පටිච්චසමුප්පාදය භාව සන්නය - ඇම් සී ද සිල්වා මහතා.pdf
- කතෘ :
- ඇම්. සී. ද සිල්වා
- ප්‍රකාශිත වර්ෂය :
- 1935
- මුද්‍රිත වර්ෂය :
- 1935
- පිටු ගණන :
- 94
- බාගත කිරීම් ගණන :
- 1,471
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 56 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පටිච්ච සමුප්පාදය (විස්තර භාවසන්න සහිතයි) යනු බුදුදහමේ මූලික හා ගැඹුරුතම දේශනාවක් වන පටිච්චසමුප්පාද ධර්මය පැහැදිලි කරමින් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථයකි. අම්බලන්ගොඩ රත්නගිරි නිවසේ විසූ ඇම්. සී. ද සිල්වා මහතා විසින් ධර්මවිනයධර ස්වාමීන් වහන්සේලාගේ (විශේෂයෙන් දෙල්දූවේ විවේකාරාමයේ වැඩවිසූ පඹුරුවේ බුද්ධදත්ත හිමියන්ගේ) ආධාර ඇතිව මෙය පිළියෙල කරවා ඇත.
පටිච්චසමුප්පාදයේ අනුලෝම-ප්‍රතිලෝම දේශනා ක්‍රම, පට්ඨාන ක්‍රමය, තබ්භාව-භාවීභාවාකාරය, දොළොස් අංගයන්ගේ සම්බන්ධතාව සහ අවිද්‍යාදී හේතු ප්‍රත්‍යයන්ගේ විභාගය මෙහි සවිස්තරාත්මකව හා භාවසන්න සහිතව විග්රහ කර තිබේ. විදේශීය භාෂාවලින් පවා මෙබඳු පොත් පළවී තිබුණද එකල සිංහල බෞද්ධයන් අතර මෙවැනි ගැඹුරු දහම් කරුණු විවරණය වන පොත්පත් දුර්ලභවීම මෙම කෘතිය සම්පාදනයට හේතු වූ බව සඳහන් වේ.
මෙම කෘතිය බුද්ධ වර්ෂ 2479 (ක්‍රි.ව. 1935) දී අම්බලන්ගොඩ වාස් යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරවන ලද්දකි.
සංඥාපනය.
සකලලොක ශිවංකර වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සුමෙධ තාපස කාලයෙහි දීපංකර සම්බුදුන් වහන්සේ වෙතින් අතට පත් නිවන් සැපත් හැරපියා, සකල සත්වෙන පතල මහා කරුණාවෙන් සසර සයුරට බැස සමතිස් පෙරුදම්පුරා තුසීපුර ඉපද සතරවරම් දෙවි මහරජ දරුවන් විසින් කරනලද ආරාධනාව පිළිගෙන පස්මහ බැලුම් බලා කිඹුල්වත්පුර සුදොවුන් මහ රජුන් නිසා මහාමායා දේවීන් කුස පිළිසිඳගෙන දසමසක් ඇවැමෙන් මව්කුසින් නික්ම එකුන්තිස්වසක් ගිහිගෙයි වැස මහබිනික්මන් කොට සයාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට පන්තිස්වන වර්ෂයෙහි වෙසක්මස පුණු පොහෝදින බෝමුල විදුරසුන් අරා වැඩහිඳ හිරු අස්තංගතවීමට පළමුව මාරබල විධවංසනය කොට ප්රථමයාමයෙහිද, මධ්යමයාමයෙහිද, පශ්චිමයාමයෙහිද- ‘ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය” අනුලොම ප්‍රතිලොම වශයෙන් සමමර්‍ශනය කරමින් දශබල චතුර්වෛශාරද්යාදී අමිත ගුණගණ විභූෂිතවූ සර්වඥාතඥානය අවබොධ කළසේක.
බුදුබවට පැමිණි ඉක්බිති සම්බුදුන් වහන්සේ මා විසින් එක්දහස් පන්සියයක් කෙලෙසුන් ප්‍රහීණ කොට මේ ධර්මය ප්‍රතිවෙධ කරනලදැයි ප්‍රතිවෙධ කරනලද ධර්මය ප්රත්යවෙක්ෂා කෙරෙමින් සතියක් බද්ධපර්‍ය්‍යංකයෙන් වැඩහුන්සේක. ඉක්බිති පර්‍ය්‍යංකයෙන් නැගී මා විසින් මෙහි සර්වඥතාඥානය අවබොධ කරන ලදැයි සතියක් අනිමිසලොචන පූජාවෙන් පර්ය්යංකයට පූජාකරමින් වැඩසිටිසේක. ඉක්බිති දිව්‍ය සමූහයාට උපන් විතර්කයක් නිසා අහස්කුසට පැන නැග යමාමහ පෙලහර දක්වා රත්නචංක්‍රමණ මාලකයෙහි සතියක් සක්මන් කළසේක. මේ තෙසතියට ඇතුළත් එක්විසි දිනයන් අතුරෙන් එක්දිනකුදු සම්බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සවර්ණක් බුදුරැස් නොවිහිදුනාහ. සතරවන සතියෙහි වනාහි රත්න මන්දිරයෙහි වැඩහුන්සේක් “ධම්මසංගණී” ආදී අභිධර්ම ප්‍රකරණයන් සමමර්‍ශනය කරන්නාවූද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් රශ්මිහු නොවිහිදුනාහුය. යම්විටක මහා ප්‍රකරණයට බැස “හෙතු පච්චයො-පෙ-අවිගත පච්චයො” යනාදීන් සමමර්ශනයට පටන්ගත් සේද එකල්හි සුවිසි ප්‍රත්‍යය ප්‍රභෙද සමන්තා ප්‍රස්ථාන මහාප්‍රකරණය සමමර්‍ශනය කරන සම්බුදුන් වහන්සේගේ සර්වඥතාඥානයතෙහි යම්සේ තිමිර පිංගල මහා මත්ස්‍ය රාජතෙම සුවාසූ දහසක් යොදුන් ගැඹුරැති මහාසමුද්රයෙහිම ක්‍රීඩා විනෝදාදියට අවසර ලබයිද? එමෙන්ම මහාප්රකරණයෙහිම අවසර ලැබූයේය. මෙසේ ලබනලද අවකාශ ඇති සර්වඥතාඥානයෙන් සියුම් ධර්මය රිසියේ සමමර්‍ශනය කරන්නාවූ සම්බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නීල, පීත, ලොහිත, අවදාත, මාඤ්ජෙෂ්ඨා, ප්‍රභාස්වර සංඛ්‍යාත ෂඩ්වර්ණ ඝන බුද්ධ රශ්මීහු නොයෙක් වර්ණයෙන් අනන්ත ලෝකධාතුව එකාලොක කරමින් නික්මුනාහුය.
මෙම “පටිච්ච සමුප්පාද” දෙශනාවද එම පට්ඨාන ක්‍රමය ඇසුරුකොට දෙශනා කරනලදී. ‘පටිච්ච සමුප්පාද” ක්‍රමය පට්ඨාන ක්‍රමය යයි, මෙහි ක්‍රමදෙකක් දක්වා තිබේ. එහි අවිද්‍යාදිය ඇතිකල්හි සංස්කාරාදිය හටගන්නේය. යන තබ්භාව භාවී භාවාකාරයෙන් යුක්තවූයේ පටිච්ච සමුප්පාද ක්‍රමයයි. පට්ඨාන පාළියෙහි කියනලද සූවිසි ප්‍රත්‍යය වශයෙන් එක් ධර්මයක් අනෙක් ධර්මයකට ප්‍රත්‍යයවන ආකාරය දැක්වීමවූ ආයච්ච පච්චය යයි ක්‍රමය පට්ඨාන ක්‍රමයයි කියනු ලැබේ. ඒ ක්රමදෙක මිශ්‍රකොට පූර්වාචාර්ය්යයන් වහන්සේලා විසින් “පටිච්ච සමුප්පාදය” විස්තර කරනලදී.
“පටිච්ච සමුප්පාද” යන වචනයෙන් ප්‍රත්‍යය ධර්ම සමූහය කියනු ලැබේ. මෙහි “පටිච්ච” යන පදයෙන් මතු පැවැත්මට කාරණවූ කෙලෙශ චක්රාදී ධර්මයන්ගේ එක්වීම දක්වන බැවින් ‘ආත්මයද ලෝකයද සදාකාලිකය’ යනාදීන් ගන්නා ශාශ්වත වාදයාගේද ‘සත්වයන්ගේ සංකලෙශයට හේතුවක් නැත’ ප්රත්යයයක් නැත, යනාදීයන් ගන්නා අහේතුක වාදයාගේද ඊශ්වර නිර්මාණ වාදාදීන්ගේද අභාවය ප්රකාශවෙයි. ‘සමුප්පාද” යන පදයෙන් ප්‍රත්‍යයන්ගේ එක්වීමෙහි ධර්මයන්ගේ ඉපදීම ප්රකාශවන හෙයින් උච්ඡෙද නාස්තික අකිරිය වාදයන්ගේද අභාවය දැක්වෙයි. පටිච්ච සමුප්පාදයාගේ අත්ථ වශයෙන්ද ධර්ම වශයෙන්ද දෙශනා වශයෙන්ද, ප්‍රතිවෙධ වශයෙන්ද ගැඹුරුබව දෙශනා පාළියෙහිද වදාරා තිබේ.
“සච්චං සත්තො පටිසන්ධි-පච්චයාකාර මෙවච, දුද්දසා චතුරො ධම්මා-දෙසෙන්තො බුද්ධකොවිදො”
චතුරාර්‍ය්‍ය සත්‍යයද, සත්ව සන්තතියද, ප්රතිසන්ධියද, පටිච්ච සමුප්පාදයෙහි ප්රත්යයාකාරයද යන ධර්මසතර දැනගැනීමට දුෂ්කර බව හා කියාදීමට දුෂ්කරබවද පූර්වාචාර්ය්යයන් වහන්සේලා විසින්දු ප්‍රකාශ කරනලදී. “පටිච්ච සමුප්පාදය” ඉතා ගැඹුරු බැවින්ම එය වර්ණනාකරන අටුවාචාර්ය්යයන් වහන්සේද සාගරයට බැසගත්තාක් මෙන් පිහිටක් නොලබන බව හා පූර්වාචාරීන් වහන්සේලාගේ වාචනාමාර්ගය නොසිඳී පැවැත්ම එහි අටුවා කිරීමට ආධාරවූ බවද දක්වනලදී.
මේ ආදී කරුණුවලින් පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරු ධර්මයක් බව කාටත් පැහැදිලි වේ. එසේ වුවත් ඉංග්‍රීසි ජර්මන් ආදී විදෙශික පණ්ඩිතයන් විසිනුදු “පටිච්ච සමුප්පාදය” විස්තර කොට ලියා මුද්‍රණය කරනලද පොතපත සුලභවු මේ කාලයෙහි බෞද්ධ රටක්වූ ලක්දිව වැසියන්ට ඒ ධර්මය පිළිබඳ විස්තර සහිත පොත් සුලභනොවීම බලවත් පාඩුවකි. එබැව් සලකා බෞද්ධාගම් කාරයන්ට එම ගැඹුරු ධර්මය පහදීමේ අදහසින් පොතපතින් කරුණු පිටපත්කර ගැනීමෙන් හා ධර්මවිනය උගත් ස්වාමීන් වහන්සේලාගේ ආධාරයෙන් දෙශනා පෙළ අනුවාදයෙන් කරුණු පිටපත් කරවා ගැනීමෙන්ද ධර්මදානමය පින ලබාගැනීම පිණිස මේ පොත පිළියෙල කරවා මුද්‍රණය කරවන ලදී.
මේවර දෙල්දූවේ විවෙකාරාමයෙහි වස් එලඹ වැඩසිටින පඹුරුවේ බුද්ධදත්ත ස්වාමිපාදයාණන් වහන්සේගෙන් මෙය පිළියෙල කිරීමට විශේෂ ආධාර ලැබුනබව සතුටින් සඳහන් කරමි. මේ ධර්මය ගැඹුරු බැවින් තේරුම් ගැනීම දුෂ්කර වුවත් නැවත නැවත බැලීමෙන් හා නොවැටහෙන තැන් ධර්මධරයන්ගෙන් විචාරීමෙන්ද තේරුම් ගැනීමට උත්සාහ කටයුතු. මෙය ලබාගත් සියලුදෙනා විසින්ම සසරසාර වස්තුවක් මෙන් සුරක්ෂිතව තබාගෙන පුහුණුකළ යුතුවෙයි සිහිපත් කරවමු. එසේ පුරුදු පුහුණුකොට භවචක්‍රය නුවණ නැමැති කඩුවෙන් සිඳ බිඳ දමා අවිද්‍යාදිය නිසා ඇතිවන සසර බියෙන් මිදී අමාමහ නිවන් සුව අත්පත් කර ගැනීමට උත්සාහ වැඩිය යුතු.
මීට-ශාසනස්ථිතිකාමි; ඇම්. සී. ද සිල්වා.
අම්බලන්ගොඩ, රත්නගිරි නිවස, 9-11-35.
ඇම්. සී. ද සිල්වා, අම්බලන්ගොඩ, රත්නගිරි නිවස, 9-11-35.