කෙසේ නිවන් දකිමුද - සුගතදාස අප්පුහාමි.pdf

කතෘ :
සුගතදාස අප්පුහාමි
පිටු ගණන :
40
බාගත කිරීම් ගණන :
1,381
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-08-26
ගොනුවේ ප්‍රමාණය :
380 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 21

කෙසේ නිවන් දකිමුද? (හෙවත් දහම් ගවේෂණය) යනු කඳුබොඩ සම්ප්‍රදායේ විපස්සනා කම්මට්ඨානාචාර්යවරයෙකු වූ කේ.වී.ඒ. සුගතදාස අප්පුහාමි මහතා විසින් සම්පාදිත ප්‍රායෝගික භාවනා හා ධර්ම මාර්ගෝපදේශ ග්‍රන්ථයකි. කර්තෘවරයා සතු දීර්ඝකාලීන ධර්ම සාකච්ඡා, ධර්මානුශීලන සහ භාවනා අත්දැකීම් පදනම් කරගනිමින් මෙම කෘතිය රචනා කර තිබේ.

මෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සතර සතිපට්ඨාන ශුෂ්ක විදර්ශනා භාවනා ක්‍රමය, ත්‍රිහේතුක කුසල් උපදවා ගැනීමේ පිළිවෙත, බෞද්ධයෙකුගේ නිවැරදි පැවැත්ම සහ දාන ශීලාදී පාරමී පුරමින් නිවන් මග වඩාගන්නා ආකාරයයි.

  • කාලාම සූත්‍රය සහ බෞද්ධ චින්තනය
  • ත්‍රිහේතුක පින සහ දාන, ශීල ආරක්ෂා කිරීමේ පිළිවෙළ
  • විදර්ශනාවේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය හා දස පාරමී පිරීම
  • සතර සතිපට්ඨාන ශුෂ්ක විදර්ශනාව සහ කමටහන් වැඩීම

අභාවප්‍රාප්ත කම්මට්ඨානාචාර්ය කේ.වී.ඒ. සුගතදාස අප්පුහාමි මහතාගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් පවුලේ ඥාතීන් විසින් මෙම ග්‍රන්ථය නොමිලේ බෙදාහැරීම සඳහා මුද්‍රණය කර ඇත.

පිදුම

අපවත්වී වදාළ ස්වේජින් නිකායේ අනුනායක සහ සමස්ත ලංකා විදර්ශනා ප්‍රධාන කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ සුමතිපාලාභිධාන මාගේ ප්‍රධාන ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ඇතුළු දැනට අපවත් වී වදාරා ඇති ගරු පූජ්‍ය වේයන්ගොඩ ධම්මදස්සී හිමියෝ, ගරු පූජ්‍ය අලදෙණියේ සද්ධානන්ද හිමියෝ, ගරු පූජ්‍ය කටුකැලේ සීවලී හිමියෝ, ගරු පූජ්‍ය කොස්වත්තේ ඥාණාරාම හිමියන් යන ස්වාමීන් වහන්සේලා ඇතුළු දැනට වැඩ වසන ගරු පූජ්‍ය නාකන්දන අනෝමදස්සී හිමියෝ, ගරු පූජ්‍ය මඩවල උපාලි හිමියෝ, ගරු පූජ්‍ය පනාවල ධම්මින්ද හිමියෝ, ගරු පූජ්‍ය පේමසිරි හිමියෝ ඇතුළු කී නොකී ගරු ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාටද, මා ඇති දැඩිකළ කළ්‍යාණ කළ ආදරණීය දෙමවුපියන් වහන්සේලාටද, මට නන් අයුරින් මෙම සත් ක්‍රියාවට මහෝපකාරී වූ ආදරබර බිරින්දෑටද, දුවරු සහ බෑනාවරු අටදෙනාටද වේවා..!

කමටැදුරු,
මෙයට
කමටැදුරු,
කේ.වී.ඒ සුගතදාස අප්පුහාමි,
”සිරිපැල”, වැගම,
ගොකරැල්ල.

පෙරවදන

”යෝ වෙ වස්සසතං ජීවෙ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මං මුත්තමං..”

උතුම් වූ ධර්මය නොදැක අවබෝධ කර නොගෙන අවුරුදු සියයක් ජීවත් වනවාට වඩා ධර්මය දකිමින් එක් දවසක් ජීවත් වීමම ශ්‍රේෂ්ඨය යන උතුම් බුදු වදන අනුව සිතා බැලීමේදී ධර්මාවබෝධය කිරීමේ ඇති වටිනාකම මැනවින් තේරේ. ධර්මාවබෝධය පිණිස යෝග්‍ය ධර්ම පුස්තක කියවීම, අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වේ. එසේ ධර්මාවබෝධයට උපකාරී වන ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් වශයෙන් මේ ”දහම් ගවේෂණය හෙවත් කෙසේ නිවන් දකිමුද?” නමැති පුස්තකය හඳුන්වා දිය හැක.

මෙම පුස්තකයේ කතෘ වන ගොකරැල්ල, වැගම පදිංචි කේ.වී.ඒ. සුගතදාස අප්පුහාමි මහතා ඒ වෙනුවෙන් විශාල මහන්සියක් දරා තිබේ. ධර්මයෙහි පිහිටා ධර්මය කියාදීම බුද්ධ නියමයයි. ඒ අනුව මෙම ග්‍රන්ථයේ කතෘතුමා අවුරුදු 35 කට වැඩි කාලයක සිට අප ඉතා හොඳින් දන්නා හඳුනන අයෙකි. කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මූලස්ථානාධිපති අපවත්වී වදාල අතිගෞරවාර්හ නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ සිට ඉතා හොඳින් භාවනාව ප්‍රගුණ කළ අයෙකු නිසා කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා කම්මට්ඨානාචාර්ය සංගමයේ සභික ධුරයක් ද ලබාගැනීම සුවිශේෂ සිද්ධියකි. එමෙන්ම දිවයිනේ නොයෙකුත් ස්ථාන රාශියකම ධර්මාචාර්ය වරයෙකු වශයෙන් විශාල පිරිසකට භාවනාව පුරුදු කර ඇත.

කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානය, මාවතගම විපස්සනා භාවනා මධ්‍යස්ථානය ආදී සිද්ධස්ථාන රාශියකම විවිධ අන්දමේ මහා කුසල ක්‍රියාවන්හි යෙදෙමින් දහම් පොත්පත් පරිශීලනය කරමින් ධර්මය පිළිබඳව මනා අවබෝධයක් ඇති ඉතා ගුණගරුක මහෝපාසකතුමෙක් වශයෙන් ඉතාම සතුටින් පළ කරමින් තවදුරටත් මෙම දහම් සේවය කිරීමට තුණුරුවන් බෙලෙන්, දේවාශීර්වාදයෙන් නිදුක් නීරෝගී, දීර්ඝායුෂ ලැබේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරම්හ.

මේ වගට,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැලව විල්ලි හත්පත්තුවේ,
ප්‍රධාන සංඝනායක,
මාවතගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති,
කම්මට්ඨානාචාර්ය, කර්මාචාර්ය,
මාවතගම භාවනා මධ්‍යස්ථානාධිපති,
පනාවල ධම්මින්ද මහා ස්ථවිර
(කඳුබොඩ ශාඛාව)

සම්පාදකගෙන් යමක්..

සබ්බ බුද්ධානං අවිජහිතං සතිපට්ඨානං

මේ පොත් පිංච සකස් කරනුයේ ධර්ම සාකච්ඡා, දහම් පොත් බැලීම, දහම් ඇසීම ආදියෙන් වසර පනහකට වැඩි පුරුද්ද සහ සමථ භාවනාව ගුරු ඇසුර යටතේ භාවනා කිරීමේ වසර තුනහමාරක සහ ශුෂ්ක විදර්ශනා හෙවත් සතර සතිපට්ඨානය ගුරු ඇසුර යටතේ භාවනා කිරීමේ වසර තිස් හයකට වැඩි පුරුද්දක් සහ විදර්ශනා කම්මට්ඨානාචාර්යවරයෙකු වශයෙන් වසර දහසයක් යන මේ කරුණු සියල්ලෙන්ම එක් කරගත් පළපුරුද්ද සහ දැනුම ඔස්සේ බව මම නිහතමානීව පළමුව මතක් කරමි.

ලෝකය පිහිටියේ මෙසේය, භෞතික ලක්ෂණ මෙසේය, ස්වභාවික වෘක්ෂලතා මෙසේය, දේශගුණික ලක්ෂණ මෙසේය, ආර්ථිකය මේ මේ ආකාරය, මූලද්‍රව්‍යයේ අනුකභාවය මෙසේය, විකිරණශීලීත්වය මෙසේය, සෘණත්වය මෙසේය, පරමාණුව මෙසේය, පරමාණුව සැදී ඇත්තේ මෙසේය, අයින්ස්ටයින්ගේ ක්වාන්ටුම්වාදය මෙසේය, නිවුටන්ගේ න්‍යායන් මෙසේය, මේවායේ සත්‍යතාවය සනාථ කළ හැක්කේ මෙසේය, යනාදීන් වසර 13 ක් පුරා ළමයෙක් පංති කාමරයක දමා අධ්‍යාපනය දුන්නත් එයින් බිහිවන්නේ සදාචාරවත් ළමයෙක්දැයි ඔබ කල්පනා කර බලන්න. එසේනම් දැනට ලංකාවේ සහ ලෝකයේ වන සාහසික සහ සාහසික නොවන අපරාධ ගණන අඩුද, වැඩිද ඔබම කල්පනා කර බලන්න. වී ඇත්තේ වැඩිවීමයි. එසේ නම් මේ ක්‍රමය හරිද? වැරදිද?

”තැනුවා නම් තම සිත තැනුවාමයි”

කියා ලෝවැඩ සඟරාවේ කියා ඇති කවි පදයද සිහි කරන්න. එසේ නම් කළ යුත්තේ ”මනස” සෑදීමය. එසේ නම් පංති කාමරයේ වසර 13 ක් පුරා ළමයාට කළ කාර්ය වැරදි ඇත. එසේ නම් කළ යුත්තේ ළමයාගේ මනස සෑදීමය. එය කිරීමට නම් එකදිගට දින 15 ක් පමණ සතර සතිපට්ඨානයේ එම ළමයාව යොදවා බලන්න. තමාද යෙදී බලන්න. එවිට ඇත්ත, නැත්ත ඔබටම වැටහේ.

ලෝකයේ දැනට සිටින උගතුන් යයි කියන්නේ අතීතයේ සිටියේ නූගතුන්ය යන්න කෙසේ පිළිගත හැකිද? එකල දැන් වාගේ සිතාමතා කරන උපක්‍රම යොදා කරන අපරාධ කෙතරම් අඩුද යන්න සිතන්න. එය වූයේ කිනම් හෝ ආගමික පරිසරයක් මත එදා ජීවත් වූ අය හැදුනු වැඩුනු නිසා නොවේද?

මිනිසාගේ සාමාන්‍ය සෑදීම සහ උපරිම සෑදීම සහ නිවන් අවබෝධ කිරීමට ඇති එකම මග ”ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝකපරිද්දවානම් සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථං ගමාය ඤාණස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියා ය. යදිදං චත්තාරෝ සතිපට්ඨානා..” යනුවෙන් බුදු පියාණන් දේශණා කර ඇත. බුදු පියවරු කිසිදිනෙක බොරු වන දෙයක් හෝ නිෂ්ඵල දෙයක් නොවදාරති. එය සිත්හි තබාගෙන සියල්ලෝම ”සතර සතිපට්ඨානය” වඩන්වා! සති පට්ඨානය ඇත්තේ කියවීමට නොවන බවද සිතත්වා! එදා කුරු රටවාසීන් ගැනද සිතා බලන්න. සතිපට්ඨාන සූත්‍රයේ ඇති මෙය දින 7 සිට වසර 7 දක්වා හරියාකාරව කලොත් අනාගාමී හෝ රහත්වන බවද, බුදු පියාණන් දේශනා කර ඇත. ධර්මය වඳින ගාථාව ගැනද සිතන්න.

සියළු සත්වයෝ සතර සතිපට්ඨානයම ප්‍රායෝගිකව වඩා නිවන් අවබෝධ කරගනිත්වා..!

සියළු සත්වයෝ සුවපත් වෙත්වා..!

කමටැදුරු,
කේ.වී.ඒ. සුගතදාස අප්පුහාමි,
”සිරිපැල”, වැගම,
ගොකරැල්ල.