පිරුවානා පොත් වහන්සේ - v2.pdf

කතෘ :
බෝදාගම චන්දිම හිමි
ප්‍රකාශිත වර්ෂය :
2005
මුද්‍රිත වර්ෂය :
2014
පිටු ගණන :
432
බාගත කිරීම් ගණන :
3,985
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-10-20
ගොනුවේ ප්‍රමාණය :
22 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 217

මෙම කෘතිය පිරුවාණා පොත් වහන්සේ (චතුභාණවාර පාලිය ඇතුළු පිරිත් දේශනා සංග්‍රහය) වන අතර, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසකත්වයෙන් නොමිලේ ධර්ම දානය පිණිස සම්පාදනය කර මුද්‍රණය කරවා ඇත.

මෙහි ප්‍රධාන සතර බණවර ඇතුළු අතිරේක සූත්‍ර සත, උපග්‍රන්ථගත පිරිත් හා ආරක්ෂක ගාථා, සතර කමටහන්, යන්ත්‍ර මන්ත්‍ර ආදී කොටස් ද, සතර බණවර සඳහා සිංහල අනුවාදය ද අන්තර්ගත වේ. තවද පිරිත් ගාථාවලින් කළ හැකි හාස්කම් සහ බණ පිරිත් කතිකාවත ඇතුළු චාරිත්‍ර විධි විස්තර ද මෙහි සම්පූර්ණයෙන් දක්වා ඇත.

මෙහි ප්‍රධාන මාතෘකා අතර:

  • පඨමක, දුතියක, තතියක සහ චතුත්ථක භාණවාර
  • අතිරේක සූත්‍ර සහ උපග්‍රන්ථ පිරිත් ගාථා
  • සතර බණවර සිංහල අනුවාදය
  • පිරිත් ගාථාවල හාස්කම් හා බණ පිරිත් කතිකාවත

ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ළමා පදනම වෙනුවෙන් තායිවානයේ The Corporate Body of the Buddha Educational Foundation ආයතනය මඟින් 2014 පෙබරවාරි මස මෙම අටවන විශේෂ මුද්‍රණය නොමිලේ බෙදාහැරීම පිණිස මුද්‍රණය කර ඇත.

පිරිවාණා පොත් වහන්සේ අටවන විශේෂ මුද්‍රණය

“සීල සමාධි ප්‍රඥාවන්ගෙන් දෙවියන්, මරුන්, බඹුන්, සහ මිනිසුන් ඉක්මවූ තථාගත යාණන් වහන්සේගේ සත්‍යයෙන්ද, අර්ථයෙන්ද, පරමෝත්කෘෂ්ඨ බුද්ධ වචනය මගින් කෙරෙන ආශිර්වාදය පිරිතයි. දේශක තෙමේ සිල්වත්ව, ගුණවත්ව හිඳිමින් ශ්‍රද්ධා, ශීල ගුණ යුක්ත ශ්‍රාවකයාගේ දර්ශන, ශ්‍රවණ, කෘත්‍ය ප්‍රධාන පඤ්චකෘතියෙන් පිරිතෙ බලය අධ්‍යාත්ම ගතකොට ඔහුගේ ලෙඩ දුක් කරදර පීඩා දුරුකොට ආරක්ෂාවත් අභිවෘද්ධියත් උදාකර දෙයි. පිරිතේ බලය. එක් චන්ද්‍ර සූර්ය යුග්මයකින් ආලෝකමත් වන එක් චක්‍රවාටයකට පමණක් නොව අනන්ත චක්‍රවාටයන්ටම පතුරුවා ලිය හැකිය”.

2004 දෙසැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකාවේ මුහුද ගොඩ ගැලීමෙන් නිවාස අහිමිව අවතැන්වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ළමාපදනම විසින් නිවාස දහසක් ගොඩ නැගීම. { තායිවාන් සමාධිගම} ව්‍යාපෘතියේ පළමුවන අදියරවන නිවාස 300 යේ ව්‍යාපෘතිය. වැඩ අවසන්කර එම නිවාස සුනාමියෙන් අවතැන්වූවන්ට පරිත්‍යාග කිරීම 2005 සැප්තැම්බර් මස 10 දින හම්බන්තොට නෝනගම උහපිටගොඩ දී පැවැත්වේ. එම නිවාස පරිත්‍යාග කිරීමේ උත්සවය නිමිත්තෙන් මෙම පිරුවානා පොත්වහන්සේ සත්වන වරටත් පිටපත් දසදහසක් මුද්‍රණය කරවා ශ්‍රී ලංකාවාසි ජනතාවට පරිත්‍යාග කරණ ලදී.

තායිවානයේ ප්‍රධාන සංඝනායක
ත්‍රිපිටකවේදි බෝදාගම චන්දිම නාහිමි.
තායිපේ
තායිවාන්.
2005 සැප්තැම්බර් මස 15 වන දින දී.

ප්‍රණාම

ලෝකවාසී බෞද්ධයෝ දුකේදීත් සැපේදීත් තෙරුවන්ගේ පිහිට පැතීමට කවදත් හුරු පුරුදු වී සිටිති. නිසරණ සරණ මිස ඔවුනට අන් සරණක් නැත. සියලු දුක්, සියලු රෝග, සියලු බිය දුරුකොට සියලු සම්පත් ළඟාකර ගැනීමේ ශක්තියෙන් යුත් පිරිත නිරන්තරව භාවිතා කිරීමට බෞද්ධයෝ ප්‍රිය කරති. මේ නිසා පිරිත පිළිබඳ අසීමිත ශක්තියක් හා විශ්වාසයක් ඔවුන් තුල ගොඩනැගී ඇත.

බෞද්ධයින් තුල ඇති දෙලොව යහපත පිණිස හේතුවන මෙම උනන්දුව ආරක්ෂා කර ගැනීමට අනුබල දීමත් තවදුරටත් වර්ධනය වීමට පහසුව සලසා දීමත් කාලෝචිත මහා පුණ්‍ය කර්මයක් ලෙස මට හැඟිණි. මේ සඳහා කළ හැකි උපකාරයක් ලෙසින් පිරුවානා පොත් වහන්සේ අංග සම්පූර්ණ ලෙස දර්ශනීය ලෙස, කාටත් කියවීමට පහසු ලෙස මුද්‍රණය කොට නොමිලයේ බෙදාදීමට මා තුළ බලවත් කැමැත්තක් ඇතිවිණ. සෑම නිවසකටම සෑම විහාරස්ථානයකටම මෙම උතුම් පිරුවානා පොත් වහන්සේ ලබාදීමට ලැබෙතොත් එය මාගේ අභිලාශයයි. මෙම උතුම් කාර්යය සඵල කර ගැනීම සඳහා මාගේ අනුශාසකත්වයෙන් යුත් තායිවානයේ තායිපේ සන්චොං නගරයේ ශ්‍රී රතනජෝති ථේරවාදි බෞද්ධ මධ්‍යස්ථානයේ දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් ලෝකයේ සුප්‍රකට වියත් ග්‍රන්ථ කර්තෘවරුන්ගේ ධර්ම ග්‍රන්ථ මෙන්ම මෙම මහා පිරුවානා පොත් වහන්සේත් මුද්‍රණය කොට නොමිලයේ බෙදාහැරීම සඳහා කටයුතු කොට ඇත.

මේ උදාර ධර්මදානය තුළින් ජනිතවන මහා කුසල සම්භාරය මෙම කෘතිය මනාකොට මුද්‍රණය කිරීම සඳහා මූලිකව ක්‍රියා කළ තායිවානයේ එක්සත් සමූහ බෞද්ධ අධ්‍යාපන පදනම ඇතුලු සහාය වූ සැමටත්, පොත සැකසීමේ සම්බන්ධීකරණ කටයුතු කළ ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ ලේකම් ආචාර්ය පල්ලේවෙල සාරද හිමිටත්, ධර්මචක්‍ර ළමා නිවාසයේ පාලන අධ්‍යක්ෂක ශාස්ත්‍රවේදි කුඹුක්වැවේ පඤ්ඤාකිත්ති හිමියන්ටත්, ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ කළමනාකාර අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මැතිතුමා ප්‍රධාන පදනමේ සියළු දෙනාටත්, අපවත් වී වදාළ මාගේ ගුරු දේවයාණන් වහන්සේලා වන මාලිම්බඩ ඕගස්පේ ගංගාරාම පුරාණ විහාරාධිපති පූජ්‍යපාද අකුරුගොඩ රතනපාල නාහිමිපාණන් වහන්සේ, විගමුව ගිරි අබා රජමහා විහාරාධිපති ගිරුවාපත්තුව දොළොස් දහස් රට ප්‍රධාන සංඝනායක දොඩම්පහල ශ්‍රී රතනජෝති නාහිමිපාණන් වහන්සේ ඇතුලු පරලෝ සැපත් මාගේ පියාණන්ටත්, ජීවත්ව වෙසෙන මෑණියන්ටත් සියළු සැපද, කෙළවර අමා මහ නිවන් සැපද ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

තායිවානයේ එක්සත් සමූහ බෞද්ධ අධ්‍යාපන පදනමේ සහ
තායිපේ එක්සත් සමාධි පදනමේ අනුශාසක වූ
තායිවානයේ තායිපේ සන්චොං නගරයෙහි ශ්‍රී රතනජෝති ථේරවාදි බෞද්ධ මධ්‍යස්ථානාධිපති තායිවානයේ ප්‍රධාන සංඝනායක
රත්මලාන ශ්‍රී රත්නාරාම විහාරවාසී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි.
2004 වෙසක් මස 04 වන දින.

පූර්විකාව

සුමට වූ සුමිහිරි වූ වදන් තුළින් සහනදායී සාමකාමී වටපිටාවක් ගොඩනගා ගත හැකිය. ගැඹුරු වූ මානසික ශක්තිය තුළින් ගොඩනැගෙන සත්‍යවාදී හරවත් වූත් වාග් මාලාවකට ඇත්තේ එයටත් වඩා අපරිමිත වූ බලයකි. පිරිත නමින් හැඳින්වෙනුයේ ද සත්‍ය වූ ගුණ සමුදායක් දැඩි අධිෂ්ඨානයකින් මෙනෙහි කිරීම තුළින් කරනු ලබන ආශීර්වාද දේශනයකි. මේ නිසා පිරිත තුළ ඇත්තේ අසීමිත බලයකි. ශක්තියකි.

‘පිරිත්’ යන සිංහල වචනය පාලි ‘පරිත්ත’ ශබ්දයෙන් ප්‍රභවය වී ඇත. පාලි පරිත්ත ශබ්දය සංස්කෘත පරිත්‍ර ශබ්දයේ විකාශනයකි. එයද පරි ත්‍රා ( ධී ) පාලනේ යන ශබ්දයේ භාවයෙන් සකස් වූවකි. හාත්පසින්, සර්වප්‍රකාරයෙන් ආරක්ෂාව සලසා දීම යනු මෙහි අර්ථය වේ.

ඉන්දු ආර්ය වර්ගයාගේ ආදිතම යුගයේ සිට දෙවි දේවතාවුන්ගෙන් ආශිර්වාද ලබා ගනු පිණිස මනඃකල්පිත වූ එම දෙවියන් අභියස භක්තියෙන් අවනතව ගීතිකාවන් ගයනු ලැබූහ. භාරතයේ ඍග්වේදය ආදී වේදග්‍රන්ථ තුළත් භගවත් ගීතාව වැනි ආගමික සාහිත්‍ය ග්‍රන්ථ තුළත් මෙම දර්ශනය අන්තර්ගත වේ. සතුරු උපද්‍රව වලින් ආරක්ෂාව, සතුරන් ජයගැනීම, නිරෝගී බව, සම්පත් වර්ධනය, දරුඵල ලැබීම, අව්ව, වැස්ස ආදී බොහෝ දේ පතා එදා භාරත සමාජය තුළ මෙම ගායන ක්‍රම භාවිත කෙරිණි.

‘පරිත්‍රාණාය සාධූනං - විනාශායච දුෂ්කෘතාම්’ යනුවෙන් භගවත් ගීතිකාවේ මෙබඳු ආරක්ෂක දර්ශනයක් පරිත්ත ශබ්දයෙන් ගම්‍ය වූ අතර ම එම අර්ථයම පරිත්ත යන්නෙන් අදහස් කළ බැව් චුල්ලවග්ගපාලිය වැනි ත්‍රිපිටක ග්‍රන්ථවල ඇතුළත් ‘පරිත්ත’ ශබ්දයෙන් ගම්‍ය වෙයි.

අර්ථ හා වචන වශයෙන් එබඳු සාම්‍යත්වයක් දක්නට ලැබෙතුදු පෙළ පොත් හි පරිත්ත වචනය, අරමුණු වශයෙන් වෙනසක් දක්නට ලැබේ. වේද සාහිත්‍යයේ සඳහන් වන පරිදි පරිත්ත යනු හුදු යාඥා ගීතිකා විශේෂයක් වුවද බුදු සමයේ එම අදහස අභිබවා යන සත්‍ය ක්‍රියාවක් මෙන් ම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද භාවිතයට ගැනේ.

බෞද්ධයින්ට භෞතික වස්තුන්ගේ පිහිට පැතීම හෝ යාඥාව වෙනුවට සද්ධාවෙන් භක්තියෙන්, විශ්වාසයෙන් තෙරුවන් සරණ යාම බුදුන්වහන්සේ අනුමත කළ ක්‍රමයයි. මෙහිදී යාඥාව හෝ ආඥාව දෙකම බැහැර කරනු ලබයි. ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැගෙන චිත්ත පාරිශුද්ධිය පදනම් කරගත් ගුණ සමුදායෙන් - බියට, විපතට පත් වූවන්ට ආරක්ෂාව, සෙත ළඟාකර ගත හැකිය. එසේ අභ්‍යන්තර ගුණ සමුදායෙන් බැඳී, වෙළී, ගැටී දේශනා කළ සූත්‍ර, පිරිත් සූත්‍ර නමින් හැඳින්වේ.

බොහෝ පිරිත් සූත්‍ර මුල් අවධියේ දේශනා කළේ සත්‍ය ක්‍රියා වශයෙනි. අංගුලිමාල සූත්‍රය රතනසූත්‍රය වැනි සූත්‍රවල එම ලක්ෂණය දක්නට ලැබේ. මෙසේ ගොඩනැගුණු සූත්‍ර, ‘සතර බණවර’ නමින් පිරිත් පොතට ඇතුළත්ව ඇත. පිරිත් පොතෙහි ඇති ප්‍රධාන අන්තර්ගතය මෙම සතර බණවරයි. ඒ සතර බණවර නම්,

01 සරණාගමනය, දස සික්ඛා, සාමණේර පඤ්හ, ද්වත්තිංසාකාර, පච්චවෙක්ඛනා, දසධම්ම, මංගල, රතන, කරණීයමෙත්ත, මිත්තානිසංස, ඛන්ධ, මෙත්ත, මෝර, චන්ද, සූරිය සහ ධජග්ග යන සූත්‍ර පළමු බණවරයි.

02 බොජ්ඣංග සූත්‍ර, ගිරිමානන්ද හා ඉසිගිලි යන සූත්‍ර කොටස දෙවන බණවරයි.

03, 04 තුන්වන හතරවන බණවර දෙක ම ආටානාටිය සූත්‍රයෙන් සම්පූර්ණ වෙයි.

මේ බණවර සතරට අතිරේක වශයෙන් ධම්මචක්ක පවත්තන සූත්‍රය, මහාසමය, ආලවක කසිභාරද්වාජ, පරාභව, අග්ගික භාරද්වාජ, සච්ච, විභංග යන සූත්‍ර හත ද පිරිත් පොතට ඇතුළත්ව ඇති අතර ඒවා සූත්‍ර දේශනා වශයෙන් ද නම් කෙරේ. මේ සියලු ම පිරිත් සූත්‍ර, සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථයන්ගෙන් ම ගන්නා ලදි. මෙහිදී සරණාගමනය, දස සික්ඛාපද, සාමණේර පඤ්හ, ද්වත්තිංසාකාර සහ මංගල, රතන, කරණීයමෙත්ත, පරාභව, ආලවක, වසල, කසීභාරද්වාජ සූත්‍රයෝ ඛුද්දක නිකායෙන් ද පච්චවෙක්ඛනා, දස ධම්ම, ඛන්ධ, මෙත්තානිසංස, ගිරිමානන්ද සූත්‍ර, අංගුත්තර නිකායෙන් ද මිත්තානිසංස, මෝරපරිත්ත, ජාතක පාලියෙන් ද චන්දපරිත්ත, සූරියපරිත්ත, ධජග්ග, බොජ්ඣංග, ධම්මචක්කපවත්තන සූත්‍රයන් සංයුක්ත නිකායෙන් ද ඉසිගිලි, සච්ච, විභංග සූත්‍ර, මජ්ඣිම නිකායෙන් සහ මහා සමය, ආටානාටිය සූත්‍ර දීඝ නිකායෙන් ද ගන්නා ලදි. මේ නිසා චතුභාණවාර ග්‍රන්ථයක් ලෙස ද සලකා එය චතුභාණවාර පාලි නමින්ද හැඳින්වින.

කල්යාත්ම පිරුවාණා පොත සතර බණවරට පමණක් සීමා නොවිය. මහ ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් පදනම් කර ගනිමින් එය තවදුරටත් සංවර්ධනය විය. එනිසාම නව මුහුණුවරකින් යුත් පිරිත්, පිරුවානා පොත් වහන්සේට අගින් එකතු විය ජය පිරිත, ගිනි පිරිත, චක්ක පිරිත, ජීවර පිරිත, සීවලී පිරිත ඇණවුම් පිරිත ආදිය එයින් කිහිපයකි. මෙයින් සමහර සූත්‍ර මහායානිකයින්ගේ ධාරණී මන්ත්‍ර වැනිය. පිරිත් පොතට ඇතුළත්ව ඇති ජලනන්දන පිරිතද පාලි වචන වෙනුවට ව්‍යභිචාරී සංස්කෘත වචන ඇතුළත්ව ඇත.

මෙම සූත්‍රවල අදහස් හා භාෂාව කෙසේ වෙතුදු මේ සූත්‍රවලින් විශාල පිහිටක් ශාන්තියක් ලැබෙන බැවින් මෙම සූත්‍රයන් අතිශය සම්භාවනාවට පත්ව ඇත.

පිරිත් පොතත් ජාතක පොතත් සාමාන්‍ය ජනතාව අතර අතිශයින් ම ජනප්‍රිය පොත් දෙකකි. එම නිසාම මෙම පොත් හැඳින්වීමේ දී ‘වහන්සේ’ යන ගෞරව නාමයෙන් ම හැඳින්වීමට පුරුදුව ඇත. මහජනතාවගේ කුදු මහත් කටයුතු විෂයෙහි වූ අනවරත සම්බන්ධය හේතුවෙන් පිරිත් පොත ‘පිරුවානා පොත් වහන්සේ’ යන ගෞරවනීය ජීවමාන අර්ථයකින් හඳුන්වන්නේ ඒ නිසාය. පිරිත් පොත පිළිබඳව දක්නට ඇති සැලකිල්ල හේතුවෙන් ම එයට සම්බන්ධ පරිවාර සාහිත්‍යයක් මෙන් ම පරිවාර චාරිත්‍ර සමුදායක්ද ගොඩනැගී ඇත. දඹදෙණියේ රජ කරවූ දෙවන පැරකුම්බා රජ දවස අනවමදර්ශී සංඝරාජයාණන් වහන්සේගේ ආරාධනයෙන් ආනන්ද වනරතන හිමියන්ගේ ශිෂ්‍යයෙකු විසින් සතර බණවර අටුවාවද කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දවස අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් සතර බණවර සන්නයද මෙසේ ලියැවුණු ග්‍රන්ථයෝය. අනෙක් අතට පිරිත් නිසා ගොඩනැගී ඇති චාරිත්‍ර සමුදාය විරාගතව පැවතෙන අතරම ඒවා පිරිත පිළිබඳ ගෞරවය හා ශ්‍රද්ධාව දියුණු කිරීමටත් පිරිතේ ආනිසංසයන් වර්ධනය වීමටත් හේතු වී ඇත.

පිරිත් දේශනාවේ ආනුභාවය පිළිබඳව විවිධ විස්තර දක්නට ලැබේ. පිරිත් සූත්‍ර දේශනා අතරින් සූත්‍ර පහක් කෙළ ලක්ෂයක් සක්වල ආනුභාවය පවත්වන්නේ යැයි සඳහන් වේ. ඒ සූත්‍ර නම් රතන සූත්‍රය, ඛන්ධ පරිත්ත, මෝරපරිත්ත, ධජග්ග පරිත්ත හා ආටානාටිය පරිත්ත යන සූත්‍ර පහයි. පිරිත් සූත්‍රයන්ගේ ආනිසංස දක්වන මිළින්ද ප්‍රශ්නයේ දී...

‘කරන ලද පිරිත් ආරක්ෂාව ඇති පුරුෂයා නාගයා දෂ්ඨ නොකරන්නේය. මුඛය පියා ගන්නේය. සොරුන් විසින් තලන්නට ගත් මුගුරු පවා නොපැමිණෙන්නේය. ඒ සොරු මුගුරු දමා ළඟට අවුත් ප්‍රියවන්නේය. කුපිත වූ හස්ති, නාග තෙම ළඟට දිව අවුත් වළකින්නේය. දිලියෙන මහා අග්නිස්කන්ධය ළඟට පැමිණ නිවෙන්නේය. නොදැන අනුභව කළ විෂය පවා අමෘත බෙහෙත් වන්නේය. නසනු කැමැත්තා වූ වරදකරුවෝ ළඟට අවුත් දාසව පැමිණෙති. පයින් මඩින ලද පාසය නොඇසිරෙන්නේය.’

යනුවෙන් සඳහන් කොට ඇත්තේ ද එහි ආනිසංසයන්හි විපුල බව දැක්වීම සඳහාය. පිරිත නිසා පොදුවේ දුක් භය රෝග පීඩාවන් සමනය කරගත හැකිවාක් මෙන් ම සාමය සෞභාග්‍යයද උදා කර ගත හැකි වන්නේය. පිරිත වනාහි උභයාර්ථ සාධනය පිණිසම වන්නේය.

පිරිතේ ආනුභාවය හා ආරක්ෂාව සාකල්‍යයෙන්ම ඉටුකර ගැනීම පිණිස පිරිත් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත යුතුය. පිරිත හුදු දේශනාවක් පමණක් ම නොවේ. එහි අරමුණු සාධනය උදෙසා පිරිතේ ජීවමානත්වය ගොඩනගා ගත යුතුය. මේ සඳහා පිරිත් සූත්‍රයන්ගේ අර්ථය, එහි පරමාර්ථය, ඒ සඳහා දක්වන මානසික සම්බන්ධය, දේශනා මාධ්‍ය හා පිරිත් දේශනයේ අක්ෂර, පද ආදී සෑම තන්හි ම අවිද්‍යමාන සිහියෙන් යුතුව සැබෑ සත්‍ය ක්‍රියාවක ස්වරූපය ගොඩනගා ගත යුතුය. දේශකයා පමණක් නොව ශ්‍රාවකයාද තෙරුවන් පිළිබඳව සැබෑ සැදැහැයෙන්, සීලයෙන් විශ්වාසයෙන් යුතුව තමා වෙත පිරිතේ ජීවය ග්‍රහණය කළ යුතුය. සම්මා සතිය දේශක ශ්‍රාවක දෙපක්ෂය විසින් ම මනාව සුරැකිය යුතුය. මේ නිසා පිරිත යනු අරි අටගිමග සපුරන්නක් වන අතරම අනික් අතින් එය මනෝ විද්‍යාත්මක පදනමක් සහිත ආශීර්වාදයක්ද වන්නේය.

අකුසල කර්මාවරණයෙන්ද රාගාදී වූ ක්ලේශාවරණයෙන්ද නොඇදැහිමෙන්ද යන තුන් කරුණින් යුත් පුද්ගලයාට පිරිතෙන් අනුසස් ලද නොහැකි බව මිළින්ද ප්‍රශ්නයේදී සඳහන් කොට ඇත. මේ අනුව අසංවේදී, අවිචාරශීලී දේශක හා ශ්‍රාවකයින්ට පිරිතේ ප්‍රතිඵල ලද නොහැකිය.

සිංහල බෞද්ධයින් තුළ පිරිත පිළිබඳ ඇත්තේ අසීමිත වූ ගෞරවයකි. විශ්වාසයකි. පිරිතේ ආශීර්වාදයෙන් ඇරඹි ලොව එකම ජාතිය සිංහල ජාතියයි. විජයාවතරණය ප්‍රවෘත්තියෙන් පිරිත් නූලෙන් ලද ආශීර්වාදය කියැවෙයි. මහ රහතන් වහන්සේලා වැඩසිටි අවධියේදී හෙළ මහ රජදරුවන් පිරිත ජාතිකත්වයට ආශීර්වාදයක් කරගනු ලැබීය. රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානෝත්සව අවස්ථාවේ දී මහා සඟරුවන මුළු රෑ පිරිත් ධර්මය දේශනා කරන ලදහ. භාතිය රජතුමා දවස රුවන්වැලි සෑය තුළ මහ රහතන් වහන්සේලා වත් පිරිත් වශයෙන් පිරිත් ධර්මය දේශනා කරන බැව් අසන ලද බවද සඳහන් වේ. උපතිස්ස නම් රජ දවස සිදුවූ මහා දුර්භික්ෂ අවස්ථාවේදී රජතුමා ප්‍රධාන රටවැසියා සිල් සමාදන් කරවා නගරය සරසා මංපෙත් ඔස්සේ රතන සූත්‍රය දේශනාව පවත්වමින් දුර්භික්ෂය සමනය කළහ. පිරිතෙන් ලද අනුහස් හේතුවෙන් පිරිත් දෙසුම පැවැත්වීමට රාජ ආඥාවක් කළ බැව්ද මහා වංශයේ සඳහන් කරයි.

පිරිත සභා සජ්ඣායනා වශයෙන් පිරිසක් එක්ව දේශනා කළ හැකි අතර ම පුද්ගල දේශනා වශයෙන් තනි තනිව වුවද දෙසීමට බාධාවක් නොමැත. සෙත්පිරිත් දෙසුමේ දී ලලිත වෘත්ත - තරංග වෘත්ත දෙකක් කොට ද පිරිත් දේශනය කිරීම පෞරාණික චාරිත්‍රයකි. පිරිත් දේශනයේ දී වෘත්තය ශබ්ද උච්චාරණ විභේදයෙන් ගායනා නොකළ යුතුය. ‘අනුජානාමි භික්ඛවේ සරභඤ්ඤං’ යනුවෙන් ස්වරභාණ්‍ය ස්වරයෙන් ධර්මය ගායනා කිරීම අනුදත් බැවින් මධුර ස්වරයෙන් ධර්මය දේශනා කිරීමට බාධාවක් නොමැත. සරභඤ්ඤ ස්වරය නම් ගීත ස්වරයෙන් තොරවූ මාධුර්ය ස්වරයයි. එය අධ්‍යාත්මික ආශ්වාදයට හේතුවන්නකි. සංගීත ශාස්ත්‍රයේ ස. රි. ග. ම. ප. ධ. නි. යන සප්ත ස්වරය පිරිත් ගාථාවල ප්‍රස්තාර කළ නොහැකිය. මේ සප්ත ස්වරයෙන් පිරිත් ගාථා ප්‍රස්තාර කළ හැක්කේ ස. රි. ග. ම. ප. යන ස්වර පහ පමණි. ඒ නිසා සංගීත ශාස්ත්‍රයෙහි ආරෝහණ, අවරෝහණ ක්‍රමය සම්පූර්ණයෙන් පිරිතෙහි නැත. මේ අනුව පිරිත් දේශනය යනු අධ්‍යාත්මික ශාන්තිය දනවන ස්වරයෙන් ම දෙසිය යුතුය. පිරිත් දෙසුමේ දී අධ්‍යාත්මික බාහිර පාරිශුද්ධිය සේම අර්ථ ගෞරවයත් ශබ්ද ගෞරවයත් ආරක්ෂා කරගත යුතුය.

දෛනික ජීවිතයේ ජීවන දර්ශනයක් ලෙසත් භාවනා මාර්ගයක් ලෙසත් පිරිත භාවිතයෙන් පුද්ගලයන්ට නව ජීවයක් ලබා දෙයි. පිරිත් දේශනය යනු හුදු පිං වැඩෙන අචේතනික දෙසුම් විලාසයක් සේ නොසලකා ජීවමාන සත්‍යක්‍රියා පිළිවෙතක් ලෙස යොදා ගන්නේ නම්, අසහනයෙන් බියෙන් විපතෙන් තොර සාමකාමී අධ්‍යාත්මික ආශීර්වාදයක් කරගත හැකිය. බුදු දහම ජීවන දර්ශනයක් කරගැනීමේ ක්‍රියාවලියේ දී පිරිත හා සම්බන්ධයෙන් එය වඩාත් අර්ථවත් කරගත හැකිය. එබැවින් පිරිත පිළිබඳව වඩා වඩාත් පර්යේෂණ ශීලිව කටයුතු කිරීම දෙලොව යහපතට ම හේතුවනු ඇත.

නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ
පීඨාධිපති,
ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ ලේකම්,
ආචාර්ය පල්ලේවෙල සාරද හිමි,
ශ්‍රී විද්‍යාවිජයාරාමය,
පාගොඩපාර,
නුගේගොඩ.
2004.06.08