පිරුවානා පොත් වහන්සේ - v1.pdf
- පිටු ගණන :
- 384
- බාගත කිරීම් ගණන :
- 23,271
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-26
- ගොනුවේ ප්රමාණය :
- 19 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පිරුවානා පොත් වහන්සේ යනු බෞද්ධයන්ගේ පරම පූජනීයත්වයට පාත්ර වූ පිරිත් දේශනා සංග්රහයයි. මෙහි චතුභාණවාර පාළිය, සිංහල පදගත සන්නය, සිංහල අනුවාදය මෙන්ම සම්ප්රදායිකව භාවිත වන අතිරේක පිරිත් සූත්ර සහ ශාන්තිකර්ම ක්රම ද ඇතුළත් වේ.
පණ්ඩිත අත්තුඩාවේ ශ්රී රාහුල අනුනායක ස්ථවිරයන් වහන්සේගේ සංස්කරණය ඇසුරින් මෙම කෘතිය සම්පාදනය කර ඇති අතර, ශ්රී රෝහණ පාර්ශ්වයේ මහා නායක ධුරය දැරූ අතිපූජ්ය කඹුරුපිටියේ වනරතන මහා නායක ස්ථවිරයන් වහන්සේ විසින් අගනා ප්රස්තාවනාවක් සපයා තිබේ.
ග්රන්ථයෙහි ප්රධාන කොටස්:
- පඨමක, දුතියක සහ තතියක භාණවාර පාළි පෙළ
- පදගතார்த்த සන්නය සහ සිංහල අනුවාදය
- අතිරේක සූත්ර (ධම්මචක්කප්පවත්තන, මහාසමය, ආලවක ආදී සූත්ර)
- පිරිත් පේ කිරීම සහ වත්පිළිවෙත්
- අටවිසි පිරිත, ජිනපඤ්ජරය, ජයමංගල ගාථා ආදී ආරක්ෂක ගාථා හා යන්ත්ර මන්ත්ර ක්රම
ප්රස්තාවනා
ජාතක පොත් වහන්සේ සහ පිරුවානා පොත් වහන්සේ යන ධර්ම ග්රන්ථද්වය සිංහල බෞද්ධයන් ගේ අත්යන්ත ජනාදරයට පාත්ර වූ විශේෂ ග්රන්ථ දෙකකි. මේ පොත් දෙක ම සජීවත්වයෙන් සලකා ‘වහන්සේ’ යන ගෞරව නාමයෙන් ම ව්යවහාර කළාක් මෙන් ම විහාරස්ථානයකට නැතුව ම බැරි වස්තු දෙකකි. මෙයට ධාතු කරඬුවත් විධිමත් ව සකස් කරගත් පිරිත් හුයත් එක්කර ගත යුතු ය.
ජාතක පොත් වහන්සේ පහසුවෙන් එහා මෙහා ගෙන යා හැක්කක් නො වේ. පුස් කොළයේ ලියූ අලංකාර කැටයමින් හෙබි කම්බාවලින් යුත් ජාතක පොත එදා සිංහල බෞද්ධ ජනතාව ගේ ජීවිතය අලංකාර කළ ආදර්ශවත් උපමා කථාවන්ගෙන් යුත් නිරාමිෂ ප්රීතිය වර්ධනය කරමින් පන්සලේ වැඩ සිටියහ.
පිරිතෙහි ප්රධාන වශයෙන් අන්තර්ගත වූයේ සත්ය පාරමිතාව හා අධිෂ්ඨාන පාරමිතාව කුළුගැන් වූ දේශනා ය. ජාතක පොත දසපාරමිතාව ඇසුරු කළ මනහර සිද්ධීන් ගෙන් සැරසුන ග්රන්ථයකි. එහි ද විශේෂයෙන් තැනින් තැන සත්ය පාරමිතාව මතුකර දැක්වෙන ගාථා ද තිබේ.
වට්ටක ජාතකයෙහි එන
“සන්ති පක්ඛා අපතනා - සන්තිපාදා අවඤ්චනා මාතා පිතා ච නික්ඛන්තා- ජාතවෙද පටික්කම”1
යන මේ ගාථාව ගිනි නිවීමේ මන්ත්රයක් මෙන් ද වැසි වැස්සවීමේ මන්ත්රයක් මෙන් ද අපේ සිංහලයෝ භාවිත කළහ. අභයගිරි දාගැබෙහි පසු කලක නිදන් කර තිබී සොයාගත් තඹ ලිපියක මේ ගාථාව ලියා තිබුණේ ය. එහි වූ තවත් විශේෂයක් නම් එය ලියා තිබුයේ නාගරාක්ෂරයෙන් වීම යි. එයින් පෙනී යන්නේ මහායාන ධර්මය මෙරට ව්යාප්තව ගියායින් පසුව මෙය ලියා ඇති බව යි. දැඳිගම කොටවෙහෙරේ ද මේ ගාථාව ම මෙසේ ලියා නිදන් කරවා තිබී සොයා ගන්නා ලදී. මේ ගාථාවෙහි මෙන් එබඳු ශක්තියක් ඇති ආරක්ෂක ගාථා තව කොතෙකුත් ජාතක පොතෙන් සොයාගත හැකි ය. ජාතක පොතට ඇති ඉමහත් ගෞරවය නිසා පසු කලෙක පුස්කොළ පොත් ලියූ ඇතැම් ලේඛකයන් “මේ ථූපවංස ජාතක පොත් වහන්සේ”, “බුත්සරණ ජාතක පොත් වහන්සේ” යයි ග්රන්ථයෙහි සඳහන් කර තිබෙනු අප විසින් දැක තිබේ. කෙසේ වෙතත් ජාතක පොතෙන් එදා සිංහල බෞද්ධයාගේ මානසික රෝග සමනය කිරීමෙහි ලා පිරිත් පොත මෙන් ම විශිෂ්ට සේවාවක් සිදුකර ඇත.
ජාතක පොත් වහන්සේටත් වඩා පිරුවානා පොත් වහන්සේට විශේෂ ගෞරවයක් බෞද්ධයන් විසින් දක්වන ලදී. එයට තවත් හේතුවක් නම් පිරුවානා පොත වැඩමවනු ලබන්නේ සධාතුක කරඬුවත් සමඟ වීමයි.
පිරුවානා පොත වැඩමවතොත් ධාතු කරඬුවත් වැඩම විය යුතු ය. රත්නත්රය වැඩම කරවීමට නම් මේ උතුම් වස්තූන් දෙක සමග මහා සංඝරත්නය ද වැඩ සිටිය යුතු ය. ගිහි ගෙයක නම් එය විශේෂ මණ්ඩපයක් තුළ වඩා හිඳුවිය යුතු ය. නිශ්ශංකමල්ල රජතුමන් පොළොන්නරුවේ නිශ්ශංක ලතා මණ්ඩපය කරවූයේ පිරිත් ඇසීමට ය. එහි ක්රමවත් භාවයක් ද ඇත. පිරිත දෙසිය යුත්තේ ද පස්පව් ගැනවත් සැලකිල්ලක් නැති ගිහි කම්කටොළුවලින් යුත් ගිහියා විසින් නොවේ. මෙයින් අදහස් කරන්නේ ගිහියා විසින් පිරිත් නො දෙසිය යුතුය යන්න නොවේ. තම තමන්ගේ ආරක්ෂාව සඳහාත් පිරිත් කියා ගැනීම නුසුදුසු නො වේ. එසේ ම එයට සුදුසු පරිසරයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීමත් චරිත ශුද්ධියත් අවශ්ය ය. “සද්ධාය තරති ඔඝං” ශ්රද්ධාවෙන් සියලු බාධා මග හරවා ගත හැකි ය. ආගමික සෑම ක්රියාවකට ම ශ්රද්ධාව මූලික වේ. විශේෂයෙන් ම පරිත්රාණ ධර්ම දේශනාවට මෙය අත්යවශ්ය ය. පිරිත් දේශනය මානසික ප්රතිකාරයකි. ප්රතිකාර කරන වෛද්යවරයා කෙරෙහි රෝගියා ගේ විශ්වාසය තැබීම රෝග සමනයට අතිශයින් ඉවහල් වන බව වෛද්ය ශාස්ත්රයෙහි ද ඉගැන්වෙන්නෙකි. පිරිතේ ගෞරවය රැකීම එහි ශක්තිය වර්ධනය කර ගැනීමට උපකාරී වේ. (ඒ පිළිබඳව මේ ග්රන්ථයේ පූර්විකාවේ දක්වා ඇත.) කෙලෙස් පිරුණු පුද්ගලයාට ධර්මයෙන් පිහිටක් නො ලද හැකි බව ධර්මයෙහි ම උගන්වා ඇත.
පිරිත
පරිත්ත යනු හාත්පසින් රැකවරණය ලබාදෙය යන අර්ථයි. බුද්ධ දේශිත කවර ධර්මයක් වුව ද සාරක්ෂිත ය. සිවලි මාතාවට මහා කරුණාවෙන් “සුවපත්වේවායි” ආශීර්වාද කළ පමණකින් සතියක් ගර්භ මූඪව සිටි ඇය දුකින් මිදී සුවපත් වූවා ය. මෙවන් දහමක් අතරින් මංගලාශීර්වාද, ගෘහාශීර්වාද හා රක්ෂණගෝපනාදිය පරමාර්ථ කොට බුද්ධ දේශිත විශේෂ ධර්ම සමූහය පෙර ඇදුරන් විසින් එකතුකර පරිත්ත නාමය යොදා චතුභාණවාර පාළිය නමින් ග්රන්ථයක් සකස් කරන ලදී. අපේ පිරිත් පොතට සතර බණවර ය යි නම් කළේ බෞද්ධ ශාස්ත්රීය පදනමක් යටතේ ය. එය මෙහි පෙන්වා දී තිබේ.
වේදයෙහි ප්රධාන වන්නේ ගායත්රී ඡන්දස යි. එයට අකුරු සයකී. පද සතරෙහි අකුරු සූවිස්සකි. බෞද්ධයන් ගේ ඡන්දස අකුරු අටෙන් යුත් අනුෂ්ටුප් ඡන්දස යි. එහි පාද සතරට අකුරු දෙතිසකි. මෙයට ග්රන්ථය යි ද කියත්. අපේ පිරිත් පොතේ ආරම්භක සරණාගමනයේ එක පදයකට බෞද්ධ ක්රමය අකුරු අටකි. එහි ඇත්තේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං - සංඝං - යනාදී වශයෙන් බැලුවිට ගායත්රියට අයත් අකුරු සූවිස්සකි. අකුරු සූවිස්ස ආනුභාව සම්පන්න යෙදුමකැ යි වෛදිකයෝ කියති. කෙසේ හෝ ඒ ලක්ෂණ අපේ සරණාගමනයේ තිබේ. නමො බුද්ධාය යන්න ද මෙවැන්නකි. එය පඤ්චාක්ෂර ස්තෝත්රයකි.
චතුභාණවාර පාළියේ තුන් සූත්රය ප්රධාන තැනක් ගනී. සියම්, බුරුම රටවල බහුල වශයෙන් ව්යවහාර වන්නේ මේ තුන් සූත්රය යි. එයිනුදු කරණීය මෙත්ත සූත්රයට විශේෂ ස්ථානයක් ඒ රටවල පමණක් නොව මේ රටේ ද හිමි වෙයි. මෙය පිරිතක් බව ද බුදුරජාණන් වහන්සේ විසින් ම වදාරා තිබේ. බුදුරජාණන් වහන්සේ ගෙන් කමටහන් ගෙන භාවනාව සඳහා භික්ෂු පිරිසක් වනගත වූහ. වනවාසි දෙවියෝ උන් වහන්සේලා ගේ ශීල තේජසින් සිය විමානයෙහි වසනු නො හැකිව ඒ භික්ෂූහු එතැනින් එලවා දමනු සඳහා විකාර වෙස් ගෙන බිය කළහ. බුදුරජාණන් වහන්සේ කරා පැමිණි ඒ භික්ෂූහු එපවත් බුදුරජාණන් වහන්සේට දැන්වූහ. උන්වහන්සේ ඔවුන්ට මේ මෙත් සූත්රය වදාරා මෙසේ ද පැවසූහ.
“ඉමං පරිත්තං උග්ගණ්හාථ, එතං මෙ පරිත්තඤ්ච කම්මට්ඨානං ච භවිස්සති” මේ පිරිත ඉගෙන ගන්න. මෙය ඔබට පිරිතක් ද කර්මස්ථානයක් ද වන්නේ ය” කියා යි. මේ අනුව මේ ආරක්ෂක දේශනාවට “පරිත්ත” යන්න බුදුරදුන් විසින් ම නම් කරනු ලැබූවකි. මේ සූත්රය ඇසීමෙන් දෙවියෝ මහත්සේ අවනත වූහ. පිදුහ. සත්කාර කළහ.
ගාථාවක් පාසා ආශීර්වාද කළ ශ්රේෂ්ඨ සූත්රය රතන සූත්රය යි ඒ ගැන කවර කථාද? මංගල සූත්රය පිරිත් පොතට ඇතුලත් වූයේ මක්නිසාද ? යනු ඇතැමුන් නගන ප්රශ්නයකි. බුදුරජාණන් වහන්සේ ගේ ශ්රී මුඛයෙන් ගාථාවක් පාසා “මංගලං” යයි කියැවුන මංගල්යාර්ථ ප්රකාශක සූත්රයකි. මංගල සූත්රය. එය දෙසූයේ දෙවියකුට ය. දෙවියකුට දෙසූ එකම සූත්රය මෙය නොවුණවත් මේ සූත්රය දෙසූ දිනට පසුදින බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ අමතා මේ ප්රවෘත වදාරා මෙසේ ද පැවසූ සේක.
“උග්ගණ්හාථ ආනන්ද, ඉමං මංගල පරිත්තං, උග්ගණ්හිත්වා වාචෙථ, භික්ඛූ’ති” ආනන්ද, මේ මංගල ක්රම ඉගැන්වූ සූත්රය ඉගෙන ගන්න. ඉගෙන ගෙන මෙය භික්ෂූන්ට උගන්වන්න. පාඩම් කර ගැනීමට සලස්වන්නැයි කීහ. මෙය වාවෝද්ගගත කළ යුතු මංගල පරියාය ධර්මයක් නිසා උභය ලෝකයට ම වැඩදායක ය. එබැවින් මෙය ආරක්ෂක මංගල්යාර්ථ සූචක සූත්රයකි. පිරිත් පොතෙහි එන සෑම සූත්රයකට ම මෙවැනි විග්රහයක් කළහැකි වුව ද ලිපියේ දීර්ඝත්වය සලකා මෙය තුන් සූත්රයට පමණක් සීමා කෙළෙමි.
පිරුවානා පොත් වහන්සේ
පිරුවානා හෙවත් පිරිවහනය යනු කටපාඩම් කිරීමයි. ලේඛනය කලාවක් ලෙස අභිවර්ධනයට පත්වීමට පෙර වාවෝද්ගගතව ධර්ම ශාස්ත්රය පවත්වා ගෙන ආ බව ප්රකට ය. ඉතා මෑතක් වන තුරු කටපාඩම් කළ දේ පාඩම් කීමේ පරිවයක් පිරිවෙන් අධ්යාපනයේ පැවැත්තේ ය. උස් හඬින් කියන නිසා මෙය මධුරස්වරයට ද හේතු විය. පිරිත කටපාඩම් කළ යුතුය. එසේ ම එය මධුරස්වරයෙන් වෘත්තානුකූලව හඬ නඟා කීම ද එයට ම අයත් ය. බුදුරජාණන් වහන්සේ මධුරස්වරය අගයමින් ඒ පිළිබඳ තනතුරක් ද ඇතිකළ අයුරු එතදග්ර පාළියෙහි දැක්වේ.
පිරුවානා පොත සම්පූර්ණයෙන් පාඩම් නො කළ හැකි වූවන් පැවිදි නො කරන ලෙස පැරණි කතිකාවත්හි නියමයක් විය. අභිධර්ම විශාරදයකු වූ පස්වන කසුප් රජතුමන් පිහිට වූ අභයගිරි සෙල්ලිපියෙහි ‘සතර බණවර පිරිසේ නො කළ වුන් පැවිදි නො කළ යුතු’ය යි නියෝග කර තිබුණේ ය. මේ නිසා ම චතුභාණවාර පාළිය පිරුවානා පොත යන නම ලැබීය. වෛදිකයන් ගේ මන්ත්ර සහ ධාරණී ස්මෘතියෙන් ම දැරිය යුතු ය යනු ඔවුන් ගේ පිළිගැනීම යි. එසේ නො වී නම් එයින් ලැබෙන ගුණය නිසියේ නො ලැබේ ලු.
පිරිත වුව ද ධාරණයෙන් දෙසත හොත් අවධානය එයට ම යෙදෙන නිසා එය වඩා යහපත් විය යුතුය.
රාහුල සංස්කරණය
පණ්ඩිත අත්තුඩාවේ ශ්රී රාහුල අනුනායක ස්ථවිරයන් වහන්සේ ගේ පිරුවානා පොත් වහන්සේ බොහෝ කරුණු අතින් සම්පූර්ණ ය. බණවර සතරට ඇතුළත් නොවූ වර්තමානයේ බහුතරය විසින් පිළිගත් පිරිත් සූත්ර රාශියක් ඇත. එයින් වැඩි ගණනක් ම මෙහි අන්තර්ගතව තිබීම පාඨකයන් ගේ මහත් භාග්යයකි.
මහාකාශ්යප මහ රහතුන් ප්රමුඛ රහතුන් වහන්සේ ගේ ප්රථම සංගායනාවේ ඇතුළත් වූයේ ධර්මය හා විනය යන කොටස් දෙක යි. පිරිත් සූත්ර නමින් පෞරාණික ආචාර්ය්යයන් වහන්සේලා විසින් සූත්ර සංඛ්යාවක් තෝරා ගන්නා ලද්දේ ඒ ධර්මයෙනි. එහෙත් ආරක්ෂක දේශනා වශයෙන් වෙන්කර ගත හැකි තවත් ගාථා රාශියක් ධර්මය තුළ පවතී. සියලු බුදුවරයන් ගේ ශ්රී මුඛයෙන් නිකුත් වී වදාළ “සබ්බපාපස්ස අකරණං” යනාදී බුද්ධානුශාසනය මහ බලැති ආරක්ෂක දේශනාවක් ලෙස බොහෝ දෙනා භාවිත කරන බව දනිමු. එය එසේම විය යුත්තකි.
ගද්යාත්මක ආටානාටිය වැනි සූත්ර ඉතා කෙටි පද්යයන්ට නැගූ පාරම්පරිකව භාවිත වන සූත්ර පද්ධතියක් ද ඇත. එය එසේ කර ඇත්තේ වාවෝද්ගහ කර ගැනීමේ පහසුවත් ඒවා නිතර භාවිත කළයුතු සූත්ර ලෙස සැලකූ නිසාත් ය. මේ සංස්කරණයේ ද “බෝජ්ඣංග සූත්ර” වැනි එවැනි පද්යාත්මක සූත්ර කීපයක් ඇතුළත් ව ඇත.
අප භාවිතා කරන ජයමංගල ගාථාවන්ට ස්යාම දේශීය භික්ෂූහු
“සුනක්ඛත්තං සුමංගලං” “පදක්ඛිණං කාය කම්මං” “සොඅත්ථ ලද්ධො සුඛිතො විරූළ්හෝ”
යනාදී ගාථා ද එක්කර නිතර භාවිත කරති. මහනුවර යුගයේ ලියැවුන පිරිත් සූත්ර අතර මේ ගාථා ද “ද්වාදස පරිත්ත” නමින් සද්ධර්මිෂ්ට පිරිත් සූත්ර දොළසක් ද භාවිතකොට අප රට ද පැවති බව දක්වා තිබේ. පිරිතෙහි දී ශ්රද්ධාව මූලික විය යුතු හෙයින් කවර බුද්ධ භාෂිතයක් වුවත් පිරිතක් කරගත හැකි ය. ආශීර්වාදාත්මක සූත්රයන්ට විශේෂ ස්ථානයක් ලැබේ.
මෙම සංස්කරණයෙහි උපග්රන්ථයෙහි iii කොටසෙහි දැක්වෙන පිරිත් ක්රම සම්පූර්ණයෙන් ස්ථවිර වාද නො වේ. යන්ත්ර මන්ත්ර විශ්වාසය බෞද්ධයන්ට පුහුණු වූයේ මහායානයේ බල පෑමෙනි. දිව්යාවදානයේ එන කලන මන්ත්රයක් බුද්ධ දේශනාව ලෙස දක්වා තිබේ.
ලලිත විස්තරයෙහි
බුදුරජාණන් වහන්සේ ත්රපුෂභල්ලික වෙළෙඳ දෙබෑයන්ට ආශීර්වාද කළ හැටි යාගස්වරූපයෙන් ශ්ලෝකවලින් විස්තර කර තිබේ. බෞද්ධයන් ගේ බෞද්ධ කමට හානි නොවන සේ පැරැණියන් සකස් කළ මේ බෞද්ධ ශාන්ති ක්රමවලින් බෞද්ධයා මේ ස්ථවිරවාදී බෞද්ධ කේන්ද්රය තුළ ම රඳවා රත්නත්රය කෙරෙහි ශ්රද්ධාව හා ගෞරවය වැඩෙන පරිදි මේ සෑම සූත්රයක් ම සකස් වී තිබීම නිසා මෙය බෞද්ධ ජනතාව ගේ අතට හැකිතාක් නිවැරදි ලෙසට දීමට කරන ලද මේ උත්සාහය අතිශයින් ම පැසසිය යුතුය. එය උභය ලෝකාර්ථ සමෘද්ධිය පිණිස වන්නේ ය.
ශාසනාලැකි, කඹුරුපිටියේ වනරතන ශ්රී රෝහණ පාර්ශ්වයේ මහා නායක ස්ථවිර. සිරි රතනජෝති පිරිවෙන ඌරාපොළ - තිහගොඩ.
පූර්විකාව
මානව සංහතිය සෑම කාර්යයක් ම සිදු කරනු ලබන්නේ ස්වකීය අභිලාශයන් මුදුන් පත් කර ගැනීමේ පරමාර්ථයෙනි. වේදනාවන් සමනය කර ගැනීමේ අභිප්රායෙනි. කෙබඳු නමකින් ඉදිරිපත් කළත් උත්තරීතර අර්ථකථනයක් ප්රකාශ කළත් සෑම ක්රියා පද්ධතියකම මානව නිර්මාණයක පිටුපස ක්රියාත්මක වන බලවේගය අරමුණ හා හැඟීම යන දෙක අර්ථවත් කර ගැනීම යි. ... [ඉතිරි කොටස නොගෙනි]