තෙසැත්තෑ ඤාණ කථා - කැන්දලියද්දපාළුවේ ධම්මිස්සර හිමි.pdf

කතෘ :
කැන්දලියද්දපාළුවේ ධම්මිස්සර හිමි
ප්‍රකාශිත වර්ෂය :
1972
මුද්‍රිත වර්ෂය :
1972
පිටු ගණන :
791
බාගත කිරීම් ගණන :
6,476
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-02-15
ගොනුවේ ප්‍රමාණය :
240 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 396

තෙසැත්තෑ ඤාණ කථා යනු ත්‍රිපිටකයේ ඛුද්දක නිකායට අයත් පටිසම්භිදාමග්ග පාලියේ විස්තර කෙරෙන හැත්තෑතුනක් වූ මහා ඥානයන් පිළිබඳව විග්‍රහ කරමින් සම්පාදිත වටිනා ධර්ම ග්‍රන්ථයකි. මෙහි කර්තෘත්වය දරනු ලබන්නේ ගම්පහ මාලිගාතැන්නේ විවේක සේනාසනවාසීව වැඩවිසූ කැන්දලියද්දපාළුවේ ධම්මිස්සර හිමිපාණන් වහන්සේ විසිනි. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායේ අනුශාසක පූජ්‍ය මැණික්දිවෙල ශ්‍රී දේවානන්ද නාහිමිපාණන්ගේ උපදෙස් හා ආරාධනය පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

බුදුරජාණන් වහන්සේගේ අතිගම්භීර ප්‍රඥා මහිමය හා අභිධර්මයේ එන ගැඹුරු කරුණු පාඨකයාට පහසුවෙන් වටහාගත හැකි සරල සිංහල බසින් ඉදිරිපත් කිරීමට කතුවරයාණන් උත්සාහ දරා ඇත. විදර්ශනා භාවනාව, සමාධි සූත්‍ර විවරණය, සමථ-විපස්සනා යානිකයන්ගේ මාර්ග වඩාගැනීමේ ක්‍රමවේද සහ උපනිශ්‍රය ප්‍රත්‍ය ශක්තීන් පිළිබඳ මනා ශාස්ත්‍රීය විවරණයක් මෙම කෘතියෙන් සපයයි.

ග්‍රන්ථාරම්භයේ අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමියන්ගේ පැසසුම් සටහනක් සහ අභිධර්ම විශාරද යාගොඩ ධර්මප්‍රභ හිමියන්ගේ දීර්ඝ ශාස්ත්‍රීය පෙරවදනක් අන්තර්ගතය. 1972 වර්ෂයේදී මරදානේ සමශ්‍රවර්ධන මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද මෙම ග්‍රන්ථය පඤ්ඤාපාරමී එකතුව මගින් ධර්මදානය පිණිස ඩිජිටල්කරණය කර බෙදාහැර ඇත.

පැසසුම

කැන්දලියද්දපාලුවේ ධම්මිස්සර ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද තෙසැත්තෑ ඤාන වස්තු ඇතුළත් මේ පොත ලැබ මඳක් කියැවීමි. පොත පිළියෙල කොට ඇති සැටියෙන් මෙක සාමාන්‍ය මහ ජනයාට පමණක් නොව උගත් ගිහි-පැවිදි භවතුන් විසිනුත් පඨන පාඨනය කළයුතු අගනා ග්‍රන්ථයෙකැයි කියැ යුතුය. හැම නුවණක් පිළිබඳ වැ මහඟු විස්තරයක් එයි. පොත සකසා ඇති සැටි මනහර ය. පෙළ අනුවැ ටීකා බලා මහදුත්සාහයෙන් සකසා ඇති මේ පොතෙන් කියවන්නහුට මහත් ධර්ම ඥානයක් ලැබෙන බව පැසසුම් පූර්වකව පවසමි.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය
මහානායක ස්ථවිර
ශ්‍රී නන්දාරාමය
උඩුමුල්ල,
බලන්ගොඩ,
බලන්ගොඩ.
1972. 7. 19.

පෙරවදන

බුද්ධ සංකල්පය ප්‍රාග් බෞද්ධ යුගය තෙක් දිවෙන්නකි. වෙදක්තයන්හි බෙහෙවින් දැක්වෙනුයේ “මුනි” සංකල්පය යි. එද විශිෂ්ඨ අවබෝධ ඥානයක් ලැබූ දාර්ශනිකයන් සඳහාම ව්‍යවහාර විය. “බුද්ධ කෝලාහල” යනු කලක් තිස්සේ බුදුකෙනෙකුන් වහන්සේ පිළිබඳ ජනතාව අතර හැඟීම්, පැතීම්, බලාපොරොත්තු සහගත වීම්, ඇති කරන්නක් විය. එසේම බොරු බුදුවරුන්ගේ පහළ වීමට ද එය පිටුවහල් වූ බව, “අපිත් බුදුමු’යි තමන් ම තමන් හඳුන්වා දුන් ඒ ඒ ජනකොට්ඨාශ විසින් පුදන ලද, පිළිගන්නා ලද, ශාස්තෘවරයන්ගේ පහළ වීමෙන් පිළිගත යුතුය. ඇතැම් ශාස්තෘවරු “ජින” හෙවත් කෙලෙසුන් දිනූ, කෙලෙස් නැති, අංග ලෙස ශ්වේතාම්බර, දිගම්බර පැවිදි කොට්ඨාශ ඇති කොට විසූ හ.

පසුබිම

එහෙයින් ම, ශාක්‍යමුනි - මහාමුනි - සම්යක් සම්බුද්ධ - අනන්ත ජින ආදි නම් වලින් අප ලොවුතුරා තථාගත සම්බුදු හාමුදුරුවන් වහන්සේ හඳුන්වනු ලැබූ හ. බුද්ධ කාලය වන විට නානාවිධ දර්ශනවාදයන්ගෙන් දඹදිවතලය රැව් - පිළිරැව් දෙන තරම් විය. එහෙත් උපමණයකින් තොර නැවතුණු උසස් පෙළේ දර්ශනවාදීන්, ඒකාන්ත සත්‍ය දර්ශනයක් සොයමින් රට පුරා සැරිසරන්නට වූ බව, වාර්තාගත සත්‍යයකි. ඇතැමෙකු උග්‍ර තපස් ක්‍රම අනුගමනයෙන් සත්‍යය සෙවීමට උත්සාහ ගත් බව, අප බෝසතාණන් වහන්සේ පවා එසේ ක්‍රියාකාරී වූ බව, අරියපරියේසනාදි සූත්‍රාන්තයන්ගෙන් පැහැදිලි වේ.

දර්ශන දිවාකරයාණෝ

මෙතෙක් සියලු දර්ශනිකයන් දැක් වූ දර්ශන - පථයන් අගුලු බව සකලේශ් සන්තානිකයන් විසින් සිතන ලද බව,

‘’පාතුරහොසි මගධෙසු පුබ්බෙ ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො,’’

යනුවෙන් මහවග බ්‍රහ්මයාචන කථාවෙහි සඳහන් වේ

මෙසේ ශාස්වත - උච්ඡේද - අහේතුකාදි නානා අන්තයන්ට වැටෙන තර්ක - විතර්කවාද දර්ශනයන්ගෙන් හැසි - ගැවසී එකෙකින් එකක් පසුබස්යවන, නිරුත්තර කරවන, පසුතලයක් පිළියෙල වී තිබුණු සමයෙක, ඒකාන්ත සත්‍ය - දර්ශනය අවබෝධකර, දෙසීමෙන්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසහාය දර්ශන දිවාකරයෙක් වූ - සේක. එසේම අනික් කිසිම ශාස්තෘවරයෙකු විසින් නො පැවසූ පරිදි,

‘’ඤාණං ච පන මෙ දස්සනං උදපාදි’’

‘’මට ඥාන - දර්ශනය උපන්නේය, දෙවියන්, මරුන්, බඹුන්, මහණ බමුණන් සහිත මේ ලෝකයෙහි කිසිවෙකු විසින්දු අකෝප්‍ය, අකම්ප්‍ය, සත්‍ය - දර්ශනය අභිනව, සුවිශාරද ව දැක්වූ - සේක. දෙසූ-සේක.

ඥානරශ්මි

හිරු පායත් ම, අනෙකුත් සියලු ම ආලෝකයන් නිෂ්ප්‍රභ වන්නා සේ, සම්බුද්ධ ඥාන දර්ශන රශ්මීන් විහිදෙත්ම, අන්‍ය දර්ශනයන් අඳුරු වූයේ තවමත් එසේ ම ය. හැමදාමත් එසේම ය. එම සම්බුද්ධ ඥාන-රශ්මීන් ත්‍රිපිටක ධර්මයෙහි, විශේෂයින් අභිධර්මයෙහි, එයිනුත් පට්ඨානයෙහි, ඒකරාශී වූයේ, ගැබ් වූයේ, සම්බුද්ධ ශ්‍රී ශරීරයෙන් සවර්ණක් සම්බුද්ධ රශ්මීන් විකිරණය වන තරම් සියුම් වූ, තියුණු වූ, ගැඹුරු වූ අර්ථයෙන් සාරවූයේ ය.

තෙ සත්තති ඤාණ.

තුන් මසක් මුළුල්ලෙහි සම්මා සම්බුදු රජාණන් වහන්සේ, අනන්ත සාධාරණ ඥානයෙන් දෙවියන්ට වදාළ අභිධර්මය, මිනිසුන් අතුරෙන් පළමුව ඇසූ සද්ධර්ම චක්‍රය බුදුරදුන් අනුව පවත්වන, නුවණට අග්‍රතැන්පත්, සැරියුත් මහ රහතන් වහන්සේ, එම ධර්මය ‘’ධම්මසංගණී’’ ආදී ප්‍රකරණ සතක් කොට, උද්ග්‍රහණ - ධාරණය සඳහා, සිය ශිෂ්‍ය පිරිසට ප්‍රධාන වශයෙන් ප්‍රගුණ කර වූ සේක. එසේ ම සම්බුද්ධ ඥානයන් විස්තර කිරීමට ද තමන් වහන්සේට වඩා, සුදුස්සෙකු නුදුටු, සද්ධර්ම සේනාපතීන් වහන්සේ සම්බුදු නුවණ විස්තර කරමින්, පටිසම්භිදා මග්ගපාලිය දෙසූ සේක.

- එහි විස්තර වන, තුන් සැත්තෑවක් ඥානයන් මනාව විස්තර කරමින්, මේ ධර්ම ග්‍රන්ථය අපේ ගම්පහ මාලිගාතැන්නේ විවේක සේනාසනවාසී ත්‍රිපිටකාචාර්ය්‍ය කැන්දලියද්දපාලුවේ ධම්මිස්සර ස්ථවිරයන් වහන්සේ විසින් පූජ්‍යතම මැණික්දිවෙල ශ්‍රී දේවානන්ද මහා

වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා සංඝ සභාවේ අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ උපදෙස් අනුසාරයෙන් ලියන ලද අතර, මෙහි සුගැඹුරු තැන් අප සමග ද සාකච්ඡා කොට සකසන ලද බව ද, එසේම පෙරවදනක් ලියන ලෙස සාදරයෙන් ආරාධිත බවද, කෘතඥතා පූර්වකව සඳහන් කරමි.

ගැඹුර මතුකොට

ඇසුමැයින් ඉතා ගැඹුරු යැයි සිතෙන මෙම සම්බුද්ධ ඥාණ-කථාවන් මතුකෙරෙමින් සම්බුද්ධ චරිතය ද අවශ්‍ය අන්දමින් විදහා දක්වමින්, හැමට තේරෙන ලිහිල් බසින්, ත්‍රිපිටක ධර්මයන් විමසමින්, මෙකලට අවශ්‍ය අගනා ධර්ම ග්‍රන්ථයක් බෞද්ධ ජනතාව අතරට පත් කිරීම බෞද්ධ ලෝකයාගේ ප්‍රසාද ගෞරවයට භාජන විය යුතු කරුණෙකි. ත්‍රිපිටක පාලිය ම අනුව යමින් පොතට අනුරූප විස්තරයන් ඉදිරිපත් කරන අතර, ඒ පිළිබඳ ගැටලු විසඳා දීමෙන් කර්තෘන් වහන්සේ ස්වකීය ධර්මඥානය ප්‍රදර්ශනය කර ඇත.

අවිසඳයි

එහෙත් මෙහි අප සමග සාකච්ඡා නො කළ කරුණක් පොත මුද්‍රණයෙන් පසු දක්නට ලැබිණ. පෙර වදන වනාහී ග්‍රන්ථයට පිවිසෙන දොරටුව හෙයින් විශේෂයෙන් ග්‍රන්ථයෙහි හොඳ මෙන්ම, දුර්වල තැන් ද එහි සඳහන් විය යුතුමය. එය සද්ධර්ම ශාසනයාගේ චිරස්ථිතිය පිණිස පවත්නේමය.

මෙහි (13) තෙළෙස්වන පරිච්ඡේදයේ 338-341 වැනි පිටුවල දක්වා ඇති, සමාධි භාවනා හා සමාධි සූත්‍ර පිළිබඳ ධර්ම විස්තරය නෙය්‍යත්ථ දේශනා බව පළමු ව සිහි කළ යුතුය. සමාධි භාවනාවෙන් පමණක් නොව දෘෂ්ටි සංශය ද නිවන් ලබාදෙන - පටිසම්භිදා - විමොක්ඛාදිය ලබා දෙන බව දේශනාවෙහි එයි. සමාධි භාවනා වඩා, නිකම් නො ඉඳ, විදර්ශනා වැඩීමෙන්, ඒ සියල්ල සිදුවෙයි. සමාධි සූත්‍රය පිළිබඳ තරමක විස්තරයක් කළ යුතු සේ පෙනේ.

පුද්ගලයෝ සතර දෙනෙකි

1. අර්පණා ධ්‍යාන (චෙතොසමථ) ලාභී - අධිපඤ්ඤා ධම්ම - විපස්සනාව නො ලැබූ පුද්ගලයා. 2. අධිපඤ්ඤා ධම්ම විපස්සනා ලාභී - අර්පණා ධ්‍යාන නො ලැබූ පුද්ගලයා.

3. දෙකම නො ලැබූ පුද්ගලයා. 4. දෙකම ලැබූ පුද්ගලයා.

1. මෙහි - අර්පණා ධ්‍යාන ලාභී පුද්ගලයා එහි පිහිටා අධිපඤ්ඤා ධම්ම විපස්සනාව ලැබීම සඳහා උත්සාහ කළ යුතුය. 2. අධිපඤ්ඤා ධම්ම විපස්සනා ලාභී පුද්ගලයා එහි පිහිටා, අර්පණා ධ්‍යානය ලැබීම සඳහා උත්සාහ කළ යුතුය. 3. දෙක ම නො ලැබූ පුද්ගලයා දෙක ම ලැබීම සඳහා උත්සාහ කළ යුතුය. 4. දෙක ම ලැබූ පුද්ගලයා මතුයෙහි ආශ්‍රවක්ෂය කර ඥානය, (අර්හත්වය) සඳහා උත්සාහ කළ යුතු ය.

මෙහි දක්වන ලද අධිපඤ්ඤා ධම්ම විපස්සනාව නම්, අෂ්ටලෝක මහා විදර්ශනාවෙහි දශ සතර වැනි, විදර්ශනා ඥානයයි. භංගානුපස්සනා විදර්ශනාවෙහි උපරිම අවස්ථාව ලෙස සැලකිය යුතුයි. අර්පණා ධ්‍යානයක් නොමැති ව, එතෙක් දුර විදසුන් වැඩිය හැකි බව, එම සූත්‍රයෙහි දක්වේ. යථා භූත ඥාන - දර්ශනය, ආදීනවානු දර්ශනය, ප්‍රතිසංඛානුදර්ශනය, සහ විවට්ටානු දර්ශනය යන සතර පමණකි. මේ මාර්ග - ඥානයට ඉතා කිට්ටු විදර්ශනා ඥානයන් ය.

යානික

එතෙක් දුර සමථයෙන් ලද අර්පණා ධ්‍යානයක් නොමැතිව විදසුන් නුවණ ලැබිය හැකි බව, මතෙහි ගනිමින් මෙම සමාධි සූත්‍රය දක්වන ලද්දේ, යුගනද්ධ හෙවත් සමථ - විපස්සනා දෙකම, එකවර වඩා, මග නැණ උපදවන සමථ යානික පුද්ගලයා පිළිබඳව බව වටහා ගත යුතුව ඇත.

සමථ පුබ්බංගම විපස්සනා - විපස්සනා පුබ්බංගම සමථ = යුගනද්ධ හා ධම්මුද්ධච්ච විග්ගහිත විදර්ශනා වශයෙන් අංගුත්තර චතුක්ක නිපාතයේ ම, තව ඩිංගක් මහා පටිපදා වර්ගයේ අවසන් සූත්‍රය බැලීමෙන් වැටහේ. එහෙයින් සච්චබද්ධ වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ඥානයන් දේශනාවන් පුද්ගලාධ්‍යාශයෙන් පවත්වන ලද මෙබඳු දේශනාවන් නිහඬ කොට, සෑම පුද්ගලයකු සඳහා නො වන බව සැලකිය යුතු ය.

එම පටිපදා වර්ගයේ නව වැනි සූත්‍රය ‘’සසංඛාර පරිනිබ්බායී’’ යනු සුක්ඛ විපස්සක රහතන් වහන්සේ බව, අංගුත්තර අටුවාව කියයි.

මෙසේ විමසා බලා, සමාධි සූත්‍රයේ සමථයානිකයා විසින් යා යුතු මාර්ගය දේශනා කර වදාළ බව = ඒ මග ප්‍රධාන මග බව = පිළිගත යුතුය. අනික් සුද්ධ විපස්සනා යානිකයා අර්පණා ධ්‍යාන නො ලබා ම විදර්ශනා වඩා මාර්ග - ඵල උපදවන ප්‍රඥා විමුක්ත පුද්ගලයා වන්නේ ය. නො එසේ වෙතොත් චතුක්ක නිපාතයේ ම පටිපදා මග්ගේ නව වැනි - දස වැනි සූත්‍රයන් අස් කළ යුතු ය. එමතු ද? සංයුක්ත සඟියේ සුසිමාදි සූත්‍ර රැසක් පමණක් නොව, සතිපට්ඨානයේ ඉරියාපථ සම්පජඤ්ඤාදි පර්වයන් ද විශුද්ධි මාර්ගය සහ විමුක්ති මාර්ගය යන අතිසම්භාවිත භාවනා ග්‍රන්ථයන්ද අස්හල යුතු වන්නේ ය.

නෙය්‍යත්ථ දේසනා නීතත්ථ දේසනා ලෙස ගැනීම ධර්මය අධර්මය කර දැක්වීමක්, බුදු සසුනට පහර ගැසීමක්, බුදුරදුනට ගැරහීමක් බව දේශනා කර ඇත. එසේම මිථ්‍යාදෘෂ්ටියකට වැටීමෙන් ඉබේ ම සසුනෙන් බැහැර වීම ද වන්නේ ය,

‘’පුඤ්ඤානි පරලොකස්මිං - පතිට්ඨා හොන්ති පාණිනං’’ ‘’පුණ්‍යයෝ ප්‍රාණීන්ට පරලොවදී පිහිට වෙත්’’

මෙබඳු දේශනා මෙසේ ම පිළිගැනීම බුදු නියමය නොවේ. අර්ථය පමුණුවා (නෙය්‍යත්ථ) දෙසිය යුතු ය. බහුල වශයෙන් පරලොව දී පිහිට වන නමුත්, මෙලොවත් පිහිට වන පින් කොට්ඨාශයක් ඇති බව යන්තම් බුදුදහම් දන්නෝ ද දනිති.

ත්‍රිවිධ ශාසනය

ශීල සමාධි ප්‍රඥා යනු ත්‍රිවිධ ශාසනය යි. කිසිම බෞද්ධ භාවනානුයෝගියෙක් මේ තුනෙන් පරිබාහිර නො වේ. එහෙත් ඒවා සම්පූර්ණ වන්නේ ක්‍රමයෙනි.

සෝවාන් පුද්ගලයා - සීලය සම්පූර්ණ කෙරේ. සමාධිය තරමකට කෙරේ. ප්‍රඥාව තරමකට කෙරේ.

අනාගාමී - සීලයත්, සමාධියත්, සම්පූර්ණ කෙරේ. ප්‍රඥාව තරමකට කෙරේ.

රහතන් වහන්සේ - ශීල සමාධි ප්‍රඥා තුන ම සම්පූර්ණ කළේ වේ.

සමාධිය සම්පූර්ණ වන අනාගාමි ආර්‍ය්‍යයන් වහන්සේ අනාගාමී මගින් කාමරාග - පටිඝයන් ද සමුච්ඡේද කල ලෝකෝත්තර, උසස් අර්පණා නිපදවා ඇති හෙයින්, ප්‍රථම ධ්‍යානාදී ලෞකික ධ්‍යාන නිපදවීම එතරම් බරෙක් නොවේ. යම් හෙයකින් සුක්ඛ විපස්සක

අනාගාමී ආර්‍ය්‍යයන් වහන්සේ කළුරිය කරන්නේ බඹලොව ශුද්ධාවාසයන්හි ඉපදිය යුතු හෙයින් මරණාසන්න මොහොතෙහි හෝ රූපාවචර චතුර්ථ ධ්‍යානලාභී වීම ධර්මතාසිද්ධ ය.

නිගමනය

ත්‍රිපිටක ධාරී මහ තෙරවරුන් ද, පෙර ඇතැම් සූත්‍රාන්තයන් පිළිබඳ ව පැකුළුණු තැන් එමට ඇත. එහෙයින් ඉමහත් ශ්‍රද්ධා - ගෞරවයෙන් ත්‍රිපිටක ධර්මයෙහි හසල දැනුමක් ලබා සම්භාවනීය උතුමන් ඇසුරු කරණ නමුත්, මේ බඳු තන්හි යම් පැකුළුම් = හැකුළුම් ඇතිවීම පුදුමයක් නො වේ. එහෙයින් මතුත් යෝගාවචරයන් මෙම ප්‍රශ්නයෙහි නො හැප්පෙනු පිණිස, පට්ඨාන පාලියෙන් කරුණු දක්වා මෙය සනාථ කළ යුතු බව වැටහේ. ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයෝ ද සප්‍රත්‍යය නාම ධර්මයෝ ය. ධ්‍යාන ප්‍රත්‍ය - මාර්ග ප්‍රත්‍යාදි ප්‍රත්‍ය ශක්තීන් සුවිසි ප්‍රත්‍යයෙහි ලා ගැනේ. ඒ ඒ ධ්‍යාන මාර්ග සිත්හි සහජාත නාමධර්මයෝ ම ප්‍රත්‍ය - ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. මෙහි ලා උපනිශ්‍රය ප්‍රත්‍ය ශක්තිය ප්‍රමාණ වශයෙන් ගතයුතු ය. ‘’කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො’’ යන විචි පාලියව දෙන ලද අනුශාසනෙහි ප්‍රණීති-උපනිශ්‍රය, කාමාවචර කුසල් තවත් කාම කුසලයන්ට ද, රූපාවචර කුසල් රූපාවචර කුසලයන්ට හා අරූපාවචර කුසලයන්ට ද උපනිශ්‍රය ප්‍රත්‍යය වන සැටි වදාරා ඇත. එහෙත් රූපාවචර හෝ අරූපාවචර කුසල් ලෝකෝත්තර කුසලයන්ට උපනිශ්‍රය ශක්තිය ලබා නොදේ.

‘’පඨමං ඣානං - දුතියස්ස ඣානස්ස දුතියං ඣානං - තතියස්ස ඣානස්ස තතියං ඣානං - චතුත්ථස්ස ඣානස්ස චතුත්ථං ඣානං - ආකාසානඤ්චායතනස්ස ආකාසානඤ්චායතනං - විඤ්ඤාණඤ්චායතනස්ස විඤ්ඤාණඤ්චායතනං - ආකිඤ්චඤ්ඤායතනස්ස ආකිඤ්චඤ්ඤායතනං - නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො’’

මෙසේ වදාරණ යම්සේ ප්‍රථම ධ්‍යානයට එම පරිකර්ම දී (කාමාවචර) භාවනා උපනිශ්‍රය වේද, එසේම ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානයවූ සෝවාන් මංගී සිතට එම විදර්ශනා පරිකර්මය ම (කාමාවචර) උපනිශ්‍රය ශක්තිය ලබා දෙන බව දක්වා වදාළ සේක.

‘’පඨමස්ස මග්ගස්ස පරිකම්මං පඨමස්ස මග්ගස්ස උපනිස්සය පච්චයෙන පච්චයො’’

සත්‍යාදීන් ප්‍රථම මංගීයට පරිකර්ම වශයෙන් උපදනා විදර්ශනා ඥාන සිත් ප්‍රථම මාර්ග සිතට උපනිශ්‍රය ශක්තිය ලබා දේ. යම් හෙයකින් අර්පණා ධ්‍යාන නොමැතිව සෝවාන් ආදී මාර්ග ඵල ධර්ම නූපද විය හැකි නම්,

‘’පඨමං ඣාන - පඨමස්ස මග්ගස්ස උපනිස්ස පච්චයෙන පච්චයො’’

යැයි වදාරණවා නියතය. එසේ නො වදාළේ කිසි ම රූපාවචර - අරූපාවචර ධර්මයක අභිධර්ම ක්‍රමයෙන් උපනිශ්‍රය ශක්තිය ලෝකෝත්තර ධර්මයකට නැති හෙයින් බව පක්ෂග්‍රාහිත්වයෙන් තොරව ධර්මය විමසා බැලීමෙන් නුවණැත්තන්ට සම්ප්‍රගවබෝධය ම ගරු කෙරෙත් වා! මේ නීතත්ථ දේශනා ය.

ලෞකික - ලෝකෝත්තර

ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානය නම්, සෝවාන් මාර්ගයයි. එය, ‘’ලොකුත්තරං මග්ගං භාවෙති, ඣානං භාවෙති.’’ යනාදී විසි මහා නයෙහි ධම්මසංග්‍රහයෙහි දක්වා ඇත. ලෝකෝත්තර සිත්හි යෙදෙන්නේ ලෞකික සමාධිය නොවේ. පරිකර්මාදී කාමාවචර සිත්හි යෙදුණ සමථාදී අංගයෝ ම ලෝකෝත්තර තත්වයට පත්වෙති. සමථයානික යෝගියා ද අර්පණා - උපචාර සමාධියකින් නැගිට ධ්‍යානාංගයන් ලක්ෂණා දි වශයෙන් අරමුණු කොට එයින් වස්තු රූපය අරමුණු කොට කාම - රූප දෙක්හි ම විදර්ශනාව සම්පූර්ණ කොට මාර්ග සිත් උපදවා ගණී, හුදෙක් බලවත් චිත්තෙකෙකාග්‍රතාව නිසා තියුණු වූ ඉන්ද්‍රියයන් ඇති බහුව විදර්ශනාව ඕජාවත් ව, බලවත් ව සිදු වෙයි.

ශුද්ධ විදර්ශකයාගේ ද විදර්ශනා සිත්හි ම ක්‍රමයෙන් දියුණු වන ඒකාග්‍රතාවය ක්‍රමානුකූල ව චිත්ත විශුද්ධිය සපයා මාර්ග සිතට උපකාරී ව මාර්ගාංග සම්පූර්ණ කෙරේ. එහෙයින් ‘’කුසලානං මග්ගානං සම්පයුත්තකානං ඛන්ධනං මග්ග පච්චයෙන පච්චයො’’ යැයි පට්ඨානයේ වදාල සේක.

ඉහත සඳහන් සමාධි සූත්‍රයෙහි ම චිත්ත විශුද්ධිය (අර්පණා ධ්‍යාන) නො ලබා දිට්ඨි විසුද්ධි ආදිය පසු කොට අධිපඤ්ඤාධම්ම විදසුන් නුවණට පැමිණි යෝගාවචරයා ගැනැ පැවැසෙන බව සැලකිය යුතුය. චිත්ත විසුද්ධිය අර්පණාධ්‍යානය පමණක් නො වන බව එයිනුදු ඔප්පු වේ. එහෙයින් ධර්ම, ධර්ම විනිශ්චයෙහි දී සාහසික නොවී, ඉතා ඉවසිලිමත්ව, සුපරීක්ෂාකාරී විය යුතුව ඇත. නැත හොත් නාගයාගේ වල්ගයෙන් ඇල්ලීම වැනි අහිටු විපක ඇති වන බව ධර්මයෙහි දැක්වේ.

හොඳම පිළිතුර

නවකථා හෝ අන්‍යදර්ශනයන් මෙන් වරක් දෙකක් කියවා තේරුම් ගැනීම අපහසු නිසාදෝ අභිධර්මය බමුණු ගුඩු දහමෙකැයි ඇතැම් උගතුන් නගන ගෝරනාඩුවට හොඳම පිළිතුර මෙබඳු ලිහිල් බසින් අභිධර්මය එළි දැක්වීම බව පැවැසිය යුතුය. සැලකිලිමත් ව මේ බඳු ගැඹුරු දහම් ගත් පරිශීලනය කළ කෙනෙකුන් විසින් නම්, කිසි දිනෙකත්, එබඳු වැරදි දෘෂ්ටීන්ට නො බසිනු ඇත. මහත් ආයාසයකින් ප්‍රබල පරිශ්‍රමයකින් මේ බඳු ගණක් සැකසීමේ වෙහෙස දන්නෝ එබඳු ගත් සකසන්නෝ මය. එහෙයින් උගත් - නූගත්, යෝගී - අයෝගී හැමව අතිශය ප්‍රයෝජනවත් ශාසනෝපකාරී මහඟු ධර්ම ග්‍රන්ථයක් බෞද්ධ ලෝකයා වෙත ඉදිරිපත් කිරීම පිළිබඳ ව අපේ ආශීර්වාදය ත්‍රිපිටකාචාර්ය අපේ කැන්දලියද්දපාලුවේ ධම්මිස්සර ස්ථවිරයන් වහන්සේ වෙත පිරිනමමින් හැමට ශාන්තිය පතමි.

ශාසනජීතිකාමී,
යාගොඩ ධර්මප්‍රභ ස්ථවිර,
බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානය,
අලුත්ගම - බෝගමුව,
යක්කල.
25, 7. 72.

සම්පාදකයන්ගෙන්.......

මා හද වඩා ඇතිකළ දෙමාපියන් - භාෂා ශාස්ත්‍ර ඥාන දියුණු කරදුන් ආචාර්යය වරුගෙන් - දුර්ලභ ප්‍රව්‍රජ්‍යාව දෙවා වදාළ, අංචාර්යය උපාධ්‍යායන් වහන්සේලා - ධර්ම ඥානය ලබා දුන් ධර්මාචාර්යයන් වහන්සේලා, යන ශ්‍රේෂ්ඨ උත්තමයන්ටත් මවත් පින් පිණිස ධර්ම පුස්තකයක් ලිවීමේ අදහස මගේ යටිහිතේ පවතිද්දී, මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම සඳහා මූලික ආරාධනය අප ගුරු දේවයාණන් වහන්සේ ගෙන් ම සිදු කෙරිණි.

ලැබුණු මාතෘකාව (තෙසැත්තෑ ඤාණ කථා) අති ගම්භීර එකක් නමුත් ශක්ති ප්‍රමාණයෙන් සකස් කිරීමට මම දිරි ගතිමි. පුදුමයකි! මෙම කෘතියට මා හිතුවාටත් වඩා ඉතා කෙටි කාල සීමාවක් ඇතු ළතදී (මාසත්‍රයය යි) අවසානයකට පත්වීමි.

සාමාන්‍ය ධර්මයක් නමුත් පාඨක ලෝකයාට අවබෝධ වන සේ ලිවීම ඉතා දුෂ්කර බව අපි දනිමු. මෙම ග්‍රන්ථය හුදෙක් ශාන්ති නායක බුදුපියාණන් වහන්සේගේ අතිගම්භීර ප්‍රඥා සාගරය විස්තර වන්නක් හෙයින් කෙසේ ලියමි ද? නො හැකිමැයි. එහෙත් මා ගත් උත්සාහයේ ප්‍රතිඵල කෙතෙක් දුරට සාර්ථක විනිදැයි විමසීම ඥානවන්තයකට අයත් කර්තව්‍යයකි. මෙම ග්‍රන්ථයෙහි යම් යම් වරදක් ඇතොත් එය මට පැවරේවා! පැසසීමක් වෙතොත් එය මගේ ආචාර්ය්‍ය-උපාධ්‍යාය ආදී උතුමන්ට හැරේවා!

අනුස්මෘති:

සත් පුරුෂධර්ම දියුණු කිරීමෙහි ලා රැකවරණය සලසන සම්‍යක් දෘෂ්ටික දෙවිවරු - මෙවැනි කිසකට නිසි සේ ගුණ - නැණ දෙකින් වෙලුමාගේ ආචාර්ය්‍යත්තම වූ අතිගරු මැණික්දිවෙල ශ්‍රී දේවානන්ද මාහිමිපාණන් වහන්සේ - උපාධ්‍යාය ධුරන්ධර වූ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායේ මහානායක, අතිගරු වතුරුවිල ශ්‍රී ඥානානන්ද මාහිමිපාණන් වහන්සේ - නිඃශ්‍රයාචාර්යයන් වහන්සේ වූ, ශ්‍රී වජ්‍රඥාන ධර්මායතනයේ අධ්‍යක්ෂක අතිගරු අම්පිටියේ රාහුල ස්වාමීන් වහන්සේ - ධර්ම ශාස්ත්‍රයෙහි මා ශික්ෂිතයෙකු කළ මහරගම ශ්‍රී වජ්‍රඥාන ධර්මායතනයෙහි අනුශාසක ධුරීන, අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු පූර්වකාලීන ආචාර්ය්‍ය මණ්ඩලය - ආදර කරුණාවෙන් මා හද වඩා ඇති කළ මාගේ මෑ පියන් -

පැවිදි වූ මුල් අවධියේ පටන් කල්‍යාණ මිත්‍ර උතුමෙකු වූ ගරු තිබ්බටුවාවේ පියනන්ද ස්වාමීන් වහන්සේ - ග්‍රන්ථය ගැන පැසසුමක් ලියූ අග්ගමහා පණ්ඩිත සාහිත්‍යසූරී, පූජ්‍යතම බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ - මෙම ග්‍රන්ථය සංශෝධනය කිරීමෙන් හා ප්‍රස්ථාවනාවක් සපයා දීමෙන් මහඟු උපකාරයක් කල අභිධර්මවිශාරද, පූජ්‍ය යාගොඩ ධර්මප්‍රභ ස්වාමීන් වහන්සේ - ග්‍රන්ථ කරණ කාලසීමාව තුළදී කරුණාවෙන් ඇප - උපස්ථාන සැලැස් වූ පූජ්‍ය කැකුලන්දෙල විජයානන්ද ස්වාමීන් වහන්සේ, මුද්‍රණ ආරම්භයේ සිට ම සහාය දුන්, ගරු ගිනිගත්හේනේ ඤාණසීහ ආයුෂ්මතුන් වහන්සේ හා ගරු ඇරපොල විපස්සී ආයුෂ්මතුන් වහන්සේ - පෲෆ් බැලීමට සහාය වූ ගරු කටුබොඩ විජයවංස ආයුෂ්මතුන් වහන්සේ -

මුද්‍රණ කටයුතු සඳහා මා විසින් ඉදිරිපත් කළ, නියෝජිත පින්වතුන් - ඊට ආධාර සැපයූ මාලිගාතැන්නේ විවේක සේනාසනස්ථ දායක මහා සභාව - ඉතාමත් ලස්සන චිත්‍රයක් හා සාරානාථ බුද්ධප්‍රතිමාවේ බ්ලොක් එකක් නො මිලේ සාදා දීමෙන් මහඟු උපකාරයක් කළ, මීගමුවේ ඇන්. ඇස්. ගොඩමාන්න චිත්‍ර ශිල්පී මහතා - ග්‍රන්ථ මුද්‍රණ වියදම් දැරූ සියලු පින්වතුන් - කෙටිකාලසීමාවක් තුළ දී මනා ලෙස මුද්‍රණය කර දුන් මරදානේ සමශ්‍රවර්ධන මුද්‍රණාලයේ කළමනාකාර මහතා ඇතුළු එහි සේවක පිරිස -

මෙතෙක් ගිහි-පැවිදි සත්පුරුෂ සැමදෙන කෘතඥතාවයෙන් යුක්තව පින් පවරමින් සමරමි.

අප හැමට නිවන් සුව සැලසේවා!

(සැලකිය යුතු :- ග්‍රන්ථය පරිශීලනය කරද්දී පොතෙහි අග ඇති ශුද්ධි පත්‍රය ද බලන්න.)

කැන්දලියද්දපාලුවේ ධම්මිස්සර
විවේක සෙනසුන
මාලිගාතැන්න,
බූත්පිටිය.
1972 ජූලි 25.