කර්ම විභාගය - ඉස්වැල්ලේ ජිනරතන හිමි 1929.pdf
- කතෘ :
- ඉස්වැල්ලේ ජිනරතන හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1929
- මුද්රිත වර්ෂය :
- 1929
- පිටු ගණන :
- 143
- බාගත කිරීම් ගණන :
- 1,418
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-08
- ගොනුවේ ප්රමාණය :
- 23 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කර්මවිභාගය යනු පුරාණ පණ්ඩිතවරයෙකු විසින් රචිත, කුශලාකුශල කර්ම සහ ඒවායේ විපාක මෙන්ම ත්රිපිටකය හා අටුවා ආශ්රිත අනෙකුත් වැදගත් ධර්ම කරුණු විස්තර කෙරෙන පැරණි සිංහල ධර්ම ග්රන්ථයකි. බණවර 12 කින් සහ ග්රන්ථාංග 81 කින් සමන්විත මෙම කෘතිය දඹදෙණි යුගය ආශ්රිත කාලවකවානුවක රචනා වන්නට ඇතැයි සැලකේ.
මෙම සංස්කරණය ඉස්වැල්ලේ ජිනරතන හිමියන් විසින් පුස්කොළ පිටපත් සංසන්දනය කර ශෝධනය කරන ලදුව, හඳලංකාවේ ශාස්ත්රෝදය පරිවෙණාධිපති පලුවැල්ගාලේ සරණපාල හිමියන්ගේ උපකාරයෙන් සකස් කර ඇත. 1929 දී (බු.ව. 2473) එච්. ඇස්. සේනානායක සහ ආර්. අභයසිංහ යන මහතුන්ගේ ප්රකාශනයෙන් විද්යාප්රකාශ යන්ත්රාලයෙහි මුද්රණය කරවා තිබේ.
ප්රස්තාවනා.
කුශලාකුශලකර්ම හා තද්විපාක ද නන්අයුරින් බෙදා ප්රකාශ කරණයෙන් මේ ග්රන්ථයට කර්මවිභාගයයි නම් තබන ලදි. කුශලාකුශල කර්මයන්ගේ විභාග පමණක් නොව බෞද්ධයන් විසින් විශේෂයෙන්ම උගත යුතු ධර්ම කොට්ඨාස රාශියක් පිටකත්රයෙන් හා අට්ඨකථා-ටීකාවන්ගෙන් ද උද්ධරණය කොට මෙය සඞ්ගෘහිත බැවින් ‘කර්මවිභාගය’ යනු සාමාන්ය සංඥාවක් ලෙස සැලකිය හැකියි.
මේ ධර්මපුස්තකය කිරීමෙහි අභ්යන්තර නිමිත්ත සිංහල බෞද්ධයන් කෙරෙහි පැවැති මහත් අනුකම්පාවයි. අනිකෙකුගේ මෙහෙයීමෙන් මෙය කළ බවක් ග්රන්ථයෙහි නො පැණෙන බැවින් බාහිරනිමිත්ත ද එයමමයයි සිතිය යුතුයි.
මෙහි කර්තෲ ‘කවරෙක්’දැයි නිශ්චයවශයෙන් කීමට ප්රතිෂ්ඨාවන කිසිවක් අපට ලැබුනු එකපොතකවත් නො තිබුන බැවින් හා බොහෝ වෘද්ධයන් විචාළ නමුත් මේ පොත මීට පෙර දැක පුරුදු ඇති කෙනෙක්වත් නො ලැබුන බැවින් මෙහි කර්තෲ නිශ්චය වශයෙන් කිව නො හැකියි.
එහෙත් රත්නත්රය විෂයෙහි දෘඪභක්තිමත් අර්ථකථා-පරිවාර ග්රන්ථ ඇතුළු පිටකත්රයෙහිත් මාගධ සංස්කෘතාදි භාෂාවිෂයෙහිත් අප්රතිහත බුද්ධියෙන් යුත් පණ්ඩිතවරයෙක් බැව් නිස්සැකව කිව හැකියි.
සාමාන්යයෙන් මෙහි ප්රමාණය බණවර 12 ක් පමණ වෙයි. මෙහි නිර්දිෂ්ට එක එක කාරණයන් අප විසින් එක එක ග්රන්ථාංගයක් වශයෙන් ගන්නා ලද බැවින් ග්රන්ථාංග 81.කින් යුක්තයි.
සිංහල භාෂාවෙන් ලියන ලද කිසිම පොතකින් ඉගෙන ගත නොහැකි වූ ද, සියල්ලන් විසින් උද්ග්රහණ ධාරණ කළයුතු වූද ධර්මකොට්ඨාස රාශියක් සංග්රහ කිරීමෙන් මෙය ප්රශෝභන-නිෂ්පාදිත බැවින් අද්විතීය සෛංහලීය ධර්මග්රන්ථයක් වශයෙන් ශ්රේෂ්ඨස්ථානය ලබත්ම ආහ්ලාද ජනක වාක්යයෝජනාක්රම හා පරිශුද්ධ ව්යාකරණ රීතිද ඉගෙනිය හැකිබැවින් ධර්මාධ්යයනය පතන්නවුන්ට පමණක් නොව සිංහලභාෂාවිෂයෙහි ප්රවීණත්වය බලාපොරොත්තු වන්නන්ට ද අතිශය ප්රයෝජනවත් වෙයි.
මෙහි නිර්මාණකාලයද නිශ්චය වශයෙන් කිව නො හැකියි. එබැවින් කාලනියමය කරගත යුතු වනුයේ භාෂා විලාසයෙනි. මෙහි භාෂාවිලාසය දඹදෙණි රාජ්යසමයෙන් මෙපිට සමීපකාලයෙහි භාෂාවිලාසයට සමානය යනු අපේ හැඟීමයි. ශ්රේෂ්ඨධර්මශාස්ත්රීය ග්රන්ථරාශියකගේ නිර්මාණයට අසහාය සාධන වූ කලිකාල සාහිත්ය පණ්ඩිත යන අපර නාමධාරි පණ්ඩිතපරාක්රමබාහු මහරජතුමො ශ්රීබුද්ධවර්ෂ 1719 (ක්රි. ව. 1247) වැන්නේහි හෙවත් මින් අවුරුදු 682 කින් ප්රථමයෙහි රාජ්යයට පැමිණියහ. එවිට මේ ග්රන්ථය මින් අවුරුදු 600 කින් පමණ පෙර නිෂ්පාදිතයයි අනුමිතිකව හැකියි.
මේ ග්රන්ථය මීට පෙර කිසිවෙකු විසින් ශොධනයෙන් ප්රචාරයට පැමිණවූ බවක් අප විසින් නො දන්නා ලදි. පළමුවෙන් අපට මේ පොත දක්නට ලැබුනේ වණ්ඩබුලාවේ කුද්දෙවිසාවේ පුණ්යාරාමයෙහි පුස්තකාලයෙනි. පොතෙහි ඇති ශ්රේෂ්ඨත්වය නිසා ආදර්ශ පුස්තක සෙවීමෙහි උද්යුක්තවූයෙන් රත්මලුකන්දේ විහාරස්ථානයෙන් හා මුනමල්දෙණියේ විහාරස්ථානයෙන් ද පොත් දෙකක් ලැබුනු නමුත් ඒ දෙක එකම ගුරුපොතකින් ලියා තිබෙන බැවින් මේ ශොධනයට ඉවහල්වූයේ පොත් දෙකකි. ඒ නිසාත් දීර්ඝකාලයක් අඥාත ලේඛකයන් විසින් අතිනත ලියාගෙන ඒම නිසාත් මෙකල ව්යවහාරයෙහි නො පවත්නා වචනරාශියක් අන්තර්ගත බැවිනුත් එකවරකින් මෙහි සම්පූර්ණ ශුද්ධියක් කිරීමෙන් ඇති දුෂ්කරබව නුවණැස්ගත්ත විසින් දක්නා ලැබේයි. මෙහි පාළි සංස්කෘත සිංහල වචනයන්ගේ අවිශේෂ සංඛ්යාත අනෙක් සිංහල ග්රන්ථවලටත් අධිකව ඇති බැව් පෙනෙයි. අපි එබඳු තැන් වෙනස්කිරීමෙහි සුහුසුලු නොවීමු. එසේ ම සප්තමී විභක්ති-පූර්වක්රියාදියෙහි බහුලවශයෙන් යෙදෙන ‘ඇ’ කාරය අපට ලැබුනු පිටපත්වල නො තිබුනු බැවින් හා ‘ඇ’ කාරව්යවහාරය එක්තරා කාලයකට සීමා වූ බැවින් අපවිසින් මේ සංස්කරණයේදී ඒ නො යොදන ලදි.
එසේම ඇතැම් ක්රියාවන්ගේ වුක්තාපදය ප්රාණිවාචකවුවත් ක්රියාව හා වුක්තාපදය විරුද්ධවචනවලින් යෙදී තිබෙන බැව් ද, තව සමහර තැනෙක වුක්තාපදය කර්මවිභක්ත්යාදියෙන් යෙදී තිබෙන බැව්ද පෙනේ යි. “පෙරළී” යයි සිතීමට අවකාශ ඇති එබඳුතැන්ද වෙනස් නො කෙළෙමු.
තවද අපේ ප්රමාදයන්වූ දෝෂස්ථාන කිපයක්ද මුද්රණයෙන් පසු දක්නාලදී. 40 වන පිටවේ 26 වන පේළේ “දැන් නො දෙන්නේ විනම්” යනු එකකි. එය “දැන් දෙන්නේ වී නම්” යි ශොධනය කටයුතුයි. 58-20 පේළේ “ඇසූබැව්” යන්න “ඇසූබැව් ඇති” කියාද, 21 පේළේ “නිසි ඇති” යන්න “නිසි” කියාද ශොධ්යයි. එසේම ප්රදීපෙය්ය-ශ්රොත්ර ආදිවශයෙන් තවත් කතිපයස්ථානයක් පෙනෙයි. ප්රදීපෙය්ය-ශ්රොත්ර ආදිවශයෙන් සිද්ධකරගත යුතුයි.
මේ ප්රතිසංස්කරණයේදී අපවයස්ය හඳලංකාවේ ශාස්ත්රොදය පරිවෙණාධිපති පලුවැල්ගාලේ සරණපාල ස්ථවිරයන්වහන්සේ ද අපට බෙහෙවින් උපකාරික වූ බැව් කෘතඥතා පූර්වක ව නිවේදනය කරමු.
දෙවැනිවර තවත් පොත් සපයා විශේෂ ශුද්ධියකින් යුක්ත කොට ග්රන්ථපදවිවරණයක් සහිතව මුද්රණය කරවීමට අදහස් කර තිබෙන බැවින් මෙවර ශොධ්යපත්රයක් නො යෙදීමු.
පාඨජනයෝ වරදිනසුල්ලෝයි. එබැවින් අපේ සංස්කරණයෙහිද තවත් වරදතැන් නැතිවිය නො හැකියි. එබඳුතැන් ඇතහොත් සමීක්ෂාකාරීහු ශොධනය කරගණ්වත්වා.
ESWELLE JINARATANA, ශ්රී: බු: ව: 2473, ක්රි: ව: 1929 නොවැම්බර් 20 දින, කඳුන්නේගෙදර පුෂ්පාරාමයේදිය.