බුද්ධ වන්දනා ක්‍රමය - නාඋයනේ අරියධම්ම හිමි.pdf

කතෘ :
නාඋයනේ අරියධම්ම හිමි
ප්‍රකාශිත වර්ෂය :
2009
මුද්‍රිත වර්ෂය :
2009
පිටු ගණන :
83
බාගත කිරීම් ගණන :
7,669
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-01-31
ගොනුවේ ප්‍රමාණය :
3.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 42

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය යනු ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවට අයත් සේනාසනවල දෛනික වන්දනා සහ බුද්ධානුස්සති භාවනා කටයුතු සඳහා භාවිත කරනු ලබන වන්දනා ගාථා සහ පාඨ ඇතුළත් අත්පොතකි.

මෙම වන්දනා ක්‍රමය මුලින්ම සම්පාදනය කරන ලද්දේ අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඤාණාරාම මහානායක මාහිමිපාණන් වහන්සේ විසිනි. පසුව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ සංස්කරණයෙන් හා මගපෙන්වීමෙන් නාඋයන ආරණ්‍ය සේනාසනස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතිය සහ ආරණ්‍යස්ථ සිල් පිරිසේ ධර්ම දානයක් ලෙස බු.ව. 2553 (ක්‍රි.ව. 2009) දී අම්බලන්ගොඩ සක්වා ප්‍රින්ටර්ස් ආයතනය මගින් මුද්‍රණය කරවා ඇත.

පොත ආරම්භයේ කඩවද්දූවේ ශ්‍රී ජිනවංස නාහිමියන්ගේ ‘වචනයක්’ මැයෙන් යුත් ලිපියක් ද, නාඋයනේ අරියධම්ම හිමියන්ගේ පෙරවදනක් සහ දායක පිරිසේ පුණ්‍යානුමෝදනාවක් ද අන්තර්ගත වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කරමින් සිදුකරන සම්ප්‍රදායික වන්දනා ගාථා, පූජා විධි හා ප්‍රාර්ථනා පාඨ මෙහි මැනවින් ඇතුළත් කර තිබේ.

වචනයක් ....

ආලෝකය හා අන්ධකාරය යන ස්වභාව තත්ව දෙකක් ලොව පවත්නෙය. මෙයින් ආලෝකය කාටත් එකසේ හිත වැඩ සලසන ප්‍රාර්ථනීය තත්වය වන නමුත් අඳුරට ප්‍රිය කරන අඳුරෙන් වැඩ ගන්නා පිරිසකුත් ලොව ඇති සැටි නිසැකව දත යුත්තේය. ඒ සොරහුයි. සොරා එළියට අප්‍රියකරන නිසා එළියෙන් ඔහුට වැඩක් නැති නිසා ඔහුගේ නිරන්තර වෑයම එළිය නිවා ගැනීමමය.

ධර්ම අධර්ම දෙකේ තත්වයත් මෙබඳුයි. එළියත් අඳුරත් දෙක එකට එක් නොවන්නාක් මෙන් ධර්මයත් අධර්මයත් කවර කලෙකවත් එක්වන්නේ නැත. අධර්ම බලවේගයට වාසි වැඩිවූවාක් මෙන් පෙනෙන්නේ අධර්ම පෙළපාලියට එක් වන නිශ්‍රය තත්ත්වය අධික නිසාය. දැල්වෙන පහනට හැම පැත්තෙන්ම සුළං වැනි විරෝධී බලවේග අවුත් එය නිවා දැමීමට ගැටෙනු පෙනෙන්නේ ආලෝකයේ විපක්‍ෂය වූ අන්ධකාරයට සහායවන ගතියෙනි.

මේ විධියට අධර්මයටත් අනුබල වැඩියි. මාර නමින් කියවෙන ඒ අධර්ම සහායක සේනාවෝ නොයෙක් වෙසින් නොයෙක් ලෙසින් ධර්මය තළා පෙළා නසා වනසා ලීමට රොද බැඳ එන්නාහු වෙති.

ධර්මාරක්‍ෂක කඳවුරු වන්නේ උදාර පුද්ගල සන්තානයයි. ඒ ශ්‍රේෂ්ඨ පුද්ගල නමැති කඳවුරු ඇතුළේ ජීවමාන වන ධර්මය අපරිමාණ අධර්මවේග මැඩගෙන ආලෝකය පතුරුවමින් අපරාජිතව බබලන්නේය. ධර්මයේ රක්‍ෂාස්ථානය වූ ධර්මයේ ආධාරකය වූ මහා පුරුෂ සන්තානය කුමන හේතුවකින් හෝ අබල දුබල වීම නිසා අභාවයට යාම නිසා ධර්මය නිරාධාර වන්නේය. නිරාලම්බ වන්නේය. ධර්මය අතුරුදහන් වී අධර්ම අන්ධකාරයෙන් ලෝකය වැසීයන්නේ එහෙයිනි.

ඔබත්, අපත්, මේ පේළිවී පෙළ ගැසෙන්නේ ධර්මයේ ආරක්‍ෂක කඳවුරු බවට පත්වෙනු සඳහාය. ධර්මයේ ප්‍රබල කඳවුරු වීම අපේ ප්‍රාර්ථනයයි. ඔබත් ඒ ධර්ම කඳවුරු පංතියේ බව සිහි කරන්න. ධර්මය උදෙසා ජේවී ආත්ම ජීවිත නිරපේක්‍ෂකව ඒ මහා ධර්මවීර උතුමන් නොපැකිල ගමන් කළ ධර්ම විජයේ ශාන්ති මාර්ගයට අපිත් අනුයාත වී සිටිමු. අධර්ම මාර ප්‍රලය සහස්‍ර ගුණයෙන් නැගී ඒවා.

“ධුනාථ මච්චුනො සෙනං - නළාගාරංව කුඤ්ජරෝ”

මහා හස්ති රාජයකු බටකොළ ගෙයක් පොඩිකර සිඳබිඳ දමන්නාක් මෙන් මර සෙනග මැඩ පලවා හරිව් යන බුද්ධාඥාවෙන් උත්තේජිතව පරාක්‍රම ගුණයෙන් සැදී අපි ඉදිරියට ගමන් කරමු. ධර්මාරක්‍ෂාව සඳහා මෙතෙක් ප්‍රගුණ කළ ආත්ම මහිමයේ තරම පළවිය යුත්තේ හිරිහැර පීඩා නැමැති මාර උවදුරු පියමං කරගෙන ඉදිරියට යන ප්‍රතිශ්‍රෝතගාමී තත්ත්වයෙනි.

ධම්මකාමො භවංහොති - ධම්ම දෙස්සී පරාභවො

ධර්මකාමියා දිනයි. වැඩෙයි. ධර්මද්වේශියා පරදීයි. යන බුද්ධ භාෂිතයද සිහිකළ මැනවි.

කිසිම ආමිස ලාභ අපේක්‍ෂාවක් නොමැතිව පවිත්‍ර වූ ධර්ම ප්‍රාර්ථනාවෙන්, ශාසනය රැක ගැනීමේ මහා අධිෂ්ඨානයෙන් යුතුව සමාරබ්ධ වූ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව ගමන් මග නිවමින් සනසමින් නොනැවතී ගලායන ගංගා ප්‍රවාහයක් මෙන් පුරා අවුරුදු අටසාළිස් වසක් පැවැත් වූ උදාර ශාසන මෙහෙවර සැලකිය යුත්තේ හොඳහිතේ ප්‍රාතිහාර්යයක් වශයෙනි.

මෙම උතුම් යෝගාශ්‍රමීය ශාසනික වැඩ පිළිවෙල පටන් ගෙන 1999 ජුනි 18 වෙනිදාට වර්ෂ අටසාලිසක් පිරෙයි. අපි අවුරුදු අටසාලිසක් සසුන් ගමනක යෙදුනෙමු. බුදුරජාණන් වහන්සේ අපට වදාළ ශාසන මෙහෙවර එක එල්ලේම සිදුවන ලෙසට ආමිසගරුක නොව ප්‍රතිපත්තියට මුල්තැන දෙමින් අප මේ අටසාලිස් වසරක් තුළ විසිතුරු කළ සසුන් පෙරහැර දෙස ආපසු බැලිය යුත්තේ ආධ්‍යාත්මිකව වැඩී ඇති ධර්ම අස්වැන්න ආත්ම ප්‍රත්‍යවෙක්‍ෂණ වශයෙන් දැක සැනසී ගැන්මට ඉදිකොට ගත් පරම භාග්‍ය අවස්ථාවක් විලසිනි. මැණික් වැලකට එක්වන මැණික, මැණිකෙන් මැණික මැණික් වැල බබළවන්නාක් මෙන් අපේ මේ සසුන් ගමනට පේළිවූ මේ සසුන් පෙරහැර විසිතුරු කල අපේ සත්පුරුෂ මණ්ඩලය සැබවින්ම මට දැනෙන්නේ අගනා මිණිරුවන් එකතුවක් ලෙසිනි.

ධර්මයෙන් වෙළීගෙන ක්‍ෂාන්ති මෛත්‍රී ගුණයෙන් පැහැ ගැන්වීගෙන අපි අවුරුදු අටසාලිසක් ධර්ම ගමනක එක් වී ගමන් කළෙමු. අපේ මේ එකතුව යාව නිබ්බාන වේවා !

සතං සමාගමො හොතු - යාව නිබ්බාන පත්තියා

මෙයට - ධර්මයෙන් සැනසෙන කඩවද්දූවේ ජිනවංස ස්ථවිර

කඩවද්දූවේ ජිනවංස ස්ථවිර
ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය
ගල්දූව, කහව.
2543
1999. 06. 18

පෙරවදන

බුද්ධානුස්සති භාවනාවක් වැඩෙන සේ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය නමැති මෙම පොත සකස් වූයේ මෙයට අඩසිය වසරකට පෙර අතිගරු පූජනීය ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ අතිනි. මෙම වන්දනා ක්‍රමය ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවට අයත් සෑම සේනාසනයකම දවසට තුන් වේලක් එකම කාලසටහනකට අනුව පැවැත්වෙන බව ඉතා සතුටින් සඳහන් කරනුයේ බුද්ධ ශාසන ප්‍රතිපත්ති සුරක්‍ෂිත වීම පිණිස ඉන් සැලසෙන ධර්ම ශක්තිය අතිවිශාල බැවිනි. ඉකුත් වූ අඩසිය වසර තුළ බොහෝ වාරයක් මුද්‍රණය කරවූ මේ වන්දනා ක්‍රමය මෙවර මුද්‍රණය කරවා බෙදා දෙනුයේ නාඋයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතිය සහ ආරණ්‍යස්ථ සිල් පිරිසගේ දායකත්වයෙනි.

මින් ජනිත වන පුණ්‍ය සම්භාරය මේ වන්දනා ක්‍රමයේ නිර්මාතෘ වන අපවත් වී වදාළ අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේට අමාමහ නිවන් සුව පිණිසම හේතුවේවා. අපවත් වී වදාළ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක ප්‍රධාන අනුශාසක අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවද්දූවේ ශ්‍රී ජිනවංසාභිධාන අස්මදාචාර්ය මාහිමිපාණන් වහන්සේ මතු උතුම් ලොව්තුරා බුදු බවට පත්වේවා.

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය යෝගාශ්‍රමීය සියළුම මහා සංඝරත්නය විසින් ඉතාමත් ගෞරවයෙන් එකලෙස භාවිතා කෙරේ. තදනුගාමික දස දහස් ගණන් බෞදු උවසු උවැසියෝද එසේම එය අනුගමනය කරති. එහෙයින් මෙය ගෞතම සම්බුද්ධ ශාසන ප්‍රතිපත්ති මාර්ගයේ ආරක්‍ෂාව අභිවර්ධනය පිණිසම හේතුවේවා.

මෙම ධර්ම දානමය පුණ්‍යසලාභය හිමිකර ගත් නාඋයන ආරණ්‍යස්ථ සිල් පිරිසේ සැමටත් නාඋයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සංගමයේ සැමටත් ධර්මඥාන භාවනාඥානයත් ආයුරාරෝග්‍යාදි ශ්‍රී සම්පත්තියත් අභිවර්ධනය වේවා.

ඒ සෑම දෙනා වෙනුවෙන් පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් සුගති සම්පත් සමග අමාමහ නිවන් සුවයත් අත්වේවා. මෙය ඉතාමත් ශෝභන ලෙස මුද්‍රණය කරදුන් අම්බලන්ගොඩ සක්වා ප්‍රින්ටර්ස් ආයතනාධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් දෙලොව සුබ සෙතත් ශාන්ත නිවන් සුවයත් සාක්‍ෂාත් වේවා.

සුඛිනොවා ඛේමිනෝ හොන්තු - සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

මෙයට
මෙතැති
නාඋයනේ අරියධම්ම ස්ථවිර

නාඋයන ආරණ්‍ය සේනාසනය,
පන්සියගම.
2553/2009

පුණ්‍යානුමෝදනය

“බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං කප්පං පි චෙ අඤ්ඤමභාසමානො ඛීයෙථ කප්පො චිර දීඝ’ මන්තරෙ වණ්ණො න ඛීයෙථ තථාගතස්ස”

යනුවෙන් සඳහන් වන උතුම් බණ පදය පූජනීය නාඋයන ලොකු ස්වාමීන් වහන්සේගෙන් අප නොයෙක් වර අසා ඇත්තෙමු.

බුදුරජාණන් වහන්සේ නමක් මුළු කල්පයක් තිස්සේම වෙන කිසිවක් දේශනා නොකොට තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ පමණක් දේශනා කළත් බොහෝ කාලයකට පසු කල්පය ගෙවී අවසන් වෙයි. එසේ නමුත් බුදුගුණ දේශනාව, බුදුගුණ වර්ණනාව අවසන් නොවේ.

මෙලෙස එම ගාථා ධර්මයේ අදහස පැහැදිලි කරමින් පූජනීය ස්වාමීන් වහන්සේ බුද්ධගුණ සහ බුදුගුණ මෙනෙහි කිරීමේ ආනිසංසත් නොයෙක් වර අපට කියා දී ඇත. ඒ උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිද්දෙන් කටයුතු කරන අපට අදහස් වූයේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයටම පූජාවන ආකාරයේ මහඟු පිංකමක් කිරීමටයි. කලින් නොයෙක් වර මුද්‍රණයට ගෙන ඇති, නොයෙක් ආකාරයේ බුද්ධ ගුණ, බුද්ධ කළ්‍යාණ එලෙසම ධර්ම ගුණ, සංඝ ගුණ මේ ආදි උතුම් ගුණ ස්කන්ධයන් කැටි කොට සකසා ඇති “ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ භාවිතා වන වන්දනා පොත” නැවත වරක් මුද්‍රණය කොට බෙදා හැරීම අගනා කටයුත්තක් බවයි. මෙම මහඟු බුද්ධ පූජාව සිදුකරනුයේ අප සිල් පිරිසේ සියළු දෙනාත්, නාඋයන ආරණ්‍යස්ථ සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියේ සියළු දෙනාත් යන අප සැමගේම එකතුවෙනි.

මෙලෙස අප සියළු දෙනා විසින් මෙම උතුම් ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ කුසල ශක්තියෙනුත්, නොයෙක් ආකාරයෙන් පුරණය කරන ලද සීල, සමාධි ආදි ගුණ ධර්මවල ශක්තියෙනුත් නොයෙක් ආකාරයේ ශාසනික පිංකම්වලට සහ සම්බන්ධ වීමෙන් රැස්කරගත් කුසල ශක්තියෙනුත් අපට උතුමිම, උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වන අතිගෞරවනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ බොහෝ කලක් නිදුක් වේවා ! නිරෝගි වේවා ! සුවපත් වේවා ! තව තවත් අපටත්, නොයෙක් දෙස් විදෙස් ජනතාවටත් උදවි උපකාර කිරීමට ශක්තියත්, ධෛර්යයත්, දීර්ඝායුෂත් අභිවර්ධනය වේවා. අප මේ කරගත් පුණ්‍ය සම්භාරය ද පූජනීය ස්වාමීන් වහන්සේගේ පාරමී ගමනට එක්වීමෙන් සියළු ලෝකාවාසි සත්වයන්ටම පිහිටවන්නට ශක්තියක්ම වේවා ! ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතු උතුම් ලොව්තුරා බුද්ධත්වයම ලබත්වා !

එසේම අප මේ කරගත් පුණ්‍ය සම්භාරය මෙම ග්‍රන්ථයේ නිර්මාතෲ වන අපවත් වී වදාළ පූජනීය මාතර ශ්‍රී ඤාණාරාම ස්වාමීන් වහන්සේටත් අපවත් වී වදාළ අතිපූජනීය කඩවද්දූව ශ්‍රී ජිනවංස ස්වාමීන් වහන්සේටත් එසේම නාඋයන සේනාසනයේ නිර්මාතෲ පූජනීය විගොඩ බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේටත් මතු උතුම් ලොව්තුරා බුද්ධත්වය පිණිසම හේතුවේවා !

එසේම අපට නොයෙක් ආකාරයෙන් අවවාද අනුශාසනා ලබාදෙන පූජනීය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේත් මේ කුසල ශක්තියෙන් බොහෝ කාලයක් නිදුක් වේවා ! නිරෝගි වේවා ! සුවපත් වේවා ! ස්වාමීන් වහන්සේට ද මේ පින නිවන් පිණිසම හේතු වේවා !

එලෙසම නාඋයන සෙනසුනේ වැඩ වසන සියළුම ස්වාමීන් වහන්සේලාට මේ කුසලය අමාමහ නිවන් අවබෝධය පිණිසම හේතු වේවා.

එමෙන්ම මෙම පොත මුද්‍රණයට නොයෙක් ආකාරයෙන් උදවි උපකාර කළ නාඋයන ආරණ්‍යස්ථ සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියේ සැමටත්, අප සිල් පිරිසේ සැමටත් මෙම කුසලය නිවන් පිණිසම හේතුවේවා ! අප නමින් මිය පරලොව ගිය සියළු ඥාතීන්ටත්, සියළු දෙවියන්ටත් මේ පින දුකින් මිදීම පිණිසම වේවා !

එසේම මෙම මා හැඟි ග්‍රන්ථය මුද්‍රණය කරවා දීමට කටයුතු කළ සක්වා ප්‍රින්ටර්ස් අධිපතිතුමා ඇතුළු සියළු කාර්ය මණ්ඩලය ද මේ පින් බෙලෙන් සැම කල්හි නිදුක් වේවා ! නිරෝගි වේවා ! සුවපත් වේවා ! ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක වෙත්වා ! සියළු දෙනාට නිවන් අවබෝධය පිණිසමත් හේතු වේවා !

සියළු සත්වයෝ සුවපත් වේවා !!!

මෙයට,
ශාසනාලය ඇති,
නාඋයන ආරණ්‍ය සේනාසනස්ථ ශ්‍රී සම්බුද්ධ
ශාසනානුග්‍රහ සමිතිය සහ ආරණ්‍යස්ථ සිල් පිරිස