පුරාණ සර්ප විෂ චිකිත්සා 1948.pdf

ප්‍රකාශිත වර්ෂය :
1948
මුද්‍රිත වර්ෂය :
1948
පිටු ගණන :
103
බාගත කිරීම් ගණන :
5,268
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-06
ගොනුවේ ප්‍රමාණය :
35 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 52

පුරාණ සර්ප විස චිකිත්සා යනු දේශීය සර්ප විෂ වෙදකමට අයත් අතිශය ගුප්ත හා ප්‍රත්‍යක්ෂ ඖෂධ යෝග, කෙම් ක්‍රම සහ මන්ත්‍ර ආදිය ඇතුළත් කොට සම්පාදනය කරන ලද වෛද්‍ය ග්‍රන්ථයකි. ආයුර්වේදයේ අෂ්ටාංග අතුරින් අගද තන්ත්‍රයට අයත් වන මෙම චිකිත්සා ක්‍රම පාරම්පරික දේශීය වෙදකම තුළ ඉතා වැදගත් තැනක් ගනී.

ග්‍රන්ථ සම්පාදකවරයාගේ සංඥාපනයෙහි දැක්වෙන පරිදි, පරම්පරා ගණනාවක් තිස්සේ රහසිගතව පැවත ආ වටිනා විෂ වෙදකම් ක්‍රම වැනසී යා නොදී ආරක්ෂා කර ගැනීමත්, මහජන ශාන්තිය පිණිස ඒවා ප්‍රකට කරවීමත් මෙම ග්‍රන්ථය මුද්‍රණය කරවීමෙහි ප්‍රධාන අරමුණ වී ඇත. 1948 වර්ෂයේදී නුගේගොඩ මොඩන් පොත් සමාගම මඟින් මෙහි ප්‍රථම මුද්‍රණය නිකුත් කර තිබේ.

සංඥාපනය.

මිනිස් තිරිසන් ආදීනට බාහ්‍යාභ්‍යන්තර වශයෙන් වැළඳෙන රෝගාබාධයන්ගෙන් ඔවුන් මුදවාලීමේ විද්‍යාක්‍රමයට වෛද්‍ය ශාස්ත්‍රයයි කියනු ලැබේ. පෙර අපර වශයෙන් මේ වෛද්‍ය ශාස්ත්‍රය දෙවැදෑරුම් කොට වෙන්කර ගෙන ඇත. පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රය සිද්ධ, යුනානි, ආයුර්වේදයැයි තෙකොටසකට වෙන් කොට ඇත්තේය. මෙය වෙනස් නම්වලින් තෙකොටසක් කොට හඳුන්වනු ලැබුවද එකක්ම බැව් පිළිගත යුතුය. එහෙත් යම් යම් අල්ප වෙනස් කම් නැත්තේ නොවේ. “ආයුරස්මින් විද්‍යතෙ” “තෙනවා ආයුර්වින්දනීති ආයුර්වේදඃ” යනු ආයුර්වේදයන්හි නිර්වචනය වේ. මේ ශාස්ත්‍රයෙහි ආයුෂ විද්‍යමාන වේනුයි,, නැතහොත් මේ ශාස්ත්‍රය කරණ කොට ගෙන ආයුෂ විඳින්නේ නුයි, ආයුර්වේදයයි යනු එහි අදහසය. මේ අනුව සලකන කල ලෝකයේ ඇති කුමන වෛද්‍ය ශාස්ත්‍රයකට නමුත් ආයුර්වේදයැයි නම් කිරීම නිවරදය. කුමන වෛද්‍ය ශාස්ත්‍රයකින් නමුත් කරනුයේ රෝග ව්‍යාප ශමනය කොට ආයුෂ ලබා දීම හෙයිනි.

රෝග බිඳාංශනය කිරීමේදී යොදනු ලබන ඖෂධයන් විවිධාකාරයෙන් සංස්කරණය කිරීම හේතු කොට ගෙන වෛද්‍ය ක්‍රම සිද්ධ යුනානි, ආයුර්වේද, ඉංග්‍රිසි යනාදි නම් වලින් වෙන්වී ඇතත් වෛද්‍ය ශාස්ත්‍රයේ මූලාරම්භය එකක්ම බැව් ඉතිහාසානුගතවන අවංකව පිළි ගැනීමට පුළුවන. වෛද්‍ය ශාස්ත්‍රයේ මූලාරම්භය එකක්ම නම් ඒ ඒ නම් වලින් හඳුන්වනු ලබන ඇතැම් වෛද්‍ය ක්‍රමයන් මාංශමය කොටස් දියවී ගොස් ඇට සැකිල්ලක් බවට පත්ව තිබෙන්නේ සිරුරක් හැටියට සලකා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා පමණක් තැබිය යුතුයැයි සමහර කෙනෙකුන් විසින් සිතන තරමට දුබල තත්වයක තිබෙන අතර තවත් වෛද්‍ය ක්‍රමයක් උච්ච රාශියේ පරම උච්චාංශකය කරා ගමන් කිරීමේ රහසක්ද තිබිය යුතුමය. දුබල තත්වය සම්බන්ධයෙන් කිවයුත්තේ හත මිටි කථාවය. එය කවුරුනුත් දන්නා බැවින් මෙහිලා සඳහන් නොකරමු.

ආයුර්වේද ශාස්ත්‍රය මහා බ්‍රහ්මයාගේ කුසතුල පිළිසිඳ ඔහුගේ මුඛින් ප්‍රසූත කරන ලද්දක්ය, එය සර්ව සම්පූර්ණය, මිනිස් ලොව උපන් කිසි වෙකුන් විසින්වත් එහි අඩුපාඩුවක් නොදැක්ක හැක්කය. ඒ නිසාම මහෞෂධ්‍යය, යනාදි කාලකණ්ණි-හීනගත අදහස් දරන්නවුත් අතර භාවිත වන වෛද්‍ය ශාස්ත්‍රයක ඇට සැකිල්ල වත් ඉතිරි වී තිබීම ගැන කෙලෙදම සන්තෝෂ විය යුතුය. මේ දිරායන ඇට සැකිල්ල කෞතුකාගාරයේ තැබීමට පසුගිය දිනක බටහිර වෛද්‍යවරයෙක් අදහස් කළේ ඊට අවඥා කරන චේතනාවෙන් නොව ඉතිරි ටිකවත් හතමිටි කාරයන්ගෙන් පරිස්සම් කොට ආරක්ෂා කර ගැනීමට බව පිළිගත හැකිය.

ආයුර්වේදය සර්ව සම්පූර්ණව තුබූ විද්‍යාවක් හැටියට පිළිගත යුතුය. ශල්‍ය, ශාලාක්‍ය, කෞමාර භෘත්‍ය, කාය චිකිත්සා, අගද තන්ත්‍ර, භූත විද්‍යා, වාජීකරන රසායන, වශයෙන් අෂ්ටාංගයකින් යුක්තව තුබුණු බව ඇත්තකි. එදා එබඳු මහෝත්කෘෂ්ට ලීලාවකින් පැවතුණු විද්‍යාවක් අද සංක්‍ෂිප්තාපන්නවෙන්වූ ඇට සැකිල්ලක් බවට පත්ව තිබීමට හේතුව කිම?

මීට හේතුව එකී විද්‍යාව ක්‍රියාවේ යොදවන පුද්ගලයන්ගේ හතමිටි කාර අදහසම පමණක් නොවේ. ඊට ඔවුන්ගේ ආත්මාර්ථකාමී කුහකත්වයද එකතු කල යුතුය. ඒ ඒ රෝගයන් සුවපත් කර ලීමේ කොතෙක් ප්‍රත්‍යක්‍ෂ ක්‍රම හා ඖෂධ සංයෝග දැන සිටියත් එය දෙවැන්නෙකුහට නොම උගන්වා තමා මැරෙන විට එයද මිනීවල තුලට ගෙන යාම අපේ මිනිසුන්ගේ ප්‍රවේණි ධර්මතාවකි. මේ මුසල ධර්මතාව නිසාම උත්තරීතර ශාස්ත්‍රයක මාංශමය කොටස් වලින් ක්‍ෂය වී ඇට කටු ගොඩක් බවට පත්වීමේ පුදුමයක් ඇද්දැයි සලකා බැලිය යුතුයි.

තත්පරයක් පාසාම දියුණුවේ මගටම එළඹෙන ගතානුගතික නොවු බටහිර වෛද්‍යවරයන් විසින් රෝග ව්‍යාප ශමනය සඳහා යම් කිසි අළුත් ක්‍රමයක් නිපදවා එයින් උත්කෘෂ්ට ප්‍රති ඵල ලබන කල්හි, අපේ පෙර දිග වෛද්‍යවරයන් විසින් ඊට කියනු ලබන්නේ කුමක්ද? ඕක අළුතින් සොයාගත් දෙයක් නොවේ. අපේ පොත් වලත් ඔවැනි ක්‍රම ගැන විස්තර කර තිබෙනවා, කලින් අපේ මිනිසුන් නොදුටු දෙයක් ඔය උදවියට දකින්ට ලැබෙන්නේ නැහැ යනාදි ඊර්ෂ්‍යාකාරයන්ගේ දෙඩවිල්ලකි. මේ අහංකාර කථා වෙහි ඇත්තක් තිබිය හැකිය. එහෙත් බටහිර වෛද්‍යවරයා මෙන් මහජන ශාන්තියක් වන අදහසින් එකී ක්‍රමය කලින් හෙළි පහලිකර සංස්කරණය කොට නොගත්තේ කුමක් නිසාදැයි ඇසිය යුතු ප්‍රශ්නයෙකි “මේවා අලියලගෙ අපේ වැඩ තමා,” යන්නෙන් අනියම් ගෞරවයක් ලැබීමේ අදහසින් කී කටුසු කථාවට මෙය දෙවැනි නොවේ.”

“මම ආදරය කරන තැනැත්තාට තරවටු කරමි” යනු ජේසුතුමාගේ ප්‍රකාශයෙකි. මෙතෙක් අපේ ආයුර්වේදය දුබලයැයි වැටහෙන පරිද්දෙන් වචනයක් දෙකක් කියන ලද්දේ අපේ වෙද සාමවත්, එය ක්‍රියාවේ යොදන වෛද්‍ය සහෝදරයන්ටත් අවඥා කරන අදහසින් නොවේ. ජේසු තුමාගේ ප්‍රකාශයෙන් එහි ගුප්තාර්‍ථය තේරුම් ගත හැකිය. “යමෙක් නොදන්නේද? නොදන්නා බව නොදන්නේද හේ අනුවණයෙකැ”යි අපි නිතරම කල්පනා කළ යුතු වෙමු අපේ නොදැනුම් කම ගැන නොදැන, දන්නා අයගේ පෙරමුණේ යාමට පෙරාතුව අපේ දැනීමේ අඩුපාඩු සියල්ලක්ම සම්පූර්ණ කර ගත යුතුව ඇත්තේය. ආයුධ සන්නද්ධ ප්‍රබල සතුරෙකු සමග සටනට යා යුත්තේ ඒ තත්වයෙන්ම ශක්තිමත්විය යුතුය. කලින් කොතරම් ශක්තිමත්ව සිටියත් සටනේදි දුර්වල බවම ඇසුරු කෙරේ නම් එයින් කුමන ප්‍රයෝජනයක්ද? සතුරාම ජය ලබනු ඇත.

එබැවින් අපේ ආයුර්වේදය පුනරුත්ථානයට නගා සිටුවීමට නම් හතමිටි කරෙන් බිමට බා කල්පනාකාරී විය යුතුය. ලෝක තත්වයේ මුහුණුවර දෙස හොඳ හැටි ඇස හැර බැලිය යුතුය. මහ බඹුගේ වැඩකට අතු ගැසීමේ අසමාන භීතිය පසෙක තබා ආයුර්වේදයේ ඇති අඩුපාඩුකම් සොයා බලා ඒවා සම්පූර්ණ කර ගත යුතුය. විවිධ පරීක්‍ෂණයන් කොට අමෘතය සොයා ගත යුතුය. එසේම පාරම්පරිකව පැවත එන විස්මය ජනක ප්‍රත්‍යක්‍ෂ ඖෂධ යන් ආත්මාර්ථා කාමිත්වයෙන් සඟවා නොතබා මහජනයා කෙරෙහි ඇති අනුකම්පාවෙන් ප්‍රකට භාවයට පමුණුවා ලිය යුතුය. එසේම ස්වකීය පක්‍ෂයේ සියලු දෙනාම අනෙ‍්‍යාන්‍ය සහයෝගයෙන්, සහෝදරත්වයෙන්, විසිය යුතුය.

මේ පොත ගැන:- “පුරාණ සර්ප විෂ චිකිත්සා” නමැති මේ පුස්තකය වනාහි පළමු සඳහන් කොට ඇති ශල්‍ය, ශාලාක්‍ය ආදී අෂ්ටාංගායුර්වේදය අතුරින් අගද තන්ත්‍රයට ඇතුළත් වූ අති රහස්‍ය දේශීය චිකිත්සා සමූහයකින් සමන්විත වූවකි.

සර්ප වෙදකම සම්බන්ධයෙන් වෙනත් රටවලට වඩා ලංකාව ඉතා ප්‍රකට කීර්තියක් උසුලන බව තත්වඥයන්ගේ පිළිගැනීමය. ඉන්දියාවේ පවා නොමැති ගුප්ත රහස් ඖෂධ සංයෝගයන්ගෙන් ලංකා වාසීන් විසින් අති දුඃසාධ්‍ය විෂ රෝගීන් සුවපත් කිරීමෙහි ඉතා දක්ෂය. ආයුර්වේද ග්‍රන්ථ වල පවා අඩංගු නොමැති චිකිත්සා ක්‍රමයන් අනුගමනය කිරීමෙන් කරනු ලබන මේ සර්ප වෙදකම ලංකා වාසීන් විසින්ම ආයුර්වේදය මූලික ධර්මයන් ඔස්සේ ගොස් නිපදවා ගත් සේ පෙනේ. පුරාතන සිංහලයන් එසේ වුවද අද සිංහලයන් ගතානු ගතික භාවයේ නිමග්නව කලින් සොයා තිබෙන දෙයින්ද නිසියාකාර ප්‍රයෝජනයක් නොගෙන එය නැත්තටම නැතිකර දමත්. අද දවසේ පවා පාරම්පරිකව පැවත එන සමහර සර්ප විෂ චිකිත්සකයෝ විස්මය ජනක ආකාරයෙන් ඉතා ගුප්ත ක්‍රම වලින් විෂ රෝගීන් සුවපත් කරති. බටහිර නවීන විද්‍යාක්ෂියට පවා මේ තාක් නොවරදින ප්‍රත්‍යක්ෂ චිකිත්සා ක්‍රමයක් සර්ප විෂ රෝගීන් සම්බන්ධයෙන් හමුවී නැත එහෙත් අපේ පැරණියන් ඒ සම්බන්ධයෙන් අග තැන්පත්ව සිටි බව ඔවුන්ගේ ගුරුපදේශ අනුව චිකිත්සා කරන සමහර සර්ප විෂ වෙදවරුන්ගේ දක්ෂ භාවය අපට සාක්ෂ්‍යයෙකි. එහෙත් එබඳු දිව්‍යමය ගුප්ත ක්‍රම පරම්පරාවටම උරුම කර තැබීමට ඔවුන් විසින් කල්පනා කිරීම ඛේදයට හා අවාසනාවට ආසන්න වීමට කරුණෙකි. මේ හේතු කොට ගෙන කලකදී ගුප්ත විද්‍යා ක්‍රමයක් සහමුලින්ම වැනසී යනු ඇත.

“පුරාණ සර්ප විෂ චිකිත්සා” නමැති මේ පොත ප්‍රකාශ භාවයට පැමිණ වීමෙන් අප අදහස් කරන්නේ, පරම්පරා කීපයක ඉතා රහසි ගතව තුබුණු ප්‍රත්‍යක්ෂ ඖෂධ රාශියක් නැසී යා නොදී ආරක්ෂා කිරීමටය. ගුප්තව තිබෙන මෙවැනි ඖෂධ යෝගයන් ප්‍රකට කිරීමෙන් එහි චිර ජීවනය ඇති වෙනවා පමණක් නොව මහ ජනයාට ශාන්තියක්ද වන්නේය.

සමහරුන්ගේ කල්පනාව නම් යම් කිසි ප්‍රත්‍යක්ෂදායක ඖෂධ යෝගයන් හා මන්ත්‍ර ගුරුකම් ආදිය කිසි වෙකුට දීම හෝ මුද්‍රණ ද්වාරයට පැමිණ වීම හෝ ඒ වායේ බල පිරිහීමට හේතුවක් බවය. මේ අන්ධ විශ්වාසයක් මෙන්ම ආත්මාර්ථකාමීන්ගේ කපටි කථාවෙකි.

එබැවින් ඉතා ගුප්තව රැකගෙන ආවාවූ විෂවෙදකම සම්බන්ධ ප්‍රත්‍යක්‍ෂ ඖෂධ රාශියක් හා මන්ත්‍ර සමූහයක් මේ පුස්තකයට ඇතුලත්කර ඇත. එයින් ප්‍රයෝජන ලැබීම බුද්ධිමත් ජනයාට අයත් යුතුකමක් බව සඳහන් කරමින් කුමන වෙදකමක් සම්බන්ධයෙන් හෝ ගුප්තව පැවත එන චිකිත්සාක්‍රම ප්‍රකට භාවයට පැමිණවීම ආයුර්වේදයට පුනරුත්ථානයට ප්‍රාණ වායුව පිඹීමක් වන බව කල්පනා කල හෙයින්ම මේ පුස්තකය අද ඔබගේ අතට පත්ව ඇති බව සැලකිය මනාය.

සම්පාදක

සම්පාදක