භික්ෂුවගේ පිය උරුමය - කොස්වත්තේ අරියවිමල හිමි.pdf

කතෘ :
කොස්වත්තේ අරියවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2015
මුද්‍රිත වර්ෂය :
2015
පිටු ගණන :
114
බාගත කිරීම් ගණන :
2,158
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
3.7 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 58

භික්ෂුවගේ පියඋරුමය යනු කොස්වත්තේ අරියවිමල හිමියන් විසින් සම්පාදිත, භික්ෂු ජීවිතයේ ප්‍රතිපත්ති සහ විනය රැකවරණය පිළිබඳව ලියැවුණු මාහැඟි ධර්ම ග්‍රන්ථයකි. බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුවගේ ‘පිය උරුමය’ (පෙත්තකෙ ගොචරෙ) ලෙස හඳුන්වා දුන් සතර සංවර ශීලය හා විනය මාර්ගය ඇසුරින් භික්ෂු ජීවිතය ගොඩනගා ගන්නා ආකාරය සූත්‍ර ධර්මයන් මැනවින් ඇසුරු කරමින් මෙහි විස්තර කෙරේ.

මෙහි පළමු මුද්‍රණය 2009 දී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් පළ වී ඇති අතර, මෙම දෙවන මුද්‍රණය අනුරාධපුරයේ අනුරුද්ධ හිමියන්ගේ මෙහෙයවීමෙන් යක්කල දිමුතු මුද්‍රණාලය මඟින් 2015 දී මුද්‍රණය කරවා ධර්මදානය පිණිස බෙදාහැර ඇත.

පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා:

  • ස්වාක්ඛාත සාසනය
  • රුදුරු සසර
  • මාර අණසක
  • භික්ෂුවගේ පිය උරුමය
  • සමාධියටත් ප්‍රඥාවටත් පදනම් වන සීලය
  • පියඋරුමයෙහි නො රැඳුන සිතක තතු
  • සමාධියෙන් ප්‍රඥාවට
  • මේ මොහොතේ විදර්ශනය
  • පිය උරුමය කුමකට ද?
  • පිය උරුමයෙහි රැකවරණය

පෙරවදන;

“අත්තනා චොදයත්තානං - පටිමාසෙ අත්තමත්තනා. සො අත්තගුත්තො සතිමා - සුඛං භික්ඛු විහාහිසි.” ධම්මපද භික්ඛුවග්ගො.- “තමා වැ තමාට චෝදනා කරන්‍න. තමා වැ තමා විමසන්‍න. තමා වැ රකගන්නා වූ මනා සිහි ඇති භික්‍ෂුව සුව සේ වසන්නේ ය.”

අප ශාස්තෲවරයන් වහන්සේ ලොව පහළ වූයේ මෙබඳු අවශ්‍ය කාල පරිච්ඡේදයකිනි. අද භික්‍ෂුත්වයට උරුම භික්ෂු ලක්ෂණ නොදක්නට තරම් දුලබය. ප්‍රායෝගික වශයෙන් අත්දැකීමට සාධනය කළයුතුය. ඒ සඳහා ඇදුරු බුදුපියන් රහතන් සඟුන්ගෙන් ලැබෙන “භික්ෂුවගේ පියඋරුමය” රැක ගැනීමේ ප්‍රායෝගිකතාව පිළිබඳව අවබෝධය හඳුනා ගැනීමක් හැටියට ය.

සසරෙහි ජීවමාන ධර්මඥානය වන භික්‍ෂුත්වය ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ බවට පත්කරලීම සඳහා අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මෝපදේශ බොහෝය. විශේෂයෙන් මහා සඟ සව්වන් වූ බුදුපුතුන් වහන්සේලා මෙසේ වදාළහ. “මහණෙනි, ඔබ වහන්සේලාගේ දීප ආරද්ධයෙහි පිහිටීම විය යුත්තෙමු (නො හැකිය). එහෙත් අනුපූර්ව ශික්ෂාවෙන් අනුපූර්ව ක්‍රියාවෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන් අරහත්වයෙහි පිහිටිය හැකියි” (ම: නි: 2, කීටාගිරි සූත්‍රය) සද්ධානුසාරී, ධම්මානුසාරී, සද්ධා විමුක්ත, දිට්ඨිප්පත්ත, කායසක්ඛී, පඤ්ඤාවිමුක්ත, උභතොභාග විමුක්ත යනුවෙන් ඒ අනුපූර්ව නාම පෙළගස්වා ඇත. ආරද්ධභාවයෙහි මෙකී සියලු පුද්ගලයන්ට බුදුරජාණන් වහන්සේගේ වදාරණ පිළිවෙතෙහි අනුලෝමව කටයුතු කරන ලෙසය. (අවබෝධයෙන් කරමින් යන්නකි (වදාරණ))

සම්බුදු ආරාධිත විශුද්ධිය ශ්‍රද්ධාව වෙයි. ශ්‍රද්ධාව නොමැති නම් උපසංකමනයක් නැත. පයිරුපාසනය ද නැත. සොතාදානය (කන් යොමු කිරීමක්) ද නැත. ධර්මශ්‍රවණය ද නැත. දහම් දැරීම ද නැත. අර්ථ විමර්ශනය ද නැත. වැඩීම ද නැත. කුසල් ධර්මයන්ද නැත. උත්සාහය ද නැත. තුලනය ද නැත. පධාන වීර්යය ද නැත. එයින් පවතින්නේ වරද වැළඳීමයි. (විපරීත වශයෙන්) ඒවා වැළඳීමයි. (නිවන් පතන්නා) එකිනෙක අස්නෙන් සාස්නෙන් ඈත් වීමයි. (ආයතනකාරී ඉරියාකාරී ධර්මතාවය)

තතු එසේ වුවහොත් පුද්ගලයට ආත්ම රැකවරණය නැති වී යෙයි. පාරිශුද්ධි විනයය ද නැති වී යෙයි. ආශ්‍රවයන් පිරිහෙලන එකම සංවරණය සතර සංවරශීලයමයැයි. එහෙයින් බුදුරජාණන් වහන්සේ සතර සංවරශීලය හැඳින්වූයේ “පියඋරුමය” යනුවෙනි. (පෙත්තකෙ ගොචරෙ) පියඋරුමයෙන් රැකවරණය ලබන භික්ෂු ජීවිතය සුපෝෂකය, ඵල දායක ය. පියඋරුමයෙන් රහිත තැන භාරදූර ලෙස පැවැත්මට අවකාශ නො ලැබෙයි.

නවක භික්ෂුවට ස්ථවිර භික්ෂුව විසින් මේ රැකවරණය හඳුන්වා දිය යුතු වේ. ශාසනික ආචාර්ය - අන්තේවාසික, උපජ්ඣාය - සද්ධිවිහාරික සබඳතාව ඒ පිණිස ය. ආචාර්ය වාරයන්, පාරිවේණික වශයෙන් සැකසෙන ශික්ෂණයෙන් පියඋරුමය හඳුනාගැනීම මුල්තැනක් තිබිය යුතු ය. මේ අවශ්‍යතාව දනවමින් තේරුම් ගැනීමට උත්සාහ කිරීමක් ලෙස මා අතින් ලියැවුණ මේ “භික්ෂුවගේ පියඋරුමය” කෘතිය ධර්මයේ ප්‍රායෝගිකත්වය පිණිස යම් ආලෝකයක් වේවා යනු මගේ ප්‍රාර්ථනාවකි.

මේ කෘතිය සම්පාදනය කිරීමේ දී කරුණු ගලපාලීමේ වශයෙන් යම් යම් විවරණ මවිසින් ඉදිරිපත් කළ ද හැකි තාක් සූත්‍රගත ධර්මය ද ගොනුකරලීමට උත්සාහ විය. අන්තර්ගත කරුණු බෝධනය කිරීමෙහි ලා ඇසුරු කළ යුතු තවත් බොහෝ සූත්‍ර ඇතත් කෘතිය විශාල නොවීම පිණිස සංක්ෂිප්ත බව කෙරෙහි අවධානය යොමු කළෙමු. (ප්‍රතිපදාවේ) උද්දීපනත්වයට තුඩු දී ඇති යම් යම් සංවේග ආකල්ප වර්ධනය කෙරෙහි ද අදාළ පරිදි අවධානය යොමු කළෙමු.

මේ ධර්ම සංග්‍රහය 2009 වසරේ දී ඩී. ජේ. මු. ලියනගමගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් යුතුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය විය. සුළු සංස්කරණ කිහිපයකින් යුතුව දෙවන වර මුද්‍රණය කිරීම බළන්ගොඩ තැන්න ශ්‍රී සංඝබෝධි විහාරස්ථ දායක සභාවේ සාමාජිකයකු වන අනුරාධපුරයේ අනුරුද්ධ හිමියන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු විය.

එබැවින් එම ස්වාමීන් වහන්සේටත්, මේ සඳහා සංවිධානකරණය සිදුකළ යක්කල සමීර මහතාටත්, මුද්‍රණ කටයුතු කඩිනමින් සිදු කළ, යක්කල දිමුතු මුද්‍රණාලයාධිපති එච්. එම්. එච්. බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය මෙයින් පිරිනමමි.

සාසන භාරධාරීත්වයෙන් යුත්
කොස්වත්තේ අරියවිමල හිමි
ආනන්දි නිකේතනය
261/1 ඩී, පරණගොරකහිටිය
බුළුගහගොඩ

2558
2015 03.15

සබ්බදානං ධම්මදානං ජිනාති

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් වදාළ ශ්‍රී සද්ධර්මස්කන්ධය ඇසුරින් පැවිදි පිළිවෙතට අදාළව සම්පාදිත ‘’භික්ෂුවගේ පියඋරුමය’’ සසුන්මග වඩන පිංවත් ස්වාමීන් වහන්සේලාට පරිහරණය පිණිස බෙහෙවින් උචිත මාහැඟි ධර්ම සංග්‍රහයකි. එනිසා ම එම කෘතිය නැවත මුද්‍රණය කර ස්වාමීන් වහන්සේලා සුරතට පත් කරන්නේ නම් මැනවැයි මම කල්පනා කළෙමි. මෙම දහම් තිළිණය පරිශීලනය කිරීමෙන් බොහෝ පින්වත් ස්වාමීන් වහන්සේලා සසර දුකින් එතර වෙත්වා යනු මාගේ මෙත්සිත් පෙරටු කරගත් පැතුමයි.

ඒ සසුන් අරමුණ සපුරා ගන්නට එම කෘතියේ සම්පාදක පූජ්‍ය කොස්වත්තේ අරියවිමල ස්වාමීන් වහන්සේගේ අනුකූලතාව අපේක්‍ෂා කළෙමි. ඒ පිළිබඳව උන්වහන්සේගේ කාරුණික එකඟතාව සම්බන්ධයෙන් අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය මෙහි දී පිරිනමමි.

මා සසුන්ගත කර දහම් සිසිලස අත්විඳ ගැනීමට අවකාශ උදාකර දුන් මාගේ ගරුදේවෝත්තම සදාවන්දනීය අතිපූජ්‍ය පින්වත් බදුල්ලවල සීලරතන මාහිමිපාණන් වහන්සේට මේ ධර්මදානමය පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී සුවයෙන් සසුන් වැඩ සැලසීමට දිගාසිරි වේවා, යනුවෙන් ශිෂ්‍යපුත්‍රයකු වශයෙන් අභිවාදන පූර්වකව පුණ්‍යානුමෝදනා කරමි.

මාගේ සමාන සබ්‍රහ්මචාරී කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේලාටත් මේ ධර්මදානමය කටයුත්ත සපුරා ගැනීමට දිවයිනේ නන් දෙසින් අධාර උපකාර කළ සත්පුරුෂ පින්වතුන් හැමටත් සත්පුරුෂ සංසේවනයෙන් මාර්ග ප්‍රතිපදාව සපුරා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා’යි ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරමි.

මේ සත්කාර්යය සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය මෙත් සිතින් ඉටුකළ පිංවත් සමීර මහත්මාණන්ටත් එම පවුලේ සියලු පින්වතුන්ටත් මුද්‍රණ කටයුතු සහනශීලීවත් අලංකාර ලෙසත් සපුරා දුන් දිමුතු මුද්‍රණාලයාධිපති සසුන් දියුණුව පතන පින්වත් එච්. එම්. එච්. බණ්ඩාර මහත්මාණන් ඇතුළු සහෝදර කාර්ය මණ්ඩලයටත් මෙහි දී මාගේ විශේෂ පුණ්‍යානුමෝදනය පිරිනමමි.

මෙත් සිතින්,
අනුරාධපුරයේ අනුරුද්ධ හිමි.
හෘදේක විහාරී උපස්ථායක කුටිය
තන්ජන්තැන්න
බලංගොඩ.