මහත්ඵල ලැබීමට දන් පිංකම් කළ යුතු ආකාරය - නාඋයනේ අරියධම්ම හිමි.pdf

කතෘ :
නාඋයනේ අරියධම්ම හිමි
පිටු ගණන :
32
බාගත කිරීම් ගණන :
4,898
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-06-19
ගොනුවේ ප්‍රමාණය :
639 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 17

මහත්ඵල ලැබීමට දන් පිංකම් කළ යුතු ආකාරය කෘතිය අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු ඇසුරින් සම්පාදනය කරන ලද්දකි. මෙය පූජ්‍ය මොරගොල්ලේ සුමනයෝගී ස්වාමීන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද මුල් පොත අනුව මුද්‍රණය කර ඇත.

දක්ෂිණා විභංග සූත්‍රය මුල් කරගනිමින් දානයක් මහානිශංස වන අයුරින් හා මහත්ඵල මහානිසංස ලැබෙන පරිදි සිදු කළ යුතු ආකාරය මෙහි සවිස්තරව පැහැදිලි කෙරේ. පුද්ගලික දාන දාහතර (14), සාංඝික දාන හත (7) සහ දක්ෂිණා විශුද්ධි සතර පිළිබඳ විග්‍රහයන් මෙහි අන්තර්ගතය.

ධර්ම දානය පිණිස යක්කල දිමුතු මුද්‍රණාලය මඟින් මෙම පොත මුද්‍රණය කර බෙදාහැර ඇත.

හැඳින්වීම

ඔබ අප සැමට ඉතා කෙටි කාලයක් තුළ ධර්ම දාන පිංකම් කිහිපයක් සිදු කිරීමට අවස්ථාව උදා වූයේ නොසිතූ ලෙසය.

මුලින් මුද්‍රණය කළ මහා නිමි ජාතකය බොහෝ දෙනා ඉතා අර්ථවත් ලෙස පාසැල් පුස්තකාල, විහාරස්ථාන ආදියට ද ලබාදී ඇති බව දැනගන්නට ලැබුණි. එය ඉතා හොඳය. මෙම පොත ද එවැනි ස්ථානවලට ලබාදීමත්, අතිනත යැවීමත් තුළින් වැඩි ධර්ම ප්‍රචාරයක් ලැබේ. එසේ දුන් එක් පොතක් ඇසුරින් ගුවන් විදුලි ධර්ම දේශනයකට කරුණු ගත් බවද දැන ගන්නට ලැබුණි. ගියවර පොත් 500 බෙදීමේදී ඉතා අපහසුවක් ද විය.

මෙවර පොත් 1000ක් පමණ මුද්‍රණයට කළණ මිතුරෝ කීපදෙනෙක්ම එක්වූහ. ඉදිරියේදී තවත් එක්වනු නිසැකය.

ඉතා කාරුණික වූ නා උයනේ අරියධම්ම නා හිමි, හේනේගම භාවනා මධ්‍යස්ථානයේදී මෙම පොත ඇතුළු තවත් කිහිපයක් මුද්‍රණයට ලබා දී පින් අනුමෝදන් කරන ලදී. ඔබ විසින් මුණ ගැසිය යුතු එවන් උතුමන් රාශියක් නා උයන වන ගත ආරණ්‍යයේ වැඩ වෙසෙති. විශේෂයෙන් නා හිමියන්ගේ කරුණාබර වදනක් පාසා පුදුමාකාර ගුණයක්, මිහිරක්, ගැඹුරක් ඇත. ඒ සංවර ගමන් විලාසය, මද සිනහව, මතකය අනන්ත වූ පාරමී ශක්තිය බව සැබෑය.

හිමියන් බැහැදැකීම නෙතට රසඳුනකි, බොහෝ විට නා උයනේ උන්වහන්සේ වැඩ වෙසෙන කුටිය බුදුමැදුරක අසිරිය ගනී. අනාගත උදය වරුවක එවන් අවස්ථාවක් ඔබට උදා වේවා. ශ්‍රී ලංකාවේ මෙවන් හිමිවරු වැඩ විසීම අසන්නට පවා ලැබීම අප ඔබ ලද වාසනාවකි. උන්වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා! දීර්ඝායුෂ ලැබේවා!

පොතක් කියවීමෙන් අප හට බොහෝ කරුණු ඉගෙන ගත හැක. එසේම ජීවිත කාලයටම නොලැබෙන අත්දැකීම්, ජීවන ගැටළු, ඉතා කෙටි වේලාවක් තුළ ලබා ගත හැකි වුවත් විශේෂයෙන් ධර්මයේ ඇති එක් කරුණක් වත් තමා තුළින් වර්ධනය කර ලබන අත්දැකීම, සුවය, සමාධිය පොතක් කියවීමෙන් ලැබිය නොහැක. ඒ නිසා අප්‍රමාදීව ගුණ ධර්ම තමා තුළ වගා කළ යුතුවේ.

මෙම පොත් මුද්‍රණයේදී අප හට ආශිර්වාද කර නා උයන වාසී පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමි, පූජ්‍ය සීලගම ඥානසිරි හිමි ඇතුළු සියලුම ලෝකවාසී ස්වාමීන් වහන්සේලාට මෙම පින් අත්වේවා! ඔබ සියලු දෙනාගේ යහපත් පැතුම් ඉටුවේවා! ඉතා ඉක්මනින් මේ ඝෝර කටුක භයංකාර සසරෙන් එතෙර වී ලබන අමාමහ නිවන් අවබෝධ වේවා!

කෙටි කලකින් මෙම පොත මුද්‍රණය කරදුන් දිමුතු මුද්‍රණාලයේ අධිපති එච්.එම්.එච්. බණ්ඩාර මහතා ඇතුළු කාර්යමණ්ඩලයේ සැමටත් අමා මහ නිවන් සුවයම ලැබේවා! කියා ප්‍රාර්ථනා කරමු.

සාධු ! සාධු ! සාධු !