ධර්මපාල ලිපි - ආනන්ද ගුරුගේ 1963.pdf

කතෘ :
අනගාරික ධර්මපාල
ප්‍රකාශිත වර්ෂය :
1965
මුද්‍රිත වර්ෂය :
1965
පිටු ගණන :
336
බාගත කිරීම් ගණන :
1,294
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-14
ගොනුවේ ප්‍රමාණය :
94 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 169

ධර්මපාල ලිපි යනු අනගාරික ධර්මපාලතුමා විසින් සිංහල බසින් ලියන ලද පුවත්පත් හා සඟරා ලිපි, ප්‍රකාශන සහ පෞද්ගලික ලිපි එක්තැන් කොට සකස් කරන ලද ඓතිහාසික ලේඛන සංග්‍රහයකි. අනගාරික ධර්මපාල ජන්ම ශත සංවත්සරය (1964) නිමිත්තෙන් සමාජසේවා හා සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලද අනගාරික ධර්මපාල ජන්ම ශත සංවත්සර උත්සව කාරක සභාව වෙනුවෙන් ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ මහතා විසින් මෙම කෘතිය සංස්කරණය කොට 1965 දී රජයේ මුද්‍රණාලය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.

සරසවි සඳරැස, සිංහල බෞද්ධයා ආදී පුවත්පත්වල පළවූ ලිපි මෙන්ම විවිධ පුද්ගලයන් වෙත යවන ලද දුර්ලභ ලිපි ද ඇතුළත් වන පරිදි මෙම සංග්‍රහය කොටස් දොළහකට බෙදා සකස් කර ඇත. සිංහල බෞද්ධ ජනතාව පිබිදවීම, ජාතික සංවර්ධනය, බුදුසසුනේ ප්‍රබෝධය, දඹදිව බුද්ධගයාව බේරාගැනීමේ සටන සහ බුද්ධ ශාසනය ලෝක ව්‍යාප්ත කිරීම ආදී විවිධ ක්ෂේත්‍ර පිළිබඳ ධර්මපාලතුමාගේ ඍජු අදහස් හා දැක්ම මින් මනාව හෙළිවේ.

මෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා:

  • සිංහල බෞද්ධයෝ සහ ජාතියට අවවාද
  • බුදුසසුන හා පිළිවෙත් සහ ජාතික සංවර්ධනය
  • පාලන ප්‍රශ්න සහ අන්‍ය දෘෂ්ටි
  • දඹදිව බුදුසසුන සහ අපරදිග බෞද්ධ ප්‍රචාර
  • සමකාලීන ලෝකය, ගුණානුස්මරණ, ජාතික ආයතන හා පෞද්ගලික ලිපි

පෙරවදන (සංස්කෘතික හා සමාජ සේවා ඇමති ගරු ඩී. ඇස්. ගුණසේකර මැතිතුමාගෙනි)

ලංකා මාතාවට අමරණීය සේවයක් කළ අනගාරික ධර්මපාලතුමා පිළිබඳව ශත සංවත්සරයක් ගතවන මෙම වර්ෂයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් අනගාරික ශ්‍රී නාමයට ගරු කිරීම් වස් උත්සව මාලාවක් පැවැත්වේ.

අනගාරික ධර්මපාලතුමා පිළිබඳව කල්පනා කර බලන විට,, විදේශීන්ගේ තාඩන පීඩනවලින් මිරිකී ඔවුනට භයෙන් සිංහල වංශිකයා නිවටව අනාථව සිටි කාලයක මෙතුමාගේ මෙලොව ජන්ම ලාභය සිද්ධ විය.

එතුමා තමන්ගේ ජාතිය විඳින දුක් ගැහැට බලා ඉන් සිංහල වංශිකයා මුදාගැනීමට සටන් කෙළේය. තම ජාතියට ඇබ්බැහි වී තිබුන පරසිරිත් වලින් මුදා ගැනීම සඳහා එතුමා පාවිච්චි කළ වදන් මාලාව අද වුවත් සිංහල ජාතියේ යහපත සඳහා පවතින්නේය.

ජාතිය පිළිබඳ මහත් වේදනාවකින් පෙළුන එතුමා වරක් ආදරණීය මවක් දරුවන්ට අවවාද දෙන්නාක් මෙන්ද, වරක් වීර සෙන්පතියකු සෙබළුන් අමතන්නාක් මෙන්ද සිංහල වංශිකයාගේ යහපත සඳහා දේශනා පැවැත්වීය. “ සිංහලයීනි නැගිටිව් ! බෞද්ධයිනි අවදිවව් ! ” යන වදන් මාලාව එතුමාගේ මුවග ලෙළදුනි. ජාතිය හරිමගට යෙදවීමේ උත්කෘෂ්ට අදහසින් කටයුතු කළ නිසා ඒ මගින් ජාතියේ නිවහල් බව ලැබී තිබේ.

සිංහල ජාතිය වෙනුවෙන් ජීවිත කාලය කැප කළ මෙතුමා බෝධිසත්වයෙකි. පාරමී පුරණයෙහි නියැලී මේ වීරයා බුදු සිරිත ලොවට පෙන්වූයේය. දුක් විඳින ජාතිය වෙනුවෙන් එතුමා ගිහි සැප අත්හළේය. ධනය, ආරෝග්‍යය, බලය, ශාස්ත්‍රය යන මේ සියල්ලෙන් උසස් සැප අනුභව කිරීමට ලෙහෙසියෙන් පුළුවන්කම තුබූ මෙතුමා සියල්ල පූජාකෙළේය.

බ්‍රහ්මචාරී ශුද්ධ ජීවිතයක් ගතකරන උතුමෙකු වී යෞවනය හා ධනයද, ශාස්ත්‍ර ඥානය හා ශරීර ශක්තියද, මුළු ජීවිතයම ජාතිය හා ආගම වෙනුවෙන් කැප කෙළේය. ලෞකික ජීවිතයෙන් ප්‍රීති නො වූයේය. මෙවැනි පුද්ගලයකු අප ඉතිහාසයේ වර්තමාන කාලයේ තබා පුරාණ කාලයෙන් වුවද තෝරාගැනීම ලෙහෙසි නොවේ.

ධර්මපාල නාමය කෘතඥ පූර්වකව සිංහලයන් විසින් සදා කාලයෙහිම ස්මරණය කරනු ලැබේවා. එතුමාගෙන් ඇරඹුන ජාතික ආගමික ප්‍රබෝධය ස්ථිර කරගැනීමට සියළු සිංහලයන් විසින් තව තවත් එතුමන්ගේ ගුණ සමුදය සිහිකෙරේවා.

ධර්මපාලතුමාගේ ආභාෂය ලබාගත් දිවංගත ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා ධර්මපාලතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමේ පරමාර්ථයෙන් 1956 දී සංස්කෘතික අමාත්‍යාංශයක් පළමුවෙන්ම පිහිටවූ බව මෙහිදී සාදරයෙන් සිහිකළ යුතුය.

ජාතිය නගාලීම සඳහා අමරණීය සේවයක් කළ අනගාරික ධර්මපාල තුමාට ගෞරව දක්වන්නේ නම් එතුමා සිංහල ජාතියට දේශනා කළ යහපත් සුචරිත ධර්මයන් තම තමන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කිරීමය. පන්සිල් ආරක්ෂා කළ යුතුය. පෝයට සිල් සමාදන් විය යුතුය. තම දරුවන් හා හිතවතුන් මේ නියම මාර්ගයේ ගමන් කරවා අනගාරික ධර්මපාලතුමාගේ ශ්‍රී නාමයට ගරු කළ යුතුය.

ධර්මපාලතුමාණන් විසින් ලියන ලද ලිපි එක්රැස්කොට මෙසේ මුද්‍රණය කරන්නට යෙදුනේ එමගින් එතුමාණන්ගේ සිතුම් පැතුම් හා අදහස් මැනවින් අවබෝධ කරවා දීමටය. මේ ලිපි කියවූ විට එතුමාණන්ට අප කෙතරම් ණයගැති දැයි වටහා ගත හැකිය. මේ ලිපි සෑම දෙනා විසින්ම සාවධානයෙන් කියවා ඒ අනුව පිළිපැදීම ඉතාමත් වැදගත්ය.

බුද්ධ ශාසනය බැබලේවා !

ඩී. ඇස්. ගුණසේකර

සංඥාපනය

ගතවර්ෂ තුන්සියයක විදේශීය පාලනය කරණකොට ජාතික හැඟීම් පිරිහී, සිරිත්-විරිත් අමතක වී, ජාත්‍යභිමානය මුළුගැන්වී, බුදුසසුන අඩපණ වී, බෞදු පිළිවෙත් යටපත්වී, පරගැති හැඟුමෙන් යුතුව පරසිරිත් වැළඳගෙන සිංහල බෞද්ධ ජනතාව පරිහානියට පත්ව සිටි අඳුරු සමයකදීය, අනගාරික ධර්මපාල නමින් පසු කලෙකැ ජගත් කීර්තිය හා විශ්ව සම්භාවිතය ලත් වීරෝදාර පුරුෂරත්නය කොළඹ හේවාවිතාරණ පවුලෙහි පහළවූයේ. සමකාලීන පරාධීන සිතූම්-පැතුම්-ගති-පැවතුම් අනුව හේවාවිතාරණ පවුලෙන් ඔහුට දෙන ලද නම වූයේ දොන් ඩේවිඩ් යන්නය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හා අතින්’ත ගත් විදේශීය ආගමික ආක්‍රමණය නැමැති ගොලායත් මැඩීමට උපන් නිසා මෙතුමාට මේ බයිබල් නාමය අතිශයින් උචිත විය.

එකල පැවැති පුරුද්ද අනුව, ක්‍රිස්තියානි විද්‍යාලයන්හි ඉංග්‍රීසි උගැන්මෙහි යෙදුණු මෙතුමා ලංකාවෙහි බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රයෙහි ස්වදේශිකයනට ලබාගන්නට පුළුවන් ව තුබුණු උසස් ම තත්ත්වය වූ ලිපිකරු තනතුරකට ද පත්කරනු ලැබුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවය කෙළේය. කොළඹ සමාජයෙහි නවීන පන්තියට හැඩගැසුණු උසස් ධනවන් පවුලක ළමයකුට ලබන්නට පුළුවන් සෑම සැපපහසුකමක් මෙන් ම ධන-නිල-පදවි-බලයෙන් ලැබිය හැකි සෑම සාමාජික වරප්‍රසාදයක් ම නිසැකින් මෙතුමාට හිමි විය. මෙවැනි දැයින් උදම් වී ගිය, මෙවැනි දෑ සඳහා ජාතික-ආගමික සම්ප්‍රදායනට පයින් ගසා දැමීමට උත්සුක වූ, විදේශියයන් අනුකරණය කිරීමෙන් ම ජීවිතයෙහි පල ලැබිය හැකියයි සිතූ එකල සිංහල බෞද්ධ ජනතාව ගේ සමාජයෙන් බිඳී නව මගක් ඔස්සේ ගමන් කිරීමට ගත් තීරණය නිසාම මෙතුමා අප රටෙහි අග්‍රගණ්‍ය වීරවරයා විය යුතු ය.

මවගේ විශේෂ පරිශ්‍රමය කරණකොට මෙන් ම කොටහේනේ විහාරස්ථානයෙහිදී හමුවුණු මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගේත් මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණෙහිදී මුන ගැසුණු හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේගේත් ආශ්‍රය නිසා ද බුදුසමය කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න ඇල්මක් මෙතුමා තුළ පහළ වූයෙන් විදේශීය බලපෑම් වලට හිස නො නමා, ස්වාධීන අදහස්වලින් යුතුව සිටියේ, ජාතික-ආගමික දායාදය රැක ගැනීමට සටන් කරන්නකු ලෙස සිය දක්ෂතාව කුඩා කල සිට ම මැනවින් ගෙන හැර පෑවේය. පානදුරා වාදයෙහි දී බෞද්ධයන් ලත් ජය ගැන අසා, මෙරට බෞද්ධයන්ට රුකුල් දී බුදුසසුන නැවත බැබළවීමට ආ ඇමෙරිකන් ජාතික කර්නල් ඕල්කොට්තුමා සමඟ දේශසංචාරයෙහි යෙදී ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමට කෙනකු වුවමනා වූ විට සිය රැකියාව අතහැර දමා සමාජ සේවයට ඇතුළුවුණු මෙතුමා පුරා අවුරුදු හතළිස් හතක් ම සිය දිවිය ඊටම කැප කෙළේ ය. ඒ වූකලී දුක්කම්කටොලු, හිරිහැර, කරදර, සිත්රිදුම් ආදියෙන් ගහණ වූ දිවියකි. මෙතුමාගේ ජීවිතයෙහි ඒ ඒ අවස්ථා විවරණය කළ ගරු සංඝරක්ෂිත හිමියෝ වරක් බෝධිසත්වයකු විසින් පිරිය යුතු දස පාරමිතාවන් මෙතුමා එක ජීවිත කාලයක් තුළදී පුරවා ඇතැයි හේතු සහිතව ප්‍රකාශ කළහ.

අනගාරික ධර්මපාලතුමා බෞද්ධයන්ගේ උදාසීනත්වය ගැන කලකිරුණේ සෑම වේදිකාවකින්ම ඔවුනට බැන වැදුණේය. තමාගේ රට, ජාතිය, ආගම ගැන නොතකා, පරසිරිත් වැළඳ ගෙන වහල් අදහස් ඇතුව ජීවත්වූණු සිංහලයන්ට සිය ජාතික ආගමික දායාදයෙහි අගය පහදා දුන්නේය. බුදුසසුනෙහි පිරිහීම නිසා කම්පා වූයේ එය නගා සිටුවීමට නන් අයුරින් කටයුතු කෙළේය; ශ්‍රද්ධාවන්තයින් තොර ව සිටි ගිහියනටත්, බෞද්ධ අධ්‍යාපනයට හෝ ධර්ම ප්‍රචාරයට හෝ ඉදිරිපත් නොවී පන්සල්වල කම්මැළිකමින් කල් ගත කළ භික්ෂූන් වහන්සේලාටත්, නොයෙක් ක්‍රම වලින් ක්‍රිස්තු ධර්මය පතුරුවාලීමට වෙහෙස ගත් මිෂනාරීනටත් මෙතුමාගේ තියුණු වාග්ප්‍රහාරය එල්ල කැරිණ. “සිංහලයිනි, නැගිටිව්” යන්න දිවයින පුරා රැව්පිළිරැව් දෙන සටන් පාඨයක් වන තරමට ම මෙතුමා එකල සිංහලයන්ගේ දීන හීන ගතිගුණ නැති කොට නව ජාතියක් ගොඩනගා ගැනීම සඳහා ගමින් ගමට යමින් දෙශනා පැවැත්වීය; වාද කෙළේය; විවේචනය කෙළේය; ලිපි ලීවේය.

විසිනව වැනි වියෙහි දී චිකාගෝ නුවර පැවැති දෘෂ්ටි සම්මේලනයට සහභාගි වීමේ භාග්‍යය ලත් මෙතුමා එහිදී බුදුසමයෙහි ශ්‍රේෂ්ඨත්වය කියා පෑවේ වතුර ඇන්දමිනි.

අනගාරික ධර්මපාල තුමාගේ අද්විතීය වික්‍රමය වනාහි බුද්ධගයාව බෞද්ධයනට ලබා දීම සඳහා ගත් ප්‍රයත්නයයි. “බුද්ධගයාව බේරාගනිව්” යන පාඨයෙන් සකල ලෝක වාසී බෞද්ධයන්ගේ සිත් මෙම ප්‍රශ්නය දෙසට යොමු කැරිණ. දඹදිව නැවත බුදුසමය ප්‍රචාරය කිරීම මෙතුමාගේ ජීවිතය අතිශයින් සාර්ථක කළ වැදගත් ම කරුණ ය. මහාබෝධි සමාගම පිහිටුවන ලද්දේ මේ ශ්‍රෙෂ්ඨ කෘත්‍යය ඉටු කර ගැනීමට ය. ධර්මාශෝක රජුගේ කාලයෙහි සිට ලංකාව ඉන්දියාවට ණයගැති ව සිටියේ බුදුසමය හා බෞද්ධ සංස්කෘතිය මෙහි එවූණු නිසා ය. ධර්මපාලතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා ඒ ණය ගෙවා ගැනීමට සිංහල බෞද්ධයනට ඉඩ ලැබිණ. සාරානාථ්හි පිහිටුවන ලද මූලගන්ධකුටි විහාරය මෙතුමා ගේ තවත් වික්‍රමයකි. දඹදිව බුදුසසුන පිහිටුවා ලීමට ගත් උත්සාහය මූර්තිමත් කොට දක්වන්නකි, මේ.

බුදුසසුන ලොව පුරා පතුරුවාලීම ධර්මපාලතුමාගේ පරමාර්ථය විය. ඒ සඳහා නොයෙක් අන්දමේ පරිශ්‍රම දරනු ලැබීය. සිංහල ඉංග්‍රීසි දෙබසින් ම චතුර කථිකයකු හා වියත් ලේඛකයකු වූ මෙතුමා පෙරාපර දෙදිග නොයෙක් රට වල සංචාරයෙහි යෙදී කථා පැවැත්වීය; මහාබෝධි සඟරාව මගින් පාඨකයන් සම්මුඛකොට බුදු සමය පැහැදිලිකොට දුන්නේය; ඉංග්‍රීසියෙන් පොත් කිපයක් ම පළ කෙළේය; විදේශීය සඟරාවලට ලිපි ලීවේය.

මෙතුමාගේ සේවය මැනවින් අගය කළ හැක්කේ අවුරුදු හතළිස් හතක් මුළුල්ලෙහි ලියන ලද පොත් පත් පරීක්ෂා කිරීමෙනි. “දොන් ඩේවිඩ් හේවාවිතාරණ” යන නාමය අත් හැර දමා “ධර්මපාල හේවාවිතාරණ” වීමටත්, එයත් පසු කලෙකැ “එච්. ධර්මපාල” යන්නට වෙනස් කර ගැනීමටත්, අනතුරුව බ්‍රහ්මචාරිව්‍රතය සමාදන් වී “අනගාරික ධර්මපාල” ලෙස පෙනී සිටීමටත්, ජීවිතයෙහි අවසාන භාගයෙහිදී බෞදු දිවියක මුදුන්මල්කඩ සේ ගණිය යුතු වූ ශ්‍රමණ භූමියට පිවිස “ධම්මපාල දෙවමිත්ත” ස්වාමීන් වහන්සේ වීමටත් මෙතුමාණන් පෙළඹූ වූ ජාත්‍යභිමානයත්, බුද්ධභක්තියත්, බුද්ධ ධර්මාවබෝධයත් කෙතරම් උසස් විදැයි වටහාගත හැක්කේ මෙම ලිපි ලේඛන කියවූ විට ය. එබැවිනි, ධර්මපාලතුමාගේ පොතපත එකතු කොට පළකළ යුතුයැයි ලක්රජය මගින් පත් කරනු ලැබූ ධර්මපාල ජන්ම ශත සංවත්සර උත්සව කාරක සභාව තීරණය කළේ.

ධර්මපාලතුමා ගේ කෘතීන් එක්රැස් කිරීම අතිශයින් දුෂ්කර කාර්‍ය්‍යයක් විය. පුවත්පත් මගින් කරන ලද ආයාචනයෙන් ලැබුනේ සීමාසහිත ප්‍රතිඵලය. කල්කටාවේ මහාබෝධි සමාගමෙහි ප්‍රධාන ලේකම් ධුරන්ධර දේවප්‍රිය වලිසිංහ මහතාණන්ගෙන් ලැබුණු උපදෙස් බෙහෙවින් උපකාරී විය; ධර්මපාලතුමාගේ කෘති කිපයක් ද ඒ මහතා විසින් එවනු ලැබීය. රාජ්‍ය ලේඛනාරක්ෂක ඊ. දේවරාජ මහතාගේ ආධාරයෙන් පැරණි පුවත්පත් වල හා සඟරාවන්හි වූ ලිපි එක්රැස් කර ගත හැකි විය. සී. පී. හේවාගම මහතා මහාබෝධි සඟරාවෙහි වූ ලිපි සියල්ල එකතු කොට පිටපත් කළේය. මේ කෘතිය සකස් කරන අවධියෙහිදී කැනඩාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සම්මේලනයට නියෝජිතයකු ලෙස යාමට ඉඩ ලැබුණු බැවින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාලයෙහිද වෙස්මිනිස්ටරයේ මන්ත්‍රණ සභා පුස්තකාලයෙහිද ඇති ලේඛන සොයා බැලීමට මට හැකි විය. ලංකාවෙන් හෝ ඉන්දියාවෙන් හෝ සොයා ගත නුහුණු කෘති කිපයක්ම මේ පුස්තකාල දෙකෙහි විය. ඉන් සමහරක් තුබුණු බව වත් මෙරට කිසිවෙක් දැන නොසිටියේය. බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ඩග්ලස් බැරට් මහතා එහි වූ ලිපි ඡායාසහිත කොට එවීමෙන් දෙන ලද්දේ ඉමහත් සහායකි. ඇමෙරිකාවේ සිසිල් හෝබ්ස් මහතා ගේ ආධාර ඇතුව මන්ත්‍රණ සභා පුස්තකාලයෙහි වූ ලිපි ලේඛන ලබා ගත්තේ ලංකා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙහි ආචාර්ය මාර්ටින් සී. කැරල් (කනිෂ්ඨ) මහතා ගේ මැදහත් වීමෙනි. මේ ලිපි ලේඛන රැස්කිරීමෙහි දී සහාය වූවන් අතුරින් ඉතාමත් වටිනා ලේඛන කිපය සපයා දුන්නේ ජී. ඩී. එච්. කුමාරදාස වෙද මහතාය. හින්දුම මහාබෝධි වත්තේ කොන්දේස්තර වූ ලුවිස් මහතාට ඉන්දියාවේ හා එංගලන්තයේ සිට එවන ලද ලිපි ඉතාමත් වැදගත් වූයේ ඒවා ධර්මපාලතුමාගේ අත් අකුරින් ම වූ බැවිනි. ඉන් එකක කොටසකි, පිට කවරයෙහි ඇත්තේ. මෙසේ මේ සත්කාර්යයට සහාය වූ සැමට මාගේ කෘතඥතාව හිමි වේ.

ධර්මපාලතුමාගේ කෘතීන් අතුරින් සියයට හැත්තැපහක් ම ඉංග්‍රීසි භාෂාවෙන් රචිතය; සිංහලෙන් ලියා ඇත්තේ සීමාසහිත ලිපි ගණනකි. ඊට හේතුව වූයේ මෙතුමා දඹදිව හා අපරදිග රටවල බුදු සසුන ප්‍රචාරය කිරීමට ඉමහත් වෙහෙසක් දැරීමය. ධර්මපාලතුමා ගේ සේවය හා සිතුවිලි වටහා ගැනීමට නම් එතුමාගේ ලිපි ලේඛන පොත් හතරක් ලෙස පළකළ යුතුය; එනම්:

(i) සරසවි සඳරැස, සිංහල බෞද්ධයා යනාදී පත්‍රවල පළවුණු සිංහල ලිපි. (ii) ඉංග්‍රීසියෙන් පළවුණු ලිපි හා පොත්. (iii) ඉංග්‍රීසි ලිපිවල හා පොත්වල සිංහල පරිවර්තනය. (iv) සිංහල ලිපිවල ඉංග්‍රීසි පරිවර්තනය.

මින් යටත් පිරිසෙයින් පළමුවැන්න හා දෙවැන්න අත්‍යාවශ්‍යය. දැන් පළ වී ඇත්තේ පළමුවැන්නය. මේ ලිපි සංග්‍රහය සර්ව සම්පූර්ණ යයි කීම අතිශයින් අසිරුය. මාගේ පර්යේෂණයට අසු නොවූ පත්‍ර හා සඟරා තිබෙන්නට පුළුවනි. එවැනි අඩුපාඩු දකින පාඨකයන් ඒ බව දන්වා එවුහොත් එය උසස් ශාස්ත්‍රික සේවයක් වන්නේ ය.

ඉංග්‍රීසි ලිපි සංග්‍රහය ද දැන් සූදානම්ව ඇත. පිටු දහස ඉක්මවා යන මේ සංග්‍රහය 1965 සැප්තැම්බර් 17 වැනිදාට නිකුත් කිරීම අප ගේ බලාපොරොත්තුවයි.

මේ සංග්‍රහයන් දෙකෙහි සංස්කාරක ලෙස මා පත්කිරීමෙන් හා ඒ සම්බන්ධ කටයුතු කර ගෙන යාමට සෑම සහායක් හා අනුබලයක් දෙමින් මා දක්වන ලද අනුග්‍රහය ගැන කලින් සංස්කෘතික ඇමති ගරු පී. බී. ජී. කළුගල්ල මහතාවන්, දැන් සංස්කෘතික ඇමැති ගරු ඩී. ඇස්. ගුණසේකර මහතාවන්, එතුමාණන් ගේ ස්ථිර ලේකම්වරුන් වූ ඇම්. ජේ. පෙරේරා මහතාට හා ඒ. ඇස්. කොහොඹන් වික්‍රම මහතාවන් මාගේ සාතිශය කෘතඥතාව හිමි වේ. රජයේ මුද්‍රණාලයාධිපති බර්නඩ් ද සිල්වා මහතුනට මාගේ ස්තුතිය පිරිනැමෙන්නේ මේ කෘතිය මුද්‍රණය කර දීමෙහි දී දෙන ලද උපදෙස් හා දැක්වුණු උනන්දුව අගය කරමිනි.

මීට, ධර්මශාස්ත්‍රෝන්නතිකාමී, ආනන්ද ගුරුගේ, සංස්කාරක.

ආනන්ද ගුරුගේ, අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ 3, 17.1.1965.