ශ්රාවක ශ්රාවිකා චරිත සිතුවම් සහිත - කිරිඇල්ලේ ඤාණවිමල හිමි 1957.pdf
- කතෘ :
- කිරිඇල්ලේ ඤාණවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1957
- මුද්රිත වර්ෂය :
- 1957
- පිටු ගණන :
- 547
- බාගත කිරීම් ගණන :
- 1,672
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-03
- ගොනුවේ ප්රමාණය :
- 85 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සිතියම් සහිත ශ්රාවක - ශ්රාවිකා චරිත යනු බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයන් වහන්සේලා අසූ නමකගේ සහ ප්රධාන භික්ෂුණීන් වහන්සේලා දහතුන් නමකගේ ජීවිත කථා පුවත් ඇතුළත් කොට පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් විසින් සම්පාදිත වටිනා චරිතාපදාන ග්රන්ථයකි.
මෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ, සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්යප, ආනන්ද ආදී අසූ මහා ශ්රාවකයන් වහන්සේලාගේ චරිත කථා මෙන් ම මහා ප්රජාපතී ගෝතමී, ඛේමා, උප්පලවණ්ණා ආදී තෙරණින් වහන්සේලාගේ චරිත කථා ද පෙළ සහ අටුවා ග්රන්ථ (ථෙර-ථෙරී ගාථාට්ඨකථා, අපදානට්ඨකථා, අංගුත්තරට්ඨකථා ආදිය) ඇසුරින් සරල සිංහලෙන් විස්තර කර ඇත.
මරදානේ විද්යාධාර පුස්තකාලයාධිපති සී. ඇස්. මුදන්නායක මහතාගේ ආරාධනයෙන් සම්පාදිත මෙම කෘතිය රත්නපුර මාරපණ ශාස්ත්රොදය යන්ත්රාලයෙහි මුද්රණය කරවා 1957 (බු.ව. 2501) දී ප්රකාශයට පත් කර තිබේ.
හැඳින්වීම
ශ්රාවක චරිතය
අපගේ සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ සාරා සංඛ්ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දශාදි සමත්රිංශත් පාරමී ධර්මයන් පුරා ලොවුතුරා බුද්ධ රාජ්යයට පැමිණ වදාළායින් පසු ව උන් වහන්සේ විසින් දේශනා කරණ ලද පරම ගම්භීර නෙය්යාර්ත්ථික ශ්රී සද්ධර්ම දේශනාව ශ්රවණය කොට ගෘහ වාසයෙහි ආලය හැර ප්රව්රජිත භාවයට පැමිණි අනන්ත පරිසංඛ්යා ශ්රාවක සංඝ සමූහයක් ලොව පහළ වූ හ.
උන් වහන්සේලා අතුරෙන් බුදුරජාණන් වහන්සේ පිරිවර කොට පන්සියයක් මහා ක්ෂීණාශ්රවයන් වහන්සේලා නිතර හැසිරුනාහ.
ඒ නිකෙලෙස් අතුර බුද්ධකාරක ධර්මයන් පුරණ බෝධිසත්ව අවස්ථාවෙහි දී පවා බොහෝ විට තමන් වහන්සේ ඇසුරු කළ අසූ මහා ශ්රාවක කෙනෙක් වූ හ.
පෙර බුදුවරුන් වෙතින් ලබන ලද නියත විවරණ අනුව පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් එතදග්ර ස්ථානාන්තර ප්රාප්ත ශාරීපුත්ර - මෞද්ගල්යායන අග්ර ශ්රාවක දෙනම ප්රමුඛ මහා ක්ෂීණාශ්රවයන් වහන්සේ ද මේ අසූ මහා ශ්රාවක පිරිසට ඇතුළත් ය. මේ ශ්රාවක චරිතයෙහි දැක්වෙන්නේ උන් වහන්සේලා අසූ නමගේ චරිත කථාවෝ ය.
එ හෙයින් කීහ :-
කොණ්ඩඤ්ඤො භද්දියො වප්පො මහානාමො ච අස්සජී, උපතිස්සො කොලිතො පුණ්ණො අනුරුද්ධො ච කස්සපො. භද්දියො කිම්බිලො භගු භද්දො ආනන්ද රාහුලො, උපසෙනො කාලකො දබ්බො සොනො සීවලි දබ්බකො. සූතා පරන්තකො පුණ්ණො රෙවතො පුන රෙවතො, කුමාරකස්සපො රාධො වක්කලිසො සොභිතො භගු. සෙලුදයි ච භද්දලි භද්දියො ච ලකුණ්ඨකො, තොදෙය්යකප්පො ධොතයො ජතුකණ්ණී ච පොසලො. පුණ්ණකො ධොතකො නන්දො උපසීවො ච හේමකො, මොඝරාජිනො තිස්සො මෙත්තගූ පිණ්ඩියො ඉසි. මෙඝියො කොට්ඨිතො ජතුන්නා උපවාණො ච හදයී. කප්පිනකො මහා කප්පි රට්ඨපාලො ච වක්කලි. සාගතො ලක්ඛණො චාපි භාරද්වාජො ගවම්පති, යසො පුණ්ණජී කච්චානො පන්ථකො චුල්ලපන්ථකො. පිළින්දිවච්ඡො කුණ්ඩධානා බක්කුලො නදීකස්සපො, භද්රාවුධො අංගුලිමාලො කස්සපො ගයකස්සපො. අචෙලකස්සපො ධීරො සක්යො පුත්තො විසාරදො, උරුවෙලකස්සපො ථෙරො සුභූති සතියො පිචා’ති.
ශ්රාවිකා චරිතය
බුදුරජාණන් වහන්සේගේ සිව් පිරිස අතුරෙන් දෙවැනි තැන ලැබෙනුයේ භික්ෂුණීන් වහන්සේට ය. මහා ප්රජාපතී ගෞතමින් වහන්සේ විසින් මහත් උත්සාහයෙන් ආරම්භ කරණ ලද මෙම භික්ෂුණී ශාසනය ථෙරවාදි බෞද්ධ රටවල අධිගම අභව්යතාවය දක්වා පැවති බව පෙනේ.
ධර්ම චක්රවර්ති ධර්මාශොක මහරජුන්දුහිතෘ වූ ශ්රී සංඝමිත්රා මහ රහත් මෙහෙණින් වහන්සේ විසින් මෙම ශ්රී ලංකා ද්වීපයෙහි පිහිටුවන ලද භික්ෂුණී (මෙහෙණී) ශාසනය අවුරුදු අටසිය පනහකට වැඩි කාලයක් පැවතුනේ නැත.
මෙම දිවයිනෙහි විසූ භික්ෂුණීන් ගැන අපේ වංශකථාවල අන්තිමට සඳහන් ව තිබෙන්නේ සිව්වැනි කසුප් (ශ්රී· බු: ව: 1451- ක්රි: ව: 914) රජුගේ පුත්ර සක්ක සෙනෙවියාගේ බිරිඳ වූ වජිරා කුමරිය විසින් ශ්රී පාදස්ථානයෙහි මෙහෙණවර (භික්ෂුණී ආශ්රමය) ක් කරවා ථෙරවාදී භික්ෂුණීන්ට පිදීමේ පුවත යි.
ඉන් පසු මේ ගැන අපේ පැරණි පොත පතක හෝ ශිලා ලිපි ආදි වෙන යම්කිසි ලේඛනයක සඳහන් ව නැති නිසා ලක්දිව පිහිටවූ මෙහෙණී ශාසනය අවසන් වී දැනට අවුරුදු දහසක් පමණ ගතවී තිබෙන බැව් සිතිය හැක.
පරසතුරු (දෙමළ) උවදුරු—රටේ අභ්යන්තර වියවුල් හා අපේ ප්රධාන නගරය වූ අනුරාධපුරයෙහි වැටීම, යන මේ කරුණු නිසා රට අභ්යන්තරයෙහි ආරක්ෂා සංවිධාන රහිත වීමත් භික්ෂුණී ආශ්රම අභාවයට යාමට තවත් හේතුවක් ලෙස සැලකිය හැක.
මෙම ශ්රාවිකා චරිතයෙහි ලියා තිබෙන්නේ භික්ෂුණී (මෙහෙණී) ශාසනය පිහිට වූ මහා ප්රජාපතී ගෞතමින් වහන්සේ ඇතුළු එතදග්ර ස්ථානාන්තර ප්රාප්ත මහා ක්ෂීණාශ්රව භික්ෂුණීන් වහන්සේලා දහතුන් නමකගේ චරිත කථාවෝ ය.
එ හෙයින් කීහ:- ඛෙමා උප්පලවණ්ණා ච - පටාචාරා ච ගොතමී, සිගාලමාතා කච්චානා - කුණ්ඩලකෙසී ච නන්දා. භද්දා කාපිලානී චෙව - කිසාගොතමී සකුලා, ධම්මදින්නා මහාපඤ්ඤා - සොනා චෙව තෙරසිමා‘ති.
මේ චරිත කථා පොතෙන් ලැබිය හැකි ප්රයෝජන:
බුද්ධ චරිතය හැරෙණ විට ශ්රෙෂ්ඨතම ආදර්ශ චරිතාපදාන වශයෙන් ගැනෙන්නේ උන් වහන්සේගේ සිවු පිරිස අතර වූ මේ ක්ෂීණාශ්රව ශ්රාවක-ශ්රාවිකාවන්ගේ චරිත කථා වස්තුහුය.
බෞද්ධ වූ අපට මාහැඟි ධර්ම ග්රන්ථයක් වශයෙනු ත්, ස්වභාෂාභ්යාසයනට ආදර්ශ කථා සහිත ශ්රේෂ්ඨතම සිංහල සාහිත්ය ග්රන්ථයක් වශයෙනු ත් මෙයින් ලැබියහැකි ප්රයෝජන ඉමහත් ය.
තම තමන්ගේ ජීවිත උසස් ලෙස හැඩගස්වා ගැනීමේ එක ම ක්රියා මාර්ගය ද බුද්ධිමත් වීරයන්ගේ චරිත කථා කියවීම ය.
මෙහි දැක්වෙන හැම කථාවස්තුවකින් ම ස්ත්රී-පුරුෂ උභය පක්ෂයට ලැබිය හැකි ආදර්ශ අපමණය.
ආර්යය ශිෂ්ටාචාරය අනුව හැඩගැසුන ගෘහ ජීවිතයේ පටන් සංසාර විමුක්තිය දක්වා උගතයුතු හැම දෙයක් ම මේ චරිත කථා වස්තුවල ඇතුලත් ව තිබෙන හෙයිනි.
මෙහි සඳහන් කථා වස්තු අතර භික්ෂුණී ශාසනය පිහිටුවීමේ පටන් පරිනිර්වාණය දක්වා වූ මහා ප්රජාපතී ගෞතමී චරිතය කියවන අයෝමය හෘදයක් ඇත්තෙකුට වුව ද දෑසින් කඳුළු නො වගුරුවා සිටිය නො හැක. එය එපමණ ම සංවේග ජනකය.
“පිරිනිවන් පෑම සඳහා පන්සියයක් අනුගාමික මෙහෙණින් වහන්සේ කැටුව තථාගතයන් වහන්සේ වෙතට පැමිණි මහා ප්රජාපතී ගෞතමින් වහන්සේ තමා කුස හොත් (නන්ද) කුමරු පෝෂණය සඳහා කිරි මුවුන්ට භාර දී තම වැඩිමහල් සොහොයුරිය (මහා මායා බිසව) ගේ පුත්ර (සිදුහත් කුමරු) දෙ තනයෙහි කිරි පොවා දරු සුරතල් බලා හදා ගැනීමේ පටන් ලොවුතුරා බුදු බවට පැමිණීම දක්වා වූ සිදුවීම් සියල්ල - පුත්ර ස්නේහයෙන් බඳවාලිය සිතැති ප්රේමණීය මවක් වැඩිය පැමිණි සිය පුත් කුමරු බලා ඔහුගේ අතීත සිදුවීම් පිළිබඳ රසමුසු හැඟීම් කියා පා ප්රීතිවන්නා සේ උන් වහන්සේ ඉදිරියේ ප්රකාශකොට,
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුත් උන් වහන්සේගේ ශ්රී ශරීරය සිත් පුරා දැක වැඳ පුදා ගැනීමට අවසර ඉල්ලීම ත්,
එ වේලෙහි තමා කුඩා කල සුළුමවගේ දෙ තනයෙහි කිරි උරමින් පෑ දරු සුරතල් වෙනුවට බෝධිද්රව මූලයෙහි දී ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරණ ලද නිවණ නැමැති අමා පැන් පොවා භවෝත්පත්තිය සුන් කරලීමෙන් තුටුව විමුක්ති සැප අනුභව කරණ සිය දුවණියකගේ ලොව්තුරා පෙළහර දැක්වෙහි රුචියත්, එයින් වෙනෙය්ය ජනතාවට ලැබිය හැකි ප්රයෝජනයත් සලකා දෝ,
උන් වහන්සේ විසින් දෙන ලද අවසරය අනුව පන්සියයක් ක්ෂීණාශ්රව භික්ෂුණීන් පිරිවරා මහා ප්රජාපතී ගෞතමින් වහන්සේ රැස් වූ මහ ජනයා විසින් අහස - පොළොව ගුගුරා සැලෙන සේ පවත්වන ලද සාධුනාද මධ්යයෙහි—දක්වන ලද විවිධ ප්රාතිහාර්යය සමූහය අවසානයෙහි සමිඳු ශ්රී පාද යුග්මය වැඳ පිරිනිවන් පෑමට අවසර ගෙණ ස්වකීය ආශ්රම කරා පෙරලා යාමට නික්මීම ත්,
මෙම උත්තමාව විසින් තමන්ට ත් සමිඳු ශාසනයට ත් කරණ ලද මෙහෙයට කෘතගුණ දැක්වීමක් වශයෙන් ශ්රාවක සංඝයා පිරිවරා තථාගතයන් වහන්සේ ආරාම දොරටුව දක්වා පසු ගමන් කොට නතරවීම ත්,
පිරිනිවන් පෑමෙන් පසු ඒ හැමදෙනා වහන්සේගේ ම ශ්රී ශරීර ශාක්ය රජුන් ලවා ආදාහණ කරවා එතුමියගේ ශාරීරික ධාතු තමන් වහන්සේ දන් වලඳන පාත්රයෙන් පිළිගෙන ඒ රජවරුන් ලවා ම චෛත්යයක් කරවා ඒ ධාතු එම චෛත්යයෙහි තැන්පත් කරවා ඒ සෑය වටා තෙවිටක් ප්රදක්ෂිණා කොට දෙවි - මිනිසුන් විසින් එම ශාරීරික චෛත්යයට කරණ ලද පූජා සත්කාර මධ්යයෙහි ධර්ම සංවේගයෙන් යුක්තව පෙරලා විහාරයට වැඩම වීම ත් දක්වා ඇති ඒ විස්තරය සංවේග ජනකය.
සකල කෙලෙසුන් ප්රහීන කර බුද්ධ රාජ්යය ලබා ගැන්ම සඳහා සෙවන දුන් රුකට සත් දිනක් අනිමිසලෝචන පූජාවෙන් කෘතෝපකාර දැක් වූ අපගේ දීපදොත්තමයාණන් වහන්සේ කුඩා කල ඇති දැඩි කළ සුළු මවට කෘතොපකාර වශයෙන් දක්වන ලද මේ අපදානය අප හැමදෙනා ම සිත තබාගත යුතු ආදර්ශයකි.
මේ චරිත කථා පොත සම්පාදනය කිරීමේ දී ආශ්රිත අර්ථ කථා සහිත ත්රිපිටක ග්රන්ථ 1. මහා වග්ග පාලි 2. චුල්ලවග්ග පාලි 3. දීඝනිකාය 4. මජ්ඣිමනිකාය 5. අංගුත්තර නිකාය 6. අංගුත්තර නිකායට්ඨ කථා 7. ථෙරගාථාට්ඨ කථා 8. ථෙරීගාථාට්ඨ කථා 9. අපදානට්ඨ කථා 10. සුත්තනිපාතට්ඨ කථා 11. ධම්මපදට්ඨ කථා
අනුස්මෘති
අප ලවා සිංහල ශ්රාවක - ශ්රාවිකා චරිත කථා පොතක් ලියවා ගැනීමේ බලවත් අභිලාශය දැක් වූ කොළඹ - මරදානේ මාලිගාකන්ද පාරේ විද්යාධාර පුස්තකාලයාධිපති සී. ඇස්. මුදන්නායක මහතා විසින් කරණ ලද ආරාධනය අනුව ඉතා සුළු කාලයක් තුළ මෙය ලිවීම ත් මුද්රණය කිරීම ත් එකවිට ම නිම කළ හැකි විය.
දහසක් අනවකාශ කම් මධ්යයේ මෙය මෙසේ අවසන් කර ලංකාවාසීන් අතට පත් කළ හැකි වූයේ අප කාර්ය මණ්ඩලයේ බලවත් උත්සාහය නිසා ය.
ධර්ම ග්රන්ථයක් වශයෙන් හා සාහිත්ය ග්රන්ථයක් වශයෙන් සිංහල භාෂාව දන්නා අයට මහත් ප්රයෝජනයක් අත්වන මේ ග්රන්ථය සම්පාදනය කිරීමෙහි ලා එම කාර්ය මණ්ඩලය විසින් ගන්නා ලද පරිශ්රමය අගය කොට සලකමු.
මෙයට, පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර
2501 ——සැප්තැම්බ්ර 1 දින 1957 මාරපණ ශාස්ත්රොදය පිරිවෙන්හි දී ය.
පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර, මාරපණ ශාස්ත්රොදය පිරිවෙන්හි දී ය., 2501 — සැප්තැම්බ්ර 1 දින 1957