මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව - ලබුගම ලංකානන්ද හිමි.pdf

කතෘ :
ලබුගම ලංකානන්ද හිමි
පිටු ගණන :
197
බාගත කිරීම් ගණන :
2,373
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-01-26
ගොනුවේ ප්‍රමාණය :
7.2 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 99

විමුක්ති මාර්ග දීපනී නම් වූ මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව යනු දීඝනිකායගත මහා සතිපට්ඨාන සූත්‍රය මුල්කොට ගෙන අතිගරු ලබුගම ශ්‍රී ලංකානන්ද මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අගනා සූත්‍ර වර්ණනා ග්‍රන්ථයකි.

සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරනු කැමති පින්වතුන්ගේ ප්‍රයෝජනය පිණිස මහා සතිපට්ඨාන සූත්‍ර පාඨ, සිංහල සන්නය, අර්ථ විවරණ හා අටුවා ටීකාගත විස්තර ඉතා සරලව හා පැහැදිලිව මෙහි සංග්‍රහ කර ඇත. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයන් පිළිබඳ විස්තරාත්මක විවරණයක් මීට ඇතුළත් වේ.

හැඳින්වීම

‘ධර්‍මක්‍ෂෙත්‍ර කුරුක්‍ෂෙත්‍රෙ’ යන ඈ විසින් සකු කිවියන් විසින් පවා වර්ණිත වූ කුරු ජනපදය ධර්මඥානය, පිළිබඳ ආලෝකයෙන් උදම් වුණු ප්‍රදේශයක් වශයෙන් ඉතා ප්‍රචලිතයැ. මේ කුරුදනවුවෙහි ‘කම්මාස දම්ම’ නම් නියම් ගමැ දී බුදු රජහු මහා සතිපට්ඨාන සූත්‍රය වදාළහ.

සති නම් සිහි යැ, පට්ඨාන නම් පිහිටුවීමයි. සිහිය පිහිටුවීම සිහිය මනා අරමුණෙහි තැන්පත් කිරීම පිළිබඳ ධර්‍ම මාර්‍ගය මේ සූත්‍රයෙහි විස්තර වෙයි.

‘ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ, සත්තානං විසුද්ධියා සෝකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා.’

යනුයෙන් මේ සිහිය පිහිටුවීමේ අගය මේ සූත්‍රරින් මැ බුදු රජාණන් වහන්සේ වදාළ සේක. සතුන් ගේ විසුදු බව සඳහා ද සෝ වැලැපුම් සන්හිඳීම සඳහා ද දුක් දොම්නස් පහ වීම සඳහා ද නුවණ වැඩීම සඳහා ද නිවන පසක් කිරීම හෙවත් අත්දැකීම සඳහා ද මේ සිහිය පිහිටුවීම උසස්තම මඟ වන බව යැ මෙයින් බුදුන් විසින් පැවැසුණේ.

එහෙයින් සතිපට්ඨානය සෑම බෞද්ධයෙකු විසින් ම මනා වැ වටහාගත යුතු, මනා වැ සිත් සතන්හි කටයුතු; එසේ මැ මනා වැ පුරුදු කළ යුතු උතුම් ධර්‍ම මාර්‍ගයක් සකසා විස්තර වන සූත්‍රයෙකි.

කායානුපස්සනාව යැ වේදනානුපස්සනාව යැ චිත්තානුපස්සනාව යැ ධම්මානුපස්සනාව යැ යනුයෙන් මේ සතිපට්ඨානය ප්‍රධාන කොටස් හතරකට බෙදෙයි.

එයින් තමා ගේ හෝ අනුන් ගේ හෝ කය අනු වැ බලමින් සිහිය පිහිටුවීම කායානුපස්සනාවයි. වේදනාව හෙවත් ඇඟීම දැනීම අනුවැ හිත යොමු කරමින් සිහිය පිහිටුවීම වේදනානුපස්සනාව නමි. හිත අනුවැ මැ සිහිය යොමු කැරුම යැ චිත්තානුපස්සනාව නම්, දහම අනුවැ සිහිය යොමු කැරැ පිහිටුවීම තමා ධම්මානුපස්සනා නමින් ගැනෙනුයේ,

මෙසේ කෙටියෙන් සතර පිළිවෙළක් වූ නමුත් විස්තර විසින් මේ එක් එක් පිළිවෙළක් තව තව කොටස්වලට බෙදෙයි.

හුස්ම ගැනීම හෙළීම අනුවැ සිහිය යොමු කිරීම යැ ඉඳීම් සිටීම් ඈ ඉරියවු අනුවැ සිහිය යොමු කිරීම යැ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ධාතූන් අනු වැ සිහිය යොමු කිරීම ය උද්ධුමාතක යැ විනීලක යැ විපුබ්බක යැ යන ඈ විසින් අසුබයන් අනුවැ සිහිය අරමුණු ගැන්වීම යැ

යන ආදී වශයෙන් කායානුපස්සනාව ප්‍රභේද කිහිපයකට බෙදෙයි.

මෙසේ අනෙක් වේදනානුපස්සනාව ආදියද ප්‍රභේද වශයෙන් වෙනස් වෙනස් ලෙස කොටස් කැරැ, මනා උදාහරණ උපමා සහිත ’වැ මේ සූත්‍රයෙහි විස්තර කරනු ලැබ පවතී.

බුදු දහම පොතට පමණක් සීමා වූවක් නොවැ; කර්‍ම වශයෙන් යෝග වශයෙන් භාවනා වශයෙන් මනසිකාර වශයෙන් පුරුදු කිරීමෙන් වැඩීමෙන් මැ සාක්‍ෂාත් කැරැගත යුතු ධර්‍ම මාර්‍ගයෙකි. එබඳු අතිඋත්තම ධර්‍ම මාර්‍ගයක් ලබා ඇති මේ ලංකා වාසීහු පවා අද බොහෝ කොටැ නොයෙක් සැටියේ අපරාධ ක්‍රියාවලට පෙළැඹෙති යනු නොසැබෑවෙක් නොවේ. මේ දරුණු අපරාධ මේ ධර්‍ම ද්වීපයේ ඇති වන්නට හේතුව තමන් ළඟ ඇති මහා නිධානයෙන් ප්‍රයෝජන නොගැනීමයි.

දරුණු රෝගයකින් පෙළෙන්නකු හට දක්ෂ වූ වෛද්‍යවරයකු ඉදිරිපත් කළ බෙහෙත් වට්ටෝරුව හොඳ වූ පලියට ඒ ලෙඩා ගේ ලෙඩය තුරන් වේද? ඒ රෝගියා ඒ උසස් බෙහෙත් වට්ටෝරුව තමා ගේ කොට්ටේ යට සඟවාගෙනැ ඉඳීමෙන් ද රෝගය සන්හිඳෙන්නේ; නො එසේ නම් ඒ ඖෂධ නිසි සේ සොයා බෙහෙත සදා පිළියෙළ කැරැගෙනැ වෙදුන් පැවැසූ සැටියෙන් වැළඳීමෙන් ද?

අද ලංකා ජනතාවට සිදු වී ඇත්තේත් මෙන්න මෙබඳු අභාග්‍ය තත්ත්වයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ උතුම් නෙය්‍යාණික ධර්‍මය ලංකාවේ ඉතා පිරිසිදු වැ පවතියි. එසේ මැ ලංකා වාසීහු ඒ ධර්‍මය මනා කොටැ උගනිති. එහෙත් ඒ ධර්‍මය අභ්‍යාස කිරීමක් ඔවුන් අතර දක්නට නැත. මේ රටේ ජනතාව ගේ අභ්‍යන්තර ගුණ නුවණ වගාව සියුම් ලෙස - පිරිසිදු ලෙස - නොවන හෙයින් මැ යැ මේ අපරාධ බහුල තත්ත්වය මේ රටේ පවත්නේ.

ඒ නිසා මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ඈත් වී උතුම් මානසික අභිවෘද්ධියක් ලබන්නටත්, ධර්‍මය ක්‍රියා මාර්‍ගයක් බවට පමුණුවන්නටත් සතිපට්ඨාන සූත්‍රය නිසි සේ හැදෑරීම ද ඒ සූත්‍රය අනුවැ භාවනා යෝග වැඩීම ද සෑම බෞද්ධයකු විසින් මැ දිනපතා මැ, දිනපතා මැ කළ යුතු වැ පවතී. එසේ වතහොත් බුද්ධ දර්‍ශනය නැමැති මහා අනර්ඝතම නිධානයෙන් නියම පල ප්‍රයෝජන මෙ ලෝ වශයෙනුත් පර ලෝ වශයෙනුත් ලැබීම ඒකාන්ත සත්‍යයෙකි.

අන්න ඒ සත්‍යය ඔබට ඉදිරිපත් කැරැ ඔබ හැබෑ බෞද්ධයකු කිරීම සඳහා අරමුණු කරන ලද සම්‍යක් චේතනාවෙන් යුක්ත වැ මේ සතිපට්ඨාන සූත්‍රය අර්‍ථ විවරණ ටීකා සහිත වැ මෙසේ සකස් කරන ලද බව සිතුව මැනවි.

මෙයට
සංස්කාරක