භාවනා අත්දැකීම් සහ කමටහන් දේශනා - මීතිරිගල ධම්මාවාස හිමි.pdf
- කතෘ :
- මීතිරිගල ධම්මාවාස හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2012
- මුද්රිත වර්ෂය :
- 2012
- පිටු ගණන :
- 144
- බාගත කිරීම් ගණන :
- 3,399
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-10-17
- ගොනුවේ ප්රමාණය :
- 802 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භාවනා අත්දැකීම් සහ කමටහන් දේශනා යනු මීතිරිගල නිස්සරණ වන ආරණ්ය සේනාසනාධිපතිව වැඩවිසූ පූජ්ය මීතිරිගල ධම්මාවාස ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් යෝගාවචරයන් උදෙසා දේශනා කරන ලද භාවනා උපදෙස්, අත්දැකීම් සහ කමටහන් දේශනා එක්තැන් කර සකස් කරන ලද ග්රන්ථයකි.
මෙහි ධම්මාවාස හිමියන්ගේ ගිහි ජීවිතය හා පැවිදි වීම පිළිබඳ දුර්ලභ චරිත තොරතුරු, වසර හතළිහකට අධික කාලයක් වනගතව භාවනා කිරීමෙන් ලද අත්දැකීම්, සහ විදර්ශනා භාවනා වඩන්නන්ට අදාළ ප්රායෝගික කමටහන් දේශනා හා ධර්ම සාකච්ඡා ඇතුළත් වේ.
පොතෙහි අඩංගු ප්රධාන මාතෘකා අතර:
- ගිහි ජීවිතය හා භාවනා අත්දැකීම්
- විදර්ශනාවට අනුව බැලීම
- සංස්කාරයන් විනිවිද දැකීම
- තෘෂ්ණාවෙන් අල්ලා ගැනීම
- උදය-ව්යය දැකීම
- නිවනේ වටිනාකම සහ අවිද්යාව දුරු කිරීම
- ධර්ම සාකච්ඡා සහ ඉතිහාසයෙන් බිඳක්
මෙම කෘතිය 2012 ජනවාරි මස නිස්සරණ වන ආරණ්ය සේනාසනය මගින් ධර්ම දානය පිණිස මුද්රණය කර ප්රකාශයට පත් කරන ලද්දකි.
ලොකු ස්වාමීන් වහන්සේ ගේ චරිතාපදානය
ප්රථමයෙන් ම අති පූජණීය මීතිරිගල ධම්මාවාස, අප ලොකු ස්වාමීන් වහන්සේ ගේ දේශනා ඉංග්රීසි පොතක් ලෙස පල කිරීමට අදහස් කළේ ස්වාමීන් වහන්සේ ගේ විදේශ ගත දායක දායිකා පිරිසකි.
එම පොතට අදාළ සිංහල පරිවර්තනයක් වන මෙහි එම ධර්ම දේශනා පෙලට අමතර ව ස්වාමීන් වහන්සේ ගේ චරිතාපදානයක් ඇතුලත් කිරීමේ අදහස ද, එසේ ම විදේශගත පිරිසකගේ ම අදහසකි.
මේ වකවානුව තුල නිස්සරණ වනයට අදාළ පිරිස කවුරුත් වාගේ නිස්සරණ වනයේ ඉතිහාසය වෙත අවධානය යොමු කොට ඇති වකවානුවකි. එයට මෙයත් එලියක් වනු ඇත. ස්වාමීන් වහන්සේ හෙලිකරන තොරතුරු මෙතෙක් අප කිසිවකු දැන සිටි ඒවා නොවේ.
මෙය ලියන-කියවන කවුරුත් නිස්සරණ වනයට ආවේනික අප්රසිද්ධ-විවේක කාමී පරිසරය ආරක්ෂා කිරීමට/කර දීමට අධිෂ්ඨාන කර ගත යුතු අතර, එය තම තමන්ගේ ජීවිත වලට සම්බන්ධ කර ගැනීමටත් අධිෂ්ඨාන කරත්වා යනු අප ගේ ප්රාර්ථනයයි.
තෙරුවන් සරණයි!
උ. ධම්මජීව හිමි
නිස්සරණ වනය
මීතිරිගල 11742
නොවැ, 24 දා 2011
සම්පාදකගේ සටහන.....
මේ පොතෙහි අඩංගු වන්නේ පූජ්ය මීතිරිගල ධම්මාවාස ලොකු හාමුදුරුවන් විසින් නිස්සරණ වනයේ යෝගාවචරයන් උදෙසා දෙසු කෙටි ධර්ම දේශනා හඬ පිටපත් ඇසුරෙන් සැකැසූ දේශනා කිහිපයකි. සජීවි බව රකිනු පිණිසත්, අර්ථ වෙනස් වීම වළකිනු පිණිසත් උන්වහන්සේ වදාළ බසින් ම මම මෙම දේශනා මාලාව සැකසීමි. ඇතැම් විට පාඨක ඔබගේ රුචිය මෙය නොවනු ඇත.
මේ දේශනා පිළිබඳව මට දැනෙන එක් විශේෂයක් ඇත. මෙහි ඇත්තේ කරුණු වශයෙන් මතකයේ තබා ගැනීම සඳහා වන මූලධර්ම හෝ අදහස් නොවේ. එසේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ගැන විග්රහයක් හෝ භාවනා කිරීම ගැන පූර්ණ උපදෙස් මාලාවක් ද නොවේ. මෙය භාවනා අත්දැකීම් සම්භාරයකි.
මෙහි එන දහම් ගඟ ගලා එනුයේ අවුරුදු හතළිහක පමණ දීර්ඝ කාලයක් වනවාසීව, භාවනා යෝගීව සිටින ආර්ය්ය පුද්ගල උත්තමයෙකුගේ අත්දැකීම් ගැඹුරක පත්ලෙනි. එම නිසා මෙම ධර්ම දේශනා කියවන ඔබ එය එක වරක් කියවා අවසන් නොකරනු ඇතැයි මම සිතමි. පාඨක ඔබ කරනුයේ කියවන වාරයක් පාසා උන්වහන්සේගේ අත්දැකීම් ගැඹුරේ ක්රමයෙන් කිමිදීම යි. එසේ කිමිදෙන විට අලුත් විදර්ශනාවක් වැඩූ ඔබෙ අවබෝධය තියුණු වන බව මාගේ විශ්වාසය යි.
පූජ්ය ධම්මාවාස ලොකු හාමුදුරුවන් නිස්සරණ වනයට පැමිණ පැවිදි ජීවිතයට ඇතුළත් වී ඇත්තේ මීට වසර හතළිහකට පෙර 1971 වර්ෂයේ දීය. එතැන් පටන් උන්වහන්සේ අප්රතිහත ධෛර්ය්යයෙන් යුතුව මෙම ආරණ්යයෙහි ධර්ම ගවේෂණයෙහි යෙදුණාහ. අපවත් වී වදාළ මහෝපාධ්යාය පූජ්ය මාතර ශ්රී ඥානාරාම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ගුරු හිමියෝ වූහ.
යෝගාවචර භික්ෂුන් වහන්සේ නමකගේ භාවනා අත්දැකීම් සහ කමටහන් දේශනා අඩංගු පොතක් හෝ කවර හෝ ධර්ම පොතක් සම්පාදනය කිරීමේ කිසිදු සැලැස්මක් මට නොතිබිණි. එහෙත් මෙම පොත සම්පාදනය කොට ඉදිරිපත් කිරීම සඳහා මා මෙහෙයවනු ලැබූයේ මුළුමනින් ම අහම්බයක් විසිනි. සමහර අහඹු යැයි අප සලකන දෑ කර්මානුරූපි යැයි මට සිතේ. කෙසේ වුව ද මේ අහම්බයේ පසුබිම මෙසේ ය.
මීට වසර තුනකට පමණ පෙර නිස්සරණ වනවාසී පූජ්ය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් මෙහෙය වන ලද භාවනා වැඩ සටහනකට සහභාගි වීමට මට අවස්ථාවක් උදාවිය. ඉන් අනතුරුව දෙවරක් ම නිස්සරණ වනයේ නේවාසිකව හිඳ භාවනා කිරීමට තරම් මම වාසනාවන්ත වීමි. මෙහි යෝගාවචරයන්ගේ දෛනික කාල සටහන නිම වනුයේ සැඳෑ සමයේ බුදුන් වැඳ මල් පහන් පූජා කිරීමෙන් පසු ධම්මාවාස ලොකු හාමුදුරුවන් වන්දනා කිරීමෙනි.
මෙහිදී අඩහෝරාවක පමණ කෙටි අනුශාසනාවක් කිරීම උන්වහන්සේගේ සිරිත වෙයි. මෙම කෙටි අනුශාසනාව මට උන්වහන්සේ කෙරෙහි මහත් භක්තියක් සහ ගෞරවයක් ඇති වීමට හේතු විය. උන්වහන්සේගේ දේශනා විලාසයේ ඇති සරල, සුගම බවත්, උන්වහන්සේගේ දැක්මෙහි ඇති නිවුණු ස්වභාවයත් මා සිත් ගත්තේ ය.
එම කෙටි දේශනා තුළ ගැබ්ව ඇත්තේ මා කාලාන්තරයක් තිස්සේ සොයමින් සිටි දෙයක් ය යන හැඟීම මට ඇති විය. මෙම කෙටි අනුශාසනාව පසුදා භාවනාවට කමටහනක් ලෙස යොදා ගත හැකි බව යෝගාවචරයන්ගේ අදහස විය. සිරිත් පරිදි උන්වහන්සේ නමස්කාර කොට යෝගාවචර අපි දවස නිමා කළෙමු.
පසුගිය වසරේ නේවාසිකව භාවනා කරන අතරතුර කාලයේ දී උන්වහන්සේ සමග පැයක්, දෙකක් පමණ සාකච්ඡා කරන්නට මට හා ආරී අයියාට අවස්ථාවක් ලැබීම අප ලද භාග්යයකි. උන්වහන්සේගේ ධර්ම දේශනා පිළිබඳ මගේ කුහුල වැඩුනේ මේ සාකච්ඡා ඇසුරිනැ’යි මට සිතේ.
උන්වහන්සේගේ ධර්ම දේශනා අඩංගු පොතක් හෝ කිසියම් හඬපට ඇත්දැයි සොයමින් සිටින අවස්ථාවක අපූර්ව දෙයක් සිදුවිය. “STILLNESS OF THE TRUTH” නමින් උන්වහන්සේගේ ධර්ම දේශනා අඩංගු පොතක් වෙබ් අඩවියේ ඇති බව මම අරුණ මහතුංග මහතාගෙන් දැන ගත් විට එහි සිංහල පිටපතක් පිළිබඳව විමසා බැලීමි. එවිට ඔහු කියා සිටියේ සිංහල පොතක් දැනට නැති බවත්, මා කැමති නම් පටිගත කළ ධර්ම දේශනා ඇසුරින් පොතක් සම්පාදනය කළ හැකි බවත් ය. මාගේ කැමැත්ත ඊට කොතෙක් ද යත්, මම අසුරු සැනින් ම එයට එකඟ වීමි.
ඔබ අතට මේ පොත පත්වෙනුයේ, මෙකී සිදුවීම් පෙළෙහි ප්රතිඵලයක් වශයෙනි. මෙම කාර්ය්යය සඳහා පූජ්ය ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් අවශ්ය උපදෙස් ලැබීමෙන් පසු මෙල්බර්න් හි වෙසෙන උදාරා ජයසිංහ සොයුරියගෙන් හා සංජීව ජයසිංහ සොයුරාගෙන් ධර්ම දේශනා අඩංගු හඬ පට ලබා ගැනීමට හැකි විය. ඊට අමතරව පූජ්ය ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් මගේ සොයුරියට සංයුක්ත තැටි හා මුද්රිත දේශනා ලබා දී තිබුණි. එසේ ම ලොකු හාමුදුරුවන්ගේ ජීවන තොරතුරු සහ ඡායාරූප ලබා ගැනීමට හේමන්ත රණවක, සේනක වීරරත්න හා සිඩ්නිහි පදිංචි ධමින්ද වීරසිංහ සොයුරන් මට උපකාර කළහ. මේ සියලු දෙනාට ම මාගේ ගෞරවය පුද කරමි.
මෙම කාර්ය්යයෙහි වැඩි බරක් දැරුවෝ මහරගම ජයගත් පාරේ පදිංචි මාගේ සොයුරිය හා ආරී අයියා වූහ. මගේ බිරිඳ හා දියණියන් දෙදෙනා මට දුන් රුකුල අති මහත් ය. අපගේ පවුල් වල සොයුරු-
සොයුරියන් අපව දිරිමත් කළහ. එසේ ම සම්බන්ධීකරණයේ දී උදව් කළ ඉෂාන්, සමීර, පාටලී, සෙව්මිණි, දුවලා පුතාලාටත්, පොත සැකැසීම සහ කවර නිර්මාණය කිරීමේ දී අගනා මෙහෙවරක් කළ මෙල්බර්න් හි පදිංචි තලා නංගි, ගංගා දුව, අසංග පුතා, භද්ර, සරත්, සුජීව ඇතුළු සහාය දුන් සියලුම දෙනාට ම මාගේ ගෞරව ප්රණාමය පුද කරමි.
මෙම පොත පිළිබඳ අදහස බිහිවීමේ පටන් එය යථාර්ථයක් වීම දක්වා මෙම උතුම් කාර්යයට දායකත්වය දුන් බොහෝ පිරිසක් ඇත. ඒ අයගේ විස්තර පොතේ ඇතුළත සඳහන් කර ඇත. විශේෂයෙන් ම දැනට කැන්බරා හි පදිංචි නවේ සහ නිලන්ති යුවළ ඇතුළු ඒ සියලු දෙනාටම මාගේ ප්රණාමය පුද කරමි.
මෙම පොත සම්පාදනය කිරීමෙන් යම් කුසලයක් ඇති වේ ද, එය මගේත් - බිරිඳගේත්, නැසී ගිය දෙමව්පියන් සහ සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා! යි මම ප්රාර්ථනා කරමි. එසේම දැනට වයෝවෘද්ධව සිටින බුද්ධ මාමා, නැන්දලා සහ පුංචි අම්මලා ඇතුළු සියලු ඥාතීන්ට දීර්ඝායුෂ ලැබී ධර්ම ඥානය පහළ වේවා!.
පූජ්ය මීතිරිගල ධම්මාවාස ලොකු හාමුදුරුවන්ට හා පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!.
තෙරුවන් සරණයි!
සම්පාදක 2012 දුරුතු මස 08 වෙනි දින. (ධර්ම දානය පිණිසයි)
සම්පාදක
2012 දුරුතු මස 08 වෙනි දින.
(ධර්ම දානය පිණිසයි)