පොහොය වර්ණනාව - මාපලගම සෝමිස්සර හිමි.pdf

scanned

කතෘ :
මාපලගම සෝමිස්සර හිමි
ප්‍රකාශිත වර්ෂය :
1998
මුද්‍රිත වර්ෂය :
1998
පිටු ගණන :
179
බාගත කිරීම් ගණන :
1,518
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-04-10
ගොනුවේ ප්‍රමාණය :
31 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 90

පණ්ඩිත මාපලගම සිරි සෝමිස්සර හිමියන් විසින් සම්පාදිත ‘පොහොය වර්ණනාව’ නමැති මෙම ග්‍රන්ථය වසරේ එළඹෙන පසළොස්වක් පොහෝ දින දොළොසෙහි ආගමික හා ඓතිහාසික පසුබිම සහ වැදගත්කම විස්තර කෙරෙන ධර්ම ශාස්ත්‍රීය කෘතියකි. ප්‍රථම වරට 1968 දී ප්‍රකාශයට පත් වූ මෙහි තෙවන මුද්‍රණය 1998 දී සමයවර්ධන පොත්හල මඟින් මුද්‍රණය කර ඇත.

මෙහි අතිගරු මඩීහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත දීර්ඝ ශාස්ත්‍රීය ප්‍රස්තාවනාවකින් ශාසනික උපෝසථය, තිථි පොහොය සහ ශාසනික පොහොය අතර වෙනස, පොහොය නිවාඩුවේ ඓතිහාසික තොරතුරු විස්තර කර ඇත. අනතුරුව එක් එක් පොහොය දිනට අදාළ ශාසනික සිදුවීම් සහ විශේෂ සූත්‍ර ධර්ම කිහිපයක් අන්තර්ගත කර තිබේ.

  • දුරුතු පොහොය සිට උඳුවප් පොහොය දක්වා වූ දොළොස් මහේ පෝය විස්තර
  • වජිරා සූත්‍රය
  • සෝමා සූත්‍රය
  • ධීතු සූත්‍රය

දෙවන මුද්‍රණය

පොහොය වර්ණනාව ග්‍රන්ථයේ පිටපත් සියල්ල අවසන් වී කලක් ගත විය. ගිහි පැවිදි දෙපක්ෂය ම විටින් විට පොත ගැන අපගෙන් විමසති. විශේෂයෙන් පාසල් වල ගුරු සිසු පිරිස ද පොත ගැන සොයන නිසා වෙනදටත් වඩා පොතේ අවශ්‍යතාව මේ දිනවල වැඩි වැඩියෙන් පවතී. අපගේ අනෙක් කෘති වලට වඩා පොහොය වර්ණනාව පොත පිළිබඳව ගිහි පැවිදි බොහෝ දෙනා ගේ සිත් ගෙන ඇති බව අප සමග කථා බස් වලින් පැහැදිලි වෙයි. එය අපට ධෛර්‍ය්‍යයෙකි. පෝය දිනයන් පිළිබඳව පසු ව අපට හමු වූ කරුණු කිහිපයක් ඒ ඒ පෝය දින විස්තරවලට අළුතෙන් ඇතුළත් කෙළෙමි. මතුවට ද තව තවත් ආගමික හා ඓතිහාසික සිදුවීම් අපට හමු වුවොත් නැවත මුද්‍රණයක දී ඒවා ද ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙමි.

මුද්‍රණ වියදම් අධික කාලයේ මෙම ග්‍රන්ථය නැවතත් මුද්‍රණයෙන් එළි දක්වන්නට ඉදිරිපත් වූ මරදාන මාළිගාකන්දේ සමයවර්ධන මුද්‍රණාලයේ හා පොත්හලෙහි අධිපති ආරියදාස වීරමන් මහතා ප්‍රධාන සේවක පිරිසට අපගේ කෘතඥතාව මෙයින් පිරි නැමෙයි.

ධර්මෝදයකාමී මාපලගම සිරි සෝමිස්සර, ශ්‍රී ධාතුමළු විහාරය, කොහුවල. 1988-10-20

කර්තෘගෙන් වචනයක්

’පොහොය වර්ණනාව’ (පළමුවන මුද්‍රණය) නැමැති මේ කුඩා ග්‍රන්ථයෙන් පසළොස්වක් පොහොය දොළොස පිළිබඳ ව ඇති ආගමික හා ඓතිහාසික වටිනාකම ගැන කරුණු විස්තර වෙයි. පොහොය පිළිබඳ ව විශේෂ බෞද්ධ ප්‍රබෝධයක් දක්නට තිබෙන මේ කාලයේ මෙබඳු ග්‍රන්ථයක් පළ කිරීම සුදුසුය යි අපට කල්පනා විය. ඒ අනුව මේ කුඩා ග්‍රන්ථය සැකසුණේ ය. මෙහි ඒ ඒ පෝය දිනයන්හි සිදු වී ඇති ආගමික හා ඓතිහාසික කරුණු ඇතුළත් වෙයි. තව තවත් කරුණු සොයා ගත් විට දෙවන මුද්‍රණයක දී ඒවා ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙයට ප්‍රස්තාවනාවක් ලියා දෙන ලෙස අප විසින් ආරාධනා කරන ලද්දේ අතිගරු මඩීහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේට ය. මේ කාර්‍ය්‍යය සඳහා අප විසින් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ම තෝරා ගන්නා ලද්දේ යම්කිසි හේතුවක් අනුව ය. ජාතික රජය මගින් ඇති කරන ලද සතර පෝය නිවාඩුව පිළිබඳව විශේෂ උද්යෝගයකින් මූලිකව ක්‍රියා කරන ලද්දේ අතිගරු මහානායක හිමිපාණන් වහන්සේ වන හෙයිනි. නොයෙක් කටයුතු මධ්‍යයේ අප ගේ ආරාධනය කරුණාවෙන් පිළිගෙන සාරවත් ප්‍රස්තාවනාවක් ලියා දුන් අතිගරු මඩීහේ පඤ්ඤාසීහ මා හිමිපාණන් වහන්සේට අප ගේ භක්ති පූර්වක අකලංක ගෞරව නමස්කාරය හිමි විය යුතු ය.

මේ ග්‍රන්ථය පළ කිරීමට පිළිගෙන ක්‍රියා කළ සීමාසහිත ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ ග්‍රන්ථ ප්‍රකාශකයන්ට ද අප ගේ කෘතඥතාව හිමි වෙයි.

ධර්මෝදයකාමී මාපලගම සිරි සෝමිස්සර, ශ්‍රී ධර්මෝදය පිරිවෙන, වැල්ලවත්ත. 1967-08-25

ප්‍රස්තාවනා

(අතිගරු මඩීහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේ විසිනි.)

‘පොහොය’ යනු පාළි උපොසථ යන්නෙන් බිඳුණු ශබ්දයකි. උපොසථ ශබ්දය පාළියෙහි අර්ථ පසෙක්හි වැටේ.

1. තදහූපොසථෙ පණ්ණරසෙ යන ආදී තන්හි සාමාන්‍ය දවසට වඩා විශේෂ සීලාදී ගුණයන් ගෙන් පේවී වාසය කරන දිනයෙහි ද,

2. ආයාමාවුසො කප්පින උපොසථං ගමිස්සාමි යන ආදී තන්හි තුදුස්වක් පසළොස්වක් දිනයන් හි මහණ මෙහෙණින් ගේ පාමොක් උදෙසීමෙහි ද,

3. එවං අට්ඨංග සමන්නාගතො ඛො විසාඛෙ උපොසථො උපවුත්ථො යන ආදී තන්හි පෝයදා රැක්ක යුතු අෂ්ටාංග ශීලයෙහි ද,

4. සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා යනාදී තන්හි උපවාසයෙහි හෙවත් මුළුමනින් ම නිරාහාර වැ හෝ කිරි මී පැණි මිදියුෂ ආදිය පමණක් හෝ ගෙනැ කල් යවන ව්‍රතයෙහි ද,

5. උපොසථො නාම නාගරාජා යන ආදී තන්හි ඇත් කුලයකට තැබූ නාමයෙක්හි දැයි යන අර්ථ පසෙක්හි උපොසථ ශබ්දය යෙදෙයි. මෙයින් පළමු අර්ථත්‍රයය අනුවැ බෞද්ධයන් විසින් පාළි උපොසථ ශබ්දයෙහි හා සිංහල පොහො සදෙහි තේරුම් උගත යුතු ය. හතර වැනි අර්ථය බාහිරක තාපසවරුන්ගේ ව්‍රතයෙක්හි ද පස් වැනි අර්ථය නාම මාත්‍රයෙහි ද වැටෙන බව සැලකිය යුතු ය.

මේ පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වන්නටත් පෙරැ සම්මත වූවෙකි. ඉතා පෙරැ ආදි කාලයෙහි විසූ ධාර්මික මනුෂ්‍යයෝ සැමදා මැ මෙලොව කටයුතුවලැ පමණක් නො යෙදී සතියකට වරක් පරලොවැ සුභසිද්ධිය සඳහා ආගමික වතාවත්හි යෙදුණාහ. මෙකලැ මෙන් දින දර්ශන හා ලිත් සුලභ නැති එකලැ අහසෙහි හඳ දෙස බලා සතියෙහි ආගමික දිනය හෙවත් පොහොය දැනගත් බව කිව යුතු ය. බුදුරජාණන් වහන්සේ ගේ කාලය වන විට බාහිරක තාපසවරුන් ද පොහොය ආගමික දින හැටියට යොදා ගෙනැ තිබිණි.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයටත් පෙරැ පටන් පැවත එන උපොසථය පොහොය බුද්ධාගමට ඇතුළු වූ සැටිත් පොහොය දා පන්සල් යෑම බණ ඇසීම සිල් සමාදන් වීම ආදිය ආරම්භ වූ සැටිත් සැලකිල්ලට භාජන කරන්නේ පොහොය පිළිබඳව වැ විශේෂයෙන් ශාසනික පොහොය පිළිබඳ වැ ඥානවන්තයන්ගේ නුවණ මෙහෙයවනු සඳහා ය.

බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදේශනාව පැවැත් වූ තැන් පටන් භික්ෂූන් වහන්සේ ධර්මදේශනා කිරීමටත් උපාසක උපාසිකාවන් ධර්ම ශ්‍රවණය කිරීමත් භික්ෂූන් හමුවන්නට පන්සල් යෑමත් ආරම්භ විය. එහෙත් දින සම්මතයක් නො විය. එසේ වී නමුත් අන්‍ය තීර්ථක ආරාමයන්හි පොහෝ දිනයන් හි ධර්ම දේශනාදිය පැවැත්විණ. එයින් ඔවුන් ගේ ගිහි පැවිදි සම්බන්ධය තර විය.

බිම්බිසාර රජතුමා ශ්‍රද්ධාවන්ත උපාසක කෙනෙකි. සසුන් දියුණුව කැමැත්තෙකි. අන්‍ය තීර්ථකයන් අතරැ ගිහි පැවිදි සම්බන්ධය තරවන කරුණු අවබෝධ කර ගත් රජතුමාණෝ බෞද්ධයන් අතරැ ද මේ කටයුතු ඇතිවීම මැනැවැ යි බුදුරජාණන් වහන්සේ හමුවන්නට ගොස් කරුණු සැල කළහ. කාගේ වුවත් හොඳ යෝජනාවන්ට ගරු කරන බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවෙ චාතුද්දසෙ, පණ්ණරසෙ, අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිතුන්ති- මහණෙනි, තුදුස්වක්හි, පසළොස්වක් හි, අටවක් හි රැස් වන්නට අනුදනිමි” යි වදාළහ. මේ පොහෝ දිනයන්හි පන්සල් යෑම ආරම්භ වූ සැටි යි.

බුද්ධ නියමය පරිදි ගිහි පැවිදි දෙපස මැ පොහෝ දිනයෙහි රැස් වූ නමුත් ධර්මදේශනා කිරීමක් නො විය. එයින් අසතුටට පත් වූ ගිහි ජනතාව ධර්මදේශනා නො කිරීම ගැන දෝස් නගන්නට වූහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ, “අනුජානාමි භික්ඛවෙ චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා ධම්මං භාසිතුන්ති - මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්ෂයේ අටවක් හි රැස් වී දහම් දෙසන්නට අනුදනිමි,” යි වදාළහ. මේ පොහෝ දිනයන්හි ධර්මදේශනා ආරම්භ වූ සැටි යි.

දිනක් විශාඛා මහා උපාසිකාව බුදුරජාණන් වහන්සේ හමුවන්නට පැමිණියා ය. පැමිණි කාරණය විමසූ විට විශාඛා මහා උපාසිකාව ප්‍රකාශ කළේ තමා අද පෙහෙවස් රකින බව යි. එසඳ බුදුරජාණන් වහන්සේ පොහෝ දිනයන්හි පෙහෙවස් රැකීම පිළිබඳ ව දීර්ඝ විස්තරයක් ප්‍රකාශ කළහ. ත්‍රිවිධ උපොසථයන් දක්වා බෞද්ධයන් ආර්‍ය්‍යොපොසථයෙන් හෙවත් රහතන් වහන්සේ අනුගමනය කරමින් පෙහෙවස් රැකීම මැනැවැයි බුදු රජාණන් වහන්සේ දේශනා කෙළෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පොහෝ දින පෙහෙවස් රැකීම ආරම්භ කළහ.

දිනක් නිහඬ වැ සිටින බුදුරජාණන් වහන්සේට මෙබඳු අදහසක් පහළ විය. මා විසින් භික්ෂූන් හට යම් සික පද කෙනෙක් පනවන ලද්දාහු ද, ඒ සික පද ඔවුනට පාමොක් උදෙසීම කොට අනුදැනැ වදාළොත් නම් යෙහෙකි. ඒ පාමොක් උදෙසීම ඔවුනට පෙහෙකම් වන්නේ ය යනුයි. අනතුරුව භික්ෂූන් අමතා “අනුජානාමි භික්ඛවෙ සංඝං පක්ඛස්ස චාතුද්දසෙ වා පණ්ණරසෙ වා පාතිමොක්ඛං උද්දිසිතුන්ති” මහණෙනි, පක්ෂයකට වරක් තුදුස්වක්හි හෝ පසළොස්වක් හි හෝ පාමොක් උදෙසන්ට අනුදනිමි” යි වදාළහ. මේ පොහෝ දිනයන්හි භික්ෂූන් ගේ උපෝසථ කර්ම ආරම්භ වූ සැටි යි.

පොහෝ දිනයන් හි පන්සල් යෑම, දහම් දෙසීම, සිල් සමාදන් වීම, පාමොක් උදෙසීම ආරම්භ වූ සැටි මැනවින් පැහැදිලි වේ. මේ අතර පැන නැගෙන ප්‍රශ්නයක් වෙයි. මෙකී දිනයන් හි හැර අන් දිනයන්හි එකී ආගමික කටයුතු නො කළ හැකි ද නො කළ යුතු ද යන්න යි.

දිනයෙන් පිරිසිදුවන සිල් බුද්ධාගමේ නැත. දිනයෙන් උසස් වන පින්කම් බුද්ධාගමයෙහි නැත. එහෙයින් පොහොය නො වන දිනයන්හි ද පන්සල් යෑමට, බණ ඇසීමට, සිල් සමාදන් වීමට කිසිදු බාධාවක් නැත. එහෙත් භික්ෂූන් ගේ පාමොක් උදෙසීම නම් තුදුස්වක් පසළොස්වක් දිනයන්හි හැරැ අන් දිනයන් හි නො කළ හැකි මැ යි. ඒ අතර ම පොහෝ දිනයන් හි ආගමික කටයුතු සම්මතය පිළිබඳ ව ද නුවණින් සිතා බැලිය යුතු ය.

සැලැස්මක් ඇති වැ කාල සටහනක් ඇති වැ කටයුතු කිරීමට ලෝකයෙහි පළමු වරට ඉගැන්වීම කළ උත්තමයා බුදුරජාණන් වහන්සේ ය. පොහොය දින සම්මත වූයේ ද උපාසක උපාසිකාවනට එක් දිනයෙකැ එක් වේලාවෙකැ පන්සලට බැමිණ බුදුන් වැඳ බණ අසා යෑමේ පහසුව සඳහා ය.

පොහොය ආගමික දින වශයෙන් කොතරම් දුරට තහවුරු වූවා දැයි කිවහොත් ශක්‍ර ආදී දෙවියන් පවා මනුෂ්‍යයන් පින් කරන හැටි බලන්නට පොහොය දිනයන් හි මිනිස් ලොවට පැමිණෙන සැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. පොහොය දින පිළිබඳ මෙතරම් පැහැදිලි වැ තිබෙද්දීත් ඇතැම් අය “සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා,” පිරිසිදු තැනැත්තාට සැමදාම පුණ්‍යඵල් ගුණේ නැකත ය. පිරිසිදු තැනැත්තාට හැම දින ම පොහොය යයි යන බණ පදය වරද්දා අල්ලා ගෙනැ බෞද්ධයාට පින්කම් කිරීමට පොහොය කියා විශේෂ දිනයක් උවමනා නැතැයි සිතති. කියති. පිරිසිදුව පිළිබඳ මිථ්‍යා දෘෂ්ටි රැසක් ඇති වැ සිටි බමුණකු ගේ මිථ්‍යා දෘෂ්ටි හරණය සඳහා දේශනා කළ බණ පදයෙන් පොහෝ දින ආගමික කටයුතුවලට පටලවා නො ගන්නා මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙසේ පොහොය දින නියම කළ බුදුරජාණන් වහන්සේ පොහොය දින ගණන් කර ගන්නා අයුරු ද භික්ෂූන්ට ඉගැන්වූ හ. අවුරුද්දක් ඍතු තුනකට බෙදා සාමාන්‍යයෙන් එක් එක් සෘතුවෙහි ලැබෙන පොහොය අටෙන් තුන් වැනි හත් වැනි පොහොය දෙක චාතුද්දසී-තුදුස්වක හා ඉතිරි හය පසළොස්වක බවත් ප්‍රකාශ කළහ. උපාසක උපාසිකාවනට පන්සල් යෑමට බණ ඇසීමට සිල් සමාදන් වීමට බුදුරජාණන් වහන්සේ නියම කළේත් මේ පොහොය දින මැ යි. එයට අතිරේක ව පක්ෂයෙහි අටවකත් නියම කොට ඇත. මේ තමා ශාසනික පොහොය.

මෙකලැ බෞද්ධයන් ව්‍යවහාර කරන්නේ ශාසනික පොහොය නො වැ තිථි පොහොය යි. තිථි පොහොය නමින් මා සඳහන් කළේ දැනට ලිත්වල සටහන් වැ සිල් සමාදන්වීම ආදියට ව්‍යවහාර කර ගෙනැ එනු ලබන පොහොය යි. ඒ පිළිබඳ විස්තර නො දනිතත් එය වේද කාලයෙහි සිට පැවැත එන ඉතා උසස් ගණිත ක්‍රමයක්ය යි සිතමි. නිවැරදි ශාස්ත්‍රවලට බුදුරජාණන් වහන්සේ විරුද්ධ නො වූයෙන් බෞද්ධයන් විසින් ද නැකැත් ව්‍යවහාරය පෙර පටන් ම කරගෙන එනු ලැබේ. එහෙත් බුදුරජාණන් වහන්සේ නියම කළ පොහොය පින්කම් කරනුවා නම් උන්වහන්සේ නියම කළ පොහොයට මැ කළ යුතු නො වේදැයි සිතා බලන්නේ නම් මැනැවි.

ශාසනික පොහොයන්හිත් තිථි පොහොයන්හිත් වෙනස් කම් කීපයක් පෙනෙන්නට ඇත. ඇතැම් පොහොය දින වශයෙන් දෙදිනකට පැමිණෙයි. ශාසනික පොහොය දිනයෙහි අතරතුර ලබන ගෙවෙන වේලාවක් නො වෙයි. මුළු දවස ම පොහොය යි. තිථි පොහොය දිනයෙහි මුලත් මැදත් අගත් ලබයි; ගෙවෙයි. එහෙයින් බුදුරජාණන් වහන්සේ පොහොයට නියම කළ පින්කම් පොහොය නැති වේලාවන්හිද කරන්නට සිදුවෙයි. තවද පූර්වයෙහි හෝරා ශාස්ත්‍රඥයන් දිනය ගත්තේ උදේ 6 සිට ය. එහෙත් දැන් බහුල වශයෙන් දකින්නට ලැබෙන්නේ රෑ 12 යි මිනිත්තුවේ සිට දිනය පටන් ගැනීම යි. ඒ අනුවැ පොහොය නියම ද සිදු කරන බව පෙනෙයි. දැන් ලිත්වල පෙනෙන සැටියට රෑ 11 මි. 59 ට පොහොය ලැබුවා නම් සිල් සමාදන්වීම අද යයි ද රෑ 12යි මිනිත්තුවට පොහොය ලබනවා නම් සිල් සමාදන වීම හෙට යයි ද කියති. රෑ 11යි මිනිත්තු 59 ට පොහොය ලබන දිනයක උපාසක උපාසිකාවන් සිල් සමාදන් වන්නේත් සිල් රකින්නේත් පොහොය නැති වෙලාවන්හි ය. පොහොය ලබන බොහෝ දෙනා තද නින්දේ බව පෙනෙයි.

ශාසනික පොහොය ගන්නවා නම් මෙබඳු අවුලක් නැහැ නො වේ ද? උදේ 6 ට සිල් සමාදන් වන්නේ පොහොය ලබන වේලාවටම යි. පසුදා උදේ 6 ට සිල් පවාරණ කරන්නේ ද පොහොය ගෙවෙන වේලාවට ම යි. මෙසේ ශාසනික පොහොය ගත් විට සම්පූර්ණ 24 පැය ම පෙහෙව සිටින අතර හෝරා ශාස්ත්‍රඥයන් ගේ ගණිත ක්‍රම අනුවැ පොහොය දිනයන්හි වෙනසක් ඇති වන්නේ නැත. අතිරේක කරුණු සියල්ල ම පසෙකින් තබා ප්‍රධාන වශයෙන් බෞද්ධයන් විසින් සිතට ගත යුත්තේ පොහොය දිනයට සිල් සමාදන් වීම් ආදිය කරනුවා නම් එය බුදුරජාණන් වහන්සේ නියම කළ පොහොයට මැ කළ යුතු නො වේ ද? යන්න යි. හෝරා ශාස්ත්‍රඥයන් ද එය පිළිගන්නවා ඇතැයි සිතමි.

සියම් බුරුම කාම්බෝජ ආදී ලොව ථෙරවාදී බෞද්ධ රටවල ව්‍යවහාර කරන්නේ ශාසනික පොහොය යි. ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ ශාසනික පොහොය සීතාවක රාජසිංහ රජකාලය දක්වා පැවති බව ඉතිහාසය දන්නෝ කියති. සීතාවක රාජසිංහ රජතුමා විසින් කරන ලද ශාසන විනාශයෙන් පසු ශාසනික ක්‍රම අභාවයට යෑමෙන් ශාසනික පොහොය වෙනුවට තිථි පොහොය ව්‍යවහාරය ඇති වූ බව කිව යුතු ය.

තව ද පොහොය දිනය නිවාඩු දින කිරීමට තීරණය කළ රජයට ද ශාසනික පොහොය ගැනීම වඩා පහසු ය. තිථි පොහොය ක්‍රමය අනුව දින 6 නුත් 7 නුත් 8 නුත් 9නුත් පොහොය යෙදෙයි. ශාසනික පොහොයක්‍රමය අනුව දින 7 ට අඩුවෙනුත් දින 8 ට වැඩියෙනුත් පොහොය නො යෙදෙයි. අවුරුද්දකට පොහොය හතළිස් නවයක් පනහක් ලැබෙන අතර එයින් පොහොය 30ක් හෝ 31 ක් දින හතෙන් පැමිණෙයි. පොහොය 18 ක් හෝ 19 ක් දින 8 න් පැමිණෙන්නට පිළිවන. තුදුස්වක් පොහොයකට පෙරැ පැමිණෙන අටවක පමණක් දින 7 න් යොදා ගත යුතු වේ. එයට බෞද්ධයන් අකැමැති නො වනු ඇත. වර්තමාන හෝරා ශාස්ත්‍රඥයන් වැඩි දෙනා බෞද්ධයන් වන බැවින් සිල් ගන්නා දින නියම කැරු ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ ගේ අදහසට අනුව බව පිළිගන්නවා ඇතැයි සිතමි. මෙසේ කිරීමෙන් හෝරා ශාස්ත්‍රඥයන් ගේ ලිත් වල සඳහන් වන අන් එක ද කරුණකට වත් බාධාවක් නො වනු ඇත. එපමණක් නොව වැ පොහොය අනුවැ සති වෙන් කිරීමේදී රජයට ලොකු පහසුවක් වනු ඇත.

ලංකාවේ අවුරුදු දෙදහසකට අධික කාලයක් තිබුණු පොහොය නිවාඩුව නැති කළේ 1770 වැන්නෙහි පෝක් නම් වූ ඕලන්ද ආණ්ඩූකාරයා විසිනි. මෙසේ පොහොය නිවාඩුව වෙනස් කොට ඉරිදා නිවාඩුව ඇති කෙළේ වී නමුත් බොහෝ කාලයක් බෞද්ධයන් තුළ මුල් බැස ගෙනැ තිබුණු නිවාඩුව ජනතාවගේ සිත් වලින් අස් කරන්නට ඉතා අපහසු විය. එහෙත් 1817 වැන්නෙහි බ්‍රිතාන්‍යයන්ගේ ආණ්ඩුකාරයා විසින් තව ද පනතක් ඇති කොට ‘දඬුවම් ද නියම කොට පොහොය නිවාඩු වෙනස් කරන ලදී.

අවුරුදු දෙදහස් පන්සියකටත් පෙරැ ලේ වගුරුවන විප්ලවයකින් නො වැ කරුණා මෛත්‍රියෙන් පිරුණු උපදේශ මාලාවකින් සාමකාමී වැ සමාජ පරිවර්තනයන් කළ උත්තමයා අපේ බුදුරජාණන් වහන්සේ ය. එහෙයින් උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව ද බුද්ධ ධර්මය පැතුරුණු හැම රටක ම සාමයෙන් සිදු වූ සමාජ පරිවර්තනයෙන් ඒ ජනතාව ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාවචාර යන චතුර්විධ දියුණුවෙන් නැගී ගියේ ය.

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණ දහම් දෙසා ජනතාව බෞද්ධ කිරීමෙන් සිංහල සමාජය ද මහා පරවර්තනයකින් පුදුමාකාරයෙන් නැගී එන්නට පටන් ගති. බුද්ධ ධර්මය නිසා සිදු වූ සමාජ පරිවර්තනය කොතරම්දැයි සිතා ගැනීමට පොසොන් උත්සවය මැ ප්‍රමාණවත් වනුවා ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ මෙහි වැඩම කරන කාලයෙහි පොසොන් උත්සවයෙහි ප්‍රධානාංගය වූයේ රජතුමා ප්‍රධාන ජනතාව දඩයමේ යෑම යි. මිහිඳු මාහිමියන් වහන්සේ ට දේවානම් පියතිස්ස රජතුමා හමුවුණේ ද දඩයමේ ගොස් සිටින විට ය. බෞද්ධාලෝකයෙන් පසු එය කොතරම් දුරට වෙනස් වූවා දැයි කිවහොත් අද පොසොන් යනු කුරු කුහුඹුවකුටත් හිංසා නො කරන උත්සවයෙකි. ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් ගෙන් බුදුරජාණන් වහන්සේ හා මිහිඳු මහ රහතන් වහන්සේ පුදන දිනයෙකි. මිහිඳු මහ රහතන් වහන්සේ සිංහල බෞද්ධයනට බුද්ධ ධර්මය මෙන් ම බෞද්ධ චාරිත්‍ර ද ඉගැන්වූහ. සතර පොහොයට පන්සල් යෑම ද ඉන් එකකි.

දුටුගැමුණු රජතුමා ධර්මදානමය පින්කම සම්පූර්ණ කර ගැනීම සඳහා පොහෝ දිනයන් හි පන්සලක් පාසා ධර්මදේශනා කැරැවීම ආරම්භ කළෙන් ලක්වැසි ජනතාව ඒ ධර්මෝපදේශයන් අනුවැ කටයුතු කිරීමෙන්, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාවචාර යන චතුර්විධ දියුණුවෙන් කොතරම් ඉහළට නැංගේ දැයි කිවහොත් ලොවැ අන් කිසි මැ රටකට නො ලැබුණු ධර්මද්වීපය යන ගෞරව නාමය ද හිමි කර ගත් සැටි අපේ බාල පරපුරට කියා දිය යුතු ව ඇත.

මෙසේ සිංහල බෞද්ධයා බාහිර දියුණුවෙන් පමණක් නො වැ ගුණ නුවණින් ද ඉහළට මැ දියුණු වී ගියේ ය. අපේ රටත් අපරාධ අඩු වී ලෝ වැසියන් මවිත කරන තරම් ධාර්මික රටක් විය. රූමත් තරුණියකට අල්ලේ වටිනා මැණිකක් තබාගෙනැ තනියම රට පුරා යා හැකි වැ තිබුණා නම් ලංකාවෙහි නිරපරාධී භාවයත් සදාචාර සෞභාග්‍යතාවත් පිළිබඳ වැ අන් කවර කතා ද?