පාලි සාහිත්යය - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2012
- මුද්රිත වර්ෂය :
- 2012
- පිටු ගණන :
- 576
- බාගත කිරීම් ගණන :
- 9,641
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-25
- ගොනුවේ ප්රමාණය :
- 106 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාලි සාහිත්යය යනු අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්රමුඛතම ශාස්ත්රීය ග්රන්ථයකි. මුලින් භාග දෙකක් වශයෙන් පළවූ මෙම කෘතිය පසුව එක් පොතක් වශයෙන් සම්පූර්ණයෙන්ම මුද්රණය කොට ඇත. පාලි සාහිත්යය පිළිබඳ සිංහල බසින් ලියැවුණු සම්පූර්ණ විස්තරාත්මක අධ්යයනයක් නොතිබූ යුගයක විශ්වවිද්යාල සහ පිරිවෙන් විද්යාර්ථීන්ගේ ප්රයෝජනය උදෙසා මෙය සම්පාදනය කර තිබේ.
මෙහි ත්රිපිටක පාලි ග්රන්ථ, අටුවා, ටීකා, වංශකථා, ධර්ම සංග්රහ, ව්යාකරණ, කෝෂ ග්රන්ථ ආදී පාලි සාහිත්ය ඉතිහාසයේ සියලුම අංශයන් පිළිබඳව ඓතිහාසික හා සාහිත්යමය විමර්ශනයක් අඩංගු වේ.
මූලික මාතෘකා කිහිපයක්:
- පාලි භාෂාව සහ පරම්පරාවෙන් ගෙනා සැටි
- ත්රිපිටක පාළිය හා අටුවා ග්රන්ථ
- ටීකා සහ අනුටීකා සාහිත්යය
- පාලි ව්යාකරණ, කෝෂ සහ ඡන්දස් ග්රන්ථ
- ශාසනික හා ඓතිහාසික වංශකථා
හැඳින්වීම...
අම්බලම්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ අසමදායී පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත මහානායක මාහිමියන් වහන්සේ විසින් පාලි ග්රන්ථයන් ඒ ඒ කොටස්වලට බෙදා ක්රමානුකූලව විවේචනයට භාජනය කරමින් සම්පාදිතව මුද්රාපිත වූ “පාලිසාහිත්යය” නමැති ග්රන්ථයේ ප්රථම ද්විතීය භාග දෙක එක් පොතක් වශයෙන් මෙසේ මුද්රණය කරවීමට හේතු වූයේ පාඨකයින්ගේ පහසුව සඳහාය.
මෙරට අති දීර්ඝ කාලයක සිට අධ්යයන අධ්යාපනාදී කාර්ය විෂයෙහි පාලිභාෂාව ව්යවහාර ප්රාප්ත වූයේ නමුත් එම භාෂාවෙන් ලියැවී ඇති විවිධ ග්රන්ථ සමූහය පිළිබඳ තත්ත්ව නිරූපණය කරන මොනම ග්රන්ථයක්වත් මීට ප්රථම සම්පාදනය නොවීම මහත් පාඩුවක්ව පැවැත්තේය. සිංහල මාධ්යයෙන් විශ්ව විද්යාලයාධ්යාපනය ආරම්භ වූ පසුගිය කාලයෙහි එම පාඩුව ඉතා තදින් දැනෙන්නට විය.
ඒ අතර පාලිභාෂා සාහිත්ය විෂයයෙහි අසහාය විශාරදයාණ කෙනෙකුන් වූ ද, පාලිභාෂාව ලෝපුරා පතළ කැරුම්හි සුවිශාල පරිශ්රමයක් දැරුවා වූ ද අසමදාචාර්ය්ය මාහිමියන් වහන්සේ විසින් භාග දෙකකින් යුක්ත කොට ලියා පළ කරවූ “පාලිසාහිත්යය” නම් වූ මෙම ග්රන්ථවංශය මෙරට උගතුන්ගේ මහත් සැළකිල්ලට භාජන වූයේය.
එම ග්රන්ථ භාග දෙක්හි පිටපත් ඉක්මනින් අවසානවී ගිය හෙයින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මෙසේ මේ ග්රන්ථය මුද්රණය කිරීමේ කාර්ය කොළඹ “සීමාසහිත ස්වභාෂා ප්රකාශකයෝ” සමාගම වෙත මා විසින් පවරන ලදී. ග්රන්ථ භාග දෙක එක්කොට මුද්රණය කරවීම හැර පොත පිළිබඳ කිසිදු වෙනසක් නො කෙළෙමි.
මීට, අම්බලම්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපති ගිංතොට අනෝමදස්සී ස්ථවිර 1966-8-25
අම්බලම්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපති ගිංතොට අනෝමදස්සී ස්ථවිර, 1966-8-25
පෙරවදන
පාලිසාහිත්යයේ සංග්රහග්රන්ථ, වංශකථා, බුද්ධචරිත, ධර්මසංග්රහ, ව්යාකරණ පොත්, කෝෂ ග්රන්ථ, ඡන්දොලංකාර, සන්දේශකථා යන මේවායේ විස්තර ඇතුළත් වේ. ඉංග්රීසි පාලිසාහිත්ය ග්රන්ථවල ඇතුළත් නොවූ බොහෝ කරුණු හා පොත්වල විස්තර මෙහි ඇතුළත්ව ඇත. මේ පොත සම්පාදනය කිරීමෙන් අවුරුදු පණසක් මුළුල්ලේ මා පාලි සාහිත්යයට කළ සේවය මස්තකප්රාප්ත විය. මේ සාහිත්යයට මා කළ සේවය කුමක් දැයි මෙහි දැන්වීම යෝග්ය යයි සිතමි.
ක්රි: ව: 1908 දී බුරුම බසින් පාලි ඉගෙනීම සඳහා සම්පාදිත වූ පාළිභාසප්පවෙසිනිය රන්ගුන් නගරයෙහි දී පළකරවන ලදී. ඒ වර්ෂයේ දී ම පාළිනිඝණ්ඩුච බුරුම ඉංග්රීසි අර්ථ සහිතකොට එහි පළ කෙරෙව්වෙමි. එහි මුද්රිත රෝයල් පිටු 335 ක් විය. ඒ වර්ෂයේ දී ම බුද්ධඝොෂාචාර්ය්යයන්ගේ චරිතය වූ බුද්ධඝොසුප්පත්ති නමැති පාලිපොත බුරුම සන්නය සමග පළ කෙරෙව්වෙමි.
1911 හේ දී බුරුම බසින් සිංහලට නැඟූ “අභිධර්ම මාතෘකා-ස්වරූපය” මෙහි දී පළකෙරෙව්වෙමි. 1912 දී “පාළිභාසප්පවෙසිනිය” සිංහලතේරුම් සමග පළකෙරෙව්වෙමි. 1914 දී සම්පූර්ණ විසුද්ධිමාර්ගය මා විසින් සංශෝධනය කරන ලදින් පළමුවරට ලක්දිව පළවිය. එහි ඩිමයි අටේ පිටු 562 ක් විය.
1923 දී අද මෙරට ශිෂ්යයන්ට මහත් ආශීර්වාදයක්ව පවත්නා පාලිභාෂාවතරණයේ ප්රථම කොටස ලියා පළකරවන ලදී. 1924 දී රාමඤ්ඤරට හංසාවතීනුවර තිබෙන “කල්යාණිගල්ලිපිය” සිංහලානුවාදයක් සමග පළකෙරෙව්වෙමි. 1925 දී පාලිභාෂාවතරණයේ දෙවෙනි කොටස පළ විය. 1926 දී පාලිපාඨාවලි නමැති පාලි පාඩම් පොත ද 1928 දී පාලි-සිංහල-ඉංග්රීසි තුනෙන් යුත් ත්රිභාෂාරත්නාකරය ද පළකරන ලදහ. 1929 දී රෝයල් පිටු 480 ක් ඇති අපදානපාලිය ශුද්ධකොට මුද්රණයට පමුණුවන ලදී.
1930 දී “පාලිභාෂාවතරණයේ” තෙවෙනි පොත පළවිය. 1933 දී පාළිවාක්යවිවේචනය සම්පාදිත විය. 1947 දී “පාලිවාක්යරචනාව හා පරිවර්තනපරිචය” පළවිය. 1948 දී පඨමපාඨාවලි නමැති පහළ පාඩම් පොත පළවිය. 1950 දී පිටු 568 ක් ඇති පාලි-සිංහල ශබ්දකෝෂය සම්පාදිත වූයේ ඇම්. ඩී. ගුණසේන සමාගම විසින් පළකරන ලදී. 1952 දී විනයවිනිශ්චය හා උත්තරවිනිශ්චය ශුද්ධකොට දෙන ලදින් අම්බලම්ගොඩ ආනන්ද පොත් සමාගම විසින් පළකරවන ලදී. 1953 දී ත්රිපිටකයේ තිබෙන සියලු සූත්රනාමාදිය ඇතුළත් ත්රිපිටකසූචිය සම්පාදනය කෙළෙමි. 1954 දී අභිධම්මාවතාර නාමරූප පරිච්ඡේද පොත් දෙක සංස්කරණය කොට සිංහල අකුරෙන් පළකෙරෙව්වෙමි.
ධම්මපදට්ඨකථා සම්පූර්ණ පොත ශුද්ධකොට සකස් කොට දෙන ලදින් ඇම්. ඩී. ගුණසේන සහ සමාගම විසින් 1956 දී පළකරන ලදී. පිටු 876 කි. සියම් රටට ගොස් සොයාගෙනා ජිනකාලමාලී නමැති ඓතිහාසික පාලි ග්රන්ථය සිංහලානුවාදයක් සමග සිංහල අකුරෙන් ලියාදෙන ලදින් 1957 දී ලංකාබෞද්ධ මණ්ඩලය විසින් පළකරන ලදී.
ඉංග්රීසි අකුරෙන් එංගලන්තයේ පළකරවූ පාලිපොත්වල විස්තරය මෙසේයි:- 1914 දී අනුරුද්ධාචාර්ය්යයන්ගේ නාමරූප පරිච්ඡේදය, 1915 දී බුද්ධදත්තාචාර්ය්යයන්ගේ අභිධම්මාවතාරය හා රූපාරූප විභාගය, 1923 දී සම්මොහවිනෝදනී විභංග අටුවාව; පිටු 550යි. 1927 දී “විනයවිනිශ්චය” හා “උත්තර විනිශ්චය” පිටු 372 යි. 1931 දී මුද්රණයට පටන්ගත් නිද්දෙස අටුවාව කොටස් තුනකින් 1940 දී අවසන් විය. සියල්ලේ පිටු ගණන 646 කි. මොහවිච්ඡේදනී නමැති අභිධම්මමාතිකා අටුවාව දැන් මුද්රණය සඳහා එහි යවා තිබේ.
පාලි ඉගෙනීමට උපකාරවෙන ඉංග්රීසියෙන් පළකරවූ පොත්වල විස්තර මෙසේයි:- New Pali Course 1 වෙනි පොත 1937 දීද එම 2 වෙනි පොත 1938 දීද Higher Pali Course පොත 1951 දීද පළවූහ. 1951 දීම Aids to Pali Conversation and Translation නමැති පොත ද ඉංග්රීසි අනුවාදය සහිත සම්පූර්ණ ධම්මපදය ද පළවූහ.
සංක්ෂිප්ත පාලි-ඉංග්රීසි ශබ්දකෝෂය 1949 දී පළවිය. දෙවෙනිවර අභිවෘද්ධියට පැමිණවු එය 1957 දී පළ විය. ඩිමයි පිටු 588 ක් ඇති ඉංග්රීසි - පාලි ශබ්දකෝෂය එංගලන්තයේ පාලිපොත් සමාගම විසින් 1955 දී පළකරවන ලදී.
මෙසේ පාලිභාෂාව ලොව පැතිරයාමට උපකාරවෙන පොත් රාශියක් සම්පාදනය කළ මා විසින් පාලි සාහිත්යය පිළිබඳ විස්තරයක් සම්පාදනය කරන්ට ලැබීම ප්රීතියට කාරණයකි. මෙය සම්පාදනය කරවීමට හා පළකරවීමට උත්සාහවත් වූ ඊ. පී. කේ. ද වාස් පාඨශාලාචාර්ය්ය මහතාට ද මේ සඳහා පුස්කොළපොත් බලන්ට දුන් සෑම පින්වතුන්ට ද මාගේ ස්තුතිය හිමිවේ.
මෙහි 315 වෙනි පිටුවේ කියවෙන අභිධම්මත්ථවිකාසිනී නමැති අභිධම්මාවතාර ටීකාව දැන් මුද්රිතව තිබේ. එහි ප්රමාණය ඩිමයි පිටු 464 කි.
ප්රථමභාගයේ 263 වෙනි පිටෙහි නම කියවුණු රාජාධිරාජවිලාසිනී නමැති පොත කිසි රටක කිසි විටක පළනොවූවකි. කිසි විටෙකත් එය සිංහල අකුරෙන් පිටපත් නොකරන ලදී. ලක්දිව අමරපුරනිකායේ ශාඛා සියල්ලේ මූලික තෙරවරුන්ට උපසම්පදාව දීමේදී උපාධ්යායධුරය දැරූ ඤාණාභිවංස සංඝරාජයන් වහන්සේ ලියූ මේ පොත කොස්ගොඩ බෝගහපිටියේ විහාරස්ථානයෙහි ඇති බව දැනගත් මම ඒ විහාරාධිපති සුමංගල නායකස්ථවිරතුමාට දන්වා යැවූවිට ඒ ස්ථවිරතුමාම පොත ගෙනැවිත් මට බාරදුන්නේය. ඉන්පසු මම බුරුමපුස්කොළ පොතක් වූ එය සිංහල අකුරෙන් ලිව්වෙමි. මේ පොතෙහි එකල බුරුමරටේ රාජ්යය කළාවූද ලක්දිවින් ගිය පිරිස්වලට නොයෙක් ආදර සැලකිලි දක්වා උපසම්පදාව ලබාදුන්නාවූද මහාධම්මික මහරජුගේ ජීවිත කථාවත් ඒ රජුට ලැබීසිටි සුදුඇතුන්ගේ හා ඡද්දන්තඇතරජුගේ ප්රවෘත්තිත් විස්තර ලෙස දක්වන ලදහ. ඇතුන් පිළිබඳව පාලිපොත්වල තිබෙන සියලු කරුණු එහි ඇතුළත් වෙති. ඒ ඇතරජුගේ ආභරණ සඳහා පමණක් රුපියල් විසිදෙලක්ෂයක් වියදම් කළබව එහි දැක්වේ. මේ පොතේ තවත් පිටපතක් වැලිතර අඹගහපිටියේ විහාර ස්ථානයෙහි ද ඇති බව පෙනේ. මෙය සම්පාදිත වූයේ බුද්ධ වර්ෂ 2350 පමණේ දීය.
සියමේ චූළාලංකාර මහරජුගේ පියරජ වූ - ඉන් පෙර වජිරඤාණ සංඝරාජ නමින් ප්රකටව සිටි - මහතෙරුන් විසින් සම්පාදිතව ලක්දිව තෙරවරුන් වෙත එවූ සුගතවිදත්ථිවිධානය නමැති පොත කල්යාණිවංසනිකායේ මහා නායකධුරය දැරූ සංස්කෘතටීකාචාර්ය ශ්රී සීලස්කන්ධ මාහිමියන් විසින් සිංහල සන්නයක් සමග පළකරවන ලද නමුත් ඒ පොතේ පිටපත් දැන් සොයාගත නොහැකි බැවින් මා විසින් ඒ මුද්රිතපොත තිබෙන තැනකින් ඉල්වා ගෙන පිටපත්කරවන ලදී. “සුගතවිදත්ථිය” නමැති විනයපිටකයේ කියවෙන මිම්ම ගැන විස්තර කරන මේ පොත ඉතා ප්රයෝජනවත් එකකි. මෙය බුද්ධවර්ෂ 2388 දී සම්පාදිතයි.
ව්යාකරණ පොත් අතරෙහි ඇතුළත් වියයුතු සුධීරමුඛ-මණ්ඩනය නමැති පොත මට දකින්ට ලැබුණේ මේ නොබෝදාය. වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ ශිෂ්යවූ අත්තරගම රාජගුරුබණ්ඩාර පඬිතුමන් විසින් සංස්කෘත බසින් පාලියට නගන ලද මෙය මුද්රිත පිටු 39 කින් යුත් කුඩා පොතක් වුවත් ශබ්දයන්ගේ පදසිද්ධි ධාතු සහිත කොට දක්වා තිබෙන බැවින් ප්රයෝජනවත් පොතකි. මෙය ක්රි: ව: 1885 දී සී. ඒ. සිල්වා නමැත්තෙකු විසින් මුද්රණයකරවා තිබේ. අග ගාථා මෙසේයි:- 1. “යද ස කිත්තිසිරිරාජසීහො සද සමාපජ්ජ පුරම්හිමස්මිං තද සුසෙඛණ්ඩසිලානිධානෙ උදාරරාජත්තමයං විරාජෙ, 2. පුරා සකක්කතභාසාය ධීතමත්ථාය තං සතං සමාසචක්කං විහිතං සුධීරමුඛමණ්ඩනං 3. භණ්ඩාගාරාජගුරුනා අත්තරග්ගාමවාසිනා තථෙව පරිවත්ෙතත්වා පාළියා නිහිතං මයා”
පිටු 723 ක් ඇති ඌනපූරණ සහිත පාලිමහාවංශය මා විසින් ශුද්ධකොට දෙන ලදින් කොළඹ ඇම්. ඩී. ගුණසේන සමාගම විසින් 1959 යේදී පළකරන ලදී.
මීට, පොල්වත්තේ බුද්ධදත්ත කල්යාණිවංසනිකායේ මහානායක ස්ථවිර. 15.1.1962 අග්ගාරාමය, අම්බලම්ගොඩ.
මීට,
පොල්වත්තේ බුද්ධදත්ත
කල්යාණිවංසනිකායේ
මහානායක ස්ථවිර.
15.1.1962
අග්ගාරාමය,
අම්බලම්ගොඩ.
නව මුද්රණයට වචනයක් .....
අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ ශ්රී කල්යාණිවංස නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත මහාචාර්ය්ය අතිගරු පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද ග්රන්ථ යළිත් මුද්රණය කරවා පළ කිරීමට කටයුතු සූදානම් කර ඇත. දැනට ග්රන්ථ කීපයක් එළි දක්වා ඇති අතර පාලි සාහිත්යය 1-2 ග්රන්ථ මුද්රණය කරවීමට ලැබීම ප්රීතියට කරුණකි.
ලාභාපේක්ෂාවෙන් තොරව ශාසනික සංග්රහයක් ලෙස මෙම පොත මුද්රණය කිරීමට රත්න පොත් ප්රකාශන ආයතනය මගින් භාර ගැනීම පැසසිය යුතු කරුණකි. මේ සම්බන්ධයෙන් අපගේ කෘතඥතාව රත්න පොත් ප්රකාශක ආයතනයේ අධිපතිණි මල්කාන්ති ගුණරත්න මැතිණියටත් සෙසු කාර්ය මණ්ඩලයටත් අපගේ ස්තුතිය පුදකර සිටිමි.
මෙයට, සසුන් ලැදි ශාස්ත්රවේදී නින්දානේ වජිරඤාණ මහා ස්ථවිර අග්ගාරාමය, පොල්වත්ත, අම්බලන්ගොඩ 2002.10.12
මෙයට,
සසුන් ලැදි
ශාස්ත්රවේදී නින්දානේ වජිරඤාණ මහා ස්ථවිර
අග්ගාරාමය
පොල්වත්ත
අම්බලන්ගොඩ
2002.10.12