සම්පිණ්ඩිතමහානිදානය පැරණි බුදුසිරිත - කොල්ලුපිටියේ මහින්ද හිමි.pdf

scanned

කතෘ :
කොල්ලුපිටියේ මහින්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
2006
මුද්‍රිත වර්ෂය :
2006
පිටු ගණන :
418
බාගත කිරීම් ගණන :
2,448
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-07-17
ගොනුවේ ප්‍රමාණය :
92 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 210

සම්පිණ්ඩිතමහානිදාන නම් පැරණි බුදුසිරිත යනු මෙතෙක් මුද්‍රණයෙන් පළ නොවී පුස්කොළ පිටපත්වලට පමණක් සීමා වී පැවති දුර්ලභ පෞරාණික පාලි ග්‍රන්ථයක් ඇසුරෙන් සම්පාදිත සිංහල පරිවර්තනයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ විසින් මෙම ග්‍රන්ථය සංස්කරණය කොට සිංහලට පරිවර්තනය කර ඇත.

පැරණි බෞද්ධ සාහිත්‍යයෙහි බෝසත් සිරිත හා බුදු සිරිත විස්තර කිරීමේදී භාවිත වූ නිදාන ප්‍රභේදයන්හි (අතිදූරදූරෙ, අතිදූරෙ, දූරෙ, අවිදූරෙ සහ සන්තිකෙ නිදාන) විවිධ ආචාර්ය සම්ප්‍රදායන්ගේ මතවාද සම්පිණ්ඩනය කරමින් මෙම ග්‍රන්ථය සකස් වී තිබේ. ථෙරවාදී මෙන්ම මහායාන මූලාශ්‍රයන්හි එන ඇතැම් කතා ප්‍රවෘත්ති ද මෙහි අන්තර්ගත වන අතර, දීපංකර පාදමූලයටත් එපිට අතීතයෙහි පටන් සම්බුද්ධ පරිනිර්වාණය, ධාතු බෙදාදීම සහ ධර්ම සංගීතිය දක්වා වූ කරුණු විස්තර වේ.

පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා:

  • අතිදූරදූරෙ නිදානය
  • අතිදූරෙ නිදානය
  • දූරෙ නිදානය
  • අවිදූරෙ නිදානය
  • පරිනිර්වාණ කතාව
  • සංගීති කතා
  • මහාකාශ්‍යප තෙරුන් වහන්සේගේ පරිනිර්වාණ කතාව
  • අනාගත කතා
  • ධම්මපිණ්ඩය

සංඥාපනය

සම්පිණ්ඩිතමහානිදානය වර්තමානයෙහි පාලිභාෂාසාහිත්‍ය විද්වතුන් අතර අප්‍රකට මේතාක් මුද්‍රණයෙන් අප්‍රකාශිත පුස්කොළ ග්‍රන්ථවලට පමණක් සීමාවූ පෞරාණික පාලිග්‍රන්ථයකි. එහි පුස්කොළ පිටපත් ගණනාවක් තිබෙන බවට තොරතුරු සටහන්ව තිබේ. වර්ෂ 1959 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයාධිපති කේ.ඩී. සෝමදාස මහතා විසින් සම්පාදිත, සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත “ලංකාවේ පුස්කොළ පොත් නාමාවලිය” නම් ප්‍රකාශනයෙහි ඒ බව සඳහන්ය. එයට ඇතුළත්ව නැති කොළඹ කෞතුකාගාර පුස්තකාලයෙහි අංක 1450-AO.9, 1451-AN.4, 1452-5.8 යටතේ පිටපත් තුනක් ද වෙයි. නමුත් සම්පිණ්ඩිතනිදාන නමින් ගත හැක්කේ අංක 1450-AO.9 පිටපත පමණකි. එකසමානව ලියා ඇති කුඩාප්‍රමාණයේ සෙසු පිටපත් දෙක සම්පිණ්ඩිතනිදාන අනාගතකථා නම් පරිච්ඡේදයෙන් උපුටා ගත් ගාථාපන්තියක් වටා ලියූ සිංහල අර්ථවර්ණනයකි.

පැල්මඩුල්ල රූපානන්ද පුරාණ පිරිවෙන් විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනාරාධිතව සිය කැමැත්තෙන් එහි පුස්තකාලය සතු පිටපත අප අතට පත් කොට ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස දැන්වූහ. එය කියවා බැලීමෙන් අපට පෙනී ගියේ එය පර්යේෂණාත්මක ඇගයීමකට ලක් කොට පාලි උගතුන් වෙතින් ගිලිහී යන්නට නොදී මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කළ යුතු බවයි. ඒ සඳහා ප්‍රමාණවත් පිටපත් කීපයක් සොයා ගැනීම අනිවාර්ය අත්‍යවශ්‍ය කරුණක් බැවින් ඒ සඳහා ගත් උත්සාහය ප්‍රමාණවත් තරම් සාර්ථක නොවුයේ නොයෙක් ගැටළු නිසාය.

මහනුවර හයගිරි විජයසුන්දරාරාමයේ පිටපත අපට ඉතා පහසුවෙන් ලබාගත හැකිවිය. කදිම නිර්මාණයක් වූ ඒ පොත ලියා ඇත්තේ කාම්බෝජ අක්‍ෂරයෙනි. කාම්බෝජ භික්ෂූන් වහන්සේ කෙනකු ලවා කියවා බැලූ නමුත් එය අසම්පූර්ණ පිටපතකි. හඟුරන්කෙත පොතේ ආරම්භය සහ අවසානය පැල්මඩුල්ල පොතට සමානය. සම්පූර්ණය. නමුත් ලබා ගත නොහැකි විය. දොඩන්දූවේ ශෛලබිම්බාරාමයේ සහ කොස්ගොඩ සිරිනිවේසාරාමයේ පිටපත් සොයා ගිය විට දැනගන්නට ලැබුණේ ඒවා අස්ථානගතව ඇති බවයි. මීඇල්ල ගණේගොඩ පුරාණ විහාරයේ පිටපත අසම්පූර්ණ බව සඳහන්ය. මේ නිසා පැල්මඩුල්ල පිටපතට අතිරේකව ලබා ගත හැකි වූයේ කහව තෙල්වත්ත සිරිසොභනාරාමයේ පිටපත පමණකි. ශාස්ත්‍රීය තුලනයක් සඳහා මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවෙතත් පොත ආරක්ෂා කිරීම අරභයා මේ මට්ටමින් හෝ එළිදැක්වීමට අදහස් කළෙමු. පිටපත් කරන්නවුන් අතින් සිදුවියැහැකි යි සිතිය හැකි අඩු වැඩි කම් සහ අක්ෂර වින්‍යාසයේ වෙනස්කම් හැරුණු විට දෙපොත සමානය. එනිසාම ආකුලව්‍යාකුලව ගිය තැන් සමහරක් නිරාකරණය කර ගැනීම බෙහෙවින් උගහටය. ඒ හේතුවෙන් ග්‍රන්ථාගත විෂයපථය ග්‍රහණය කර ගැනීමට ප්‍රබල බාධාවක් නොමැති බව ද කිව යුතුය.

සම්පිණ්ඩිතමහානිදානය ගැන අපට හමු වන පැරණිම සටහන මහනුවර යුගයට අයත්ය. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයකු වූ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රථම මහානායක ධුරන්ධර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මාහිමියෝ සිය ශ්‍රී සද්ධර්මාවවාදසංග්‍රහය නම් සිංහල ගද්‍යකෘතියෙහි මෙසේ සඳහන් කරති. “ශ්‍රද්ධාබුද්ධි සම්පන්න සත්පුරුෂ ජනයන්ගේ උත්සාහ වඩවනු පිණිස සොළසැකි නිදානයෙහි හා සොළොස්තක-නිදානයෙහි ද මහාසම්පිණ්ඩිතනිදානයෙහි ද ආ ක්‍රමයෙන් එම බාහිරනිදානාදි මෙහි දැක්වියයුතු විසිරුරු නිදාන කථාවන් සංග්‍රහ කොට දක්වම්හ.” උන්වහන්සේ එම කෘතියට සම්පිණ්ඩිත-මහානිදානයෙන් සමහර කොටස් ද උපුටාගෙන තිබේ.

මෑත භාගයෙහි මේ ග්‍රන්ථය පිළිබඳව සටහනක් තබා ඇත්තේ පාලිභාෂාසාහිත්‍ය විශාරදයකු වූ අග්‍රමහාපණ්ඩිත මහාචාර්ය පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. සම්පිණ්ඩිතමහානිදාන පුස්කොළපොත් පිටපතක් කියවා ඒ පිළිබඳ අගනා විස්තරයක් ස්වකීය “පාලිසාහිත්‍යය” නම් කෘතියෙහි ඇතුළත් කොට තිබේ. ඒ අනුව ජිනකාලමාලී නම් පාලිපද්‍යග්‍රන්ථයෙහි නිදානකතාව සම්පිණ්ඩිතමහානිදානකතාවට බෙහෙවින් සමානය. මෙහි පිටපත් බුරුම රටෙහි ද විද්‍යමානය. අපට හමුවන යථෝක්ත තොරතුරුවලින් අනාවරණය වන්නේ මෙම සම්භාව්‍ය පාලි කෘතිය අතීතයෙහි බුරුමය, කාම්බෝජය, ශ්‍රීලංකාව වැනි බෞද්ධ රටවල ප්‍රචලිතව පවතින්නට ඇති බවයි.

යො වීසතාසංඛෙය්‍යකප්පානි සතසහස්සාධිකෙපි ච ඛෙදං ගතො ලොකහිතාය නාථො බුද්ධස්ස තස්සෙව නමො කරොමි

බුද්ධස්ස ධම්මස්ස ගණුත්තමස්ස නමො කරිත්වා රතනත්තයානං සම්පිණ්ඩිතං නාම මහානිදානං වක්ඛාමි ආචරිය පරම්පරෙහි

යනු සම්පිණ්ඩිතමහානිදානයෙහි ආරම්භක පද්‍ය යුග්මයයි. පැරණි ගන්ථකෘතෘවරයන්ගේ සම්ප්‍රදායානුගත ඉෂ්ටදේවතා නමස්කාරය වශයෙන් කතුවරයා තෙරුවන් නැමද ආචාර්ය පරම්පරානුසාරයෙන් සම්පිණ්ඩිතමහානිදානය ප්‍රකාශ කරමියි එම ගාථා දෙකෙන් පවසයි. ඒ සමගින් ග්‍රන්ථනාමයත් එහි ආකෘතික ස්වරූපයත් පැවසේ. සම්පිණ්ඩිතමහානිදාන යනු ග්‍රන්ථනාමයයි. එය ආචාර්ය පරම්පරානුසාරයෙන් දැක්වීම ආකෘතියෙහි ස්වරූපයයි.

නි පූර්ව ධාතුවෙන් නිර්මාණය වූ නිදාන යන පාලිශබ්දය අර්ථ රාශියක වැටේ. හේතුව, පදනම, මූලාශ්‍රය, සම්භවය, ජාතක ප්‍රස්තාවනාව, විෂය, අරමුණ, සන්දර්භය, උත්පත්තිය ආදි වශයෙනි. ජාතකට්ඨකථා නිදානවණ්ණනාවෙහි සහ බුද්ධවංසට්ඨකථා නිදානකථාවෙහි දක්වා ඇත්තේ බෝසත්සිරිත හා බුදුසිරිතයි. ඒ අනුව නිදාන යන්නෙන් මේ බෝසත්සිරිත හා බුදුසිරිත ගැනේ. බෝධිසත්ත, බුද්ධ සංකල්පවල පදනම සන්දර්භය උපත පිළිබඳ විස්තර විවරණ ගෙනහැර දැක්වීම පාලි නිදානයන්හි අභිප්‍රේතාර්ථය වන්නට ඇතැයි සිතේ.

නිදානයෙහි ප්‍රභේද, කාලපරිච්ඡේදය, විෂය පථය ආදියෙහි දුරාතීතයෙහි පටන් බෞද්ධනිකායයන් අතර විවිධ මතිමතාන්තර පැවති බව දක්නට ලැබේ. විශේෂයෙන් මහායාන ථෙරවාද සම්ප්‍රදායයන් අතර එකිනෙකට වෙනස් සම්භාවනා පවතී. එකී මත සම්භාවනා ඔවුන් අතර සංවර්ධනය වෙමින් ව්‍යාප්තියට පත් ආකාරය ද දක්නට ලැබේ. කෙසේ හෝ නොයෙක් ආචාර්ය පරම්පරා මගින් පිළිගත් නිදානයේ ප්‍රභේද සහ කාලනියමයන් කැටිකොට සම්පිණ්ඩිතමහානිදානය සකස් කොට ඇති වග එහි නාමයෙන්ම පෙනේ. එක් ඇදුරු පරපුරකට පමණක් අයත් මතයක නොපිහිටා කතුවරයා ආරම්භක පද්‍යයෙහි යෙදූ ආචරියපරම්පරෙහි යන බහුවචන පදයට අනුරූපව ආචාර්ය පරම්පරාවල මත සම්පිණ්ඩනය කොට මේ නිදානකතාව සංකලනය කොට තිබේ. සම්පිණ්ඩිත යන අතීත කෘදන්ත පදයෙන් එකරාශිකළ (=brought together) ප්‍රතිසංස්කෘත (=restored) එකාබද්ධ (=Compact) යන අරුත් පැවසෙයි. ඒ අනුව මෙම ග්‍රන්ථය කෙවලමතවාදයක අනුකරණයක් නොව මතවාද සංකලනයෙන් කළ නිදහස් නිර්මාණයක් සේ පිළිගත හැකිය.

අප විසින් විමර්ශනයට භාජනය කරන ලද සම්පිණ්ඩිතමහානිදානයෙහි අවසන් පරිච්ඡේදය පසුව යා කරන ලද වෙනමම ධර්ම නිබන්ධයකැයි සිතිය හැකිය. සන්තිකෙනිදාන විවරණය කතුවරයාගේ උපද්දෙසය ඉක්මවා යමින් ධාතුවිභාජනකථා සංගීතිකථා මහාකස්සපථෙර-පරිනිබ්බානකථා අනාගතකථා යන පරිච්ඡේද නිසා ග්‍රන්ථය ක්‍රමයෙන් සංවර්ධනය වී ඇති බවක් පෙන්වයි. ධම්මපිණ්ඩ නමින් හැඳින්විය හැකි පරිච්ඡේදයෙන් පසු නැවත නමස්කාරපාඨය ගෙන පදයෙන් පදය අර්ථකථනයක යෙදෙයි. අනතුරුව දක්වා ඇති නමස්කාර ගාථාවෙන් සම්බුද්ධ පරම්පරා ගත සාතත්තකී මහානිදානය පවසමී කියැවෙයි. එහෙත් එවැන්නක් නොමැති අතර සම්පිණ්ඩිතනිදානකථා නිට්ඨිතා යන පරිසමාප්ති පාඨය ලියා ඇත.

ග්‍රන්ථ පරිසමාප්තියක් නොව සමාරම්භයක් අඟවන ප්‍රකාශයකින් පසු එකවරටම මෙසේ සටහන් කළේ මන්දැයි පැහැදිලි නැත. සම්පිණ්ඩිතමහානිදානයට පසු පසුව කොටස් එකතුවීමෙන් සංවර්ධනය වූ බවට එය එක් ඉඟියක් බඳුය. කෙසේ නමුත් අවසන්වරට ප්‍රකාශ කරන්ට උපදේශිත සාතත්තකී නිදානය සොත්තාකී නිදානය ද ශ්‍රීසද්ධර්මාවවාදසංග්‍රහයෙහි සඳහන් සොදොස්තකනිදානය දැයි අපි නොදනිමු. කෙසේ නමුත් සම්පිණ්ඩිතමහානිදාන පරිසමාප්තිය තවදුරටත් විචාරණීය වන්නේ අපගේ මහාවංසය මෙන් වරින්වර සංවර්ධනයට පත්කරන ලද්දක්දැයි අනුමාන කළහැකි නිසාය.

නිදාන ප්‍රභේදවලින් ඇරඹෙන සම්පිණ්ඩිතමහානිදානයෙහි පළමුවෙන්ම දූරෙනිදාන අවිදූරෙ නිදාන සන්තිකෙ නිදාන වශයෙන් පෞරාණාචාර්යවරු නිදානය ත්‍රිවිධ භේදයෙන් කැමති වෙති යි සඳහන්ය. නමුත් පෞරාණාචාර්යවරයන් ගැන කිසිවක් සඳහන් නොවෙයි. බුද්ධඝොස, ධම්මපාල යන අට්ඨකථාචාර්යවරයන් දක්වා ඇත්තේ ද නිදානය තෙවැදෑරුම් බව යි. පෞරාණකත්ථෙරා, පුබ්බාචරියා, පෞරාණාචරියා, අට්ඨකථාචරියා යනුවෙන් අටුවාවන්හි සඳහන් නාම පිළිබඳ පර්යේෂණයෙහි යෙදෙමින් ඊ.ඩබ්. අදිකාරම් මහතා “යෙ පෞරාණාචරියා තෙ යෙව අට්ඨකථාචරියා” යන ගන්ධවංස පාඨය ද සහාය කොට ගනිමින් අටුවාචාරීන් හා පෞරාණයන් අතර සමීප සබඳතාවක් පැවති බව සිතිය හැකිය යි කියයි. අටුවාවලට ඇතුළත් නොවී විවිධ නිකායයන්හි මුඛපරම්පරාගතව පැවත ආ විස්තර ව්‍යාඛ්‍යානවල ආචාර්යවරුන් බව මහාචාර්ය ජී. පී. මලලසේකර මහතාගේ මතය වේ. කෙසේ නමුත් පෞරාණාචාර්යවරුන් සහ අට්ඨකථාචාර්යවරුන් අතර ඇත්තේ සමාන බවක් නම් නිදානයෙහි ත්‍රිවිධ භේදය දෙපක්ෂයම පිළිගත් මතයකි. බුද්ධඝොස ධම්මපාල අට්ඨකථාචාර්යවරුන් අටුවා සම්පාදනය කරන ලද්දේ මහා විහාර මතයට අනුරූපව නම් මහාවිහාරයෙහි මෙන්ම අටුවාචාරීන්ගේත් පෞරාණාචාර්යයන්ගේත් ත්‍රිවිධ භේදය ථෙරවාදී මතය සේ පිළිගත හැකිය.

දෙවැනිව වෙනත් ආචාර්ය වරුන්ගේ පිළිගැනීමට අනුව අතිදූරෙනිදාන දූරෙනිදාන අවිදූරෙ නිදාන සන්තිකෙනිදාන වශයෙන් නිදානයෙහි චතුර්විධ භේදය ඉදිරිපත් කොට තිබේ. එහිලා පෞරාණාචාර්ය මතයෙහි ප්‍රතික්ෂේප කිරීමක් හෝ වෙනස් කිරීමක් නොමැත. පෞරාණාචාර්ය මතයෙහි මුලට අතිදූරෙනිදාන නමින් අතිරේක භේදයක් එකතු කිරීම පමණක් සිදුවී තිබේ. එමගින් බෝසත් චර්යාවේ කාලය දීපංකරබුදු කාලයෙන් තවත් ඈතට විහිදෙයි. එම මතයෙහි අපරෙ ආචරියා යනු හඳුනා ගැනීමට සාධකයක් නොමැත. තෙවනුව දක්වා ඇත්තේ නිදානයෙහි පංචවිධ භේදයයි. එය කාගේ මතයදැයි හඳුනා ගැනීමටද කිසිදු ඉඟියක් නොමැත. මෙහිදී ද ත්‍රිවිධ භේදය හෝ චතුර්විධ භේදය වෙනස්වීමකට හෝ ප්‍රතික්ෂේප කිරීමට ලක් නොවෙයි. චතුර්විධභේදයෙහි මුලට අතිදූරදූරෙ නිදාන නමින් අතිරේක භේදයක් එක්වෙයි. එනිසා බෝසත් සිරිත අතිදූරෙ නිදානයටත් වඩා ඈත අතීතයට විහිදෙයි.

ත්‍රිවිධ භේදයට අනුව බෝසත් සිරිත දීපංකර බුදුකාලයෙන් ඇරඹෙයි. එතැන් සිට බුදුවීම තෙක් කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකි. චතුර්විධ භේදයට අනුව බෝසත් සිරිත ඇරඹෙනුයේ පුරාණශක්‍යමුනි බුදු කාලයෙනි. එතැන් සිට දීපංකරබුද්ධකාලය දක්වා අසංඛ්‍ය කල්ප නවයකි. පංචවිධ භේදයට අනුව බෝසත් සිරිත බ්‍රහ්මදෙව බුද්ධ කාලයෙන් ඇරඹෙයි. එතැන් සිට පුරාණසක්‍යමුනි බුද්ධකාලය දක්වා අසංඛ්‍යකල්ප හතකි. සියල්ල එකතුව බෝසත් අවදිය කල්පලක්‍ෂයක් අධික කොට ඇති අසංඛ්‍යකල්ප විස්සකි. සම්පිණ්ඩිතනිදානකතුවරයා ඒ මතය පිළිගත් කෙනෙකු බව ඔහුගේ ග්‍රන්ථාරම්භ නමස්කාරගාථාවලින් හැඟේ.

අතිදූරදූරෙ නිදාන, අතිදූරෙ නිදානකතා ප්‍රථමයෙන් විස්තර කිරීම සඳහා සම්පිණ්ඩිතමහානිදානයෙහි බෝසත් සිරිත කීපයක් ඉදිරිපත් කොට ඇත. මාතුරුද්ධාරක නාවික, සත්තුතාපනරාජ්‍ය, සිද්ධාර්ථතෛලදායිකා රාජකුමාරී, බ්‍රහ්මගුප්ත යන කතා ඒවාය. එම කතා කිසිවක් පාලිජාතක සංග්‍රහයෙහි දක්නට නොලැබේ. බ්‍රහ්මගුප්ති පුවත සම්පූර්ණයෙන්ම මහායාන ජාතක සංග්‍රහයකැයි කියැවෙන ආර්යශූරපාදයන්ගේ ජාතකමාලා නම් සංස්කෘත ග්‍රන්ථයෙහි එන ව්‍යාඝ්‍රජාතකයයි. සෙසු කතා සියල්ල ශ්‍රීසද්ධර්මාවවාද සංග්‍රහයෙහි ඇතුළත්ව ඇත. ඒවා සොළසැකි නිදානයෙන් ගත් බව එහිම සඳහන්ය. සොළසැකි නිදානය දැනට නාමමාත්‍රාවශේෂය. කෙසේ වෙතත් බෝසතුන්ගේ මනඃප්‍රණිධිය හා වාක්ප්‍රණිධිය නිරූපණය අතිදූරදූරෙ නිදාන අතිදූරෙනිදාන දෙක්හි අභිප්‍රායයි.

මෙහි සියලු ආචාර්යමතවල ඇතුළත් දූරෙනිදාන අවිදූරෙනිදාන දෙක ජාතක නිදාන කථාවටත් බුද්ධවංස නිදානවණ්ණනාවටත් සමාන වෙයි. වර්ණනා ප්‍රදේශ අතින් ජාතකනිදානකතාව සංක්ෂිප්තය. බුද්ධවංස නිදානවණ්ණනාව විස්තරාත්මකය, සම්පිණ්ඩිතමහානිදානය ඒ දෙකටම වඩා විස්තරාත්මකය. ජාතක, බුද්ධවංස නිදානවිස්තර කෙතරම් සමීපද යන්න දෙපොතෙහි නිදානාරම්භ වාක්‍යවලින්ම පැහැදිලි වෙයි. “ඉමානි තීණි නිදානානි දස්සෙත්වා වණ්ණියමානා යෙ තං සුණන්ති, තෙහි සම්පදාගමතො පට්ඨාය විඤ්ඤාතත්තා යසමා සුට්ඨු විඤ්ඤාතා නාම හොන්ති. තෙනාති තීණි නිදානානි දස්සෙත්වා වණ්ණිතා සුවණ්ණිතා නාම හොන්ති. යෙ ච තං සුණන්ති තෙහි සම්පදාගමතො පට්ඨාය විඤ්ඤාතත්තා සුවිඤ්ඤාතාව හොන්ති” යථෝක්ත නිදාන දෙක පිළිබඳ සම්පිණ්ඩිතමහානිදාන විස්තර අටුවාග්‍රන්ථ සමග සැසඳෙන නමුත් එහි මාර්ගෝපදේශය වඩා සමීපවන්නේ අශ්වඝෝෂයන්ගේ බුද්ධචරිතය සමගින් බව පෙනේ. බුද්ධඥානයෙහි පරම ගම්භීරතා විස්තරය නිමවන්නේ “ඉමානි ඡ අසාධාරණඥාණානි ඡත්තිංසකොටි සතසහස්සානි මහා වජිරඤාණානි අරහත්තඵලප්පත්තා සමයේ උප්පජ්ජිංසු” යනුවෙනි.

සන්තිකෙනිදාන වර්ණනය සඳහා මහාවග්ග මහාඛන්ධකය, මහාපරිනිබ්බානසුත්ත ප්‍රමුඛ සූත්‍රධර්ම සහ තදනුබද්ධ අටුවා මූලාශ්‍රය වී තිබේ. ඒ අතර ඒ කිසිතැනකින් හමුනොවන විස්තර රාශියක් ද අන්තර්ගතය. බුදුරදුන්ගේ ප්‍රථම දේශනයවූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආකෘතිය දැනට අප අතර භාවිතවන සූත්‍රයේ ආකෘතියට වඩා වෙනස්ය. දේශනයේ නිමාවත් සමග භූමාටු දෙවියන් පටන් අකනිටා දෙවියන් තෙක් සාධුඝෝෂය පැතිරගිය බව වර්තමාන ප්‍රකට සූත්‍රයේ සඳහන්ය. බුදුරදුන් පංචවර්ගිකයන් අමතා ඔදගුප් භික්ඛවෙ සොතං, අමතමධිගතං, අහං අනුසාසාමි, අහං ධම්මං දෙසෙස්සාමි” යයි වදාළ බස් අසා අපිත් ඒ දුර්ලභ උතුම් ධර්මය අසන්නට යමුයි භූමාටු දෙවියන් පටන් අකනිටාවාසීන් තෙක් සාධුඝෝෂය පැතිර එහි රැස්වූ බව සම්පිණ්ඩිතමහානිදානයෙන් කියැවෙයි. “අටලොස් කෙළක්වූ දෙවියන් අතර මිනිසුන්ගෙන් සිටියේ පස්වග තවුසන් පමණකි යන කියමන සමග මෙය වඩා යෝග්‍ය බව හැඟේ.

තථාගතයන් වහන්සේ පාංශුකූල චීවරයක් ලබා ගැනීම පිළිබඳ අසිරිමත් පුවත ථෙරවාදීන්ගේ බුද්ධචරිත විස්තරවල නොදක්නා ලැබේ. උරුවෙලකස්සප ජටිලයන්ගේ ආරාම පරිශ්‍රයෙහි නවාතැන් ගෙන සිටි උන්වහන්සේට සිය දිරාපත් සිවුරු වෙනුවට පාංශුකූලයක් ලබා ගැනීම අවශ්‍ය විය. උන්වහන්සේ සොහොනට ගියහ. රාධ නම් බමුණකුගේ පුණ්ණා නම් දාසියගේ ඉදිරියෙන් වැටී මළ මිනිය ඔතා තිබූ වස්ත්‍රය සඟලක් කොට පරිභෝග කළහ. මෙම මානුෂීය ක්‍රියාවලිය විස්තර කොට ඇත්තේ අතිමානුෂීයත්වයෙනි. මේ පුවත මේ අයුරින්ම ලලිතවිස්තර නම් මහායාන බුද්ධචරිතයෙහි විවරණය වෙයි. දුෂ්කරක්‍රියා සමයෙහි දුබල වූ සිවුරු වෙනුවට මෙය සකස්කොට ගෙන බොම්බොඩ වැඩි බව පමණක් එහි ඇති වෙනසයි.

සමන්තපාසාදිකා විනය අටුවාවෙහි මෙන්ම අපේ වංසකථාවල සඳහන් බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ කස්සප ආරාමයේ සිටි දිනවල බව ද මෙහි සඳහන්ය. මහායාගයකට මහසෙනඟ රැස්වන එදින ගෞතමයන් අද මෙහි නොසිටිය හොත් මැනවැයි කාශ්‍යප සිතූ සිත දැත් උන්වහන්සේ එදින ලංකාගමනය සිදුකළ බව එහි පවසා ඇත. අග්‍රශ්‍රාවක දෙනමගේ සම්ප්‍රාප්තිය මෙන්ම අපවත් වීමද විස්තර කිරීමට මේ නිදාන කතාවෙන් අවස්ථාව ලබා ගෙන තිබේ. රහතුන්ම සත්නමක් සිටි පවුලකට අයත් සැරියුත් තෙරණුවෝ ජාතගාමයෙහි ජාතොවරකයෙහි අපවත් වූහ.

උන්වහන්සේගේ ශරීරධාතු රැගෙන ආවේලෙහි බුදුරජාණන් වහන්සේ දෝතින් පිළිගෙන ගුණ වනා දෙව්රම් දොරටුවෙහි සෑයක් තනවා තැන්පත් කරවූහ. කාලසිලා පර්වතයෙහි අපවත්වූ මුගලන් තෙරුන්ගේ ධාතු ද පිළිගෙන සෑයක් කරවා තැන්පත් කරවූහ.

මින් පසු පරිනිබ්බානකථා විස්තරයට මහා පරිනිබ්බානසුත්‍රය ප්‍රධාන මූලාශ්‍රය වී තිබේ. බරණැස ප්‍රථම වස්විසීමෙහි පටන් බෙළුවගම අවසන් වස්විසීමතෙක් වස්විසූ ස්ථාන දැක්වෙන විස්තරයෙහි පිළිවෙළින් ස්ථාන තිහක් සඳහන්ය. අවසන් ස්ථානය ද සඳහන්ය. සෙස්ස ගිලිහී ඇත. පිටපත් කිරීම්වලදී සිදුවූවක්දැයි නොකිව හැකිය. බුද්ධදේහය ආදාහනය සඳහා ගෙනයන අතරමග බන්දුලමල්ලිකාවන් සිය ගෙදොරකඩ පෙරහැර නවතා සිය සැමියාගේ මරණින් පසු නොපැළඳි මහාලතාපසාධනය සුවඳදියෙන් සෝදා ඔපදමා බුද්ධදේහයට පැළඳ වූ බවක් ද සඳහන් ය.

බුදුන් පිරිනිවී බස ඇසූ අජාසත් රජ සිහි සුන්ව ඇද වැටුණේය. එසේ වෙත්දැයි කල්තබා සිතූ ඇමතියෝ වෙදවරුන් විමසා ඔවුන්ගේ උපදෙස් මත බෙහෙත් ඔරු සාදවා තබා රජු එහි හොවා සුවපත් කරවූහ. පසුව ධාතු පතා කුසිනාරාවට ගිය රජතුමා ද්‍රෝණබමුණාගේ ධාතු බෙදීමෙන් ලත් කොටස රජගහනුවරට ගෙනගියේ උත්කර්ෂවත් අයුරිනි. පසුපසුව ධාතු ලබා ගැනීමට පැමිණියවුන්ට මහාකස්සප ආනන්ද තෙරවරුන් පාරිභෝගික වස්තුන් බෙදා දීම පිළිබඳ කමනීය විස්තරයක් ද එයි. නිදානකථා උපදේශයන්හි සඳහන් පරිදි නම් සන්තිකෙනිදානය බුද්ධපරිනිර්වාණයෙන් අවසන් විය යුතුය. එහෙත් ධාතුවිභාජනය ද ඊට ඇතුළත්ව තිබේ. මහාපරිනිබ්බානසූත්‍රයෙහි ද එය ඇතුළත් ය.

සම්පිණ්ඩිතමහානිදානයේ අරමුණ නිදාන කතා දැක්වීම බව ආරම්භයෙහිදී ප්‍රකාශ විය. එහෙත් එවැනි සමාප්තියක් නොපෙනෙන අතර සංගීතිකථා නමින් නවපරිච්ඡේදයක් අරඹා ප්‍රථම ධර්මසංගීතිය