චරක සංහිතාව - බුද්ධදාස 1960.pdf
- කතෘ :
- චරක
- ප්රකාශිත වර්ෂය :
- 1960
- මුද්රිත වර්ෂය :
- 1960
- පිටු ගණන :
- 999
- බාගත කිරීම් ගණන :
- 6,131
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-02
- ගොනුවේ ප්රමාණය :
- 302 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
චරක සංහිතාව යනු භාරතීය ආයුර්වේද වෛද්ය සම්ප්රදායේ මූලික හා ශ්රේෂ්ඨතම ග්රන්ථය වන චරක සංහිතාවේ සම්පූර්ණ සිංහල අනුවාදයයි. අග්නිවේශ මුණිවරයා විසින් ප්රණීත කොට චරක හා දෘඪබල යන ආචාර්යවරුන් විසින් ප්රතිසංස්කරණය කරන ලද මුල් සංස්කෘත කෘතිය, ආයුර්වේද ශාස්ත්රී ආර්. බුද්ධදාස මහතා විසින් මෙසේ සිංහලයට නගන ලදී.
රාජ්ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්රකාශන අංශය මගින් 1960 දී පළමු වරට මුද්රණය කරවූ මෙම කෘතිය, ආයුර්වේද වෛද්ය විද්යාලීය සිසුන්ට මෙන්ම වෛද්යවරුන්ට ද පරිශීලනය කළ හැකි අයුරින් ලිහිල් බසින් සකස් කර ඇත. ග්රන්ථ ශුද්ධිය සඳහා විශේෂ ආයුර්වේද වෛද්ය මණ්ඩලයක සහාය ලබාගෙන තිබේ.
මෙහි සූත්රස්ථානය ඇතුළු මූලික අධ්යායයන් ගණනාවක් ඇතුළත් වන අතර චිකිත්සා, ද්රව්ය ගුණ, සනීපාරක්ෂාව සහ රෝග නිවාරණය පිළිබඳ සවිස්තරාත්මක කරුණු අඩංගු වේ.
පෙරවදන
දැනට පවත්නා අවශ්යතාවන් අනුව පෙර අපර යන දෙදිගටම අයත් වෛද්යක්රම හැදෑරීමට අවශ්ය පොත්පත් සිය බසට පරිවර්තනය කොට පළකිරීම මෙම දෙපාර්තමේන්තුව මගින් අරඹා ඇත්තේය. අපර දිග වෛද්ය විද්යාවට අයත් පොත් කිහිපයක් දැනටමත් පළකොට ඇති අතර තවත් පොත් රාශියක් පරිවර්තන අවස්ථාවේ පවත්නේය.
පෙරදිග වෛද්යක්රමවලින් ඉතාම වැදගත් එක නම් ආයුර්වේදයයි. මෙයට අයත් මූලික ග්රන්ථ සියල්ලම ලියා ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. මෙයින් ඉතාම වැදගත් පොත හැටියට සැලකෙන්නේ චරක සංහිතාවයි. මේ ග්රන්ථය ඉන්දියාවේ දේශීය භාෂා කිහිපයකට පරිවර්තනය කොට ඇති අතර මුළු පොතම සිංහලයට මෙතෙක් කල් නගා නොතිබුණෙන් එය පරිශීලනය වෛද්යවරයන්ට පවා ඉතා ම දුෂ්කර එකක් විය. එහෙයින් ස්වදේශීය වෛද්යක්රම සංවර්ධන කොමසාරිස්වරයා වෛද්ය විද්යාලවල ගුරුවරුන්ගේත් ශිෂ්යයන්ගේත් වෛද්ය වෘත්තියෙහි යෙදී සිටින්නන්ගේත් ප්රයෝජනය සඳහා මෙම කෘතිය පමණක් නොව අනිකුත් අවශ්ය ආයුර්වේද වෛද්ය ග්රන්ථ ද සිංහලයට පෙරළා ප්රසිද්ධ කිරීම අනුමත කොට එම වැඩ පිළිවෙළේ මුල් අංකය වශයෙන් ඉහත සඳහන් කළ චරක සංහිතාවට ආයුර්වේද ශාස්ත්රී ආර්. බුද්ධදාස මහතා විසින් කරන ලද සිංහල අනුවාදය පළකිරීමට මේ දෙපාර්තමේන්තුවට භාර කරනලදී. ග්රන්ථ ශුද්ධිය සඳහා එය පළ කිරීමට පෙර මෙම දෙපාර්තමේන්තුව එය ආයුර්වේද වෛද්ය මණ්ඩලයක් ලවා සකස් කරවා ගත්තේය.
ආයුර්වේදයේ ශ්රේෂ්ඨතම ග්රන්ථය ලෙස සැලකෙන චරක සංහිතාවේ තරමක ලිහිල් බසින් ලියා ඇති මේ සිංහල අනුවාදය නිසා එය පරිශීලනය කරන්නවුන්ට මින් මතු සංස්කෘත භාෂාවේ උදවු වුවමනා නොවේ. ආයුර්වේද ග්රන්ථාවලියේ මූලික ග්රන්ථ අතුරින් මේ පොතට සමකාලීන ග්රන්ථයක් ලෙස සැලකෙන සුශ්රැතය මී ළඟට පළකිරීමට කටයුතු සලසා ඇත්තේය.
නන්දදේව විජේසේකර,
රාජ්ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්රකාශන අංශයේ
නියෝජ්ය කොමසාරිස්.
1960 ජූලි
ප්රස්තාවනාව
ආසියාවට ආභරණයක් වූ භාරතය (දඹදිව, ඉන්දියාව) ලෝකයා අතර ප්රසිද්ධියට පැමිණියේ, භාරතීය පඬිවරයන් ගේ විශිෂ්ටතම ඥාන මහිමය නිසා ය. ධර්ම, දර්ශන, විද්යා, කලා ශිල්පාදි වශයෙන් ප්රභේදගත ව සිටි භාරතීය ඥාන-විඥාන සම්පත්තිය, පුරාණ ලෝකයෙහි විසූ උගත් නුගත් හැමදෙනා ගේ ම නෙත්-සිත්, භාරතය දෙසට හැරවීමට සමර්ථ විය. ඥානය අතින් මෙතරම් ශ්රේෂ්ඨ තත්ත්වයකෙක විරාජමාන වූ භාරතීයයන් ධර්ම-අර්ථ-කාම-මෝක්ෂ යන සියලු වැදෑරුම් වූ පුරුෂාර්ථසිද්ධීන් අතුරෙහි මුඛ්යත්වයෙන් සැලකෙන ආරෝග්යය සඳහා කොතරම් හොඳින් නුවණ මෙහෙයැවිණි ද ? යත හොත් : ලෝකයේ ප්රථම ම චිකිත්සාක්රමය වන ආයුර්වේදය බිහි වූයේ භාරතීය විද්වතුන් ගේ ඥානගර්භයෙනි.
කවදත් කොයි දෙයත් පහළ කිරීමේ ගෞරවය (බ්රහ්ම-විෂ්ණු-ඊශ්වර යන) ත්රිමූර්තියට හිමි කිරීමේ ප්රයත්නයෙහි යෙදුණු වෛද්යයන්, තමන් සොයා ගත් ආයුර්වේදය ද, දෙවියන් ගේ කෘතියක් වශයෙන් ගෙන, එය බ්රහ්මප්රභව ඥානධනයෙකැ යි ද, අථර්ව වේදයේ උපවාංගයෙකැ යි ද සඳහන් කළ බව පෙනේ.
භාරතීය විද්වතුන් ගේ වෙනත් විද්යාවන් මෙන් ම ආයුර්වේදය ද මහා ග්රන්ථ සමූහයකින් පරිපෝෂිත ව පැවැතියේ ය. බ්රහ්ම සංහිතා, භේල සංහිතා, චරක සංහිතා, සුශ්රැත සංහිතා, වාඩපීර්කීය තන්ත්ර, නාවනීතක ආදි වූ මහාර්ඝ ග්රන්ථරත්න රාශියක් අතුරින් අද අපට ඉතිරි ව ඇත්තේ කීයක් ද ? ඉතිරි ව ඇති ඒ ග්රන්ථයන් අතර ද විපතට නො පැමිණි එක ද ග්රන්ථයක්වත් නැත්තේ මැ යි ; හැම ග්රන්ථයක් ම ජරාජීර්ණ ය, ප්රකෘතියට පැමිණැවිය නො හෙන පමණින් විනාශයට පාත්ර ව ඇත.
ආයුර්වේදය මුල් අවස්ථාවෙහි ම පරම්පරා දෙකක් ඔස්සේ ගමන් ගත්තේ ය. එකක් ධන්වන්තරි පරම්පරාව යි, එය ශල්යාංගමූලික විය. අනෙක භරද්වාජ පරම්පරාව නොහොත් ආත්රෙය පරම්පරාව යි, එය චිකිත්සාමූලික විය. මෙකී භරද්වාජ-ආත්රෙය පරම්පරාවෙහි ආ චිකිත්සා ක්රමය, ආත්රෙයානුශාසනය අනුව අග්නිවේශ මහර්ෂිහු විසින් ග්රන්ථගත කිරීමෙන් අග්නිවේශ තන්ත්රය පහළ විය. මෙය චරක සංහිතා නමින් අප දන්නා ශ්රේෂ්ඨ වෛද්යග්රන්ථයෙහි මුල් ම අවස්ථාව වශයෙන් සලකනු ලැබේ. චරකයේ අද්ධ්යායාන්ත පාඨවලින් ද, ඒ බව මැනවින් පැහැදිලි වෙයි.
අග්නිවේශ තන්ත්රය ආත්රෙය සම්ප්රදායයෙහි වූවන් ගේ ප්රධාන අවලම්බනය වූවාක් මෙන් ම කායචිකිත්සාමූලික ප්රධාන අවලම්බනය වූයේ ද එය මැ යි ; එහෙත් එය ශල්යචිකිත්සාමූලික චිකිත්සා සංග්රහය වූ සුශ්රැතයටත් වඩා දාරුණ විපතකට යොමු වූයේ යැ. එහෙයින් ම අග්නිවේශ තන්ත්රය චරක සංහිතා යන නමටත්, සුශ්රැතය ඒ පැරණි නමින් ඉවත් නො වීමටත් සුදුසු විය.
ජරාහත අග්නිවේශ තන්ත්රය ප්රතිසංස්කරණය කිරීමෙන් විය හැකි අනුපම ලෝකාර්ථය ගැන මෙනෙහි කළ චරක පඬිතුමා, ග්රන්ථයේ මුල පටන් චිකිත්සිතස්ථානයේ අර්ධසීමාව දක්වා ම ඒ සඳහා ඉමහත් පරිශ්රමයක් දැරී ය. අග්නිවේශ තන්ත්රය මුලින් පැවති තත්ත්වය තේරුම් ගැනීමට චරක සංහිතාවෙන් ලැබෙන සාධක ප්රමාණවත් වෙයි. චරක පඬිතුමා ආයුර්වේදයේ පාරප්රාප්තයෙකු වූව ද, මුල් තත්ත්වයට අග්නිවේශ තන්ත්රය පත් කිරීමෙහි ලා සමත් නො වී දැයි සිතේ.
ආර්. බුද්ධදාස.
60, දෙමටගොඩ පාර,
කොළඹ 9.
2504 / 1960 ඇසළ මස 15 දින දීය.