සිංහල විමානවස්තු ප්රකරණය.pdf
- කතෘ :
- ගම්මුල්ලේ රතනපාල හිමි
- පිටු ගණන :
- 259
- බාගත කිරීම් ගණන :
- 3,947
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-09-17
- ගොනුවේ ප්රමාණය :
- 18 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සිංහල විමාන වත්ථු ප්රකරණය යනු ඛුද්දක නිකායට අයත් පාලි විමානවත්ථු පාළිය හා එහි පරමත්ථදීපනී අටුවාව ඇසුරු කරමින් සම්පාදනය කරන ලද සම්භාව්ය සිංහල ධර්ම ග්රන්ථයකි. මහනුවර යුගයේ කීර්ති ශ්රී රාජසිංහ රජු දවස උපෝසථ පුෂ්පාරාම මහා විහාරයේ (මල්වතු මහා විහාරය) වැඩසිටි, වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්යවර තිබ්බටුවාවේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ ශිෂ්ය වූ ගම්මුල්ලේ රතනපාල මහා ස්ථවිරයන් වහන්සේ විසින් ගලගෙදර ඉන්දජෝති හිමියන්ගේ ආරාධනයෙන් මෙය විරචිතය.
මිනිස් ලොවදී දන් දීම, සිල් රැකීම, පතිව්රතා ධර්මය සුරැකීම ආදී කුසල කර්මයන්හි යෙදීමෙන් දෙව්ලොව උත්පත්තිය ලබා විචිත්ර වූ දිව්ය විමාන හා දිව්ය සම්පත් ලැබූ දෙවිවරුන් සහ දෙවඟනන් පිළිබඳ විස්තර මෙහි අන්තර්ගත වේ. පීඨ වර්ගය, චිත්රලතා වර්ගය ආදී වර්ග 7කින් යුත් කථාවස්තු 85ක් (අතුරු කථා සමග 123ක්) සරල සිංහල බසින් විස්තර කර ඇත.
මෙම මුද්රණය මඩපාත ශෛලතලාරාමාධිපති මාකෙහෙල්වල ධම්මානන්ද හිමියන් විසින් සකස් කරන ලදුව, ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයනාංශයේ මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හිමියන්ගේ දීර්ඝ ප්රස්තාවනාවකින් ද යුක්ත වේ.
සංඥාපනය. සිංහල විමාන වස්තු ප්රකරණය.
මේ මාහැඟි ධර්ම ප්රකරණය වනාහි මීට වර්ෂ 156 කට පූර්වයෙහි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්රී වර්ධනපුරය රාජධානිය කොට ලංකා රාජ්යයෙහි එකච්ඡත්ර නංවා රාජ්යශ්රීයට පැමිණි කීර්තිශ්රී රාජසිංහ මහීපාලයන්ගේ කාලයෙහි ශ්රී වර්ධනපුර උපොසථ පුෂ්පාරාම මහා විහාරයෙහි වැඩ විසූ ගම්මුල්ලේ රතනපාලාභිධාන මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින් ගලගෙදර ඉන්දජොති මහා ස්ථවිරපාදයන් වහන්සේගේ ආරාධනාවෙන් සිංහල භාෂාවට නගන ලද්දකි.
යථොක්ත රතනපාල මහා ස්ථවිරයාණන් වහන්සේ වනාහි උපොසථ පුෂ්පාරාම මහා විහාරාධිපතිව වැඩවිසූ එකොළොස් දහස් ග්රන්ථ සංඛ්යාවකින් ප්රතිමණ්ඩිත සාරාර්ථ සංග්රහ නම් ධර්ම ප්රකරණය ද පාළි භාෂාමය විශිෂ්ට ගද්ය කාව්යක්වු මහා බොධි වංශයට සිංහලාර්ථ ව්යාඛ්යානවද අභිසම්බොධි අලංකාරයද යනාදී බොහෝ ග්රන්ථ සමූහයක් සම්පාදනය කළාවූද අතිශයින් නෂ්ට ප්රාප්තව තුබූ සම්බුද්ධ ශාසනය මහොත්සාහයෙන් යථා ස්ථානයෙහි තබා ලූ බොධි සත්ව ගුණොපෙත වැලිවිට පිණ්ඩපාතික සරණංකරාභිධාන සංඝරාජ මාහිමියාණන් වහන්සේගේ ශිෂ්ය රත්නයක් වූ උපොසථාරාමයෙහි නායක පදවියට පත්ව වැඩ විසූ ධම්මරක්ඛිත නායක ස්වාමිපාදයන් වහන්සේගේ ශිෂ්ය රත්නයකි. මුන් වහන්සේ ත්රිපිටක ධර්මයෙහි හා ඡන්දස් ව්යාකරණ නිගණ්ඩු ගණිතාදි නොයෙක් ශාස්ත්රයන්හිද පාරප්රාප්ත වූ උතුමෙකැ බව මෙම ග්රන්ථය කියවීමෙන් ඔප්පු වේ.
මෙහි විමාන නම් විශිෂ්ට වූ දෙවතාවන්ගේ ක්රීඩා නිවාස ස්ථානයෝයි. ඒ විමාන වනාහි, ඒ දෙවතාවන් මිනිස් ලොවදී යහපත් ශ්රද්ධා සීලාදිගුණ ධර්මයන්ගෙන් යුක්ත මනුෂ්යයන්ව සිට ඔවුන්ගේ ඒ සුචරිත කර්මානුභාවයෙන් දෙව් ලොවෙහි, යොදුන් දෙයොදුන් ආදී ප්රමාණ විශේෂයෙන් යුක්ත විමාන බඳින්නාවූද, නානා රත්නයන්ගෙන් මනාව සැදුම් ලද්දාවූ විසිතුරු වර්ණ සංස්ථානාදී ශොභාවන්ගෙන් මොනවට හෙබියාවූ, විශේෂයෙන්ම වර්ණවත්ව පහළවන ඒ දෙවතාවන්ගේ නිවාසස්ථාන විමාන නම් වේ. ඒ ඒ දෙවතාවන්ගේ රූප සෞන්දර්ය්ය යසොභොග පරිවාරාදී සම්පත්තීන් නිසා, නිමිත්තවූ දෙශනාව හෙවත් වස්තුව දෙශනාවට කාරණාවූ යෙනුයි, විමාන වස්තු නම්.
තවද මේ විමාන වස්තු ප්රකරණය පිළිබඳ මුල් පොත ඛුද්දක නිකායට ඇතුළත් කොට ගාථාබන්ධනයෙන් පාළි විමාන වස්තුව සංග්රහ කරණ ලදී. එහි විමාන වස්තු පුච්ඡා විස්සජ්ජන වශයෙන් ගාථාවෝ ද්විප්රකාර වෙති. පුච්ඡා ගාථාවෝ වනාහි සමහරක් බුදුරජාණන් වහන්සේ විසින්ද, සමහරක් මුගලන් මහ රහතන් වහන්සේ ආදී මහ රහතන් වහන්සේලා විසින්ද ශක්රාදී දෙවියන් විසින්ද අසනලද ගාථාවෝයි. විස්සජ්ජන ගාථාවෝ වනාහි, ඊට පිළිතුරු වශයෙන් ඒ විමන් වැසි දෙවතාවෝ ප්රකාශ කරණලද ගාථාවෝයි. ඒ ද්විප්රකාර ගාථාවෝ එක්රැස්කොට ධර්ම සංගීති කාරක මහ රහතුන් වහන්සේලා විසින් සංග්රහ කොට විමාන වස්තු නාමයෙන් තබන ලද්දේය. එම පාළි විමාන වස්තු ප්රකරණයට බදරතිත්ථ විහාර වාසී භදන්තාචාර්ය්ය ධම්මපාල මහා ස්ථවිරපාදයන්වහන්සේ පරමත්ථ දීපනී නම් විමාන වස්තු අටුවා කථාව ලියනලදී. එබැවින් මතු එන දවස පාළි අර්ථ නොදන්නා සැදැහැවත් සත් පුරුෂ මනුෂ්යයන්ට වන විපුල ප්රයෝජන සැලකූ පූර්වොක්ත ගම්මුල්ලේ රතනපාලාභිධාන මාහිමියාණන් වහන්සේ විසින් යථොක්ත ප්රකරණය සිංහල භාෂාවට නගන ලදී.
මෙයට, ශාසනස්ථිතිකාමී,
ශෛලතලාරාමය, මඩපාත 24-8-39 මාකෙහෙල්වල ධම්මානන්ද
මාකෙහෙල්වල ධම්මානන්ද
ප්රස්ථාවනාව
ඛුද්දක නිකායට අයත් ග්රන්ථ පසළොස අතරින් විමාන වත්ථුව සයවැන්න ය. ඛුද්දක නිකායේ ග්රන්ථ අතර විෂය ස්වරූපය අනුව විමාන වත්ථුව හා පෙතවත්ථුවත් අපදාන පාලියත් බෙහෙවින් සමාන ලක්ෂණ දරයි. විවිධ ආත්මභාව ලැබුවන් තමන් කරන ලද අකුසල කර්ම නිසා දුගතිවල ඉපිද නොයෙක් දුක්විඳින ආකාරය පෙතවත්ථුවෙහි විස්තර වේ. විමාන වත්ථුවෙහි සඳහන් වන්නේ ඒ ඒ අය මිනිස් අත්බව ලැබූ කාලයෙහි තමන් කරන ලද කුසල කර්ම නිසා ලබන ලද දිව්යමය සැප සම්පත් පිළිබඳ විස්තරයකි. බුද්ධ වංස පාලියෙහි අතීත බුදුවරයන් පිළිබඳ චරිත කථා දැක්වෙන අතර ථෙර ථෙරී ගාථාවන්හි තෙරවරුන්ගේ හා තෙරණියන්ගේ මෙම ජීවිතයේ අත්දැකීම් විස්තර කෙරෙන ආත්ම භාෂණ දැකිය හැකිය. අපදානයෙහි දක්නට ලැබෙන්නේ ඒ ඒ පුද්ගලයන් කරන ලද කුසල කර්මයන්හි විපාකයන් ය. ඒවා එම සම්පත් ලද පිනැත්තෝ ම විස්තර කරති.
විමානවත්ථුව එයට තරමක් වෙනස් වන්නේ පුච්ඡාවිස්සජ්ජන ක්රමය හෙවත් මුගලන් මහරහතන් වහන්සේ හෝ මහාකාත්යායන මහරහතන් වහන්සේ හෝ අසන පැනයකට පිළිතුරු වශයෙන් තමන් කළ කුසල කර්ම හා ඒවායේ අගය පැහැදිලි කිරීම ය. “විමාන” යන්නෙන් දිව්ය ප්රාසාද අදහස් කරනු ලැබේ. එම දිව්ය විමානයන් අතිශයින් විචිත්ර ය. යොදුන් ගණන් විශාල ය. ඒවා විශිෂ්ඨවූ දෙවතාවන්ගේ ක්රීඩා නිවාසස්ථාන වන්නේ යැයි මාකෙහෙල්වල ධම්මානන්දහිමියෝ සඳහන් කරති¹.
විමානවත්ථුව වර්ග සතකින් සමන්විත ය. පළමුවන පීඨවර්ගය, දෙවන චිත්රලතා වර්ගය, තුන්වැනි පාරිච්ඡත්තක වර්ගය සතරවන මඤ්ජෙට්ඨක වර්ගය, පස්වැනි මහාරථවර්ගය, සයවැනි පායාසි වර්ගය සත්වැනි සුනික්ඛිත්ත වර්ගයයි. විමාන වත්ථුවෙහි මුළු කථාවස්තු සංඛ්යාව අසූ පහක් වේ. එයින් පණහක් ස්ත්රී විමාන වස්තූන් ය. අතුරු කථාද සමග කථාවස්තු සියල්ල 123 කි.
අන්තර්ගතය -
විමාන වත්ථුවෙහි අන්තර්ගතය දෙස විමසා බලන විට පැහැදිලි වන්නේ මිනිස් අත්බව ලබාසිටි යුගයෙහි ස්ත්රී පුරුෂ දෙපාර්ශ්වයට අයත් නොයෙක් දෙනා විසින් සිදුකරනලද යම් යම් පුණ්ය කර්මයන් හේතුවෙන් දිව්ය සම්පත් ලබන ලද බවය. මිනිස් ලොවදී පතිව්රතා ධර්මය සුරැකි එක් කාන්තාවක් සිරුරේ පැහැය හා සම්පත්තියද ලබා දෙවඟනක වූවාය¹. මෙබඳුම කථාවස්තුවක් පාරිච්ඡත්තක වර්ගයෙහි ලතා විමාන වස්තුවෙහි දැක්වේ². වෙසවුණු රජුගේ දූවරු වූ සක් දෙවිඳුගේ පිරිවර වූ බබලන සිරුරු ඇති දෙවඟනෝ දැහැමි ගුණයෙන් බබලන්නාහුය. ඔවුන්තුරෙන් සුතා දෙවිදුව ලතා දෙවිදුවට මෙසේ ප්රකාශ කළාය.
උපුල් මල් දරන රුවන් මුවා මලින් නැගුණු රැළි ඇති රන්වන් සිවි ඇත්තිය තී විචාරමි. තිගේ පරිවාර සම්පත්තිය හා කීර්තිය කවර පිනකින්ද?
මිනිස් දුවක් වූ මම මහත් සම්පත් ඇති කුලයක ලේලියක් වීමි. ක්රෝධ නොකරන සුලු ස්වාමියාගේ සිත්ගෙන ඔහුට අනුකූලව පවත්නා සුලු වීමි. තරුණ වූ ඒ මම පතිව්රතාවක් වීමියි, විස්තර කරන්නීය. එහිදී අනෙක් දෙවඟනෝද තමන් කළ යහපත් ක්රියා විස්තර කරති. මේ ලතා තොමෝ යමක් කියාද එය තොප විසින් අසන ලද්දේ නොවේද? උතුම් ස්ත්රීන්වූ අපට ස්වාමි පුරුෂයන්ගේ පිහිට උතුම්ය. අපට ඔවුහු දෙවියෝද වෙතියි. සඳහන් කර තිබේ. යහපත් ස්වාමිභාර්ය්යා සබඳතාවයෙහි අගය සහ පතිව්රතා ධර්මය සුරැකීමේ ආනිසංසයන්ද විස්තර කර ඇත්තේ අනාගත මිනිස් පරපුරටද ආදර්ශයක් දක්වන අයුරිනි. තෙරුවනෙහි පැහැදී වාසය කළ නිසා තමන් දිව්ය අප්සරාවන් ලක්ෂයක් පිරිවර ඇති වෛඩූර්ය මාණික්යයෙන් අලංකෘත විමානයක උපතලද බව කෙසකාරී විමාන වස්තුවෙහි¹ දැක්වෙන දෙවිදුව විස්තර කර තිබේ. පන්සිල් රැකීම නිසා දහසක් තරුපිරිවර සඳ මෙන් තමන් බබලමින් සිටින බව උපොසථ විමාන වස්තුවෙහි දැක්වෙන දෙවිදුව විස්තර කරන්නීය.² සද්ධා දෙවිදුවද පන්සිල් රැකීම නිසා එබඳු සම්පත් ලැබූ බව විස්තර කර තිබේ³.
කැවුමක්, උක් දඬුවක්, යවධාන්යයෙන් කළ කොමුපිඩුවක්, ආදී සුළු දෙයක් වුව පහන් සිතින් පූජාකළ පිනින් නොයෙක් දිව්යමය සැප සම්පත් ලද ආකාරය විමාන වස්තුව පුරාම දැකිය හැකිය.
ගුණපරමාර්ථය -
බොහෝ විමාන වස්තුවක සඳහන් වන්නේ කවර පිනකින් ඔබගේ සුචරිත ඵලය මෙසේ සමාදන්වූයේද? යනුවෙනි. සැබවින් විමාන වස්තුවෙහි පරමාර්ථය වන්නේ ජනසමාජය සුචරිතයෙහි පිහිටුවීම බව පැහැදිලිය. පන්සිල් සුරැකීම, පතිව්රතාධර්මය සුරැකීම, නොයෙක් දේ දන්දීම හා යහපත් ධාර්මික හැසිරීමෙහි යෙදීම නිසා මෙබඳු උතුම් දිව්යමය සම්පත් ලබා සැපවත් විය හැකිය යන්න අවධාරණය කිරීම ග්රන්ථයෙහි මූලික පරමාර්ථය වූ බව සඳහන් කළ හැකිය. පාපයට යොමුවෙමින් සිටින ජනයා ඉන් මුදවා යහපතට යොමුකරවීමත් එසේ දහමට නැඹුරුවන්නන් නිවන් සුවය කරා යොමු වන්නට සැලැස්වීමත් මෙම ධර්ම ග්රන්ථයන්ගෙන් අපේක්ෂා කර තිබේ.
සැබැවින්ම විමානවත්ථුව කියවන කවර අයකුගේ වුවද සිත යහපතට නැඹුරු කෙරෙන ආකාරයෙන් ඒ ඒ දෙවිවරුන්ගේ හා දෙවඟනන්ගේ විස්තර අතිශය චමත්කාර ජනක ලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ යුත්තකි. ඇතැම් තැනක දිව්යමය සම්පත් විස්තර කිරීමට සාහිත්යමය කෘතියක දැක්වෙන වර්ණනාත්මක භාෂාව සාර්ථක ලෙස යොදාගෙන ඇති බව නාග විමාන වස්තුව ඇතුළු විමාන වස්තූන්ගෙන් පැහැදිලිවෙයි.
එහෙත් ඒවා පුද්ගලයා හුදෙක් කාමයට නොව ධර්මයට නැඹුරු කරවන සුලුය.
පරිවර්තනය හා එහි කතුවරයා
පාලි විමාන වත්ථුව, සිංහල විමාන වස්තු ප්රකරණය නමින් සිංහලට නගන ලද්දේ කීර්ති ශ්රී රාජසිංහ රජු දවස මහනුවර මල්වතු මහා විහාරයෙහි වැඩ විසූ ගම්මුල්ලේ රතනපාලාභිධාන මාහිමියන් විසිනි.
උන් වහන්සේ වැලිවිට සරණංකර සංඝරාජයන්වහන්සේගේ ශිෂ්යයකු වූ මල්වතු මහා විහාරයෙහි නායක පදවියට පත් ධම්මරක්ඛිත නාහිමියන් ගේ ශිෂ්යයෙකි. මෙම ග්රන්ථය මුල් යුගයෙහි හඳුන්වා ඇත්තේ එළු විමාන වස්තු ප්රකරණය නමිනි.
සරණංකර සංඝරාජයන් වහන්සේ ගොඩනැගූ බෞද්ධ ප්රබෝධයත් සමග බොහෝ ගිහිපැවිදි උගතුන් විසින් ධර්මය සරළව ජනතාවට ඉදිරිපත් කිරීම පිණිස පාලියෙන් තිබූ නොයෙක් ධර්ම ග්රන්ථ සිංහලට පෙරලීම සිදුකරණු ලැබිණ. එහෙත් ඇතැම් ග්රන්ථයක බස කඨෝර ලක්ෂණ දරයි. එසේ වුවත් මෙම සිංහල විමාන වස්තුවෙහි භාෂාව අතිශයින් සරළ රීතියක් ඔස්සේ සම්පාදනය වී තිබීම වැදගත් කරුණකි.
පාලි විමානවත්ථුවට පරමත්ථදීපනී නම් අට්ඨකථාව ලියන ලද්දේ භදන්තාචාර්ය්ය ධම්මපාල මාහිමියන් විසිනි. ගාථාපන්තියෙන් සංග්රහ වී ඇති මුල් පෙළ ග්රන්ථය ප්රථම සංගීතියෙහිදී සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් විමානවත්ථුව වශයෙන් එක් කෘතියක් ලෙස සංග්රහ කරන්නට ඇතැයි සැලකේ.
වඩාත් ලෞකික යසඉසුරුපතා දුසිරිතට නැඹුරුවෙමින් සිටින වර්තමාන ජනසමාජයට සිංහල විමානවස්තු ප්රකරණය නිවැරදි දැහැමි ජීවන මාර්ගය පැහැදිලි කරන අගනා ධර්මග්රන්ථයක් ලෙස අගය කළ යුතුය.
ආචාර්ය, මීගොඩ පඤ්ඤාලෝක හිමි. 97-11-02
ආචාර්ය, මීගොඩ පඤ්ඤාලෝක හිමි.