සිංහල මිලින්ද ප්‍රශ්නය - හිනටිකුඹුරේ සුමංගල හිමි.pdf

scanned

කතෘ :
හීනටිකුඹුරේ සුමංගල හිමි
ප්‍රකාශිත වර්ෂය :
1970
මුද්‍රිත වර්ෂය :
1970
පිටු ගණන :
660
බාගත කිරීම් ගණන :
3,527
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-01-25
ගොනුවේ ප්‍රමාණය :
14 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 331

සද්ධර්මාදාස නම් වූ සිංහල මිළින්දප්‍රශ්නය යනු මිලින්ද රජතුමා හා නාගසේන මහරහතන් වහන්සේ අතර පැවති සුප්‍රකට ධර්ම සංවාදය ඇතුළත් පාලි මිලින්දපඤ්හය ඇසුරෙන් රචිත සම්භාව්‍ය සිංහල පරිවර්තනයයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ දී මහනුවර උපෝෂිත පුෂ්පාරාම මහා විහාරවාසී (මල්වතු විහාරයේ වැඩ විසූ) හීනටිකුඹුරේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මෙය සිංහලයට නඟා ඇත.

මෙම සංස්කරණය විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්ය ගලගම පණ්ඩිත ශරණංකර හිමියන් විසින් ලිපි දෝෂාපහරණයෙන් යුතුව ප්‍රතිසංස්කරණය කර ඇති අතර, වැලිවිටියේ ශ්‍රී සොරත නාහිමියන්ගේ දීර්ඝ ඓතිහාසික හා සාහිත්‍යයික විමර්ශනයකින් යුත් සංඥාපනයක්, සිතියම් මෙන්ම පොත අවසානයේ ගැටපද විවරණයක් ද අන්තර්ගත වේ.

මිලිඳු රජුගේ විවිධ වූ උභතෝකෝටික ගැටලු හා නාගසේන හිමියන් විසින් ඉදිරිපත් කළ සාධාරණ උපමා සහිත විසඳුම් මෙහි අඩංගු ප්‍රධාන විෂය ක්ෂේත්‍රය වේ.

සංඥාපනය

මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නඟන ලද උභතොකොටික වූ ප්‍රශ්නයන්ට නාගසෙන නම් රහත්තෙරකෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්‍මානුකූල පිළිතුරු සංග්‍රහ කොට කරණ ලද පාලිග්‍රන්ථය මිලින්ද පඤ්හ ය යි ප්‍රසිද්ධ ය. මේ ග්‍රන්ථයට අයත් වන්නේ පාලිසාහිත්‍යයෙහි ඉතා ශ්‍රේෂ්ඨස්ථානයකි. මෙහි රචනා විලාසය අතිශය මනොඥ ය. එය මෙයින් අපෙක්ෂා කළ අර්ථයට ඉතාමත් උචිත ය. මෙයින් ප්‍රකට වන මිලිඳුරජතුමාගේ ප්‍රශ්න විචාරණශක්තිය පරදින්නේ නාගසෙන තෙරුන්ගේ ප්‍රශ්න විසර්ජනශක්තියට පමණකි. ඒ දෙදෙනාගේ ඒ ශක්ති දෙක ම අතිශයොක්තිව්‍යපගත ය. තර්කයෙහි අතිශය දක්ෂ වූ නාගසෙන තෙරුන් වහන්සේ පරවාදමථනය සඳහා තර්කශාස්ත්‍රයට වඩා අලංකාර ශාස්ත්‍රය ම යෙදූහ. බොහෝ විට ස්වකීයමතයන් ස්ඵුට කිරීමට උන්වහන්සේ උපමාවන්ගේ හා නිදර්ශනයන්ගේ ද පිහිට සෙවූහ. තැනට නිසි උපමානිදර්ශනයන් දැක්වීමෙහි උන්වහන්සේ තුළ වූ ශක්තිය අද්විතීය ය. සිවුපිළිසිඹියා පත් රහත් කෙනෙකුන් තුළ මිස අනෙක් කෙනෙකුන් තුළ නො පිහිටන ධර්‍මප්‍රතිභානයක් මිලින්දපඤ්හයෙහි බොහෝ තැනින් ප්‍රකට වේ.

මිලිඳුරජතුමා හා නාගසෙනතෙරුන් වහන්සේ ද මනස්කල්පිත පුද්ගලයන් නො වන බව මතු දැක්වෙන කරුණුවලින් ඔප්පු වෙයි. ඒ දෙදෙනා අතර සිදු වූ, මේ ග්‍රන්ථයෙහි දැක්වූ, සංවාදය ද නුවූවක් නො වේ. එහෙත් ඒ සංවාදයට අනතුරු ව ම එය ග්‍රන්ථාරූඪ වූයේ ය යි කීමට මේ පොතෙහි මුල ම යෙදී තිබෙන “තං යථානුස්සූයතෙ” යන පාඨය ඉඩ නො දෙයි. ඒ පාඨයෙන් හැඟෙන්නේ ඒ සංවාදය සිදු වීමෙන් කලකට පසු ශ්‍රැතිපරම්පරාවෙන් ලද කරුණු සංග්‍රහ කොට මිලින්දපඤ්හය කළ බව යි. පාලි අටුවාවන්හි කීප පළක ම මිලින්ද පඤ්හයෙන් උපුටාගත් පාඨ ඇතත් ඒ පාඨ දැන් අප අතට පැමිණ තිබෙන මිලින්දපඤ්හයෙහි පාඨයන් හා හැම ලෙසින් ම සමාන නො වන බව මතු දැක්වෙන නිදර්ශනයන්ගෙන් ඔප්පු වේ.

සුමංගලවිලාසිනියෙහි අම්බට්ඨසුත්තවණ්ණනාවෙහි මිලින්දපඤ්හයෙන් උද්ධරණය කළ—

“‘අතිදුක්කරං භන්තෙ නාගසෙන භගවතා කතන්ති.’ ‘කිං මහාරාජාති. ‘මහාජනෙන ගිරිකරණොකාසං බ්‍රහ්මායුබ්‍රාහ්මණස්ස අනෙකවාසීසතකරස්ස ච බාවරිස්ස අනෙකවාසිනං සොළස බ්‍රාහ්මණානං ච සෙලස්ස බ්‍රාහ්මණස්ස අනෙකවාසිනං තිස්සමත්තානඤ්ච දස්සෙසි භන්තෙ’ති. ‘න මහාරාජ භගවා ගුය්හං දස්සෙසි. ඡායං භගවා දස්සෙසි. ඉද්ධියා අභිසංඛරිත්වා නිවාසනන්තරං කායබන්ධනබද්ධං චීවරපාරුපනං ඡායාරූපමත්තං දස්සෙසි මහාරාජා’ ති. ‘ඡායාරූපෙ දිට්ඨෙ සති දිට්ඨො යෙව හොතු භන්තෙ’ති. ‘තිට්ඨතෙතං මහාරාජ, හදයරූපං දිස්වා බුද්ධොති නායස්සතො භවෙය්‍ය, හදයමංසං නීනෙත්වා දස්සෙය්‍ය සම්මාසම්බුද්ධො’ති. ‘කල්ලොසි’1 භන්තෙ නාගසෙනා’ති”.

යන මේ පාඨය පපඤ්චසූදනියෙහි බ්‍රහ්මායුසුත්තවණ්ණනාවෙහි ද, සුත්තනිපාතට්ඨකථාවෙහි සෙලසුත්තවර්‍ණනාවෙහි ද දක්නා ලැබේ. ඒ පොත්හි ලෙඛකප්‍රමාදයෙන් වූ විසදෘශපාඨ පෙනෙතත් එය මෙහි දී සැලකිය යුතු නො වේ.

මේ පාඨය හා අර්ථයෙන් සමාන වන මිලින්දපඤ්හ පාඨය මෙසේ යි—

“‘දුක්කරං භන්තෙ නාගසෙන භගවතා කතං, යං එකස්සපි අදස්සනීයං තං දස්සෙතෙනා’ති. ‘න මහාරාජ භගවා ගුය්හං දස්සෙසි. ඉද්ධියා පන ඡායං දස්සෙසී’ති. ඡායාය හි භන්තෙ දිට්ඨාය දිට්ඨොයෙව හොති ගුය්හං යං දිස්වා නිබ්බුතො හොති. .........................යදි මහාරාජ කොචි භගවතො හදයං දිස්වා බුද්ධොති තස්සපි භගවා හදයං දස්සෙය්‍යා’’. (මුද්‍රිත මිලින්‍දපඤ්හයෙහි 134 පිටුව).

අටුවාවන්හි එන යථොක්ත පාඨය හා මේ මිලින්දපඤ්හපාඨය ද අසමාන ය යි කාට වුවත් පැහැදිලි වේ. මිලින්ද පඤ්හයෙහි වත්ථුගුය්හනිදස්සනපඤ්හයෙහි මුල එක ම සෙලබ්‍රාහ්මණයා පමණක් සඳහන් වෙතත් අටුවා පාඨයෙහි තවත් නම් ද සඳහන් වේ.

මනොරථපූරණියෙහි පස්වන වර්ගයෙහි අටවැනි සූත්‍රවර්‍ණනාවෙහි මිලින්දපඤ්හයෙන් උද්ධෘත—

“‘භන්තෙ නාගසෙන එකස්මිං අච්ඡරාක්ඛණෙ පවත්තිතා චිත්තසංඛාරා සචෙ රූපිනො අස්සු, කීව මහන්තො රාසි භවෙය්‍යා’ති. වාහසතානං ඛො මහාරාජ වීහීනං අඩ්ඪචුළං ච වාහා වීහි- සත්තනම්මථානි චෙව තුම්බා එකච්ඡරාක්ඛණෙ පවත්තිතස්ස චිත්තස්ස සංඛම්පි න උපෙන්ති, කලම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්ති’ති.’”

යන පාඨය මිලින්දපඤ්හයෙහි එන්නේ බොහෝ අඩුපාඩු සහිත ව ය. මේ පාඨයෙහි මුල ම පෙනෙන මිලිඳු රජුගේ ප්‍රශ්නය මිලින්දපඤ්හයෙහි නො පෙනේ. ඊට මුලින් ඌනත්වයක් ඇති බව හැඟේ.

මිලින්දපඤ්හ පාඨය මෙසේ යි:—

“‘(තෙන හි භන්තෙ නාගසෙන බුද්ධො අසබ්බඤ්ඤූ, යදි තස්ස පරිසෙසතාය, සබ්බඤ්ඤුතාඤාණං හොතීති.) ...........

1. ‘කුසලොසි’ සුමංගල විලාසිනී පපඤ්චසූදනී අටුවාවන්හි පෙනේ.

වැලිවිටියේ සොරත ස්ථවිර, විද්‍යොදය පිරිවෙණේ දී ය., ශ්‍රී බු. ව. 2499 / ක්‍රි. ව. 1955 අගෝස්තු මස 1 දින