මොහඳුර විනිවිද - කොස්වත්තේ අරියවිමල හිමි.pdf

කතෘ :
කොස්වත්තේ අරියවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2016
මුද්‍රිත වර්ෂය :
2016
පිටු ගණන :
96
බාගත කිරීම් ගණන :
1,858
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-11-29
ගොනුවේ ප්‍රමාණය :
370 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 49

මොහඳුර විනිවිද යනු සළායතන, විඤ්ඤාණය, නාමරූප සහ සක්කායදිට්ඨිය ආශ්‍රිත ගැඹුරු දහම් කරුණු සරලව විග්‍රහ කරමින් කොස්වත්තේ අරියවිමල හිමියන් විසින් සම්පාදිත දහම් පොතකි.

මෝහය සැකසෙන ආකාරය, සසර බැඳීම ඇතිවන පිළිවෙළ සහ සූත්‍ර දේශනා ඇසුරෙන් අන්ත දෙක හා මධ්‍යය (මජ්ඣෙ) නුවණින් විනිවිද දකින අයුරු මෙහි මූලික මාතෘකා ඔස්සේ පැහැදිලි කෙරේ. විශේෂයෙන් චූළවේදල්ල සූත්‍රය, මජ්ඣෙ සූත්‍රය ආදී සූත්‍ර ධර්මයන්හි එන ගැඹුරු අර්ථ විමර්ශනයට ලක් කර ඇත.

ප්‍රධාන මාතෘකා අතර:

  • හිතේ හැටි සහ මෝහයේ තරම
  • මෝහය සැකසෙන්නේ කෙසේ ද?
  • විනිවිද යා යුතු මධ්‍යය
  • චූළවේදල්ල සූත්‍රයෙන් හා මජ්ඣෙ සූත්‍රයෙන් කෙරෙන විවරණ
  • නාමයෙන් රූපයෙන් මධ්‍යය වන විඤ්ඤාණය
  • සක්කායනිරොධො මජ්ඣෙ

මෙම කෘතිය 2016 වසරේ දී කර්තෘ ප්‍රකාශනයක් ලෙස ධර්මදානය පිණිස මුද්‍රණය කරවා ඇත.

පෙරවදන.

බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ වදාළහ. “මහණෙනි, මම නුඹලාට සියල්ල දේශනා කරමි. මහණෙනි, සියල්ල යනු කුමක්ද? ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් ධම්මත් ය. මහණෙනි, යමෙක් මම මේ සියල්ල ප්‍රතික්ෂේප කොට අනෙක් සියල්ලක් පණවන්නෙමියි කියන්නේ නම් එය වචන මාත්‍රයක් පමණි. විමසුවහොත් ඔප්පුකර පෙන්වන්නට නො හැක්කක් පමණි. අතිරේක වෙහෙසකට පැමිණීමක් පමණි. එයට හේතු කවරේද? විෂය නැති කමයි.” සං: නි: සබ්බ සූත්‍රය.

ලෝකයේ මොනවා තිබුණත් පුද්ගලයාගේ අත්දැකීම් සීමා වන්නේ සළායතනික සම්බන්ධතාවට ය. සසර ගොඩනගන්නේ මේ සළායතනික සම්බන්ධතාවයි. ඇස හා රූප, කන හා ශබ්ද, නාසය හා ගන්ධය, දිව හා රසය, කය හා ඵොට්ඨබ්බය, මනස හා ධම්ම යන අජ්ඣත්තික හා බාහිර අන්ත දෙක අතර සංයෝජනය වීමක් නැත. ඉන්ද්‍රිය හා අරමුණ ප්‍රත්‍යය කරගෙන පුද්ගල මනසේ යම් ඡන්දරාගයක් වන්නේ නම් එය එහි සංයෝජනයයි. පුද්ගලයා බැඳෙන්නේ ඒ ඡන්දරාගයටයි. තණ්හාවටයි. මේ තණ්හා කරන්නේ මධ්‍යයෙහි වූ විඤ්ඤාණය විසින් මවනු ලබන නාමරූප පිළිබිඹුවටයි. ඒ පිළිබිඹුව බාහිරව ඇති දෙය හැටියටත් එය අත්දකින්නා තමා හැටියට පුද්ගලයා සිතුව ද, එය ඡන්ද මූලකව, ආයතන ස්පර්ශයෙන් සමුදය වූ මනසිකාරයෙන් බිහි වූ විඳීම් හැඳිනීම් චේතනා වශයෙන් විඤ්ඤාණයේ සැකසුන පිළිබිඹුවකි. නාමරූපයෙහි පිහිටි මේ විඤ්ඤාණය අභිසංඛත විඤ්ඤාණයයි. අරමුණු ගැනීමේ දී ප්‍රත්‍යය වන්නේ වින්දන සඤ්ජානන සංචේතනා ස්පර්ශ මනසිකාර යන මේ නාම ධර්මත් උපාදායරූපත් බව නුවණින් නො දැකීම මෝහයයි. මේ ප්‍රත්‍ය සම්බන්ධතාව නුවණින් දකින්නේ නම් මොහඳුර විනිවිද යන්නේ එවිටයි. නාමරූපයෙහි පිහිටි විඤ්ඤාණය උපාදාන භව ජාති ජරාමරණ දුකට මග පාදයි. රහතන් වහන්සේගේ අර්හත් ඵලසමාධියේ දී ඇත්තේ නාමරූපයෙහි නො පිහිටි විඤ්ඤාණයයි. ආයති පුනබ්භවය සඳහා නාමරූප තැනීමක් එහි නැත. නාමරූපය ඇතිව නැතිවන ධර්මතාවක් බව නුවණින් දකින විට අජ්ඣත්තික ආයතන නිරුද්ධ වේ. රූප, ශබ්දා දී සඤ්ඤා ද මැකී යයි. නිවන වන්නේ මේ සළායතන නිරෝධයයි. (සළායතනනිරොධො නිබ්බානං)

මේ ‘මොහඳුර විනිවිද’ පොත් පිංච රැස්යූවේ යට කී කරුණු යම් තරමකට හෝ තේරුම් ගැනීමට ධර්මකාමීන්ට උපකාරයක් වේ ය යන අදහසිනි.

මේ පොත් පිංචේ මුද්‍රණ කටයුතු මැනවින් ඉටු කළ, යක්කල දිමුතු මුද්‍රණාලයාධිපති, එච්. එම් එච්. බණ්ඩාර මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය මෙහි දී පිරිනමමි.

කොස්වත්තේ අරියවිමල හිමි.
ආර්‍ය්‍යනිකේතනය,
261 / 1, ඩී, පරකන්දෙණිය,
ඉඹුල්ගොඩ.
2016