බුදුදහම සහ විද්යාව - වෙත්තිමුනි.pdf
- කතෘ :
- ආර්. ජී. ද ඇස්. වෙත්තිමුනි
- ප්රකාශිත වර්ෂය :
- 1967
- මුද්රිත වර්ෂය :
- 1967
- පිටු ගණන :
- 388
- බාගත කිරීම් ගණන :
- 2,880
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-25
- ගොනුවේ ප්රමාණය :
- 85 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුදු දහම සහ එය ආගමටත් විද්යාවටත් සම-විසම වන අයුරු යනු ආර්. ජී. ද ඇස්. වෙත්තිමුනි මහතා විසින් රචිත Buddhism and Its Relation to Religion and Science නම් ප්රකට ඉංග්රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පරිවර්තනය බෝගොඩ ප්රේමරත්න මහතා විසින් සිදු කර ඇති අතර, කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගම විසින් 1967 වසරේදී ප්රථම වරට ප්රකාශයට පත් කරන ලදී.
මූලපරියාය සූත්ර දේශනාව පදනම් කර ගනිමින් බුද්ධ ධර්මය විවරණය කරන මෙම කෘතිය සම්පාදනය කිරීමේදී, හම්බන්තොට බූන්දල අරණ්ය සේනාසනයේ වැඩවිසූ අතිපූජ්ය ඥානාවීර ස්වාමීන් වහන්සේගේ විවේචන හා මඟපෙන්වීම් විශාල ලෙස ඉවහල් වූ බව කර්තෘ සහ පරිවර්තක සටහන්වල දැක්වේ. බුදුදහම, සාම්ප්රදායික ආගමික විශ්වාසයන්ට හා නූතන විද්යාත්මක සංකල්පයන්ට සම වන හා විසම වන ආකාරය ගැඹුරින් විශ්ලේෂණය කර ඇත.
මෙහි අන්තර්ගත ප්රධාන පරිච්ඡේද අතර පහත මාතෘකා ඇතුළත් වේ:
- හැඳින්වීම් වශයෙන්, සංකල්පය පිළිබඳ ගැටලුව, විඤ්ඤාණය පිළිබඳ ගැටලුව
- මැනීමේ පදනමක් සොයා යෑම, ඒකායන මාර්ගය, සජීව අත්දැකීම
- උපාදාන, විඤ්ඤාණය, නාමරූප විඤ්ඤාණ, තණ්හා සහ භව
- කම්ම, සංඛාරා, අත්තවාදුපාදාන සහ සක්කායදිට්ඨි, අනිච්චතා
- සබ්බෙ ධම්මා අනත්තා, ජාති ජරා මරණ, දුක, අවිජ්ජාව, නිබ්බාන
- පටිච්චසමුප්පාද, පුනරුත්පත්තිය, මග සහ තථාගතයන් වහන්සේ
පෙර වදන
ඤාණවීර ස්ථවිරයන් වහන්සේ කර්තෘට එවූ ලිපියෙක මෙසේ සඳහන් කළ හ:
“යමකුගේ සිතිවිලි එකිනෙකට ගැලපී නැති නම් ඒවා ඇත්ත වශයෙන් සිතිවිලි නො වේ. කෙතරම් විශාල වූ ද අදහස් ගොඩක් රැස් කර ගන්නා පුද්ගලයා, එම අදහස් අතරතුර ඇති පරස්පර විරෝධතා නො දක්නේ නම් ඔහු වනාහි ස්වකීය වූ අදහස් විරහිත පුද්ගලයෙකි. එබඳු පුද්ගලයකුට උපදෙස් දෙන්නට, නැත හොත් ඔහු වෙනස් කිරීමට, යමකු යත්න දරයි නම්, එය ඒ පුද්ගලයාගේ නා නා ප්රකාර අදහස් නැමැති සුන්බුන් ගොඩට තවත් අදහස් එකතු කරනු විනා වෙනත් දෙයක් නො කරන බැව් පෙනේ. කර්කගාඩ් කියා ඇති පරිදි ‘ඔබට සත්යය වන්නේ ඔබ ශ්රේෂ්ඨ කරවන සත්යය’යි. මේ අදහස් රැස් කරන්නවුනට කිය හැකි කිසිවක් ඔවුනට සත්යය නො වේ. වුවමනා වී ඇත්තේ, එක ම කරුණක් විමසන්නා වූ ද එම කරුණ තමාට පැහැදිලි වන තුරු ම විමසන්නා වූ ද අයෙකි. මක්නිසා ද යත් සියල්ල ම ඒ මත රඳා පවත්නා බැව් ඔහුට පෙනෙන හෙයිනි. ඒ වූ පුද්ගලයකු සමග (ශ්රේෂ්ඨ කරවන සත්යය පිළිබඳ) අදහස් හුව මාරු කළ හැකි ය.”
මේ කී කරුණ තථාගත ධර්මය පිළිබඳව විශේෂයෙන් ම අදාළ වේ. එම ධර්මය පිළිබඳ යමකුගේ අවබෝධය වනාහි එකිනෙකට ගැලපුනා වූ අංගෝපාංගයන්ගෙන් සමන්විත ඒකාබද්ධ සම්පූර්ණ දෙයක් විය යුතු ය. එක් අංගයක් වෙනස් කළ හොත් අනෙක් අංගයන් ද වෙනස් වී යන සමස්තයක් විය යුතු ය. ආරම්භයේ දී මේ අවබෝධය නිවැරදි වීම එතරම් ම වැදගත් නො වේ. නිවැරැදි බව ලබා ගත හැක්කේ පසු ව ම ය. ආර්ය මාර්ගයට ලඟා නො වූ කිසිවකු විසින් බුදු දහම නිවැරැදි සේ අවබෝධ කර ගත්තේ ය යි ස්ථිර වශයෙන් සැලකීම නො කට යුතු ය.
තථාගත ධර්මය සම්බන්ධ ව නම් යමකුගේ අවබෝධය වැරදි තැන එය පිළිබඳ තමා තුළ පරස්පර විරෝධතාවන්ගෙන් තොර සාමස්තයික අවබෝධයක් ගොඩ නගා ගත නො හැකි බව පෙනෙනු ඇත. සිය අවබෝධය මුල සිට අග දක්වා සංශෝධනය කිරීමට හොඳ ම ලකුණ එය වේ.
කෙසේ වෙතත් බුදු දහම පහසු යැ යි සිතන පුද්ගලයා හැම කල් දක්නට ලැබේ. එය පහසු සේ ඔහුට පෙනෙන්නේ එය දෙස වාස්තවික ව සංකල්පනාත්මක ව බලා සිට, ඊට පසු අනෙකෙකුගේ අතට පත් කරන හෙයිනි. අඹ පැයක් රැගෙන, පියන ඇර, අඹ දෙස බලා, පියන වසා, ඊට පසු අනෙකෙකුගේ අතට පත් කරන්නාක් වැනි ය. ශාස්ත්රීය ලීලාවෙකින් ධර්මය රැගෙන ඔහු මෙසේ සිතයි: ‘අනිච්චා දුක්ඛා අනත්තා යන්න අවබෝධ කර ගැනීමට එතරම් දුෂ්කර වන්නේ කිම?’ එහි වූ විවිධ කොටස්වලට බිඳ හෙලූ විට රථයේ සදට ම ස්ථිර ව ස්වයංකාරී ව පවත්නා කිසි යම් දෙයක් නැති බැව් දකින්නේ යම් සේ ද එ සේ ම සිය පුද්ගලභාවය ද (එනම්, පංචුපාදානක්ඛන්ධය) කැබලිවලට කඩා, මේවා ද නැවතත් සියුම් සේ බෙදා, කොතැනක වත් ආත්මයක් නැතැයි ප්රකාශ කරයි. මේ හෙයින් ම ඔහුට අනත්තසඤ්ඤා ඇත්තේ යැ යි සිතයි! තව ද, ඔහුගේ මේ අවබෝධය පිළිබඳ වැරදි මතය සනාථ කරන්නට අටුවාවන්හි සහ අභිධර්ම ග්රන්ථවල එන න ව සො න ච අඤ්ඤො, චිත්තවීථි, පටිසන්ධි විඤ්ඤාණං යනාදිය පිටිවහල් වේ. මෙහි ප්රතිඵලය නම් සිය ප්රගතිය සාර්ථක ලෙස නවතා ලීමයි. තමාගේ පුද්ගලභාවය ඉතා දක්ෂ ලෙස විශ්ලේෂණය කොට එහි ස්වයංකාරී ආත්මයක් නැති බැව් නො දක්නේ නමුත් සිය පුද්ගලභාවය ‘මාගේ ආත්මය’ සේ සලකයි! මෙසේ ඉදිරියට ගියේ ය යි ඔහු සිතන නමුත් ඔහු තව ම පටන් ගත් තැන ම ය.
අවබෝධය පිළිබඳ වූ මේ ‘පහසුව’ ඔහුගේ අවබෝධයේ ඇති නො ගැඹුරු බව විදහා දක්වයි. දස වසකට පෙර, එබඳු ශාස්ත්රීය වාද ඔස්සේ යෑමෙන් පහසු ය යි මේ ලේඛකයාට පෙනුනු දෑ අද පහසු හැටියට කිසිසේත් නො පෙනේ. එය වී ඇත්තේ ඔහුගේ සිතීමේ හැකියාව දුබල වීමෙකින් නො ව තම ජීවිත ගැටලුවට විසඳීමෙක් දකින්නට ඇති උද්යෝගය විසින් එකල සුළු කොට තැකූ දුෂ්කරතාවන් ම සිත් කම්පනය කෙරෙමින් නැවතත් ඉස්මතු කරණු ලැබූ හෙයිනි.
මූලපරියාය සූත්රයේ තථාගතයන් වහන්සේ යම් කරුණු මූල ධර්ම වශයෙන් ඉගැන් වූ සේක. ඒවා මූල ධර්මය, නැත හොත් තථාගතයන් වහන්සේ වැරදි ය. දෙක ම විය නො හැකි ය. ඒවා මූල ධර්ම වන්නේ නම්, ඒවා මනා ව අවබෝධ නො කොට උන්වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම බලාපොරොත්තු වන්නට නුපුළුවන. මේ මූල ධර්මයනුත් ඒවායෙන් පැන නගින කරුණුත් කියා පෑම පහසු නමුත් දැක ගැනීම දුෂ්කර ය. මේවා පාණ්ඩිත්යයේ සීමාව ඉක්මවා පවත්නේය. එහෙත් ඒවා දක්නා පුද්ගලයා ශ්රේෂ්ඨ කරවයි. ඒවා ඔහුට සත්යයෝ ය.
තථාගතයන් වහන්සේගේ ධර්මය වැදගත් වනුයේ කවර පුද්ගලයකුට ද? එය වැදගත් වනුයේ තමාගේ ජීවිත ගැටලුව වර්තමාන ගැටලුවක් බැව් පෙනෙන්නා වූ ද එම ගැටලුවට විසඳීමෙක් වර්තමානයේ දී ම වුවමනා කරන්නා වූ ද පුද්ගලයාට ය.
එහෙයින්, එබඳු පුද්ගලයකුට පමණෙකි තථාගතයන් වහන්සේ ඉගැන් වූ දෑ පෙන්වීම සඳහා වූ ග්රන්ථයක් වැදගත් වනුයේ.
ආර්. ජී. ද ඇස්. වෙත්තිමුනි
40/1, උද්යාන පාර,
කොළඹ 5.
2511 — ඇසල මාසෙ
1967 — ජුලි මාසෙ
පරිවර්තනය ගැන
වෙත්තිමුනි මහතාගේ Buddhism and Its Relation to Religion and Science යන ඉංග්රීසි ග්රන්ථය සිංහලයට නැඟීමේ කාර්යය අප ඇරඹුයේ මෙයට අවුරුදු පහකට ඉහත දී ය. එහි මුල් පරිච්ඡේද හය එක එල්ලේ බුදු දහම ගැන ලියැවුණු දේ නො වේ. ආගම සහ විද්යාව යනුවෙන් දන්නා ප්රධාන මාර්ග දෙකකට වැටුණු විවිධාකාර මිනිස් සිතිවිලි සමූහය පිළිබඳ විවරණයක් වශයෙන් මේ අංශය සැලකිය හැකි ය. මේ සඳහා අවසරය සේවා කාලයෙන් අමතර ව ම සපයා ගත යුතු වූ බැවින් ද, මේ විෂය කරුණු පහසුවෙන් සිංහලයට නැමෙන සුලු දෑ නො වූයෙන් ද මේ මුල් පරිච්ඡේද කිපය උදෙසා අවුරුදු දෙකක කාලයක් ගත විය. යම් යම් වදන් හා යෙදුම් කර්තෲ හා මා විසින් ම බොහෝ දුරට සිතා මනා සාකච්ඡා කොට තීරණය කර ගත් අතර සමහර වදන් අමුතුවෙන් ම සකස් කර ගත් ඒවා ය.
මේ කාලය අතර තුර වෙත්තිමුනි මහතා විසින්, හම්බන්තොට බූන්දල අරණ්යයෙක විසූ ඉංග්රීසි ජාතික ඤාණවීර හිමියන්ගේ ගුණ දොස් විවේචනය පතා මුල් ග්රන්ථයේ පිට පතක් උන්වහන්සේ වෙත යවන ලදී. මෙය මහත් ඵල දැයී සිද්ධියක් වූ බැව් ඒ මහතා කියයි. සම්බුද්ධ දේශනය අවබෝධ කර ගැනීමේහි ලා අවශ්ය ඉතා අගනා මූල ධර්ම රැසක් උන්වහන්සේ විසින් පෙන්වා දී ඇත. ඤාණවීර හිමියන්ගේ විවේචනය ආශ්රයෙන් මුල් ග්රන්ථයේ 7 වැන්නේ සිට 16 වැන්න දක්වා ධර්මය පිළිබඳ වූ පරිච්ඡේද කර්තෘ විසින් සංශෝධනය කොට නැවතත් ලියන්නට යෙදිණ. මේ පරිවර්තනය කරන්නට යෙදුනේ එසේ සංශෝධනය කරන ලද අත් පිටපත් මූලාශ්රය කර ගෙන ය.
මේ ග්රන්ථය විචාර බුද්ධියෙන් යුක්ත ව කියවන්නාට පැහැදිලි ව පෙනී යා යුතු ලක්ෂණ කිපයෙක් වේ. තථාගතයන් වහන්සේ විසින් සියලු දේ අලලා ඇති මූල ධර්මයන් විදහා දැක් වූ මූලපරියාය සූත්ර දේශනාව පදනම් කොට ගෙන ම මෙහි ධර්මය විවරණය කොට ඇති බව එක් ලක්ෂණයෙකි. එහි මුල-මැද-අග මුළුල්ලේ භාවිත කොට ඇති එක ම මිනුම් දණ්ඩ මේ දේශනය මැයි. එහෙයින් ම මෙම විවරණය පරස්පර විරෝධතාවන්ගෙන් තොර වීම විශේෂ අගයෙකි. ගතානුගතික ව පිලිගෙන ඇති යම් යම් අදහස්වලට පටහැනි ව යාමෙක් වෙතොත් එය ද මේ මිනුම් දණ්ඩ භාවිතය නිසා පැන නැඟුණු තත්වයෙකි. සූත්ර දේශනයන් අවබෝධ කර ගැනීමට අටුවාවන් හා අභිධර්ම පිටකය උපයෝග කර නො ගැනීම මෙහි තවත් ලක්ෂණයෙකි. ඇත්ත වශයෙන් යම් යම් ස්ථානවල අටුවාවන් සූත්රවලට පටහැනි ව ගිය තැන් ද කර්තෘ විසින් පෙන්වා දී තිබේ.
සිය ජීවන අත්දැකීම ආධාරයෙන් සම්බුද්ධ දේශනය අවබෝධ කොට ගත හැකි අයුරු පෙන්වා දීමත්, ඒ අනුසාරයෙන් ම අපට සැබෑ වූ සැනසිලි සුවයක් අද අද ම ලැබීමේ හැකියාව තිබෙන බව පෙන්වා දීමත්, ග්රන්ථයේ විශේෂ අරමුනයි. විෂය කරුණ ඉතා ගැඹුරු ය. එහෙයින් ම භාෂා ව්යවහාරය ද දුෂ්කර ය. එසේ වුව ද පාළි වචනවලට විටින් විට දී ඇති අර්ථ විවරණ සිහි තබා ගෙන, පියවරෙන් පියවර විචාර බුද්ධියෙන් යුතු ව කියවන තැනැත්තාට මෙහි වූ දර්ශනය මනා ව පැහැදිලි වනු ඇත. එය ධර්ම රුචියට තුඩු දුන හොත් එය ම අප ව්යායාමයෙහි ඵලය වන්නේ ය.
බෝගොඩ ප්රේමරත්න
රාජකීය විද්යාලය, කොළඹ 7.
2511 — ඇසල මාසේ
1967 — ජුලි මාසෙ