සිත නිවන නිස්සරණ වන අරණ - නාලිනී සුසිලා.pdf

කතෘ :
නාලිනී සුසිලා දිසානායක
ප්‍රකාශිත වර්ෂය :
2003
මුද්‍රිත වර්ෂය :
2003
පිටු ගණන :
128
බාගත කිරීම් ගණන :
3,575
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-17
ගොනුවේ ප්‍රමාණය :
12 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 65

සිත නිවන නිස්සරණ වන අරණ යනු ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික මීතිරිගල නිස්සරණ වන සේනාසනය හා එහි වසර 35ක ඉතිහාසය, ප්‍රතිපත්ති පූජාවන් සහ සෙනසුන් තතු විස්තර කරමින් නාලිනී සුසිලා දිසානායක මහත්මිය විසින් සංස්කරණය කරන ලද ග්‍රන්ථයකි.

මෙහි අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහානාහිමි, අතිපූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහානාහිමි, පූජ්‍ය පානදූව ඛේමානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය විසින් ආරාමික භාවනා පිළිවෙත් සහ ශාසනාරක්ෂාව උදෙසා ඉටුකළ සේවාව විස්තර කෙරේ. විශේෂයෙන්ම නිස්සරණ සේනාසනාධිපතිව වැඩවිසූ පානදූව ඛේමානන්ද හිමියන් විසින් සම්පාදිත ‘නිස්සරණ පටිපදා’ කෘතියේ කොටස් සහ ව්‍යවස්ථා ද මෙහි ඇතුළත් කර ඇත.

පොතෙහි ප්‍රධාන මාතෘකා අතරට:

  • නිවන් පිළිවෙත හා වන සෙනසුන්
  • නිස්සරණ වන තතු හා ව්‍යවස්ථා
  • නිස්සරණ පටිපදා
  • නිස්සරණයේ නිර්මාතෘවරයාණෝ සහ මීතිරිගල මිණි පහන
  • අපේ කුසල් පෙරහැර හා අප ඇසූ නිස්සරණ බණ

මෙම කෘතිය ක්‍රි.ව. 2003 දී ලෝලුවාගොඩ සහ ඇටඹේ මීතිරිගල නිස්සරණ වන දාන දායක සමිතිය මඟින් ධර්මදානය පිණිස ප්‍රකාශයට පත් කරන ලද්දකි.

පෙරවදන - I ධර්ම ප්‍රාතිහාර්යය

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු සම්පාදක සහ ප්‍රධාන අනුශාසක වූද මීතිරිගල නිස්සරණ වන සංරක්ෂක සංඝ සභාවේ ප්‍රධාන වූද රාජකීය පණ්ඩිත අති පූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මහා ස්ථවිර පාදයන් වහන්සේ විසිනි.

අද අපට ලැබී තිබෙන්නේ ප්‍රාතිහාර්ය ජීවිත වාසනාවකි. ප්‍රාතිහාර්ය, සමාපත්ති ආදී ඇතැම් වචනවල ඉහළම තේරුම සලකා පැරණි කෞතුක වස්තු මෙන් අයින්කර ඇති සේ වැටහෙයි. ඇත්ත වශයෙන්ම අපත් මේ පවත්වන්නේ ධර්ම ප්‍රාතිහාර්ය නොවේදැයි සිතට දැනී යන්නේ එහි අවිපරීත රූපී ආධ්‍යාත්ම අනුස්මෘතියෙනි. අසිරිමත් ඇතුල් තතු සිහි කිරීමෙනි. භාවිත සිතේ විශ්මයාචහ ක්‍රියාකාරිත්වයයි ප්‍රාතිහාර්ය යන පදයෙන් පැහැදිලි වන්නේ.

මේ බුදු සස්නේ ප්‍රාතිහාර්ය පෑමෙන් අග්‍ර ස්ථානයට පත් උතුමා මුගලන් මහ රහතන් වහන්සේය. උන්වහන්සේ එක් දිනක් ප්‍රාතිහාර්ය ගමනක් වැඩියාහ. ඒ තව්තිසා දෙව් ලොවටය. සක් දෙවිඳුන් සමඟ ධර්ම සාකච්ඡාවකට වැඩිය ඒ ගමනේදී සිදු වූයේ පුදුම දෙයකි. මුගලන් මාහිමියන් වඩිනවිට සක් දෙවිඳු දිව්‍ය නාට්‍යයකට සහභාගි වෙමිනි සිටියේ. එය නවතා මුගලන් හිමි පිළිගෙන වඩා හිඳුවා සාමීචි පවත්වා අනතුරුව සක් දෙවියෝ තම දිව්‍ය මාළිගයේ විස්තුරු දක්වන්නට පටන් ගත්හ. මෙය සක් දෙවිඳුන්ගේ ප්‍රඥාය ශ්‍රී විභූතියකි. පොඩිත්තෙකුට සෙල්ලම් බඩු ලොකු වුවත් වැඩිහිටියෙකුට ඒවා සුළු දේය. සක් දෙවිඳුට වේජයන්තී ප්‍රාසාදය ලොකු වුවත් මුගලන් හිමියන්ට එසේ නොවිය. උන්වහන්සේ ආපෝ කසිණ සමාපත්තියට සම වැදී එයින් නැගිට වතුරක් මවා දිව්‍ය මාළිගය වතුරේ පාවෙන්නට සලස්වා එහි මුදුන් කොතට පයේ මහපට ඇඟිල්ලෙන් ඇන්නේය. එවිට එය බඹරයක් සේ කැරකෙන්නට පටන් ගති. ශක්‍රයාත්, සෙසු දෙවියෝත් මේ ප්‍රාතිහාර්යයෙන් මවිතයට පත් වී බුදු සසුනේ සෘද්ධි මහිමය, දියුණු සිතක සෘද්ධි මහිමය කියමින් උදාන පළකළහ.

බුදු සසුන පිහිට කොට අපත් මේ පවත්වන්නේ ජීවිත ප්‍රාතිහාර්ය නොවේදැයි සිහිකළ මැනවි. අපි නිරතුරු නොනිවෙන පහන් බවට පත්වෙමු. ඒ නොනිවෙන පහන් බව ඉපදෙන්නේ අපේ ඇඟේ නොවේ. අපට අයත් බාහිර දෙයක නොවේ. අපේ සිතේය. සසුන් ගුණ පිළිවෙතින් අපේ සිත එළිය වෙයි. විසිතුරු වෙයි. එසේ වන්නේ සිත අඳුරු කරන, සිත අවුල් කරන සිතට වධ දෙන කෙලෙස් ගති සංසිඳී යාම නිසාය. සිත අඳුරු කරන ප්‍රධානම චිත්ත ගතිය මෝහයයි. අවිජ්ජා යනු මෝහ පරියායට තවත් අර්ථනුගත නාමයකි. අඤ්ඤාණ (නොදැනීම), සංසය (සැකය) විපරීතගාහ (කරුණු වරදවා ගැනීම) යන තුන් විධියෙන් මෝහයේ ක්‍රියාකාරී ස්වරූපය දක්වා තිබේ. ලෝභ, පටිඝ දෙකින් සිත පෙළෙන්ට පටන් ගන්නේ අරමුණු වරදවා ගැනීම් සංඛ්‍යාත මෝහයේ මෙහෙයවීම් වශයෙනි. ධර්මය දැනීමෙන් විදර්ශනා ඥාන දියුණුවෙන් අරමුණු හරිහැටි දැක ගැනීමේ සිතේ එළිය වැඩෙයි. අප නොනිවෙන පහන් බවට පත් වන්නේ එලෙසිනි. මේ තමන්ගේම සැනසිලි ප්‍රාතිහාර්ය බව සලකන්න.

මීතිරිගල නිස්සරණ වනයේ (විසිපස් වසරක) ධර්ම ගමන, නොනිවෙන පහන් පෙරහැර මා සලකන්නේ ධර්ම ප්‍රාතිහාර්යයක් වශයෙනි.

මේ අනුත්තර ධර්ම ගමන යාව නිබ්බාණ වේවා!

මෙයට,
නිශ්ශරණාර්චි
කඩවැද්දුවේ ජිනවංශ ස්ථවිර.

2535 / 1992 අප්‍රියෙල් 08 වෙනි දින.
ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය,
ගල්දූව,
කහව.

පෙරවදන - II

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සංඝ ලේඛකාධිකාරි අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්ථවිර පාදයන් වහන්සේ විසිනි.

සම්‍යක් සම්බුද්ධ ශාසනය ඒකාන්තයෙන් නෛර්යාණිකය. එහෙයින්ම එය ස්වාක්ඛාතය, සන්දිට්ඨිකය, අකාලිකය, ඒහිපස්සිකය, ඕපනයිකය, නැණවතුන් විසින් ප්‍රත්‍යාත්මිකව දත යුතුය. ශාසනය නෛර්යාණික වනුයේ ශාස්තෘන් වහන්සේ සර්වඥ බැවිනි. මහා කාරුණික ද බැවිනි. අර්හත් සම්යක් සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදූ අනුත්තර පුරිස ධම්ම සාරථි සත්ථා බුද්ධ භාග්‍යවත් බැවිනි.

ශාසනය නෛර්යාණික බැවින්ම එම ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුව යන කිංකර ශ්‍රාවක ශිෂ්‍ය පිරිස සුපටිපන්න, උජුපටිපන්න, ඤාය පටිපන්න, සාමීචි පටිපන්න, ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අඤ්ජලිකරණීය අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත බවට පත් විය. රත්නත්‍රයෙහි විද්‍යාමාන වන මෙම අසීමිත සුවිශිෂ්ට මහා ගුණස්කන්ධය නිසාම සම්යක් සම්බුද්ධ ශාසනය අවුරුදු පන් දහසක් තරම් කල් අවිච්ඡින්නව ගංගා ජල ප්‍රවාහය සේ නෛර්යාණිකත්වයෙන් අනුව පැවැත්තේය. ශාසන භාරධාරී සංඝ පීතෘන්වහන්සේලාගේත් රාජ රාජ මහා මාත්‍යාදි බෞද්ධ ජන ප්‍රධානීන්ගේත් අප්‍රතිහත ධෛර්යයෙන් මෙතෙක් කල් බුදු සසුන රැකුනේ ද එහෙයිනි.

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව වනාහි නෛර්යාණික සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව, චිර ජීවනය සඳහාම සමාරම්භ වූ මහා සාසන කඳවුරකි. එහි නේතෘවර අති පූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඥානාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ සහ නිර්මාතෘවර අති පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේ ද සකල බෞද්ධ ලෝකයාගේ ගෞරවාදර භක්ති ප්‍රණාමයට සදා පාත්‍ර වන සේක් සම්බුදු සසුන රැකෙන ශාසනික කඳවුරෙහි අසමාන සේනාපතිත්වය නිසි සේ උසුලන බැවිනි.

මීතිරිගල නිස්සරණ වන සෙනසුන පටන් ගැනීමේ ශ්‍රේෂ්ඨ පරමාර්ථයත්, ඉන් කෙරෙන උදාර ශාසන සංරක්ෂණයත් ගැන මනා නුවණින් සැලකිය යුතු වනුයේ ශ්‍රී ලංකාවේ දැනට පවතින්නා වූ අද්විතීය අග්‍රගණ්‍ය වූ ශාසනික යෝග භාවනා මූලස්ථානය වශයෙනි. එහි ජීවය වනුයේ පූජනීය අතිගරු මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේමය.

එහි සංවිධායක නිර්මාතෘවර පින්වත් අසෝක වීරරත්න මැතිතුමා පූජ්‍ය මීතිරිගල ධම්මනිස්සන්ති හිමි නමින් ජීවිත පූජාවෙන් යුතුව එහිම පැවිදි වී උට්ඨාන වීර්යයෙන් භාවනානුයෝගීව වැඩ වෙසෙනු දක්නට ලැබීම ආදර්ශවත් වුද, ආශ්චර්යමත් වුද, ජීවිත ප්‍රාතිහාර්යයකි. නිස්සරණ වන සංරක්ෂක දායක මණ්ඩලය වනාහි ශාසනය රැක ගැනීමේ මහා පුණ්‍ය නිධානය හිමිකර ගත් ශ්‍රී ලංකාවේ අද්විතීය බෞද්ධ සංරක්ෂක මණ්ඩලයකි. එමඟින් සැලසෙන උදාර ශාසන සේවය දැක ගැනීමට ලැබීම බෞද්ධ මහජනතාවට ධෛර්යයකි.

අතීතයේ වැඩ සිටි ආර්ය මහෝත්තමයන් වහන්සේලා සිහියට නැගෙන සේ දමිත සමිත සුසංයත ඉරියාපථ සම්පන්න නේවාසික ගරුතර සඟ පිරිස වනාහි දස අත සිල් සුවඳ විහිදුවන අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර සඟ පිරිසකි.

මීතිරිගල නිස්සරණ වන සෙනසුන පටන් ගෙන පස් විසි වසරක් පිරීම නිමිත්තෙන් නිකුත් කෙරෙන මෙම ‘නිස්සරණ පටිපදා’ ව මේ ආත්ම භාවයේදීම ධ්‍යාන, අභිඥා මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත උත්තර මනුෂ්‍ය ධර්ම ප්‍රතිලාභ කරමින් ප්‍රතිවේධ ශාසනයට නව ජීවයක් ගෙනදෙනු කැමති උදාර අධ්‍යාශ සම්පන්න උතුම් යෝගාවචරයන්හට ශාසන උද්යෝගය පිණිස උපනිශ්‍රය හේතුවක් වේවා.

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං තස්මිං සගාරවා නිච්චං හොන්තු සබ්බේපි පාණිනො”

නාඋයනේ අරියධම්ම ස්ථවිර
ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය,
ගල්දූව - කහව.

3. පොතේ කතාව

සම්බුදු සසුන පිහිට කරගෙන මොහොතක් පාසා අප සිදු කරන්නේ සන්තානගත අඳුර දුරු කර ගැනීමය. සිතේ එළිය වඩා ගැනීමය. සිත පිවිතුරු කර ගැනීමය.

අනන්ත දුක් අනුභව කරමින් ගෙවූ දිගු සසර ගමන තුළ අනන්තවත් ලොව්තුරා බුදුවරයන් වහන්සේලා අපට හමුවන්ට ඇත. ඇසින් දැක්කා විනා නුවණැසින් දැක ගෙන නැත. දේශනා කළ ආර්ය ධර්මය කනින් ඇසුවා විනා අවබෝධ කරගන්ට තරම් ප්‍රඥාව අවදි කරගෙන නැත. මේ බුද්ධෝත්පාද කාලයේ අපි සැබෑ සම්මා දිට්ඨිය තෝරා බේරාගෙන විවිධ උතුම් කුසල් දහම්හි යෙදෙන්ට වාසනාවන්ත වී සිටිමු. ආර්ය සත්‍යය අවබෝධ කරගන්ට අපේ චිත්ත සන්තාන තුළ වර්ධනය කරගත යුතු වන්නේ කුසල ධර්මයි. ආමිස හෝ ප්‍රතිපත්ති හෝ සියලු කුසල් දහම් නිබ්බාන ගාමී - විවට්ටගාමී හැටියට සිදුකළ මනාය. එබඳු කුසල් කළ හැක්කේ සම්බුදු සසුනකදී පමණය. ධර්මයේ හැසිරෙන අයට අද අදම දැකගත හැකි අනුසස් ධර්ම සම්පත්තියේ ඇත. එනම් සිතේ සැනසිල්ලයි. නොකිළිටි නිවුණු බවයි.

මීතිරිගල නිස්සරණ වන සෙනසුන හා අපේ සසුන් සබැඳියාවට වසර තිස් පහක යටගියාවකි. එදා මෙදා තුර නිස්සරණ සෙනසුන නිසා අප කළ කුසල් අති මහත්ය. ඒ හැම මිණි රුවන්වලට වඩා අගී. පස් පියුම් මෙන් සඳුන් තුවරලා මෙන් සුවඳවත්ය. මිණි කැට, මුතු ඇට හැඩට රුවට ගලපා මිණි වැලක්, මුතු පටක් අමුණුවා සේ, අපේ කුසල් පෙරහැර සිහි ගන්වන්ටයි මේ පොත.

අප තව තවත් නිවි සැනසී, ලෝකයත් නිවා සනසාලමින් කළ පින්කම්ය මේ. සැදැහැයෙන් කළ පින්කම්ය. මසුරු මලින් තොරව ඇප කැප වී කළ පින්කම්ය. සමගියෙන් තෙද ගැන් වී කළ පින්කම්ය. අසිරිමත්ය ඒවා. සෘද්ධි ප්‍රාතිහාර්ය වැඩිය. එහෙම පිටින්ම නිවන් පතා කළ පින්කම්ය.

ඒ යටගියාව සිහියට නඟා ප්‍රමෝදයට පත් වෙමු. උතුම් ආර්ය ධර්මය ලොව පහළ වන්නේ කල්ප කෝටි ගණනකිනි. සම්බුදු සසුනකදී පමණක්ම කළ හැකිවන අති උතුම් අති දුර්ලභ වූ ධර්ම දානමය පින්කමයි මේ කරන්නේ.

“සබ්බ දානං ධම්ම දානං ජිනාති” සියලු දානයන් අතර ධර්ම දානයම උතුම් වේ.

මතු යම් දවසක ශාන්ත නිවනට පත්වීමට මේ මහනීය පින්කම් අපට මහත් උපකාර වනු ඒකාන්තය.

නිස්සරණයේ අපේ නිස්සරණ පින්කම් ගැන ලියන්ට පසුබිම සකස් කරන්ටයි, නිස්සරණ සෙනසුනේ තොරතුරු බිඳක් සොයන්ට පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන් මුණ ගැසුනේ. උන් වහන්සේ මහ මෙත් කුළුණින් අපට සපයා දුන්නේ නිස්සරණ තොරතුරු බිඳක් නොව මහා රැසකි. එපමණක් නොව සුරැකිව රඳවාගෙන සිටි අති උතුම් ගත් රුවනක් අප අත තැබූයේ එය ද අප ගතට එක්කරන්ට කියායි. එය නම් අප ලද මහාඟු තිළිණයකි. අප කළ පින්කම්වල අනුසස් අද අදම ලැබීමකි.

නිස්සරණ වන සෙනසුනේ වත්මන් නායක මාහිමි පූජ්‍යතම පානදූව ඛේමානන්ද හිමිපාණන් වහන්සේ විසින් රචිත 1992 දී හෝ ඇවැසි වූ පරිදි එළි දැක්වීමට නොහැකිවුණු ‘නිස්සරණ පටිපදා’ අත් පිටපතයි ඒ. එයද අප ලද මහත් සම්පතක් සේ සලකා අපේ පොතට ඇතුල් කර ඇත. එපමණක් නොව 1992 දී නිස්සරණ පටිපදා එළි දක්වන අදහසින් අති පූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ නාහිමිපාණන් වහන්සේ හා අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ විසින් සපයන ලද ‘පෙරවදන්’ දෙක ද එලෙසම මෙහි යෙදීම ඉතා සුදුසු යයි පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන් වහන්සේගෙන් අවසර ලැබුණි. එසේ වුව ඒ උතුමන් වහන්සේලාගේ අනුදැනුම නැතිවම පෙරවදන් පොතට යෙදීමෙන් කළ වරදට සමාවන සේක්වායි අයදිමු.

නිස්සරණ පටිපදා ලියවුනේ මුල් යුගයේ නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලයේ ලේකම්ව සිට පරලෝ සැපත් පී. ඩී. සරණපාල මහත්මාගේ සමාරාධනයෙන් හා අපවත් වී වදාළ මහෝපාධ්‍යාය මාහිමියන්ගේ මග පෙන්වීමෙන් බව සඳහන් වෙයි.

‘නිස්සරණ පටිපදා’ පිටපතට අයත් ‘නිස්සරණ වන ව්‍යවස්ථා’ ලිපිය එසේම පොතට ඇතුල් කර ඇත. ‘විසිපස් වසරක නිස්සරණ වන තතු’ එදා ලියවුනේ 1992 දක්වාය. ඒ නිසා එයින් ද කරුණු ගෙන අද දක්වා ගැලපෙන පරිදි ‘නිස්සරණ වන තතු’ නව සටහනක් සකස් කළෙමි. ‘නිස්සරණ වන නිදානය’ ද වෙනම ලිපියක් ලෙස ගැලපීම අඩු නිසා ‘නිස්සරණ වන තතු’ ලිපියට ම ඇවැසි තොරතුරු ගොනු කර ඇත.

නිස්සරණ සේනාසනාධිපති පූජ්‍ය පානදූව ඛේමානන්ද හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘නිස්සරණ පටිපදා’ ලිපිය කිසිදු වෙනස් කිරීමකින් තොරව එසේම ඉදිරිපත් කර ඇත. මේ අනුව, මෙම පොතෙහි ඇතුළත් වන 7, 8 පරිච්ඡේදයන් සම්පූර්ණයෙන් ම පූජ්‍ය පානදූව ඛේමානන්ද හිමිපාණන් වහන්සේගේ රචනයන් බව ගෞරවයෙන් සටහන් කරමි.

නිස්සරණ වනයේ බෙහෙත් පූජා පින්කම්වලදී අපලද ධර්ම ලාභයෙන් අපට ඔබ සඳහා ඉදිරිපත් කරන්ට හැකි වූයේ දහම් දෙසුම් කිහිපයක් පමණි. අපවත් වී වදාළ මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ දහම් දෙසුම් වුව අප ළඟ නැතිවීම අප හැමගේ අලාභයක් යයි සිතේ.

විපත් කරදර අවිවේකය මැදින් දුකසේ උපයාගත් කාලයෙන් ය, ගතෙහි නිමාව දකින්නේ. නිහඬ රැයින් රැසක් නිස්සරණ අදහසින් නිස්සරණය ගැන ලියන්ට කැප කිරීම ගැන මට මහත් සතුටක් දැනෙයි.

මෙහි යම් ගුණයක් ඇත්නම් එය අනුන් දකිනවා ඇත. එය ඇගයීම, මැනීම ඒ අය සතුය. මට අයිති නැත. වරද අතහැර නිවරද පමණක් ගත මැනව.

කියවන ඔබත් මහා සැනසිල්ල ලබන්න බුදුගුණ දකිමින්, බුදු ගුණ භාවනා කරමින් අපත් සමඟ බුදු පෙරහැරට එක්වන්න. බුදු පෙරහැරට එක් වූ පින්වතාගේ පැවැතුම් මහිමය අපේ මහ පඬි රුවනක් වූ ගුරුළුගෝමීන් දුටු අයුරු බලන්න.

“බුදු ගුණ මුත් තෙපුල් මෙත් බහාවුන් මුත්සිත් නොවේවා කෙනෙක්හි දු පර වැඩ මුත් පියෝ මා”

බුදු ගුණයෙන් තොර වචනයක් මෙත් බැඳුමෙන් තොර සිතුවිල්ලක්, පර හිතයෙන් තොර ක්‍රියාවක් කිසිම මොහොතක නොවේවා !

ඔබත් මේ සැනසිලි පෙරහැර විසිතුරු මුළු හදින්ම දකිවා!

සංස්කාරක

සංස්කාරක
අරිය පර්යේසන දහම් මැදුර,
මැදැහේනවත්ත,
ලෝලුවාගොඩ.
2003. 04. 01

4. අනුමෝදනාව

“සිත නිවන නිස්සරණ වන අරණ” වෙනුවෙන් පිදෙන ආසිරි පැතුමයි මේ.

පළමුව පොත සකසන්ට මහ රැසක් කරුණු සොයා සපයා දී, දෙවනු අත් පිටපත කියවා අඩු ලුහුඬු සකසා උපදෙස් දී, මහ මෙත් කුළුණින් අපමණ උපකාරි වූයේ නිස්සරණ අරණෙහි පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන් වහන්සේය.

යටගිය තොරතුරු රැසක් මතුකර ගත්තේ නිස්සරණ වනයේ පූජ්‍ය මීතිරිගල ධම්මචාරි හිමිපාණන් වහන්සේ නිසාය.

ත්‍රිපිටක පොත් ලබාදීමෙන් හා අත් පිටපත කියවා අවශ්‍ය උපදෙස් දීමෙන්, මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පරිවේනාධ්‍යක්ෂ පූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේ ද අපමණ උපකාරවත් වූ සේක.

සදුපදේශ දානයෙන් මහෝපකාරී වූ උතුමන් වහන්සේලාට කායික, මානසික නිරෝගී බව, සැනසීම, දිගාසිරි සැප වැඩේවා! ගැඹුරු නුවණැස පහළ වේවා!

මීරිගම චන්ද්‍රදාස හතුරුසිංහ ගුරු උතුමාණන් කළේද, අමිල උපකාර රැසකි. එයද සදුපදේශ දානයකි. එතුමාගේ සකල ධර්ම ප්‍රාර්ථනා සමාප්තියට පත්වේවා!

මහ නාහිමි දෙනමගේ වටිනා පින්තූර දෙකෙන් පොතෙහි හැඩ, රුව, අගය බොහොමත්ම වැඩි වූ බව කිව යුතුය. බ්‍රිගේඩියර් රංජිත් ද සිල්වා මැතිතුමාගේත්, මිත්‍ර වෙත්තමුණි මැතිතුමාගේත් කාරුණික අනුග්‍රහයෙන් ඒ පින්කම කළේ මහේෂ් යහම්පත් හා කමල් සමරනායක මහතුන්ය.

නිස්සරණ වන අරණේ අපේ පින්කම් පිළිබඳ පින්තූර ඔබ දකින්නේ මීරිගම ජාතික පාසලේ වජිර සිරිමාන්න ගුරුතුමාගේ හපන්කම නිසාවෙනි.

මුද්‍රණ බර පැන දැරුවන් ගැන පොත අග සඳහන්ය.

මීරිගම මහජන ප්‍රින්ටර්ස් අධිපති මහතා ඇතුළු කාර්ය මඩුල්ල කලට වෙලාවට හැඩ රුවට පොත නිම කළෝය.

අපට සහාය දුන් මෙම සත්පුරුෂ උතුමන් සැම කෘතවේදීව සිහිපත් කරමින් පින් අනුමෝදන් කරමු. ඒ හැම ධර්මකාමීහු සකල ධර්මික අභිමතාර්ථයන් සාධනය කර ගනිත්වා!

සදේවක ලෝකයාම මෙම ධර්ම දානමය කුශලය අනුමෝදන් වෙත්වා! සියලු සත්හට විදුසුන් නුවණ හරි දැක්ම පහළ වේවා!

මෙයට,
මෙත් සිතැති
එන්. එස්. දිසානායක