණය කිරීමට ද මම මහත් සේ ඇලුම් කළෙමි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ස්ථානවලට ගොස් ඒවා නිරීක්ෂණය කිරීමටද මම උත්සුක වුණෙමි.

ඒවායේ සත්‍ය අසත්‍යතාව සෙවීම මගේ පරමාර්ථය නොවූ අතර ඒ පිළිබඳ විමසිලිමත්ව නිරීක්ෂණය කිරීම මගේ සිරිත විය.

දිනක් රසවාහිනී සඟරාවක පළ වූ අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘’අරුම පුදුම නාඩි වාක්‍ය’’ නම් වූ ලිපිය කියවීමට මට අවස්ථාව ලැබුණි. ඒ වනවිට අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් මා කිසි දිනෙක දැක නොතිබිණි. කතා බහ කර නොතිබිණි. උන්වහන්සේ විසින් රචිත පත පොත ලිපි ලේඛන පමණක් කියවා තිබිණි.

එහෙත් උන්වහන්සේ පිළිබඳ මා තුළ කුඩා කළ සිටම පැවතියේ අසීමිත ගෞරවයකි. ආදරයකි. භක්තියකි.

‘’අරුම පුදුම නාඩි වාක්‍ය’’ ලිපිය කියවීමෙන් පසු මේ පිළිබඳ කරුණු සෙවීමට මට සිතක් පහල විය. ලංකාවේ විවිධ පළාත්වලට ගිය අවස්ථා දී මේ පිළිබඳ කරුණු සෙවූ නමුත් ‘’නාඩි වාක්‍ය’’ කියවන්නන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් හෝ සොයා මට ගැනීමට නොහැකි විය.

වසරකට වරක් දෙවරක් ඉන්දියාවේ සිට නැව් මගින් ‘’නාඩි වාක්‍ය’’ කියවන්නන් යාපනයට පැමිණෙන බවත්, යාපනයේ රැඳී සිට ඔවුන්ගේ සේවය ලබා ගැනීමට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන අයට ‘’නාඩි වාක්‍ය’’ කියවන බවටද ආරංචියක් මට ලැබිණි.

ද්‍රවිඩ ජනතාව කලින් වෙන් කරවා ගත් දිනවල යාපනයට ගොස් මෙම ‘’නාඩි වාක්‍ය’’ කියවා ගන්නා බවටද ආරංචි විය.’නාඩි වාක්‍ය’’ කොළඹ වෙසෙන ද්‍රවිඩ පවුල්වල අය අතර බෙහෙවින් ප්‍රචලිතව ඇති බව ද දැන ගන්නට ලැබුණි. මා යාපනයට ගිය අවස්ථාවක ‘’නාඩි වාක්‍ය’’ කියවන්නන් පිළිබඳ සෙවූ විට දැන ගන්නට ලැබුණේ ඔවුන් ඒ වන විටත් ආපසු ඉන්දියාවට ගොස් ඇති බවයි.

ද්‍රවිඩ ජනතාව මෙම ක්‍රමය හැඳින් වූයේ කාණ්ඩම් කියවීම නමිනි.

1988 දී පමණ නාඩි කියවන්නන් කොළඹ කොල්ලුපිටියේ වෙසෙන බවට ලද ආරංචිය අනුව මම ඔවුන් සොයා ගියෙමි. කොල්ලුපිටියේ නිවෙසක් කුලියට ගෙන සිටි නාඩි කියවන පිරිස මට හමුවිය.

පසුව මේ පිරිස කොල්ලුපිටියේ විජිලන්ඩ් හෝටලයේ රැඳී සිටිමින් සිය සේවා කටයුතු කළහ. දිනකට තුන් හාරසියයක පමණ පිරිසක් නාඩි වාක්‍ය ඇසීමට පැමිණෙන අතර නාඩි වාක්‍ය කියවීමේ අවස්ථාව දිනකට සලසා දිය හැකිව තිබුණේ ඉන් 20 කට හෝ උපරිම 25 කට පමණි.

එහෙයින් මෙම අවස්ථාව ලබා ගැනීම සඳහා බොහෝ විට අවුරුද්දක්, සමහර විට අවුරුදු දෙකක් පමණ ගත වූ අය ද මට හමුවිය. මට එම අවස්ථාව උදා වූයේ වසර එක හමාරකට පමණ පසුවය.

මා සහ මගේ පවුලේ අයගේ ද තවත් මගේ හිතවතුන්ටද සම්භාවනීය පුද්ගලයින්ට ද මෙම අවස්ථාව ලබාදීමට මට හැකි විය. වසර දෙකකට වැඩි කාලයක් කොල්ලුපිටියේ විජිලන්ඩ් හෝටලයේ රැඳී සිටිමින් නාඩි වාක්‍ය කියවීමට පැමිණෙන විවිධ පුද්ගලයින් හා ඔවුන්ගේ අදහස් හා මති මතාන්තර ද නාඩි වාක්‍ය ගැන, පෙර අත්දැකීම් පිළිබඳව අන් අයගේ අදහස් සෙවීමටත් මට අවස්ථාව ලැබුණි. මෙම කාර්යයේ දී අගස්ති කෞෂික නාඩි ආයතනයේ ආචාර්ය ජයසංබර් මහතාත් එම කාර්ය මණ්ඩලයෙනුත් ලද නොමඳ සහාය මම ස්තුති පූර්වකව සිහිපත් කරමි. ජයසංබර් මහතා ඇතැම් වැදගත් පුද්ගලයින් හා කාන්තාවන් මට හඳුන්වා දෙමින් මගේ කටයුතුවලට බෙහෙවින් උදව් කළ බව නැවතත් සිහිපත් කරමි.

මෙම දෙවසර තුල නාඩි වාක්‍ය ඇසීමට එවකට සිටි ජනාධිපතිතුමා, මැති ඇමැතිවරුන්, විදේශීය රාජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීන්, විවිධ රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයින්, මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්, පසුකාලීනව ඉතා ජනප්‍රිය වූ ප්‍රසිද්ධ කලාකරුවන්, අධ්‍යක්ෂවරුන්, පරිපාලන ලේකම්වරුන්, දිසාපතිවරුන් හා විවිධ තරාතිරමේ නිලධාරීන් ද සාමාන්‍ය ජනයා ද පැමිණෙන ආකාරය මට දක්නට ලැබුණි.

බෞද්ධ භික්ෂූන් වහන්සේ, මුස්ලිම් හා කතෝලික දේවගැතිවරුන් ද කන්‍යා සොයුරියන්ද මෙම නාඩි වාක්‍ය කියවා ගැනීමට පැමිණ සිටිනු බොහෝ අවස්ථාවල දැකගැනීමට මට හැකි විය.

එහෙත් ඒ කිසිවෙකු හෝ නාඩි වාක්‍ය පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ ද පෞද්ගලිකව මා හා තොරතුරු බෙදා ගත් අතර ඔවුන් ඒවා ප්‍රසිද්ධ නොකරන ලෙසටද ඉල්ලීමක් කළේය.

එවකට සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුව සිටි මා මිත්‍රයෙකු සේ එකල සැලකූ වර්තමානයේ මහා ප්‍රබල දේශපාලනඥයෙකු නාඩි වාක්‍ය කියවීමට මා හරහා අවස්ථාව ලබාගත් අතර එකී මන්ත්‍රීවරයාට එවකට පැවති තදබල අපල හේතුවෙන් ජීවිත හානි සිදුවීමට ඉඩ ඇති බවත් එය වළක්වා ගැනීමට කළයුතු පුද පූජා පිළිබඳවත් නාඩි වාක්‍ය මගින් ප්‍රකාශ කරනු ලැබිණි. සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට එකී පුද පූජා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන ලෙසට ඒ මන්ත්‍රීවරයාට මම දැන්වීමි.