විමුක්ත විමුක්තිය - මාතර ඥානාරාම හිමි.pdf

කතෘ :
මාතර ඥානාරාම හිමි
ප්‍රකාශිත වර්ෂය :
2015
මුද්‍රිත වර්ෂය :
2015
පිටු ගණන :
188
බාගත කිරීම් ගණන :
4,339
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-17
ගොනුවේ ප්‍රමාණය :
2.9 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 95

විමුක්ත විමුක්තිය යනු මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය මහෝපාධ්‍යාය මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමීන්වහන්සේගේ භාවනා උපදෙස් ඇසුරින් සකස් වූ කෘතියකි. මෙහි ඉංග්‍රීසි මුල් කෘතිය වූ Freed Freedom පොත ඇසුරින් රාණී සේනාරත්න රාජපක්ෂ මහත්මිය විසින් මෙම සිංහල පරිවර්තනය සිදු කර ඇත.

මහලු වියේදී සතිපට්ඨාන සහ ආනාපානසති භාවනා වඩා මාර්ගඵල අවබෝධය සඳහා කැප වූ එක්තරා උපාසිකාවක සහ කර්මස්ථානාචාර්ය මාතර ශ්‍රී ඥානාරාම නාහිමියන් අතර හුවමාරු වූ භාවනා උපදෙස් හා අත්දැකීම් ඇතුළත් ලිපි සංග්‍රහයක් මෙහි අන්තර්ගත වේ. භාවනානුයෝගීන්ට ප්‍රායෝගික කමටහන් සහ සතිපට්ඨාන මාර්ගයේ ගමන් කිරීමට මෙම ලිපි මහත් පිටුවහලක් සපයයි.

මෙම කෘතිය 2015 වසරේදී මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රථම වරට ධර්ම දානය පිණිස මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද්දකි.

පෙරවදන

මා හට මේ කෘතියේ ඉංග්‍රීසි පිටපත ප්‍රථම වතාවට කියවන්නට ලැබුණේ 1987 දී පමණ නිල්ලඹ ගිහි භාවනා මධ්‍යස්ථානයේදී ගිහියකුව සිටියදීය. ඇති වූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් එහි වැඩ සිටි ස්වාමීන්වහන්සේ මෙහි ටයිප් අකුරු පිටපතක් ලබා දී, එය කියවන ලෙසට මතක් කළ සේක. කියවන්නට මතක් කළේ පෙරවදන පමණක් වුවද, එය දිගටම කියවූ මට එය කමටහනක් වූයේ ජීවිතයේ ලොකු පෙරළියක් ඇති කරමිනි.

මීතිරිගල නිස්සරණ වනය නම් වූ පුණ්‍ය භූමියද මාහිමිපාණන් වහන්සේ, අපගේ කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු පූජ්‍යවන්ත උත්තම ස්වාමීන්වහන්සේලාද මා වැනි ගිහියකුට හඳුන්වාදීමක් එවකට මේ පොතින් අහම්බෙන් මෙන් සිදු වීම ඇත්තෙන්ම අරුමයක් වැන්න. ඒ අතරට මාහිමිපාණන් වහන්සේගේ “සප්ත විශුද්ධිය සහ විපස්සනා ඥාන” නමැති පොතත් මට ලැබීම, ජාඩියට මූඩිය මෙන් විය. ඒ සමය ජීවිතයේ අනුස්මරණීය මතකයක් වශයෙන් නිල්ලඹත් සමග බැඳී තවමත් පවතියි.

මා මීතිරිගලට පැමිණ පැවිදිව ගත කළ මුල් කාලයේදී රහසිගතව පැවැති මේ ලිපි සංග්‍රහය පසුව මුද්‍රණය කරන ලදී. මෙය කියවූ මිහිඳු පුළුක්කුඩි මහතා මෙය සිංහලට නැඟීමට උත්සුකව අපට දැනුම් දුන් පසු එම කටයුත්ත රාණි රාජපක්ෂ මහත්මියට යොමු කළෙමි.

දැන් පොත ඔබ අතය. කළ යුත්ත ඔබට බාරයි.

මිහිඳු පුළුක්කුඩි මහතා මේ කෘතිය ධර්ම දානයක් ලෙස පිළිගන්වමින්, තමාට සහ පහත සඳහන් වන සිය ඥාතීන්ට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරයි.

- මේ අන්දමේ පුණ්‍ය ක්‍රියාවල යෙදෙන්නට හැකි වන පරිදි ධනයක් උරුම කළ පියාණන් වන හෙන්ඩ්‍රික් වීරසේන පුළුක්කුඩි මහතාට,

- ළපැටි වියේ පටන්ම සිය දරුවන් ධර්මානුකූල පරිසරයක ඇති දැඩි කළා වූත් මේ කෘතිය සිංහලට නැඟීමට යෝජනා කළා වූත් මෑණියන් වන ලලනී පුළුක්කුඩි මහත්මියට,

- භාවනා මාර්ගයට දැඩි ලෙස යොමු වී සිටින සහෝදරිය වන සංඝමිත්තා පුළුක්කුඩි මහත්මියට,

- තවද, කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේදී නිරන්තරයෙන් භාවනා කළා වූත් වර්ෂ 1988 දී අභාවප්‍රාප්ත වූත් සහෝදරයා වූ උදය පුළුක්කුඩි මහතාද නිර්වාණ සුඛයට පත් වේවායි ප්‍රාර්ථනා කරයි.

මේ ග්‍රන්ථයේ පාඨක ඔබත් මිහිඳු පුළුක්කුඩි මහතාට සහ ඔහුගේ ඥාති පිරිසට පින් අනුමෝදන් කරන්න.

සාධු සාධු සාධු!

මෛත්‍රියෙනි,
උ. ධම්මජීව හිමි.
2015. 04. 10

හැඳින්වීම

තථාගතයන් වහන්සේ සතිමත් බවේ පදනම් හතර පිළිබඳව වදාළ මහා සතිපට්ඨාන සූත්‍රය, ආරම්භක වූ නිසැක සහතිකයක් සහිතව පටන්ගැනීමත් නියත වූ පොරොන්දුවක් සහිතව කෙළවර කිරීමත් නිසා අති විශේෂ වූවකි. නිසැක සහතිකය නම්, ඒ සූත්‍රයේ විස්තර වන සතිමත් බවේ පදනම තුළ ඒකායන මාර්ගයක් පමණක් ඇති බවය. එය වනාහි පුද්ගලයා විශුද්ධියට පත් කරන, සෝක පරිදේව කෙළවර කර දුක් වේදනා නැති කර අවසානයේදී නිර්වාණය සාක්ෂාත් කරන මාර්ගයකි. නියත පොරොන්දුව නම්, උපරිම වශයෙන් වර්ෂ හතක් හෝ අවම වශයෙන් දවස් හතක් තුළ එය සාක්ෂාත් කරගනු කැමැති අයකුට ප්‍රතිඵල දෙකකින් එකක් ලැබෙන බවය; එක්කෝ දැන්, මෙහිදී අවසාන ඵලයට එළඹිය හැකිය. නැතහොත් උපාදාන මාත්‍රයක් හෝ ඉතිරි වී ඇත්නම්, අනාගාමි ඵලයට එළඹිය හැකිය.

මේ අති විශේෂ ලක්ෂණ දෙකෙහි වැදගත්කම, බුද්ධ ධර්මය උච්ච තත්ත්වයක පැවැති යුගයේ මෙන් නොව අද දවසේ සතිපට්ඨාන භාවනාව කරන්නෝ වැඩිදෙනෙක් නොසලකති. ඔවුන්ට නම් ඒ භාවනාව යම් අනාගත කාලයක පහළ වන බුද්ධ ශාසනයකදී ලබාගත යුතු මාර්ග ඵලයක් සඳහා, වැඩි උනන්දුවක් නැතිව කරන ළදරු පාසල් පුහුණුවකි. යම් අනාගත කාලයක ප්‍රයෝජනයට ගන්නා ලෙස ආයෝජනය කරන නිකම්ම කැමැත්තකි. එහෙයින්, මේ ධර්ම මාර්ගයේ උපෙය්‍යාගයෙන් යුතුව වීර්යයෙන් යුතුව යන්නේ නම් තථාගතයන් වහන්සේගේ නිසැක සහතිකය හා නියත පොරොන්දුව වර්තමානයට පවා අදාළ බව යම් තැනැත්තකු සොයාගතහොත්, එය බොහෝදෙනකු ධෛර්ය කරවනසුලු ප්‍රවෘත්තියක් වනු නොඅනුමානය.

මේ කෘතියට ප්‍රධාන තේමාව වී ඇත්තේ සතිපට්ඨාන භාවනාවට එක් උපාසිකාවකගේ මහත් කැප වීමයි. ඇය තථාගතයන් වහන්සේගේ නිසැක සහතිකයේත් නියත පොරොන්දුවේත් වලංගු භාවය පිළිබඳ දුර්ලභ සාක්ෂිකාරියකි. අබෞද්ධ පවුලක උපන් නමුත් ඇය භාවනාව පිළිබඳව කොයි තරම් තියුණු ගැඹුරු උනන්දුවක් වර්ධනය කරගත්තිද යත්, සිය දැඩි අවබෝධය බෞද්ධ ධර්ම ග්‍රන්ථ ඇසුරින් තව දුරටත් තහවුරු කරගැනීමට ඇයට අවශ්‍ය විය. ඇය සිය මුල්ම කල්‍යාණ මිත්‍රයා සොයාගත්තේ සිය නිවසේ සේවය කළ ඇත්තන් අතුරිනි. ඒ කල්‍යාණ මිත්‍රයා ආනාපාන සතිය පිළිබඳ මූලික පාඩම් ඇයට කියා දී ඇත. ඊළඟ කල්‍යාණ මිත්‍රයා සහ උපදේශකයා - එනම් මීතිරිගල නිස්සරණ වනයේ ප්‍රධාන කර්මස්ථානාචාර්යයන් වහන්සේ - ඇයට හමු වූයේ ඇය වයසින් හැත්තෑ ගණන්වල මුල් භාගයේ වසද්දීය. ඉහළම මාර්ග ඵලය සාක්ෂාත් කරගැනීම, ඇය එතැන් පටන් සම්පූර්ණ කැප වීමෙන් දැරූ උපරිම ප්‍රයත්නය බවට පත් විය. නිවසේ විවිධ දෛනික කටයුතු, මවකගේ යුතුකම් සහ මහලු වියේ දුර්වලතා මධ්‍යයේ වර්ෂ හතක් මුළුල්ලේ වෙහෙසී ඇය සාක්ෂාත් කරගත්තේ කුමක්ද, කෙසේද යන්න පිළිබඳව ඇයගේ ලිපි සාක්ෂි දරනු ඇත.

ඇගේ ලිපි කොයි තරම් චිත්ත ප්‍රබෝධයක් ඇති කරවුවත් ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමට අපි මඳක් පසුබට වෙමු - ඊට හේතු දෙකකි. එක හේතුවක් නම්, මෙවැනි ප්‍රකාශන පහත් කොට සලකමින් ඊට අදාළ පුද්ගලයින්ට බරපතළ දෝෂාරෝපණ කිරීමට මහජනයාගෙන් කොටසක් යෙදීමය; මේ ආකල්පයට බොහෝ විට අනුබල ලැබෙන්නේ ස්වාර්ථවාදී හෝ ප්‍රබුද්ධත්ව විරෝධී කොටස් වෙතිනි. දෙවන හේතුව, භාවනානුයෝගියකු පිළිබඳ කාරණාවලදී යම් යම් අවදානම් තිබීමය. භාවනානුයෝගීන් හුදෙකලාව විසීමට ඇති කැමැත්ත ගැන සැලකිල්ලක් නැතිව ප්‍රෝඩාකාරයින් සහ ඕනෑවට වඩා උනන්දු පුද්ගලයින් සිය ගණනින් ඔවුන් වට කරගනු ඇත.

මේ නිසා, ඇය කවුදැයි හෙළි නොකර සිටීම ඇතැම් පාඨකයින්ගේ බලාපොරොත්තු කඩ කරන්නක් විය හැකිය. එහෙත් ඇගේ සාර්ථකත්වයේ රහස ඇගේම ලිපි තුළින් හෙළි කරගැනීමට ඔවුන්ට සම්පූර්ණ නිදහසක් ඇත; ඒ පිළිබඳව යම් හෝඩුවාවල් කීපයක් අපටද දිය හැකිය - ඒවා නම්, උට්ඨාන වීර්යය, නිහතමානය, කීකරුකම සහ කෘතඥතාවයි.

මීතිරිගල නිස්සරණ වනය,
මීතිරිගල.
1986 සැප්තැම්බර්.