පස්විසි වසරක අමිල සසුන් පෙළහර - අඟුල්ගමුවේ අරියනන්ද හිමි චරිතාපදානය 2017.pdf
- කතෘ :
- අගුල්ගමුවේ අරියනන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2017
- මුද්රිත වර්ෂය :
- 2017
- පිටු ගණන :
- 231
- බාගත කිරීම් ගණන :
- 2,479
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-02-27
- ගොනුවේ ප්රමාණය :
- 159 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කම්මට්ඨානාචාර්ය අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද මහා ස්වාමීන්ද්රයන් වහන්සේගේ පැවිදි දිවියට විසිපස් (25) වසරක් සපිරීමත්, නා උයන ආරණ්ය සේනාසනය ඇසුරු කරමින් ආරම්භ කළ ශාසනික මෙහෙවරට වසර විස්සක් (20) සපිරීමත් සහ උන්වහන්සේගේ 54 වන ජන්ම දිනය නිමිති කරගෙන ශිෂ්ය පිරිස විසින් සම්පාදනය කරන ලද චරිතාපදාන හා උපහාර ග්රන්ථයකි.
මෙහි නා උයන ආරණ්ය සේනාසනයේ ඓතිහාසික පසුබිම, විගොඩ බෝධිරක්ඛිත හිමි, කඩවැද්දුවේ ජිනවංශ හිමි සහ නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේලාගේ ශාසනික මෙහෙය, අඟුල්ගමුවේ අරියනන්ද හිමියන්ගේ ගිහි-පැවිදි ජීවිතය, ආරණ්ය සේනාසනය ආශ්රිත භාවනා වැඩසටහන් හා එහි සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. නාපාන පෙමසිරි මහ නාහිමි ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාද පණිවිඩ ද මෙහි අන්තර්ගතය.
මෙම කෘතිය 2017 වසරේ දී අරියමග්ග සංවිධානය මඟින් නොමිලේ බෙදාහැරීම පිණිස ප්රකාශයට පත් කර ඇත.
පෙරවදන
නා උයන ආරණ්ය සේනාසනය පැරණි රජ කාලයේ පටන් පැවත ආ බවට සාධක දකින්ට ලැබේ. ගරාවැටුන චෛත්යයක් හා කොරවක් ගල් ද කටාරම් කෙටූ ගල්ලෙන් ද දකින්ට ලැබේ. භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා මෙමස්ථානය සොයා ගෙන ඇත්තේ පූජ්ය විගොඩ බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේ විසිනි. අපවත් වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම අනුනායක මා හිමිපාණන් වහන්සේ කුඩා කාලයේ පැවිදි කිරීමට මා හිමිපාණන් වහන්සේගේ පියතුමා විසින් භාර කර ඇත්තේ පූජ්ය විගොඩ බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේ වෙත ය.
ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ සමුත්පාදක අතිපූජනීය කඩවැද්දුවේ ශ්රී ජිනවංසාභිධාන මා හිමිපාණන් වහන්සේ 1954 වර්ෂයේ මුල භාගයේ දී පමණ මෙමස්ථානය දැක සතුටු වී එය යෝගාශ්රම සංස්ථාවේ ශාඛාවක් ලෙස පත් කර ගෙන ඇත. ඉන් පසු 1997 වර්ෂයේ මුල භාගයේ දී පමණ පූජ්ය නාරන්ගස්පිටියේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මෙහි කටයුතු සොයා බලා ගෙන සිටියහ. නමුත් එම ස්වාමීන් වහන්සේ රෝගාතුර වීම නිසා පූජ්ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ අවසරය පරිදි තවත් භික්ෂූන් වහන්සේලා සමඟ වැඩම කර මෙම සෙනසුනේ වැඩ ආරම්භ කළෝ ය.
ඒ වන විට මෙහි තිබුණේ කුටි කීපයක් පමණි. ගරාවැටී තිබුණ චෛත්ය ද ප්රතිසංස්කරණය කර ඒ අසල, බිම් තට්ටුවේ කාමර නවයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි විය. උඩ මාලය බුදු මැදුර සහ භාවනා ශාලාව විය. පූජ්ය අරියනන්ද ස්වාමීන් වහන්සේට කුටි නිර්මාණ කිරීමේ හසළ දැනුමක් තිබේ. දැනට කුටි දෙ සියයකට වැඩි ප්රමාණයක් ද විශාල දාන ශාලාවක් ද සීල ශාලාවක් ද මහල් හතරේ නව සීමා මාලකයක් ද ඉදි වී තිබේ. සීමා මාලකයේ බිම් මහලේ දර්ශනීය බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් වී ඇත. දෙවන මහල පුස්තකාලය සඳහා ද තුන් වන මහල බුදු මැදුර හා භාවනා ශාලාව සඳහා ද හතර වන මහල විවේකී ව භාවනා කිරීමට ද වෙන් වී ඇත. නව සීමාව අසල පොඩි සීමාවක් ද ඉදි වී ඇත. මේ සියලු ගොඩනැගිලි ඇත්තේ සෙනසුනේ පහළ කොටසේ ය.
නා උයන සෙනසුන ප්රධාන කොටස් තුනකින් සමන්විත ය. පහළ කොටස, මැදකන්ද කොටස සහ මාතලේ කොටස එම කොටස් වේ. මැද කන්දේ ද මහල් දෙකේ විශාල භාවනා ශාලාවක් ද කුටි ද තිබේ. වැඳුම් පිදුම් කිරීමට බෝධීන් වහන්සේ නමක් ද වැඩ සිටිති. බෝධිඝරයක් ද සහිත ය. වෙනම දාන ශාලාවක් ද මෙහි ඉදි වී තිබේ. මාතලේ කොටසේ ද තට්ටු දෙකේ විශාල භාවනා ශාලාවක් ද පිණ්ඩපාත ශාලාවක් ද කුටි ද ඉදි වී ඇත. වැඳුම් පිදුම් කිරීමට බෝධීන් වහන්සේ නමක් ද දර්ශනීය චෛත්යයක් ද වැඩ සිටිති.
පහළ කොටස, මැද කන්ද සහ මාතලේ කොටස යන කොටස් තුන ම හැම අතකින් ම අංග සම්පූර්ණ ය. සෑම කොටසකට ම උල්පත් ජලය හා ළිංවලින් පිරිසිදු ජලය සැපයේ. විදුලි ආලෝකය ද ඇත. මැද කන්දට යෑමට විදුලි බලයෙන් ක්රියා කරන ඩක්කුවක් ද තිබේ. එයට අමතරව පඩි 776 කින් යුත් පඩි පෙළක් ද ඇත.
ස්වාමීන් වහන්සේලා 150 නමක් පමණ වැඩ සිටිති. උපාසක මහතුන් විසි දෙනෙක් පමණ සිටිති. මේ සියලු දෙනාට ම ඉඳුම් හිටුම්, දානමානාදී සියල්ල නො අඩුව සැපයේ. මේ සියලු ම කටයුතු පූජ්ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණය යටතේ කෙරීගෙන යයි. පූජ්ය අරියනන්ද ස්වාමීන් වහන්සේ ප්රධාන කර්මස්ථානාචාර්යන් වහන්සේ ය. සහයට තවත් දෙ තුන් නමක් සිටිති. මෙම සෙනසුනේ විදේශික යෝගීන්ට ද සියලු පහසුකම් සැලසී ඇත. ඔවුන්ට සුදුසු ආහාර වෙන ම සැකසී ඇත. පූජ්ය අරියනන්ද ස්වාමීන් වහන්සේ විසින් සතියකට දෙ වරක් ධර්ම සාකච්ඡා ද භාවනා උපදෙස් ද දෙනු ලැබේ.
නා උයන සෙනසුනේ වර්තමාන දියුණුව ප්රධාන වශයෙන් පවතින්නේ පූජ්ය අරියනන්ද ස්වාමීන් වහන්සේගේ වීර්ය හා දුරදර්ශී භාවය නිසා බව නොරහසකි. පූජ්ය අරියනන්ද ස්වාමීන් වහන්සේ චීනය, තායිවානය ආදී විදේශික රටවල් සමඟ ඇති සම්බන්ධකම් නිසා ඔවුන්ගේ නො මසුරු ආධාර ද ලැබේ.
මෙලෙස පූජ්ය අරියනන්ද ස්වාමීන් වහන්සේ නා උයනෙහි ඇරඹි සාසනික මෙහෙවරට වසර 20 ක් සපිරීම හා පැවිදි ජීවිතයට වසර 25 ක් සපිරීම නිමිති කරගනිමින් උන්වහන්සේගේ 54 වන ජන්ම දිනයෙහි පිදෙන මෙම පොතට පෙරවදනක් ලිවීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන අතර පූජ්ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේට තව තවත් සාසනික සත් ක්රියා කිරීමට නිදුක් නිරෝගී සුව ශක්තිය වීර්ය ලැබේවා..! යි ආශිංසනය කරමි.
මේ වගට, සසුන් ලැදි, නා උයන අරණ්යවාසී, පූජ්ය මීගොඩ සංඝසෝභන ස්ථවිර.
පූජ්ය මීගොඩ සංඝසෝභන ස්ථවිර.
පුණ්යානුමෝදනාව
ශ්රී ගෞතම සර්වඥරාජෝත්තම සම්මාසම්බුදු සසුන්හි ප්රවරතර සංඝපිතෲවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජනීය අප ආචාර්යෝත්තම අඟුල්ගමුවේ අරියනන්ද මහා ස්වාමීන් වහන්සේගේ
- උතුම් ප්රව්රජ්යාවෙන් වසර 25 ක් සපිරීම හා - නා උයන අරණ්යයෙහි භාවනා පිළිවෙත් මග උතුම් සාසනික වැඩසටහන අරඹා වසර 20 ක් සපිරීම
වනුයේ මෙම 2017 වසරදී ය. ඉහත අරමුණු පෙරදැරිව ඒ උතුම් ප්රව්රජ්යා දිවිය හා සසුන් මෙහෙවර පිළිබඳ ලියවුනු මෙම ග්රන්ථයට අප පූජනීය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ආසිරි පැතුම් එක්කළ,
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජනීය මහා නායක මා හිමිපාණන් වහන්සේ,
අමරපුර ශ්රී ධර්මරක්ෂිත මහා නිකායේ අතිපූජනීය මහා නායක මා හිමිපාණන් වහන්සේ,
ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ ප්රධාන අනුශාසක අතිපූජනීය මා හිමිපාණන් වහන්සේ,
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජනීය අධිකරණ නායක ස්වාමීන් වහන්සේ,
ඉන්දියානු මහා බෝධි සමාගමෙහි අතිපූජනීය මහලේකම් ස්වාමීන් වහන්සේ,
ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ අතිපූජනීය ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ,
ප්රාදේශීය සාසනාරක්ෂක බලමණ්ඩලයේ අතිපූජනීය ලේකම් ස්වාමීන් වහන්සේ,
බුදුමුත්තාව රජමහා විහාරාධිවාසි අතිපූජනීය ස්වාමීන් වහන්සේ,
යන පූජනීය ස්වාමීන් වහන්සේලාට හා පෙරවදන සැපයූ නා උයන ආරණ්යයෙහි අතිපූජනීය නිස්සයාචාර්ය ස්වාමීන් වහන්සේට ත් දීඝායු අභිවර්ධනය වේවා..! යි පුණ්යානුමෝදනා කරමු. ආශීර්වාද ප්රාර්ථනා එක්කළ තායිවානයේ පිංවත් සිල් මෑණියන් වහන්සේ ප්රධාන ගිහි පිංවතුන් හට ද චිර ජීවනය දීඝාසිරි ප්රාර්ථනා කරමු.
තව ද මෙම කාර්ය සඵල කර ගැනීමට විවිධ තොරතුරු ලබා දීමෙන් ද පරිවර්තනය කිරීමෙන් ද පටි ගත තොරතුරු සටහන් කර දීමෙන් ද මා හිමිපාණන් වහන්සේගේ රුව සිතුවම් කිරීමෙන් ද ඡායා රූප සංස්කරණයෙන් ද මුද්රණ බරපැන දැරීමෙන් ද මුද්රණ කටයුතු මනා ලෙස සිදු කිරීමෙන් ද යනාදී සඳහන් කළ නො කළ සියලු අයුරින් උදව් - උපකාර - අනුග්රහ දැක්වූ සියලු දෙනාට කෘතඥතා පූර්වකව පුණ්යානුමෝදනා කර සිටිමු.
පූජනීය අප ආචාර්යෝත්තම ස්වාමීන් වහන්සේගේ ගිහි දිවිය හා 25 වසරක අකලංක පැවිදි ජීවිතය පිළිබඳ වූ තොරතුරු හා උතුම් ගුණ අකුරට නැගීමේ දී පූජනීය අප ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් ඇසුරු කළ ගිහි පැවිදි බොහෝ පිරිසකගේ හා අපගේ අත්දැකීම්, තොරතුරු එක්කළ අතර එහි යම් වරදක් වේ නම් පූජනීය අප ආචාර්යෝත්තමයන් වහන්සේගෙන් පාද නමස්කාර පූර්වකව, පළමුව ඊට සමාව අයැද සිටිමු. තව ද අන් කිසිවකු හට ද යම් අපහසුවක් පිණිස වූ කරුණක් හා කුමන හෝ අඩුවක් වේ නම් ඊට ද යටහත් ව සමාව අයැද සිටිමු.
සිසු පිරිස.
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජනීය මහා නායක මා හිමිපාණන් වහන්සේගේ ආශීර්වාදය.
“පරත්ථං පටිපජ්ජථ”
හුරිකඩුවේ ශ්රී විද්යාසාගර පිරිවෙන් විහාරාධිපති, සාසනසෝභන, ත්රිපිටක වාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංසාලංකාර, සිරි සීලවංශ වංසාලංකාරධජ, ත්රිපිටක වාගීශ්වර රාජගුරු, පරියත්ති විශාරද, ත්රිපිටක ධර්මචක්රවර්ති ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්රී, අග්ග මහා පණ්ඩිත, විනයාචාර්ය්ය විනය විශාරද රාජකීය පණ්ඩිත අතිපූජ්ය නාපාන පෙමසිරි ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මහා ස්ථවිර,
කර්මස්ථානාචාර්ය පූජ්ය අඟුල්ගමුවේ අරියනන්ද ස්ථවිරපාදයන් වහන්සේ
නා උයන ආරණ්ය සේනාසනාධිකාරී කම්මට්ඨානාචරිය පූජ්ය අඟුල්ගමුවේ අරියනන්ද ස්ථවිර පාදයන් වහන්සේ පැවිදි ව වසර විසිපහක් සපිරීම හා අභාවයට යමින් පැවති නා උයන ආරණ්ය සේනාසනය උන්වහන්සේ විසින් පුනර්ජීවනයට පත් කොට වසර 20 ක් සපිරීම නිමිති කරගෙන පූජ්ය අරියනන්ද ස්ථවිරපාදයන් වහන්සේගේ සේවාව අගය කරමින් උපහාර ග්රන්ථයක් එළිදැක්වීමට කටයුතු යෙදීම අගය කළ යුතු සත්පුරුෂ ක්රියාවකි.
ශිෂ්යයන්ගේ දායක කාරකාදීන්ගේ පමණක් නොව ගිහි පැවිදි සියලු දෙනාගේ ම උපහාර ලැබීමට තරම් සේවාවක් වසර විසි පහක් වූ තම පැවිදි ජීවිතයේ දී සිදුකර ඇති අරියනන්ද ස්ථවිරපාදයන් වහන්සේ අභාවයට යමින් පැවති නා උයන ආරණ්ය සේනාසනයට වැඩම කොට දහ නමකින් ආරම්භ කළ සාසනික සේවාව කොතරම් ද යන වග අද ලාංකික භික්ෂූන්
අතිපූජ්ය නාපාන පෙමසිරි ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මහා ස්ථවිර