ලුම්බිණි වංශය - ගාමිණී කාරියවසම්.pdf

කතෘ :
ගාමිණී කාරියවසම්
ප්‍රකාශිත වර්ෂය :
2017
මුද්‍රිත වර්ෂය :
2017
පිටු ගණන :
254
බාගත කිරීම් ගණන :
1,319
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-07-08
ගොනුවේ ප්‍රමාණය :
27 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 128

ලුම්බිණි වංශය යනු ආචාර්ය ගාමිණී කාරියවසම් විසින් රචිත, සිදුහත් බෝසතාණන් වහන්සේගේ උත්පත්ති ස්ථානය වන ලුම්බිණිය කේන්ද්‍ර කරගනිමින් බුද්ධ චරිතය හා ලුම්බිණියේ ඓතිහාසික පසුබිම විස්තර කෙරෙන පර්යේෂණාත්මක ග්‍රන්ථයකි. 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් මහෝත්සවය නිමිති කරගෙන මෙම කෘතිය සම්පාදනය කර ඇත.

මෙහි සිදුහත් උපත, කුමාර අවධිය, අභිනිෂ්ක්‍රමණය සහ සම්බුද්ධත්වයෙන් පසු සිදුවීම් ත්‍රිපිටක හා අටුවා මූලාශ්‍ර ආශ්‍රයෙන් විස්තර කෙරෙන අතර, පරිනිර්වාණයෙන් පසු ලුම්බිණියේ ඓතිහාසික පරිණාමය, පුරාවිද්‍යාත්මක කැණීම් සහ සංවර්ධන කටයුතු පිළිබඳවද කරුණු ඇතුළත් වේ. එසේම ලුම්බිණි ශ්‍රී ලංකාරාමය ඉදිවීම ඇතුළු ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳවද මෙහි විස්තර වේ.

මෙම කෘතිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය (NIBU) මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, තායිවානයේ The Corporate Body of the Buddha Educational Foundation ආයතනය මගින් නොමිලේ බෙදාහැරීම සඳහා මුද්‍රණය කරවා ඇත.

පිළිගැන්වීම

2017 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් මහෝත්සවය නිමිති කර ගෙන නාගානන්ද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කෙරෙන......

ලුම්බිණි වංශය යන හිසින්

මා විසින්

ලියන ලද

මේ ගත්

රුවන මෛත්‍රීපාල සිරිසේන ගරු ජනපතිඳුන් සුරත් ගන්වමි මහත්ම සොම්නසින්.......

ආචාර්ය ගාමිණී කාරියවසම්

ආචාර්ය ගාමිණී කාරියවසම්

‘නිරාමිස සුව’

දෙව් බඹ සුරන් කැළැ සමග සරණා නරන් පෙළ කයෙන් කය අත් හරිමින බවයෙන් බවය මිදෙමින දෙව් දනන් මිහි දනන් අප එක්වැ වෙසෙන නන් තුසිත බෝසත් දෙවි වැ පෙර පිරුම් සහිත වැ මතු බුදු පදවි ලබනා මෙත් බුදුන් යන නමිනා ඔබ පා සිරස් ගෙනැ සිව් සස් දහම් දැනැ අවසනැ බවය උදුරා නිරාමිස සුවය නිති දැරා සිටිමින් පතන දන අමතමින් මේ ලෙසිනැ තබමි ඔබ අත මෙ ගත රන් ඉපිළ යන සොම්නසින්.....

කතෘ

කතෘ

පෙරවදන

ලුම්බිණිය යන්න සුරම්‍ය වූ වදනකි. එමගින් අසිරිමත් සොඳුරු අපූර්ව දසුනක් අප මනසේ සිත්තම් වේ. එම වදන පූජනීය පදයක් ලෙසින් ගෙන දෝත නගා, දෙදන නමා, හදවතින් අප ලුම්බිණි සාලවනය නැමැදීමට පුරුදුව සිටිමු. ලුම්බිණිය පිළිබඳ අතීත තොරතුරු වර්තමානය තුළදී සජීවමත් කිරීමට අපි උත්සාහ ගනිමින් සිටිමු. මන්ද? ලුම්බිණි සාල වනයේ දිවමන් ව විසීමට අපේ ඇති ආසක්තතාව නිසා යැයි මට සිතේ . එහෙයින් ලුම්බිණි ගවේශනය සමස්ත බෞද්ධ ලෝකයේ ම සිත් සැදැහැ මලින් සනහන මහත් මැ පෙළහැරක් වනු නියති.

ඉතිහාසයෙන් වැසී ගිය ඉතිහාසය, ඉතිහාසය විසින් ම යළි මතු කරමින් සිටීම කෙතරම් අසිරිමත් භාග්‍යයක්ද? ඒ අතීතය ජීවත් කරවීමට මතු නොවැ වර්තමානයේ දිවි සැකැස්මට මෙන්ම අනාගතයේ ලොව් ලොව්තුරු සුබ සාධනය සඳහා ද එය හේතු වෙයි.

දැනට වසර දෙදහස් හයසියයකට පෙර අසිරිමත් ලුම්බිණිය ආශ්‍රය වැ සියලුම ඓතිහාසික තොරතුරු මූලාශ්‍ර ග්‍රන්ථ හා දේශාටන වාර්තා ඇසුරින් වඩාත් නිවැරදිව ඉදිරිපත් කිරීමට කළ හැකි සෑම උත්සාහයක් ම ගතිමි. ඒ අතීතයේ ලුම්බිණියෙහි සිදුවූ බුදු සිරිත ආශ්‍රිත අභිමානවත් සංසිද්ධීන් තත් ආකාරිය වැ පාඨක ඔබ හමුවේ තැබීමේ පරමාධ්‍යාශයෙනි. නිරවද්‍යතාවය වූ කලී යථාර්ථය සමග සබැඳේ. යථාර්ථයට සමීප වැ තොරතුරු ගවේෂණයේදී ලුම්බිණියේ මනබන්ධනීය අතීත සංසිද්ධීන් අප මනසේ මතුවන්නේ ශ්‍රද්ධා භක්තිය ද දල්වමිනි.

යථාර්ථය දුටු කල, එහි ආලෝකය හෙවත් නිරාමිස වින්දනයකින් ඔබට සජීව වැ ලුම්බිණිය පැදකුණු කරන්නට අවකාශය සැලසෙනු නිසැක. මෙහිදී විශේෂයෙන් ම මූලාශ්‍ර කෘති ග්‍රන්ථ පරිශීලනයේදී ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වූ බව මෙහි ලා සඳහන් කිරීමට රිසියෙමි. මන්ද බුදුසිරිත මතු කර ගැනීමේ දී එම ග්‍රන්ථ රත්නයන් ලබාදෙන තොරතුරු වල විශ්වාසනීය භාවය හා නිවැරදිතාවය උපරිම තලයක පවත්නා හෙයිනි. එවන් උපකල්පනයක එල්බ ගැනීමට රුකුල් දුන් හේතු සාධක කීපයකි. ත්‍රිපිටකයට බුදු සිරිත හා බුදුදහම පිළිබඳ තොරතුරු එක්රැස් වන්නේ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් දින 90 ක් ගත වූ ඉතා කෙටි කාලයක් තුළ වීමයි. ඒ ප්‍රථම ධර්ම සංගායනාවේ දී බව ඔබ ද දනී. එම සදහම් සංගායනාවට සහභාගි වූ මහරහතුන් වහන්සේලා 500 නම අතුරින් බහුතරයක් බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ ජීවත් වූ ආර්යාත්මක පිරිසක් බව මෙහිදී අප සිහි කර ගැනීම වැදගත්. නුදෙක් ම සිදුහත් කුමරු උපන ලද දින ම මෙලොවට බිහි වූ ආනන්ද මහ තෙරුන් වැලිකෙළියේ පටන් ම හැදී වැඩුණේ සිදුහත් කුමරුන් ඇසුරේ වීම තවදුරටත් වටී. අනඳ මහ තෙරණුවෝ නන්වන් කුසුම් සුවඳ විහිද ගෙනැ බුදු මුවින් දේශිත සියළු සූත්‍ර ධර්ම දේශනා, නිති තම සවන්පත් කර, සිය සුපහන් පිවිතුරු සිත් හි ධාරණය කර ගැනීමේ අසම සම ස්මරණ ශක්තියකින් හෙබියෝ වූහ. ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගී වූ මහා කාශ්‍යප, උපාලි, භද්දිය, භගු, අනුරුද්ධ, කිම්බිල, වන් බුදුන් වහන්සේ ජීවමාන කළ වැඩ විසූ වයෝ වෘද්ධ, තපෝ වෘද්ධ හා ඥාන වෘද්ධ යනු විසින් තෙයාකාර වෘද්ධ වූ මහා තෙරණුවන් ද බුදු සිරිත ආශ්‍රෙය වැ තම දිවමන් නන් අයුරින් නිමැසි (නිරාමිස) සුව සදන අත්දැකීම් ත්‍රිපිටකයෙහි පෙළ ගස්වන්නට මූලික වූහ. එය ද එහි තොරතුරු වල විශ්වාසනීයත්වය තහවුරු කරන්නක් ම විය.

මහ බෝසතාණන් වහන්සේ සාර සංඛ්‍ය කප් කෙළක් සසර සරමින් භවය උදුරා දමනු රිසින් බුදුකුරු දහම් වූ දස පෙරුම් දම් සපිරීමේ පටන් අවසන් අත් බව සිදුහත් උපතේ සිට මහා අභිනිෂ්ක්‍රමණය දක්වා ද බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත්පුරට වැඩි අවස්ථාව දක්වා බෝධිසත්ව හා බුද්ධ චරිතය ද “ලුම්බිණි වංශය” කෘතියේ ප්‍රථම භාගය තුළින් මැනවින් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රයත්නයක යෙදුනෙමි. ආකෘතිය වූ කලී අන්තර්ගතය කලාත්මක බව හැඩගස්වනු ලබන රාමුවකි. ඒ හෙයින් පූර්වෝක්ත කථනයෙන් අනතුරුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වර්තමානය දක්වා ලුම්බිණිය ප්‍රතිනිර්මැවුම් වීම, පුරාවිද්‍යාත්මක ගවේෂණ, සංවර්ධනාත්මක යත්න, ප්‍රයත්නයන් ග්‍රන්ථයේ මධ්‍යම භාගයේ සැකෙවින් ගෙන හැර දැක්වේ. සාක්ෂිප්තවීම යනු කරුණු තුළ කෙටි වීම බව සිහිපත් කරගැනීම යෙහෙකි. භාරතය බුද්ධභූමි වන අතර ශ්‍රී ලංකාව ධර්මභූමි ලෙසින් සැලකිය හැකි බව නිසැක ය. එහෙයින් කෘතිය අවසාන භාගයෙහි පරිච්ඡේද කිහිපය වෙන් වන්නේ ශ්‍රී ලංකාවේ දායකත්වයෙන් ලුම්බිණියේ ශ්‍රී ලංකාරාමය හා ලුම්බිණි ශ්‍රී ලංකා වන්දනා නිකේතනය ඉදිකිරීමත්, එම මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් භික්ෂු පුහුණු ආර්ය අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කර එමගින් ජාත්‍යන්තර ආර්ය ධර්මදූත සේවාවක් ආරම්භ කිරීමත් පිළිබඳව පුරෝකථනයක් කිරීම වෙනුවෙනි. හැඩති, පැහැති, රුවැති, වර්ණැති, නෙක මල් ගෙන රමණීය මල් දමක් ගොතන මාලාකරුවෙකු මල් මාලාවෙහි ආකර්ෂණය මතුකරලීම පිණිසත්, මලෙහි නියත සුවඳ වහනය වීම උදෙසාත්, වනයෙන් නෙලූ නන්වන් සුගන්ධනීය පුෂ්පයන් යොදාගන්නා විලසින් මෙම කෘතිය නිර්මාණය කිරීමේ වෑයමක යෙදුණු සෙයක් මට හැඟේ. හැඟීම් වූ කලී, චිත්ත සම්ප්‍රදායක චෛතසික සම්පිණ්ඩනයකි. එවන් සද්කාර්යකදී සුපහන් සිත්හි නැගෙන සුපිරිසුදු හැඟුම නිමැසි (නිරාමිස) සුව විඳුමකට මා කැඳවන සෙයකි. එහෙත් එය මට තනිව වැළඳ ගත හැක්කක් නොවේ. තවත් හිමිකරුවන් එහි වෙති. ඒ අය ද මම මෙම “ලුම්බිණි වංශ දමෙහි” දවටා ගතිමි.

මවිසින් එසේ සඳහන් කළේ මන්ද යත්, සිදුහත් චරිතය හා භාග්‍යවතුන් වහන්සේගේ අතිපූජනීය ජීවන වෘතාන්තය පෙළගැස්වීමේදී ත්‍රිපිටකාචාර්යවරුන් මෙන්ම භාරතීය හා දේශීය සම්භාව්‍ය ගත්කරුවන් බුද්ධ චරිතය උද්දීපනය කිරීමට යොදාගත් භාවපූර්ණ, ධ්වනිපූර්ණ, සජීව, රූපන ශක්තියෙන් පිරිපුන් හෙළ පෙළ සකු මගධයෙන් පෝෂිත නිර්මාණයන්ගේ උදානෙයන් ඒ අයුරින් ම ගෙනහැර දැක්වීමේ උත්සාහයක මා නිමග්න වීමයි.

බුදුන් වහන්සේගේ නිර්වාණගාමී වූ ඒ ශ්‍රේෂ්ඨ චින්තනය හා පරමෝත්තම වූ චරණය විනිවිද දකින සුළු වූ එම උපුටනයන් තුළින් බුද්ධ චරිතයේ තත්‍ය ස්වභාවය සිය මනසේ චිත්‍රණය කරගැනීමෙහිලා සහෘද පාඨකයින්ට ලැබෙන පිටිවහල සුළු පටු නොවේ.

පෙර සඳහන් කරන ලද එම උද්ධෘතයන් වත්මන් බස්වහරට ගැලපෙන අයුරින්ම සකස් කිරීමට අවකාශයක් නොතිබුණා නොවේ. එහෙත් පැරණි සම්භාව්‍ය ගත්කරුවන් යොදාගත් භාවපූර්ණ සවන්පත් පිරී යන රිද්මයානුකූල හද සනහන සජීව කාව්‍යයෝක්ති ගහණ භාෂාලංකාර තුළින් මතුවන ලිවිසැරියේ පෙළහර නැතහොත් වදන් සිත්තම ඒ ආකාරියව ම මතුකරලන්නට නූතන බස්වහර ප්‍රමාණවත් නොවන බව මගේ හැඟීමයි. එහෙයින් මම ඒ ආර්ය විද්වත් පිරිස වෙත මගේ හෘදයාංගම භක්ති ප්‍රණාමය පුද කරමි.

ලුම්බිණි වංශයේ පෙරවදන නිම කරන්නට පෙර මෙම සත් කාර්යයේදී මා පෙළඹ වූ නන් අයුරියව අවශ්‍ය අනුග්‍රහය ලබාදුන් ගුණෝත්තම පිරිසට කෘතවේදීත්වය පළකිරීමට ද මෙය අවස්ථාවක් කරගනිමි.

සිදුහත් උපත සිදුවූ ලුම්බිණිය රැක ගන්නට, සංරක්ෂණය කරන්නට පුරෝගාමී වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, උඩුනුවර ශ්‍රී සාරානන්ද නාහිමි වන් සදා වන්දනීය උතුමන්ගෙන් ලද අනුග්‍රහය, අනුබලය සුළුපටු නොවේ. ලුම්බිණිය පින් බිම ආශ්‍රිතව ශ්‍රී ලංකාරාමය හා දුටුගැමුණු විශ්‍රාම ශාලාව ගොඩනගාලන්නට විවිධ යුගවල පහළ වූ ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයින්ගෙන් ලද අනුග්‍රහය ද මෙහිදී සිහිපත් කරන්නේ ඉමහත් කෘතවේදීත්වයෙනි. හිටපු ජනාධිපතිවරුන් වූ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වැනි රාජ්‍ය නායකයින් අපට මෙහිදී නිරැතින් ම සිහිපත් වේ.

2017 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් මහෝත්සවය නිමිති කර ගෙන “ලුම්බිණි වංශය” නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය මගින් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කිරීමට පුරෝගාමී වූ එම සරසවියේ උප කුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණන් මහත් ම කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි. මානෙල් වත්ත විහාරස්ථානයේ වැඩ වසන ආචාර්ය පූජ්‍ය පල්ලෙවෙල සාරද නේපාලයේ කුසල, ඇකිරියගල ඉන්ද්‍රරතන, අම්බලන්ගොඩ නන්දික යන ස්වාමීන් වහන්සේලා ගෙන් මෙම සත් කාර්යයේදී ලද අනුග්‍රහය ද බෙහෙවින් අගයමි.

මෙම ග්‍රන්ථය සම්පාදනයේදී අවශ්‍ය උපදෙස් ලබාදීමෙන්, අතිරේක තොරතුරු සම්පාදනයෙන් සුවිශේෂිත අනුග්‍රහයක් දැක්වූ ගලලැහැපිටියේ ප්‍රේමරතන හිමි, මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා සහ හිටපු ලේකම් එම්.බී.කේ. දිසානායක මහතා, අධ්‍යාපන මාධ්‍ය උපදේශක කරුණාරත්න කුමාරපේලි සූරින්, ත්‍රිපිටක කමිටුවේ ලේකම්, කේ.කේ. සුගතපාල මහතා හා බෞද්ධ විශ්වකෝෂයේ හිටපු සහකාර කර්තෘ ඩී. සද්ධාසේන මහතා සහ හේමචන්ද්‍ර රණතුංග මහතා වෙත මගේ ගෞරවනීය ස්තූතිය පිරිනැමීමට මම නොපැකිල වෙමි. මෙම සත්කාරයට මා මෙහෙය වූයේ ආචාර්ය අනුරාධ වික්‍රමසිංහයන්ය.

ඉතාමත් දුර්ලභ මූලාශ්‍ර පුස්තක ගණනාවක්ම සපයාදීමෙන් දැක්වූ මහත් අනුග්‍රහශීලීත්වය පිළිබඳව කුඩගම්මන හෙට්ටිආරච්චිගේ පියසෝමා සීලවතී මැතිණිය හා සුදර්ශිකා සිරිවර්ධන මහත්මියද කෘතවේදීව සොම්නසින් සිහිපත් කරමි.

ඡායාරූප සපයා දීමෙන් අනුග්‍රහය දැක්වූ ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රමෝදය වික්‍රමසිංහ, නන් අයුරින් සිය අනුග්‍රහය ලබාදුන් බුද්ධශාසන අමාත්‍යාංශයේ සේවයේ නියුක්තව සිටි ගංගා රාජිනී දිසානායක, රන්දිමා දිල්හාරි, මධුෂානි සමුද්‍රිකා මහත්මියන්ටත්, මා ප්‍රිය බිරිඳ භද්‍රාවන්ට හා දුවණි තර්ෂනාවන්ටත් මගේ හෘදයාංගම කෘතවේදීත්වය හිමිවේ.

ආකර්ශණීය නිමාවකින් තායිවානයේදී මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීමට පුරෝගාමී වූ ආචාර්ය පූජ්‍ය හේනේගම ධම්මරත්න හිමිපාණන් මෙහිදී අසීමිත ගෞරවයෙන් සිහිපත් කරමි.

සිදුහත් උපතේ සිට, ලුම්බිණිය සංවර්ධනය කිරීමේ වත්මන් දක්වා තොරතුරු මතු පරපුරේ පරිශීලනය පිණිස පෙළගස්වා මෙම ග්‍රන්ථයට ඇවැසි තොරතුරු සපයා ගැනීම පිණිස ලුම්බිණි සංචාරයට අප හා එක්වූ ප්‍රවීන ගීත රචක සුනිල් සරත් පෙරේරා ශූරීන් කපිලවස්තු වන පියසේදී එහි අසිරිය මූර්තිමත් කරමින් නිර්මාණය කළ ගී පද පෙළකින් මෙම පෙරවදන සමාප්ත කිරීමට අදහස් කළෙමි.

නිදිගත් විට මුළු නුවරු සිරි සිද්දත් රජ කුමරු අභිනික්මන් කළ අයුරු පෙන්වයි නටඹුන් පවුරු

පසෙක පෙනේ හිමව් කුළු විසල් සාල වන මඬුලු ගලන නදී දිය කඳුරු කපිල වස්තු සිරි මෙයුරු

පුෂ්කරණී පියුම් දුටිමි මගද කෙතේ නිල්ල දුටිමි මනකල් දියතලා දුටිමි සාදු සාදු බුදුන් දුටිමි

ආචාර්ය ගාමිණී කාරියවසම්

2017 මැයි 12 විද්‍යුත් තැපෑල : gaminee@gmail.com

ආචාර්ය ගාමිණී කාරියවසම්
2017 මැයි 12