බෞද්ධ සංස්කෘතිය - මාපලගම සිරි සෝමිස්සර හිමි.pdf
- කතෘ :
- මාපලගම සිරි සෝමිස්සර හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1964
- පිටු ගණන :
- 344
- බාගත කිරීම් ගණන :
- 4,560
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-25
- ගොනුවේ ප්රමාණය :
- 58 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බෞද්ධ සංස්කෘතිය යනු අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය හදාරන සිසුන් උදෙසා මාපලගම සිරි සෝමිස්සර හිමි සහ බෝපිටියේ ඥානාවාස හිමි විසින් සම්පාදිත විෂය සමගාමී ග්රන්ථයකි. 1964 වසරේදී එළිදක්වා ඇති මෙම කෘතිය ඇම්. ඩී. ගුණසේන සමාගම විසින් ප්රකාශයට පත් කරන ලද්දකි.
මෙම කෘතියට රත්නපුර සිරිසුමන විද්යාලයාධිපති ශාස්ත්රාචාර්ය පණ්ඩිත හේන්පිටගෙදර ඥානාවාස හිමියන් විසින් ශාසනික පරිණාමය සහ භාරතයේ බුදුසමයේ ඉතිහාසය විමසමින් ලියන ලද අගනා ප්රස්තාවනාවක් ඇතුළත් වේ. උසස් පෙළ විෂය නිර්දේශයට අයත් කරුණු පහසුවෙන් හදාරනු පිණිස විෂය කරුණු රැසක් පෙළගස්වා ඇති අතර පේරාදෙණිය විශ්වවිද්යාලයේ කථිකාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමියන් විසින් බෞද්ධ කලාශිල්ප කොටස සකස් කිරීමට දායකත්වය ලබා දී ඇත.
ග්රන්ථයෙහි අන්තර්ගත ප්රධාන මාතෘකා අතර සිඟාලෝවාද, වෙළද්වාර, වසල, පරාභව, මහාමංගල යන සූත්ර විවරණ, බුද්ධකාලීන භාරතීය සමාජය, ආගමික පසුබිම, දේශපාලන සැලැස්ම, ධර්ම සංගීති, මිහිඳු යුගයේ සිට අනුරාධපුර යුගය දක්වා ලක්දිව ශාසන ඉතිහාසය සහ ඉන්දීය හා ලාංකේය බෞද්ධ කලාශිල්ප පිළිබඳ විස්තර ඇතුළත් වේ.
හැඳින්වීම
බෞද්ධ සංස්කෘතිය නම් මෙම ග්රන්ථය අප විසින් සම්පාදනය කරන ලද්දේ ලංකා අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට (විශ්වවිද්යාල ප්රවේශයට) නියමිත බෞද්ධ සංස්කෘතිය විෂයයක් වශයෙන් ඉගෙන ගන්නා ශිෂ්ය ශිෂ්යාවන්හට පහසුවක් ඇති කරනු පිණිසය. බෞද්ධ සංස්කෘතිය පිළිබඳව පොත් කිහිපයකින් උගත-යුතුව තිබුණු විෂය රාශියක් මෙම ග්රන්ථය පරිශීලනය කිරීමෙන් පහසුවෙන් දැනගන්නට හැකිවන අයුරු අප විසින් නියමිත සෑම විෂයක්ම ඇතුළත් කොට මෙය රචනා කර ඇත. සිඟාලෝවාද - වෙළද්වාර - වසල පරාභව - මහාමංගල යන සූත්ර පසක පෙළ-සිංහල අනුවාද හා විවරණත්, භාරතීය බෞද්ධ සංස්කෘතික ඉතිහාසය යටතේ බුද්ධකාලීනසමාජය - බ්රාහ්මණ - ෂට්ශාස්තෲවරු ආජීවක - සමණාදීන් පිළිබඳවත්, භාරතීය දේශපාලන සැලැස්ම යටතේ භාරතීය බෞද්ධ රජවරු හා ජනපද ආර්ථික හා සමාජික තොරතුරු පිළිබඳවත්, ත්රිවිධ ධර්ම-සංගීති යටතේ ප්රථම - ද්විතීය - තෘතීය සංගායනා පිළිබඳවත්, ලංකා ශාසන ඉතිහාසය යටතේ මිහිඳු යුගයට පෙර සිට අනුරාධපුර යුගය අවසානය දක්වා වූ ශාසන ඉතිහාසය පිළිබඳවත්, බෞද්ධ කලාශිල්ප යටතේ, කලා ශිල්ප හා බුදුසමය - ඉන්දීය බෞද්ධකලාවේ ආරම්භය - චෛත්ය - බුදුපිළිමාදිය පිළිබඳවත් අවශ්යයෙන් දතයුතු සෑම කරුණක්ම ක්රමානුකූලව ශිෂ්යයනට ප්රයෝජනවත් වන පරිදි සඳහන් කෙළෙමු.
අපගේ ආරාධනය පිළිගෙන මේ ග්රන්ථයට ප්රස්තාවනා-වක් සපයා දුන් රත්නපුර සිරිසුමන විද්යාලයාධිපති පූජ්ය, පණ්ඩිත, ශාස්ත්රාචාර්ය්ය, (බී. ඒ.) හේන්පිටගෙදර ඥානාවාස ස්වාමීන් වහන්සේට අපගේ කෘතඥතා පූර්වක ගෞරව නමස්කාරය හිමිවිය යුතුය. එසේම මේ ග්රන්ථය සම්පාදනය කිරීමේදී අපට ආධාර කළ හිතවතුන් කිහිප දෙනෙකුන්ගේ නම් වෙසෙසින් සිහිපත් කළ යුතුවේ. මෙහි අගට එන බෞද්ධ කලාශිල්ප යන මැයෙන් යුත් විෂය සකස්කරදුන් පේරාදෙණියේ ලංකා විශ්ව විද්යාලයේ කථිකාචාර්ය්ය පූජ්ය, පණ්ඩිත, කඹුරුපිටියේ අරියසේන (බී. ඒ) හිමියනුත් පොත මුද්රණයේදී ශෝධ්යපත්ර බලාදීමට බෙහෙවින් උපකාර කළ පූජ්ය පණ්ඩිත, බෝපිටියේ වංසානන්ද ස්ථවිරයන් වහන්සේත්, මෙහි විස්තරවන “භාරතීය දේශපාලන සැලැස්ම” යන විෂය සකස් කර ගැනීමට අපට අනුග්රහ කළ හික්කඩුවේ සොණුත්තර ආයුෂ්-මතුන් වහන්සේත් ප්රස්තාවනාව පිටපත් කරදුන් පල්ලාවෙල රාහුල ආයුෂ්මතුන් වහන්සේත් කෘතඥතා පෙරටුවැ සිහිපත් කරමු. අපගේ අත් පිටපත් හැම එකක්ම ඉතාමත් ඕනෑ කමින් කලට වේලාවට ලියාදුන් වී. චින්තා ප්රනාන්දු - වී. ලලිතා ප්රනාන්දු - ඩී. හේමලතා කුරුප්පු - සහ එච්. ඇල්. කරුණාවතී යන මහත්මියන්ටත්, මේ ග්රන්ථය මුද්රණය කොට ප්රකාශයට පත්කිරීම ගැන සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගමයටත් අපගේ කෘතඥතා පූර්වක අවංක ස්තූතිය මෙයින් හිමිවෙයි.
මෙයට - ධම්මෝදය කාමී.
මාපලගම සිරි සොමිස්සර,
බෝපිටියේ ඥානාවාස.
ශ්රී ධම්මෝදය පිරිවෙන,
වැල්ලවත්ත.
1964 අගෝස්තු 10 වනද.
ප්රස්තාවනා
ශාසනයෙහි පරිණාමය
ශාසනය වෙනස්වීම්වලට භාජනවන ආයතනයකි. ඒ බව බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන්ට වේරඤ්ජාවෙහි දී විනය නීති පණවන ලෙස ඉල්ලා සිටි අවස්ථාවෙහි විස්තර කර දුන්හ.¹ කවර බුදුවරයන් ගේ ශාසන චිරස්ථායීද යන ප්රශ්නයට උත්තර සපයන සර්වඥයන් වහන්සේ ශික්ෂාපද පණවා පාමොක් උදෙසීමට අනුදැන වදාළ බුදුවරයන් ගේ ශාසන චිරස්ථායී වූ බව පෙන්වා දුන්හ.
මෙයින් එක් වැදගත් කරුණක් හෙළිවෙයි. එනම් ශාසනය සංවිධානාත්මක වූ විට දිගු කලක් පවතින බවත් එසේ නැතිවිට වහා අතුරුදහන් වන බවත්ය. පුද්ගලයෙකුට නිවන් මග පෙන්වීම බුදුවරයෙකුගේ ප්රධාන කාර්යයයි. එහෙත් ඒ පුද්ගලයාගේ කාර්යය ඉටු කර ගත හැක්කේ සාමූහික සංවිධානයකින් බව ශාසන සංවිධානයෙන් පැහැදිලි වෙයි. සංඝයාගේ කාර්යයන් සඳහා සිවු දෙනෙකු අවශ්යය. එහෙත් පුද්ගලයෙකුට නිවන් පසක් කරගැනීමට සතර දෙනෙකුගේ එකතුවක් අනවශ්යය. එහෙයින් එක භික්ෂුවකගේ පරමාර්ථය 1. පාරාජිකාපාළි. වේරඤ්ජා කණ්ඩ
නිවන් පසක් කරගැනීම වුවත්, භික්ෂු සංඝයාගේ අදහස ශාසනය පවත්වාගෙන යෑම බව පැහැදිලි ලෙස වටහා ගත යුතුය. බුද්ධ ශාසනය යනු සාමූහික සංවිධානයකි. පුද්ගලයෙකුට පවරා නැති බලතල මේ සාමූහික සංවිධානයට ශාස්තෲන් වහන්සේ විසින් පවරා දී ඇත. එසේම ශාසනයෙහි පැවැත්ම හා නැවැත්ම එයට අයත් පහත දැක්වෙන විපර්යාස හේතූන් පාලනය කර ගන්නා ආකාරය උඩ පවතින බව පෙන්වා දී ඇත.
1. රත්තඤ්ඤු මහත්තතා = කල් ගතවීමෙන් පහළවන කිලිටු. 2. වේපුල්ල මහත්තතා = පැතිරී යෑමෙන් පහළවන කිලිටු. 3. ලාභග්ග මහත්තතා = ධනය ලැබීමෙන් පහළවන කිලිටු. 4. බාහුසච්ච මහත්තතා = ශ්රාවකයන්ගේ බහුශ්රැත භාවය (දැන උගත් කම) වැඩි දියුණු වී යෑම නිසා පහළවන කිලිටු.
භික්ෂූන්ට විනය ශික්ෂාවන් පැනවීමට හේතු වන කරුණු වශයෙන් මේවා පාරාජිකා පාළියෙහි වේරඤ්ජා කාණ්ඩයෙහි දක්වා ඇත. මජ්ඣිමනිකායෙහි මජ්ඣිමපණ්ණාසකයෙහි භද්දාලි සූත්රයෙහිදී මේ කරුණුම මීට සමාන ලෙසකින් වදාරා ඇත: i. සංඝයාගේ සංඛ්යාව වැඩිවීම. ii. ලාභයන් වැඩිවීම. iii. කීර්තිය වැඩිවීම. iv. බහුශ්රැතබව වැඩිවීම. v. කල්ගතවියෑම. යන කරුණු පසක් හේතුකොටගෙන ශාසන පරිහාණිය සිදුවන බව එහි සඳහන් වේ.
ඉහතින් දැක්වුණු සාධක දෙකින් ශාසන සංවිධානය පිළිබඳ ඉතාම වැදගත් කරුණු දෙකක් හොඳින් පැහැදිලි වෙයි. එනම්, (i) නිදානයක් හෙවත් කලින් ඇති කිසියම් සිද්ධියක් නැතිව නීති පැනවීම. ශාසනික සම්ප්රදායක් නොවන බව ප්රකාශවීම හා (ii) ශාසනය වෙනස් වීම් වලට භාජනය වන ආයතනයක් බවත් එකී වෙනස් වීම් නීතිරීති මාර්ගයෙන් සෑහෙන තරමක් යථාස්ථානයට පත්කරගත හැකි බව පිළිගැනීමත්ය. මෙ පිළිගැනීම හරිද වැරදිද යනු අවුරුදු 2500 ක ශාසන ඉතිහාසය පිරික්සීමෙන් අපට විමසා බැලිය හැකිය. පසුගිය දීර්ඝ ඉතිහාස කාලය තුළ ශාසන සංවිධානය තුළ කාලය විසින් ඇති කරන ලද විපර්යාස රාශියකි. ඒවාට ථෙරවාදී හා මහායානික සම්ප්රදායයන් මගින් යොදන ලද ප්රතිකාරත් එයින් ලැබුණු ප්රතිඵලත් විමසා බැලිය යුතුය. බුදුසමය නානාදේශයන්හි පැතිරයෑමෙන් එහි ඇතිවූ සාමූහිකවුත් ප්රාදේශිකවුත් විපර්යාස රාශියකි. එබඳු වෙනස්වීම්වල නපුරු ප්රතිඵල මඟහරවා ගැනීමට යොදා ඇති උපක්රමත් ඒවායේ ප්රතිඵලත් දෙවනුව විමසා බැලිය යුතුය. ශාසනයට රාජකීය අනුග්රහය බුදුන් ජීවමාන කාලයෙහිම ලැබිණ. ඒ නිසා එයට ලැබුණු ලාභ අප්රමාණය. මේ ධන සම්භාරය නිසා පැන නැගුණු දහසක් ප්රශ්නවලට යෙදූ ප්රතිකර්ම ත් ඒවායින් ලබා ඇති දියුණුව හා පරිහාණියත් තුලනාත්මකව විමසිය යුතුය. ඉන්දියාවේ බුද්ධිවිප්ලවයෙහි පුරෝගාමීහු බෞද්ධයෝය. ආසියාවේ ප්රඥාලෝකය දැල්වූවෝ ද බෞද්ධයන් විසිනි. මේ ප්රඥාධන සම්භාරය බෞද්ධයන් විසින් තම තමන්ගේත් ලෝකයාගේත් දියුණුව පිණිස යොදා ඇත. එසේම, ඒ බහුශ්රැත භාවයම පුද්ගලයාගේත් ශාසනයේත් විනාශය පිණිසද යොදවා ඇත. එහෙයින් විද්යාව චරණසම්පත්තියෙන් යුක්තවූ සැටිත් ඉන් පිරිහුණු සැටිත් විමසා බැලිය යුතුය.
නිර්මාණවාදය ඉන්දීය චින්තන සම්ප්රදායෙහි මූලික ලක්ෂණයෙකි. ඒ අනුව ඇතිවීම, පැවතීම, හා නැවතීම දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවේයයි පිළිගැනේ. අනෙක් ඉන්දීය චින්තනසම්ප්රදාය නියතිවාදය (Determinism) යි. ඒ අනුව සියල්ල වෙනස් කළ නොහැකි ධර්මතාවක් අනුව සිදුවේයයි පිළිගැනේ. එහෙත් ධර්මතාවාදය පිළිගන්නා බෞද්ධයා ඒ අන්ත දෙකටම නොපිවිසෙයි. හේ පුද්ගලයාගේ හා සමාජයෙහි ඉරණම ඔවුන්ගේ ක්රියාකාරිත්වයෙහි උසස් පහත් කම් අනුව වෙනස් වන බව විශ්වාස කරයි. මේ පිළිගැනීම අනුව සමාජයෙහි පවතින ආයතනයක පැවැත්ම හා නැවැත්ම යන දෙකම එකී සංවිධානයෙහි ක්රියාකාරිත්වයෙහි ස්වරූපය අනුව වෙනස් වන බව තේරුම් ගැනීම පහසුය.
බුද්ධශාසනයෙහි දියුණුව හෝ පිරිහීම රඳාපවතින්නේ එකී සංවිධාන මඟින් (i) කාලයත්. (ii) ව්යාප්තියත්, (iii) ධනයත්, (iv) බුද්ධියත් යන මේ වෙනස්වීමේ සාධකයන් පාලනයකර ගන්නා ආකාරය අනුවය.
යමෙක් වෙනස්වීම් සිදුවන්නේ පුද්ගලයාගේ හෝ ආයතනයෙහි ක්රියාකලාපය අනුවයයි සිතන්නේ නම්, ඔහු ඒ වෙනස්වීම් ගැන සෝදිසියෙන් සිටී. එසේම ඒ වෙනස්වීම් පාලනය කරගැනීමට වැර දරයි. වෙනස්වීම් පිළිබඳ වාර්තා තබාගෙන ඒවායින් අනාගතයට ප්රයෝජන ගැනීමට සිතයි.
ථෙරවාදි විනයධරයෝ ද ඉහත කී ලක්ෂණයන්ගෙන් යුක්ත වූවෝය. ඔවුහු ශාසනය කරුණු කීපයක් නිසා වෙනස්වන බව දැන සිටියෝය. එසේම එකී වෙනස්වීම් පාලනය කරගැනීමට නොයෙක් යත්න දැරුවෝය. ඒ වෙනස්වීම් පිළිබඳ තොරතුරු රැස් කොට වාර්තා කර තැබූහ. හින්දුන් අතර දාර්ශනිකයන් කලාකාරයන් පහළ වූ නමුත් ඉතිහාසඥයන් පහළ වූ බවක් නොපෙනේ. එසේ වූයේ ඔවුන්ගෙන් වැඩිදෙනා නිර්මාණවාදයටත් නියතිවාදයටත් ගොදුරුවූ නිසාය. එහෙත් ථෙරවාදී විනයධරයෝ ඒ තත්වයට නොවැටුණෝය. ඔවුහු ඉතිහාසඥයන් පහළවීමට අවශ්ය පරිසරයක සිටියෝය. එහෙයින් විනය පෙළ පොත් හා අටුවා ඉතිහාස මූලාශ්රය වශයෙන් ඉතා වැදගත් ග්රන්ථයෝය.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමඟම ශාසන සංවිධානයෙහි වෙනස් කම් පහළ විය හැකි බව සිතූ ආදිම ශ්රාවකයෝ ප්රථම සංගායනාව පවත්වා ධර්ම විනය දෙක සංග්රහ කොට, නිකාය වශයෙන් හා ඛන්ධක වශයෙන් ඒවා සංග්රහ කළහ. එසේම ඒ සංග්රහ කිරීම පිළිබඳ වාර්තාවද චුල්ලවග්ගයෙහි සඳහන් කළහ. එකී සංගීතිය නොපිළිගත් පුරාණ හිමියන් පිළිබඳවද සඳහන් කිරීමට අමතක නොකළහ. දෙවන සංගීතිය පිළිබඳ හේතුවත් එය පැවැත් වූ ආකාරයත් එහි කරුණු ඔප්පු කිරීම සඳහා පාඨ උද්ධරණය කළ ස්ථානත් එසේම වාර්තාගත කොට ඇත. චුල්ලවග්ගයෙහි සඳහන් වන්නේ මේ සංගීති දෙක ගැන පමණකි. එහෙත් විනය අටුවාව තෙවන සංගීතිය පිළිබඳ විස්තරය වාර්තා කරයි. මෙයින් විනයධරයන් ශාසනික විපර්යාසයන් පිළිබඳව සෙවිල්ලේ සිට ඒවාට ප්රතිකර්ම යෙදූ බවත් එකී ප්රතික්රියා පිළිබඳ වාර්තාව අනාගතය උදෙසා ආරක්ෂා කළ බවත් පැහැදිලි වෙයි. බුද්ධ පරිනිර්වාණයෙහි පටන් අශෝක කාලය තෙක් බෞද්ධ ඉතිහාසය මෙකී විනය පෙළ අටුවා දෙකෙහි ආධාරයෙන් ගොඩනගා ගත හැකිය.
අශොක රජුගේ ධර්මදූත ව්යාපාරය නිසා ශාසනය දේශදේශාන්තරයන්හි ව්යාප්ත විය. ඒ පැතිරී යෑමත් සමඟම ශාසන ඉතිහාසය ඒ ඒ රටවල් අනුවත් සම්ප්රදායන් අනුවත් වෙන් වෙන් වශයෙන් ගෙන හැදෑරීමට සිදුවෙයි. නොබෝ කලකින්ම දඹදිව පැවති බුද්ධ ශාසනය එක් මඟකත් ලක්දිව පැවති ශාසනය එයට වෙනස් මඟකත් ගමන් කිරීමට පටන් ගත් බව අපට පෙනේ.
දඹදිව බුද්ධ ධර්මය ඉක්මනින්ම අලුත් ස්වරූපයකට හැඩ ගැසෙන්නට පටන් ගති. ඉන්දියාව ආක්රමණය කළ විදේශිකයන්ගේ ඇදහිලි හා ඉන්දියාවේ ඇත ප්රදේශවල පැතුරුණු ආගමික මතාන්තරද බුද්ධාගම කෙරෙහි බල පෑමට විය. පළමු කොටම සිදුවූයේ බුදු සමයේ බලපෑමට ඉන්දියාවේ පැවති අනෙක් ආගම් ගොදුරු වීමය. දෙවනුව එකී ආගම්වල බලපෑමට බුද්ධ සමය ගොදුරු වීමය. වෙදාන්ත දර්ශනය ඒ ලෙසින් සකස් වූයේ බුදුසමයේ බලපෑමට එය ගොදුරු වූ නිසාය. පසු කාලයක හින්දු අදහස්වල බලපෑමට බුදු දහම ගොදුරු විය. මිලින්ද කණිෂ්ක විදේශික ඉන්දිය පාලකයෝ බුදු සමය වැළඳ ගත්හ: ක්රි: ව: 78 දී පමණ වයඹ දිග ඉන්දියාවේ අධිරාජ්යයන් ගොඩ නැගූ කනිෂ්ක රජු බෞද්ධයෙකු වූ අතර ශිව හා රෝමාණිය දෙවතාවෙකු වූ මිත්රද ඇදහූ බව ඔහුගේ කාසිවලින් ඔප්පුවෙයි. කණිෂ්ක මහායානයේ ආරම්භයට සිවුවන සංගායනාව කරවීය. අශොක කාලයේ පටන් පැවති විවිධ නිකායකයන් බුද්ධ ධර්මය පිළිබඳ විවිධමත ප්රකාශ කරන බව දැනගත් ඔහු සංගායනාවක් පවත්වා එකී මතාන්තරයන් අතර එකඟ බවක් ඇති කළේය. එසේම ධර්මය පිළිබඳ අලුත් විවරණයන් ඇතුළත් කොට මහා විභාෂා නම් පොදු අටුවාවද කරවීය. මේ අවස්ථාවේදී වයඹ දිග ඉන්දියාවේ දියුණුවෙන් පැවති යවන හා රෝමණීය ආගම්වල අදහස්ද බටහිර ඉන්දියාවේ දියුණු වෙමින් පැවති කෘෂ්ණා, වාසුදේව, බලදේව, ආදි දෙවියන් පිළිබඳ අදහස්ද බෞද්ධ ඇදහිලි සමඟ මිශ්රිත විය.
ඉන්දියාවේ හා ආසියාවේ වෙනත් ප්රදේශවලද ඇදහීමට පාත්රව සිටි දෙවියෝ බෝධිසත්ත්වවරුන් වශයෙන් බුද්ධාගමට ඇතුළත්කර ගන්නා ලදහ. කණිෂ්කගේ අනුග්රහය යටතේ සංග්රහ කළ මහා විභාෂාවෙන් පසුව කුඩා නිකායාන්තරයන් අතුරුදහන් වෙමින් තථාගතයාන, බෝධිසත්ත්වයාන, පාරමිතායාන, ආදි නම් වලින් හැඳින්වෙන මහායානය ආරම්භවී විකාශයට පත්විය.
මහායානයෙහි ආරම්භයත් සමඟම බෞද්ධ දර්ශනය ඉතා ගැඹුරු ලෙසින් වැඩි දියුණු විය. හින්දුන් විසින් දියුණු කරන ලද වෙදාන්ත දර්ශනයට මුහුණ දීමට හැකි වන අනාත්මවාදය තහවුරු කිරීමෙන් විඥාන වාදය හා ශුන්යතාවාදය ද පහළ විය. මේ වකවානුවෙහි උගතුන් අතර ආත්මය - අනාත්මය -- නිර්වාණය පිළිබඳ සියුම් වාද පවතිද්දී සාමාන්ය ජනතාව අතර භක්ති වාදය දියුණු වෙමින් පැවතිණි. පොදු ජනතාව තමන්ට නොතේරෙන දර්ශනිකමත අමතක කොට අලුතෙන් බුද්ධාගමට එකතු වූ බෝධිසත්ත්වවරුන් වැඳීමටත්, ඔවුන්ගේ පිහිටෙන් කරදරවලින් සහනයක් ලබා ගැනීමටත් වැර දැරුවෝය.
5 වැනි සියවසෙන් පසුව ඉන්දියාවේ බලවත් බෞද්ධ රජවරු පහළ නොවූහ. පසුබැස තිබුණු බ්රාහ්මණ බලය නැවතත් භක්තිවාදය මගින් හිස ඔසවන්නට විය.
බෞද්ධයෝද මේ කාලයේ දී සෑහෙන තරම් භක්ති වාදයට ගොදුරුව සිටියෝය. ඒ අතර වජ්රයානය නමින් අලුත් ඇදහීමක් බුදු සමයට එකතු විය. ‘ශක්ති’ නමින් හින්දුන් විසින් හැඳින්වුණු ප්රාග් - ආර්ය යුගයෙහි දී පවා පැවති බව සිතිය හැකි ‘කාමය’ දේවත්වයට ආරෝපණය කොට පුද පූජා පැවැත්වීම මේ වජ්රයානයෙහි මූලික ලක්ෂණයයි. කාමදේවතාවා හෝ දේවදූව පිදීම ආදි කල්පික ම්ලේච්ඡයන් අතර පැවැති ආගමික පූජාවිධියකි. බුද්ධාගමට පෙර ලංකාවේද මේ ඇදහීම පැවැති බව ඉතිහාසඥයෝ පිළිගනිති.
ඉතා සියුම් දර්ශනයක් වූ ශූන්යතාවාදය හා මිශ්ර කරගත් ශුන්යවාදය ලෙස ශක්ති පූජාව බුදුසමයට එකතු විය. ප්රඥාපාරමිතාව උසස් කොට සලකන මහායානික යන්ගේ සිත් ගැනීමට එය ‘ප්රඥා’ හා සම්බන්ධ කරන ලදි. ප්රඥා යනු ස්ත්රීලිංගික පදයකි. එසේ වී ඇත්තේ ප්රඥාව හා ස්ත්රීත්වය අතරන ඇති සම්බන්ධය නිසා බවත්, ප්රඥාව ලැබීම ස්ත්රීත්වය හා එකතු විය යුතු බවත් වජ්රයානිකයෝ කියා සිටියහ. වජ්රයානිකයන්ගේ සමහර ග්රන්ථ ‘දහම්ගැට’ වලින් යුක්ත විය. පිටට එක අර්ථයකුත් ඇතුළතින් තවත් අර්ථයකුත් සිටින ධර්මග්රන්ථය රචනාව ඔවුන් අතර පැතිර පැවැතිණ. ගැඹුරු ධර්ම හා පහත් කාමුක අදහස් එකට මිශ්රවීම එයින් සිදු විය.
ශංකරාචාර්යයයන් යටතේ බ්රාහ්මණ ධර්මයේ පුනර් ජීවනයක් ඒ අතර ඇති විය. ක්රමවත් වූ සන්යාසි ශාසනයක් ද ඔවුන් අතර පහළ විය. හින්දු භක්තිවාදය පොදු ජනයාගේ සිත් බෞද්ධ භක්තිවාදයට වඩා තදින් ඇද ගත්තේය. එසේම පිරිහී ගිය භික්ෂු ජීවිතයට වඩා අලුතෙන් සංවිධානය වූ සන්යාසි ජීවිතය ශ්රද්ධා සම්පන්න යන්ගේ සිත් දිනා ගත්තේය. මේ අතර පොදු ජනයා අතර ජනප්රියවීමේ මාර්ගයක් භික්ෂූහු ‘තන්ත්රයානයට’ බටහ. යන්ත්ර මන්ත්ර ගුරුකම් මගින් මහජනයා සමඟ සම්බන්ධය පවත්වා ගැනීමට ඔවුහු යත්න දැරූහ. හින්දු දේවගණයා අතර සිටි දෙවියන් පමණක් නොව යක්ෂයන් භූතයන් හා පිශාචයන්ද බොධිසත්වවරුන් වශයෙන් හැඳින්වීමට ඔවුහු පටන් ගත්හ. සාධනමාලා නමින් හැඳින්වෙන ග්රන්ථයෙහි එබඳු යක්ෂ රාක්ෂ වේශධාරී බොධිසත්ත්වවරුන් සිය ගණනක විස්තර සඳහන් වේ. අත් හා හිස් විශාල සංඛ්යාවක් ඇති නාගයින් පටලවාගත් මිනිස් කබල් වලින් කළ මාලාවක් පැළඳ ගත් බෝධිසත්ත්වවරුන්ගේ ප්රතිමා විශාල සංඛ්යාවක් දැනට සොයාගෙන ඇත. එසේම මෙබඳු බෝධිසත්ත්ව චිත්රද විශාල ගණනක් දක්නට ලැබේ. එපමණකින් නොනැවතුණු ඔවුහු සමහර හින්දු ප්රතිමා අනුව යමින් බෝධිසත්ත්වවරුන් ස්වකීය භාර්යාවන් සමඟ සංසර්ගයෙහි යෙදී සිටින ආකාරය නිරූපනය කරන ප්රතිමාද සිය ගණනින් නිපද වූහ. බෙංගාලයෙහි පාලරජ වංශ සමයට අයත් භාර්යාවන් සමඟ මෙසේ සංසර්ගයෙහි යෙදී සිටින ලෙස ඇඳූ බෝධිසත්ත්ව ප්රතිමා රාශියක් පුරාවිද්යාඥයන් විසින් සොයා ගෙන ඇත.
බුදුසමය දඹදිවින් අතුරු දහන් වූයේ ඇයිද? යන ප්රශ්නය ඉතිහාසඥයන්ගේ හිස් අවුලට පත් කළ එකකි. ජේන ධර්මය ඉතිරි වෙද්දී බුද්ධාගම අතුරු දහන් වීම එයට හේතුවකි. “ඉන්දියාව සොයා ගැනීම”¹ යනහිසින් ශ්රී නේරු විසින් ලියා ඇති ග්රන්ථයෙහි මෙසේ සඳහන්වේ. “මහායානය ශීඝ්රයෙන් දියුණු වී ගිය නමුදු එයට අයත් ශ්රේෂ්ඨත්වයෙත් හා විශිෂ්ටත්වයෙන් 1 The Discovery of India By Sri Javaharlal Nehru.
එය ගිලිහී ගියේය. සංඝාරාම පොහොසත් විය. ඒවා ස්වකීය ලාභය රකින තැන් විය· විනය ඒවායින් ගිලිහී ගියේය. යන්ත්ර මන්ත්ර හා අන්ධවිශ්වාස ජනප්රිය වංචනා ක්රම බවට පත් විය. රීස් ඩේවිඩ්ස් මැතිණියද එබඳුම අදහස් පළකරමින් “ගෞතම බුදුරදුන්ගේ ගුණ දහම් පිළිබඳ ඉගැන්වීම ලාමක විශ්වාසයන් අතර නො පෙනී ගියේය. මතාන්තර ලියලා වැඩි ගියේය. එක් අලුත් මතයක් තවත් එකකට මඟ පෑදීය. අවසානයෙහි බුද්ධියෙන් මැවුණු හිස් මතිමතාන්තරවලින් මුළු මහත් අහස වැසී ගියේය. ශාස්තෲන් වහන්සේගේ උතුම් වූ සරල ඉගැන්වීම් දිලිසෙන දර්ශනික ගැටළු අතරෙහි දියවී ගියේය” යයි සඳහන් කරන්නීය.
මේ තීරණයන් හැරුණු විට බුදුසමය දඹදිවින් අතුරු දහන් වීමට තුඩුදුන් තවත් කරුණු කීපයක් ඉතිහාසඥයන් විසින් ඉදිරිපත් කර ඇත²
1. හූන ගෝත්රිකයන්ගේ ආක්රමණ නිසා වයඹ දිග ආරාම විනාශ වී යෑම. 2. බුදුන් විෂ්ණු අවතාරයක් බවට පත් කිරීම නිසා බුද්ධාගම හින්දු ආගමෙහි කිඳා බැසීම. 3. හින්දු-බෞද්ධ රජ පවුල් අතර පැවති විවාහ සම්බන්ධ කම නිසා ආගම් දෙක එකක ස්වරූපය ගැනීම. 4. වජ්රයානය පැතිරීමෙන් ශිව හා ශක්ති ඇදහීම හා බුද්ධාගම අතර පැවති වෙනස අතුරු දහන් වීම. 5. භක්ති කාව්යයන්ගේ ව්යාප්තිය නිසා ශිව භක්තියට අලුත් පණක් ලැබීම. 2, An Advanced History of India by R. C. Majamdar H. C. Raychaudari & F. K. Datta 199 ff.
6. 12 වෙනි සියවසේ ඇතිවූ දරුණු මුස්ලිම් ආක්රමණයෙන් ආරාම හා භික්ෂූන් සමූල ඝාතනයට පත්වීම.
ඉහතින් දැක්වුණ දුර්ලකමවලින් සමහරක් හින්දු ධර්මයෙහිද පැවැතිණ. එහෙත් ගුප්ත යුගයෙහි හා පසු කාලයක හින්දු පුනර්ජීවනයන් ඇති වූ නිසා එයින් හානියක් නොවීය. ජෛනයෝද ඉහත සඳහන් පහර වලට ගොදුරු වූහ. එහෙත් ඔවුහු ඉතිරි වූහ. බෞද්ධයන් පමණක් මේ පහරවලින් ඇද වැටුනේ ඇයි? යනු ප්රශ්නයකි. දඹදිවින් බුදුසමය අතුරු දහන්වූයේ ක්රි: ව: 1192 දී ඉන්දියාව ආක්රමණය කළ සහබුද්දීන් මහම්මත් ඝෝරීගේ කෲර සමූලඝාතනය නිසායයි සමහරෙක් සිතති. එහෙත් 5 වැනි සියවසේ දී පාහියන් පැමිණෙන කාලයේදී ද සමහර ආරාමවල පරිහාණියක් පෙනෙන්නට තුබූ බව ඔහුගේ වාර්තාවලින් හෙළිවෙයි. 7 වැනි සියවසේ හියු එන් සියං පැමිණෙන විට බොහෝ ආරාම පාලුවෙමින් පැවති බව පැහැදිලිවම ඔහු සඳහන් කරයි. එහෙයින් බුදුදහම ස්වාභාවික මරණයට ගොදුරු වූ බව කිම වඩා උචිතය.
ධර්ම විනය දෙක අතුරු දහන් වන්නේ සද්ධර්ම ප්රතිරූපකයන් පහළ වීම නිසා බව සංයුක්තනිකායෙහි මහාකස්සප සංයුක්තයෙහි සඳහන් වේ.
මෙහි මුලින්ම දැක්වූ ශාසනයෙහි පරිහාණියට හේතු වන කරුණු සතරින් විශේෂයෙන් ලාභග්ග මහත්තය හා බාහුසච්ච මහත්තයද දඹදිවින් ශාසනය අතුරු දහන් වීමට හේතුවූ බව තීරණය කිරීමට කරුණු ඇත. ඉහත දැක්වුණ ශ්රී නේරුගේ හා රීස් ඩේවිඩ්ස් මැතිණියගේ ද විවේචනවලින් එය පැහැදිලි වෙයි. විශ්ව විද්යාලයන් බවට පත්වුණු නාලන්දාව වැනි සංඝාරාමවලට දඹදිවින් පමණක් නොව ජාවා වැනි දුර බැහැර රටවලින් ද පූජා
රත්නපුර, ශ්රී සුමන විද්යාලයාධිපති ශාස්ත්රාචාර්ය්ය පණ්ඩිත හේන්පිටගෙදර ඥානාවාස ස්වාමීන්ද්රයන් වහන්සේ විසිනි.