සරළ සිංහල මිලින්ද ප්‍රශ්නය - R. Gamini Gunasiri.pdf

full scan

කතෘ :
හිනටිකුඹුරේ සුමංගල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2012
මුද්‍රිත වර්ෂය :
2012
පිටු ගණන :
138
බාගත කිරීම් ගණන :
1,392
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-02-23
ගොනුවේ ප්‍රමාණය :
54 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 70

සිංහල මිලින්ද ප්‍රශ්නය යනු මහනුවර යුගයේ විසූ පූජ්‍ය හිනටිකුඹුරේ සුමංගල හිමියන් විසින් පාලි මිලින්දපඤ්හය ඇසුරෙන් කරන ලද ‘සද්ධර්මදාස’ නම් සම්භාව්‍ය සිංහල පරිවර්තනය, නූතන පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ආර්. ගාමිණී ගුණසිරි මහතා විසින් සරල බසින් සංස්කරණය කර සකස් කරන ලද ග්‍රන්ථයකි. මෙහි සිංහල සංස්කාරකවරයා ලෙස එන්.ටී.එස්.ඒ. සේනාධිර මහතා කටයුතු කර ඇත.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී බැක්ට්‍රියන් ග්‍රීක ජාතික මිලින්ද (මිනෙන්ඩර්) රජු සහ නාගසේන මහරහතන් වහන්සේ අතර බුදු දහමේ ගැඹුරු සංකල්ප විෂයයෙහි ඇති වූ ප්‍රශ්නෝත්තර සාකච්ඡා මෙම කෘතියේ අන්තර්ගත වේ. මෙම සංස්කරණය මඟින් බාහිර කථා පුවත, ධර්මය පිළිබඳ මූලික ප්‍රශ්න සහ පිළිතුරු (කොටස් 7ක්) මෙන්ම විශේෂ ප්‍රශ්න 77ක් ද ඇතුළත් කර තිබේ. පාඨකයාට වෙන් කර හඳුනාගැනීමේ පහසුව පිණිස රජුගේ ප්‍රශ්න ඇද අකුරින්ද, නාගසේන හිමියන්ගේ පිළිතුරු සාමාන්‍ය අකුරින්ද මුද්‍රණය කර ඇත.

මෙම කෘතිය මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මගින් ‘කලණ මිතුරු 45’ ප්‍රකාශනයක් ලෙස 2012 වසරේදී ප්‍රකාශයට පත් කර ඇත.

පෙරවදන

සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිවු වන සහ පස්වන සියවස් අතර කාලයෙහි මිනෙන්ඩර් (මිළිඳු - මිලින්ද) නම් බුද්ධිමත් වූ ද, බලවත් වූද, ග්‍රීක රජතුමෙක් පැරණි දඹදිව සාගල පුරයෙහි (වත්මන් දකුණු පඤ්ජාබයේ සියල්කෝට්) සිය රාජ්‍යය පිහිටුවාගෙන පාලන කටයුතු මෙහෙයවීය. ඉමහත් උනන්දුවෙන් බුදු දහම හැදෑරූ මිළිඳු රජතුමෝ, නාගසේන නම් රහතන් වහන්සේ නමක් වෙත එළඹ, බුදුදහමෙහි තමන්ට ගැටළු වශයෙන් පෙනුණු තැන් පිළිබඳව ප්‍රශ්න විචාරා, එම ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරු තුළින් බුදුදහම කෙරෙහි පැහැදී, නාගසේන තෙරණුවන් ළඟ පැවිදිව, රහත්ව, පිරිනිවියහ. මිලින්ද ප්‍රශ්නය නම් ග්‍රන්ථයෙහි දක්නට ලැබෙන්නේ මිළිඳු රජ ඉදිරිපත් කළ ප්‍රශ්න සහ එම ප්‍රශ්නවලට නාගසේන තෙරණුවන් සැපයූ පිළිතුරුය.

ක්‍රි.ව. පළමුවන සියවසේදී පමණ රචිත කෘතියක් ලෙස සැලකෙන මිලින්ද ප්‍රශ්නය මුලදී සංස්කෘත භාෂාවෙන් රචනා කරන ලදුව, පසුව “මිලින්ද පඤ්හ¹” යනුවෙන් පාලියට නැගූ බව සැලකේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයෙහි මහනුවර, මල්වතු විහාරයේ වැඩ සිටි පූජ්‍ය හිනටිකුඹුරේ සුමංගල හිමියන් විසින් පූර්වාචාරීන් මාගධී භාෂාවෙන් ප්‍රකරණය කරන ලද “මිලින්ද පඤ්හ” සිංහල භාෂාවට පෙරළා “සද්ධර්මදාස” නම් ප්‍රකරණය රචනා කළබව එම පොතෙහි අග සඳහන් වේ. ඒ අනුව මිලින්ද ප්‍රශ්නය යනුවෙන් මෙය සිංහලට නගන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආරාධනයෙන් බව කියැවේ. මිලින්ද ප්‍රශ්න සිංහල පරිවර්තනයට පූජ්‍ය සුමංගල හිමියන් තබන ලද විශේෂ නාමය “සද්ධර්මදාස” වේ.

දීර්ඝ විස්තරත් එතරම් සුගම නොවූ පෞරාණික භාෂා විලාශයත් නිසා කියවීමට තරමක් අපහසු මිලින්ද ප්‍රශ්න සිංහල පරිවර්තනය, කියවා ප්‍රයෝජනගත හැකි ලෙස අවශ්‍ය කරුණු කැටි කොට නැවත ඉදිරිපත් කිරීම සඳහා ආර්. ගාමිණී ගුණසිරි මහතා ගන්නා ලද ප්‍රථම උත්සාහය “සරල මිලින්ද ප්‍රශ්නය” යන නමින් මහනුවර බෞද්ධ ග්‍රන්ථප්‍රකාශන සමිතිය විසින් 2001 වර්ෂයේ පළකර ඇත. එයට ප්‍රධාන ප්‍රශ්න 36ක් පමණක් ඇතුළත් වූ අතර ධර්මයෙහි මූලික කරුණු හෙළිදරව්වන කොටස “මහා ප්‍රශ්න” යනුවෙන් පොතෙහි අග කොටසෙහි සඳහන් කොට ඇත.

ගුණසිරි මහතා “සිංහල මිලින්ද ප්‍රශ්නය” මේ පොතින් සිදු කරනුයේ සුමංගල හිමියන්ගේ “මිලින්ද පඤ්හ” සිංහල පරිවර්තනයට වඩා සමීපතම ලෙස එහි සඳහන් තොරතුරු සරල ලෙස නැවත ඉදිරිපත් කිරීමයි. මේ පොතෙහි ධර්මය පිළිබඳ මූලික ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් අංගය මූලික දහම් කරුණු කොටස් හතකින් යුතුව ප්‍රථමයෙන් ඉදිරිපත් කෙරේ. ඊට පසු ප්‍රධාන ප්‍රශ්න 77ක් ද ඒවාට ලැබුණු පිළිතුරු ද දැක්වේ. මිළිඳු රජුගේ ප්‍රශ්න ඇද අකුරු වලින් ද නාගසේන තෙරුන්ගේ පිළිතුරු සාමාන්‍ය අකුරු වලින් ද මුද්‍රණය කරන ලද්දේ ප්‍රශ්න සහ පිළිතුරු වෙන් වෙන්ව හඳුනාගැනීමේ පහසුව අරමුණු කරගනිමිනි.

මිලින්ද පඤ්හ පාලි ග්‍රන්ථය හෝ එහි ශාස්ත්‍රීය ඉංග්‍රීසි පරිවර්තන හෝ පූජ්‍ය හිනටිකුඹුරේ සුමංගල හිමියන්ගේ මිලින්ද ප්‍රශ්න සිංහල පරිවර්තනය හෝ කියවීමට පහසුකම් විරල වර්තමානයෙහි, මිලින්ද ප්‍රශ්නය පිළිබඳව යම් අවබෝධයක් ලබාදීම සඳහා ආර්. ගාමිණී ගුණසිරි මහතා නැවතත් ගෙන ඇති ප්‍රයත්නය පැසසුමට ලක්විය යුතුය. ධර්මය පිළිබඳව ඇතැමුන් තුළ පවතින දුර්මත බැහැරකර ගැනීමට ද, පවතින දහම් දැනුම පැහැදිලි කර ගැනීමට ද මේ ප්‍රයත්නය උපකාරී වනු ඇත.

1. “මිලින්ද පඤ්හ” පාලි කෘතිය පිළිබඳ ශාස්ත්‍රීය තොරතුරු පහත සඳහන් විද්වත් ග්‍රන්ථවල ඇතුළත් වේ. (1) T.W. Rhys Davids. The Questions of King Milinda. 2 Vols. Sacred Books of the East 1890-94 New York 1969; Delhi 1975 (2) I.B. Horner. Milinda’s Questions 2 Vols. Secred Books of the Buddhists 1963-64, 1969 (3) C.A.F. Rhys Davids. The Milinda-Questions (London 1930) “ An inquiry into its palce in the history of Buddhism with a theory as to its author (4) R. Basu. A Critical Study of the Milindapañha. Culcutta 1978

එන්.ටී.එස්.ඒ.සේනාධිර
(සිංහල සංස්කාරක)

හැඳින්වීම

මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් අසන ලද ගැඹුරු ප්‍රශ්නයන්ට නාගසේන නම් රහතන් වහන්සේ විසින් දෙන ලද ධර්මානුකූල පිළිතුරු අඩංගු ග්‍රන්ථය මිලින්ද ප්‍රශ්නය නම් වෙයි. මෙහිදී මිලින්ද රජුගේ ප්‍රශ්න විමසීමේ ශක්තිය පරදින්නේ නාගසේන තෙරුන්ගේ ප්‍රශ්න විසඳීමේ ශක්තියට පමණි. රහතන් වහන්සේ කෙනෙකු තුළ මිස අනෙක් කෙනෙකුන් තුළ නොපිහිටන දහම් දැනුමක් උන්වහන්සේගෙන් ප්‍රකට වෙයි.

මොවුහු කල්පිත පුද්ගලයෝ නොවෙති. මිලින්ද රජු ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සාගල පුරය රාජධානිය කරගෙන විශාල ප්‍රදේශයක් පාලනය කළ ග්‍රීක රජෙකි. එක් පැත්තක ඔහුගේ මුහුණ සහ නම ද අනෙක් පැත්තේ ධර්ම චක්‍රයද දැක්වෙන කාසි පවා සාගල පුරයෙන් හමුවී ඇත.

මිලිඳු රජු බුදුසසුනෙහි පැහැදී පැවිදිව රහත් වූ බව මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන් වෙයි. මිලිඳු රජතුමා කලුරිය කළ පසු එතුමාගේ ශරීරය ආදාහනය කළ බවත්, එතුමාගේ ශරීර ධාතු ලබාගැනීම සඳහා අසල්වැසි රටවල් තරඟ කළ බවත්, ශරීර ධාතු බෙදා ගැනීමට ඒ රටවල් එකඟ වීමෙන් ආරාවුල් අවසන් වූ බවත් ධාතු ලබාගත් රටවල් ස්තූප තැනවූ බවත් ප්ලූටාර්ච් නම් කතුවරයාගේ පොතක සඳහන් වෙයි. එම සටහන ද මිලින්ද ප්‍රශ්නයේ එන පුවත සත්‍යයක් ලෙස තීරණය කිරීමට සාක්ෂියකි.

මිලින්ද ප්‍රශ්නයෙහි මුල මිලිඳු රජුගේ සහ නාගසේන තෙරුන්ගේ පූර්ව ජන්ම ප්‍රවෘත්තිය සඳහන් වෙයි. ඉන්පසු මිලිඳු රජු පණ්ඩිත යයි ප්‍රසිද්ධ ශ්‍රමණ බ්‍රාහ්මණයින් කරා එළඹ ප්‍රශ්න විචාරා ඔවුන් පැරදවූ ආකාරය සඳහන් වෙයි. රහතන් වහන්සේලා දෙව්ලොවට වැඩ, මිනිස් ලොව ඉපිද මිලින්ද රජු දමනය කර සසුන බබළවන මෙන් මහාසේන දිව්‍ය පුත්‍රයාට ආරාධනා කළ ආකාරය සහ එය පිළිගත් ඒ දෙව්පුතු මිනිස් ලොව නාගසේන නමින් ඉපිද, එකල පැවැති සියලු ශාස්ත්‍රයන් ඉගෙන, එහි හරයක් නොදැක බුදුදහමෙහි පැහැදී පැවිදිව රහත් වූ අයුරු ඉන්පසුව එයි. ඊළඟට මිලිඳු රජුගේ ප්‍රශ්න රාශියත්, නාගසේන තෙරුන් දුන් පිළිතුරුත් එයි.

අවසානයේදී යෝගාවචරයෙකු (භාවනායෝගියෙකු) විසින් දැනගත යුතු කරුණු රාශියක් ඇතුළත් වෙයි. ඒ කරුණු අසා පැහැදුණු මිලිඳු රජු සිය නමින් විහාරයක් කරවා නාගසේන තෙරුන්ට පුදා පසුව සිය වැඩිමහලු පුත් කුමරුවන්ට රාජ්‍යය භාර කර පැවිදිව රහත් වූ බව දැක්වීමෙන් පොත අවසන් වෙයි.

බුදුපියාණන් ජීවමාන කල සිටි ෂට් ශාස්තෘවරු මිලිඳු රජුගේ කාලයෙහිත් සිටි බව මෙම පොතෙහි සඳහන් වෙයි. මෙයින් බුද්ධ කාලයෙහි සිටි ශාස්තෘවරු සයදෙනාම මිලිඳු රජුගේ කාලයෙහිත් සිටි ලෙස පිළිගත යුතු නොවෙයි. ඒ ෂට් ශාස්තෘවරයන් විසින් ඇති කළ ආගම්වල පසු කල සිටි ප්‍රධානයන් ඒ ප්‍රථමයන්ගේ නම්වලින්ම හැඳින්වූ බව සැලකීම වඩා සුදුසු බව විද්වත් වැලිවිටියේ සෝරත තෙරණුවන්ගේ අදහසයි.¹

මිළිඳු පඤ්හ නම් පාලි ග්‍රන්ථය මිලින්ද ප්‍රශ්නය යනුවෙන් සිංහලට පරිවර්තනය කරන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයෙහි මල්වතු විහාරයෙහි වැඩ සිටි හිනටිකුඹුරේ සුමංගල නම් හිමියන් විසිනි. මිලින්ද ප්‍රශ්න සිංහල පරිවර්තනයට උන්වහන්සේ විසින් තබන ලද නාමය “සද්ධර්මදාස” යන්නයි. සදහම් කැඩපත යනු එහි තේරුමයි.

මා කියවා ඇති ලස්සනම බණ පොත සිංහල මිලින්ද ප්‍රශ්නයයි. මිලින්ද නම් රජු විසින් අසන ලද ගැඹුරු ප්‍රශ්නයන්ට නාගසේන නම් මහරහතන් වහන්සේ විසින් දෙන ලද ධර්මානුකූල පිළිතුරු එහි අඩංගුය. මිලින්ද ප්‍රශ්නය කොතරම් වැදගත්ද යත් බුරුමයේ පාලි ත්‍රිපිටකයට එය ඇතුළත් කර ඇත. රීස් ඩේවිඩ්ස් මහතා මෙම පොත හඳුන්වන්නේ ඉන්දියානු ගද්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ ලෙසය. මිලින්ද ප්‍රශ්නය සිංහලයට පරිවර්තනය කළ දින පටන්ම වාගේ එය උපාසක උපාසිකාවන්ට ප්‍රිය වූ පොතක් විය. බොහෝ දෙනා විසින් අදත් ආදරයෙන් කියවනු ලබන පොත් අතුරින් මේ පොත ද එකකි.

මිලින්ද ප්‍රශ්නයෙහි එන රසවත්ම කොටස ධර්මය පිළිබඳ විශේෂ ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් කොටස වන බැවින්, පළමුව ඒ කොටස කියවා, ඉන්පසුව ධර්මය පිළිබඳ මූලික ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් කොටස කියවන්නේ නම්, එය කියවන්නාට වඩා ඵලදායී වන බව මාගේ හැඟීමයි. දහම් පොතක් කියවන ආකාරයෙන් මෙම පොත කියවන්නේ නම් ඔබට බුදුදහම පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් ලැබෙනු ඇත. එහෙත් ඔබ සතර සතිපට්ඨාන භාවනාවෙහි නිවැරදිව යෙදෙමින් මෙම පොත කියවන්නේ නම් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව විස්මයට පත්වනු ඇත. මෙහිදී තත් අයුරින් උපකාර කළ බෞද්ධ ග්‍රන්ථප්‍රකාශන සමිතියේ කාර්ය මණ්ඩලය ද අත්පිටපත ලියාදුන් දයාබර බිරිඳ මානෙල් ද අදරින් සමරමි.

සද්ධර්මය ලොව බැබළේවා!

1. ගලගම පණ්ඩිත ශරණංකර හිමියන් සංස්කරණය කළ සිංහල මිළිඳු ප්‍රශ්නයෙහි වැලිවිටියේ සෝරත හිමියන්ගේ සංඥාපනය (නැවත මුද්‍රණය එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2000)

ආර්. ගාමිණී ගුණසිරි

129, හපුගස්පිටිය
ගම්පොල.

දුරකථනය: 081-2354492