සමීපාතීතයෙහි බෞද්ධාචාර්ය්‍යයෝ - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1950
මුද්‍රිත වර්ෂය :
1950
පිටු ගණන :
249
බාගත කිරීම් ගණන :
1,448
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-12-10
ගොනුවේ ප්‍රමාණය :
75 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 125

සමීපාතීතයෙහි බෞද්ධාචාර්ය්‍යයෝ යනු අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමිපාණන් විසින් සම්පාදිත, මෑත යුගයේ (විශේෂයෙන් 18 වන සියවසේ සිට 20 වන සියවස මුල් භාගය දක්වා) වැඩසිටි ප්‍රකට ලක්දිව බෞද්ධ යතිවරයන්ගේ හා පඬිවරුන්ගේ චරිතාපදාන ඇතුළත් ඓතිහාසික ග්‍රන්ථයකි. මෙහි සියම්, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායත්‍රයට අයත් ප්‍රධාන ආචාර්යවරුන් හා පඬිවරුන් 56 දෙනෙකු පිළිබඳ තොරතුරු අඩංගු කර ඇත.

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ සිට හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාලෝක, වස්කඩුවේ සුභූති ආදී යුගපුරුෂයන් මෙන්ම එකල බෞද්ධ පුනරුදයට දායක වූ ගිහි පඬිවරුන්ගේ ද චරිත කථා මෙමගින් විස්තර කෙරේ. සංඝරාජවාදය, නිකාය භේදයන්ගේ ඉතිහාසය ආදී වැදගත් ශාසනික සිදුවීම් පිළිබඳව ද පැරණි ලිපි ලේඛන ඇසුරින් මෙහි සවිස්තරව සාකච්ඡා කර තිබේ.

  • තිබ්බටුවාවේ සිද්ධාර්ථ බුද්ධරක්ඛිත, වේහැල්ලේ ධම්මදින්න ඇතුළු ආදි කර්තෘවරු
  • අඹගහපිටියේ ඥාණවිමලතිස්ස, කපුගම ධම්මක්ඛන්ධ ඇතුළු අමරපුර නිකායික නායක හිමිවරු
  • හික්කඩුවේ ශ්‍රී සුමංගල, වැලිගම ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධර්මාරාම ආදී විද්‍යෝදය-විද්‍යාලංකාර ආචාර්යවරු
  • අත්තරගම රාජගුරු බණ්ඩාර, ජේම්ස් ද අල්විස් ආදී වියතුන්

හැඳින්වීම

“ගුරුකුල” සඟරාවේ පළකිරීම සඳහා මා යැවූ පැරණි ලිපි කීපයක් දුටු ඒ සඟරාවේ හා “ලංකාදීප” පත්‍රයේ කර්තෘ ධුරය දැරූ ජුලියස් ලැන්රෝල් මහතා බුරුම නිකාය පිහිටි තැන් පටන් මේවන තෙක් ශාසනෙතිහාසය අඳුරුව තිබෙයෙයි ද එයට පිහිටක් මාගෙන් ලබාගත හැකි වෙතැයි සිතන බවද මට දන්වා එවීය. ඒ මහතා අදහස් කල කාරණය “සමීපාතීතයෙහි බෞද්ධාචාර්ය්‍යයෝ” නමැති මේ පොතෙන් ඉටුවත්තේය.

“ථෙරවාදී බෞද්ධාචාර්‍ය්‍යයෝ” නමින් මා පළකල පොතේ බුද්ධඝෝෂ මාහිමියන් පටන් සරණංකර සංඝරාජතුමන් දක්වා සිටි මහතෙරවරුන්ගේ සොයාගතහැකි චරිතයන් ඇතුළත් කෙළෙමි. සියම්නිකාය ලක්දිව පිහිටි කාලයේ පටන් මේ ළඟ කාලය දක්වා විසූ ප්‍රකට ආචාර්‍ය්‍යවරුන්ගේ චරිත මේ පොතේ ඇතුළත් කරණ ලදි. උන්වහන්සේලාගේ චරිතකථා ලියන විට ඒ ඒ කාලයට අයත් ශාසනෙතිහාසය ද නිතැතින්ම ලියවේ. විශේෂයෙන් සංඝරාජවාදයේ ඉතිහාසයත් ඒ වාදය නිසා අමරපුරනිකාය බිඳීගිය සැටිත් දැක්වීමට වෙහෙසගතිමි. සංඝරාජවාදයේ ඉතිහාසය මට පවා පැහැදිලිවූයේ මේ පොත ලිවීමට කරුණු සෙවීමේදීය.

ලැන්රෝල් මහතා මුලදී කී පරිදි මට ලියන්ටවූයේ “ගුරුකුල” සඟරාවට යැවූ ලිපි නිසා පමණක් නොවේ, කලකට පෙර මා ලියූ “කල්‍යාණිශාසනවංශය” නමැති පොතක් දැක සිටි බැවිනි. ඒ පොත ලිවීම සඳහා කරුණු සෙවීමේදී දෙබද්දූවේ ශෛලබිම්බාරාමයෙහි තිබෙන පරණ ලිපි රාශියක් කියවන්ට සිදුවීය. ඒ ලිපිවලින් ඒ කාලයේ ඉතිහාසයද හෙළිකරගත හැකිවිය. දැන් මේ පොතටද ඒ ලිපිවලින් බොහෝ උපකාර ලැබී තිබෙන බව පොත කියවනවිට වැටහෙනවා ඇත.

මෙහි තිබෙන කරුණු සියල්ලම වාගේ අන්‍ය පොත්පත් හා ලිපි ආශ්‍රයෙන් ලබාගත් ඒවායි. ඒ පොත් අතරෙහි “සංඝරාජ සාධුචරියාව, කරතොටවත, අගලකඩ මහාස්වාමි චරිතය” යන පොත්ද ශ්‍රී සුමංගල චරිතාදි එක් එක් ආචාර්‍ය්‍යවරයා සඳහා වෙන් වශයෙන් ලියූ චරිතපොත්ද වෙති. ඒ ඒ කරුණු ලබාගත් තැන් ඒ ඒ චරිතයන්හි දක්වා ඇති බැවින් පොත්වල නාමාවලියක් නොයොදමි. පොත්වලින් ලබාගත නොහැකි කරුණු දැනුම් ඇත්තවුන්ගෙන් ලබාගතිමි. ඒ නම් ද ඒ ඒ තැන සඳහන් කොට ඇත.

සමීපාතීතයෙහි සිටි සියලුම බෞද්ධාචාර්‍ය්‍යයන්ගේ චරිත මෙහි ඇතුළත්යයි නොකියමි. මෙහි සංග්‍රහ කලයුතු තවත් බොහෝ චරිත ඇත. නිදර්ශන වශයෙන් කියතොත්, ඇම්. ධර්මරත්න ලක් මිණි පහන් කතුතුමා, අරංගල සිරිධම්ම මහාස්ථවිරතුමා යන ආචාර්‍ය්‍යවරුන්ගේ චරිත මෙහි නැත. ඇති තරම් චරිත සියල්ල එක්කිරීම තනි පුද්ගලයකු විසින් කල හැකි නොවේ. එසේම තවත් චරිත මෙයට එක්කලා නම් මෙය මුද්‍රණය කරවීමත් අපහසුවෙන්ට තිබුණි. මෙවැනි පොත් මුද්‍රණයට ආධාර දෙන්නෝ ලක්දිව නැත්තාහ. එබැවින් මා තැබූ ආදර්ශය ගෙන මෙවැනි සැලකිය යුතු චරිතයන් එක්කොට තවත් පොත් පළකරන මෙන් ලක්දිව සිටිනා සියගණන්ක්වූ ප්‍රවීන පඬිවරුන්ගෙන් ඉල්ලමි. “අසවල් චරිතය මෙහි ඇතුළත් නොකළේ කුමක් හෙයින්දැ”යි මාගෙන් නොවිචාල මැනවි. මට පහසුවෙන් සොයාගතහැකි චරිත පළකරනු මිස එවැනි චරිත සියල්ල සෙවීමට මා බැඳී නැත.

මෙහි දැක්වෙන චරිතයන්හි ඇතැම් සදොස් තැන් ඇතිවිය හැක. එවැනි තැන් දුටුවිට කරුණා පෙරදැරිව මට දන්වා එවන සේ ඉල්ලමි. එසේ වැරදි ලියැවුණු එක් තැනක් අත්තුඩාවේ ගුණරතන ස්ථවිරයන් විසින් කලින්ම පෙන්වා දෙනලදින් එය සංශෝධනය කෙළෙමි.

මේ චරිතයන් මේ කාලයේදී ලියා නොහැකිවුණොත් තව තව කල්යනවිට මේවා ද බුද්ධඝෝෂ චරිතාදිය මෙන් සොයාගැනීම අපහසු වෙනවා ඇත. එබැවින් මෙය ආධුනිකයන්ට හා අනාගත පරම්පරාවට කරන උපකාරයකි.

මේ පොතේ ඡායාරූප යෙදීමට මුලදී අදහස් නොකළ නමුත් පසුව එසේ කලොත් යහපතැයි සිතුණි. මෙහි තිබෙන ඡායාරූප අතුරෙන් බුලත්ගම මාහිමියන්ගේ ඡායාරූපය උන්වහන්සේගේ අනුශිෂ්‍යවරයෙක් වූ පණ්ඩිත වතුගෙදර අමරසීහ ස්ථවිරයන් විසින් සපයා එවන ලදි. අඹගහවත්තේ නායක ස්වාමිඳුයන් ඇතුළු පස්නමකගේ ඡායාරූප මහාබෝධි යන්ත්‍රාලයෙන් ලබාගතිමි. මෙසේ මේ සඳහා මට උපකාර කල සෑම දෙනට මාගේ අවංක ස්තූතිය පිරිනමනු ලැබේ. පොතේ පිටකවරයේ තිබෙන ඡායාරූපය පරණ ඉංග්‍රීසි පොතකින් ලබාගතිමි. එහි දෙබද්දූවේ පියරතනතිස්ස - වැලිගම සිරිසුමංගල ආදි සමීපාතීතයෙහි විසූ ස්ථවිර පිරිසක් දක්නා ලැබේ. මෙහි බුරුම සංඝපිරිසක්ද පෙනෙන බැවින් බුරුමරටින් දළදාකරඬුව ගෙනා කාලයේදී ගත් ඡායාරූපයකැයි සිතමි. අඩුවශයෙන් මෙය අවුරුදු හැටක්වත් පරණ විය යුතුය.

මේ පොතේ මුද්‍රණය අවසන්වෙන්නට ළංවූ අවස්ථාවේදී වී. ඇස්. ධම්මබන්ධු මහතාගේ “සිංහල වීරයෝ” නමැති පොතද “අඹගහවත්තේ ඉන්ද්‍රසභවරඤාණස්වාමි” නායක මාහිමියන්ගේ චරිතය ද පළවූහ. ධම්මබන්ධු මහතාගේ පොතේ ලක්මිණිපහන් කතුතුමාගේ චරිතය ඇතුළත්ව තිබෙනු දැක ප්‍රීතියට පත්වූ අතරම ඒ මහතා සියම් රටට ගොස් අභිධර්මය ඉගෙනගත්තේය යන ප්‍රවෘත්තිය දැක මහත් කම්පාවටත් පත්විය. ඒ මහතා බුරුම රටට ගොස් අභිධර්මය උගත් බව අද ලක්දිව වසන බොහෝ දෙනෙකුත් දක්නා කාරණයකි. එතුමාට “බුද්ධාසාසන මහාභූරසේනාපති” උපාධිය දෙන ලද්දේ බුරුම කාම්බෝජයයි කියනු ලබන ප්‍රදේශයේ මහාරාජා විසිනි.

අඹගහවත්තේ මාහිමියන්ගේ චරිතය වනාහි අත්‍යුත්කෘෂ්ටයයි හා පරවචනතාවට කවදත් පුරුද්දක් ඇති මහාස්ථවිරතුමකු විසින් ලියන ලද්දකි. මගේ කල්‍යාණි ශාසනවංශයට විරුද්ධව ලියූ කොටසක්ද එහි වේ. ඓතිහාසික කාරණයක් බොරුකිරීම හෝ ස්ථිරකිරීම ඓතිහාසික ලිපි පෙන්වීමෙන්ම කලයුතු වුවත් මේ ග්‍රන්ථකර්තෘතුමා එය කරතිබෙන්නේ පෞද්ගලික අපහාස කිරීමෙනි. මා ගැන ලියන එතුමා “පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිරයන් වහන්සේ වනාහි............විතණ්ඩවාදියෙක් විය.........දෙව්බමුන් විශ්වාස නොකරන දේව විරෝධියෙකි.............තම දැනීමට අගෝචරවූ සියල්ල ප්‍රතික්ෂේප කරන වාචිකාවාචියෙකි” යනාදිය ලියා තිබේ. තවත් තැනක “මේ දෙපක්‍ෂයට බුද්ධදත්තලාගේ ඊර්ෂ්‍යා කල්‍යාණි වංශයෙන් ශුද්ධිය ලබාදුන්නායයි ඔප්පුකරන්නට” යනාදිය ලියා තිබේ. රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍යාය ධුරය දරණ වයෝවෘද්ධ මහාස්ථවිරතුමකුගේ වාග්ව්‍යවහාරය මෙතරම් දරුණුවී නම් පහත් පිරිසගේ වාග්ව්‍යවහාරය කෙබඳුදැයි සිතාගැන්ම නොහැකිය.

මෙතරම් දරුණු වාග්ප්‍රහාර යෙදූ මේ ස්ථවිරතුමා මගේ කීම බොරුකිරීම සඳහා ගෙනහැරපා තිබෙන දෙවානන්ද උපසංඝරාජයන්ගේයයි කියන ලිපියකින් “බුද්ධවර්‍ෂ 2427 (ක්‍රි. ව. 1883) දෙසැම්බර් මස 30 වෙනිදින බලපිටිමෝදර ගඟේදී” මිරිස්සේ ධම්මානන්ද නායකමාහිමියන් දල්හිකර්මයක් ලැබූ බව පෙන්වයි. (175 වෙනි පිටේද මේ කාරණයත් වර්‍ෂ සංඛ්‍යාවත් මෙසේම දක්වා තිබේ. මිරිස්සේ මාහිමිතමා අපවත්වූයේ බු. ව. 2420 ඇසළමස පුරපසළොස්වකය. උන්වහන්සේගේ ආදාහනය පිළිබඳ ලිපියක් ක්‍රි. ව. 1876 යේ ලක් රිවිකිරණ පත්‍රයේ පලව තිබේ. ක්‍රි. ව. 1876 දී අපවත්වූ තෙරනමක් 1883 දී දල්හිකර්මයක් ලැබුවේයයි කීම කොතරම් සත්‍යයක්ද? මිරිස්සේ මාහිමියන්ගෙන් පසු අපේ නිකායේ නායකධුරය ලැබූ උඩුගල්පිටියේ මාහිමිතුමාද බු. ව. 2426 දී අපවත් විය. ඊටත් අවුරුද්දකට පසු මිරිස්සේ මාහිමියන් රාමඤ්ඤ නිකායිකයන්ගෙන් දල්හිකර්මයක් ගෙන තිබේ. ඉතිහාසය ලියතොත් ලියන්ට ඕනෑ මෙහෙම තමයි. විවාදයෙකදී අසත්‍ය වචන යොදා පෞද්ගලික අපහාස කරන්නේ කාරණය ඔප්පු කිරීමට සාධක නැතිවූ විට බව ලෝකයා දනී. මට විරුද්ධව ලිවීමට පිටු 12 කටත් වඩා යොදා තිබෙතත් එහි ලියා තිබෙන්නේ ඔවැනි ප්‍රලාපයි.

වෙනස් කල යුතු තැනක්:

20 වෙනි පිටේ පොල්වත්තේ සිද්ධාත්‍ථ මහාස්ථවිරතුමන්ගේ ශිෂ්‍යයන් දක්වන වාක්‍යය මෙසේ විය යුතුය:-

“මුන්වහන්සේගේ ශිෂ්‍යයන් අතරෙහි වටගෙදර සුධම්මාරාමාධිපති කහන්දේ අත්ථදස්සි මහාස්ථවිරතුමාද උයන්වත්තේ රේවත නායක මහාස්ථවිරතුමාද වෙති.”

පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිර.
2-2-1950.
අම්බලම්ගොඩ අග්ගාරාමයේදීය.