බෝධිසත්ව ප්‍රර්ථනා ගාථා - බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි.pdf

කතෘ :
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි
ප්‍රකාශිත වර්ෂය :
2017
මුද්‍රිත වර්ෂය :
2017
පිටු ගණන :
27
බාගත කිරීම් ගණන :
2,060
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-12-10
ගොනුවේ ප්‍රමාණය :
6.1 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 14

බෝධිසත්ව ප්‍රාර්ථනා ගාථා යනු අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ විසින් 1940 ගණන්වල රචනා කරන ලද පාලි ගාථා සහ ඒවායේ සිංහල හා ඉංග්‍රීසි පරිවර්තන ඇතුළත් අගනා ධර්ම පුස්තකයකි.

බෝධිසත්ව චරිතයක් අනුගමනය කළ යුතු දස පාරමී ධර්මයන් මැනවින් පැහැදිලි කරමින්, බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝධිසත්වයෙකුගේ උදාර ගුණාංග සහ අධිෂ්ඨානයන් සුගම පාලි පද්‍යයන්ගෙන් මෙහි විස්තර කෙරේ. දිනපතා සජ්ඣායනය සඳහා ද යෝග්‍ය වන අයුරින් රචිත මෙම කෘතිය, සිත දමනය කරගැනීමටත් පරාර්ථකාමී හැඟීම් වර්ධනය කරගැනීමටත් මඟපෙන්වයි.

මෙම මුද්‍රණය සමයවර්ධන පොත් සමාගම මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන්හි කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ස්ථවිරයන් වහන්සේ විසින් පෙරවදන සපයා ඇත.

පෙරවදන

අපගේ ගුරුදේව බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් 1940 ගණන්වල රචනා කරන ලද “බෝධිසත්ව ප්‍රාර්ථනා” නැමැති පාලි සිංහල කෘතියත් එහි ඉංග්‍රීසි පරිවර්තනයත් බොහෝ දෙනාගේ ඉල්ලීම මත නැවත වතාවක් මුද්‍රණය කර පාඨක ලෝකයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කිරීම පිළිබඳව සමයවර්ධන පොත් ප්‍රකාශන සමාගමට අපගේ සතුට පළමුකොටම පිරිනමමු.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි යනු දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද කීර්තියට පත් එමෙන්ම ගෞරවයට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ අෂ්ටවංක මාණික්‍යයක් මෙන් හැම පැතිකඩකින්ම දීප්තිමත් චරිතයකින් ශෝභාමනවත් වූ බෝසතාණන් වහන්සේ නමකි. හැම පැතිකඩකින්ම සංයත, සංවර එමෙන්ම ශීලෝපසෝභිත ශක්‍යපුත්‍රීය භික්ෂුවකි. භාෂා හයකින් ලියන්නට මෙන්ම කියන්නට ද සමත් නිපුණත්වයකින් යුත් මහා පඬිරුවනකි.

ථෙරවාදය හා මහායානය වැනි බෞද්ධ දර්ශනයෙහි හැම පැතිකඩක් ම විනිවිද දුටු මහා ප්‍රාඥයෙකි. ලෝකයේ විවිධ ආගම් හා දර්ශන පිළිබඳ ව පමණක් නොව නූතන විද්‍යාත්මක දැනුමෙන් ද යුක්ත නිර්මාණශීලි චින්තකයෙකි, දාර්ශනිකයෙකි. සංගීතය, චිත්‍ර, මූර්ති වැනි විෂයයන් මෙන් ම නූතන පරිගණක වැනි තාක්ෂණික විෂයයන්හි ද ප්‍රායෝගික කුසලතාවයෙන් හෙබි නිර්මාණ ශිල්පියෙකි. පෙරදිග හා අපරදිග මනෝවිද්‍යාවන් හදාරා තිබූ උන්වහන්සේ චිත්ත ශක්තිය තුළින් විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමට සමත් සුවිශේෂී මනෝ වෛද්‍යවරයෙකි.

භික්ෂුවක් සතු සියලු ගුණාංගයන්ගෙන් දීප්තිමත් වූ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණෝ බුදුබව පැතූ උතුම් බෝසතාණන් වහන්සේ නමකි. බෝසත් චරිතයක තිබිය යුතු උතුම් ගුණාංග උන්වහන්සේගේ චරිතය තුළින් මැනවින් ප්‍රකට විණි. නමුත් උන්වහන්සේ කෙදිනක වත් කිසිම කෙනෙකුට මා බුදුවනවා යැයි අඟවන්නට උත්සාහ ගෙන නැත. එමගින් කීර්ති ප්‍රශංසා ගෞරව බහුමාන බලාපොරොත්තු වූ අයෙකු නොවේ. නමුත් උන්වහන්සේගේ සියලු ක්‍රියාකාරකම් බෝසත් ගුණාංගවලින් අලංකෘත ව තිබුණ බව ඒ උතුම් චරිතාපදානය අපට පෙන්නුම් කරයි. උන්වහන්සේ විසින් රචනා කරන ලද බෝධිසත්ව ප්‍රාර්ථනා ගාථා තුළින් කියැවෙන සෑම ගුණාංගයක් ම මහනාහිමි චරිතය තුළින් ද අපි දුටුවෙමු.

මේ පොතේ සඳහන් ගාථා එදිනෙදා විහාරයේ සිදුකරනු ලබන වත්පිළිත් දේශනාවේදී සජ්ඣායනය කළ යුතු බව මහනාහිමියන්ගේ අදහස විය. ඒ අනුව දිනකට ගාථා දහයක් පමණ වත්පිළිවෙත අවසානයේ දේශනා කිරීම සිරිතක් බවට පත් වී තිබිණි.

මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත්තේ බෝසත් චරිතයක් අනුගමනය කළ යුතු දසපාරමී ධර්මයන් ය. එම පාරමී ධර්ම සිත් ගන්නා අයුරින්, හැඟීම් දනවන අයුරින් ඉදිරිපත් කර තිබීම සුවිශේෂී ලක්ෂණයකි. සුගම පාලි වදන්වලින් හා මධුර ලෙස සජ්ඣායනය කළ හැකි ගෙලියකින් මේ ගාථා රචිත ය. ගාථාව කෙටි වුවද එහි අර්ථය පුළුල් පරාසයක් කරා ගමන් කරයි. සෑම පදයක්ම අර්ථ සම්පන්න ය. ඉතාම උචිතවත් පද සංයෝජනයකින් යුක්ත ය. මෙම පාලි පද්‍ය ග්‍රන්ථය මහනාහිමිපාණන් වහන්සේගේ විදග්ධභාවයත් නිර්මාණ කෞශල්‍යයත් ප්‍රකට කරයි.

“නින්දන්තු පීළෙන්තු ච මං හනන්තු හරන්තු සබ්බං මම සන්තකම්පි සබ්බම්පි තං පීතිමුඛො සහෙය්‍යං දොසො න මං ආවිසතං කදාපි”

“අනික් අය මට ගැසුවත්, බැන්නත්, මාව පීඩනයට පත් කළත් මා විනාශ කළත් මා සතු සියල්ල පැහැර ගත්තත් ඒ කිසිවකින් මා තුළ තරහක්, ක්‍රෝධයක්, වෛරයක් ඇතිකර නොගනිමි. ඒ සියල්ල ප්‍රීතියෙන් සතුටින් ඉවසමි. ඔවුන් දෙස සතුටින් සිනාමුසු මුහුණින් බලමි.”

මේ උදාර ඉවසීමේ ගුණය මහනාහිමි බෝසත් චරිතය තුළින් අපි පැහැදිලිව දුටුවෙමු. අන්‍යයන් තමන් වෙත කෙබඳු ප්‍රශ්න ඇති කළත් උන්වහන්සේ කුඩා කළ සිටම ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා සිටි අයුරු අපි අසා ඇත්තෙමු. ඒ ආත්ම ගණනක සිට නිධන්ගතව පැවැත ආ බෝසත් සිරිත යි.

“අනනංච පානංච යථා හරාමි තං ජීවනත්ථං නතු කාම හේතු ජීවාමි ලෝකස්ස හිතත්ථ මෙව අඤ්ඤං තතො කිංවිධ නාගමෙමි.”

“ආහාරපාන ගත්තේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා පමණ ය. මෙසේ ජීවිතය පවත්වා ගත්තේ අනුන්ට යහපතක් කරනු පිණිස ය. වෙනත් කිසිම බලාපොරොත්තුවක් මා තුළ නැත.”

මේ උතුම් ප්‍රකාශය දෙස බලන්න. මහනාහිමි ඉටුකළ සෑම දෙයක්ම අනුන් වෙනුවෙන් ය. අධ්‍යාපන, ආර්ථික, සමාජයීය හා ආගමික වශයෙන් ඉටුකළ මහඟු මෙහෙය ප්‍රත්‍යක්ෂ ප්‍රබල සාධකන්ය. මවුපිය පරපුරෙන් පැවැත ආ ඉඩකඩම් මොනතරම් ප්‍රමාණයක් ජීවිත ගොඩනංවන පාසල් වෙනුවෙන්, විහාරස්ථාන වෙනුවෙන්, සුභසාධන ආයතන වෙනුවෙන් පරිත්‍යාග කර ඇත් ද?

“කදා මමන්නම්පි තථෙව පානං අථොපි සබ්බං මම සන්තකම්පි පරිච්චජානො කපණාදිකානං පපූරයෙ දාන මුදග්ග චිත්තො.”

“මට ලැබෙන ආහාර පානත්, මට ලැබෙන අන්‍ය සියලු දේත් නැති බැරි අහිංසක අයට ඉතාම සතුටින් පරිත්‍යාග කෙළෙමි.”

මහනාහිමි කිසි දෙයක් රැස් කරගත්තේ නැත. තුන් සිවුරටත්, පාත්‍රයටත් සීමා වූ චරිතාපදානයකි. දකුණු අතින් ගත් දේ වම් අතින් දුන්හ. අවසාන අවුරුදු 20 ක පමණ කාලය ලැබීම් අතින් මෙන්ම පරිත්‍යාගය තුළින්ද වාර්තා පිහිටවූ චරිතයකි. උන්වහන්සේ ආසා කළේ පොත්වලට පමණ ය.

“භවෙ භවෙ ලොක හිතං චරෙය්‍යං දුක්ඛාභිතත්තෙන සුඛිතෙ කරෙය්‍යං හිතං විධාතුං සතතං පරෙසං සොඛ්‍යම්පි මෙ තුට්ඨමනො වජෙය්‍යං”

මුන්වහන්සේගේ මූලික අරමුණ මේ ගාථාව තුළින් ඉතා පැහැදිලි ය. උපතක් උපතක් පාසා ලෝකයාට හිතසුව පිණිස කටයුතු කිරීම මගේ ප්‍රාර්ථනයයි. දුකට පත් අය සුවපත් කිරීමටත්, අන්‍යයන්ට යහපතක් සුභ සිද්ධියක් ඉටුකරලීමටත් මාගේ ශාරීරික සුවතාවය වුවද පරිත්‍යාග කරන්නට මා සූදානම් ය. එබඳු අවස්ථාවක් ලැබීම මා ලද භාග්‍යයකි.

“ඉති අහමිධ දානාදීවසා අප්පමත්තෝ සතතමනුසරන්තො බොධිසත්තෙ හතිතෙ පරහිත නිරතත්තො පාරමී පූරයිත්වා විජිය සකලමාරෙ බුද්ධභාවං ලභෙය්‍යං”

මෙහි සඳහන් වන ආකාරයට දන්දීම, පරිත්‍යාග කිරීම මුල්කරගත් පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් හා පැරණි බෝසත් චරිතයන් අනුගමනය කිරීමෙන් මා බලාපොරොත්තු වන සියලු මාරයින් පරාජය කොට උතුම් බුද්ධත්වයට පත්වේවා යනු උන්වහන්සේගේ එකම අධිෂ්ඨානයයි.

ජීවිතයක් ලස්සන කරන සෝභමානවත් කරන උතුම් ගුණාංග සමුදායක් පෙන්නුම් කරන මෙම ග්‍රන්ථය කුඩා වුවද වටිනා ග්‍රන්ථ රත්නයකි.

මෙහි එන ගාථා පාඩම් කරගන්න, එහි එන අර්ථය ද බලා ඒ අනුව හිතන්න පුරුදු වන්න. ඔබේ යටි හිතට ඒ උතුම් අදහස් ප්‍රවිෂ්ට කරගන්න. ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම් තුළින් ද මේ උතුම් හැඟීම් ක්‍රියාත්මක කර බලන්න. ඒ අනුව පියවර තබන ඔබ හැම පැතිකඩකින් ම සුරක්ෂිත වනු ඒකාන්තයි. එය ජයග්‍රාහී ගමනක් වනු ඇත.

කුඩා වුවද මෙම අගනා ග්‍රන්ථය මුද්‍රණය කර පාඨක ලෝකයා අතට පත් කිරීම පිළිබඳව සමයවර්ධන පොත්හල පෞද්ගලික සමාගමට අපගේ හෘදයංගම ආශිංසනය මෙසේ පළකරමු.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
රාස්සගල විහාර පාර්ශ්වයේ
මහානායක ධුරන්ධර
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ස්ථවිර
ශ්‍රී ධර්මානන්ද පිරිවෙන
බලන්ගොඩ.
2017.06.01