ධර්මපාල ප්‍රතිරාවය - ආනන්ද ගුරුගේ.pdf

කතෘ :
අනගාරික ධර්මපාල
ප්‍රකාශිත වර්ෂය :
1991
මුද්‍රිත වර්ෂය :
1991
පිටු ගණන :
322
බාගත කිරීම් ගණන :
1,057
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-11-28
ගොනුවේ ප්‍රමාණය :
185 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 162

ධර්මපාල ප්‍රතිරාවය (පළමු වෙළුම) යනු ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් රචිත ලිපි, දේශන, ප්‍රකාශන සහ එතුමාගේ දිවි තොරතුරු ඇතුළත් කොට ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ මහතා විසින් 1965 දී සංස්කරණය කරන ලද ප්‍රකට Return to Righteousness නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.

මහාබෝධි සමාගමේ ශත සංවත්සරය නිමිත්තෙන් මෙම පරිවර්තනය පළමු වරට සිංහලෙන් ප්‍රකාශයට පත් කරන ලද අතර, ආචාර්ය පණ්ඩිත ගුණපාල සේනාධීර, මහාචාර්ය විනී විතාරණ සහ කේ. පී. කරුණාතිලක යන විද්වතුන් විසින් පරිවර්තනය සිදු කර ඇත. බෞද්ධ පුනර්ජීවනය, අධ්‍යාපනය, ජාතික නිදහස සහ ලෝක බෞද්ධ ප්‍රබෝධය උදෙසා අනගාරික ධර්මපාලතුමන් කළ ඓතිහාසික මෙහෙවර මෙහි මැනවින් පිළිබිඹු වේ.

මෙම වෙළුමෙහි බුදු සමය හැඳින්වීම, බෞද්ධ සංස්කෘතිය, ඉන්දියාව සහ ලංකාව පිළිබඳ ලිපි, තුලනාත්මක ආගමික විචාර සහ විදේශ ධර්මදූත සේවාව ඇතුළු පරිච්ඡේද 100 කින් කොටසක් අන්තර්ගත වේ.

අති ගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පෙරවදන

අනගාරික ධර්මපාල තුමන් ගේ දේශන, රචනා හා ලිපි එකතුවක් ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ මහතා විසින් සංස්කරණය කොට “Return to Righteousness” යනුවෙන් හඳුන්වා පළ කරනු ලැබූයේ වර්ෂ 1965 දී ය. දහනව වන සියවසේ අග භාගයේ හා විසි වන සියවසේ මුල් භාගයේ මෙරට ඇතිවූ ජාතික හා ආගමික පුනර්ජීවනය පිළිබඳ ඉතිහාසය නැවත ගොඩනැඟීමෙහි ලා මෙම ලියවිලි ප්‍රකාශයට පත්වීම ඉතා වැදගත් සිද්ධියක් විය. ආචාර්ය ගුරුගේ මහතා ගේ මෙම පුරෝගාමී පියවරත් සමඟ ශ්‍රී ලංකාවේ මෙන් ම පිටරටත් මේ පිළිබඳ ව පර්යේෂණාත්මක අධ්‍යයන මාලාවක් ම ඇරඹිණ. මෙහි ප්‍රතිඵලය ලෙසට අප ජාතික පුනරුදය ඇති කිරීමට මුල්වුණ නායකයන් ගැනත් එම වීරවරයන් ගේ සිතුවිලි, තීක්ෂණ බුද්ධිය හා අපේක්ෂාවන් පිළිබඳ වත් අප කලින් දැන සිටියාට වඩා බෙහෙවින් කරුණු හෙළිදරව් වී තිබේ.

අප ගේ ජාතික නායකයන් ගේ සේවය හරියැටි මැනබැලීමක් හෝ අගය කිරීමක් තවම සිදුවී නැත. ආචාර්ය ගුරුගේ මහතා අනගාරික ධර්මපාල ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් මෙම බාරදූර කාර්යය තනිව ම හෝ ඉටු කිරීමට පෙළඹුණු එක් වැදගත් හේතුවක් හැටියට එම අඩුපාඩුව හැඳින්විය හැකි ය. එ තුමා මේ සම්බන්ධයෙන් මෙසේ කියයි : “ශ්‍රී ලංකාව ස්වකීය පැරණි වීරවරයන්ට තත් අයුරින් ගරුබුහුමන් දක්වන්නාවුන්, එම වීරවරයින් ආදරයට ගත යුතු උතුමන් ලෙස පුදන්නාවුන් රටකි. එබඳු රටක මෑත යුගයේ ජාතික වීරවරයින් ගේ සිතුවිලිත් ඔවුන් ඉටු කළ සේවය හා ලැබූ ජයග්‍රහණ ගැනත් වාර්තා තබා ගැනීමේ අවශ්‍යතාව මෙන්ම, ඔවුන් පරිහරනය කළ භාණ්ඩ හා වාසය කළ වාසස්ථාන මතු පරම්පරාවන් සඳහා සංරක්ෂණය කර තැබීමේ අවශ්‍යතාව ගැන හැඟීමක් අඛණ්ඩ ව ම අප තුළ පැවතිය යුතු යයි සිතමි.” නමුත් මෙය හරියාකාර ව ඉටුවී නැත. එහෙයින්, අනගාරික ධර්මපාල තුමා ගේ ලියකියවිලිවලින් හැකි පමණ ප්‍රමාණයක් පහසුවෙන් පරිශීලනය කළ හැකි සිත්ගන්නාසුළු කාණ්ඩ හැටියට වියතුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් ලැබෙන්නට සැලැස්වීමට ආචාර්ය ගුරුගේ මහතා තැත් කොට ඇත. වර්ෂ 1965 දී නිකුත්වූ මෙම පොතේ පළමු සංස්කරණයට පෙරවදනක් ලියන එවකට අග්‍රාමාත්‍යවරයා වූ ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා මෙම ප්‍රකාශනය “මීට බොහෝ කලකට පෙරම” පලවිය යුතුව තිබුණු ලියවිලි එකතුවකැයි කියයි. තවද, මෙම ලියකියවිලි ඒකරාශී කරගැනීමේ දී හා සංස්කරණය කිරීමේ දී ආචාර්ය ගුරුගේ මහතා දක්වා තිබෙන උනන්දුව, කැපවීම හා සුපරීක්ෂාකාරී භාවය ගැන අප රට එ තුමාට ණයගැති වන්නේ යයි ද ඩඩ්ලි සේනානායක මහතා පවසයි.

අප ජාතියේ සමාජ හා දේශපාලන දර්ශනය හැඩගැස්වීමට වඩාත්ම බලපා තිබෙන තනි සාධකය නම්, අනගාරික ධර්මපාල තුමා ගේ සිතුවිලිත් තීක්ෂණ බුද්ධියත් එ තුමා ජාතිය හමුවේ තැබූ අරමුණුත් බව මගේ තක්සේරුවයි. අප ගේ පැරණි ශ්‍රී විභූතිය ගැන සිහිපත් කිරීමෙන් පමණක් අපේ සංස්කෘතික අනන්‍යතාව රැකගත නොහැකි බව පෙන්වා දුන් අනගාරික ධර්මපාල තුමා, එම අරමුණු ඉටුකර ගැනීමට අපට නව අරුණෝදයක් ගෙන දෙන අනාගතයක් ගොඩනගා ගනු පිණිස බුද්ධිමත් ව හා නිර්භීත ව ක්‍රියා කරන ලෙස ජාතියට ආයාචනය කළේ ය. මෙම ආයාචනය ගැන උදාසීන විය හැකිවූ එක ද ජාතික නායකයකු මෑත යුගයේ සිටියේ යයි කිව නොහැකි ය. මෙම ග්‍රන්ථයට ආචාර්ය ගුරුගේ මහතා සපයන පිටු අසූ තුනක සංඥාපනයෙහි අවසන එ තුමා දක්වන නිගමන සමඟ මම සම්පූර්ණයෙන්ම එකඟ වෙමි. මෙම සංඥාපනය, මෙතෙක් අනගාරික ධර්මපාල තුමා ගේ සේවය ගැන පළ ව තිබෙන ඉතාම සංක්ෂිප්ත වූත් තීක්ෂණ අවබෝධයෙන් යුක්ත වූත් අගැයුම් බව කිව යුතු ය. ආචාර්ය ගුරුගේ මහතා ගේ එම නිගමන මෙසේ ය :

“රටේ දේශපාලන, ආගමික, සමාජයිය, අධ්‍යාපනික හා ආර්ථික ප්‍රශ්න ගැන ජාතික වශයෙන් හැඟීමක් දැනිමක් ඇති කිරීම අනගාරික ධර්මපාල තුමා ගේ විශිෂ්ඨ ජයග්‍රහණයයි.... අනගාරික ධර්මපාල තුමා, යුරෝපයේ හා ඇමෙරිකාවේ අතිමහත් උද්‍යෝගයෙන් බුද්ධ ධර්ම ප්‍රචාරයෙහි යෙදීමෙන් ශ්‍රී ලංකාවට අත්කොට දුන්නේ විශාල කීර්තියකි. එමෙන්ම ලොව නොයෙක් රටවල් හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය හා සුහද බව ගොඩනැඟීමට එම ප්‍රයත්නය හේතු විය. නමුත්, මේ සියල්ලටම වඩා ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ, බෞද්ධ ධර්ම ප්‍රචාරය, අධ්‍යාපනික සංවර්ධනය, විජාතිකයින් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තියක් හා ජාතියේ ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රතිපත්තියක් සැකසීම යන ක්‍රියා මාර්ග මගින් ජාතික ස්වාධීනත්වය දිනාගැනීම සඳහා එ තුමා විසින් ගෙනයන ලද අරගලයයි. නවීන ශ්‍රී ලංකාවේ වසන අපි දැන හෝ නොදැන හෝ අද අප මුහුණ පාන ප්‍රධාන ගැටළු සමහරක් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් එ තුමා ගේ අදහස්වලින් මාර්ගෝපදේශකත්වය ලබා ඇත්තෙමු. ඒ තුමා ගේ චින්තනය හා ප්‍රයත්නය අප රටේ ජනතාව කෙරෙහි අතිවිශාල අන්දමින් බලපා තිබෙන අන්දම එයින් පෙන්නුම් කෙරේ.”

මගේ දෙමාපියන්, ගුරුවරුන් හා පූජනීය මහාසංඝපීතෘවරයන් වහන්සේලාත් මගින් අනගාරික ධර්මපාල තුමාගෙන් මා කෙරෙහි වූ ආභාසය අතිශය කෘතඥතා පූර්වක ව මම සිහිපත් කරමි. අනගාරික ධර්මපාල තුමන් ගේ උතුම් ආදර්ශය අනුගමනය කළ වියත් ලේඛකයින් හා වෙනත් බහුශ්‍රැත පුද්ගලයින් රැසක ගේ ඇසුරට පත්වීමට මගේ දෙමාපිය ගුරුවරුන් නිසාත්, මා ඇසුරු කළ පැවිදි උතුමන් නිසාත් මට හැකි විය. අනගාරික ධර්මපාල තුමන් ගේ වචන හා ක්‍රියාවලින් මා ලද අභාසයත් අවබෝධයත් නොවන්නට, ජාතික සේවය සඳහා වූ මගේ පෞරුෂයේ පරිපූර්ණත්වය හා විවිධත්වය ඇතිවනු උගහට ය. එ තුමන් ගේ අවංකභාවය හා නිර්භීතකම මම අගය කළෙමි. දේශ සේවයට එ තුමා දැක්වූ මහත් භක්තිය හා කැපවීමත් තමන් කැපවුණු උසස් අරමුණු ඉටුකර ගනුවස් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට එ තුමා දැක්වූ කැමැත්තත්, ඒ සියල්ලට ම වඩා නැතිබැරි අහිංසක දිළිඳු ජනතාව සුඛිත මුදිත කිරීමට එ තුමා තුළ පැවති අවල කැපවීමත් මගේ මහත් ප්‍රබෝධයට හේතු විය. අදහස වචනයට සීමා නොකොට එය ක්‍රියාවට පරිවර්තනය කිරීමට එ තුමා තුළ පැවති අධිෂ්ඨානය ද මගේ ඉමහත් ප්‍රසාදයට හේතු විය. කුමන පෙරමුණක මුත් එ තුමා හුදු දේශකයකු පමණක් නොවී ය. සාමාන්‍ය අධ්‍යාපනයේ සිට වෘත්තීය පුහුණුව දක්වාත්, කෘෂිකර්මයේ සිට ගෘහකර්මාන්ත දක්වාත්, භික්ෂු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සිට ජාත්‍යන්තර ධර්මදූත මෙහෙය දක්වාත් එ තුමා ප්‍රායෝගික වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කළේ ය; අත්දැකීම් ඒකරාශී කර ගත්තේ ය; ජනතාව උතුම් අරමුණු කරා යාමට පෙළඹවී ය; ජාතිය මුහුණ පා සිටි හදිසි ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සෙවී ය. එ තුමා ලද ජයග්‍රහණ හා පරාජයන් ගැනත් එ තුමා ගේ අපේක්ෂාවන් හා බලාපොරොත්තු සුන්වීම් ගැනත්, පැතුම් ගැනත් එ තුමා විසින් ම කරන ලද විස්තර කියවා බලන ඕනෑම කෙනෙකුට, තවත් බොහෝ කලක් යන තෙක් ම මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාව ගේ සිත්සතන් මෙන්ම හදවත් පුබුදුවාලීමට ධර්මපාල නාමය සමත් වන්නේ කුමක් නිසාද යන්න මැනවින් වැටහෙනු නිසැක ය.

ආචාර්ය ගුරුගේ මහතා විසින් සංස්කරණය කරන ලද ධර්මපාල දේශන, නිබන්ධන හා ලිපි අඩංගු “Return to Righteousness” යන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයක් පළ කරන ලෙස මා මහාබෝධි ශත සංවත්සර උත්සව කමිටුවට නියම කළේ එම ලියවිලිවල තිබෙන කල්පවත්නා වටිනාකම පිළිගැනීමක් ලෙසට ය. අනගාරික ධර්මපාල තුමා ගේ දිනපොත් සටහන්වලින් හා එ තුමාත් මහනුවර දොළපිහිල්ල මහතාත් අතර හුවමාරු වූ ලිපිවලින් උපුටා ගත් කොටස් ඇතුළත් කොට “Return to Righteousness” ප්‍රකාශනයට සහාය කාණ්ඩයක් යථා කාලයේ දී පළකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මෙම සිංහල පරිවර්තනය අප රට ජනතාව විසින් උනන්දුවෙන් කියවා ආභාසය ලබනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි. එසේ කිරීමෙන් අප ජනතාව තුළ ආධ්‍යාත්මික හා සදාචාරාත්මක පිබිදීමක් ඇතිවනු නිසැක ය. ධර්මපාල චරිතයෙන් ප්‍රදර්ශනය වන සහනශීලිකම, කාරුණික අවබෝධය හා සෘජු බව යන උසස් සදාචාර ධර්ම අප ඉතිහාසයේ කවරදාකටත් වඩා අද අප ජාතික ජීවිතයට අවශ්‍ය ව ඇත්තේ ය.

ආර්. ප්‍රේමදාස
රණසිංහ ප්‍රේමදාස
ජනාධිපති
1991 පෙබරවාරි මස 11 දින.

ගරු සංස්කෘතික කටයුතු හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගේ පණිවිඩය

‘ධර්මපාල ප්‍රතිරාවය’ යන මේ කෘතිය අනගාරික ධර්මපාල තුමා ගේ ලිපි ලේඛන, කථා සහ එ තුමා ගේ දිවි තොරතුරු එකතු කොට ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා විසින් මෙයට පන්තිස් වසරකට පෙර සකසන ලදුව, ඩඩ්ලි සේනානායක අගමැතිඳුන් ගේ සමයේ අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති ධුරය හෙබවූ සාහිත්‍ය කීර්ති ඊරියගොල්ල භාෂාවේදීයාණන් ගේ මෙහෙයවීමෙන් පළ කරවන ලද Return to Righteousness නැමැති කෘතියේ සිංහල පෙරලිය යි.

සියවස් හතරක් පුරා පැවැති විදේශීය ආධිපත්‍යයකින් පෙළී මිරිකී, විශේෂයෙන් ම අවසාන භාගයේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අඥානමය බලයට පෑගී පිරිහීමේ පාතාලයට වැටී අසරණ ව සිටි සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් පුබුදුවාලීමට සිය දිවි පරදුවට තබා අද්විතීය මෙහෙවරක නිරත වූ ධර්මපාල ශ්‍රීමතාණන් ගේ සේවාව දේශ දේශාන්තරයන්හි ප්‍රකට ය.

1864 සැප්තැම්බර් මස 17 වන දින දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා ගේත් මල්ලිකා හේවාවිතාරණ මැතිණිය ගේත් දෙටු පුත්‍රව මෙලොව එළිය දැක උසස් මිෂනාරී විදුහලෙක දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලැබූ ධර්මපාල තුමාණන් යොවුන් දිවියට පිවිසුණේ ජාති මාමක, දේශ සේවකයකු වීමට පෙරුම් පුරා ආ ලෙසිනි. ධර්මපාල නාමය ඉවත ලා දොන් දාවිත් නාමය බාර ගත් යම් රජකු ගේ ක්‍රියා කලාපයෙන් කෝට්ටේ ඉතිහාසය ශාසන විරෝධි දේශ ද්‍රෝහී, ජාති භ්‍රෂ්ට ආකල්පයකින් කැළැල් වී ද දොන් ඩේවිඩ් යන පර නම හැර දා ධර්මපාල නාමය දරා ගත් ශ්‍රීමත් ධර්මපාල තුමාණන් නිසා මෑත ඉතිහාසය නව මඟකට යොමු විය. පුළුල් ව පැතිර ගිය විජාතික බල පෑමෙන් රට බේරා ගැනීමට ජාතික ආගමික සේවයකට ධර්මපාල තුමා පා තැබුවේ සිය දෙවිසි හැවිරිදි වියෙහි දී ය. මේ අවධිය වූ කලි 1864 සිට 1873 දක්වා පැවැති ආගමික වාද - විවාද නිසා අළු යට සැඟ වී පැවැති ගිනි පුපුරක් මතුවන්නා සේ සිංහල බෞද්ධ ජනතාව නව ප්‍රබෝධයකට යොමු කළ පෙර නිමිති පහළ කළ යුගය යි. එහි මාහැඟි ප්‍රතිඵලයක් වූයේ ඕල්කට් තුමා බ්ලැවැට්ස්කි මැතිනිය ද කැටි ව අප රටට පැමිණ 1875 වසරෙහි දී කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමිතිය පිහිටුවා බෞද්ධ පුනරුදයකට මුල පිරීම යි. ඕල්කට් තුමා විසින් මෙ ලෙස අරඹන ලද ව්‍යාපාරයේ මුල් අදියරෙහි සිට ම එයට උර දුන්නේ තරුණ ධර්මපාල තුමා ය.

එ වකට විද්‍යෝදය පරිවේනාධිපති ව වැඩ සිටි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වැනි බෞද්ධ යති ශ්‍රේෂ්ඨයන් පා සෙවණේ ධර්ම - ශාස්ත්‍රය හදාරා සෙසු ගිහි පැවිදි බෞද්ධ ජනතාව ගේ ජාතික හැඟීම මුවහත් කොට පණ පොවාලූ දෑ ඇල්මෙන්, සමය බැතියෙන් නො සැලෙන අදිටනින් පෙරමුණට ගියේ තමා සතු ව පැවැති සියලු සුඛෝපභෝගී ජීවන පිළිවෙත අත්හැර අනගාරික දිවියකට පිවිසෙමිනි. වැටී සිටි දැයත් සසුනත් බිඳුණු හෘදයාවන් ගොඩ ගැනීම ඒ උදාර ජීවිතයේ අරමුණ විය.

1893 දී චිකාගෝ නුවර පැවැත්වුණු සුප්‍රකට ලෝක මහා දෘෂ්ටි සම්මේලනයෙහි දී ශ්‍රී ලංකාවත් ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායයත් නියෝජනය කළේ ධර්මපාල තුමා ය. බුදු සමයේ සාරය හකුළුවා එහි අගය හුවා අප කුඩා දිවයිනට යසස් කැන්දූ ඓතිහාසික දේශනය කළ අනගාරික ධර්මපාල වීරයාණන් හට අවුරුදු තිහක් වත් වයස නො වී ය. බුදු සමයත් එහි දර්ශනයත් පිළිබඳ එ තුමා තුළ පැවැති පැහැදිලි අවබෝධය ලොව පුරා ප්‍රකට කළ ඒ දේශනය පෙරදිග ආගමික ඉතිහාසයේ නව නැම්මකට හේතු විය. බුදු දහමේ ශ්‍රේෂ්ඨත්වයත් බුදු සමිඳුන්ට මුළු ලොව ම ණය ගැති වන අයුරුත් පළ කළ ඒ ම දේශනය එ කී මුළුවට සහභාගි වූ විවිධ ආගමික නායකයන් ගේ දැඩි අවධානයට ලක් වූවක් විය.

පෙරළා සිය රටට පැමිණි ධර්මපාල තුමා බෞද්ධයන් ගේ නැති වූ අයිතිවාසිකම් යළි දිනා ගැනීමේ හා බුද්ධගයා ශුද්ධ භූමිය බේරා ගැනීමේ ද පරම පවිත්‍ර චේතනාවෙන් 1891 වසරෙහි දී මහා බෝධි සමාගම පිහිටුවා එහි ශාඛා සෙසු සියලු බෞද්ධ රටවල ද පැතිරවීමට පියවර ගති. එ වකට පැවැති දරදඬු යටත් විජිත පාලනයෙන් මිරිකී සිටි සිංහල ජාතිය විදේශ ග්‍රහණයෙන් මුදාගැනීමට ප්‍රබල ව්‍යාපාරයක් දියත් කළේ ජාතික හා ජාත්‍යන්තර සංවිධාන ශක්තියක් ඇතුව ය. රටට දැයට සමයට කැප වීම නිසා පවුලේ ඥාතීනට සිරගෙයි ලැග එහි ම මිය යන්නට ද එ තුමාට සිය රටට පැමිණීමේ වරම් අහිමි කරනු ලැබ විදේශගත ව සිටින්නට ද සිදු වූ පුවත් අනුවෙදනීය යි. මාර බලය හමුවේ ද දිරි ඉදිරි කළ නොපසු බට ශක්තියෙන් යුක්ත එ තුමා විදේශීන් ගෙන් මෙන් ම ස්වදේශීන් ගෙන් ද තමා වෙත එල්ල වූ දරුණු බාධා මැද නො සැලෙන ඉන්ද්‍රඛීලයක් මෙන් ක්‍රියා කළේ සිය ධනයත් කාලයත් ශ්‍රමයත් පුද කරමිනි. පර බසට වඳිමින්, පරසිරිත වැළඳ ගනිමින් ගැති වී පෙවතක් ගෙවූ හෙළයා එ දීන භීත පිළිවෙතින් මුදවාලීමට එ තුමා ගෙන ගිය විරෝදාර ව්‍යාපාරයේ ප්‍රතිඵල වශයෙන් අපේ ජාතියේ අනන්‍යතාව රැකී පවති.

අද අපි නිදහස් රටෙක වෙසෙන නිදහස් වැසියෝ වෙමු. එහෙත් යටත් විජිත සමයක ඉන්දියාව වැනි සුවිසල් රටක පිහිටි ඓතිහාසික බුද්ධගයාව බේරා ගැනීම වැනි උදාර සත් ක්‍රියාවක් ගැන සිතින් සිතා ගන්නට වත් හැකි ද? එ දා අප පරගැතිකිරියාවේ ගැලී සිටි අඳුරු යුගයෙහි එම අඳුර පලවා හරින්නට නැගී සිටි මහා පහන් ටැඹක් වන අනගාරික ධර්මපාල තුමා කළ අනුපමේය වූත් ශ්‍රේෂ්ඨ වූත් ජාතික මෙහෙවර වෙනුවෙන් එ තුමාට අප බැඳී ඇති ණය ගැති බැවින් මදක් හෝ මිදීමට අපට හැකිවන්නේ ආදර්ශයෙන් ම ධර්මපාල දර්ශනය වත්මන් පරපුරට අයත් අප ජනතාව ක්‍රියාත්මක කිරීමෙනි. එ තුමා තම ජීවිත කාලය තුළ අගේ කළ අදහස් සම්භාරය ඇසුරින් අද යුගයට උචිත කාලීන ආකල්ප මතු කර ගත යුතු වේ. “පුබ්බෙව කත පුඤ්ඤතා” යන ගුණයෙන් අනූන ආචාර්ය ආනන්ද ගුරුගේ සූරීන් ධර්මපාල චින්තනය ලොවට දීමට ගත් අසහාය ප්‍රයත්නයේ ප්‍රතිඵලය යි “Return To Righteousness” නමැති ග්‍රන්ථ රත්නය. ධර්මපාල චින්තනය සිංහල පාඨකයාට වැසූ පොතක් වීම ජාතියේ අභාග්‍යයකි. මේ පොත එළි දැක්වෙන්නේ අපේ ජාතික අනන්‍යතාව මතු කරන්නට බුද්ධ ශාසනය රැක දෙන්නට පෙරුම් පුරා වන් බෝසතකු වන ධර්මපාල තුමාණන් ගේ උදාර දර්ශනය අපේ ජනතාවට ළඟා කර වීම පිණිස යි.

මෙයට පන්තිස් වසරකට පෙර අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහායක ලේකම් පදවිය දැරූ දැනට ප්‍රංශයේ ලංකා තානාපති පදවිය හා එක්සත් ජාතීන් ගේ අධ්‍යාපනික, සාමාජීය හා සංස්කෘතික සංවිධානයේ ස්ථිර ලංකා නියෝජිත පදවිය දරන විචක්ෂණ ලේඛකයකු මෙන් ම විශාරද වියතකු ද වන ආචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමා දේශ දේශාන්තරයේ පතළ යශෝරාවයෙන් සිය රට ජාතිය පිළිබඳ හැඟීම් මැඩ නොගත් අග්‍රගණ්‍ය බුද්ධිමතෙකි. දෙස් විදෙස්හි විසිරී පැවැති ලිපි ලේඛන එක් රැස්කොට පරිච්ඡේද සියයකින් යුක්ත වන පරිදි මෙ වැනි විශාල කෘතියක් සැපයීමේ දී එහි කතුවරයා දැරූ වෙහෙස කොතරම් වන්නේ ද යනු මේ කෘතිය කියවන කවරකුට වුව ද වැටහෙනු නිසැකය. අනගාරික ධර්මපාල සිරිමතුන් ගේ ජාතික අන්තර්ජාතික සේවාවේ පසුබිම සංවිධාන බලය වූ මහා බෝධියට සියවසක් පිරීම නිමිත්තෙන් පරිච්ඡේද සියයකින් අන්තර්ගත මේ මහා ශාස්ත්‍රීය කෘතිය ඔපදාරු ගුණය රැකෙන අයුරින් හෙළ බසට පෙරළා පළ කරවීම අගනා සාහිත්‍ය අනුග්‍රහයක් සේ ද සැලකිය හැකි ය. එ බඳු අනල්ප පරිශ්‍රමයක් දැරීම පිළිබඳ ව ජාතියේ කෘතඥතාව ආචාර්ය ගුරුගේ මැතිතුමාට මේ අවස්ථාවේ දී පිරිනමන අතර මෙ වැනි ජාතික මෙහෙවරක් ඉටු කිරීමට එ තුමා මෙහෙයූ වූ එ වකට අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති පදවිය හෙබවූ වූත් ප්‍රවීණ සාහිත්‍යධරයකු වූත් අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මැති තුමන් ගේ ශ්‍රී නාමයට ද අප ගේත් අප අමාත්‍යාංශයේත් ජාතියේත් ගෞරවය පුද කරමි.

තව ද මේ පොත සිංහලයට පෙරලීමෙන් ඊට සහාය වූ වියතුන් කිහිප පොළටත් පොත සංස්කරණය කොට පළ කරවීමට ක්‍රියා කළ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයාට හා එ තුමා ගේ කාර්ය මණ්ඩලයටත් මගේ නොමඳ කෘතඥතාව පිරිනමමි.

අවසන් වශයෙන් මේ පොත කියැවීමෙන් අප ජාතියෙහි දහසක් මල් පිපේවා යි දැඩි සිතින් පතමි.

වි. ජ. මු. ලොකු බණ්ඩාර
සංස්කෘතික කටයුතු හා ප්‍රවෘත්ති අමාත්‍ය
සංස්කෘතික කටයුතු හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය,
250, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
1991.04.18.

ගරු අධ්‍යාපන සේවා අමාත්‍ය තුමියගේ පණිවිඩය

මහාබෝධි සමාගමට සියක් වසරක් සපිරෙන මෙම අවස්ථාවේ දී එහි නිර්මාතෘ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයකු වන අනගාරික ධර්මපාල තුමන් ගේ කථා හා ලිපි ලේඛණ එක්රැස් කොට වර්ෂ එක් දහස් නවසිය හැට පහේ දී ආචාර්ය ආනන්ද ගුරුගේ විසින් සම්පාදිත Return to Righteousness නම් ඉංග්‍රීසි ග්‍රන්ථය සිංහලෙන් පළ කරනු ලැබීම සිංහල පාඨකයා ගේ බලවත් සතුටට හේතුවනු නොඅනුමාන ය.

මෙම මාහැඟි ග්‍රන්ථයෙහි අගය වටහාගත් ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් විසින් ශත සංවත්සර කමිටුවට දෙන ලද නියෝගයක් අනුව සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු ඇමති වි. ජ. මු. ලොකුබණ්ඩාර ඇමති තුමන් ගේ ප්‍රමුඛත්වයෙන් මෙම ග්‍රන්ථය පළ කරවීමේ කටයුතු වලට මුල පිරුණි. මීට වසර විසි හයකට පෙර මෙහි මුල් ඉංග්‍රීසි ග්‍රන්ථය පළ කරවීම සඳහා ද එ කල පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බැව් දිවංගත ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍ය තුමන් විසින් හා එවකට අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු භාර ඇමතිව සිටි අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මැති තුමන් විසින් ද එම පොතට සපයන ලද පූර්විකාවලින් පැහැදිලි වේ.

මගේ අධීක්ෂණය යටතෙහි පවත්නා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිංහල විද්වතුන් කිහිප දෙනකු ගේ ද සහාය ලබා ගෙන පරිච්ඡේද සියයකින් හා පිටු අටසිය හැත්තෑ පහකින් ද යුතු ඉංග්‍රීසි පොතෙහි මෙම පරිවර්තනය ඉක්මනින් නිමවා පළ කිරීමට කටයුතු යෙදීම ගැන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් එම්. කේ. ජේ. ඒ. අල්විස් මහතා ඇතුළු නිලධාරීන්ට ද, මුද්‍රණ කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ව රජයේ මුද්‍රණාලයාධිපති නෙවිල් නානායක්කාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ද මගේ අවංක ස්තූතිය පිරිනමමි.

සුනේත්‍රා රණසිංහ
අධ්‍යාපන සේවා අමාත්‍ය
ඉසුරුපාය,
බත්තරමුල්ල.
1991.04.18

සංඥාපනය

‘ධර්මපාල ප්‍රතිරාවය’ නමැති මේ පොත අනගාරික ධර්මපාල තුමා ගේ දේශන, රචනා හා ලිපි එකතු කොට ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා විසින් 1965 වර්ෂයේ සම්පාදිත Return to Righteousness නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය යි.

ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර ඇමති තුමා අධ්‍යාපන අමාත්‍ය ධූරයේ සේවය කළ කාලයේ දී එ තුමා ගේ උපදෙස් පරිදි විද්වතුන් කිහිප දෙනකු ලවා මේ පොත සිංහලට පරිවර්තනය කිරීම ආරම්භ කරන ලදී. පරිච්ඡේද 100කින් සමන්විත මේ පොත මහා බෝධි ශත සංවත්සරය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කිරීමට හැකි වීම විශේෂ ජයග්‍රහණයක් ලෙස සලකමි. ජාතික, ආගමික පුනර්ජීවය ඇති කරවීමෙහි ලා අනගාරික ධර්මපාල තුමා කළ අනුපමේය සේවය විදහා දැක්වෙන ශ්‍රේෂ්ඨතම කෘතියක් වන මෙය පාඨකයා තුළ ජාතික, ආගමික ප්‍රබෝධයක් ඇති කරවනු නො අනුමාන ය. මෙම පොතේ සිංහල පරිවර්තනයට මඟ පෑදූ ඉංග්‍රීසි පොත සම්පාදනය කළ ආචාර්ය ආනන්ද ගුරුගේ මහතාට ගෞරවාදර ස්තුතිය පිරිනැමෙයි.

පොත පරිවර්තනය කිරීමේ භාරදූර කාර්යය මැනවින් ඉටු කර දුන් ආචාර්ය පණ්ඩිත ගුණපාල සේනාධීර, කේ. පී. කරුණාතිලක, මහාචාර්ය විනී විතාරණ යන මහත්වරුන්ට මගේ අවංක ස්තූතිය හිමි වෙයි. මේ පරිවර්තනයේ කොටසක් සංස්කරණය කර දීමෙන් සහයෝගය දැක්වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතාට ද ස්තුති කරනු කැමැත්තෙමි.

මේ පොත ඉතා කෙටි කලකින් සංස්කරණය කිරීමෙහි ලා වෙහෙස වී කටයුතු කළ මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සංස්කාරකවරියක වන රංජනී සේනානායක මහත්මිය ඇතුළු අනෙකුත් නිලධාරීන්ට ද, පොත කලට වේලාවට මුද්‍රණය කර දුන් රජයේ මුද්‍රණාලයාධිපති නෙවිල් නානායක්කාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ද මගේ විශේෂ ස්තූතිය හිමි වෙයි.

කෙටි කලකින් මුද්‍රණය සඳහා සකස් කිරීමට සිදුවූ හෙයින් මේ පොතේ අඩුපාඩු තිබිය හැකි ය. ඊ ළඟ මුද්‍රණයේ දී ඒවා නිදොස් කළ හැකි බැවින් එබඳු අඩුපාඩු, අදහස් හා යෝජනා අප වෙත දන්වා එවන්නේ නම් ඉතා අගය කොට සලකමි.

අවසාන වශයෙන් මේ ප්‍රශස්ත ග්‍රන්ථය කියවීමෙන් ජාතික, ආගමික හා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති වේවා යි ප්‍රාර්ථනා කරමි.

එම්. කේ. ජේ. ඒ. අල්විස්
අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව,
මහ ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල,
මාළිගාවත්ත,
කොළඹ 10.
1991.04.30

ලංකා අග්‍රාමාත්‍ය ගරු ඩඩ්ලි සේනානායක මහතා ගේ පෙරවදන

අනගාරික ධර්මපාල තුමා වූ කලී ලංකාව විසින් බිහි කරන ලද ශ්‍රේෂ්ඨතම පුද්ගලයන් ගෙන් කෙනෙකි. එ තුමා ශ්‍රේෂ්ඨ ජාති හිතෛෂියකු මෙන් ම තමා විශ්වාස කළ අරමුණු අභීත ලෙස රැක ගැනීමට ද ක්‍රියා කළ කෙනෙකි.

අනගාරික ධර්මපාල තුමා සිය රටට ඉටු කළ සේවය විපුල ය. එහෙත් එ තුමා ඉටු කළ සේවාවන් අතරින් කැපී පෙනෙනුයේ අවුරුදු 300 කට වැඩි කලක් මුළුල්ලේ පැවති විදේශාධිපත්‍යයක් හේතු කොට බලහීන බවට පත්ව තිබූ ලක්දිව බුදු සමය හා සිංහල සංස්කෘතිය පුනර්ජීවනයට පමුණුවා ලීම යි. එතුමා ගේ අනෙක් සුවිශේෂ මෙහෙය වූයේ ජාතික ව්‍යාපාරය හා ජාතික ප්‍රයත්නය කෙරෙහි එ තුමා දැක්වූ අප්‍රතිහත පක්ෂපාතිත්වය යි. මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස අපමණ දුෂ්කරතා මධ්‍යයෙහි එ තුමා ක්‍රියා කළේ ය. ඒ පිළිබඳ ව්‍යාපාරයක යෙදුණේ ය. ඒ වූ කලී බුදු සමයත් ජාතික සංස්කෘතියත් එහි අගාධයට ම පිරිහී තිබූ අවධියෙකි. බෞද්ධ පාඨශාලා නො වූ තරම් ය. සියවස් ගණනක් මුළුල්ලේ පිරිවෙන් අධ්‍යාපනය නො සලකා හැර තිබිණි. බෞද්ධ විහාරාරාම හා පූජනීය ස්ථාන දිරා පත් වෙමින් පැවතිණි. මෙ බඳු වටපිටාවකදී බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට පත්ව සිටිම පුදුමයක් නො වේ. මේ සියල්ල ම ජාතික ජීවිතයත් ජාතික සංස්කෘතියත් කෙරෙහි අහිතකර වූත් දුබලකර වූත් විපාක ගෙන දීමට හේතු විය. එසේ වූයේ බුදු සමයත් සිංහල සංස්කෘතියත් අතර, ඉතා සමීප වූත් වෙන් නො කළ හැකි වූත් සම්බන්ධයක් පැවති හෙයිනි. මීට අමතර ව, මහ ජනයා ක්‍රම ක්‍රමයෙන් ජාතික සංස්කෘතියෙන් ඉවත් කිරීමට තුඩු දුන් බාහිර ආභාසයේ අධික බලපෑම ද විය. මේ හේතු කොට ජාතික අනන්‍යතාව ද විනාශයට පත් විය. අනගාරික ධර්මපාල තුමාගෙන් ඉටු වූ ශ්‍රේෂ්ඨ කාර්ය සිද්ධීන් විනිශ්චය කළ යුත්තේ එතුමාට කටයුතු කිරීමට සිදු වූ අතිශයින් දුෂ්කර වූ මේ පසුබිම සැලකිල්ලට ගැනිමෙනි.

එ තුමා ඍජු වූත් අභීත වූත් ස්වභාවය ඇත්තෙක් විය. ස්වාධීන චින්තනයකින් හෙබි එ තුමා ශ්‍රේෂ්ඨ දේශකයකු මෙන් ම චතුර කථිකයෙක් ද විය. බෞද්ධ පුනර්ජීවයක් මෙන් ම බෞද්ධයන් අතර සමගිය ද ජාතික ප්‍රබෝධයක් ද ඇති කිරීම සඳහා එ තුමා රට පුරා චාරිකාවක යෙදුණේ ය. බෞද්ධ අධ්‍යාපනය වර්ධනය කොට ව්‍යාප්ත කර ලීමේ කාර්යයෙහි පුරෝගාමියෙක් ද විය. එ තුමා ලංකාවේ මහාබෝධි සමාගමේ ප්‍රාරම්භකයෙක් ද විය. පසුබිම කාලයෙහි බෞද්ධ ධර්මයෙත් බෞද්ධ අධ්‍යාපනයේත් ව්‍යාප්තිය සඳහා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළේ මේ සමාගම යි.

අනගාරික ධර්මපාල තුමා ගේ කටයුතු ලංකාවට පමණක් සීමා නො වී ය. එ තුමා ගේ සේවය විදේශයන් වෙත ද යොමු විය. 1893 වසරෙහි චිකාගෝ නුවර පැවැත්වුණු ලෝක ආගම් සමුළුවට බෞද්ධ නියෝජිතයකු ලෙස එ තුමා සහභාගි විය. ඉන්දියාවෙහි එ තුමා ඉටු කළ සේවය - විශේෂයෙන් ම බුද්ධගයා පූජා භූමිය බෞද්ධයනට ලබා ගැනීම පිණිස එ තුමා ගෙන ගිය සත්‍ය - විපුලතර බුද්ධශාසනික සේවයක් සඳහා ජාති හෝ දේශ හෝ පිළිබඳ සීමා ඉක්මවා ගිය ව්‍යාපාරයක් පිළිබඳ අසහාය නිදර්ශනය යි. මෙහි ලා එ තුමා ගේ පරම චරිත ශක්තියත් බුදු සමය පැතිරවීමේහි ලා ඇති කොට ගත් දැඩි අධිෂ්ඨානයත් වෙහෙස නො බලා දැරූ ප්‍රයත්නයත් ජාතික, ආගමික පුනරුදය සඳහා ගෙන ගිය ශ්‍රේෂ්ඨ කර්තව්‍යයට හේතුකාරක විය.

මෙ බඳු ශ්‍රේෂ්ඨත්වයකින් හා ශක්තියකින් ද හෙබි පුද්ගලයකු ගේ කටයුතු එක් තැන් කොට දැක්වීමෙන් බිහි වූයේ ප්‍රබෝධජනක පාඨග්‍රන්ථයක් බව මට සහතික ය. එ හෙයින් අදාල තොරතුරු එක් රැස් කොට සංස්කරණය කරමින් මේ කෘතිය සම්පාදනය කිරීමෙහි ලා මෙහි සංස්කාරකවරයා ගත් මහන් උනන්දුවත් සැලකිල්ලත් කැප වීමත් වෙනුවෙන් රට ම ඔහුට ණයගැති වනු ඇත. මගේ අදහසේ ප්‍රකාර, මේ ප්‍රකාශනය බොහෝ කලක සිට රටට අවශ්‍ය ව පැවතියකි. එ හෙයින් අනගාරික ධර්මපාල තුමා ගේ ශත සංවත්සරික ජන්මෝත්සවය පැවැත්වෙන මේ අනුස්මරණීය අවස්ථාවෙහි අප මුහුණ දී සිටින කාර්යයෙහි ලා අපට ධෛර්යයත් මාර්ගෝපදේශකත්වයත් ලබා දීම සඳහා මෙ කෘතිය අප හමුවෙහි තිබීම ගැන මම බෙහෙවින් ප්‍රීතියට පත් වෙමි.

ඩඩ්ලි සේනානායක
අග්‍රාමාත්‍ය
1965 ජූලි 11 වන දින, කොළඹ දී ය.

අනගාරික ධර්මපාල තුමා පිළිබඳ මගේ හැඟීම්

“පුළුල් නළල් තලය පසු කොට පීරා හළ කළු වන් කෙටි කෙස් කළඹ විසුරුවා තම තියුණු පැහැදිලි නෙත් සඟල සභාව කෙරෙහි රඳවමින් පිළිරවු දුන් තම වදන් පෙළ අනුව සිය දිගු දුඹුරු වන් ඇඟිලි ලෙලවමින් ඔහු ධර්ම ප්‍රචාරකයකු ගේ ඒකාන්ත ප්‍රතිමූර්තියක් පළ කළා මතු නොවේ. සමස්ත ශිෂ්ට ලෝකයෙහි ‘ආසියාවේ ආලෝකය’ පතුරුවා හැරීමෙහි හා සකල බුද්ධ ශ්‍රාවකයන් සුස්පීන කරනු සඳහා ද අරඹන ලද ව්‍යාපාරයක නායකත්වයෙහි මෙ බඳු පුද්ගලයකු සිටිනු දැන ගන්නට ලැබීම රෝමෝද්ගමනය ඇති කරන්නක් ද විය.”

ඉහතින් උපුටා දක්වුණේ 1883 වසරේ චිකාගෝ නගරයෙහි පැවැත්වුණු සමස්ත ලෝක ආගම් සමුළුව අමතමින් අනගාරික ධර්මපාල තුමා අනුස්මරණීය දේශනයක් කළ අවස්ථාවෙහි සමකාලීන අමෙරිකානු පුවත් පතක් (සෙන්ට් ලුවිස් ඩබ්සරවර්) පළ කළ ලිඛිත චිත්‍රයකි.

කොළඹ පැවැත්වුණු ප්‍රසිද්ධ රැස්වීමක දී අනගාරික ධර්මපාල තුමා පළමු වරට දැක බලා ගැනීමට මට හැකි වූයේ ඉහත සඳහන් ඉතා වැදගත් සිද්ධියෙන් තිස් වසරකට පමණ පසු ව ය. කාලය ගෙවී ගිය ද (එවකට එ තුමා වයස පනස් ගණන්වල පසු විය) එ තුමා ගේ විශිෂ්ට කායික ලක්ෂණවල දක්නට ලැබුණේ ඉතා මඳ වෙනසකි. ප්‍රබල ශක්තියක් උද්වහනය කළ එ තුමා ගේ ප්‍රවේගික පෞරුෂය සකල සභාව පුරා පැතිර ගියේ ය. එ තුමා ගේ නින්නාද දුන් කථා ශබ්දය සභා ශාලාව පුරා රැවු දෙමින් ශ්‍රාවක ජනයා ගේ සිත් සතන් තුළ එ තුමා කෙරෙහි ගෞරව බහුමානයක් දනවී ය. රිදී සීනුවකින් නැගුණා වැනි එ තුමා ගේ කථාව විටෙක කටුක වුව ද, මිහිරා ගේ මෙන් ම සතුරන් ගේ ද හද බැඳ ගැනීමට සමත් විය. එසේ වූයේ මේ වදන් ගලා ආවේ ජීවලිත ජාත්‍යාලයකින් හා ආගමික භක්තියකින් පිරුණු අවංක හදවතකින් බව සියල්ලන් දැන සිටි හෙයිනි.

මගේ තරුණ වියේ මුල් කාලයෙහි, මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිසංස්කාරකයාණන් ගේ බල පෑමට හසු වීමෙන් මගේ ඉන් අනතුරු දිවි පෙවෙතත් ජීවිතයේ අරමුණත් වෙනසකට පත් විය. ජාතික පුනර්ජීවනයක් සඳහා එ තුමා දැරූ විරෝදාර ප්‍රයත්නයත් බුදු දහම පතුරුවා හැරීම සඳහා එ තුමා දැරූ විපුල උද්‍යෝගයත් ලෞකික ලාභයන් ගේ ආයෝජ්‍ය හෙළා දකිමින් මගේ මව් බිමෙහි වෙසෙන සාමාන්‍ය ස්ත්‍රී පුරුෂයන් ගේ ඉරණම කෙරෙහි ඇප කැප වනු වස් මා පොළොඹවා ලී ය. එ තුමා ගේ වීර්යවත් චරිතයත් සත්‍යය, අවංකත්වය හා සෘජුත්වය යන අක්ලිෂ්ට ගුණාංගත් මගේ ජීවිතයෙහි බලාපොරොත්තු සුන් ව සිටි අඳුරු ම මෙහොතෙහි පවා මට මග පෙන් වූ ආලෝකධාරා විය.

වරදෙහි සුපරීක්ෂාකාරී වූ අනගාරික ධර්මපාල තුමා තමාට වුව සපුරා නො පිළිපැදිය නො හැකි කිසිත් කලැ ම නො දෙයි ය. එ හෙයින් එ තුමා තම සමීපතම ආශ්‍රිතයන් අතරෙහි පවා ආත්මාවංචනයක් දකින්නට නො ඉවසී ය. සතුරන් ඇති වීමේ අවදනම දකිමිනුත් උදල්ල උදල්ල ලෙස හැඳින්වීමට එ තුමා පසු බට නො වී ය. එ තුමා ගේ හැම ක්‍රියාවක් ම ඉතා පැහැදිලි හෘදය සාක්ෂියෙන් මෙහෙයැවුණේ විය.

එ තුමා ගේ ආභාසය ලබන්නට, ලබන්නට එ තුමා ගේ චරිතයේ උත්තමත්වයත් පිරිහී ගිය ජාතිය නැවත නගා සිටුවීමට එ තුමා තුළ පැවති විශාල උනන්දුවත් ලොව පුරා “ආසියාවේ ආලෝකය” පතුරුවා හැරීමට එ තුමා දැක් වූ උද්‍යෝගයත් වඩා වඩා අගය කරන්නට පටන් ගනිමි.

එ තුමා ගේ සති පතා ප්‍රකාශනය වන “සිංහල බෞද්ධයා” පත්‍රය 1931 දී භාර ගතිමි. ජාතික පුනරුදය අරමුණු කොට ගත් මේ ප්‍රබල ප්‍රකාශනය ඇරඹියේ ද එ තුමා ය. බෞද්ධ මතය ප්‍රකාශයට පැමිණ වූ මේ පුවත් පත අනගාරික ධර්මපාල තුමා ගේ ජාතික හා ආගමික ව්‍යාපාරයට අනුබල සපයනු පිණිස සිරි ලක පුරා බෞද්ධ මහජන මතය සකස් කිරීමෙහි ලා වැදගත් මෙහෙයක් ඉටු කළේ ය.

මේ කාලය වන විට එ තුමා දඹදිව තම අඛණ්ඩ ප්‍රයත්නයේ අග්‍ර ඵලය ලෙස හැඳින්විය හැකි බරණැස සාරානාථය බලා නික්ම ගොස් සිටියේ ය. එහෙත් එ තුමා මා සමඟ නො කඩවා ලිපි ගනුදෙනු කිරීමෙහි යෙදී සිටියේ ය. ‘දැනගත යුතු කරුණු’ නමැති සඟරාවට සති පතා ඉදිරිපත් කළ යුතුකට ලිපිය නො කඩව එවම කිසි කලෙකත් එ තුමා පැහැර නොහළේ ය. මා හා සමීප සම්බන්ධයක් පැවැත්වූ මේ කාලය තුළ එ තුමා ගෙන් අපමණ ආභාසයත් මගේ මාතෘ භූමිය උදෙසා පසු කලක සේවය කිරීමට මා පෙළඹ වූ මාර්ගෝපදේශකත්වයත් ලද්දෙමි.

අනගාරික ධර්මපාල තුමා සිය රටටත් සිංහල ජාතියටත් ඇලුම් කළ ශ්‍රේෂ්ඨ දේශ ප්‍රේමියෙකි. එසේ වුව ද එ තුමා ගේ දර්ශනය අන්තර්ජාතික විය. සැබෑ සැටියෙන් ම එ තුමා ජගත් පුරුෂයෙක් විය. ජාති, ආගම්, දේශ වශයෙන් පැවති බාධක නො තකා හළ යෝධ පුරුෂයෙක් විය. ඉන්දියාවේ පීඩිත පන්තියේ දරුවෝ වෙත් වශි හා ලම්භි වෙසෙන නීග්‍රෝ දරුවෝ වෙත් වයිට්චැපල් පැල්පත්වල විසූ අන්ත දුගී දරුවෝ වෙත් වශි මේ සියල්ලෝ ම ලංකාවෙහි දරුවන් සේ ම එ තුමා ගේ හදවතට ඉතා සමීප වූහ.

අසරණයන් හා දුබලයන් කෙරෙහි එ තුමා දැක් වූ දයාවත් දක්ෂිණ්‍යයත් අසීමිත විය. ලංකාවේ වේවයි, ඉන්දියාවේ වේවයි, අමෙරිකාවේ වේ වයි ශක්තිමතා හා ප්‍රබලයා විසින් දුබලයාත් වරප්‍රසාද නොලද්දන් ගසා කනු ලැබීම එ තුමා හෙළා දුටුවේ ය. එ තුමා ලෝකයේ දනගැන්වීමට පාත්‍ර වූ කවර ප්‍රදේශයක වුව ද වෙසෙන ලක්ෂ කෝටි සංඛ්‍යාත ජනයාට කාමභෝගී ජීවිතය හැර පියා ආධ්‍යාත්මික සම්පත්තිය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රබෝධයත් උනන්දුවත් සපයා ඔවුන් ධෛර්යවත් කරවී ය.

එ තුමා ගේ ජීවිතය වූ කලී අධික කාර්ය භාරයකින් යුත් වූවකි. උ සේ ම එය මිනිස් වගට සෙත සැලසීම පිණිස කැප කරන ලද්දක් මෙන් ම සැම ලංකා පුත්‍රයකු විසින් ආදර්ශයට ගැනීමට තැත් කළ යුතු මනා ජීවිතයක් ද වෙයි.

අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල