සඟසරණ - විද්‍යාචක්‍රවර්තී.pdf

කතෘ :
විද්‍යාචක්‍රවර්තී
ප්‍රකාශිත වර්ෂය :
1929
මුද්‍රිත වර්ෂය :
1929
පිටු ගණන :
88
බාගත කිරීම් ගණන :
1,411
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-07-24
ගොනුවේ ප්‍රමාණය :
25 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 45

සඟ සරණ යනු පොළොන්නරු - දඹදෙණි යුගයට අයත් මහාකවි විද්‍යාචක්‍රවර්තීන් විසින් රචිත අගනා පැරණි සිංහල ගද්‍ය කාව්‍ය ග්‍රන්ථයකි. බුදු සසුනේ ආර්ය මහා සංඝරත්නයේ අප්‍රමාණ ගුණ මහිමය වර්ණනා කරමින් රචිත මෙම කෘතිය, සඞ්ඝානුස්මෘති භාවනාවෙහි අරමුණු වඩා වර්ධනය කරනු පිණිස සම්පාදනය කර ඇත.

මෙම මුද්‍රණය කොත්මලේ වටද්දර ඥානොදය පරිවෙණාධිපති පණ්ඩිත ධම්මකීර්ති ශ්‍රී ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ගැටපද, සංඛ්‍යා විභාග සහ වර්ණනාවන් ඇතුළත් කොට ප්‍රථම වරට සංශෝධනය කර මුද්‍රණයට පමුණුවන ලද්දකි. වටද්දර කේ. බී. ඇස්. කරුණාරත්න මුදලාලි මහතාගේ ප්‍රකාශනයක් වශයෙන් බුද්ධ වර්ෂ 2472 (ක්‍රි.ව. 1929) දී කොළඹ විද්‍යාදර්ශී යන්ත්‍රාලයේදී මෙය මුද්‍රණය කර ඇත.

ප්‍රාරම්භ කථාවෙන් සහ සැරියුත් තෙරුන්ගේ කථාව ඇතුළු කථා වස්තු 39 කින් සඟ සරණ සමන්විත වන අතර, පුරාතන සිංහල භාෂා රටාව, වියරණ සහ අටුවාගත ධර්ම කරුණු අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ට මෙන්ම ගුණදම් වඩන සැදැහැවතුන්ට ද මෙය ඉතා ප්‍රයෝජනවත් අගනා ග්‍රන්ථයකි.

පූර්විකා.

සඟ සරණ.

විශදතර පද ලාලිත්‍යයෙන් හා මධුර ධර්මක්‍රමයෙන් සංමුපලක්ෂිත සඞ්ඝානුස්මෘති කර්මස්ථාන වර්ණනා මුඛයෙන් විරචිත මේ ගද්‍ය කාව්‍ය ග්‍රන්ථය වනාහි “සඟසරණ” යන අභිධා නාමයෙන්ම ප්‍රචලිත ය.

පවිත්‍ර ආර්ය්‍යසඞ්ඝරත්නය විෂයයෙහි විද්‍යමාන අප්‍රමාණ විශිෂ්ට ගුණයන් සිහි කිරීමෙන් අත් වන මහත් පුණ්‍ය ඵලය ශ්‍රද්ධාවත් බෞද්ධ මහ ජනයා වෙත පැමිණවීමෙන් ද මෙබඳු ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ලැබිය හැකි ස්වභාෂා නෛපුණ්‍යය ස්වදේශිකයන් අතර සුලභ කිරීමෙන් සිද්ධකට යුතු පරාර්ථකාමී භාවය ද සඞ්ඝගුණ වර්ණනායෙන් සංගෘහිත කුසල මහිමයෙන් අත්වන ත්‍රිවර්ග සම්පත්තියෙන් තමා සුභිත කිරීම ද නිමිති කොට මේ විසිතුරු ග්‍රන්ථය රචනා කරණ ලද බව හැඟේ.

දහසය (16) වෙනි - දහඅට (18) වෙනි ශත වර්ෂ දෙක අතර හෙවත් - පොළොන්නරු - දඹදෙණි රාජධානි කාල දෙක අතරය යි සැලකිය යුතු කාලයෙහි විසූ අග්‍ර පණ්ඩිත රත්නයක් වූ විද්‍යාචක්‍රවර්තී මහා කවීන් විසින් ම මෙය ද විරචිතය. එතුමන් විසින් ම බුත් සරණ නිපදවන ලද්දේ ය. දහම් සරණ-සඟ සරණ යන ග්‍රන්ථත්‍රය ද එතුමන්ගේ ම විශිෂ්ට කෘති බැව් ප්‍රස්තුත කිරීමට සෑහෙන කරුණු අප ලවා ම ශුද්ධ කරවා ගෙණ දැනට වැඩ නිමවීමට ලංව පවත්නා ලඟදීම පළවෙන “දහම් සරණ” ප්‍රස්තාවනාවෙහිදී ප්‍රකාශ කරන්නෙමු. එ හෙයින් ඒ පිළිබඳ ප්‍රපඤ්ච කථා මෙහි නො පවසමු.

මේ ග්‍රන්ථය ප්‍රමාණ වශයෙන් එක් වියත් සතරඟුල් දිග සත් පෙළක් ලිය හැකි පුස්කොළ පත්තිරු විසිපහක් පමණ වේ. කඩදාසි (ඩැමි) පිටු සැටක් පමණය. එක්තර සහිත ප්‍රාරම්භ කථාව කිත් හා දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේගේ කථාව ආදිකොට ඇති කථා එකුන්සාලිසකින් ප්‍රමිතය. මෙය පරිශීලනය කිරීමෙන් දහ අටවෙනි ශතවර්ෂය පමණේ දී කාව්‍ය ලක්ෂණයෙහි ව්‍යවහාරව පැවැති ව්‍යාකෘත භාෂා තත්වය දැනීම ද, සංඝ ගෞරවයෙහි හික්මවා පිහිටුවීම ද ගැඹුරු ධර්ම ක්‍රම හා ශුද්ධ චරිත කථා පහසුවෙන් ඉගෙනීම ද ස්වභාෂා පටුත්වය ඇත්වීම ද, ශත වර්ෂ වශයෙන් සිංහල භාෂාවෙහි වෙනස් ආකාරය දැනීම ද, යනාදි ප්‍රයෝජන රාශියක් නිරායාසයෙන් ම සිද්ධ වන්නේය.

ප්‍රචෙතන ප්‍රශස්ත ග්‍රන්ථ කර්තෘවරයා විවිධ භාෂාන්තරයන් හි ද බෞද්ධ ධර්මයෙහි ද අප්‍රතිහත ඥාන ප්‍රභාවෙකින් උද්දීප්ත වූවෙක් බැව් මෙතුමන්ගේ ග්‍රන්ථයන් සමාලෝචනය කිරීමෙන් හැඟේ ම ය. මෙහි ප්‍රාරම්භ කාණ්ඩය-මහාබ්‍රහ්මජාල-චුල්ලහත්ථිපදොපම-මහාදුක්ඛන්ධ-ධජග්ග-මහාපරිනිබ්බාන-මහාඅරියවංස පටිපදා-දී බුද්ධ දෙශිත සූත්‍රධර්මයන්හි ද ගැඹුරු පාළි අටුවාවන් හි ද පෙනෙන්නා සාර ධර්මයන් සම්පිණ්ඩනය කොට විසිතුරු පාළියෙන් භික්ෂු ප්‍රතිපදාව සාමාන්‍යයෙන් කාහටත් අවබෝධ වන අයුරින් ගලපන ලද්දෙකි. මෙහි උදෙසූ නානා විධ කරුණු සූත්‍ර වනා’කාරයෙන්-මනෝරථ පූරණී-සාරත්‍ථසාලිනී-අට්ඨසාලිනී-විසුද්ධිමග්ග,’දි ග්‍රන්ථයන්හි පෙනෙන විසිතුරු කථා සංඝ ගුණ සමුදාය ව්‍යක්ත කිරීම පිණිස රසවත් භාෂාවෙන් යොදා ග්‍රන්ථය නිමවා තිබේ. මේ කථාවන්හි ඇතැම් තැන අටුවාවන්හි දා පද පිළිවෙල සිංහල භාෂාවට නැඟීමෙන් මාධුර්ය්‍යය හීන වූ තැන් හා ඌනස්ථාන ද නැත්තේ නොවේ.

සඟ සරණ ග්‍රන්ථකර්තෘවරයින් ගේ සමහර යෙදුම් ගුරුළු ගෝමී පඬිතුමන්ගේ යෙදුම් අනුකරණය කර තිබෙන බව කිය හැකිය. ගුරුළුගෝමීහු පැවිජි වාවී වූ “පොළෝ” ශබ්දය - පොළෝ-පොළොවි-පොළොව කියා ද, උත්පාදනය කොට යන අර්ථවත් “ඉපැද” යන ප්‍රථම ක්‍රියාව - ඉපිදි - ඉපැද - ඉපද කියාද කර්ම ශබ්දයන් “කිං” ශබ්දය කොයි - කොයි - කොනෙන - කියා ද විශේෂාර්ථයක් නැතිව එකාර්ථයෙහි ම ව්‍යවහාර වශයෙන් යෙදූහ. එසේ ම මෙහි ද - සේයෙක - සෙයෙක - සේක - කියා ද පොවා - පවා - කියා ද-පැවිජි - පැවිදි - කියා ද-ඉපැද - ඉපිද - කියා ද-දවුනල් - දහවල්-දවල් කියා ද අනියම් වශයෙන් ඇතැම් ශබ්ද යෙදූ බැව් පෙනේ. තව ද මේ ග්‍රන්ථ කර්තෘ හට අභිමත වූ අභිමතයට පිලිලොම්ව වත්මන් වහරෙහි පවත්නා ශබ්ද ද පෙනෙති. “පිරිමසා” “බැරි” යනාදිය යි. මෙබඳු පිරිමසා යනු “පරිශ්‍රව” යන්නෙන් පිරිස්‍රවය යි හීනව නැවත අක්ෂර විපර්‍ය්‍යාසයෙන් පිරිමසාය යි සෑදී ඉන් ප්‍රථමක්‍රියායෙහි ආප්‍රත්‍යයව සිද්ධ පදයෙකි. එහි අර්ථය ඉතා මහන්සියෙන්-අමාරුවෙන්-උගෙන සූර්ණය කොට යනු යි. නමුත් මෙකල පිරිමසා යන්නෙහි ව්‍යවහාරාර්ථය නම් ඉතා අඩුවශයෙන් යන්තමින් යනුයි. “බැරිපිළිවෙත” යන මෙහි බැරී යනු භාර යන්නෙන් හීනනවී, එහි බර ඇති අමාරු යනු අර්ථයි. මෙකල ව්‍යවහාරයෙහි බැරි යනු අශක්‍ය-නො හැකි යනුයි. මේ ආදිය සැලකීමෙන් කාල විපරීනාමය සමග අර්ථ විපරිනාමය වන බව අවබෝධ වේමැයි.

සිත් කටයුතු මෙබඳු විශිෂ්ට යෙදුම් වලින් ශොභමාන වූ මේ ග්‍රන්ථය ස්වයම්ප්‍රතිභාණායෙන් නිපදවූ උපමා රූපකාදි රම්‍යාලංකාරයෙන් උද්‍රිතය. ප්‍රසාද ගුණයෙන් රමණීය ය. අර්ථගම්භීරත්වයෙන් ප්‍රශංසනීය ය. විචිත්‍ර භාෂාවෙන් මධුරය. මෙබඳු වූ නාම මාත්‍රයෙන් පවා ඇසීමට දුර්ලභව පැවැති මේ මහඟු ග්‍රන්ථය භාවිතයෙන් ලෝකයාට ඇතිවන මහත් අභිවෘද්ධිය සලකන ලද අප විසින් යථා’වකාශ වශයෙන් ගැටපද - සංඛ්‍යා විභාග ලඝු වර්ණනාදියෙන් යුක්ත කොට පළමු වරට මෙසේ ශොධනය කෙළෙමු. දීර්ඝ කාලයක් අභාවිතව දුර්ලභව පැරැණි පුස්කොළ පිටපත්හි අශුද්ධව පැවති පොතක් එකවර ම පරම පාරිශුද්ධියෙහි පිහිටුවීමට විවේකීවූ උගත් ග්‍රන්ථ ශොධකයින්ට ද නොහැක්කකි.

ලොකශාසනා’භිවෘද්ධිකර මහත් කර්තව්‍යයන්හි යෙදී අවිවේකීව සිටින අපට මේ ග්‍රන්ථය ශොධනයෙහි ගතවූයේ ස්වල්ප කාලයෙකි. එබඳු ස්වල්ප කාලයකින් ශොධනය කළ මේ ග්‍රන්ථයෙහි අපගේ ප්‍රමාදයෙන් හා මුද්‍රණයෙන් ද ඇති වූ දොෂ දෙවන සංස්කරණයෙහිදී විශේෂයෙන් ශොධනය කරණ බව දන්වමු. එබඳු දෝෂයන් අප වෙත දන්වා එවීම අපට කරණ මහත් උපකාරයකි.

මේ ග්‍රන්ථය ශොධනයෙහිදී ද අප ශිෂ්‍ය උගත් වටද්දර මෙධානන්ද තැනගේ සහායත්‍වය අපගේ පරිශ්‍රමයෙහි ලඝු භාවයට හේතු වූ බව සතුටින් සඳහන් කරමු.

මේ ග්‍රන්ථ ශොධනයෙහි කොළඹ කොම්පඤ්ඤවීදියේ ආණ්ඩුවේ ස්වභාෂා පාඨශාලාවේ ප්‍රධානාචාර්ය්‍ය වූ “රාජකීය ආසියාතික” සමිතියෙහි ද “ප්‍රාචීන භාෂොපකාර” සමිතියෙහි ද සාමාජික වූ “සාධුචරිත” කථා කාණ්ඩයෙහි හා “පාඨශාලීය සමාස්‍රාව - සංඛ්‍යානාම අකාරාදිය-අළුත් සිංහල ව්‍යාකරණ පොත - අභිනව ක්‍රීඩා පොත යනාදී පොත් කළාවූ අපගේ හිතවත් දායකවරයෙක් වූ එච්. ආර්. ගුණරත්න මහත්මයා විසින් කළ ආරාධනය ප්‍රීතියෙන් සිහිපත් කරමි.

ඉතා වෙහෙස මහන්සි වී මෙය ශොභාන ලෙස වටද්දර කේ. බී. ඇස්. කරුණාරත්න මුදලාලි මහතා විසින් මුද්‍රණය කරවීම අපට මහත් ප්‍රීතියකි. එසේම වටිනා ලොකශාසන සංග්‍රහයෙකි.

මීට පැරණි සඟසරණ පුස්කොළ පොත් සපයා දුන් භවතුන්ට ද අපගේ කෘතඥතා පූර්වක ස්තුතිය හිමිවේ.

මෙසේ මහත් පරිශ්‍රමයකින් ප්‍රකාශයට පැමිණවූ මේ ග්‍රන්ථය සදාචාරාභිවෘද්ධිකාමී භවතුන්ගේ විනෝදය පිණිස පවතිවා යනු අපගේ ප්‍රාර්ථනාවයි.

කොත්මලේ ධම්මානන්ද ස්ථවිර තෙමෙමි.

2472 1929-3-20 ඥානොදය පරිවෙන, වටද්දර, පුස්සැල්ලාව.

කොත්මලේ ධම්මානන්ද ස්ථවිර තෙමෙමි., 2472 / 1929-3-20, ඥානොදය පිරිවෙන, වටද්දර, පුස්සැල්ලාව.