රුවන්වැලි මහා සෑය - නාඋයනේ අරියධම්ම හිමි.pdf
- කතෘ :
- නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2006
- මුද්රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 16
- බාගත කිරීම් ගණන :
- 7,370
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-11-19
- ගොනුවේ ප්රමාණය :
- 4.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
රුවන්වැලි මහා සෑය යනු අනුරාධපුර ස්වර්ණමාලී මහා චෛත්ය රාජයාණන් වහන්සේගේ ඓතිහාසික හා ශාසනික පසුබිම, ධාතු නිධානෝත්සවය සහ ආශ්චර්යවත් සිදුවීම් විස්තර කරමින් අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථයකි. උන්වහන්සේගේ 68 වැනි ජන්ම දිනය සහ 2550 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මෙම කෘතිය මුද්රණය කොට ධර්ම දානය පිණිස බෙදා හැර ඇත.
මෙහි ලක්දිව බුදු සසුන පිහිටුවීම, දුටුගැමුණු මහරජතුමන් විසින් මහා සෑය ඉදිකිරීම සඳහා වස්තු පහළවීම, සෑයේ වැඩ ඇරඹීම, විශ්මිත ධාතු ගර්භය නිර්මාණය කිරීම සහ රාමග්රාමයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා නිධන් කිරීම ඇතුළු ඓතිහාසික පුවත් මනාව විස්තර කෙරේ. පාඨක සිත් තුළ බුද්ධාලම්බන ප්රීතිය හා ශ්රද්ධාව වර්ධනය වන පරිදි කරුණු ඉදිරිපත් කර ඇත.
අරියමග්ග සංවිධානය මගින් 2006 වසරේදී ප්රකාශයට පත් කරන ලද මෙම කෘතිය කුරුණෑගල වයඹ ප්රින්ටර්ස් ආයතනය මගින් මුද්රණය කර තිබේ.
හැඳින්වීම
සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අගය දැක්වෙන විශ්මිත නිර්මාණ මහ පොළොව මත බොහෝ ඇත. ඒ කිසිවක් බුදුපියාණන් වහන්සේගේ නියෝග මත ගොඩ නැගුන දෑ නොවේ. ඒවා සැදැහැති - නුවණැති දෙවි මිනිසුන් විසින් නිවන් පතා ගොඩ නගන ලද පූජනීය වස්තුය. එවැනි ලෝක පූජිත වස්තූන් අතර රුවන්මැලි මහසෑය අග්රගණ්ය වේ. අද්විතීය වේ. අසහාය වේ. අසදෘශ වේ.
ශ්රී කල්යාණී යෝගාශ්රම සංඝ සංස්ථාවේ ප්රධාන අනුශාසක, ත්රිපිටකධරාචාර්ය, කර්මස්ථානාචාර්ය, පූජ්යපාද නා උයනේ ශ්රී අරියධම්මාභිධාන නායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ 68 වැනි ජන්ම දිනය වෙනුවෙන් සිදු කරන අසිරිමත් පාරමී පින්කම වෙනුවෙන්, ස්වර්ණමාලී චෛත්ය රාජයන් වහන්සේගේ ඓතිහාසික ධර්ම විවරණය ඒ මාහිමියන් වහන්සේගේම ප්රියංකර වචනයෙන් ලියැවී මුද්රණය වූ මේ අගනා දහම් පොත ද එම පිංකමේම ධර්ම දාන අංශයට අයත් මහඟු පිංකමකි.
මෙයින් අප ලබන කුසල් බලය පාරමී සුවයෙන් යුතුව, අටසැට වැනි ජන්ම දින සපුරන ස්වකීය ජීවිතයම බුද්ධ පූජාවක් කරගත් පූජ්යපාද නා උයනේ ශ්රී අරියධම්ම මාහිමියන් වහන්සේට නිදුක්ව නීරෝගීව වස්සිය විසිරවස් කල් දීර්ඝායුඃ ශ්රී වින්දනයට හේතු වේවා. පාරමී ගමන නිර්බාධකව සාර්ථක වී උතුම් සම්බුදු පදවිය ලබන්නට වාසනා වේවා.
මේ උතුම් කුසල් බලය අපවත් වී වදාළ ශ්රී කල්යාණී යෝගාශ්රම සංඝ සංස්ථා සමුත්පාදක අතිගරු රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්රී ජිනවංසාභිධාන නායක මාහිමියන් වහන්සේටද එම සංස්ථාවෙහි ප්රධානාචාර්ය රාජකීය පණ්ඩිත මාතර ශ්රී ඤාණාරාම නායක මාහිමියන් වහන්සේටද, එම සංඝ සභාවේ සභාපති පණ්ඩිත ගැටමාන්නේ ශ්රී විමලවංස මාහිමියන් වහන්සේටද, උතුම් සම්බුදු පදවි ලබන්නට හේතු වාසනා වේවා.
තවද, මේ උතුම් කුසල් බලය මෙම ධර්ම පුස්තක මුද්රණයට අතහිත - ධනය යෙදූ මැද පෙරදිග සේවයේ නියුතු විජයපාල පෙරේරා මහතා සහ එම මහත්මියටත්, එම යුවලගේ ජීවමාන දෙමව්පියන්ට හා ඥාති මිත්රාදීන්ට ද, පරලෝ සැපත් ඥාති මිත්රාදීන්ට මේ පුණ්ය සම්භාරය අත්වේවා, කරනු ලබන රැකිරක්ෂා, ව්යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේවා, සම්යක් ප්රාර්ථනා ඉෂ්ඨ වේවා, සැමට නිවන් සුව ලැබේවා.
මේ පුණ්යාවකාශය ලබා දුන් අරියමග්ග සංවිධානයද පිනෙන් බැබළේවා.
මෙත් බෝසතුන් සහ විහාර මහා දේවී දුටුගැමුණු, සැදැහැතිස් දෙවි පරපුරටද සියලු සත්නටද මේ සියලු පින් ලැබේවා.
මෙයට - හිතෛෂී,
හැවැන්පැලැස්සේ චන්ද්රවංස ස්ථවිර,
නාථගණ ආරණ්ය සේනාසනය,
මහකෙළිය, මාස්පොත.
2006.01.12
සබ්බ දානං ධම්ම දානං ජිනාති...
සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බං රසං ධම්ම රසො ජිනාති සබ්බං රතිං ධම්ම රතී ජිනාති තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති
ආමිස දාන සියල්ල අභිබවා ධර්ම දානය ජය ගනී ආමිස රස සියල්ල අභිබවා ධර්ම රසය ජය ගනී ආමිස ඇලීම් සියල්ල අභිබවා ධර්ම රතිය ජය ගනී ලෞකික සැපදුක් සියල්ල අභිබවා අමා මහ නිවන ජය ගනී (ධම්ම පද)
මහ පොළෝතලය සමතලා කොට අසුන් පනවා බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා ප්රණීතතම සිවුපසයෙන් පූජා කරනවාටත් වඩා ලෝවාමහාපාය සුවාසූදහසක් වෙහෙර විහාර ජේතවනාරාම පූර්වාරාම වැනි විහාර ගොඩනැගීමටත් වඩා සතර පද ගාථාවකින් තරම්වත් කෙරෙන ධර්ම දානයම අති උතුම් යයි වදාළ බුද්ධ වචනය මුදුනින් පිළිගත් “අරියමග්ග” සංවිධානය මේ කුඩා දහම් පොත මුද්රණය කරවා ධර්මදාන වශයෙන් පිරිනමනුයේ අසීමිත ශ්රද්ධාවෙනි.
මේ දහම් පොත කියවන අයට අකුරක් පාසා බුද්ධාලම්බන ප්රීතිය පහළ වේවා. ශීල ගුණ බණ භාවනා වඩා දෙලොව ජයගෙන අමා මහ නිවන් සුවයම ලබත්වා යන පරම මෛත්රියෙන් යුතුව ධර්ම දානමය වශයෙන් මෙය මුද්රණය කරවා බෙදා දෙන “අරියමග්ග” සංවිධානයේ සාමාජික සියළු දෙනාටමත් එම සංවිධානය හා සමඟ ස්වර්ණමාලී චෛත්ය වන්දනා අසදෘශ පිංකම් මාලාව හා සම්බන්ධවන සියළු දෙනාටමත් සාම්පරායික ස්වර්ග සම්පත්තියත් ප්රාර්ථනීය උතුම් බෝධියකින් ශාන්ති ලක්ෂණ නිර්වාණ සම්පත්තියත් ඒකාන්තයෙන් සාක්ෂාත් වේවා.
“සබ්බේ භද්රානි පස්සන්තු”
මෙයට මෙත්සිතී,
නා උයනේ අරියධම්ම ස්ථවිර
නා උයන ශ්රී කළ්යාණී යෝගාශ්රම සංස්ථා සේනාසනය
පන්සියගම, මැල්සිරිපුර
2550 - 2006