බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි - ඉත්තැපාන ධම්මාලංකාර හිමි 1992.pdf

කතෘ :
ඉත්තෑපාන ධම්මාලංකාර හිමි
ප්‍රකාශිත වර්ෂය :
1994
මුද්‍රිත වර්ෂය :
1994
පිටු ගණන :
194
බාගත කිරීම් ගණන :
4,706
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-22
ගොනුවේ ප්‍රමාණය :
23 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 98

බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි යනු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මාහිමිපාණන්ගේ අනුවේදනීය මෙන්ම ඓතිහාසික ජීවන තොරතුරු ඇසුරින් සම්පාදිත චරිතාපදාන කෘතියකි. විසිවන සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම බෞද්ධ යතිවරයාණන් කෙනෙකු වන උන්වහන්සේගේ පැවිදි දිවිය, ශාස්ත්‍රීය හා අධ්‍යාපනික සේවය, ලෝක ධර්මදූත මෙහෙවර සහ අධ්‍යාත්මික අත්දැකීම් පිළිබඳව පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසින් දින ගණනාවක් පුරා සිදුකළ දීර්ඝ සම්මුඛ සාකච්ඡා ඇසුරින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත.

මෙහි අන්තර්ගත පරිච්ඡේද තුළින් උන්වහන්සේගේ ළමා කාලය, පැවිදිවීම, එදා පැවති පිරිවෙන් අධ්‍යාපනය, බුරුමයේ ඡට්ඨ මහා සංගායනාවේ අත්දැකීම්, අනගාරික ධර්මපාලතුමා, ජිඩ්ඩු ක්‍රිෂ්ණමූර්ති සහ සත්‍ය සායි බාබා ආදීන් සමග පැවති සම්බන්ධතා මෙන්ම විවිධ අද්භූත අත්දැකීම් සහ බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීම දක්වා වූ කරුණු රාශියක් විමර්ශනය කෙරේ.

  • මවු තුරුලේ උණුසුම මට ලැබුණේ සති දෙකයි
  • මා මහණ නොකළොත් කොහේ හරි පැනලා යනවා
  • එදා අවුරුදු නවයකින් ලැබූ අධ්‍යාපනය අද වියසකින්වත් ලබන්න බැහැ
  • බුරුමයේ ඡට්ඨ මහා සංගායනාවට සහභාගිවන්ට ලැබීම වාසනාවක්
  • චිත්ත බලය දියුණු කොට කළ වශී කර්ම සහ භාරතීය යෝගීන් සමග අත්දැකීම්
  • ධර්මපාලතුමා සමග වාද කරලා දිනන්න අමාරුයි
  • මා ලොවුතුරා බුදුබව පිණිස පාරමිතා පුරන කෙනෙක්

මෙම දෙවන මුද්‍රණය 1994 පෙබරවාරි මස දෙහිවල ශ්‍රීදේවී ප්‍රින්ටර්ස් වෙතින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇති අතර, පළමු මුද්‍රණය දොරට වැඩීමේ උත්සවයේදී ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් විසින් පැවැත්වූ දේශනයද මෙහි අගට ඇතුළත් කර ඇත.

සම්පාදකගෙන්

සංවාද මගින් හෙළි කෙරෙන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මාහිමියන්ගේ මේ චරිත කතාවට දහනව වන ශතවර්ෂයේ අග භාගයත්, විසිවන සියවසේ ගෙවී ගිය දශක නවයත් ඇතුළත් වෙයි.

චරිත කතා ලිවීම පිළිබඳව නව මගක් අනුගමනය කරමින් මවිසින් 1990 දී ලියා පළ කරන ලද පැවිදි පඬි මිණි පහන් ග්‍රන්ථයට පාඨකයන් දැක්වූ ප්‍රතිචාරය ගැන මම සතුටු වෙමි. මෙය පැවිදි පඬි මිණි පහන් ග්‍රන්ථ මාලාවේ අංක 2 වන අතර, පැවිදි පඬි මිණි පහන් අංක 3 ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට ද බලාපොරොත්තු වෙමි.

පැවිදි පඬි මිණි පහන් අංක 1 ලියා පළ කිරීමේදී එයට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු වූ කතාවකි අතිපූජ්‍ය ආනන්ද මෛත්‍රෙය මහනාහිමි චරිත කතාව. නමුත් එය ලියන වකවානුවේ උන්වහන්සේ ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල් ගණනාවක සාර්ථක ධර්මදූත සේවාවක යෙදී සිටීමෙන් ඒ අවස්ථාව මග හැරී ගියේය. එය එසේ වීම වඩාත් සුදුසු බව දැන් මට සිතේ. වෙනමම අපූර්ව චරිත කතාවක් මෙසේ ප්‍රකාශයට පත් වන්නේ ඒ නිසායි.

1991 මාර්තු 24 දා සිට දින විස්සක් මුළුල්ලේ දිනකට පැය පහකටත් වැඩි කාලයක් මහානායක මාහිමියන් වහන්සේ මුණ ගැසී සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණි. බත්තරමුල්ලේ ජයවර්ධනගම චිත්තවිවේකාශ්‍රමයේදී දින දහනමයක් ද තවත් දිනක් උදේ සිට හවස් වන තෙක්ම උන්වහන්සේ පැවිදි වූ, වාසයට වඩාත් ප්‍රිය කරන බළන්ගොඩ උඩුමුල්ල පන්සලේදී ද මුණ ගැසී සාකච්ඡා කිරීමට මට හැකි විය.

දින විස්සක් පමණ කාලයක් එක දිගට මගේ පැමිණීමත්, පැය ගණන් සාකච්ඡා කිරීමත්, විවිධ ප්‍රශ්න විචාරීමත්, කරදරයක් අමාරුවක් වෙහෙසක් සේ නොසලකා ශතවර්ෂයකට ආසන්න උන්වහන්සේගේ ජීවන ගමන් මග පිළිබඳ තොරතුරු එක දිගට ක්‍රමානුකූලව ප්‍රකාශ කිරීම පිළිබඳව උන්වහන්සේට මගේ කෘතඥතා පූර්වක ගෞරවය මුලින්ම පළ කිරීමට කැමැත්තෙමි.

ජීවමාන පැවිදි පඬිවරුන්ගේ රසවත් චරිත කතා සතිපතා එක දිගට පළ කිරීමට උපාලි පුවත් පත් සමාගම මුල සිටම දැක්වූ උනන්දුව මෙහිදී අගය කළ යුත්තකි. සිංහලකමත් බෞද්ධකමත් රැක ගැනීම සඳහා එම පුවත්පත් සමාගම ආරම්භ කරන ලද්දේ මෙයට වසර දහයකට පෙර අතුරුදහන් වූ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ජන නායකයකු වූ උපාලි විජයවර්ධන මැතිතුමා විසිනි. එතුමාගේ උදාර අරමුණු හොඳින් වටහාගෙන සිටි උපාලි පුවත්පත් සමාගමේ ප්‍රධාන කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතාත්, නියෝජ්‍ය කර්තෘ දයා ප්‍රනාන්දු මහතාත්, විශේෂාංග කර්තෘ නිමල් කිත්සිරිශාන්ත මහතාත් මේ චරිත කතා දිවයින පත්‍රයේ බදාදා අතිරේකයෙහි පළකරවීමට ඉඩකඩ සැලසීම පිළිබඳව එම තුන්පළට මගේ ස්තූතිය මෙහිදී පළ කරමි.

මෙම ලිපි පෙළ ග්‍රන්ථයක් වශයෙන් සකස් කොට පළ කිරීමට මෙතෙක් ප්‍රමාදවීම ගැනත් මෙහිදී යමක් කිව යුතු වෙයි. මේ චරිත කතාවට ඇතුළත් ලිපි පෙළ සම්පූර්ණයෙන්ම ලියා දිවයින කාර්යාලයට භාර දීමෙන් පසුව 1991 ඔක්තෝම්බර් මාසයේදී මට ඇමරිකා එක්සත් ජනපදයට යාමට සිදු විය. වසරකටත් අධික කාලයක් ඇමරිකාවේ ගත කරන්නට සිදුවීම නිසා මේ ග්‍රන්ථය පළ කිරීම මෙතෙක් ප්‍රමාද විය. මා ඇමරිකාවේ සිටියදීත් පිටපත මුද්‍රණය සඳහා ඉක්මනින් භාර දෙන්න යැයි දෙහිවල ශ්‍රී දේවී ප්‍රින්ටර්ස් අධිපති මහේන්ද්‍ර සේනානායක මහතා කීප වරකම මට දන්වා සිටියද අධික වැඩ කටයුතු නිසා දිගින් දිගටම මෙසේ ප්‍රමාද කරන්නට සිදුවිය. එසේම හොඳ පිටපතක් ලැබුණොත් හොඳ පොතක් පිට කළ හැකිය යන ඒ මහතාගේ මුල් උපදේශයද මගේ හිතේ නිතර හොල්මන් කළ බව මෙහිදී නොකියාම බැරිය. කෙසේ වුවත් පැවිදි පඬි මිණි පහන් අංක 2 හා අංක 3, 1992 වසරේදී ප්‍රකාශයට පත් කිරීමට මගේ හිතේ තිබුණු බලවත් ආශාව මේ විදේශ ධර්මදූත සේවාව නිසා මෙතෙක් ප්‍රමාද කරන්නට වූ බව නම් මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීමට සිදු වෙයි.

මා ඇමරිකාවේ සිටින අතර මගේ විශේෂ ඉල්ලීම පරිදි මෙම ලිපිපෙළ ග්‍රන්ථයක් වශයෙන් පළ කිරීමට අවශ්‍ය මූලික කටයුතු බොහොමයක් සම්පූර්ණ කරන ලද්දේ මගේ කල්‍යාණ මිත්‍ර ශාස්ත්‍රපති කීර්ති නාරම්පනාව සහ ශාස්ත්‍රාචාර්ය අනුරුද්ධ ජයසුන්දර මහතුන් විසිනි. එම දෙපළට මගේ හෘදයාංගම ස්තූතිය හිමි වෙයි. පිටපත් කිරීම් ආදී කටයුතුවලදී පන්තිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රාචාර්ය නාපටවෙල ධම්මානන්ද ස්ථවිරයන්ගෙන් සහ මගේ ප්‍රිය ශිෂ්‍ය මහරගම මධ්‍යමහා විද්‍යාලයෙහි ආචාර්ය පැලවත්ගේ පුඤ්ඤරතන ආයුෂ්මතුන්ගෙන්ද ලැබුණු සහාය අපමණය. එම දෙපළටද මගේ ස්තූතිය හිමි වේ.

මෙම ග්‍රන්ථයේ මුල් පිටපත 1992 ඔක්තෝබරයේදී මා ඇමරිකාවට ගෙන්වා ගත් අතර එය නැවත සංස්කරණය කරන ලදී. එහිදී ඇමරිකාවේ ලොස්ඇන්ජලිස්හි සන්වැලි ප්‍රදේශයේ මෛත්‍රී විහාරයේ ධර්මදූත කටයුතුවල යෙදී සිටින ආචාර්ය ගරු පාතේගම ඤාණාරාම හාමුදුරුවන්ගෙන් සහ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කටයුතුවල යෙදී සිටින දිවයින පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ දයා ප්‍රනාන්දු මහතාගෙන්ද විටින් විට ලැබුණු සහාය සහ උපදෙස් වඩාත් හොඳ පිටපතක් සකස් කර ගැනීම සඳහා උපකාරී වූ බව කෘතඥතා පූර්වකව සඳහන් කරන අතර එම දෙපළට ද මගේ ස්තූතිය පිරිනමමි.

කෙතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළද මගේ ඉල්ලීම පරිදි මෙම ග්‍රන්ථයට අගනා ප්‍රස්තාවනාවක් සැපයූ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගරු බෙල්ලන්විල විමලරතන ස්ථවිරයන් වහන්සේටද මගේ විශේෂ ස්තූතිය හිමි වෙයි.

මෙම ලිපි පෙළ ආරම්භයේ සිටම පොතක් වශයෙන් මුද්‍රණය කිරීමට මා උනන්දු කළා වූද, මෙම ග්‍රන්ථය මනහර ලෙස ඉතා කෙටි කලක් තුළදී මුද්‍රණය කළා වූද, දෙහිවල ශ්‍රී දේවී මුද්‍රණාලයේ අධිපති මහේන්ද්‍ර සේනානායක මහතාටත්, එතුමාගේ පුත් තුසිත සේනානායක, උදිත සේනානායක සහ හරිත සේනානායක මහත්වරුන්ටත් කාර්ය මණ්ඩලයටත් මගේ ස්තූතිය පළ කරමි.

තවද පැවිදි පඬි මිණි පහන් අංක 1 ග්‍රන්ථයේ මෙන්ම මෙහිද පිටකවරය සිත්ගන්නා ලෙස ඇඳදුන් විනී හෙට්ටිගොඩ මහතාටද මගේ ස්තූතිය හිමි වේ.

මෙම විසිවන සියවසේ ශ්‍රී ලංකා පුත්‍රයකුගේ විශාලම පරිත්‍යාගය වශයෙන් සැලකිය හැකි ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ ලොස්ඇන්ජලීස් නගරයේ සන්වැලි ප්‍රදේශයේ ‘මෛත්‍රී විහාරස්ථානය’ කරවා පූජා කරන ලද දොස්තර පී. එම්. සරත්චන්ද්‍ර මහතා විසින් මෙම චරිත කතාව ප්‍රකාශයට පත් කිරීමේ කාර්යයද ඉතා සතුටින් භාර ගැනීම පිළිබඳව මගේ විශේෂ ස්තූතිය එතුමන්ට හිමි වෙයි.

ඉත්තෑපාන ධම්මාලංකාර ස්ථවිර

දෙවන මුද්‍රණයට......සම්පාදකගෙන්

“බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි” ග්‍රන්ථය දෙවන වරටත් මුද්‍රණය කරන්නට ලැබීම මට බලවත් සතුටට කරුණකි. තව අවුරුදු දෙකකින් ජීවන මගෙහි සියවෙනි වසරට පා තබන ශ්‍රේෂ්ඨ පැවිදි උතුමකුගේ චරිත කතාවක් මෙතරම් ඉක්මණට දෙවන වරටත් මුද්‍රණය කරන්නට ලැබීම තුළින් අපට පැහැදිලි වන්නේ ගුණ නුවණින් හෙබි උතුමන්ගේ චරිත කතා කියවීමෙන් ඒවායින් ආදර්ශ ගැනීමට ගිහි - පැවිදි දෙපක්‍ෂයේම එක්තරා කොටසක් හෝ තවමත් උනන්දුවෙන් සිටින බවයි.

මෙම දෙවන මුද්‍රණයේදී පළමු මුද්‍රණයේ තිබූ ඇතැම් මුද්‍රණ දෝෂ හා අතපසුවීම් කීපයක් සකස් කිරීමටද, මෙම ග්‍රන්ථය දොරට වැඩු දා අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැවැත්වූ දේශනය පොතෙහි අවසානයට එකතු කිරීමට ද හැකි විය. ඒ හැරුණු විට මෙම දෙවන මුද්‍රණයෙහි හා මූලික කෘතියෙහි වෙනසක් නැති බව කිව යුතුය. මෙවරද මුද්‍රණ කටයුතු ඉතා මැනවින් කර දුන් දෙහිවල ශ්‍රීදේවී ප්‍රින්ටර්ස්හි අධිපති මහේන්ද්‍ර සේනානායක මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, මා දිවයිනෙන් බැහැරව සිටින මේ අවස්ථාවේදී දෙවන මුද්‍රණය පිළිබඳ සියලු කටයුතු සොයා බලා ඉටු කළ මහරගම මධ්‍යමහා විද්‍යාලයේ ආචාර්ය, මගේ දයාබර ශිෂ්‍ය පැලවත්ගේ පුඤ්ඤරතන ආයුෂ්මතුන්ටත් මගේ කෘතඥතාවය හිමි වෙයි.

ඉත්තෑපාන ධම්මාලංකාර ස්ථවිර
1994.01.31

ප්‍රස්තාවනාව

බහුස්සුතං ධම්මධරං භජේථ මිත්තං උළාරං පටිභානවන්තං - සුත්තනිපාත, ඛග්ගවිසාණසුත්ත

රුක්මලේ ධර්මවිජයාලෝක විහාරයේත් ඇමරිකාවේ ලොස්ඇන්ජලිස්හි මෛත්‍රී විහාරයේත් අධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසින් සම්පාදිත “බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි” නම් කෘතිය කියවනවාත් සමගම මගේ සිහියට ආවේ ඉහත සඳහන් තථාගත භාෂිතයයි. එයම මගේ මේ ප්‍රස්තාවනාවෙහි සිරස්පාදය වශයෙන් යෙදීමට ද අදහස් කළෙමි.

සකලවිධ පුරුෂාර්ථ සාධනයක් සඳහාම ශක්තිය ඇතත් මිනිසා මිනිසුන් අතර සැරිසරද්දී මුහුණපාන අනේකාකාර සංඝට්ටන හේතුවෙන් ගුණාත්මක, බුද්ධිමය දෘෂ්ටියෙන්ම අවප්‍රමාණ වෙයි. එය කිසිසේත් මනුෂ්‍යත්වය පිළිබඳ සාරාධිගමයක් නොවන අතර පරාජිත භාවයක් පමණකි. එනිසා සමාජගත පුද්ගලයා මනුෂ්‍යත්වය අපරාජිතව පවත්වා ගැනීම සඳහා බුද්ධිමත්වූත්, විචාරාත්මකවූත් ප්‍රයත්නයකින් නිරන්තර විය යුතු බව බුදුදහම පෙන්වා දී තිබේ. මේ සඳහා අනුගමනය කළ හැකි ශ්‍රේෂ්ඨ පිළිවෙත් දෙකක් මා උපුටා දැක්වූ ඛග්ගවිසාණ භාෂිතයෙන් ප්‍රකට වෙයි. මිනිසා මිනිසුන් නිසා අසීරුවට, අනතුරට, අවපාතයට නොවැටී පුරුෂාර්ථ සාධනයෙහි තත්පර වන්නේ නම් ඔහු එක්කෝ බහුශ්‍රැත, ධර්මධර, ප්‍රතිභාපූර්ණ උළාර මිතුරන්ගේ ඇසුර ලැබිය යුතුය. නැත්නම් කඟවේණ අඟක් මෙන් එකචාරී විය යුතුය.

එකචාරී වීම සෑම දෙනා විසින්ම නොකළ හැකි බැරෑරුම් කර්තව්‍යයක් හෙයින් අප විසින් අප ජීවත්වන සමාජය තුළ මිනිසුන් සේවනය, භජනය, පර්යුපාසනය සුපරීක්‍ෂාකාරීව කළ යුතුය. කදවලලු මෙන් සමාජයේ සැරිසරන මායාකාරීන්ට ගොදුරු නොවී අඩුම තරමින් ආත්මහිතව, පරහිතකාමී පුද්ගලයන්ගේ ඇසුර ලැබීමට උත්සුක වීම මිනිස් මහිමය රැක ගැනීමකි. එම ඇසුරෙන් ලැබෙන අවවාදයත් ආදර්ශයත් බුද්ධිවර්ධනයට මෙන්ම චරිතවර්ධනයට හේතුකාරක වන හෙයිනි. සාධුකාරක චර්යාවෙහි නිරත පුරුෂශ්‍රේෂ්ඨයන් සමාජයට ආශිර්වාදයක් වන අතර හඳුනා ගැනීම වාසනාවකි. හඳුන්වාදීම මාහැඟි සමාජ සංග්‍රහයකි. ඉත්තෑපාන හාමුදුරුවන් ඉටු කොට ඇත්තේ ඒ උසස් සමාජ සංග්‍රහයයි.

මේ පොතෙන් විවරණය වන්නේ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ චරිතයයි. එය අසා, කියවා දැන හැඳින ගැනීමට පාඨක ලෝකයට අවස්ථාව සැලසී ඇති හෙයින් පුනරුච්චාරණයක යෙදීම අනවශ්‍යය. අර ගාථා දෙපදය මගේ සිහියට ආවේ එම චරිත කථාව පුරාම ලියැවී කියැවී ඇති කරුණු සමුදායෙන් එම චරිතාපදානයෙහි අන්තර්ගත, ලෝකපූජිත, බහුශ්‍රැතතාව, ධර්ම ධාරීත්වය, උදාරමිත්‍රතාව සහ ප්‍රතිභානයම ධ්වනිත වන හෙයිනි.

තවත් පැත්තකින් බලතොත් මෙම අපදානය දහනව වන සියවසේ අගත් විසිවන සියවසේ අගත් එකට යා කොට ප්‍රත්‍යක්‍ෂයෙන් ලියූ අප රටේ ඉතිහාසය ද වෙයි. මෙදැතුර ගම - නගරය, පුද්ගලයා - සමාජය, ගිහියා - පැවිද්දා, පාසැල - පිරිවෙන, ගුරුවරයා - ශිෂ්‍යයා, අධ්‍යාපනය - ආගම, ජීවනය - චින්තනය ආදි විවිධාංගාගත අප්‍රකට, විචාරාත්මක, එමෙන්ම අද හෝ පුනරීක්‍ෂණය කොට බැලිය යුතු ඓතිහාසික කරුණු සම්භාරයක් නිරාවරණයව ඇත්තේය. මේ පිළිබඳව පොතේ අංක 3 “එදා අවුරුදු නවයකින් ලැබූ අධ්‍යාපනය අද විස්සකින් වත් ලබන්න බැහැ” (26-36 පිටු), අංක 10 “ධර්මපාලතුමා සමග වාද කරලා දිනන්න අමාරුයි” (107-118 පිටු), අංක 12 “ඉංග්‍රීසි ආණ්ඩු කාලෙවත් භික්‍ෂූන් වහන්සේලාට මෙහෙම කරදරයක් වුණේ නැහැ” (126-142 පිටු) යන ලිපි විශේෂයෙන් පාඨකයාගේ අවධානයට යොමු කරවනු කැමැත්තෙමි.

නිදහස ලබා ගැනීමේ පටන් අප වරදවා ගත් තැන් නිසා අපේ ජාතික, ආගමික, සංස්කෘතික පරිහානියට මහ පැදුරු ඇසුරු, වාර්ගික, ආගමික, පන්තිභේදවාදී අධ්‍යාපන ආයතන, විෂයමාලා අනුකරණය කරමින් සාම්ප්‍රදායික, පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයෙන් මහ හැරීම වර්ගවාදී ආගම්වාදී අදහස් මෝරා රටේ සාමය, සමගිය, සංවරය බිඳී ගිය සැටිත් මෙහි සාකච්ඡාවී ඇති කරුණුවලින් මනාද පිළිබිඹු වනඅතර, ඒවා කිසිදු ආදෘතගාහිත්වයකින් තොරව, උපේක්‍ෂාවෙහි පිහිටා, යථාරූපය පෙන්වාදීමේ සැබෑ හිතකාමයෙන් විග්‍රහ කොට ඇත්තේය. මෙතෙක් කරුණු අනුව මෙම චරිතාපදානය, කාව්‍යයක්, ඉතිහාසයක්, බණ පොතක්, හිතෝපදේශයක් වශයෙන් හඳුන්වාලීමට මම කැමැත්තෙමි.

එවැන්නකට ඉඩ සැලසූ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, එය සම්පාදනය කළ ඉත්තෑපාන ධම්මාලංකාර හිමියනුත්, ප්‍රකාශනයට සහාය වූ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස්හි පී. එම්. සරච්චන්ද්‍ර දොස්තර මහතාත් අත්‍යවශ්‍ය සමාජ සංග්‍රහයකින් ලත් මහාපිනක කොටස් කරුවෝ වෙති.

බෙල්ලන්විල විමලරතන ස්ථවිර
රජමහා විහාරය,
බෙල්ලන්විල