පොල්වත්තේ බුද්ධදත්ත හිමි චරිතාපදාන - අනුල ද සිල්වා.pdf

කතෘ :
අනුල ද සිල්වා
ප්‍රකාශිත වර්ෂය :
2002
මුද්‍රිත වර්ෂය :
2002
පිටු ගණන :
90
බාගත කිරීම් ගණන :
1,567
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-05-25
ගොනුවේ ප්‍රමාණය :
15 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 46

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහා නාහිමිපාණන්ගේ චරිතාපදානය සංක්ෂිප්තව ගෙනහැර දක්වමින් ලේඛිකා අනුල ද සිල්වා විසින් සම්පාදිත කෘතියකි. උන්වහන්සේගේ ඥාති දියණියක වන කතුවරිය, තම පවුලේ සහ පන්සලේ ඇසුරෙන් මෙන්ම ලේඛනගත මූලාශ්‍රයන් උපයෝගී කරගනිමින් බාල පරපුරට සහ පොදු පාඨකයාට සුදුසු වන පරිදි මෙම චරිත කතාව රචනා කර ඇත.

මෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා:

  • පොල්වත්ත ග්‍රාමය හා ළමා කාලය
  • පැවිදිබව හා බුරුම අත්දැකීම්
  • වැඩිදුර අධ්‍යාපනය
  • ධර්ම ප්‍රචාරය
  • වියත් ඇසුර, පොත් පත් හා වාද විවාද
  • නායකත්වය
  • දිනපොතේ සටහන්
  • බුද්ධදත්ත චරිතය හා බැඳි මතක සටහන්
  • බුද්ධදත්ත හිමියන්ගේ ග්‍රන්ථ

පොල්වත්තේ බුද්ධදත්ත මහා නාහිමියන් අපවත්වී වසර 40ක් පිරීම නිමිත්තෙන් 2002 වර්ෂයේදී කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයක් ලෙස මෙම කෘතිය මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

පෙරවදන

විශ්ව කීර්තියට පත් අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්ථවිරයන් වහන්සේ උපන් නිවසේම මටත් උපදින්නට ලැබීම දෛවයේ හාස්කමක් දෝයි මට සිතේ. දෛවයේ හාස්කමක් දෝයි මට සිතේ. උන්වහන්සේ මගේ සීයා වූ දානියෙල් ද සිල්වාගේ මලණුවෝය. මගේ අම්මාගේ බාප්පාය. සීයා උන්වහන්සේට සාදු මල්ලි යයි කී අතර අම්මා සාදු බාප්පා යයි ඇමතුවාය. මට උන්වහන්සේ සාදු සීයා විය.

උන්වහන්සේ අපවත් වනවිට මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක වීමි. ආදාහනයට පැමිණ ආපසු යද්දී මම උන්වහන්සේම ලියූ මහා පුස්තකයක් බඳු උන්වහන්සේගේ චරිතාපදානය ද රැගෙන ගියෙමි. එය කියවාගෙන යද්දී අපේ දරුවන් සඳහා මෙහි සංක්ෂිප්ත විස්තරයක් කවුරුන් හෝ ලියන්නේ නම් එය කොතරම් හොඳදැයි මට සිතිණි. ඒ දිනවල පොතක් පතක් ලිවීමේ හැකියාව මට ලැබෙයයි මම නොසිතුවෙමි.

ක්‍රමයෙන් මා ලේඛන වෘත්තියට පිවිසෙද්දී කවදා හෝ සංක්ෂිප්ත බුද්ධදත්ත චරිතය ලිවීම මගෙ බලාපොරොත්තුව විය. ඒ සඳහා අමුද්‍රව්‍ය මා ළඟ බොහෝ විය. අවුරුදු 21 ක් උන්වහන්සේගේ පන්සල එනම් පොල්වත්තේ අග්ගාරාමය ඇසුරෙන් මා ලද තොරතුරු ද, සිංහල සාහිත්‍ය ග්‍රන්ථ හැදෑරීම සඳහා උන්වහන්සේ වෙත ගිය අවස්ථාවලදී සිත හොරාගත් තොරතුරු ද, මගේ සීයා හා අම්මා මා සමඟ පැවසූ තොරතුරු ද ඒ අතර විය. ඒ සමඟම තවත් ලිඛිත තොරතුරු මම ලේක්හවුස් පුස්තකාලයෙන් ලබා ගතිමි. දීපිකා මල්ලවාරච්චි දියණිය ලේක්හවුස් පුස්තකාලයෙන් පින්තූරයක් ලබා ගැනීමට මට උදව් වූවාය. අවසාන කාලයේ දී උන්වහන්සේ ළඟින් ඇසුරු කළ ම.ව. අබයසිරි ගුරුතුමා ද තොරතුරු සපයා දීමෙන් මට උදව් විය.

පොත ලියුව ද බරපැන දැරීමට කෙනෙකු නොවීය. මේ ගැන සිරිසුමන ගොඩගේ මහතා සමඟ පැවසූ මොහොතේ බුද්ධදත්ත හිමියන් අපවත්වී 40 වසරක් පිරෙන මේ වසරේ පොත එළි දැක්වීමට එතුමා එකඟ විය. එතුමාට බොහෝ පින්.

පරිඝනක අකුරු සැකැස්ම භානු ග්‍රැෆික්ස් හි සරත් අමරසිංහ ගෙනි. පිටකවර නිර්මාණය ඊ. ශරිණී අමරසිරි විසිනි.

ඡායාරූප ලබාදුන් සෝමසිරි කස්තුරිආරච්චි විමල් කරුණාතිලක, නිපුනිකා හා සුමුදු වර්ෂවිතාන යන අයටත් මගේ ස්තුතිය.

මේ හැම දෙනෙකුටම මම ස්තුති කරමි. ඒ සමඟම පොතේ ගුණ දොස් දැක්වීම පාඨක ඔබට බාර කරමි.

අනුල ද සිල්වා
65/223 කාකදූව
කොළඹ 15
දු.ක. 529481