සිතුවම් සහිත පන්සිය පනස් ජාතක පොත 1.pdf
- ප්රකාශිත වර්ෂය :
- 1961
- මුද්රිත වර්ෂය :
- 2010
- පිටු ගණන :
- 1,000
- බාගත කිරීම් ගණන :
- 33,899
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-24
- ගොනුවේ ප්රමාණය :
- 118 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සිතුවම් සහිත පන්සිය පණස් ජාතක පොත (පළමුවෙනි කාණ්ඩය) යනු පාලි ජාතකට්ඨකථාව ඇසුරෙන් සිංහලයට නැගුණු සම්භාව්ය පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ මුල් ජාතක කථා ඇතුළත් සංස්කරණයකි. මෙහි සංශෝධන කටයුතු සිදුකර ඇත්තේ විද්යොදය විශ්වවිද්යාලයේ ප්රවීණ පුස්තකාලයාධිපති ධුරය හෙබවූ පණ්ඩිත වේරගොඩ අමරමොලි නායක ස්වාමීන්ද්රයන් වහන්සේ විසිනි.
පොතෙහි සංඥාපනයෙහි සඳහන් පරිදි ජාතක කථාවල ආකෘතිය වන නිදානය, වර්තමාන කථාව, අතීත කථාව, ධර්ම ව්යාකරණය සහ සමෝධානය යන අංග පහ පිළිබඳවත්, එහි ඇති සරල හා මධුර භාෂා ශෛලිය පිළිබඳවත් විස්තර කර ඇත. මෙම මුල් කාණ්ඩයට අපණ්ණක ජාතකයේ සිට තිත්ථ ජාතකය දක්වා වූ මුල් ජාතක කථා පෙළ ඇතුළත් වේ.
මෙම කෘතියේ ප්රථම මුද්රණය 1961 දී ශ්රී ලංකා ප්රකාශක සමාගම වෙනුවෙන් ජී. පී. ඩී. ජිනදාස මහතාගේ මූලිකත්වයෙන් පළ වූ අතර, මෙම සංස්කරණය තායිවානයේ The Corporate Body of the Buddha Educational Foundation ආයතනය මගින් ධර්මදානය සඳහා 2010 වසරේදී නොමිලේ බෙදාහැරීම පිණිස මුද්රණය කරවා ඇත.
සංඥාපනය
“පන්සිය ජාතක පොත්වහන්සේ” යයි සිංහල බෞද්ධ ජනසමූහයාගේ අතිශය ගෞරවයට පාත්ර වූ සිංහල ජාතක පොත වනාහි පාලි ජාතකට්ඨ කථාවේ සිංහල පරිවර්තනයකි.
ජාතකට්ඨ කථාවේ සම්පූර්ණ පරිවර්තනය එක කාලයක දී වත් එක් කෙනෙකුන් විසින් වත් කරණ ලද්දක් නො වන බව එහි දැක්වෙන භාෂා විලාසයෙන් මනාව පැහැදිලි වේ. හැම ජාතක කථාවක් ම නිදානය, වර්තමාන කථාව, අතීත කථාව, ධර්ම ව්යාකරණය, සමෝධානය යන කොටස් පහකින් යුක්ත වේ. හැම පරිවර්තකයකුම මේ ක්රමය දිගට ම ගෙන ගිය බැව් පෙනේ.
නිදානය: “එක් සමයෙක්හි බුදුහු දෙව්රම් වෙහෙර වැඩවසන සේක් භාවනා කිරීමෙහි හරණ ලද වීර්ය්ය ඇති භික්ෂු කෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.
වර්තමානකථාව: “බුදුරජානන් වහන්සේ සැවැත් නුවර වසන කල්හි එම නුවර වසන්නා වූ එක් කුලපුත්රයෙක් ජේතවනාරාමයට ගොස් බුදුන්ගෙන් බණ අසා රත්නත්රයෙහි ප්රසන්න වූ සිත් ඇතිව කාමයෙහි ආදීනව හා ප්රව්රජ්යාවෙහි අනුසස්............”
අතීත කථාව: “යටගිය දවස කසීරට බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රජ්ජය කරණ කල්හි අපමහබෝසතාණෝ සාත්තු නායක කුලයෙහි පිළිසිඳ ගෙණ............”
ධර්ම ව්යාකරණය: “මෙසේ නැවතත් ධර්මදේශනා කොට දුඃඛය සමුදය නිරොධය මාර්ගයයි කියන ලද චතුරාර්ය්ය සත්යය ප්රකාශ කොට වදාළ සේක.”
සමෝධානය: “ශාස්තෲ වූ බුදුරජානන් වහන්සේ අතීත කථාවත් වර්තමාන කථාවත් දෙක එක්කොට අනුසන්ධි ගළපා එසමයෙහි මරුකතර ගියා වූ සෙසු පිරිස නම් දැන් මේ බුදු පිරිස් වන්නාය. එසමයෙහි සාත්තුනායක පුත්ර නම් දැන් තිලෝගුරු සම්යක් සම්බුදුරජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.”
හැම ජාතක කථාවක ම මෙම ක්රමය නො වෙනස්ව පවතී. එහෙත් ඒ ඒ කොටස්වල පෙනෙන භාෂාවිලාස විසදෘශතාවයෙන් මෙය බොහෝ කර්තෲවරුන්ගේ කෘතියක් බව පැහැදිලි වේ.
භාෂාව වනාහි මධුරය, සරලය, අසන්නන් ප්රිය කරණ සුලුය අර්ථ ගාම්භීර්ය්යයෙන් තොරය. හැම ක්රියාකාරක සම්බන්ධයකම වාගේ අන්තර වාක්ය කීපයක් පවන්නේය
“ඒ ලෝභී වෙළෙඳ තලිය අතින් ගෙණ, ‘රන්තලියක් වනා’යි තලිය පිට ඉදිකටුවෙන් හිරක් ඇඳ රන් බව දැන ‘මොවුන්ට කිසිවක් නො දීම මේ තලිය ගෙණ යෙමි’ සිතා ‘මේ තලිය කුමක් අගී ද? අඩ මදටකුත් පමණ මේ තලියට මිල නැත්තේ ය’යි කියා බිමට දමා උනස්නෙන් නැගී ගියේය.”
“ලෝභී වෙළෙඳ නැගී ගියේ ය.” යන මේ ප්රධාන වාක්යය ඇතුළේ අන්තරවාක්ය කීයක් තිබේදැයි සසඳන්න. ජාතක පොත මුළුල්ල ම මෙ බඳු යෙදුම් වලින් ගහනය.
මුල් ජාතක කථා 50 කින් යුක්ත වූ මෙම කොටස ශ්රී ලංකා ප්රකාශක පොත්හල අයිතිකරු වූ සද්ගුණවත් ජී. පී. ඩී. ජිනදාස මහත්මයාගේ ආරාධනය පරිදි අපි සකස්කරලිමු. එහෙත් අනවකාශ මධ්යයෙහි මෙය නිමකරන්ට සිදු වූ හෙයින් යම්කිසි ප්රමාද දෝෂාදියකින් සිදුවූවක් ඇතොත් එහි දී ක්ෂමාව භජනය කරත්වා. මෙය මුද්රණද්වාරයෙන් ප්රකාශයට පැමිණ වූ ජී. පී. ඩී. ජිනදාස මහත්මයාට නිරෝග සුවය ලැබේවා.
වේරගොඩ අමරමෞලි නායක ස්ථවිර
1961, 4, 7 දින
විද්යොදය විශ්වවිද්යාලයේදී ය.