සතියේ බල මහිමය - Power of Mindfulness.pdf
- කතෘ :
- ඤාණපොනික හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2018
- මුද්රිත වර්ෂය :
- 2018
- පිටු ගණන :
- 72
- බාගත කිරීම් ගණන :
- 3,767
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-10-17
- ගොනුවේ ප්රමාණය :
- 920 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සතියේ බල මහිමය යනු අතිපූජ්ය ඤාණපොනික මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත සුප්රකට The Power of Mindfulness නම් ඉංග්රීසි කෘතිය ඇසුරින්, අතිපූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද භාවනා උපදේශාත්මක ග්රන්ථයකි.
සතිපට්ඨාන භාවනාවෙහි මූලික පදනම වන සතිය සහ සති මාත්රය (Bare Attention) හෙවත් හුදු සිහියෙහි ක්රියාකාරීත්වය මෙන්ම එහි බල මහිමය එදිනෙදා ජීවිතයට හා විදර්ශනා භාවනාවට යොදාගන්නා ආකාරය මෙම ග්රන්ථයෙන් විස්තර කෙරේ. මෙහි ප්රධාන කරුණු හතරක් ඔස්සේ සතියේ බලය පැහැදිලි කර ඇත:
- පිරිසිඳ දැකීම හෙවත් වෙන් කොට හඳුනාගැනීම (Bare Attention)
- අවිරුද්ධ ප්රතිපදාව (Non-judgmental / non-reactive attitude)
- නැවැත්වීම සහ වේගය අඩු කිරීම (Slowing down and stopping)
- දැක්මෙහි සෘජු බව (Direct and upright perception)
මෙම කෘතිය 2018 වසරේදී මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය මඟින් ධර්ම දානයක් ලෙස ප්රකාශයට පත් කොට ඇත.
පෙරවදන....
අති පූජනීය ඤාණපොනික ස්වාමීන් වහන්සේගේ The Power of Mindfulness නමැති ඉංග්රීසි පොත අනුසාරයෙන් මෙම “සතියේ බල මහිමය” ප්රතිනිර්මාණය වී ඇත. මෙය මගේ ජීවිතයේ පරිවර්තනයක් සිදු කළ පොතක් බව පළමුව කියා සිටිමි. එයම මහනුවර ග්රන්ථ ප්රකාශන සමිතිය විසින් මේ තාක් තුන් වතාවක් සිංහලට පරිවර්තනය කොට එළිදක්වන්නට යෙදුණි. මෙම පොතින් සිදු වන අමිල සේවය සලකා, පසුගිය හතලිස් වසර පුරා සතිමත් වීමට අප ගත් උත්සාහයේ අත්දැකීම්ද පරිස්සමින් ඇතුළු කොට, තවත් සතිමත් පිරිස්වල සහයෝගයද ඇතිව මෙය සිදු කරන්නට යෙදුණේ මුල් කර්තෘවර අති පූජනීය ඤාණපොනික මාහිමියන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිද්දෙනි. මුල් කර්තෘවර අති පූජනීය ඤාණපොනික මාහිමියන්ගේ ශ්රී නාමයට මෙයින් යම් හානියක් සිදු නොවේ යැයි උදක්ම බලාපොරොත්තු වෙමු. මුල් පොත අනුව යමින්, එම කෘතිය අනුසාරයෙන් මෙය මෙලෙස සරල වචන යොදා එළිදැක්වීම සිංහල පාඨකයාට පහසුවක් මෙන්ම අත්වැලක්ද වනු ඇතැයි සලකමි. මේ කරුණු මැනවින් වටහාගෙන, මෙය මුද්රණය කිරීමට අනුමැතිය දීම ගැන මහනුවර බෞද්ධ ග්රන්ථ ප්රකාශන සමිතියට කෘතඥ වෙමු.
මෙය ඉක්මනින්, මැනවින් මුද්රණය කිරීම ගැන කොලිටි ප්රින්ටර්ස් ආයතනයේ අධිපති මහතාට සහ කාර්ය මණ්ඩලයට පින් අනුමෝදන් කරමු.
තෙරුවන් සරණයි,
උ ධම්මජීව හිමි.
හැඳින්වීම
පමාදෝ නොසැලෙනු’යි සති බලය යැ.
මෙම පොතෙහි කියැවෙන සතිය යනු ඇත්ත වශයෙන්ම එයටම ආවේණික වූ බලයකින් යුක්ත වූවක්ද? ජීවිතයේ සාමාන්ය පරමාර්ථ අනුව බලන විට එවැන්නක් පෙනෙන්නේ නැත. විවිධාකාර ලෞකික ආශා ඉටු කරගැනීම සඳහා වඩා වැදගත් යැයි පෙනෙන මානසික ශක්ති අතර සතියට (අප්රමාදයට) ඇත්තේ සාමාන්ය තැනෙකි. මෙහි ලා සතිය යනු, යමකු තම අරමුණු ඉටු කරගැනීමට කරන වෑයමේදී පය පැකිළීමෙන් ඇද වැටී නොයනු පිණිසත් ලද අවස්ථාව පැහැර නොහැර යනු පිණිසත් තබන පියවර ගැන සූදානම් ශරීරයෙන් යුක්ත වීම හෙවත් සැලකිලිමත් වීමයි. සුවිශේෂී කටයුත්තක දී හෝ දක්ෂතාවක දී හෝ පමණක් යම් කෙනකු සතිමත් වීමට උද්යෝගී වුව ද එහි දී සතියට පැනවෙන්නේ අප්රධාන භූමිකාවකි. මන්ද, සතියේ ඇති සුවිශේෂී වූත් පුළුල් වූත් විෂය හා හැකියාවල් හඳුනාගෙන නොමැති බැවිනි.
බුදු දහම උගැන්වීමේ දී පවා, සතිය ඇතුළත් වී තිබෙන චෛතසික ලැයිස්තු හා වර්ග අතරත් මෙම සති ඉන්ද්රිය යනු බොහෝ ඉන්ද්රියයන් අතර තවත් එකක් පමණකැයි යන අදහසට යමකු පොළඹවන අයුරක් ඇත. එහි ලා සතියට ඇත්තේ අප්රධාන තැනක් යයිද, අනෙකුත් ඉන්ද්රියයන් එය අබිබවා සිටී යැයි ද කියවන්නාට හැඟී යනවාට සැක නැත.
එහෙත් සතියට පණ දී බැලුවොත් එය අව්යාජ නිරහංකාර ලක්ෂණයෙන් යුක්ත බව වැටහෙනු ඇත. සතිය හා ගළපා බලන විට ශ්රද්ධාව, වීර්යය, චිත්ත භාවනාව හා ප්රඥාව හැඳින්විය හැක්කේ මිනිසුන් අතර මෙන්ම සිද්ධි අතරත් ක්ෂණික ප්රබල බලපෑමක් කරනසුලු, වඩා වර්ණවත් පුද්ගලයන් හැටියටය. ඒවායේ බලපෑම පුළුල් මෙන්ම බලවත් නමුත් අනාරක්ෂිත බවක් දනවයි. ඒ අනුව සතිය ආක්රමණශීලී නොවන අතර, එහි ගුණාංග බැබලෙන්නේ ඇතුළතිනි. සාමාන්ය ජීවිතයේදී සතියට අයත් මෙම ආටෝප විරහිත සරල ගුණ අනෙකුත් චෛතසික විසින් අත්පත් කරගනු ලැබේ. එවිට සතියට ලැබිය යුතු මෙම ගරු සම්මාන සියල්ල ලැබෙන්නේ ඒ ඉන්ද්රියයන්ටය. මේ නිසා සතියේ වටිනාකමත් නිහඬ විනිවිද දක්නාසුලු ගුණයත් ප්රත්යක්ෂ කරගැනීමට නම් සතියේ මෙම ගුණ හොඳාකාරවම කල් තියා දැනගත යුතුය. ඒවා හඳුනාගත යුතුය. සතිය ගමන් කරන්නේ මන්දගාමීව හා ආයාසකරවය. එහි කටයුතු ඒකාකාරීය. එසේ වුවද, සතිය යම් තැනෙක තම පය ගැසුවොත් එතැනින් ඉවත් කර ලීම අපහසුය. එසේම තමා බලය පැතිරවූ භූමි ප්රදේශය නියම ලෙස තම වසඟයේ පවත්වන්නටත් සමර්ථය. ආධිපත්යය පතුරුවාගෙන එය පැවැත්වීමටත් සමර්ථය.
මෙවන් ගුණ ඇති මනුෂ්ය චරිත සාමාන්ය ජීවිතයේදී කැපී නොපෙනෙන්නාක් මෙන් සතියද සැලකිල්ලට භාජනය වන්නේ නැති තරම්ය. බොහෝ විට අවතක්සේරුවට පවා ලක් වේ. නිහතමානී ගුණයෙන් යුක්ත මේ සතියේ ගුණ කියන විට එහි සැඟවී ඇති හැකියාවල් මතු කරගැනීමට හෙවත් ගැබ් වී ඇති සම්පත්තිකර ගුණ මහිමය ඔප් නංවා දීමට බුදුරජාණන් වහන්සේ වැනි මහා පුරුෂයකුම පහළ විය යුතුය. බැලූ බැල්මට කුඩාවට පෙනෙන මෙවන් දෙයක ශක්ති ප්රභාව විනිවිද දැකීමට හා ප්රසිද්ධ ලෙස වැඩට ගැනීමට මහා පුරුෂයකුම අවශ්යය. මේ අනුව, මෙහිදී කුඩා නුමුදු දෙයක ඇති මහා බලය හෙළිදරව් වීමක් සිදු වේ. වටිනාකම යළි ඇගැයීමක් කෙරේ. මහා දේ හා කුඩා දේ අතර මිනුම වෙනසකට බඳුන් වේ. සතියේ බල මහිමය අඩයක්, ආකිමීඩියානු ලක්ෂ්යයක් කරගෙන අනන්ත වූ ලෞකික දුක් සමුදය නැංගුරම් ලා සිටින අවිද්යා හා තණ්හා මූලයන්ගෙන් උදුරා දමා ලීමට බුදු රජාණන් වහන්සේ සමත් වූ සේක.
සතිය සතු මේ බලය හෙවත් සතියේ බල මහිමය සම්බන්ධයෙන් සර්වඥයන් වහන්සේ මෙසේ වදාළ සේක:
“සතිං ඛ්වාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි”1 - “මහණෙනි, සිහිය වූ කලී සියලු තන්හි ම කැමති විය යුතු යයි මම කියමි”.
එසේම:
“සතාධිපතෙය්යා සබ්බෙ ධම්මා”2 - “සියලු දහම් සතිය ආධිපත්යය කොට ඇත්තේය”.
මීට අමතරව, සතියෙහි පදනම හෙවත් ප්රතිෂ්ඨාව ගැන දේශිත සතිපට්ඨාන සූත්රයේ ආරම්භයේ මෙන්ම අවසානයේ ද ඇති මෙම බරසාර වාක්යය ගැන සලකන්න.
“මහණෙනි, සත්ත්වයන්ගේ පිරිසිදු බව පිණිස, ශෝක පරිදේවයන්ගේ ඉක්මවීම පිණිස, දුක් දොම්නස් නැති කිරීම පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස, නිවන් සාක්ෂාත් කිරීම පිණිස මේ ඒකායන මාර්ගයෙක් වෙයි. එනම් සතර සතිපට්ඨානයෝ යි”.
සති මාත්රය හෙවත් ක්ෂණ මාත්ර සතිය
සාමාන්ය ජීවිතයේ සතිය හෙවත් අප්රමාදය කිසියම් අරමුණකට යොමු කළහොත්, එය එම අරමුණ පිළිබඳ ඇති සැටිය අවබෝධ කරගැනීමට තරම් සෑහෙන කාලයක් පවතින්නේ නැත. ඒ වෙනුවට සිදු වන්නේ සති මාත්රයත් සමගම අරමුණ පිළිබඳව ප්රපංච කිරීමට පටන්ගැනීමයි. මේ අනුව චිත්තවේගී ප්රතික්රියා, අගතීගාමී සිතුවිලි, ප්රත්යවේක්ෂණ හෝ සචේතනික ක්රියා සමග සති මාත්රය පටලැවේ. ධර්මයට අනුව, සතිය බොහෝ විට සම්පජඤ්ඤයත් සමග සමීප සම්බන්ධතාවක් පවත්වයි. මේ සිහිය සහ නුවණ (සිහි නුවණ) වනාහි කළ යුතු නොකළ යුතු බව, කළ හැකි නොකළ හැකි බව සහ තමාගේ රුචි අරුචි බව යන කාරණා අනුව පහළ විය හැක්කේය. මේ අනුව පෙනී යන්නේ සතිය සාමාන්යයෙන් තනිව පෙනී නොසිටින බවයි. මේ කාරණය තේරුම්ගෙන සතියේ නියම බලය දියුණු කිරීමට නම් එය නිර්මලව අමිශ්රව හඳුනාගැනීම වැදගත්ය. මෙයට අපි සති මාත්රය, හුදු සතිය යැයි කියමු.
සති මාත්රය අවබෝධ කිරීම හරහා වැඩ දෙකක් පිළිබඳ වැටහීම සිදු වේ. එනම්, අරමුණක් හුදු සතියට ලක් වූ විට සිදු වන්නේ කුමක්දැයි යන්නත් අනතුරුව චිත්තක්ෂණවල සිදු වන්නේ කුමක්දැයි යන්නත් වටහාගැනීමයි. මෙයට සති මාත්රය යැයි නම් කිරීමට හේතුව නම්, මේ සතිමත් වීම අනුව කිසිම කායික වාචසික හෝ මානසික ප්රතික්රියාවකට නතු නොවී ඇති තතු ඇති සැටියෙන්ම දැකීමය. මෙම සතිමත් චිත්තක්ෂණය කෙනකුගේ අවධානයට ලක් නොවී ගිලිහුණොත් එය අරුමයක් නොවේ. කෙසේ නමුත් සතියේ බල මහිමය දියුණු කිරීම සඳහා නම්, මෙම ක්ෂණ මාත්ර සතිය සමාධියකට ප්රමාණවත් වන තුරු අඛණ්ඩව පැවැත්වීම අත්යවශ්යය. මේ අනුව - එනම් සතිපට්ඨාන සූත්රයට අනුව - මෙම සති මාත්රය නිවනට දොර විවෘත කරන යතුරයි.
සති මාත්රය දියුණු කරගත හැකි ක්රම දෙකකි.
1. කර්මස්ථාන භාවනාව; තෝරාගන්නා ලද අරමුණකට මනසිකාරය යෙදවීම හරහා කරන ක්රමික භාවනාව. 2. එදිනෙදා කටයුතුවලදී හැකි තරම් සිහි නුවණින් කටයුතු කිරීමේ දෙවැනි ක්රමය.
මෙම ක්රම පිළිබඳව අන් තැන්වලදී විස්තර සපයා ඇති නිසා මෙහි ලා නැවත ඇතුළත් නොකරමු.3
මෙම රචනයේ අදහස, සති මාත්රය යන්න හඳුන්වාදීමත් එම සතියම සති බලයක් බවට පත් කරගන්නා ආකාරය දැක්වීමත්ය.
විශේෂයෙන් කෙළවරක් නැති බාහිර කටයුතු අන්ධානුකරණයෙන් පිරීමට පුරුදුව සිටින මෙවැනි යුගයක සමහරු මෙසේ ප්රශ්න කරති. හුදු සති මාත්රය පමණකින් මෙතරම් මහඟු ප්රතිඵල ලැබෙන්නේ කෙසේද? එම ප්රශ්නයට පිළිතුරු වශයෙන් මෙසේ හේතු දැක්විය හැකිය. සැක පහළ කර නොගෙන බුද්ධ වචනයට අනුව පළමුව අත්හදා බලන්න. කෙසේ නමුත් මාර්ගෝපදේශකයකු නැතිව ඒ ගැන තවම ඇදහීමක් නැති අය, ඉතාමත් අහිංසක, ඒ නිසාම අමුත්තක් හැටියට පෙනෙන සතිය වැනි ධර්මයක් සාධාරණ හේතු නොමැතිව අනුගමනය කිරීමට පැකිළෙනු ඇත. එහෙයින් පාඨකයාගේ පරීක්ෂණය සඳහා උපකාර වන “සාධාරණ හේතු” පහත දැක්වනු ලැබේ. එහෙයින් මෙය සතිපට්ඨානයෙහි සාරාර්ථය ගැන දිය හැකි හැඳින්වීමක් හැටියටද, එහි පුළුල් දර්ශන පථ පිළිබඳ පිළිබිඹුවක් හැටියටද අදහස් කරනු ලැබේ. තවද මෙම ප්රතිපදාවට පිළිපන් අය, මතු සඳහන් කරනු ලබන දේවල් තමාම අත්දකිනු ඇතැයි යනු අපගේ විශ්වාසයයි. එමගින් ඔහුට තව තවත් සති අභ්යාසය පුරුදු කිරීමට අවශ්ය උනන්දුව සහ චිත්ත ධෛර්යය ලැබෙනු ඇත.
සති මාත්රයට ආසන්න කාරණා
බලවත් සතියක් ඇති වීමට පාදක වන මේ සති මාත්රයෙහි ආසන්න කාරණා හෙවත් පදට්ඨාන හතරක් වේ. ඒවා එකම මූලාශ්රයේ දැඩිව ගත යුතු නැත. කෙසේ නමුත් මේවා මානසික වර්ධනය කෙරෙහි ප්රධාන වශයෙන් බලපාන බව සලකන්න. ඒවා නම් :-
1. සති මාත්රයේදී පුරුදු කරනු ලබන “පිරිසිඳ දැකීම හෙවත් වෙන් කොට හඳුනාගැනීම” හා ඒ අනුව “නම් කිරීම”. 2. සති මාත්රය සතු අවිරුද්ධ ප්රතිපදාව, නොගැටෙන බව. 3. සති මාත්රය සතු නැවතිල්ලේ කටයුතු කරන බව හා නිරෝධය පිළිගැනීම. 4. සති දියුණුව අනුව ඉදිරියේදී පහළ වන විපස්සනා ඥාන දර්ශනය.