පද්යාවබෝධිනී - සමන්තකූට වණ්ණනා ව්යාඛ්යා.pdf
- කතෘ :
- රැකවහේණේ චන්ද්රජෝති හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1941
- මුද්රිත වර්ෂය :
- 1941
- පිටු ගණන :
- 136
- බාගත කිරීම් ගණන :
- 1,481
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්රමාණය :
- 33 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පද්යාවබෝධිනී සමන්තකූට වණ්ණනා ව්යාඛ්යාව (ප්රථම භාගය) යනු දඹදෙණි යුගයේ වැඩවිසූ වේදෙහි හිමියන් විසින් රචිත සුප්රසිද්ධ ‘සමන්තකූට වණ්ණනා’ නම් පාලි කාව්ය ග්රන්ථයට සම්පාදනය කරන ලද සවිස්තරාත්මක සිංහල ව්යාඛ්යානයකි. ගාල්ලේ විද්යාලෝක පිරිවෙන්හි අධ්යාපනය ලබමින් සිටි රැකවහේණේ චන්ද්රජෝති ස්වාමීන් වහන්සේ විසින් මෙය සම්පාදනය කර ඇත.
සමන්තකූට වණ්ණනා කාව්යය බුද්ධ චරිතය, ලංකා ගමනය සහ සමනොළ ගල සිරිපා සටහන් පිහිටුවීම වර්ණනා කරන උසස් පාලි පද්ය කාව්යයකි. මෙම ව්යාඛ්යානයෙහි ගාථාවල අන්වය, පදගති, භාවාර්ථය සහ දීර්ඝ පරිකථා විවරණ ඇතුළත් කොට ආධුනික ශිෂ්යයන්ට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි සකස් කර තිබේ. මෙහි ප්රථම භාගයෙහි ගාථා 1 සිට 120 දක්වා විස්තර විභාග අඩංගු වේ.
විද්යාලෝක පරිවේණාධිපති වැලිවිටියේ ශ්රී පුඤ්ඤසාර නායක මාහිමියන්ගේ අනුශාසනා පරිදි සම්පාදිත මෙම කෘතිය, අම්පේගම කේ. ඇල්. ජී. චාර්ලිස් අප්පුහාමි වෙල් විදානේ මහතාගේ ප්රකාශනයෙන් කොළඹ චන්ද්රසේන මුද්රණාලයෙහි බු.ව. 2485 (ක්රි.ව. 1941) දී මුද්රණය කරවා ඇත.
සංඥාපනය.
i සංඥා. “සමන්තකූට වණ්ණනා” යනු මේ ග්රන්ථයාගේ සංඥාවයි (=නාමයයි.) තථාගතයන් වහන්සේගේ විචිත්රාපදානය හා උන් වහන්සේගේ ලංකා ගමන ප්රවෘත්තිත් ද ඇතුළු වූ අන්ය වූ ද නොයෙක් කරුණුවලින් මේ ග්රන්ථය සම්ලඞ්කෘත ය. එහෙත් සමන්තකූට පර්වත වර්ණනය ම ග්රන්ථ කර්තෲන්ගේ මුඛ්යාධ්යාශය වූ හෙයින් මෙයට සමන්තකූට වණ්ණනා යන නාමය අන්වර්ත්ථ ය.
ii. නිමිත්ත. ආරණ්යවාසී රාහුල නම් ස්ථවිර කෙනෙකුන් විසින් සමාරාධිතව ග්රන්ථ කර්තෲන් විසින් මෙය රචිත හෙයින් බාහිර නිමිත්ත වනුයේ එම රාහුල ස්ථවිර තෙමේ යි. කියන ලද මැයි; සමන්තකූට වණ්ණනා නිගමනයෙහි :- “යො යාචිතො’රඤ්ඤවාසී-ගුණාධාර සුධීමතා, රාහුලත්ථෙර නාමෙන-විස්සුතෙන මහීතලෙ.=” (යමෙක් තෙමේ වනවාසී වූ යහපත් ගුණයන්ට ආධාර වූ සුන්දර ප්රඥාතිශය ඇති මහීතලෙහි ප්රසිද්ධ වූ රාහුල ස්ථවිරයන් විසින් ආරාධනය කරණ ලද්දේද) යනු යි.
“සම්බුද්ධ චරිතය ඇතුළු ආගමික පක්ෂයෙහි වූ කරුණු රාශියක් රස බසින් වර්ණනා කිරීමෙන් පාලිභාෂාභිලාෂී ආධුනිකයන්ට හා බෞද්ධයන්ට ද මහත් සෙතක් සලසන්නේම යි” යන ග්රන්ථ කර්තෲන් තුළ පැවති සම්යක් කල්පනාව අභ්යන්තර නිමිත්ත වශයෙන් සැලකිය යුතුයි.
iii. කර්තෲ: මේ ග්රන්ථයෙහි කර්තෘවරයා වනාහි නානා භාෂා ශාස්ත්ර ප්රවීණ කවිකුල තිලකායමාන වූ බ්රාහ්මණ වංශොද්භූත ශ්රීමද් වෙදෙහ මහා ස්වාමීන්ද්රයන් වහන්සේ ය. මුන්වහන්සේ ආරණ්ය වාසී ආනන්ද වනරතනාභිධාන මහා ස්ථවිර පාදයන් වහන්සේගේ ශිෂ්යවරයෙකි. එහෙයින් කියන ලදි:- “භුවනොදරමි පඤ්ඤාතො-රවිවම්බර මණ්ඩලෙ අරඤ්ඤරතනානන්ද-මහාථෙරො මහා ගණී. ජීවිතං විය යො සත්ථු-සාසනස්ස මහාකවී සාරො සුපටිපත්තීසු-සත්ථසාගරපාරගො. තස්ස සිස්සො සි යො විජ්ජා-ගාම වංසෙකකෙතුකො ඤාතාගමො රඤ්ඤවාසී-සීලාදිගුණභූසනො.”
(මහත් ගණයා ඇත්තා වූ යම් වනරතන ආනන්දාභිධාන මහාස්ථවිරයන් වහන්සේ කෙනෙක් අහසෙහි හිරු මෙන් ලොව ප්රසිද්ධද, ශාස්තෘ ශාසනයාගේ ජීවිතෙන්ද්රිය බඳුද, මහා පණ්ඩිතද, මනා පිළිවෙත්හි සාර ද, ශාස්ත්රාර්ථයන්ගේ පාරප්රාප්ත ද- උන් වහන්සේගේ ශිෂ්ය වූ බ්රාහ්මණ වංශයට අසහාය ධ්වජයක් බඳු වූ දන්නාලද ආගම ශාස්ත්ර ඇති වන වාසී වූ සීලාදි සද්ගුණය ම ආභරණ කොට ඇති යමෙක් වී ද.)
ආනන්ද වනරතනාභිධාන මහාස්ථවිර පාදයන් වහන්සේ තත්කාලීන සර්ව සමාජයෙහි ප්රමුඛ ස්ථානයක් දැරූ ශ්රෙෂ්ඨ පණ්ඩිතයෙකු බැව් ප්රමොක්ත ගාථාවලින් හැඟේ. මුන් වහන්සේගෙන් ධර්ම ශාස්ත්රය උගත් ශිෂ්යයෝ බොහෝ දෙනෙක් වූහ. ඔවුන්තුරෙන් “පද්යමධු” නම් ප්රශස්ත මාගධී පද්ය කාව්යය හා “මොග්ගල්ලාන පඤ්චිකාපදීපය” නම් පාලි ව්යාකරණ ග්රන්ථය රචනා කළ බුද්ධප්පිය මහා ස්වාමීන්ද්රයන් ද “සම්බන්ධ චින්තා සන්නැ” කර්තෘ වූ ගොතම ස්වාමිපාදයන් ද උන්වහන්සේ ගේ ශිෂ්යයන් බැව් ඒ ඒ ග්රන්ථාවසානයන්හි දක්වන ලදී. මෙසේ වෙදෙහ-බුද්ධප්පිය-ගොතම යන මුන්වහන්සේලා අභිධර්මමූලටීකා කර්තෲ වූ වනරතන ආනන්දාභිධාන මහා ස්ථවිර පාදයන් වහන්සේගේ ශිෂ්යයන් බවත්, සමකාලීන පණ්ඩිතවරයන් බවත් කිව යුතුය. ගුරුතැන් පත් වූ ආනන්ද වනරතන මහාස්ථවිරයන් වහන්සේ මෙන් ම සමන්තකූටවර්ණනා කර්තෘ වූ වෙදෙහ මහා ස්වාමීන්ද්රයන් වහන්සේ ද සිංහල-පාලි-සංස්කෘතා දී භාෂාන්තරයන්හි ගම්භීර ඥානයකින් යුක්ත ව වැජඹුණු උතුමෙකුබවට උන්වහන්සේගේ කෘතීහුම සාක්ෂ්ය දරත්. මුන්වහන්සේ ලක්දිව ශාස්ත්රාභිවෘද්ධිය සිද්ධ කරණු සඳහා විදේශයකින් පැමිණි උතුමෙකු බැව් ග්රන්ථ නිගමනයෙහි ප්රකාශිත කරුණුවලින් ස්ඵුට වේ. ඊට හේතුව නම්:-
ලංකාවේ සියලුම සතුරු උවදුරු මුලිනුපුටා ලක් රජය එක සේසත් කොට දේශාන්තරයන්හි පවා ස්වකීය කීර්තිය පැතිර වූ පෙර කිසි කලෙක නොවූ විරූ උසස් ම දියුණුවක් ඇති කොට සිංහල අධිරාජ්යයක් ගොඩනැංවූ පළමුවන පරාක්රමබාහු මහ රජතුමා ගෙන් පසුව ලක් රජය ක්රමයෙන් පිරිහෙන්නට පටන් ගත්තේය. විදේශයන්ගෙන් පැමිණි සතුරු රජවරුන්ගේ දරුණු ක්රියාවලින් ශාසනය හා ජාතිය ද භාෂාශාස්ත්ර ද විනාශයට පත්වූහ.
කාලිංග විජයබාහු නමින් එක් විසිවසක් පමණ ලක් රජය කළ මාඝ රජහු විසින් ශාසනය හා භාෂා ශාස්ත්රයන් ද කෙතරම් දරුණු ලෙස විනාශ කරණ ලද ද යත හොත්, ඕජස් උරා රක්කසන් සෙයින් අතිශය නිර්දය ලෙස සියල්ලම විනාශ කරණ ලද්දැයි මහා වංශයෙහි සඳහන් වේ. මේ රජුගේ කාලයේ ඇති වූ ශාස්ත්ර පරිහානිය යළිදු ප්රකෘතිස්ථානයට පමුණුවා ක්රියා කිරීමට දඹදෙණියේ රජකළ තුන්වන විජයබාහු රජතුමා විසින් මහත් පරිශ්රමයක් දරණලදී. එහෙත් අභාග්යයකට මෙන් රජ පැමිණි ස්වල්ප කාලයකින් ම එතුමා පරලෝකප්රාප්ත වූයෙන් බලාපොරොත්තු වූ පරිදි ක්රියා කිරීමට අවස්ථාවක් නො ලැබින. එහෙත් එතුමාගේ පුත්ර වූ ද්විතීය පරාක්රමබාහු රජතුමා ද්රවිඩයන්ගේ කෲර හස්තයෙන් විනාශ වූ ආගම හා ජාතිය ද භාෂා ශාස්ත්ර ද දියුණු කිරීමට වහා වහා ක්රියාරම්භ කෙළේය. එතුමා බලාපොරොත්තු වූ භාෂා ශාස්ත්රාභිවෘද්ධියට බලවත් බාධාවක්ව පැවැත්තේ ශාස්ත්රාන්තර ප්රවීණ පණ්ඩිතවරයන් එවකට ලංකාවේ නොමැති වීම ය. මේ බැව් සැලකූ පැරකුම්බා රජතුමා විදේශයන් කරා දූතයන් යවා ශාස්ත්රාගමයන්හි බුද්ධිමත් මහා පණ්ඩිතවරයන් බොහෝ දෙනෙකුන් මෙහි ගෙන්වා මහත් සත්කාර කොට මාඝයාගෙන් විනාශවූ ශාස්ත්රීය කටයුතු දියුණු කරලීමට කටයුතු සැලැස්වීය. තඹ රට ආදී විදේශයන්ගෙන් මෙහි වැඩම වූ ධම්මකීර්ති මහා ස්ථවිරයන් වහන්සේ ආදී පණ්ඩිතවරු මෙහි ශාසනයේ හා භාෂාවේ දියුණුවට අධික පරිශ්රමයෙන් ක්රියා කළහ. වෙදෙහ මහා ස්ථවිරයන් වහන්සේ ද ද්විතීය පරාක්රමබාහු රජතුමාගේ ශාසනික ක්රියාවන්ට උපකාරී වීම සඳහා විදේශයකින් පැමිණි උතුමකු විය යුතුයි. මේ කාලය නොයෙක් විදේශවලින් පැමිණි පණ්ඩිතවරයන්ගෙන් හා ස්වදේශීය ප්රවීණ පණ්ඩිතවරයන් ගෙන් ද බබලින. එසේම උන්වහන්සේලා විසින් ලියනලද ග්රන්ථයන්ගේ සංඛ්යාව ද විශාලය. එහෙයින් කීහ:-
* “එසේම එකශ්රැතිග්රාහීත් ත්රෛකාලඥයෙසු ග්රන්ථ ධාරණයට සමර්ත්ථවූ ව්යුත්පන්න ඇති ශාරිපුත්ර මහාස්ථවිරයන් වහන්සේගේ පටන් සංඝරක්ඛිත සුමෙධඞ්කර වාගීශ්වර ධර්මකීර්තිතිස්ස නාගසේන ආනන්ද වෙදෙහ බුද්ධප්රිය අනවමදර්ශී යනාදී මහාස්ථවිරවරයෝ නොයෙක් ටීකාවිස්තරා හා තත් ප්රවේශොපායවූ අනෙකප්රකාර ධර්ම ප්රබන්ධ හා සන්න ගැටපද පිටපත් ආදිය උපදවා බුදුන්ගේ පර්ය්යාප්ති ශාසනය බැබලවූහ.” යනු යි. * පණ්ඩිත වේරගොඩ අමරමෞලි ස්වාමින් වහන්සේගේ ශුද්ධියෙන් පළවූ පරිශිෂ්ට සංග්රහය සහිත නිකාය සංග්රහයෙහි 27 වෙනි පිට බලනු.
මෙතුමාගේ කාලය ශාස්ත්ර දියුණුව පිළිබඳ ස්වර්ණමය යුගය යි කිව යුතුයි. එයට ප්රධාන හේතුව නම් රජතුමා නොයෙක් ශාස්ත්රාන්තරයන්හි දක්ෂ වූ සමය සමයාන්තරයන්හි විශාරද මහා පණ්ඩිතයෙක් වීම ය. “කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත” යන උපාධි නාමයෙන් පමණක් නොව රචනා කරණ ලද වනවිනිස සන්නය-විශුද්ධිමාර්ග සන්නය-කව්සිළුමිණ යන කෘතීන් ගෙන් ද රජතුමාගේ පාණ්ඩීත්යය යස රඟට පැහැදිලි වේ.
ද්විතීය පරාක්රමබාහු රජතුමා රාජ්යශ්රියට පත් වූයේ මෙයින් අවුරුදු 670 කින් ප්රථමයෙහි නොහොත් ක්රි:ව: 1271 දීය. පරලෝකප්රාප්තිය වූයේ ක්රි:ව: 1306 යේ දීය. වෙදෙහ ස්වාමිපාදයන් වහන්සේ විසින් සමන්තකූට වර්ණනාව රචනා කරණ ලද්දේ ද මේ රජතුමාගේ රාජ්ය කාලය වූ මෙයින් යට 670 පටන් 635 දක්වා අතර කාලයකය යි කිව යුතුය.
වෙනත් කෘතීහු. සිංහල ශබ්ද ලක්ෂණය හා රසවාහිනිය ද මුන්වහන්සේ කළ අන්ය ග්රන්ථයෝ වෙත්. සිංහල ශබ්ද ලක්ෂණය නම් සිදත් සඟරාව යයි ඇතැම් කෙනෙක් කියති. එහෙත් සිදත් සඟරාව රචනා කරණ ලද්දේ පතිරාජ පරිවේණාධිපතීන් වහන්සේ විසිනි. වෙදෙහ ස්වාමීන් වහන්සේ ප්රතිරාජ පරිවේණාධිපතියෙක් නො වූ හෙයින් උන්වහන්සේ කළ ශබ්ද ලක්ෂණය සිදත් සඟරාව යයි කීම ප්රතිෂ්ඨා රහිතය. නිසැකයෙන්ම සිංහල ව්යාකරණය කැයි කිය යුතු මේ ග්රන්ථය නෂ්ට ප්රාය නොවේ නම් සිංහලයන්ගේ මහත් ප්රසාදයට භාජන වනු නිසැකය. වෙදෙහ ස්වාමි පාදයන්ගේ ප්රථම කෘතිය ද මේ සිංහල ශබ්ද ලක්ෂණ යයි. සමන්තකූට වර්ණනාව රචිත කාලයේදී සිංහල ශබ්ද ලක්ෂණය පමණක් ලියා තිබීම ඊට සාධකය. සමන්තකූට වර්ණනා නිගමනයෙහි:- “යො’කා සිහල භාසාය-සිහලං සද්ද ලක්ඛණං. තෙන වෙදෙහ ථෙරෙන-කතා’යං පිය සීලිනා.”
(යමෙක් සිංහල භාෂාවෙන් සිංහල ශබ්ද ලක්ෂණය කෙළේ ද ඒ වෙදෙහ ස්ථවිරයන් වහන්සේ විසින් මේ සමන්තකූට වර්ණනාව කරණලදී.) යනුයෙන් එය කියනලදී. මුන්වහන්සේගේ තුන්වැනි කෘතිය රසවාහිනිය යි. ඒ වනාහි අනුරාධපුර මහා විහාරායතන භූපනවංක පරිවෙණාධීශ්වර වූ රට්ඨපාල මහා ස්වාමීන්ද්රයන් සිංහල භාෂාවෙන් පැවති කථා වස්තුන් සංකලනය කොට පාලී භාෂාවෙන් ලියූ ග්රන්ථය පරිශොධනය කිරීමෙන් රචනා කරනලද ප්රබන්ධයකි. මෙය පසු කලෙක කාව්යශේඛර කර්තෘ ධර්මකීර්තිතිස්ස සංඝරාජයන් වහන්සේ විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරණ ලදුව සද්ධර්මාලංකාර නාමයෙන් අදත් බෞද්ධයන්ගේ ගෞරවයට පාත්ර වෙමින් පවතී.
iv. ප්රමාණය. මෙහි ගාථා වශයෙන් කර්තෘ සංදර්ශිත ගාථා අෂ්ටකය හැර ෂට් ෂණ්ණවුත්යධික සප්ත ශත (796) ගාථා එක තෙක් වෙති. පඨම මාර විජය කථා-දුතිය මාර විජය කථා ආදි වශයෙන් කොට්ඨාශ දෙවිස්සකින් ප්රතිමණ්ඩිත ය.
ග්රන්ථ තත්ත්වය: සමන්තකූට වර්ණනාව රචනා කරණ ලද්දේ තථාගතයන් වහන්සේගේ සිරිපා සටහන සමනොළ කන්දේ පිහිටුවීමේ ප්රවෘත්තිය හා සමන්තකූටපර්වත වර්ණනයත් කරණු සඳහා ය. ප්රමුඛ කාරණය මෙය වූවත් ප්රාසංගික වශයෙන් තථාගතාපදානය පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් ද ඇතුළු ලංකාවේ ඓතිහාසික ප්රවෘත්තීන් ද අතිශය චමත්කාර ලෙස මෙහි වර්ණනා කළහ. අතිශය මධුර පද ලාලිත්යයෙන් යුක්ත පද්යයන් ගෙන් රචිතවූ මේ ග්රන්ථය ශ්රොතෲන්ගේ මනඃ ප්රීණනය පිණිස පවත්නා බව කිව යුතුය. දාඨාවංස-ජිනචරිතා-ආදී උසස් පාලි පද්ය ග්රන්ථයන් අතර ද අග්රගණ්ය වූ මේ සමන්තකූට වර්ණනාව ප්රාක්තන සුධීවරයන්ගේ ගෞරවාදරයට පාත්රව සතතයෙන් පඨන පාඨනවශයෙන් පරිශීලිත ද වූවාය. සංස්කෘත භාෂාවේ මුහුකුණුවරට ආසන්නවූ පාලිභාෂාවෙන් මේ ග්රන්ථය විරචිතසේ පෙනේ. ප්රකීර්ණක පාලි ග්රන්ථයන් පිළිබඳ දක්නා ලැබෙන මේ ස්වභාවය මෙයට පමණක් සීමා වූවක් නොවේ. පාලී භාෂාවෙහි ශාස්ත්රාන්තරාදී රස පරිපොෂිත ගද්ය පද්ය ග්රන්ථයන් දුර්ලභ හේතුවෙන් රසවත් පාලි කාව්ය ග්රන්ථයෝ දුර්ලභහ. රසයෙන් පරිපොෂිතවූ ශ්රොතෲන්ගේ චිත්තානන්ද කර වූ පාලි කාව්ය රචනයට සංස්කෘත කවීන් අනුගමනය කටයුතු ම ය. බොහෝ සිංහල පණ්ඩිතවරුන් මෙන් ම පාලී පණ්ඩිතවරුන් ද මෙය බහුල වශයෙන් ම අනුගමනය කර තිබීම එයට සාධකය. පුර වර්ණනා-වන වර්ණනා ආදියෙන් සමුපලක්ෂිත මේ සමන්තකූට වර්ණනාව ප්රසාද මාධූර්ය්යාදී ගුණයන්ගෙන් පරිපොෂිත පද්යවලින් ද ගහන වූ මධුර මනෝහර රචනාවකි.
v. ප්රයෝජන. මේ ග්රන්ථය උද්ග්රහණ ධාරණාදි වශයෙන් පරිශීලනය කරණ කොට ගෙණ ආධුනික ජනතාවට පාලි භාෂා විෂයෙහි ප්රවීණත්වයක් ඇතිවීම ද, තථාගතාපදානාදි සාමයික ඓතිහාසික තොරතුරු රාශියක් දැනගැනීමෙන් ඇතිවන විපුලඵලය ද මෙහි මුඛ්ය ප්රයෝජනය වශයෙන් සැලකිය යුතුයි.
“අසමදීය ව්යාඛ්යානය.” සමන්තකූට වර්ණනාවට පෞරාණික ආචාර්ය්යවරයකු විසින් ලියූ සන්නයක් ද ඇත්තේ ය. එහෙත් ස්වර්ගස්ථ වී වදාළ විද්යොදය මහා විද්යාලයාධීශ්වර අතිගරු මහාගොඩ ශ්රී ඥානෙශ්වරාභිධාන නායක මාහිමියන් වහන්සේ හා ආචාර්ය්ය වලන්නේ ධම්මානන්දාභිධාන නායක මාහිමියානන් වහන්සේ විසින් ලියූ සන්නය විඥයන්ගේ ගෞරවයට පාත්ර වූවා පමණක් නොව ආධුනික ජනතාවගේ අභිමතාර්ථ සිද්ධියටත් උපකාරී වූ බැව් ගෞරවයෙන් සඳහන් කරම්හ. එහෙත් ආධුනිකයන් විසින් මහත් අභිලාෂයකින් පරිශීලනය කරණ මේ ග්රන්ථයට සුදුසු සවිස්තාර ව්යාඛ්යානයක් නොමැතිවීම බලවත් පාඩුවක් විය. මේ බැව් සැලකූ ගාල්ලේ විද්යාලොක පිරිවෙන්හි ධර්ම ශාස්ත්රොද්ග්රහණයෙහි නියුක්ත අපි අන්වය-පදගති-භාවාර්ථ-පරිකථා ආදියෙන් යුක්තවූ මේ පද්යාවබෝධිනී නම් විස්තාර ව්යාඛ්යානය ලියන්නට කල්පනා කෙළෙමු. එහෙත් ආධුනිකයෙකු වූ අපට මේ ග්රන්ථය ඉතා සූක්ෂම ලෙස ලියා මුද්රණය කරවන්නට සිදුවූ හෙයින් මෙහි සාවද්ය ස්ථාන ඇති විය හැක. එබඳු තැන්හිදී අපගේ ප්රයාසයෙහි සත්යගතිය තේරුම් ගන්නා සුධීවරයන් අප කෙරෙහි ක්ෂමාපරවශ විය යුතු බැව් ගෞරවයෙන් සඳහන් කරමු. මේ ග්රන්ථය රචනා කිරීමේදී සියලු උපදෙස් දීමෙන් හා පිළිගෙණ වදාරා ග්රන්ථගෞරවය රැක දීමෙන් ද අපට අනුග්රහ කළ අපගේ ආචාර්ය්ය වූ ගාල්ලේ විද්යාලොක පරිවේණාධීශ්වර වාගීශ්වරාචාර්ය්ය රාජකීය ප්රථම පණ්ඩිත අති ගරු වැලිවිටියේ ශ්රී පුඤ්ඤසාරාභිධාන දකුණු පළාතේ ප්රධාන අධිකරණ නායක මාහිමියන් වහන්සේට ද, මාගේ ප්රව්රජ්යාචාර්ය්ය පුවරගොඩ සුගතඥානාරාමය, මානාමිපිට ශ්රී ප්රියදර්ශනාරාමය යන උභය විහාරාධිපති ගෞරවාර්හ පූජ්යපාද අම්පේගම සිරි පියදස්ස්යාභිධාන මහා ස්ථවිර පාදයන් වහන්සේට ද, මේ ග්රන්ථය මුද්රණය කරවීමට ආධාරෝපකාරීවූ කේ. ඇල්. ජී. චාර්ලිස් අප්පුහාමි වෙල් විදානේ මහත්මයා ඇතුළු දායක මහතුන්ටද ශාන්ති මෝක්ෂ ප්රතිලාභය වේවා.
මේ ග්රන්ථය ඉතා ඉක්මනින් ශොභන ලෙසටත් මුද්රණය කරදුන් චන්ද්රසේන මුද්රණාලයෙහි ප්රධාන කාර්ය්ය සම්පාදක පීරිස්පෙරේරා අප්පුහාමි ඇතුළු කාර්ය්ය මණ්ඩලය ද අපගේ ප්රශංසාවට හිමි වේවා.
මීට ශාස්ත්රාභිවෘද්ධිකාමී, රැකවහේණෙ චන්ද්රජෝති.
2485.6.1 වැනි දින 1941 විද්යාලොක පිරිවෙණේ දීය.
සැලකිය යුතු යි. සම්පූර්ණ සමන්තකූට වර්ණනාවට ලියූ පරිකථා සහිත සවිස්තාර ව්යාඛ්යානය ළඟදීම ආධුනිකයන් අතට පැමිණවීමට කටයුතු කර ගෙණ යන හෙයින් සුද්ධිපත්ර-උපග්රන්ථ-විෂය සූචි ආදිය ප්රථම භාගයට නොයෙදූ බැව් සඳහන් කරමි.
රැකවහේණෙ චන්ද්රජෝති.
2485.6.1 වැනි දින
1941
විද්යාලොක පිරිවෙණේ දී ය.