හියුං සියං භ්රමණවෘත්තාන්තය - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf
- කතෘ :
- හියුන් ත්සාං හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2012
- මුද්රිත වර්ෂය :
- 2012
- පිටු ගණන :
- 516
- බාගත කිරීම් ගණන :
- 6,644
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-25
- ගොනුවේ ප්රමාණය :
- 95 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
චීනතෙරුන්ගේ ගමන් විස්තර හා හියුං සියං භ්රමණවෘත්තාන්තය යනු ක්රි.ව. 7 වන සියවසේදී (ක්රි.ව. 629) චීනයේ සිට දඹදිවට වැඩම කළ හියුන් ත්සාං (හියුං සියං / Hiuen Tsiang) මහා තෙරුන්ගේ සුප්රකට දේශාටන වාර්තාව සහ ජීවන චරිතය ඇසුරින් සම්පාදිත සිංහල පරිවර්තනයකි. අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමිපාණන් විසින් මෙය සිංහලයට නගන ලදී.
හියුන් ත්සාං හිමිගේ ගමන් වාර්තාව වූ ‘Buddhist Records of the Western World’ (සැමුවෙල් බීල් පරිවර්තනය ඇතුළු මූලාශ්ර) සහ උන්වහන්සේගේ ජීවන චරිතය ද පදනම් කරගනිමින්, චීනයේ බුදුදහම පැතිරීම, එවකට භාරතයේ හා ඒ අවට පැවති බෞද්ධ රාජධානි, විශ්වවිද්යාල (විශේෂයෙන් නාලන්දා විශ්වවිද්යාලය), සිද්ධස්ථාන, සිරිත් විරිත් සහ ශාසනික තොරතුරු රැසක් මෙහි සවිස්තරාත්මකව ඇතුළත් වේ. එමෙන්ම ශ්රී ලංකාවේ ඉතිහාසයට හා සිංහල ජන සම්භවයට සම්බන්ධ අතිශය වැදගත් ඓතිහාසික කරුණු කිහිපයක් ද මෙහි සාකච්ඡා කර ඇත.
මෙහි අඩංගු ප්රධාන මාතෘකා හා පරිච්ඡේද කිහිපයක්:
- චීනයේ බෞද්ධාගම පැතිරීම හා භාරතයට ආ චීන භික්ෂූන්ගේ විස්තර
- හියුං සියං තෙරුන්ගේ ජීවන චරිතය හා දඹදිවට යාම
- දඹදිව සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම් හා පාලන ක්රම
- උද්යාන, තක්ෂිලා, කාශ්මීර, මථුරා ආදී රාජ්යයන් පිළිබඳ විස්තර
- කන්යාකුබ්ජය සහ හර්ෂවර්ධන (ශීලාදිත්ය) රජුගේ පුවත්
- ශ්රාවස්ති, කුසිනාරා, බාරාණසි, වෛශාලී හා මගධ දේශ විස්තර
- අශෝක රජු පිළිබඳ තොරතුරු සහ නාලන්දා මහා විද්යාලය
- සිංහල දේශය (ලක්දිව) හා සම්බන්ධ ප්රවෘත්ති
මෙම සයවන මුද්රණය 2012 වසරේදී කොළඹ රත්න පොත් ප්රකාශකයන් විසින් ප්රකාශයට පත් කරන ලද අතර, මුද්රණය බත්තරමුල්ලේ රත්න ප්රින්ටර්ස් ආයතනය මගින් සිදු කර ඇත.
ප්රශංසා
හියුං සියං භ්රමණවෘත්තාන්තය වනාහි අද්භූත ගමන් විස්තරයෙකි. ආගමශ්රද්ධාව, අප්රතිහතධෛර්ය්ය, ස්ථානෝචිත ප්රඥාව පිළිබඳ ආදර්ශවත් චරිතයකින් හෙබි චීන තෙරනමකගේ දීර්ඝ වන්දනාගමනක් විස්තරවන්නාවූ මේ යාත්රාචරිතය රෝමෝද්ගමය කරවනසුලු සිද්ධීන්ගෙන් ගහනය. දේශාටනයෙන් ලදහැකි මහඟු ප්රතිඵල විදහා පෑ මෙබඳු ගමන්වාර්තා ප්රචාරය කිරීමට විදේශීයන් අතර මහත් උද්යෝගයක් ඇත ද ලාංකිකයන් එහි ලා උදාසීනවනු පෙනේ. එසේද වුවත් හියුං සියං භ්රමණවෘත්තාන්තය වැනි ආදර්ශවත් ගමන් වාර්තාවක් සිංහලයෙන් සම්පාදනය කොට පළකරවීමෙන් පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිරයන් විසින් කරන ලද්දේ කාලෝචිත සාහිත්යසංග්රහයක් බව සලකම්හ.
මේ බවට-මිත්ර, පෑලියගොඩ විද්යාලංකාර පරිවේණාධිපති, L. Sri Dharmananda. C. H. P.
L. Sri Dharmananda, C. H. P.
වචනයක්
අම්බලම්ගොඩ - පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ, අග්ගමහා පණ්ඩිත, මහාචාර්ය පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත මහානාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද, හියුං සියං භ්රමණ වෘත්තාන්තය 1961 වර්ෂයේ මුද්රණය කර ඇත. එම ග්රන්ථය සිව්වෙනි වරටත් මෙම 2000 වර්ෂයේ එළි දැක්වීමට ලැබීම ඉමහත් භාග්යයක් කොට සළකමි. ලාභාපේක්ෂාවෙන් තොරව, රත්න පොත් ප්රකාශන ආයතනය මගින් මෙම මා හැඟි ග්රන්ථය මෙලෙස මුද්රණය කොට, ප්රකාශනය කිරීම සම්බන්ධයෙන්, අපගේ කෘතඥතාවය පුද කරනු කැමැත්තෙමි. මෙවැනි උත්කෘෂ්ට කාර්යන් ගැන මැනවින් උනන්දුවන රත්න පොත් ප්රකාශන සමාගමේ අධ්යක්ෂතුමාට ද සෙසු කාර්ය මණ්ඩලයට ද අපගේ ස්තූතිය පුද කර සිටිමි.
මෙයට, සසුන් ලැදි (ශාස්ත්රවේදී, නින්දානේ වජිරඤාණ මහා ස්ථවිර) අග්ගාරාමය, පොල්වත්ත, අම්බලම්ගොඩ. 2000 - 07 - 01
සසුන් ලැදි (ශාස්ත්රවේදී, නින්දානේ වජිරඤාණ මහා ස්ථවිර), අග්ගාරාමය, පොල්වත්ත, අම්බලම්ගොඩ. 2000 - 07 - 01
විශේෂ නිවේදනය
ලෝකයෙහි පවත්නා භ්රමණවෘත්තාන්තයන් (-ගමන්-විස්තරයන්) අතුරෙහි අතිශ්රේෂ්ඨ ස්ථානය ලබාසිටින මේ පොත සිංහලට නැගීමේදී හැකිතරම් කොටවචන යෙදීමටත්, වාක්යයන් හැකිතරම් ලුහුඬු කිරීමටත් උත්සාහ ගතිමි. මේකල සිංහල ගිහිපැවිදි බොහෝ දෙනෙක් ‘ස්වාමිපාදයන් වහන්සේ’ ආදි දික්වූ ගෞරව පදයන් යෙදීමට පුරුදුව සිටිත්: ඒවා නොයෙදීම ගැන නො සතුටු වෙත්. එය වනාහි පිරිහුණු ජාතියක ලකුණකි. පාලියෙහිත් පුරාණ සිංහලෙහිත් එවැන් දික් පද යෙදීමක් නොපෙනේ. මහරහත් අගසව් සැරියුත් මහතෙරණුවන්ට යොදා තිබෙන විශේෂණ පදය ‘ආයස්මා’ යන්න පමණකි. නාගසේන මහතෙරුන්ගේ නම දක්වන අටුවාවල ‘තෙනාහ ථෙරො නාගසෙනො’යි ස්ථවිර නාමයෙන් පමණක් වෙසෙසා තිබේ. පරණ සිංහල පොත්වල ද ‘වනරත්න මාහිමි’ ආදි වශයෙන් ඉතා කොට වෙසෙසුන් පද යොදා තිබෙනු පෙනේ.
මේ කරුණු සලකා අප විසින් මෙහි හැකිතරම් කොටවූ විශේෂණ පද යොදන ලදී. එය උතුමන් කෙරෙහි ගෞරවය අඩු කමින් කරන ලද්දෙකැයි වරදවා නොසිතිය යුතු. ස්ථවිරවරුන් ගැන නිතරම කියවෙන මේ පොතේ ‘වහන්සේ’ යන්න දහස් පලක යෙදුවහොත් ඒ සඳහා කෙතරම් අකුරුත් කඩදාසිත් වියදම් වේදැයි සලකා බලනු මැනවි. අප විසින් ඒ වචනය යෙදීම බොහෝ අඩු කොට ‘තෙරපාණෝ’ ‘තෙරණුවෝ’ ආදිය යොදන ලදී. ‘සර්වඥයන් වහන්සේ, තථාගතයන් වහන්සේ’ ආදිය දික් බැවින් ඒ වෙනුවට ‘බුදුරද’ යන්න බොහෝවිට යෙදුවෙමි. ඉතා ලුහුඬු වචනවලින් යුතුව තිබුණු සිංහලභාෂාවට සීමාරහිතව සංස්කෘත වචන ගැනීම නිසා එය දැන් දික් වචනවලින් යුත් භාෂාවක් වී තිබේ. ‘සම්ප්රාප්තවී’ යන සංස්කෘත වචනයට වඩා ‘පැමිණ’ යන වචනය හැම අතින්ම යෝග්ය වේ. විශාල පොතක් ලිවීමේදී එවැනි කොට වචන තෝරා ගැනීමෙන් ලැබෙන ලාභය බොහෝ දෙනෙකුත් නොසලකතත් එය කෙරෙහි නුවණැත්තන්ගේ සිත් යොමු කරවීමට කැමැත්තෙමි. මෙසේ ලුහුඬු වචන තෝරා ගත් නමුත් භාෂාවේ අලංකාරය නො නැසෙනසේ ඇතැම් තැනදී දික් වචන යෙදීමටත් අපට සිදුවිය.
භික්ෂූන්ගේ ඉංග්රීසි ඉගෙනීමට විරුද්ධ ගිහියෝ තවමත් දුර්ලභ නොවෙත්. ඔවුන්ගේ ජීවිකාවෘත්තිය භික්ෂූන් විසින් පැහැරගනු ලැබෙය යන බියක් ඔවුන් තුළ පවත්නා සේ පෙනේ. විභාගවලින් සමත්වූ දහස් ගණන් තරුණයන් වැඩ නැතිව සිටින මේ කාලයෙහි ජීවිකාවෘත්තියක් බලාපොරොත්තුවෙන් ඉංග්රීසි ඉගෙනගන්නට සිතන තරමේ භික්ෂූහු ඇතැයි නොසිතමි. ‘භික්ෂූන් ඉංග්රීසි ඉගෙනගන්නේ කුමටදැ’යි බොහෝ දෙන අසත්. ඒ ප්රශ්නයට දියයුතු එක් පිළිතුරක් නම් මේ පොතය. අපරට ගිහියන් ඉංග්රීසි ඉගනීම පටන්ගෙන අවුරුදු 100 ක් ඉක්ම ගියේය. ඔවුන්තර ව්යක්ත ඉංග්රීසි කථිකයෝ ඇතිවූහ. නමුත් මෙතෙක් කල් ගතවෙන තෙක් සිංහලයන්ගේ ශාස්ත්රඥානය දියුණුවීම පිණිස මේ පිරිස විසින් ශාස්ත්රීය පොත් කීයක් සිංහලට නගන ලද්දේ ද? ලෝකයේ හැමතැන ප්රකට ‘මාර්කෝ පොලෝ’ ගේ ගමන් විස්තරය වැනි විශාල නොවූ පොත් වත් තවම සිංහලට අනුව්රත නොවුහ. භික්ෂූන් හොඳින් ඉංග්රීසි උගත හොත් (කලින් සිංහල ඉගෙන සිටින බැවින්) මෙවැනි සියගණන් ශාස්ත්රීය සංග්රහයන් කළහැකි බවට මේ පොත ශාක්ෂ්යයකි.
උගතුන් පොත් ලිව්වත් ඒවා පළකරවීමට මං සුලභනොවීම ලක්දිව අමුතුවෙන් නිපදවන පොත් අඩුවීමට එක් හේතුවකි. පොත් වෙළෙන්දෝ ප්රකට විකිණෙන පොත් මිස අප්රකට අළුත් පොත් මුද්රණයට කැමැති නොවෙත්. අලුත් පොත් ලිවීමට හෝ මුද්රණයට ආණ්ඩුවෙන් හෝ අන්කිසි සමිතියකින් ආධාරයක් හෝ අනුබලයක් නො ලැබේ. උගතා බොහෝවිට නිර්ධනයකු බැවින් පොත් පළකරවීමට පහසුකම් නොයොදා පොත් සුලභ නොවීම ගැන උගතුන්ටම දෝස් පැවරීම නො මැනවි.
මේ පොත වනාහි එක් පොතකින්ම පෙරළන ලද්දක් නොවේ. විඥාපනයෙහි පෙනෙන චීනයේ බෞද්ධාගම පැතිරීම, භාරතයට පැමිණි චීනපණ්ඩිතයන්ගේ විස්තර ආදිය අයිසිං තෙරුන්ගේ පොත් ආදියෙන් උපුටාගන්නා ලදී. ඇතැම් අඩෝලිපි අප විසින් සපයන ලදහ. ප්රාරම්භයෙහි ඇතුළත් කරුණු හියුංසියං ජීවනචරිතයෙනි. මෙසේ වෙහෙස නොතකා පාඨකයන්ට මනා අවබෝධයක් ඇතිවන සේ නොයෙක් පොත් ආශ්රයෙන් මෙය සම්පාදිතයි.
මෙය ඉංග්රීසි පොතේ වචනානුගත පරිවර්තනයක් නොවුවත් ඒ පොත පළකළ කීගන්පෝල් ට්රැන්ච් ටෲබ්නර් සමාගමෙන් ඒ සඳහා නීත්යානුකූල අවසරය ලබාගත්තෙමු.
මෙහි අග කොටසේ ඇතුළත් බොහෝ කරුණු ලාංකික බෞද්ධයන්ට විශේෂයෙන් ප්රයෝජනවත් වෙති. ශාක්ය ජනපදය -මගධරට-ජේතවන-වේළුවන-ඉසිපතන-බුද්ධගයාදිය මින් අවුරුදු 1300 කට පෙර පැවති තත්වය ද නාලන්දා මහා විද්යාලය පිළිබඳ විස්මයජනක විස්තර ද තුන්දහසක් භික්ෂූන් විසූ මහා බෝධි සංඝාරාමය සිංහල රජකු විසින් කරවූ සැටි ද මෙහි දැක්වේ. අශෝක මහරජු පිළිබඳ පෙර නොඇසූ විස්තර ද මෙහි වෙති.
සිංහලයන්ගේ මූලාරම්භය සම්බන්ධ ඉතිහාස ප්රවෘත්ති දෙකක් ඒකාදශම පරිච්ඡේදයෙහි පෙනේ. ඉන් එකක් මහාවංශයෙහි කියවෙන පුවතට ළංව යයි. අනික ‘සිංහල’ නම් වෙළඳකු මෙරට රකුසියන් මරා රාජ්යය අත්පත් කරගැනීම පිළිබඳ අමුතුම කථාවකි. මේ දෙකම චීනතෙරුන්ට හමුවූ සිංහල තෙරවරුන්ගෙන් දැනගෙන ලියූ බැවින් නොසලකා ඉවත දැමිය හැකි නොවේ. ක්රි: ව: 640 ට ආසන්න කාලයේ දී ලක්දිව රාජ්ය විප්ලවයක් ඇතිවූ නිසා බෝධිමේඝේශ්වර, අභයදංෂ්ට්ර (=දඨාභය?) යන ස්ථවිර දෙනම ප්රමුඛ 300 ක් සිංහල භික්ෂූහු දඹදිවට ගියහ. කාඤ්චීපුරයේදී චීනතෙරුන්ට මුණගැසුණු මේ තෙරවරුන්ගෙන් අසා දැනගත් පරිදි එතුමන් මේ ප්රවෘත්ති ලියූ බව පිළිගත යුතුයි.
සිංහලයෝ ගන්ධාරයෙන් ආවෝ ද ?
විජය කුමරුගේ මුල්භූමිය දඹදිවයයි කවුරුත් පිළිගන්නා නමුත් උපන් පෙදෙස ගැන මතභේද පවතී. ඇතැම් කෙනෙකුන් එය පූර්ව භාරතයෙහි වංගාදි දේශයකැයි කියන අතර තවත් කෙනෙක් බටහිර ඉන්දියාවේ පෙදෙසකැයි කියත්. උත්තර භාරතයේ වයඹදෙසැ දුරසට පෙදෙසකින් ඒ පිරිස ආ බවක් කිසිවකු විසින් කියනලදැයි නොදනිමි. පෙර ගන්ධාරයට අයත්ව පැවති පෙදෙසකින් සිංහලයන්ගේ පැමිණීම සිදුවූයේය යන ප්රවෘත්තියක් අප විසින් ඉදිරිපත් කළහැකිව තිබේ. එය දැනගන්ට ලැබුණේ විස්මයජනක ආකාරයකිනි:
‘දඹදිව බෞද්ධ ඉතිහාසය’ නමැති ටිබැට් පොතේ බෞද්ධාගම ගැන දැක්වූ අනාගතවාක්ය සමූහයක් වේ. මා විසින් ඒ අනාවැකි සිංහලට නගා කලකට පෙර ‘ප්රභාෂෝදය’ සඟරාවෙහි පළකරවන ලදී. ඒ ලිපිය 1939 පෙබරවාරි 11 වෙනිදා ‘සිංහලබෞද්ධයා’ පත්රයේ පළවූයෙන් එය දුටු ජොහොර්බරුවේ නැවතී සිටින ඇම්. ඩී. ඒ. ගුණතිලක නම් සිංහල මහතකු විසින් මා වෙත ලිපියක් එවන ලදී. එයින් දැක්වෙන්නේ ගන්ධාර (-කන්දහාර්) දේශයෙහි වැසියන් අතර සිංහලයන් එරටින් ලක්දිවට ආ බවට පරම්පරාගත කථාවක් පවත්නා බවත්, අදත් ‘හිංගල’ නම් පෙදෙසක් එහි තිබෙන බවත්ය. ගුණතිලක මහතාට මේ කාරණය දන්වා තිබෙන්නේ ‘කන්දහාර්හි’ විසූ අමීර් රජතුමාගේ පුත්රයකු වූ ද අෆ්ගනිස්ථානයේ විසූ ‘අමනුල්ලා’ රජුගේ සුළුපියකු වූ ද ‘කර්නල් සර්දාර් ඉක්බාන් ඇලි අයුබ්ඛාන්’ කුමාරයා විසිනි. මෙකුමරා ඉංග්රීසි ආණ්ඩුවෙන් කේ. සී. ඇම්. ජී. ගරුනාමය ද ලැබුවෙකි. සිංහලයන්ගේ මූලස්ථානය ‘සිංග්ලිප්’ “Singlip” නමින් අදත් එහි තිබෙන බවත්, එහි පුරාණ නම ‘සිංගල’ බවත්, ටොලමිගේ භූගෝල සටහනෙහි Singala යයි තිබුණ බවත් ඒ ලිපියෙහි කියවේ.
මේ ලිපියෙහි පමණක් නොව භ්රමණවෘත්තාන්තයේ 139 වෙනි පිටෙහිත් තක්සලාවේ සිට 20 දිනකින් පයින් යාහැකි තැනක ‘සිංහපුරයක්’ පිහිටි බව දැක්වේ. එය ගන්ධාරයෙන් ගිනිකොණ දෙසැ පිහිටි පෙදෙසෙක් යයි ද ‘නිර්භයත්වය උසස් කොට සලකන කෲර වූ මෙරට වැසියෝ වංචනිකයෝ’ යි ද එහිම කියවේ. විජය කුමරා කෲරයකු බව අපේ ඉතිහාසයෙනිත් සිංහපුරවාසීන් කෲරයන් බව භ්රමණවෘත්තානයෙනිත් පෙනේ. මේ ගැලපීම සැලකිය යුත්තකි. භ්රමණවෘත්තානයෙහි කියවෙන සිංහල වෙළඳ ද උතුරු දඹදිව බොහෝ දුරවූ පෙදෙසකින් පැමිණියාසේ ඒ ප්රවෘත්තිය කියවන විට වැටහේ. සිංහපුරවාසීන් මුදට යායුත්තේ සින්ධුනදිය මගිනි: එවිට ඔවුන් ලක්දිවට පැමිණියහැක්කේ දඹදිවට බටහිරින් පිහිටි මුහුදමගිනි. සින්ධුගංගොමෝයෙන් මුදට පැමිණි ඒ පිරිස බටහිර ඉන්දියාවේ සුප්පාරකාදි තොටකට ගොඩබැසීම පහසුවෙන්ම සිදුවිය හැක්කකි.
තවද (විජය) සිංහකුමරුන්ගේ සොහොයුරිය සහිත පිරිස නංවා පාකොට යවනලැබූ නැව පර්සියාවට පැමිණියෙන් ඔවුන්ගේ පරම්පරාව විසූ පෙදෙස ‘බටහිර ස්ත්රීරාජ්යය’ යි ප්රකටවූ බව මේ භ්රමණ වෘත්තාන්තයෙහි කියවේ. සින්ධුගංගමෝයෙන් බටහිරට ගිය විගසම පර්සියාවට පැමිණියහැකි බැවින් ඒ පිරිස ඉන්දියාවේ වයඹ දෙසින් නික්මගියේයයි පිළිගැනීම ඉතා පහසුය.
මෙපමණක් නොවේ: යට නම් දැක්වූ ටිබැට් පොතෙහි:- ‘උත්තරසීමාවෙහිවූ හිංගල නම් ගමෙහි මාගේ දන්තධාතුව අතිගෞරවයෙන් පුදනු ලබන්නේය’ යි කියවේ. උත්තර භාරත දේශසීමාවේ ‘හිංගල’ දේශයක් පිහිටි බව මෙයින් පැහැදිලියි. මේ හිංගලය ගන්ධාරය අසළ පිහිටි බව උඩින් කී කරුණුවලින් ස්ඵුටවේ. ගන්ධාරයෙහි දන්තධාතුවක් තිබුණු බව,
‘එකා දාඨා තිදසපුරෙ, එකා නාගපුරෙ අහු, එකා ගන්ධාරවිසයෙ, එකාසි පුන සීහලෙ’
යන පරණ ගාථාවෙන් ද පෙනේ. හිංගලයන් හා දන්තධාතුවක් ගැන කියවෙන බැවින් මෙය විමසිය යුත්තකැයි අප විසින් සඟරාවේ පළකළ ලිපියේ අඩොලිපියක් විය. එය දැන් අපටම විසඳගන්ට හැකිවීම ප්රීතියට කාරණයකි.
‘කාබුල්’ රටත් මේ අසළම බව සිහි නැති නොකළ යුත්තකි. බුදුන් පිරිනිවිකල ධාතු ගෙනයන්ට ආ රජපිරිස් අතරෙහි ‘අල්ල-කප්ප-කාබුල්’ යන දෙකොටසකගේ නම් ද පෙනෙත්. ‘කාබුල’ යන්නෙන් ‘කාබුල්’ රටවැස්සන් අදහස් කරන ලදී. ධාතුරාශියක් ගෙනගිය එරටෙහි දන්තධාතුවක් තිබීම සිදුවිය නොහැකි නොවේ. අසළ පිහිටි කුඩා රටවල් නොයෙක්විට ගන්ධාරයට යටත්වූ බැවින් ගන්ධාරයෙහි දළදාවක් තිබෙයයි කීමෙහි වරදක් නැත.
අවන්තිරට
සෝණකුටිකණ්ණ තෙරුන්ගේ ජන්මභූමියවූ අවන්ති දේශය ගැන පාලිපොත්වල ‘අවන්තිදක්ඛිණාපථො’යි දැක්වෙන බැවින් එය ඉන්දියාවේ දකුණේ පිහිටි රටක්ය යන අවබෝධයක් තිබුණි. එය එසේ නොවන බවත් එය උතුරු වයඹදෙස ඇතැ සින්ධුදේශය අසළ පිහිටි රටක් බවත් මේ අවසාන භාගයේ 424 වෙනි පිටේ කියවෙන කරුණුවලින් පෙනේ. ඒ අසළ පිහිටි මහාකාත්යායනාරාමයක් ගැනත් එහිදී භික්ෂූන්ට සෙරෙප්පු පාවිච්චියට අවසරදීම ගැනත් කියවේ. කුටිකණ්ණතෙරුන්ගේ ආචාර්ය්යවරයා මහාකාත්යායන තෙරණුවෝ ය. අවන්ති දක්ෂිණාපථයයි කියනු ලබන්නේ අවන්ති රටේ දකුණු පෙදෙස වියයුතුයි.
මීට, පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර 12.12.1952 අම්බලම්ගොඩ අග්ගාරාමයේ දී ය.
මීට, පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර, 12.12.1952, අම්බලම්ගොඩ අග්ගාරාමයේ දී ය.