අනගාරික ධර්මපාල අපදානය - කේ බී සුගතදාස.pdf
- කතෘ :
- කේ. බී. සුගතදාස
- ප්රකාශිත වර්ෂය :
- 2005
- මුද්රිත වර්ෂය :
- 2005
- පිටු ගණන :
- 260
- බාගත කිරීම් ගණන :
- 1,942
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-11-28
- ගොනුවේ ප්රමාණය :
- 53 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අනගාරික ධර්මපාල අපදානය යනු ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ අසහාය ජාතික හා ශාසනික සේවාව, වික්රමාන්විත චරිතාපදානය හා උදාර ජීවිත තොරතුරු විස්තර කෙරෙන චරිතාපදාන ග්රන්ථයකි. කෘතහස්ත ලේඛකයෙකු වූ කේ. බී. සුගතදාස මහතා විසින් අනගාරික ධර්මපාලතුමා සමීපව ඇසුරු කරමින් ලද අත්දැකීම්ද පාදක කරගනිමින් මෙම කෘතිය රචනා කර ඇත.
මෙම කෘතිය සම්පාදනය කිරීමේදී ආචාර්ය ආනන්ද ගුරුගේ මහතාගේ ‘Return to Righteousness’ සහ ‘ධර්මපාල ලිපි’, හේමපාල මුනිදාසයන්ගේ ‘රසාවදානය’, ඩේවිඩ් කරුණාරත්නයන්ගේ ‘අනගාරික ධර්මපාල’ ආදී කෘතීන් හා සිංහල බෞද්ධයා පුවත්පත් ඇසුරු කරගෙන තිබේ. ගණේගම සරණංකර නාහිමියන්ගේ විශේෂ ලිපියක් හා ගාමිණී ජයසූරිය මහතාගේ ප්රකාශක සටහනක්ද මෙහි ඇතුළත් වේ.
අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලය මගින් ප්රකාශයට පත් කරන ලද මෙම කෘතියේ ප්රථම මුද්රණය 1986 දී ද, මෙම දෙවන මුද්රණය 2005 වර්ෂයේදී ද එළිදක්වා ඇත.
උපහාරාදර්ශය
තම එකුන් සැත්තෑ වියක ජීවිත කාලයෙන් පුරා අඩසිය වසක්ම ශාසනාභිවෘද්ධියත්, ජාතික පුනර්ජීවයත් සඳහා කැපකොට ලොව පුරා ශ්රී සද්ධර්ම රශ්මිය විහිදවූ විසිවන සියවසේ අත්යුදාර සිංහල වීරයාණන් පිළිබඳ මේ අපදානය දැයත් සසුනත් බැබළවූ අතීත සිංහල වීර පරපුරට පුෂ්පෝපහාරයක් කොට පිරිනැමෙන්නේ මතුවට රට, දැය, සමය සුරකින සිංහල ගිහි පැවිදි වීරවරයන්ට ආදර්ශ පිණිසය.
ධර්මපාල වීර නාමය
ශ්රේෂ්ඨ පුරුෂයෝ තිදෙනෙක් මා වශී කර ගෙන සිටිත්. අද ජීවතුන් අතර නැති ඒ තිදෙනාගෙන් එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේය. දෙවැන්නා දුටුගැමුණු රජතුමාය. තුන්වැන්නා අනගාරික ධර්මපාල තුමාය. මේ තිදෙනා තරම් මගේ හිත්ගත් වෙන කිසිවෙක් මෙතෙක් මේ ලොව ඉපදී නැත. මේ තිදෙනාගෙන් මා දැක ඇත්තේ ධර්මපාල තුමා පමණකි. බුදුහාමුදුරුවන් ගැන සිතන්න, සිතන්න මේ තරම් ඥාණ සම්භාරයක් මිනිස් මොලයක කෙසේ අඩංගුව තිබුනාදැයි මම පුදුම වෙමි. අනේ! උන්වහන්සේ දැසින් දැකගන්ට ලැබුනා නම් කොයි තරම් වාසනාවක්දැයි සිතේ. දුටුගැමුණු රජතුමා ගැන සිතන්න සිතන්න, සිංහල ජාතියට, ජාත්යාලය හා ආගමාලය නැමැති ජීවය කවා, ජාතියත් ආගමත් බේරාගත් මහා වීරවරයා බව ඔප්පු වෙයි. ධර්මපාල තුමා ගැන සිතන්න සිතන්න එතුමා තුළ පැවති අභිමානවත් පෞරුෂයත් නිර්භීතභාවයත් පිරිසිදු චරිතයත් බෝධිසත්වයකු නිර්මාණය කොට පෙන්වයි.
මීට අවුරුදු 35 කට පෙර මා දඹදිව සිටිද්දී ලියූ ලිපියක ‘’ලංකාවේ පලාත් නවයේ ධර්මපාල ප්රතිමා නවයක් තිබිය යුතුය’’යි ලිවෙමි. උතුරු - නැගෙනහිර දෙපලාත හැර අනිත් පලාත් හතේම ධර්මපාල ප්රතිමා දක්නට ලැබීම මගේ ඒ පැතුම සාර්ථක වීමකි. ජාතිය වැටී තිබුනු පිරිහීමේ ප්රපාතයෙන් ගොඩ ගත්තේ ධර්මපාල තුමාය. ලෝකයේ කිසිම නායකයෙක් එතුමා තරම් තම ජාතියට බැණ වැදී නැත. ‘වල් අලියා’ ‘ගොන්තඩියා’ යන වචනවලින් මූණ ඉදිරිපිට එතුමා මිනිසුන්ට බැන්නේය. පුදුමය නම් ඒ බැණීම ගැන කිසිවෙකු තරහ නොවීමයි. එතුමා බනින්නේ ජාතිය ගැන ඇති වේදනාවෙන් බව හැම දෙනාම දැන සිටියහ.
අපේ රටත්, ජාතියත්, ආගමත්, සංස්කෘතියත් හදන්නට ධර්මපාල තුමා තරම් මහන්සි වූ, කැප වූ, පරිත්යාග කළ වෙන කිසිවෙක් නැත. එතුමා පහළ වූයේ සිංහල ජාතියේ පුරාකෘත පුණ්ය බලයකිනි. එතුමා නූපන්නේ නම් දඹදිව බුද්ධගයාවේ ශ්රී මහාබෝධිය තවමත් හින්දුන් අතේය.
එතුමාගේ චරිතකථාව හැම සිංහලයකු විසින්ම කියවිය යුතුය. එය එක් කෙනෙකු දෙන්නෙකු විසින් නොව නොයෙක් ලේඛකයන් විසින් නොයෙක් දෘෂ්ටිකෝණ අනුව ලිය යුතුය. එතුමා ජනනායකයෙකි, අනගාරිකයෙකි, භික්ෂුවරයෙකි, කථිකයෙකි, දේශකයෙකි, ධර්මදූතයෙකි, ජාත්යාලය ඇති නායකයෙකි, භක්තිමත් බෞද්ධයෙකි, මහා ධනපතියෙකි, ජාත්යන්තර කීර්තිමත් සිංහලයෙකි, සංස්කෘතික විප්ලවයක් ඇතිකළ කෙනෙකි, ත්රිපිටකධාරියෙකි, උපසම්පද භික්ෂුවරයෙකි.
මා ප්රියකළේ ඉතා ශාන්තදාන්ත උපසම්පද භික්ෂුවක්ව සිටි සිරි දේවමිත්ත ධම්මපාල රූපයට වඩා එඩිතර නිර්භීත ප්රෞඪ අනගාරික ධර්මපාල රූපයටයි. අහෝ ! ධර්මපාල තුමනි, මේ නැවතත් ඔබතුමා සිටිය යුතු කාලයයි,
කේ. බී. සුගතදාස මහතා තරුණ කාලයේ සිට ධර්මපාල තුමා ආශ්රය කිරීමේ භාග්යය ලත් ඉතා ආදරණීය මහතෙකි. ධර්මපාල චරිතය ලිවීමට සුදුස්සන්ගෙන් කෙනෙකු වූ ඒ මහතා ඉතා දක්ෂ ලෙසින් ලියා ඇති මේ ධර්මපාල චරිතය මේ රටේ කාවිසිනුත් නොවරදවාම කියවිය යුත්තකි.
— පණ්ඩිත ගණේගම සරණංකර මහ නාහිමි
මේ පොත ගැන
අපේ ජාතියේ භක්ත්යාදරයට සදා පාත්ර වන්නාවූ අනගාරික ධර්මපාල තුමා, තුන් සිංහලය පුබුදුවා ජාතියේ අභිමානයත්, සම්බුද්ධ ශාසනයේ පුනර්ජීවනයත් පිණිස අසම - සම සේවයක් ඉටුකළ ශ්රේෂ්ඨ වීරවරයෙකි.
විදේශාධිපත්යය නිසා බෙහෙවින් පිරිහැනියට පත්ව තිබූ අපේ ජාතික, සමාජයීය හා සංස්කෘතික උරුමයන් යළි නඟා සිටුවමින් සිංහල බෞද්ධයන්ට අහිමිව තිබූ අයිතිවාසිකම් දිනා ගැනීමට එතුමා දැඩි පරිශ්රමයක යෙදුනේය. අපේ ප්රෞඪ ඉතිහාසයත්, එයින් පිළිබිඹු වන සදාචාර සම්පන්න, පරෝපකාරී ජීවන රටාවත් පිළිබඳව අප ජනතාව තුළ දේශාභිමානය ඇති කරමින් අන්ධානුකරණයෙන් පරසිරිතට ගොදුරුවූවන් එයින් මුදා ගැනීම සඳහා එතුමා ගෙන ගිය ප්රබල සටන ජාතියට ආශීර්වාදයක් විය.
එමෙන්ම නිර්මල සම්බුද්ධ ධර්මය, ශ්රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෙසු රටවලට ද බෙදාදීම සඳහා එතුමා විසින් දියත් කරන ලද්දේ පෙර කිසි කලෙකත් නොවූ විරූ අන්දමේ ව්යාපාරයකි. ඒ සඳහා මහාබෝධි සමාගම ආරම්භ කළ එතුමා සකල ලෝක බෞද්ධ ජනතාවට මුදුන් මල්කඩක් බඳුවූ දඹදිව බුද්ධගයාව, ඉසිපතනය යනාදි බෞද්ධ සිද්ධස්ථාන අන්ය ලබ්ධිකයන්ගේ ග්රහණයෙන් මුදාගෙන ප්රතිසංස්කරණය කොට ලෝක බෞද්ධ ජනතාවගේ වන්දනාමාන සඳහා වෙන් කරවා ගැනීමට සමත් විය. නිර්මල සම්බුද්ධ ධර්මය යළිත් දඹදිව ව්යාප්ත කිරීමටත්, චීනය, ජපානය ආදී පෙරදිග රටවල ඒ පිළිබඳ ප්රබෝධයක් ඇති කිරීමටත්, ඉතිහාසයේ ප්රථම වරට යුරෝපා, ඇමරිකා ආදී අපරදිග රටවලට ද බුදුදහම හඳුන්වාදීමටත් එතුමාට හැකි විය. එයින් බුද්ධ ශාසනයේ ව්යාප්තිය මෙන්ම ශ්රී ලංකාවේ කීර්ති නාමය ද දසත පැතිරී ගියේය. ඒ නිසා මෑත යුගයේ පහළ වූ ශ්රේෂ්ඨතම බෞද්ධ ධර්මදූතයාණන් වශයෙන් එතුමා ලෝක වාසීන්ගේ ගෞරව ලැබීය.
බුදු සමය කෙරෙහි ශ්රද්ධා භක්තියත් දේශමාමකත්වයත් ජන්ම උරුමයෙන් ලද එතුමා, සිය සම්පූර්ණ ජීවිත කාලයත්, තීක්ෂණ බුද්ධි මහිමයත්, ධනස්කන්ධයත්, ශ්රමයත්, ඒ සඳහාම ඇප - කැප කළේය. බලවත් බාධක හා තර්ජන මධ්යයේ නොසැලෙන නිර්භීතභාවයත්, අධිෂ්ඨාන ශක්තියත් පමණක් නොව ඇසූ දුටුවන් තමන් වෙත නතු කර ගැනීමේ පුදුමාකාර බලයකිනුත් හෙබි එතුමාගේ දේහ විලාශය හා වාග් චාතුර්යයත් එහිලා මහෝපකාරී විය.
මගේ ජීවිතයේ නොමැකෙන සිහිවටන වශයෙන් මා සලකන්නේ මට එතුමා දැක ගැනීමේ භාග්යය ලත් අවස්ථා කීපයකි. එකල මා තුන්-හතර වැනි වියේ කුඩා දරුවකුව සිටි නමුත්, මා දයාබර මෑණියන් මා කැඳවා එතුමා හමුවීමට ගොස් කළ කතාබහ දූහුඩු නිරතුරු මගේ මතකයට නැඟේ. ඒ අවස්ථාවල දී එතුමා දුන් අවවාද අනුශාසනා මගේ ජීවිතය හැඩගස්වා ගැනීමට මිණි පහනක් වූ බව මෙහිලා සඳහන් කරන්නේ ඉමහත් ගෞරවාදරයෙනි.
එවන් චරිතාපදානයක් මෙසේ පාඨකයින් අතට පත් කිරීමට ලැබීම ගැන මම අතිශයින් සන්තෝෂ වෙමි. විශේෂයෙන් අනගාරික ධර්මපාල තුමාගේ අවසන් කාලයේ දී එතුමා ඇසුරු කිරීමේ භාග්යය ලත්, කෘතහස්ත සිංහල ලේඛකයෙකු වන කේ. බී. සුගතදාස මහතා විසින් ලියන ලද මෙම කෘතිය, අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලය විසින් ප්රකාශයට පත් කරන්නේ, නූතන සිංහල පාඨක ජනතාවට මෙන්ම අනාගත පරම්පරාවලටත් එයින් මහඟු ආදර්ශය හා මාර්ගෝපදේශ ලැබෙනු ඇතැයි යන අචල විශ්වාසයෙනි.
මෙහිලා අපට උපකාර කළ සියළු ගිහි-පැවිදි පින්වතුන්ටත්, කතුවරයාටත්, අපගේ ස්තුතිය පිරිනමමි. මෙම ග්රන්ථය පරිශීලනයෙන් අනගාරික ධර්මපාල තුමාගේ ආදර්ශමත් ජීවිතය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබීමෙන්, අප ජාතියේ ප්රගතිය, සමගිය හා සමාදානයත් සම්බුද්ධ ශාසනයේ ප්රවර්ධනයත් වෙනුවෙන් ඇප - කැප වීමට නූතන ජනතාව දිරිගැන්වෙනු ඇතැයි විශ්වාස කරමි.
ගාමිණී ජයසූරිය
අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයේ සභාපති,
ලංකා මහාබෝධි සමාගමේ සභාපති,
කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ අමාත්ය
සහ ආහාර අමාත්ය.
1986 සැප්තැම්බර් මස 17 වැනිදා.
කොළඹ දීය.
පෙර වදන
දෙවැනි ලෝක මහා සංග්රාමයේ විපාකයක් වශයෙන් අංගෝපාංග කැබලිවී බෙලසුන්ව ගිය බූවල්ලකු මෙන් හුදෙකලාවන තෙක් ‘හිරු නොබසින’ මහාධිරාජ්යය වශයෙන් පැලඹුණු මහා බ්රිතාන්යයෙහි නියම ඉතිහාසය ඇරඹෙන්නේ ක්රිස්තු වර්ෂයෙන් නව වන ශතවර්ෂයේ ආරම්භයත් සමගය. එහෙත් ඉතිහාසපූර්ව යුගයක පටන් විශ්මයජනක ශ්රේෂ්ඨ ශිෂ්ටාචාරයක නිෂ්පත්තිය වූ ශ්රී ලංකාවේ ලිඛිත ඉතිහාසය ඇරඹෙන්නේ අදින් අවුරුදු දෙදහස් පන්සිය එකුන්තිසකට පෙර සිදුවූ බැව් සැලකෙන විජයාවතරණයත් සමගය. එයින් අවුරුදු දෙදහස් තුන්සිය සත්පණසක් කල් ස්වාධීන, ස්වෛරී, ප්රෞඪ ජාතියක්ව වැජඹුණු ශ්රේෂ්ඨ සිංහල ජාතිය වෙරළ කරා ඇදී හැපී නැසෙන මහා තරංග පංක්තියක් මෙන් වරින් වර ආක්රමණයේහි යෙදුණු චෝල, පාඬි, කේරළ, කර්ණාට, ද්රවිඩාදි ඉන්ද්රිය පරසතුරන් සාධා රටත් දැයත් සමයත් නිරුපද්රැත කර ගැනීමෙහි පොහොසත් සෙයිර වියත් ගුණයත් රණවික්රමයත් බුද්ධිබලයත් සේනාබලයත් ඇති නරවීරයෝ ඒ යුගයෙහි පහළ වූහ.
රෝම ප්රජාධිපති ජුලියස් සීසර් එංගලන්තය ආක්රමණ කරන්නටත් සියවසකට කලින් සිංහලද්වීපය ආක්රමණය කොට මහෞපාසක අසේල රජු මරා අනුරාධපුර සිහසුන පැහැර ගත් එළාරයන් උදාර ද්වන්දව සටනකින් හෙළා දෙමළ බලය මුල්සුන් කොට සිංහල ජයකෙහෙළි නැංවූ දුටුගැමුණු නරශ්රේෂ්ඨයාණන් මෙන්ම මහ විජයබා, ගජබා, මහ පැරකුම්බා, සීගිරි කසුප් ආදී පැරණි යුගයේ සිංහල වීරයන් පමණක් නොව ජාතික පරිහානි යුගයේ වුවද රාජසිංහ වරුන් වැනි අභීත නරවීරයන් හා වීදිය බණ්ඩාර, කැප්පෙටිපොළ, ලෙවකේ වැනි රණශූරයෝද සිංහල ඉතිහාසය වීරරසයෙන් අලංකාර කළහ.
එහෙත් පෘතුගීසි, ලන්දේසි යන කෲර ආක්රමණිකයන් නිසා කෙලෙසී ගොස් ඉංග්රීසීන්ගේ උපායශීලි ආධිපත්යයට අසුවූ සිංහල වර්ගයා දශක කිහිපයක් ඇතුළතදී පත්ව සිටි අන්ත අසරණ අනාථ තත්ත්වය අතිශයින් ශෝචනීයය, බිහිසුණුය. සුදු අධිපතියන්ගේ අහංකාර පරවශ බලපෑමෙන් නිවට නියාළු බවට පත්වී සිටි අසරණ සිංහල ජනතාවට අතීත සිංහල විභූතියත් බලපරාක්රමයත් මතක් කරදී, ඔත්පලව බියපත්ව ගිය සිංහල හදවතට ජාතිකාභිමානය කැවූ අනගාරික ධර්මපාලතුමා ජාතියටත් ශාසනයටත් සැලසූ සේවය මෙතෙකැයි ප්රමාණ කළ නොහැක්කේ එක් එක් පට්ටමෙන් විවිධ වර්ණ රශ්මීන් පතුරුවන බෙරලියන්තුවක් මෙන් එතුමන්ගේ අසමාන චතුරතා හා කාර්ය්යසාධනය ශ්රී ලංකා ජනතාවගේ පුනර්ජීවයට විවිධාකාරයෙන් ප්රතිෂ්ඨාධාර වූ අන්දම සලකා බලන කලෙය.
නිරන්තර පාඨනයෙන් අත්කරගත් ධර්මාන්තර අවබෝධයත්, දේශාටනයෙන් හිමිකරගත් ප්රායෝගික විචාරඥානයත්, උපතින්ම හිමිවූ අභීත, අව්යාජ වීර ගුණයත්, ශාසනය පිළිබඳ වූ උදරතර ශ්රද්ධා මහිමයත් නිසා ගොහොරු වගුරෙන් මතුවන නිර්මල පද්මයක් සේ නැගී සිටි ධර්මපාල වීරයාණන් තරම් ජාතිය නගාසිටුවාලීමේ මෙහෙවරට මෙන්ම නෛර්යානික ශාන්ත ධර්මයේ පණිවුඩය ලෝ මුදුල්ලේ ගෙන යාමේ ධර්මදූත මෙහෙවරට මුළු ජීවිතයම කැප කළ මහෝත්තමයෙක් මුළු මිනිස් ඉතිහාසයෙන් සපයාගත නොහැක්කේය. සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් වෙනුවෙන් දඹදිව මුදුල්ලේ අසූහාර දහසක් විහාරාරාම ඉදිකොට, දඹදිවතලයේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පමණක් නොව ශ්රී ලංකාව, සිරියාව, මිසරය, සිරීනය, හා එපිරස් ආදී විදේශවලටද ඒ ඒ දේශයන්හි නරපතියන්ගේ මාර්ගයෙන් ධර්මදූතයන් ධර්මාශෝක මහාධිරාජ්යා විසින් නික්මවන ලද බව ඉතිහාසගතය. ඒ පුරාවෘත්තගත අසමාන කීර්තිධර මහා බලසම්පන්න අධිරාජ්යෙකු වශයෙන් කළ වික්රමයකි. එහෙත් බ්රිතානි අධිරාජ්යයේ යටත් විජිතයක්ව පැවති ශ්රී ලංකාව වැනි කුඩා දිවයිනක සාමාන්ය පුරවැසියකු වශයෙන් සම්බුද්ධවාදයේ පණිවුඩය එහි ජාතභූමිය වූ දඹදිවට පමණක් නොව, සියම, බුරුමය, චීනය, ජපානය, අරකනය, ඇමෙරිකාව, එංගලන්තය හා ප්රංශය වැනි රාජ්යවලටද තමන්ම ගෙන යාමෙන් ධර්මපාලතුමන් දැක්වූ වික්රමය හමුවේ සකල කාලීන ධර්මදූතයන්ගේ දූත මෙහෙවර ළැසිබව සිටින්නේය.
හුදෙක් ගිහි බෞද්ධ ජනතාවගෙන් පමණක් නොව ධර්මවිනයධර මහතෙරවරුන්ගෙන් පවා නියත බුද්ධාංකුරයකැයි විරුද නමින් හඳුන්වන ලද ධර්මපාල වීරපුරුෂයාණන්ගේ ශ්රී චරිතය පිළිබඳ මේ අපදාන රචනයට අප මෙහෙයවූ හේතු කිහිපයකි. සිංහල ජාතිය හා සම්බුද්ධ ශාසනය පිළිබඳ අසීමිත අනාගතයකට ආලෝකය විහිද යායුතු ජ්යෝතිමත් චරිතාලංකාරයකින් අපේ වංශ කථාව බැබළවූ එතුමන්ගේ පුරුෂ පරාක්රමයත්, සිංහ වික්රමයත්, ක්රියා කෞශල්යය හා විඩා විරහිත පරිශ්රමයත් යළි යළිත් මතක් කරදීම, ධර්මගරුත්වය, දේශවාත්සල්යය හා ජාතිකාභිමානය අතින් අන්ත පරිහානියකට පත්වී සිටින සිංහල ජාතියට ආත්මාභිමානය දනවන අතිශයින් කාලෝචිත සත්ක්රියාවක් සේ පෙනී යාම ඉන් පළමුවන හේතුවය.
කථානායක වීරයාණන්ගේ නිධානප්රාප්තියෙන් අඩ සිය වසරක් ඉක්ම යන්නටත් පෙර, එතුමන් ස්වකීය සිංහනාදයෙන් අවදිකළ සිංහල ජනතාව හෙදයෙන් හීනව, අනාගත දර්ශනයෙන් හීනව, ස්වාර්ථයටම වීනා ජාතික උන්නතියට කැපවුණු නායකත්වයෙන් ශුන්යව, අනාථව අසරණව වෙසෙන මෙබඳු සමයක, එතුමන්ගේ ආදර්ශවත් ජීවිත පුවත වර්ගයාටම ඉෂ්ට මන්ත්රයක් වේයයි සැලකීම දෙවැනි හේතුවය. ඩේවිඩ් කරුණාරත්නයන් හා පූජ්යපාද ගණේගම සරණංකර නාහිමියන් අතින් ලිඛිත ධර්මපාල චරිත ග්රන්ථ දෙකක් ඇතත්, ඒ අසමාන මහා පුරුෂයාණන්ගේ පශ්චිම යුගයෙහි එතුමන්ගේ සම්ප්රාප්තියත් දයාවත් කෙටි කලකට වුවද ලබා, ඒ මඟින්ම ලේඛනයට කැපවූ මේ අපදාන ලේඛකයා අතින්ද එතුමන්ගේ විචිත්ර චරිතයෙහි අංශ කිහිපයක් හෝ සිංහල ජනතාව ඉදිරියේ තැබීම ජාතික මෙහෙවරක් පමණක් නොව ජීවිත මෙහෙවරක් වශයෙන්ද සැලකීම තුන්වන හේතුවය.
සිංහල රාජ සමයේ නම් පවුරු පාක්කුඩම් සහිත රාජ වරප්රසාදයන්ගෙන් සම්මාන ලැබීමට තරම් පොහොනා කාය්ය සම්පාදනයකින් ආචාර්ය්ය ආනන්ද ගුරුගේ විද්වතාණන් අතින් සංස්කරණය වී සංස්කෘතික අංශයෙන් ප්රකාශයට පත්කරනලද ‘රිටර්න් ටු රයිටියස්නස්’ නම් ඉංග්රීසි ප්රකරණය හා ‘ධර්මපාල ලිපි’ නම් සිංහල ග්රන්ථයත්, අපගෙන් පසු වූ ‘සිංහල බෞද්ධයා’ පත්රයේ සංස්කාරක වූ ඩේවිඩ් කරුණාරත්න මහතාගේ ‘අනගාරික ධර්මපාල’ ග්රන්ථයත්, මහා ලේඛක හේමපාල මුනිදාස මහතාගේ ‘රසාවදානය’ නම් ග්රන්ථයත් මේ අපදාන ග්රන්ථය සකස් කිරීමේදී උපකාරී වූ බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුය.
මුද්රණය හා ප්රකාශනය මහත් ප්රසාදයෙන් භාරගත් අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයත්, විශේෂයෙන් ඊට ප්රතිෂ්ඨාධාර වූ ඒ භාරකාර මණ්ඩලයේ සභාපතිවර, ආහාර හා කෘෂිකර්මාමාත්ය ගරු ගාමිණී ජයසූරිය මහත්මාණනුත්, එහි ලේඛකාධිකාරි නොයෙල් විජේනායක මහත්මාණනුත් අපගේ මෙන්ම පාඨක විද්වත් සමාජයේද අත්යන්ත සමාදරයට පාත්රවිය යුතුය. මේ අපදාන ලේඛනය මුද්රණයවන බව දැකීමෙන් අමන්දානන්දයට පත්ව, මෙහි අන් තැනෙක ඇති ධර්මපාල ගුණ ප්රකාශිත ලිපිය ලියා එවීමෙන් අනුග්රහ කළ ගාලු දිසාවේ මහානායක පූජ්ය පාද ගණේගම සරණංකර නාහිමියෝද ග්රන්ථය සංස්කරණයේදි හිතවාදීව අනුප්රසාදය පළකළ පූජ්ය නිල්වක්කේ සෝමානන්ද ස්වාමීන්ද්රයෝද, අපගේ ගෞරවප්රසාදයට හිමිවෙති.
මෙහි මුලටම යෙදී ඇති බුද්ධගයා මහා විහාරයේ ප්රතිමාවහන්සේගේ වර්ණ ඡායාරූපයත්, බුද්ධගයා, මූලගන්ධකුටී විහාරද්වයේ ඡායාරූපත් සපයා දුන් හොරණ කේ. ටී. විමලසේකර මහතාත්, පැරණි ලේඛන සෙවීමේදී උපකාරී වූ ජාතික ලේඛනාගාරයේ අධිපති පී. පී. එස්. එව. ද සිල්වා, නුවරඑළියේ හේමපාල යන මහතුනුත් විවිධාකාරයෙන් සහායවූ නිමල් අශෝක තරුණ මහතාත් අපගේ හෘදයංගම ස්තූතියට හිමිවෙති. මේ ග්රන්ථය ලිවීමට අප උනන්දු කරවා, එහි මුද්රණයේ මුල පටන් අවසානය දක්වා අනල්ප පරිශ්රමයකින් මහෝපකාරී වූ වැල්ලම්පිටියේ දිව්යස ප්රචාරකයෝ ආයතනය හිමි සෝමසිරි කස්තුරිආරච්චි මහතා අපගේ පමණක් නොව පාඨක සූරීන්ගේද ස්තුති ප්රසාදයට පාත්රවිය යුතුය.
මෙහි සියලු හිමිකම් අප සතුය.
කේ. බී. සුගතදාස
‘කබිර’
399, හයිලෙවල් පාර,
නුගේගොඩ.
1986-5-17