භාරතීය බෞද්ධාචාර්ය්‍යයෝ - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1949
පිටු ගණන :
267
බාගත කිරීම් ගණන :
2,296
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-12-10
ගොනුවේ ප්‍රමාණය :
80 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 134

භාරතීය බෞද්ධාචාර්ය්‍යයෝ යනු අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත නායක මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත, භාරතය, චීනය සහ ටිබැටය යන රටවල විසූ ඓතිහාසික බෞද්ධ ආචාර්යවරුන්ගේ චරිතාපදාන ඇතුළත් අගනා ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. මෙහි දෙවෙනි සංස්කරණය 1949 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර ඇත.

මෙම කෘතිය ප්‍රධාන කොටස් තුනකින් සහ උපග්‍රන්ථයකින් සමන්විත වේ. ඉන්දියාවේ විසූ බෞද්ධාචාර්යවරුන් 83 දෙනෙකු, චීනයට වැඩම කළ භාරතීය ආචාර්යවරුන් 88 දෙනෙකු සහ ටිබැටයට වැඩම කළ ආචාර්යවරුන් 16 දෙනෙකු පිළිබඳ තොරතුරු මෙන්ම බෞද්ධ නිකායාන්තර පිළිබඳ වැදගත් විස්තර මෙහි සංග්‍රහ කර තිබේ:

  • භාරතයෙහි බෞද්ධාචාර්ය්‍යයෝ (මහාදේව, අශ්වඝෝෂ, නාගාර්ජුන, අසංග, වසුබන්ධු, දිඞ්නාග ආදී ආචාර්යවරුන්)
  • චීනයෙහි බෞද්ධාචාර්ය්‍යයෝ (කාශ්‍යපමාතංග, ධර්මරක්ෂ, කුමාරජීව, පරමාර්ථාචාර්ය ආදී තෙරවරුන්)
  • ටිබැටයෙහි බෞද්ධාචාර්ය්‍යයෝ (ශාන්තරක්ෂිත, පද්මසම්භව, දීපංකර ශ්‍රී ඥාන ආදී ආචාර්යවරුන්)
  • උපග්‍රන්ථය (බෞද්ධ නිකායාන්තර, තෘතීය සංගීතිය, නිකායනාම සංසන්දනය ආදිය)

හීනයාන හා මහායාන මෙන්ම විවිධ නිකායවලට අයත් ඓතිහාසික ආචාර්යවරුන් සහ චීන-ටිබැට් මූලාශ්‍රයන්හි එන බෞද්ධ ඉතිහාසය සිංහල පාඨකයාට හඳුන්වා දීම සඳහා සම්පාදිත විශිෂ්ට පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.

හැඳින්වීම

“භාරතීයබෞද්ධාචාර්‍ය්‍යයෝ” නමැති මේ පොත එකාංශි කොටස් තුනකින් යුක්ත ය. එයින් මුල් කොටසේ ඉන්දියාවේ විසූ මහාචාර්ය්‍යවරයන් 83 දෙනෙකුන්ගේ ද, දෙවෙනි කොටසෙහි චීනයට ගිය භාරතීය බෞද්ධාචාර්ය්‍යයන් 88 දෙනෙකුන්ගේ ද, තෙවෙනි කොටසෙහි ටිබැටයට ගිය බෞද්ධාචාර්‍ය්‍යයන් 16 දෙනෙකුන්ගේ ද චරිත ඇතුළත් වෙති. එබැවින් පොත ඇතුළේ (1) භාරතයෙහි බෞද්ධාචාර්‍ය්‍යයෝ, (2) චීනයෙහි බෞද්ධාචාර්‍ය්‍යයෝ, (3) ටිබැටයෙහි බෞද්ධාචාර්‍ය්‍යයෝ යයි නම් තුනක් පෙනෙනවා ඇත. චීන ජාතිකවූ ද ටිබැට් ආදි අන්‍ය ජාතික වූ ද ආචාර්ය්‍යවරයන් ස්වල්ප දෙනෙකුන්ගේ චරිත මෙහි ඇතත් ඉතා වැඩි කොටස භාරතීය (-ඉන්දියානු) ආචාර්ය්‍යවරයන් බැවින් මුළු පොතට “භාරතීය බෞද්ධාචාර්‍ය්‍යයෝ” යයි නම දෙනලදී.

න්‍යායාචාර්‍ය්‍ය අභයසිංහ මහතා ටිබැට් රටට ගොස් පුරුද්ද ඇති බැවින් මෙහි ටිබැට් රට පිළිබඳ කොටස ඒ මහතාට පෙන්වා අදහස් විචාළෙමි. ඒ මහතා ඇතැම් නම් ලියයුතු සැටි පෙන්වා දුනි. එසේම මෙහි කියවෙන ඓතිහාසික කරුණු සිදු වූ යම් තැනක් හෝ ඒ ආචාර්ය්‍යවරයන් පරිභෝග කළ පිරිකර ආදියක් ඒ මහතා දුටුවේ නම් ඒවා ඇති තැන්ද ඒ මහතා ලකුණු කර දුන්නේ ය. පොතේ ඒ තැන්වල ඒ මහතාගේ නම ද ඇතුළත් කොට ඇත. ඒ මහතාට ඒ සඳහා මාගේ අවංක ස්තූතිය පුදමි.

පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර

මුඛබන්ධය

මුලදී එකක් ව පැවති බෞද්ධාගම ව්‍යාප්තියට පත් වීමෙන් පසු නානා නිකායවලට බෙදීගියේ ය. ඒ නිකාය සියල්ලම හීනයාන-මහායාන යන දෙකොටසෙහි ඇතුළත් කරනු ලැබේ. හීනයාන යන්නේ තේරුම “කුඩා වාහනය” යන්නයි. මෙකල ලංකා-බුරුම-සියම් යන තුන් රටෙහි පවත්නා ථෙරවාදී බුද්ධාගම ද හීනයානයෙහි ඇතුළත් වේ. එයට ‘හීනයාන’ යයි කියනු ලබන්නේ බුද්ධ යාන-ප්‍රත්‍යෙක බුද්ධ යාන-ශ්‍රාවක යාන යන තුනෙන් ඉතා පහත්වූ ශ්‍රාවක යානයෙන් නිවන් ලැබීමට උත්සාහ කරන බැවිනි. ඒ නම අපට දෙනලද්දේ මහායානයයි කියනු ලබන බුද්ධ යානයෙන් නිවන් ලැබීමට උපදෙස් දෙන මහායානිකයන් විසිනි.

හීනයාන නාමයට ඇතුළත් වන්නේ ථෙරවාදය පමණක් නො වේ. සම්මිතිය-සර්වාස්තිවාදී ආදි තවත් නිකාය කිහිපයක පිරිස හීනයානයට ඇතුළත් වේ. (එහි විස්තරය මෙහි තිබෙන උපග්‍රන්ථයෙන් බලාගත හැක.) එහෙත් ලක්වැසි බෞද්ධයෝ ථෙරවාදීන්ගෙන් අන්‍යවූ හැම දෙනාටම “වෛතුල්‍යවාදීහු” යයි කියන්ට පුරුදුවී සිටිති. ඔවුන් ඒ නාමය යොදන්නේ මහායානික යන්න යෙදිය යුතු තැනය. එහෙත් මහායාන-හීනයාන දෙක වෙන් කළයුතු සැටි මෙරට බොහෝ දෙනෙක් නොදනිති. “වෛතුල්‍යවාදී” නාමයෙන් නිකායක් පෙර තිබුණ බවක් නොපෙනේ. “වෛපුල්‍ය” නමින් මහායානික සූත්‍ර කොටසක් තිබේ. ඒ සූත්‍රයන් භාවිත කිරීම මුල්කොට ගෙන මේ නාමය නිපදවනලදැයි සිතමි.

උතුරු බුද්ධාගම-දකුණු බුද්ධාගම යයි බෙදීමක් ද මෙකල ඇතැම් යුරෝපීය පඬුවන් විසින් ඇතිකොට තිබේ. දකුණු බුද්ධාගම ලෙස ගැනෙන්නේ ලංකා-සියම්-බුරුම රටවල පවත්නා පාලි පොත් ගරු කරන බුද්ධාගමයි. සංස්කෘත බෞද්ධ පොත් ගුරු ස්ථානයෙහි තබාගෙන සිටින චීන-ජපන්-ටිබැට්-නේපාල රටවල පවත්නා බුද්ධාගම උතුරු බුද්ධාගමයි. උතුරු ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල ද ගන්ධාර-කාබුල් ආදි රටවල ද පූර්වයේ දී මේ සංස්කෘත බෞද්ධාගම අධික ලෙස පැතිර පැවැත්තේය.

මෙකල චීනයෙහි මහායානය බල පවත්වන නමුත් හීනයානික පොත් එහි නැත්තාහු නො වෙත්. හැම නිකායවලට ම අයත් පොත් එරටට ගෙනගොස් සියබසට නඟාගැන්ම චීන උතුමන්ගේ සිරිත විය. මෙසේ ගෙන ගොස් චීන බසට නැඟූ පොත් “හීනයාන මජ්ඣිමනිකාය” ආදි වශයෙන් අඳුන්වනු ලැබේ. ඵාහියන් මහතෙරුන් විසින් මහීශාසක විනය පිටකය එරටට ගෙනයනලදැයි ඉතිහාසයෙහි සඳහන් වේ. ලක්දිවින් චීනයට ගෙනගොස් ඔවුන්ගේ බසට නැඟූ විමුක්තිමාර්ග නමැති පොතක් ද ථෙරවාදීන්ගේ විනය අටුවාව ද දැන් සොයාගෙන තිබේ. “විමුක්තිමාර්ගය” වනාහි අපේ “විසුද්ධිමාර්ගය”ට සමානකම් ඇති පොතකි. ඒ පොතේ චීනපරිවර්තනය ඇති බව පළමුවෙන් ප්‍රකාශ කළේ තෝකියෝ නුවර අධිරාජකීය විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍යවරයෙක්වූ ඇම් නාගායි මහතාය. එය ලක්දිව විසූ උපතිස්ස නම් තෙරනමක් ලියූ පොතකැයි ද ක්‍රි. ව. 443 පමණේදී “සංඝභද්‍ර” නම් තෙරනමක් විසින් චීන බසට නඟනලදැයි ද ඒ මහතා 1919 යේදී පාලි පොත් සමාගමේ සඟරාව මගින් පළ කරවීය.

ඉන්දියාවේ පූනා නුවර පර්ගුසන් විද්‍යාලයේ පාලි මහාචාර්ය්‍යවරයාව සිටි පී. වී. බපාත් (ඇම්. ඒ., පී. එච්. ඩී.) මහතා මේ චීන පරිවර්තනය ඉංග්‍රීසියට නඟා පාලි විසුද්ධිමාර්ගය හා සංසන්දනය කොට බැලීය. එවිට එතුමාට පෙනී ගියේ විමුක්තිමාර්ගය අභයගිරිවාසීන්ට අයත් අපේ විසුද්ධිමාර්ගයේ ස්ථානය ගත් පොතක් බවයි. ඒ මහතා විසින් මේ පොත් දෙක සංසන්දනය කොට ලියූ පොත රෝයල් පිටු 171 කින් ද ප්‍රාරම්භ පිටු 59 කින් ද යුක්තය. අභයගිරිවාසීන්ගේ වෙනස් මතයන් දැනගැනීමට උපකාර වන එකම පොත මේ ය. විසුද්ධිමග්ගටීකාව ලියූ ධම්මපාලාචාර්ය්‍යයන් විසින් විමුක්ති මාර්ගයේ තිබෙන ඇතැම් කරුණු ගැන සඳහන් කොට තිබේ. උපතිස්සාචාර්ය්‍යයන්ගේ නාමයත් එහි පෙනේ.

මේ කියවෙන උපතිස්ස මහාස්ථවිරතුමා වළගම්බා කාලයේ දී හටගත් මහාදුර්භික්ෂයේ දී විනයපිටකය රැකගත් උතුමැයි විය හැක. එතුමාගේ නම විනය අටුවාවේ නොයෙක් තැන සඳහන්ව තිබේ. විමුක්තිමාර්ගය චීන බසට නඟනලද්දේ බුද්ධඝෝෂාචාර්ය්‍යතුමන් ලක්දිවට පැමිණ සිංහල අටුවා පාලියට නැඟූ කාලයට ඉතා ළංවූ කාලයකදී ය. එබැවින් බුද්ධඝෝෂ මාහිමියන් පැමිණෙන විට විමුක්තිමාර්ගය මෙහි තිබුණ පොතකි. බුද්ධඝෝෂාචාර්ය්‍යයන් විමුක්තිමාර්ගය බලාගෙන තමන්ට නොගැළපෙන අදහස් ඉවත් කරමින් විසුද්ධිමග්ගය ලියූවහයි කියතොත් එය ප්‍රතික්ෂෙප කිරීම අපහසු ය. එවිට උපදින ප්‍රශ්නයක් නම් “අභයගිරි විහාරය පිහිටුවන්ට පෙර හෝ පිහිටෙව් අලුත ම ලියූ පොතක් අභයගිරි වාසීන්ගේ යයි පිළිගත හැක්කේ කෙසේද?” යන්නයි. මේ පොත ලිව්වේ විනය අටුවාවේ නම කියවෙන උපතිස්ස මහතෙර නම් එතුමා මහා විහාරිකයකු වූවාට සැක නැත. එහෙත් මුලදී එකක්ව පැවති ථෙරවාදී නිකායෙහි ආචාර්ය්‍යවරයන්ගේ මත භේද තිබිණි. අටුවාවල නොයෙක් තැන ඒ මතභේද දක්වා තිබේ. එබැවින් ඒ මතභේදයන් අනුව පසුකලක අභයගිරිනිකාය වෙන්වූ හයි සැලකූ විට මේ ප්‍රශ්නය විසඳේ. උපතිස්ස මහතෙර තමන්ට අයත් වෙනස් මත ඇතුව සිටියකු බව විනයඅටුවාවෙන් ඔප්පු කළ හැක.

ථෙරවාදී බෞද්ධාචාර්ය්‍යවරයන්ගේ චරිතයන් හැකි පමණක් එක්කොට පොතක් මින් පෙර මවිසින් සම්පාදිත විය. සංගීති-කාලයෙන් පසු භාරතයෙහි විසූ බෞද්ධමහාචාර්ය්‍යවරයන් ගැන අපේ සිංහල සාහිත්‍යයෙහි කිසිවක් සඳහන් නො වේ. පාලිසාහිත්‍යයෙහි අල්පවශයෙන් නිකායාන්තර නාම හා ඔවුන්ගේ මතයන් දක්වා තිබේ. ධර්මාශෝක කාලයෙන් පසු භාරතයෙහි විසූ බෞද්ධාචාර්ය්‍යවරයන්ට අන්‍යශාස්ත්‍රික උගතුන් හා නොයෙක් වාදවිවාද කරන්ට සිදු විය. අන්‍යශාස්ත්‍රික උගතුන් නානා ශාස්ත්‍ර විශාරද මහාතර්කිකයන් වූ බැවින් බෞද්ධාචාර්ය්‍යවරයන්ට ද නානාවිෂයයන් ඉගෙනගන්ට සිදු විය. පරණ පොත්වල තිබෙන කරුණුවලින් පමණක් අන්‍ය දාර්ශනිකවාදයන් මැඩලිය නොහැකි වූ බැවින් ඔවුන් හට අලුත් පොත් ලියන්ට සිදු විය; අලුත් තර්ක හා මත උපදවන්ට සිදු විය. ඒ නිසාම ථෙරවාදී ආචාර්ය්‍යවරයන්ගේ දැනුමට වඩා පෘථුල දැනුමක් ඇති අසංග-වසුබන්ධු-නාගාර්ජුනාදි මහාචාර්ය්‍යවරයෝ එහි පහළ වූහ. ඔවුන් විසින් සම්පාදිත වූ ග්‍රන්ථයෝ ද බොහෝ වූහ. ඒ පොත් ක්‍රමයෙන් චීන-ටිබැට් රටවලට ගෙන ගොස් ඔවුන්ගේ භාෂාවලට නඟන ලද්දේ ප්‍රචාරයට පත් විය. ඒ පොත් වරින්වර ලක්දිවට ද ගෙනෙනලද නමුත් ථෙරවාදීන්ගේ බලකොටුවක් වූ මෙහි ඒවා පතුරුවන්ට අවකාශ නොලැබිණි.

ඒ පොත් සියල්ල මිථ්‍යාවාදවලින් යුක්තයයි නොසිතිය යුතු ය. බෞද්ධාගම සම්බන්ධ ඇතැම් සියුම් කරුණු ඒ පොත්වලත් ඇත්තාහ. ඒ පොත් සම්පාදනය කළ මහාචාර්ය්‍යවරයෝ ලෞකික ලාභාපෙක්ෂාවෙන් තොර ව ධර්මය රැකගැන්ම සඳහා ම ඒවා ලිවූහ. ඇතැම් කෙනෙක් ස්වකීය ජීවිත ගැන පවා නොතකා චීනය ආදි දුරු රටවලට ගොස් ඒ ධර්මය ප්‍රචාරය කිරීමෙහි උත්සාහවත් වූහ. එබැවින් ඒ මහාචාර්ය්‍යවරයන්ගේ චරිතයන් එක්තැන් කොට ලිවීමට ආශා කළ මා විසින් ඉතා අපහසුවෙන් පොත් කීපයක් සපයාගන්නාලදී. ඒ පොත් නම්:—

ශාන්තිනිකේතන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වූ ඵණීන්ද්‍රනාථ බෝස් මහතා විසින් සම්පාදිත වූ: 1. The Indian Teachers in China (=චීනයේ භාරතීයාචාර්‍ය්‍යයෝ.) 2. Indian Teachers of Buddhist Universities (=බෞද්ධ විශ්වවිද්‍යාලයන්හි භාරතීයාචාර්‍ය්‍යයෝ ) 3. ශරත් චන්ද්‍රදාස් පඬිතුමාගේ Indian Pandits in the Land of Snow (=හිමවත් පෙදෙසෙහි භාරතීය පණ්ඩිතයෝ.) 4. “බුස්තොන්” හෙවත් “බුදොන් රින්චෙන්ග්‍රුබපා” නමැති ටිබැට් පණ්ඩිතයා විසින් සම්පාදිත ව ඉංග්‍රීසියට නැඟුණු History of Buddhism (=බෞද්ධාගමේ ඉතිහාසය.) 5. කල්කතා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්ව සිටි රැයිකන් කිමුරා නම් ජපන් පඬිවරයා ලියූ “A Historical Study of the Hinayana and Mahayana Terms and the Origin of Mahayana Buddhism” (=හීනයාන-මහායාන නාම විවේචනය හා මහායාන සම්භවය.) 6. කල්කතා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ව සිටි නාලිනාක්ෂ දත්ත මහතාගේ “Early History of Spread of Buddhism and Buddhist Schools” (=බෞද්ධාගම පැතිරීමේ මුල් අවධිය හා බෞද්ධනිකායාන්තරයෝ.) යන මේවායි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පාලිමහාචාර්ය්‍යවරයාව සිට විශ්‍රාම ලැබූ ඊ. ජේ. තෝමස් පඬිතුමා ලියූ Origin of Buddhist Thought (=බෞද්ධ මත සම්භවය.) නම් පොත ද පණ්ඩිත රාහුල සංකෘත්‍යායනයන්ගේ “අභිධර්ම කෝෂ” මුඛබන්ධය ද වර්ෂසංඛ්‍යාදිය ගැලපීම සඳහා මෙහිදී උපකාර විය. සිංහල සඟරාදියෙහි මේ චරිතයන් ගැන යමක් පළවුණි නම් ඒවා ද විමසා බලන ලදහ. හියුං සියං මහතෙරුන්ගේ ප්‍රමාණවෘත්තාන්තයෙන් මෙයට ලැබුණු උපකාරය ඉතා මහත්ය.

බී. නන්ජියෝ (=Bunyiu Nanjio) නමැති ජපන් පඬිතුමකු විසින් චීන බෞද්ධ පොත්වල නාම මාලාවක් සම්පාදිත විය. එහි ඒ ඒ පොත්වල ඇතුළත් දෙය ද පොත් කළ වර්ෂ සංඛ්‍යා ද කර්තෘනාම ද දක්වනලද බැවින් එය බොහෝ ප්‍රයෝජනවත් පොතකි. ඒ පොත කොළඹ ගොතමී විහාරාධිපතිව විසූ ආචාර්ය ශ්‍රී අමරවංශ මාහිමි තුමන් ගෙන් ලබාගෙන මෙය හා ගළපා බැලීමි. ඇතැම් කරුණු එයින් ද උපුටා ගන්නා ලදී.

මේ චරිතකථාවන්හි ඇතැම් තැනක නොඅදහිය හැකි අද්භූතකථා විද්‍යාමාන වෙතත් බොහෝ කලක සිට පවත්නා ඒ වාර්තාවන් මකාදැමීම අපට අයත් ක්‍රියාවක් නොවේ. ඒවායින්ද කිසියම් ඓතිහාසික සත්‍යයක් හෙළි විය හැකි බැවින් ඒවා එසේ ම තිබෙන්ට හැරියෙමි.

මෙහි නම් දැක්වෙන මහාචාර්ය්‍යවරයන් නානා නිකායවලට අයත් බැවින් බෞද්ධ නිකායාන්තරයන් සබඳ කරුණු ද මෙහි ඇතුළත් කළහොත් යෙහෙකැයි සිතුණ බැවින් මහත් වෙහෙසකින් ඒ කරුණු සපයා උපග්‍රන්ථයෙහි ඇතුළත් කෙළෙමි. එය කෙතරම් ආයාසයකින් සපයන ලද්දක් දැයි කියවන්නාට වැටහෙනවා ඇත. ථෙරවාදීන්ගේ හා සම්මිතීවාදීන්ගේ විනය ශික්‍ෂානාමයන් ද මෙහි ගළපා දක්වනලදී. සම්මීතිවාදී ශික්‍ෂානාමයන් ලබාගත්තේ 1887 දී රුසියාවේ මුද්‍රිත “මහාව්‍යුත්පත්ති” නමැති සංස්කෘත ග්‍රන්ථයෙනි.

පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්ථවිර
අම්බලම්ගොඩ අග්‍රාරාමයේ දී ය,
15. 5. 1949