භාවනා - නාඋයනේ අරියධම්ම හිමි.pdf
- කතෘ :
- නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2004
- මුද්රිත වර්ෂය :
- 2004
- පිටු ගණන :
- 51
- බාගත කිරීම් ගණන :
- 3,744
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-25
- ගොනුවේ ප්රමාණය :
- 8.2 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භාවනා යනු ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ ප්රධාන අනුශාසක ධූරය හෙබවූ අතිපූජ්ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ප්රායෝගික භාවනා අත්පොතකි. 1977 වර්ෂයේ දී මීරිගම බෞද්ධ ගුරු අභ්යාස විද්යාලයෙහි ගුරුවරුන් උදෙසා පවත්වන ලද සීල භාවනා වැඩසටහනෙහි කර්මස්ථාන පුහුණුව පාදක කරගනිමින් මෙම කෘතිය මුල්වරට සම්පාදනය කර ඇත.
මෙහි සමථ හා විදර්ශනා භාවනා පිළිබඳ මූලික හැඳින්වීමක් මෙන්ම ප්රධාන කමටහන් පිළිබඳ විවරණයක් අන්තර්ගත වේ. විශේෂයෙන් සතර කමටහන් (බුද්ධගුණ, මෛත්රී, අසුභ, මරණානුස්සති) සහ ආනාපානසති භාවනාව වඩන ආකාරයත්, ඒවා ප්රගුණ කිරීමෙන් ලැබෙන ආනිසංසත් සවිස්තරව පැහැදිලි කර ඇත. තවද භාවනාවට අදාළ සීල භාවනා පන්තියේ දින චර්යාව හා භාවනා උපදෙස් ද මෙහි ඇතුළත් වේ.
අතිපූජ්ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමි, මාතර ශ්රී ඤාණාරාම මහා ස්වාමීන්ද්රයන් වහන්සේ සහ කඩවෑද්දුවේ ශ්රී ජිනවංශ මාහිමිපාණන් වහන්සේගේ ආශිංසන හා අනුමැතිය සහිතව පළ කර ඇති මෙම දොළොස් වැනි මුද්රණය (2004) ධර්ම දානයක් ලෙස මුද්රණය කරවා ඇත.
ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ සමුත්පාදක ප්රධාන අනුශාසක අතිපූජණීය රාජකීය පණ්ඩිත කඩවෑද්දුවේ ශ්රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ආශිංසනය චින්තනය
වස්තු චින්තනය භාව චින්තනය යනුවෙන් චින්තනය දෙයාකාරයි. භාවනාවත් චින්තනයෙකි. භාවනාවෙන් සිත නිකෙලෙස් බවට පත්වන්නේ සංවරණ ප්රහාන වශයෙනි. (සංවරට්ඨං පහානට්ඨං බ්රහ්ම චරියං අත්ථිතො) සමථ භාවනාවට වස්තු චින්තනයෙකි. භාව චින්තනය වනුයේ විදර්ශනා භාවනාවයි. සමථ භාවනාවෙන් සංවරණය විනා කෙලෙස් ප්රහානයක් සිදුවන්නේ නැත. කෙලෙස් ප්රහානය සිදුවන්නේ විදර්ශනා භාවනාවෙනි. සංඛාරයන්ගේ සැබෑ තතු දැක්ම විදර්ශනාවෙන් සැලසෙනුයේ යථාභූත ඥාන දර්ශන වශයෙනි.
ඔබේ ජීවිත පැවැතුම් සියල්ල ඔබට භාවනා අරමුණු වශයෙන් යොදා ගත හැකිය. ඔබේ ජීවිතයේ නිරන්තරව පවත්නා ක්රියාව අස්සාස පස්සාස (හුස්ම ගැනීම හෙලීම) යන දෙකය. හුස්ම වැඩකරන්නේ හිතත් සමගයි. ඔබ හුස්ම පිටකරන වාරයක් පාසා මෙසේ සිතන්න. මගේ පිරිසිදු සිතත් සමග නිකුත්වන මේ පිරිසිදු හුස්ම අහසේ වායුගෝලයට එක්වී ඒ වාතය පිරිසිදු වේවා. එසේ පිරිසිදු වන වාතයෙන් ලොව නිවේවා! සැනසේවා! මෙය කරුණා මෛත්රී සහගත බ්රහ්ම විහාර භාවනාවකි. මෙයින් ඔබේ හුස්ම ලොව නිවන සනසන හුස්මක් වන්නේය. ප්රාතිහාර්ය හුස්මක් වන්නේය.
ඔබ ගමන් කරන විට මෙසේ සිතන්න. මේ ගමනේදී මගේ පියවරට යටවී පොළොවේ කුඩා කුඩා කුහුඹුවකුටවත් හිංසාවක් පීඩාවක් නොවේවා! කරුණා මෛත්රී සහගතව මෙසේ ඔබ පවත්වන ගමන බ්රහ්ම ගමනක් වන්නේය. ඔබේ පයට පෑගෙන වැලිකැටද ධර්මබවට පත්වන්නේය. මේ විධියට ඔබේ ජීවිත පැවැතුම් සියල්ල සිතට පණදෙන භාවනා බවට හරවා ගැනීමට පෙල ගැසෙනු මැනවි. එසේ ඇති කල්හි ඔබේ ජීවිතය එකම සැනසිලි පෙරහැරක් වන්නේය.
මේ අගනා දහම් පඬුර (භාවනා පොත) ඔබ අතට පත් කරන පින්වතුන්ගේ සැනසිලි පෙරහැර ගැන මම දනිමි. ඒ භාවිත වාසනාව යාව නිබ්බාණ වේවා!
සතං සමාගමො හොතු
මෙයට,
කාරුණික
(අත්සන)
පුණ්යානුමෝදනය
සාධු ජනයාගේ පිවිතුරු වූ ද, සංවර වූ ද, අධ්යාත්මික ගුණවගාවක් සඳහා, දහමින් ගැඹුරු වූ ද, එහෙත් සරල වූ ද, මෙම භාවනා අත් පොත නැවත වරක් මුද්රණයකර ධර්ම දානයක් ලෙස පූජා කිරීමට, අප වෙත මෙත් සිතින් උපදෙස් හා අවසරය ලබා දුන්,
ශ්රී කල්යාණී යෝගාශ්රමාධිපති ගෞරවනීය අති පූජනීය නාඋයනේ අරියධම්ම නා හිමිපාණන් වහන්සේට සසර වසන තුරු නිරෝග සුව දීර්ඝායු ශ්රී සම්පත්තිය ලබා සියලු ප්රාර්ථනා සඵල වී මතු සම්මා සම්බුදු බව සඳහා ම මෙම කුසල සම්පත්තිය උපනිශ්රය වේවා!
මෙම උතුම් පුණ්ය සම්පත්තිය අපවත් වී වදාළ ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථා සමුත්පාදක ගෞරවනීය අති පූජනීය කඩවෑද්දුවේ ශ්රී ජිනවංශාභිධාන නා හිමිපාණන් වහන්සේට උතුම් සම්මා සම්බුදු පදවිය සඳහාම හේතුවේවා!
මෙම කුසල සම්පත්තිය මහ සඟරුවනට සම්බුදු සසුනේ නිර්මල තිර පැවැත්ම උදෙසා නිරෝගි චිර ජීවනය පිණිසත්, අමා මහ නිවන් සුව පිණිසත් හේතු වේවා!
2004 ජූලි මස 17 වන දින පළමු වසර ජන්ම දින සපුරන ශෝමින් ඉන්දීවර ළදරුවා නිරෝගි සුව ජීවනය ලබා බෝසත් ගුණයෙන් වැඩේවා!
අපගේ මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාති මිත්රාදීන්ගේ සසර ගමන යහපත් වී අමා මහ නිවන් සුව පිණිසම මෙම කුසලය හේතු වේවා!
මෙම පොත මුද්රණය කිරීම සඳහා සහාය වූ ශ්රීදේවී ප්රින්ටර්ස් හි අධිපති තුමා ඇතුළු කාර්යමණ්ඩලයටත් මෙම පොත පරිශීලනය කරන ඔබටත් අප සැම දෙනාටත් අමා මහ නිවන් සුවයෙන් සැනසීම පිණිසම හේතු වේවා!
සියලු සත්ත්වයෝ ගුණ නැණ බෙලෙන් යුතු වෙත්වා!
මෙයට
ගලේවෙල සීලා එදිරිසිංහ සහ ශාන්ත ප්රියදර්ශන,
තුසිත නාලක, නිරෝෂා කුමුදුනී
සමග
ත්රිලීෂියා ජයසේකර සහ මහේෂ් පත්මනාත්,
ප්රභාත් දිගයන්ත, අනුරාධ සම්පත්
භාවනා
නිබ්බානං පරමං සුඛං - නිවන හෙවත් දුක් නිවීම පරම සුව යයි. ඒ සුවය ලබා ගැනීමට මාර්ග දෙකක් ඇත. එනම් බණ ඇසීම හා මාර්ගය වැඩීමයි. එය බුදුරජාණන් වහන්සේ පුද්ගලා රෝපනයෙන් කොටස් සතරකට බෙදා දේශනා කළහ. උග්ඝටිතඤ්ඤු හා විපචිතඤ්ඤුයෝ බණ ඇසීමෙන් නිවන් දක්නාහු වෙති. නෙය්ය හා පදපරමයෝ මාර්ගය වැඩීමෙන් නිවන් දක්නාහු වෙති. මෙකල නිවන් දැකීමේ නොවරදින පිළිවෙල මාර්ගය වැඩීමයි.
නිවන් දැකීමේ එකම මග ආර්ය-අෂ්ටාංගික-මාර්ගයයි. ඒ අංග අට ශීල-සමාධි-ප්රඥා යන ගුණකඳ තුනට ගොණු වේ. ආර්ය අෂ්ටාංගික-මාර්ගයෙන් ගමන් කිරීම නම් ස්වකීය සන්තානයෙහි ශීල-සමාධි- ප්රඥා යන ගුණකඳ තුන දියුණු කිරීමයි. ශීලයෙහි පිහිටා සමථ හා විදර්ශනාවන් වැඩීමයි. මෙහි සමථ-විදර්ශනා දෙකින්ම කියැවෙන්නේ භාවනාය. භාවනා කොපමණ අවශ්ය වුවත් භාවනා ඥානය නැතිව සුදුසු ගුරුවරයකු නැතිවැ එය නොකළ හැකිවේ.
මීතිරිගල නිස්සරණ වනසෙනසුන්හි අධිපතිවැ සිටින පූජ්ය පණ්ඩිත මාතර ඤාණාරාම, කහව ගල්දූවේ ගුණවර්ධන යෝගාශ්රමයෙහි අධිපති පූජ්ය පණ්ඩිත කඩවෑද්දුවේ ජිනවංශ යන මහා ස්වාමීන් වහන්සේලා දෙනමගේ ශිෂ්ය නාඋයනේ අරියධම්ම ස්ථවිරයන් වහන්සේ මෙකල සිටින කර්මස්ථානාචාර්යයන් වහන්සේලා අතර ඉතා උසස් කෙනෙකි. ත්රිපිටක ධර්මය හොඳින් හදාරා කාලයක් භාවනායෝගීවැ සිට භාවනා පිළිබඳ මනා දැනීමක් හා දීර්ඝකාලීන අභ්යාසයක් ඇති එසේම බුද්ධ වචනය අනුවම කර්මස්ථාන දෙන මුන් වහන්සේ මීරිගම බෞද්ධාචාර්ය අභ්යාස විද්යාලයෙහි ප්රධාන භාවනාචාර්යයන් වහන්සේ වෙති.
මේ භාවනා නය භාවනාභිලාෂීන්ගේ ප්රයෝජනය සඳහා මුද්රණද්වාරයෙන් නිකුත් කිරීම ඉතා උසස් ශාසන සංග්රහයකි.
මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්ථවිර
මහරගම
සිරිවජිරඤාණ ධර්මායතනයේදිය.
ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ ප්රධානාචාර්ය්ය මහෝපාධ්යාය අතිගරු පණ්ඩිත මාතර සිරි ඤාණාරාම ස්වාමීන්ද්රෝත්තමයාණන් වහන්සේ මෙසේ අනුමත කරති.
“මේ සටහන බැලු විට මට වැටහී ගියේ මෙය හැම යෝගාවචරයෙකුටම හොඳ බවය. මේ අනුව භාවනා මනසිකාරයේ යෙදෙන යෝගාවචරයාගේ කාය භාවනාවත් චිත්ත භාවනාවත් නිරායාසයෙන් සැපයෙන සැටිය වැටහී යයි. නිත්ය භාවනා මනසිකාරයක නොයෙදෙන දිනකට කීපවරක් භාවනා මනසිකාරයෙහි යෙදෙන්නවුන්හටද මේ ක්රමය බොහෝ දුරට ප්රයෝජනවත් වේ යැයි සලකමි. මෙහි සඳහන් ක්රමයට අනුව වැඩ කිරීමෙන් භාවනා කාර්ය්යය සාර්ථකව ගෙන යා හැකි වෙයි.
මෙයට හිතවත්,
මා. ඤාණාරාම ස්ථවිර
(අත්සන)
සතර කමටහන් භාවනාව
සමථ විපස්සනා නමින් හැඳින්වෙන භාවනාවේ තේරුම සැපවත් ජීවිතයක් හදාගෙන එම නිරාමිස ධර්ම සැපය අන්යයනටත් බෙදාදීමේ ශාන්ත සේවයකි. සිත නන් අරමුණෙහි විසිරී යන හේතු සමනය කරමින් නීවරණාදී උපක්ලේශ යටපත් කරමින් එක් අරමුණක පිහිටා සිටීමේ සමත් බව නම් වූ ධ්යාන පහළ කරගැනීම සමථ භාවනාවය.
සම්මුතිය බිඳ පරමාර්ථ අරමුණෙහි පිහිටා නාමරූප ස්කන්ධ ආයතනාදීන් කෙරෙහි වූ අනිත්යාදි ස්වභාව ලක්ෂණ පොදු ලක්ෂණ තත් වූ පරිදි අවබෝධ කරමින් නිවන් මගට පිළිපැදීම විපස්සනා භාවනාවය. සමථ විපස්සනා භාවනාවන් නිරාකූලව හා නිරවශේෂ ව ඉදිරිපත් කරනු ලබන විසුද්ධිමාර්ග අර්ථකථාවෙහි දැක්වෙන භාවනා කර්මස්ථාන පසක් මේ භාවනා ග්රන්ථයෙහි දක්වනු ලබන්නේ සැකෙවිනි.
1977 වර්ෂයේ දී මීරිගම බෞද්ධ ගුරු අභ්යාස විද්යාලයෙහි බෞද්ධ ගුරුවරුන් සඳහා පවත්වන ලද සීල භාවනා වැඩ සටහනට අනුව ප්රථම වරට පුහුණු කරවනු ලැබූ භාවනා කර්මස්ථාන පිළිබඳ සාරාංශය භාවනා අත්පොත වශයෙන් මේ ග්රන්ථය නිකුත් කරන ලදී. සීල භාවනා වැඩසටහන පිළිබඳ දිනචරියාව සහිත උපදෙස් රැස ද මෙයට ඇතුළත් කරන ලද්දේ එහෙයිනි.
මීරිගම බෞද්ධ ගුරු අභ්යාස විද්යාලයේ ප්රථම වරට භාවනා වැඩූ සැදැහැවත් ගුරු පිරිසට මේ භාවනා අත්පොත ආදර්ශයක් - කැඩපතක් වනු ඒකාන්තය. තවත් බොහෝ යෝගාවචරයනට භාවනාව පිළිබඳ මග පෙන්වීමක්ද මෙයින් සැලසෙනවා ඇත.
1977 වර්ෂයේ මීරිගම බෞද්ධ ගුරු අභ්යාස විද්යාලයේ බෞද්ධ ගුරුවරුන්හට භාවනා පුහුණු කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කිරීමට පුරෝගාමීව ක්රියා කළ, අධ්යාපන අමාත්යාංශයේ බෞද්ධ උපදේශක මණ්ඩලයේ සභාපති අතිපූජනීය විද්යාවිශාරද රාජකීය පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් හෘදයංගම දයාවෙන් මෙම භාවනා අත්පොත අනුමත කරමින් පිළිගැනීම ගැන අත්යන්ත ගෞරවයෙන් වැඳ නමස්කාර කොට දීර්ඝායුඃ ශ්රී ශාන්ති ප්රාර්ථනා කරමි. ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ ප්රධානාචාර්ය්ය මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපති අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේ සහ ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ සමුත්පාදක ප්රධාන අනුශාසක, අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවෑද්දුවේ ශ්රී ජිනවංසාභිධාන අස්මදාචාර්ය්ය මාහිමිපාණන් වහන්සේද විසින් මෙම භාවනා අත්පොත පිළිගැනීමෙන් ප්රසාදාතිශය පළ කිරීමෙන් දක්වන ලද අනුග්රහයට අත්යන්තආදර ගෞරවයෙන් වැඳ නමස්කාර කොට දීඝායුඃ ශ්රී ශාන්ති ප්රාර්ථනා කරනුයේ අසීමිත ගුරු භක්තියෙනි.
කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමය මගින් නිකුත් කෙරෙන, භාවනා ග්රන්ථ මාලාවෙහි සවිස්තරව සතර කමටහන් සහිතව සතිපට්ඨාන භාවනාව සහ සම සතලිස් කමටහන්ද පාඩම් වශයෙන් පිළිවෙළින් අධ්යයනය කළ හැකිය. එහි ගුරු පොත වශයෙන් මේ භාවනා අත්පොත පළමු කොට භාවිතා කිරීම අතිශයින් ප්රයෝජනවත්ය.
බුදුගුණ - මෛත්රිය - අසුභ - මරණ සති නම් වූ මේ සතර කමටහන් අතුරෙන් බුදුගුණ වැඩීමේ දී බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට ජීවමානව වැඩ හිඳින ආකාරය සිතින් අරමුණු කොට බුදු ගුණ භාවනාව වැඩිය යුතු වේ. මෛත්රිය වැඩීමේ දී වනාහි තමාය - හිතවතාය - මැදහතාය - අහිතවතාය යන සතර දෙනා අතුරෙන් අරමුණු කරනු ලබන්නා තමා ඉදිරිපිට සිටින ආකාරය සිතින් බලමින් ම මෛත්රිය වැඩිය යුතුය.
කායගතාසතිය වැඩීමේ දී කේශාදි එක එක කොටසෙක්හි පාට - සටහන - දිශාව පිහිටි තැන හා පරිච්ඡේදය හෙවත් ඉම ගැන දැන දැන කායගතාසතිය වැඩිය යුතු වේ. මරණසතිය වැඩීමේ දී සති - සංවේග ඥාන පිහිටුවාගෙන අනිත්යතාව සිතට නගා මරණසතිය වැඩිය යුතුය. ආනාපාන සතිය වැඩීමේදී වනාහි සතිය මනාසේ පිහිටුවා ගත යුතු වේ.
භාවනා පූර්වකෘත්යය වනාහි වේලාවේ පමණින් කෙටියෙන් හෝ සවිස්තරව හෝ සම්පූර්ණ කොට ම භාවනා පටන්ගත යුතුය. මේ සෑම භාවනාවක දී ම සති සම්පජඤ්ඤය පැවැත්වීම භාවනාව සාර්ථක වීමට අතිශයින් උපකාරවේ.
සර්වඥයන් වහන්සේ ගැන ගෞරවය සහිත විශ්වාසය අධිකවීම, ශ්රද්ධා - සති - වීර්ය - සමාධි ප්රඥා ඉන්ද්රියන් බලවත් බවට පැමිණීම නුවණ අවදිවීම , ප්රීති සොම්නස් බහුලවීම, බිය තැතිගැනීම් නැතිවීම, ඉතා සතුටින් සියලු දුක් ඉවසීමේ ශක්තිය, සර්වඥයන් වහන්සේ සමග එකතැන වෙසෙන සිත ඇතිවීම, එනිසාම වරදකට නොනැමීම, හිරි ඔතප් අධිකව වඩාත් සිල්වත් වීම, ධාතු ගර්භයක්සේ පූජනීයත්වයට පත්වීම, බුදුබව සඳහා සිත නැමීමාදි අනන්ත ආනිසංස බුදුගුණ භාවනා වඩන්නාට අත් වේ
මෛත්රී භාවනාවෙන් වනාහි සුවසේ නින්දයාම, සුවසේ අවදි වීම, නපුරු සිහින නොපෙනීම, දෙවියන්ට ප්රියවීම, මනුෂ්යයන්ට ප්රියවීම, දෙවියන්ගේ ආරක්ෂාව සැලසීම, ගිනි අවි වස විස ශරීරගත නොවීම, වහා සිත සමාධිගත වීම, මුහුණ පැහැපත් වීම, මරණාසන්නයේදී සිහි නුවණ එළඹ සිටීම, මතු සුගතිපරායනවීමාදී අනන්ත අපරිමාණ අනුසස් ලැබෙන්නේ අසිරිමත් ලෙසිනි.
කායගතාසති අසුභ භාවනාවෙන් වනාහි පාපයෙන් වැලකීම, පිනෙහි නොපමාවීම, පස්කම් සැපට ගිජු නොවීම, බිය තැති ගැනීම් නැතිවීම, සියලු දුක් ඉවසීමේ සමත් බව, දිව්ය සමාන කාම වස්තුවකවත් නොඇලීම, ලද පමණින් සතුටු වීම, රහතන් වහන්සේ නමක් සේ සංවර බව, භවයෙහි පමාවීමට නොකැමැත්ත, හා සසර ගමනේදී සුගතිගාමී වීම ආදී අප්රමාණ ආනිසංස ලැබෙනුයේ නික්ලේශී ජීවිත වාසනාව උදාකරමිනි.
මරණසති භාවනාවෙන් වනාහි කුශල් පිළිවෙත් පිරීමේ නොපමාව, භවයෙහි නොඇලීම, පාපයට ගැරහීම, අනිත්ය ලක්ෂණය නිතර වැටහීම, ජීවිත ආශාව තුනී වීම, බිය තැතිගැනීම් නැතිවීම, අද කළයුතු දේ හෙටට කල්නොදැමීම, දැහැමින් ජීවත් වීම, මරණාසන්නයේදී එළඹසිටි සිහිනුවණින් යුක්ත වීම, සුගති පරායන වීම, විදර්ශනාවට පහසුවෙන්ම පාදකවීම ආදී අනේක අනුසස් ගෙනදෙනුයේ සීලාදී උතුම් ගුණ අඛණ්ඩව පිරීමේ ශක්තිය ද ලබා දෙමිනි.
ආනාපානසතියෙන් වනාහි ස්මෘති සමාධි ප්රඥාවන් විසද බවට තියුණු බවට පැමිණේ. කය සිත සැහැල්ලු බවට පැමිණේ. නිරෝගී බවත් සන්සිඳුනු තැන්පත් බවත් පිහිටයි. ප්රීතිය සෝමනස්සය නිතරම එළඹ සිටී. ධාරණ ශක්තිය ඇති වේ. ප්රතිභාන කෞශල්යය හෙවත් වහා වැටහීමේ නුවණ පහළ වේ. ධීර වීර උදාර අධ්යාශය ඇති වේ. බුද්ධත්වයට ද පාදක වන්නා වූ ආනාපාන සතිය අතිශයින් ශාන්ත භාවනාවකි. අනේක අපරිමාණ අනුසස් ද ඇති භාවනාවකි.
නිදුක් නීරෝගී සුවපත්, ජීවිත වාසනාව උදා කොට තමන් ලැබූ ධර්ම සැපයෙන් අන් අයද සුවපත් බවට පමුණුවනු පිණිස වැඩි වැඩියෙන් භාවනා වඩත්වා! නිවැරැදි ගුරුඋපදෙශ මත පිහිටා භාවනා අනුසස් ලබත්වා! මේ භාවනා අත්පොත භාවිතා කරන සැමට බුදුගුණ බල මහිමයෙන් භාවනා පිළිවෙත සාර්ථක වේවා! සත්ප්රාය වේවා! ගෝචර වේවා! අසම්මෝහ වේවා! සුවසේ අමා මහ නිවන් සුව අත් වේවා!
“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”
මෙයට,
මෙත්කැති, අරියධම්ම ස්ථවිර ශ්රී ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව, කහව.
මෙත්කැති, අරියධම්ම ස්ථවිර
ශ්රී ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය,
ගල්දූව, කහව.