යෝගාවචර ජීවිතයකට කමටහන් බණ - මාතර ඥානාරාම හිමි.pdf
- කතෘ :
- මාතර ඥානාරාම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2011
- මුද්රිත වර්ෂය :
- 2011
- පිටු ගණන :
- 246
- බාගත කිරීම් ගණන :
- 2,259
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-06-19
- ගොනුවේ ප්රමාණය :
- 1.1 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මීතිරිගල නිස්සරණ වන ආරණ්යයේ ප්රධාන කර්මස්ථානාචාර්ය්ය මහෝපාධ්යාය අතිපූජ්ය මාතර ශ්රී ඥානාරාම මහා ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් යෝගාවචර භික්ෂු පිරිස උදෙසා අවස්ථානුකූලව දේශනා කරන ලද කමටහන් ධර්ම දේශනා එකතුවක් ඇසුරින් මෙම ග්රන්ථය සකස් කර ඇත.
සීල සූත්රය, සති සම්පජඤ්ඤය, ආනාපානසති භාවනාව, විදර්ශනා අනුපස්සනා, සතර කමටහන් ආදී භාවනානුයෝගී යෝගාවචර ජීවිතයකට අත්යවශ්ය ප්රායෝගික හා න්යායාත්මක කරුණු රැසක් මෙම දේශනාවලින් විග්රහ කෙරේ.
නාඋයනේ අරියධම්ම ස්ථවිරයන් වහන්සේගේ පෙරවදනකින් සහ උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ හැඳින්වීමකින් සමන්විත මෙම කෘතිය, මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය මගින් 2011 වසරේදී ධර්මදානය පිණිස මුද්රණය කර ප්රකාශයට පත් කරන ලද්දකි.
පෙරවදන
ස්වක්ඛාතො භගවතා ධම්මො - ත්රිපිටක පර්ය්යාප්තිය සහිත නවලොවුතුරු ධර්මය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්යවතුන් වහන්සේ විසින් ආදි කල්යාණ වශයෙන් ද, මධ්ය කල්යාණ වශයෙන්ද අවසාන කල්යාණ වශයෙන් ද කරන ලද බැවින් ස්වාක්ඛාත නම් වේ.
සර්වඥයන් වහන්සේ සවාසනා සකලක්ලේශයන් කෙරෙන් සර්වාකාරයෙන් දුරින්ම දුරුවී පරම විශුද්ධ සන්තාන ඇතිව අර්හත් ගුණයෙහි පිහිටා දෙසූ බැවින් ද ධර්මය ස්වාක්ඛාතය.
සංඛත අසංඛත සර්ව ධර්මයන් සර්වාකාරයෙන් ස්වකීය ප්රඥාවෙන් ම අවබෝධ කොට සම්මා සම්බුද්ධ ගුණයෙහි පිහිටා දෙසූ බැවින් ද ධර්මය ස්වක්ඛාතය.
ත්රිවිද්යා, අෂ්ඨ විද්යා, පසළොස් චරණ ධර්මයන් ප්රතිලාභ කොට විජ්ජාචරණ සම්පන්න ගුණයෙහි පිහිටා දෙසූ බැවින් ද ධර්මය ස්වක්ඛාතය. සුපරිශුද්ධ වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ගමන්කොට අත්යන්ත පාරිශුද්ධ වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කොට සුගතො ගුණයෙහි පිහිටා දෙසූ බැවින් ද ධර්මය ස්වාක්ඛාතය.
ලොවි ලොවුතුරා හිතසුව පිණිස දෙවි මිනිසුන්හට සදහම් දෙසමින් සසර කතරින් එතර කළ බැවින්, සත්ථා දෙවමනුස්සානං ගුණයෙහි පිහිටා දෙසූ බැවින් ද ධර්මය ස්වාක්ඛාතය. ගාම්භීර චතුරාර්ය සත්යය අවබෝධ කොට අන් අයටත් අවබෝධ කරවා බුද්ධ ගුණයෙහි පිහිටා දෙසූ බැවින්ද ධර්මය ස්වාක්ඛාතය.
අඤ්ඤා තත්ථං පසාදත්ථං සතංචෙ හොති මන්තනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ ශ්රී සද්ධර්මය චිත්ත ප්රසාදය සහ අවබෝධය පිණිස පවතී. අමතන්දදොව සො හොති යො ධම්ම මනුසාසති සම්මා සම්බුද්ධ දේශිත ශ්රී සද්ධර්මයෙහි පිහිටා සිට දේශනා කිරීම අමෘතය බෙදා දීමකි.
ඈත අතීත භව සංසාරයෙහි සිට දීර්ඝ කාලීනව භාවිත සුභාවිත ආත්ම සන්තාන දරා සිටියා වූ ද, දේශීය හා භාෂා විෂයෙහි සහ ත්රිපිටක පර්ය්යාප්ත - ප්රතිපත්ති ධර්මයෙහි පරප්රාප්ති වූ ද, ශ්රී ලංකාවේ ථේරිය භික්ෂු වංශයේ මුදුන් මල් කඩක් වැනි වූද, ශ්රී ලංකාවේ රාමඤ්ඤ මහා නිකායේ ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ ප්රධානාචාර්ය්ය වූ ද, මීතිරිගල නිස්සරණ වන ආරණ්යයේ ප්රධාන කර්මස්ථානාචාර්ය්ය වූ ද, අතිගරු පූජනීය මහෝපාධ්යාය මාතර සිරි ඥානාරාමාභිධාන මාහිමියන් වහන්සේ විසින් අවස්ථානුකූලව යෝගාවචර සඟ පිරිසට දේශනා කරන ලද ධර්ම දේශනා රැසක් පටිගත කරන ලදුව, ඉන් දේශනා පන්තියක් මෙසේ මුද්රණය කරවා ධර්මදාන වශයෙන් බෙදාදෙමින් පිරිනමනුයේ සදහම් අමාරස විඳහනු කැමති බෞද්ධ බෞද්ධ ගිහි පැවිදි සැමගේ හිත සුව පිණිස අමාමහ නිවන් සුව අපේක්ෂාවෙනි.
දේශනා ලිපි සපයා පිරිනැමූ පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්ථවිරයන් වහන්සේට ද, පූජ්ය උඩුගම්පල ධම්මරංසි ස්ථවිරයන් වහන්සේට ද, පිටපත් කිරීමෙන් හා සෝදුපත් බැලීමෙන් උපකාර කළ පූජ්ය කෝට්ටේ වජ්ජ ස්වාමීන් වහන්සේ, මාතලේ මහානාම ස්වාමීන් වහන්සේ, බඩල්කුඹුරේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, හපුරුදෙණියේ පියදස්සන ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලාට ද, මේ දහම් පොත භාවිතා කරන සැමට ද ආයුරාරෝග්යාදි සැපත්, ශීල සමාධි ප්රඥාභිවෘද්ධියත් දෙලොව සුබ සෙතත්, ධ්යානාභිඥා මාර්ග ඵල නිර්වාණ ධාතුවත් සුවසේ සාක්ෂාත් වේවා.
“චිරං තිට්ඨතු සද්ධම්මො-ධම්මෙ හොන්තු සගාරවා සබ්බෙව සත්තා කාලෙන -සම්මා දෙවො පවස්සතු” බුද්ධඝෝස මාහිමි - අට්ඨසාලිනී
නාඋයනේ අරියධම්ම ස්ථවිර,
නා උයනේ ආරණ්ය සේනාසනය
පන්සියගම - 60554
හැඳින්වීම
දූරෙ සන්තො පකාසෙන්ති හිමවන්තොව පබ්බතො අසන්තෙත්ථ න දිස්සන්ති රත්තිං ඛිත්තා යථා සරා (ධ. ප. 304 ගාථාව)
භාවිත භාවනා ඇති සාධූහු දුර සිටියාහු ද හිමවත් පව්ව මෙන් (ඇතට යත් යත් ම) ප්රකට වෙති. මෙහි ආඥාන පුද්ගලයො රෑ විදුන ලද හියක් මෙන් නො පැනෙත්.
අපවත් වී වදාළ අති පූජනීය මාතර සිරි ඥානාරාම ස්වාමීන් වහන්සේ පිළිබඳ ඒ සුවඳ මතකය අමුතුම අසිරිමත් දෙයකි. කොපමණ කල් ගියත් එය අලුත්වැඩියා වෙමින් අපට ජීවයම කවයි.
“අමා බිංදු සිරි නැණරම් මාහිම ගුණ සමරුව” නමින් පළ වූ ස්වාමීන් වහන්සේගේ ගුණ සමරු කලාපයේ එම සංස්කාරක ස්වාමීන් වහන්සේ “පසුබිම” ලිපියෙහි ලියා දක්වා ඇති පරිදි (අංක 4 යටතේ) මාහිමි ලේඛන හා දේශන එකතුවක් දෙවන පොතක් වශයෙන් එළිදැක්වීමේ අදහසක් පැවතින. මෙය යම් ආකාරයකට එය ක්රියාත්මක කිරීමක් ලෙස දැක්විය හැක
රුවන් රාජපක්ෂ මහත්මයාගේ විශේෂ උනන්දුව හා දායකත්වය යටතේ කමල් ඇඹුල්දෙණිය මහතා ඇතුළු “ලිතිර” කාර්ය මණ්ඩලය විශාල උනන්දුවකින් මෙහි නිමාව සිදුවිය.
ප්රථමයෙන් පොතක් ලෙස එළිදැක්වීමේ දී එයට ආධාර උපකාර කළ පිරිසත් එක සේ මෙහි ලා මතක් කළ යුත්තේ අනුමෝදනා ශීර්ෂයෙනි.
මේ සියලු දෙනාට ම අප මාහිමිපාණන් වහන්සේ එළි පෙහෙළි කරදුන් මාවත තම තමාගේ ප්රතිපදාව වේවා! මේ ජීවිතයේ දී ම, මෙම ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ දී ම සත්යය සාක්ෂාත් කරගැනීමට මෙම ධර්ම දානමය කුසලය හේතුවේවා! යි පතන්නේ මෛත්රියෙනි.
උඩඊරියගම ධම්මජීව භික්ෂුව
මීතිරිගල, නිස්සරණ වනය.
2011-11-11